මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය. ජන කවියෙහි බලපෑම ද මීට එක් වීය. ඉන්පසු සිව් පදය, වැඩිලෙස ම විරිතෙහි ම ඇලී ගැලී නොනැඹුරුව, සරල බසෙකින් හනා වනා සුමට කෙරිණි. බටහිර කවීන්ගේ නිර්මාණවල බලපෑමෙන් නව කවි ආකෘති, අනුභූතින් වෙත පිවිසීමෙන් පසුව වුව ද, සිව් පදය වෙනුවෙන් වඩවා ගත් කවි බසක් – ආකෘතියක් නූතන කව්ගමන් මගේදී හමුවෙයි. ඒවායින් ඇතැම්වා භාව කාව්‍යය ලෙසින් වරෙක හඳුන්වා දෙන, ඉංග්‍රීසි බසින් Lyrical Poetry නම් කවි ස්වභාව ගනී. මෑතකාලීනව මෙකව් ආරට නැඹුරුව කව් ලියූ බොහෝ පිරිසක් ඔවුන්ගේ කාව්‍ය ග්‍රන්ථවලදී අපට හමුවේ.
‘හද තව සුවෙනි සුරුවෙනි’ කාව්‍ය සංග්‍රහයේ එන සෙසු කවි අතර, සිව් පද කවිය නැගීසිටින්නේ ද ඉහත කී ලකුණ හේතුවෙනැයි සිතේ.
‘සුදු සිනා තවරගෙන සියොලඟ ම
වෙන කවුද වැනෙන්නේ මේ තරම
ළහිරු රැස් සිඹිද්දී පපු ගැබ ම
පිනි මතින් තව සිනාසෙන අරුම’
‘මුඩු බිම වසා සිටි හඹරල යායට’ නම් කවියෙන් ගත් මේ කවිය, මුඩු බිමක් වසා සිටින, මුඩු බිම පිටතට නොපෙන්වා සිටින, ආවරණයක් වුණු හබරල ගාල වැනුමකි. කවියා, මුල් කවි දෙකෙන් ම කරන්නේ, හබරල ගාලේ ලස්සනින්, මුඩුබිමේ අවලස්සන වසා දැමීමයි. හඹරලගාලේ හොඳකම කියා, එයින් පෝෂණයවන කුඩා ජීවීන්(මිනිසුන්ගෙන් පහර ලබන මියෙන අප්‍රියත්වයට ලක් වූ මීයන් වැනි සතුන් අහර සොයාගන්නා තැන) කියා, දූත වැනුමකදී ලෙසින් දූතයාව මුදුනේ තැබීමයි. නමුත් එය කියන සැටිය මෙළෙකයි. පණ පොවයි. වාග් චිත්‍ර මවයි. මුඩුබිමට නොව හඹරලගාලට අවධානය යොමයි.
එහෙත් කවියේ අවසානයේදී ගිහාන් මධුසංක කරන්නේ කුමක්ද? අර තරම් වැනූ හඹරල ගාල නසා දමන්න සැරසෙන බව කියා සමාවෙන්නැයි ඉල්ලා සිටීමයි. ලස්සන යට ඇති අවලස්සන පෙන්වීමයි. ෆැන්ටසිය පෙන්වා එය කුඩු කර දමා යතාර්ථය පෙන්වීමයි. හඹරල ගාල යට ඇති මුඩුබිම ලෝකයට පෙනෙන්නට හැරීම යුතුදෙයකි. මේ තියෙන්නෙ, හුදෙක් මුඩුබිමක් නොව අප වෙසෙන පොළොව ම නිසා. කවියා දූතයාව මුලදී වනා, අවසානයේදී දූතයාව උස්සා පොළොවේ ගසා ඇත.
ස්වාභාවික වර්ණනයට යන කවියා, ‘වෙල්ලස්සේ සිනිඳු සීතල’ කවිපෙළේදී, කොළඹ දෙවන යුගයේ කව් පැදි වෙතට යළි නැමුණු සෙයකි.
