Home Blog Page 200

අඩු මාසයේ කලල

0

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

දුවද්දී පෙකණිවැල එතෙනකොට කුඹගහක
මේ කලල පනිනවැති උඩුබැලිව කරදියට.
නැංගුරම් බදාගෙන ජැටිය ළඟ ගිලෙනකොට
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

බාදියෙන් උදම් වී වඩදියෙන් සිනාසෙන
ජීවිතය වෙරළ උඩ අව්ව තපිනා මොහොත
පෙකණිවැල එතෙනකොට වෙරළ බඩ පොල්ගහක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

ආදරය අහිමි වී හූල්ලන ගොම්මනක
පෙකණිවැල එතෙනකොට බයිසිකල් රෝදයක
වොල්කනයිසින් රබර් හීනයක් හපනකොට
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

සීනි දා වෙඩි තියන රයිපලේකුත් රැගෙන
දඹුලු ගල දිගේ තලගොයි හොයන මිනිසෙකුට
පැටළුණොත් පෙකණිවැල සීගිරියෙ සිතුවමක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

ගෝදම්බ රොටිය උඩ ලෝක සිතියම ඇඳෙන
සීනි පොල්කොහු සතුට උලාකන ඇඳිරියක
පෙකණිවැල එතෙනකොට රේස් බුකියක දොරක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

ටොනික් පියනක් ගිලෙන වැඩවසම් සාදයක
ගල් කාලකින් විඳින බොල්ෂෙවික් ප්‍රීතියක
පෙකණිවැල එතෙනකොට බාබෙකිව් ගින්දරක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

හඳ එළිය ලෑටි ගා උලාකන මැදියමක
සාස්පානක දපන විනාකිරි හීනයක
පෙකණිවැල එතෙනකොට බකමූණු හාදුවක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද.

කුමාර හෙට්ටිආරච්චි

සායක්කාරගේ නාට්‍යය කෙරුවාව පිළිබඳ හෙලිදරව්ව

0

අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්.ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද?

අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ. මෙහෙමයි අපි බොහොම පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇයි අපි මේ නාට්‍ය සතිය කරන්නේ කියලා. මේක අද ඊයේ ආව අදහසක් නෙමෙයි 2015 වගේ කාලෙ ඉදලා තමයි මේ අදහස මුළින්ම ආවේ. අපි මෙතෙක් කරපු නාට්‍ය ටික එකතු කරලා දවස් කීපයක කරමු කියලා. ඒත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා වරෙන් වර මේ වැඩේ කල් ගියා. ඒ අතරේ අපේ නාට්‍ය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවුණා. මුළින් අපි හිතාගෙන හිටියෙ දවස්තුනක් එක දිගට නාට්‍ය පෙන්නන්න. ඊට පස්සේ ඒක හතරවුණා. අවසානයේ දවස් හතක් යනකම් දික් වුණා.
හැමදාම අපි බලන් හිටියෙ මේ කාලෙ අප්සට් ටිකක් කාලෙ හොඳ වුණාම කරමු කියලා. ඒත් කාලය හොඳ වෙනවා කියල එකක් වෙන්නෙ නෑ. එන්න එන්න අප්සට් වෙනවා මිසක්. ඒ අනුව අපි 2022 සැප්තැම්බර් තීරණයක් ගත්තා මොන විදියේ බාධාවක් ආවත් අපි 2023 මාර්තු නාට්‍ය සතිය කරනවා මයි කියලා. ඒ අනුව තමයි රටේ තත්වෙ කොච්චර අයහපත් වුණත් අපි මේ වැඩේ කරන්නේ…

අනිත් පැත්තෙන් මේ නාට්‍ය කිසිම එකක් අපේ වුවමනාවට නතර කරපු නාට්‍ය නෙමෙයි. රටෙි වරින් වර මතුවුණු ප්‍රශ්නත් එක්ක නතර කරන්න වුණු නාට්‍ය. එකපාරක් පාස්කු ප්‍රහාරය නිසා නතර කළා. තව පාරක් කොරෝනා. ඊට පස්සේ අරගලය. ඉතින් මේ නිසා අපිට වුවමනාව තියෙන අපි නතර නොකරපු ඒ නාට්‍ය ටික නැවත කරළියට ගේන්න.

දේශපාලනය හපයක් කරලා තියෙන මිනිස්සුන්ව ඒ වධකයාවම පෙන්නලා රිද්දන එකද සායක්කාරලා ගේ නාට්‍ය කලාවද?

මට මේ වෙලාවේ ඕනේ අඩුම වශයෙන් මිනිස්සුන්ට තමන් ඉන්නේ නරා වලක කියන එක ඇගිල්ලෙන් ඇනලා පේනනලා දෙන්න. මොකද රටේ බහුතරයක් තවමත් ඔවුන් ගෙවමින් ඉන්න අප්සට් එක තේරුම් අරන් නෑ. ඒක තේරුම් ගන්නෙ නැතුව එතනින් එහාට ඊට එරෙහිවීමක් ගැන හිතන්නෙ නෑ. ඔබ පාවිච්චි කරපු වචනය හරි මම ප්‍රේක්ෂකයා රිද්දනවා. වද දෙනවා. එහෙම වද නොදී ආතල් දීලා මේ ප්‍රශ්නෙ උන්ට දනවන්න බෑ.

“අයියා මලෝ ” අමු චරිත ඝාතනයක් නේ .බලපු මිනිස්සු මේවට විරෝධය පාපු නිසා නෙමෙයිද ඔය එක එක වර්ගයේ වාරණයන් පැන උනේ.

බලපු කිසිම තැනක චරිත ඝාතනයක් කියලා කිසිම විරෝධයක් ආවේ නෑ. අපි කාගෙවත් චරිතය ඝාතනය කරලා නෑ. ඕන කෙනෙක්ට ඕන කණ්ණාඩියක් දාගෙන බලන්න පූළුවන්. එතකොට ඒකට එක එක චරිත අහුවෙනවා. මහින්ද වෙන්න පුළුවන් රනිල් වෙන්න පුළුවන් සජිත් වෙන්න පුළුවන් ඕන කෙනෙක් අහුවෙයි. ඒකට මට කරන්න දෙයක් නෑ. අපි කතා කරන්නේ පවුලක් බලය ආරක්ෂා කරන මළකුණක් එක්ක ඔට්ටු වෙන විදිය. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. විජයිදු රජකාලෙත් මේ වගේ සිද්ධි වෙලා තියෙනවා. මේක අපිට විතරක් නෙමෙයි දකුණු ආසියාවේම ඛේදවාචකයක්

කතන්දර වැඩක් නෑ සායා…වටේ යන්නැතුව කියෙනවද නාට්‍යය කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා.

මම නාට්‍ය කරන්නේ මගේ ප්‍රකාශනය එළියට දාන්න. ඒක මට අවංකවම සඳහා ප්‍රබලවම මුදාහරින්න පුළුවන් තැන වේදිකාව. අනිත් මාධ්‍යවල අපිට ඒක ඒ මට්ටමින් කරන්න අවකාශ නෑ. ඉතින් වේදිකාව කොච්චර කුඩා වුණත් මේ උත්සාහයන් කොච්චර දුෂ්කර වුණත් මම ඒක අතාරින්නේ නෑ.

18 ඉඳලා 24 වෙනකන් මොනවද කරන්නේ

සායාගේ සතිය පටන් ගන්නේ 18 එතන ඉදලා හැමදාම හවස 3.30ට සහ 7.00 නාට්‍ය දර්ශන දෙක බැගින් පැවැත්වෙනවා. දැනටමත් 3.30- දර්ශනයේ බැල්කනියි පිරිලා ඉවරයි. ඒ විද්‍යාර්ථයන්ට නොමිලේ නාට්‍ය බලන්න දුන්න අවස්ථාව නිසා. හැමදාම 3.30- දර්ශනයේ බැල්කනිය වෙන් කරේ විද්‍යාර්ථයන්ට.

ඔක්කොම සෙල්ලම් කොළඹට විතරද කොළඹින් පිට යන්නේ නැද්ද?

අනිවාර්යයෙන් යනවා. අපි අයියා මළෝ වගේ නාට්‍යයක් හදාගත්තෙම කොළඹින් පිට ඕනම තත්වයක් යටතේ ප්‍රදර්ශනය කරන්න. අපි ඒ වැඩේ කරා සහ කරමින් ඉන්නවා. ඒ වගේ අනිත් නාට්‍යත් කොළඹින් එහාට අරන් යන්න අපි වැඩ කරමින් ඉන්නවා. කිසිසේත්ම කොළඹට සීමා වෙන්න අපේ අදහසක් නෑ.