“මැණික් දිදී ගලනා මිණි ගංගාවේ
නිල් ගෙල සලා නිල් කැට පෙරළන්නාවේ…”
“කෝන් ගස් ඉමේ දුවනා මුවන් බලා
නෙත් දුනු දිය අදිද්දී නුඹ හෙළූ පලා
හැලුණේ කොතැන්දැයි විමසා හගිස්සලා
වෙල්ලස්සේ සිනිඳු සීතල අලුත්වෙලා”
නෙත් දුනු දිය ඇදීම් අපට සිහිකරන්නේ, සංදේශ කවිවල දිය කෙළි වැනුමයි. දියේ සිටින ලිය හෙළන බැල්ම, වැනි ම බැල්මක් මේ කෙතේ ඉන්නා ලියත් කවියාට හෙළයි. ඔහු වෙන කතක්(දුවන මුවන්) දෙස බලා සිටි බැවින්, කෙතේ කතගේ බැල්ම ඉවතට යයි. මෙය කවියාට වරයකි. කතුන් දෙදෙනෙකු ඔහු පෙනෙන මානයේ සිටී. එයින් එකෙක් දැන් අහිමිවන්නට යයි. නමුත් එහැඟීම මහ සෝකබරිත එකක් නොවේ. යම් අමුත්‍තක් ඇති එකකි. එබැවිනි, උදේ හිරු රැස් ගැන කීමෙන් පටන්ගත් කවිපෙළ අලුත් වූ සීතලකින් අවසන් වන්නේ. ගිහාන්ගේ බොහෝ කවි අවසානයේදී නිර්මාණයෙන් කියන්නට යන ප්‍රධාන කරුණට පැමිණීම දැකිය හැකියි.
උපහාසයෙන් වැඩුණු බසක් ද ඔහු සතුය. පාලකයන්ගේ බසට, පවත්නා සමාජ ක්‍රමයට එදිරිව, ඔවුන්ව ප්‍රශ්න කරවන තැන් ද මෙහි ඇත. මාසික වැටුප හෝ ඉන් අඩක් රජයට දෙන්නැයි කී අමාත්‍යංශ ලේකම්ට ඔහු දෙසන්නේ, අනුන්ගේ කූඩුවෙ බිජු දාන කොවුලා හෙවත් පරපුටුවා යැයි අමතමිනි. එවිට අර කී ස්නෙහේවන්තබවින් මිදී රුදුව කවියට එළඹෙනු පෙනෙයි.
“කාක කූඩුවල නිතර ම බිජු ලෑම
බෝම වේස ඇති කෝකිල මිතුරාන
බක් මහේ කිමැයි නොබිණුවෙ තියු ගීත
මළ බැඳී තිබුණිදෝ ඔය හොරණෑව?”
මෙහි පැදි ගණනක් වෙයි, සිව්පද කවි ද, සෙසු ආරේ කවි ද වෙයි. ඒවා එකින් එක ගෙන විමසීම දිගු බැවින්, මේ එයින් තෝරාගත් කවි එක තුනක් පමණි. ඔහුගේ කෙටි කවි වෙන ම කියවාගත යුත්තකැයි සිතේ. සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ නිරතුරු ඇසුර ලැබීමේ ස්වභාවයත්, එයින් මිදීමට දරන ප්‍රයත්නයත් යන දෙක ම මේ කාව්‍ය සංග්‍රහයේ දී පෙනෙන්නට වීම ද අරුමයකි. එහෙයින් මෙහි ඇතැම් කවි අප ඉහත කී ලකුණු නොදරන ඒවා ලෙස ද පෙනෙන්නට පුළුවන.
කවි පොතෙන් මදකට පිටතට පැමිණියොත්, නිසදැස්, නිදහස්, හයිකු සහ සංයුක්ත කවිවලදී වගාකරගන්නා, දෘෂ්‍යමාන වන එක්තරා බුද්ධිගෝචර බවකින් මිදී, සරල, හෘදවත් බවකින් සිව්පද කවිය ඇමතීම මෙරට කවි ගමන්මගේ දී සිදුවූයේ හදබස හේතුවෙන්ද යන අප සිතේ පහළවූ ගැටලුවක්, ආරියවංශ රණවීර ‘හද බස සහ වෙනත් ලිපි’ කෘතියෙදි ලිපියකදී, අයිඒ.රිචර්ඩ්ස්ගෙ අදහසක් සමඟ සලකා බලයි. ‘බුද්ධිය අමතන බස’ සහ ‘හදවත අමතන බස’ යනුවෙන් අමරසේකර කියනා දෙය, ‘යොමුගත බස/විද්‍යාත්මක බස’ සහ ‘සංවේදනාත්මක බස’ යනුවෙන් රිචර්ඩ්ස් කියන්නේ ඒ අදහසින් ම නොවන බවත් එහි සඳහන්ව එයි. මේ අදහස් දෙක ම විමසන රණවීර, ඇතැම් සැක තැන් දුරලා, යුතු තැන් පිරිසිඳ පත අට සිඳුවා දෙයි. මේ මත හේතුවෙන් විචාරයන්ගෙන් බැට කෑ තැන් ද පෙන්වයි. සිව්පද කවියට භාවිත කළ යුත්තෙ මේ මේ බස යැයිද, පළමුව එය හෘදයට බලපෑම් කර සෙසුව මනසට යායුතුව ඇතැයිද කියා නියමයක් නැති. කෙසේ වුවත්, සෙසු කවිවලට සාපේක්ෂව සිව් පද කවිය භාව තලයක තැබීම සිදුවූයේ මන්ද යන්න තවදුරටත් සෙවිය යුතු කරුණකි.