හිල්මි සුපුන්

“කෞතුකාගාරයේ දුටු ඒ ගැහැනු රූපය සහිත ගිරය හිත ඇතුළෙ හොල්මන් කළා ….”

0

පසුගාමී විවාහ සංස්ථාව නිර්දය ලෙස දෙපළු කළ නූතනවාදී ගිරය හෙවත් පුණ්‍යකාන්ති විජේනායක ජීවිත ගමනට නැවතුම තැබුවාය.

ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයේ යෙදුණු, ඉංග්‍රීසි සාහිත්‍යකාමීන් අතර ජනප්‍රිය ලේඛිකාවක වූ පුණ්‍යකාන්ති විජේනායක 1994 වසරේ දී Amulet නම් කෘතිය උදෙසා ග්‍රේෂන් ත්‍යාගය ද දිනාගැනීමට සමත් වූවාය. එසේ නුමුදු පුණ්‍යකාන්ති විජේනායක යන නම භාෂා භේදයකින් තොරව පොදු රසික සමාජයට මුසුවන්නේ ඇගේ සාහිත්‍ය සැරිසැරියේ අග්‍රඵලය බඳු ‘ගිරය’ නම් ඉංග්‍රීසි නවකතාව ඔස්සේ ය.

2013 වසරේ ‘රිවිර’ පුවත්පතෙහි ‘කලස’ සාහිත්‍යය අතිරේකය සමග සාකච්ඡාවක දී ඇය මෙසේ පවසා තිබුණාය.
‘දවසක් මම ගියා කොළඹ කෞතුකාගාරයට. එහි කෞතුක භාණ්ඩ අතර මම දැක්කා එක්තරා ගිරයක්. ඒක විශේෂ පිත්තල ගිරයක් .ගිරයේ හිසේ තිබුණෙ වැඳගෙන ඉන්න කකුල් දෙපසට දමාගත් ගැහැනියකගේ රූපයක්. කොණ්ඩයක් බැන්ද අමුතු භාව ලීලාවකින් ඉස්සරහ බලා ඉන්න විධියට කොටා තිබුණු ඒ පිත්තල ගැහැනු රූපය මට අමුතු හැඟීමක් ඇති කළා. කෞතුකාගාරය බලලා එළියට ආවාට පස්සෙත් මං ඒ ගැහැනු රූපය සහිත ගිරය හිත ඇතුළෙ හොල්මන් කළා …..’
1976 වසර තරම් ඈත අතීතයක දී Giraya නමින් ඉංග්‍රීසියෙන් ලියූ නවකතාව අසූව දසකයේ අග භාගයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ‘ගිරය’ යන නමින් ම ටෙලි නාට්‍යයට නැගුවේය. සෝමවීර සේනානායක විසින් තිරපිටපත ලියූ ‘ගිරය’ ටෙලි නාට්‍යය හරහා පුණ්‍යකාන්ති විජේනායක විසින් සමාජය සහ විවාහ සංස්ථාව පිළිබඳ වෙනත් මානයකින් ලියන ලද නවකතාව සාහිතකාමීන් ලෝලනය කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1992 වසරේ දී කළුබෝවිල සිරිල් සී.පෙරේරා මහතා විසින් ‘ගිරය’ නමින් ම එම කතාවට සිංහලයට පරිවර්තනය කරනු ලැබිණ.

පුණ්‍යකාන්ති විජේනායක නම් වූ අප්‍රමාණ ප්‍රතිභාවකින් හෙබි සාහිත්‍යවේදිනියගේ සමුගැන්ම සමග මේ ලියැවෙන සටහන ඇය පිළිබඳ ගුණ වර්ණනාවක් නොවන්නේය. මෙම සටහන ඇගේ ඉසියුම් සමාජ කියවීම සහ සංකීර්ණ ජීවන අත්දැකීම් ග්‍රහණය කරගැනිමේ දී ඇය දැක්වූ ඉදිරිගාමීබව පිළිබඳ සරල ඉඟියක් පමණි.

ගරාවැටෙන වලව්වක මාන්නකාරී හිමිකාරිය ඇඩ්ලින්. ගූඪ හැසිරීමක් ප්‍රකට කරන ආවේගශීලි මෙහෙකාරිය ලුසිහාමි. ගුප්ත හැසිරීමක් ඇති පුත්‍රයා ලාල් සහ ඔහු හට සරණ පාවා දෙන උගත් නමුත් දුප්පත් සහ බල රහිත රූමත් බිරිඳ කාමිනී. මේ සියල්ල මැද විනිර්මුක්තව ඉන්නන් වාලේ සිටින වලව්වේ දියණිය මානෙල්. ‘ගිරය’ වනාහි ඔවුන් කිහිපදෙනෙකුගේ කතා වස්තුවයි.

නවකතාව තුළ ලාල් සහ කාමිනී හට දරුවෙක් සිටි නමුත් ටෙලි නාට්‍යය පිටපතට අනුව ඔවුන් දෙදෙනාට දරුවන් සිටියේ නැත. ලාල් නිතරම ගෙදරින් පිටත සිටින්නට ප්‍රිය කරන අතර ඔහු සිතාමතා ම තම රූමත් බිරිඳ කාමිනීව මග හරින්නට තැත් කරන බවක් ද ඇයගේ සමීප ඇසුර නොරුස්සන බවක් ද පීටර් ද අල්මේදාගේ රංගනය වරින්වර අපට ඉඟි සපයන්නේය. බාල මහළු සියල්ලන්ට ම පොදු මාධ්‍යයක් වූ පුංචි තිරයට සෝමවීර සේනානායක විසින් අසූව දසකයේ දී ගෙන එන නාට්‍ය පිටපත තුළ ලාල්ගේ මෙම ගුප්ත හැසිරීම සහ චර්‍යාවන් මතුපිටින් ප්‍රශ්නාර්ථයක් ලෙස ඉතිරි කරන අතර සමාජය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නෙක්‍ හට එම චරිතය විනිවිද දකින්නට ද හෙතෙම ඉඩ හසර විවර කර තිබුණේය.
‘අයියට තිබුණේ කසාද නොබැඳ ඉන්නයි’

‘ගිරය’ නවකතාව අවසානයේ සියලු ම ව්‍යවසනයන් සිදු වී අහවර වූ පසුව මුව විවර කරන ලාල්ගේ සොහොයුරිය මානෙල් තම නෑනා වන කාමිනී සමග එසේ පවසන්නීය.

1972 වසර තරම් ඈත යුගයක ලියන ලද නවකතාවක් තුළ පුණ්‍යකාන්ති විජේනායක එලෙස පැටළුම් අරින්නේ අද මේ මොහොත දක්වා ම ලංකාව තුළ සංකීර්ණ සමාජ ගැටළුවක් ලෙස පවතින කරුණක් බව අවබෝධ වන විට ඇයගේ චින්තන ධාරාව එම යුගයට සාපේක්ෂව කෙතරම් දියුණු තලයක පවතින්නට ඇත්දැයි යන විස්මය ඇති වීම වළක්වනු නොහැකිය.
‘අයියට තිබුණේ කසාද නොබැඳ ඉන්නයි’

‘වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය යටතේ චිත්‍රපට දුසිම් දෙක හමාරක් ම නිර්මාණය කළ ද ලුවී වැන්ඩස්ට්‍රාටන් හට විග්‍රහ කර හෝ පැහැදිලි කර නිම කරගත නොහැකි තරම් සියුම් වස්තු විෂයයක් නවකතාව අවසානය වන තෙක් ම නිධන් කොට තැබූ ලේඛිකාව එක දෙබසක් ගුලි කොට සාම්ප්‍රදායික විවාහය නම් වූ දෙබර වදයකට දමා ගැසුවාය.

නමුත්; අවාසනාවකට මෙන් පෙර පරම්පරාවේ බොහෝ දෙනෙක් ලුසිහාමිගේ ගිරයේ කැටයමට වසඟ වූ නමුත් පුණ්‍යකාන්ති විජේනායකගේ ගිරයේ යටිපෙළ අවබෝධ කරගත්තේ නැත. ඉදින් කරුංකා මෙන් ගිරයට කැපී ගිය ජීවිත යළිදු හා නොවෙමින් දුක් විඳින සැටි අදටත්,තවමත් දකිමින්,අසමින් සිටිමු.

ඔබට සුබ ගමන් !

සහන් කසීර වික්‍රමසිංහ

පාපන්දු සම්මේලනයෙන් කෝටි 15ක පොල්ලක් : අපිව දැනුවත් කළොත් උපදෙස් දෙන්නම් – ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්

වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලබාගත් සේවා සහ සැපයුම් සඳහා රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, එම ගෙවීම් පිළිබඳ අර්බුද මතුව ඇති බවත් අනාවරණය වේ.

එම සම්මේලන ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට පසුගිය ජනවාරි 14දා පැවති පාපන්දු සම්මේලන නිලවරණයෙන් පත්වූ වත්මන් විධායක සභාවේ නිලධාරීන් අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වයත් සමග මෙසේ එම ගෙවීම් තවදුරටත් ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අදාළ ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාතික තරග සංචාර සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් හා කාර්ය මණ්ඩල වෙනුවෙන් වූ ගුවන් ප්‍රවේශපත්‍ර සැපයුම්කරුවන් වෙනුවෙන් වේ.

එම මුදල රුපියල් මිලියන 80 – 90 අතර බව ද පැවසේ.

‘දැනුවත් නෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වගකිවයුතු බලධාරියා වන ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ටී. මහේෂන් පැවසුවේ එවැන්නක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවයි. තමන් දැනුවත් කොට උපදෙස් අවශ්‍ය බව දැන්වුවහොත්, ඊට අවශ්‍ය සහයෝගය ලබාදිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සම්මේලනය ස්වාධීන ව ක්‍රියාත්මක වන බවත්, එම නිසා එහි කටයුතුවල වගකීම එහි බලධාරීන් දැරිය යුතු බවත් ලේකම්වරයා අප කළ විමසීමට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසීය.

සම්මේලනයේ සභාපති ධුරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුව පිළිබඳව විමසීමේදී ලේකම්වරයා පැවසුවේ එය අධිකරණය ඉදිරියේ ඇති ප්‍රශ්නයක් නිසා තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි.

සාමාජිකත්වය අහිමි වීම

මේ අතර 2023 ජනවාරි 21 දින ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කවුන්සිල කාර්යාංශය මගින් ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ප්‍රඥප්තියේ 16 වැනි වගන්තිය ප්‍රකාර ව නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අහිමි කළේය.

එමෙන්ම තහනම ඉවත් වන තුරු FFSL නියෝජිතයන්ට හෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට තවදුරටත් ජාත්‍යන්තර තරගවලට සහභාගී වීමේ අයිතිය ද අහිමි විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පහත හේතු දක්වා තිබිණි.

  • ජාත්‍යන්තර පාපන්දු සමේලනය සමග කලින් එකඟවූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම.
  • මූලධර්ම ක්‍රියාවලීන්ට පටහැනිව හිටපු සභාපතිවරයාගේ නාමයෝජනාව අවසන් මොහොතේ ප්‍රහසන සහගත ලෙස ප්‍රතික්ෂේප කිරීම.
  • ප්‍රතික්ෂේපිත උපසභාපති නාමයෝජනා දෙකට නිතරගයෙන් දෙදෙනකු පත්වීම.
  • ජනවාරි 14 වැනිදා පැවැත්වූ නිලවරණය සඳහා තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම හේතුවෙන් එදින පැවැත්වූ නිලවරණය හා එයින් පත්වූ නිලධාරී මණ්ඩලය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පිළිනොනොගැනීම.

සබැඳි පුවත්

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු සිදුවූ විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියාගේ මරණයට හේතුව හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් ? : විවෘත තීන්දුවක් – පරීක්ෂණ දිගටම!

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

පසුගිය 07දා මෙම සිදුවීම සිදු විය. ඉන්පසු විශ්වවිද්‍යාලයේ වැසිකිළියක් තුළ වැටීසිටියදී මෙම ආරක්ෂක නිලධාරියාගේ සිරුර හමුවී තිබිණි. මෙය හර්දයාබාධයක් නිසා සිදු වූ මරණයක් බවට මුලදී සැක කෙරුණද, මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඇදවැටීමේදී හිස බීම වැදීම නිසා අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වී ඇති බවත්, එය මරණයට හේතු වී ඇති බවත් ය.

කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ තවමත් අවසන් නැති බවත්, ශරීරයේ කොටස් කිහිපයක් ලබාගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරියා පැවසූ බවත් පවුලේ සමීපතමයෙක් thetime.lk වෙත පැවසීය.

‘නීති පීඨයේදී ඔහු ඉතා දැඩි ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වුණා. ඔහුගෙන් වතුර ඕනෙද කියලා ඇහුවම ඕනෙ නෑ කියමින් ටොයිලට් එකට ගියා. ඔහු අනුරාධපුරයේ පදිංචි මැදි වියේ කෙනෙක්. ටොයිලට් එකේදි එම නිලධාරියා මිය ගිහින් තිබුණා.’

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක අප කළ විමසීමකදී එසේ පැවසීය.

අනුරාධපුර, නොච්චියාගම, කඳු වැව පාරේ පදිංචිව සිටි ප්‍රියන්ත වන්නිනායක නම් මෙම ආරක්ෂක නිලධාරියාගේ වයස අවුරුදු 56කි.

විරෝධතා මර්දනය කිරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලට සෘජු ව නිරාවරණය වූ තිදෙනෙකු ආසන්න කාලය තුළ මියගොස් තිබේ. ඒ අතරින් පසුගිය 26දා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දැක්වුණේ හර්දයාබාධයකි.

එහෙත් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදෙන්නේ මරණයට හේතුව වෙනස් වුවද, ඒ සඳහා කඳුළු ගෑස්වල බලපෑම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

මහින්දගේ බාල පුතාගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඩොලර් 400ක් හොරකම් කරලා : නැතිවූ බවට රෝහිතගෙන් පැමිණිල්ලක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඇමෙරිකානු ඩොලර් 400කට ආසන්න මුදලක් (රුපියල් 130,000කට ආසන්න වටිනාකමක්) වංචනික ලෙස සොරාගෙන ඇති බවට පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත කරුණු වාර්තා කර තිබේ.

අන්තර්ජාල ගනුදෙනුවක් හරහා මෙම වංචනික ක්‍රියාව සිදුවී ඇති බව ද පොලිසිය සඳහන් කර ඇත. රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඇමෙරිකානු ඩොලර් 387ක අන්තර්ජාල ගනුදෙනු 04ක් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කර ඇතැයි හෙළිදරව් වී තිබේ.

මාතර නිවසකට යමින් සිටි අවස්ථාවේ තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත නැති වූ බවට රෝහිත රාජපක්ෂ විසින් පසුගිය 03දා නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර ඇත. අදාළ බැංකු ගිණුම් වාර්තා නිකුත් කරන ලෙස කාඩ්පත අයත් පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාල කළමනාකරුට නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ දිනවල ඩොලර් භාවිතය සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇති වී තිබෙන අතර, එවැනි ම සංවාදයක් මහින්ද රාජපක්ෂ පවුලට අයත් වත්කම් සම්බන්ධයෙන් ද ඇති වී තිබේ. ඔවුන් එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මෙම සංවාදය චෝදනාවක් බවට පත්වීමට හේතු වී තිබේ.

නාඋල ඝාතනය : අපරාධයක කරුණු අනාවරණය වන බව මහේස්ත්‍රාත් තීරණය කරයි : පොලිසිය අධිකරණයට අපහාස කළ බවටත් චෝදනාවක් !

පොලිස් ඝාතනයක් බවට චෝදනා එල්ල වන නාඋල අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න නම් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය අවසන් කරමින් එය වෙඩි වැදීමෙන් සිදු වූ මරණයක් බව නාඋල මහේස්ත්‍රාත් ආර්.එන්.කේ. චන්ද්‍රවංශ තීරණය කළාය.

මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ ඇතැම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් මෙම මරණය සම්බන්ධයෙන් අපරාධයකට තුඩු දෙන ආකාරයේ යම් යම් කරුණු අනාවරණය වන බව ද පසුගියදා ඊට අදාළ ව මහේස්ත්‍රාත්වරිය ලබාදුන් තීන්දුවේ සඳහන් ය. අපරාධයකට තුඩු දෙන ආකාරයේ කරුණු හෙළි වී ඇති නිසා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මෙමගින් නියෝග කර ඇත.

එසේ ම මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් සැකකරුවන් ලෙස නම් කළ යුතු ද සහ ඔවුන් අත්අඩංගුවට ගත යුතු ද යන කරුණු පිළිබඳ තීරණයක් ගැනීම සඳහා සියලු වාර්තා නීතිපතිවරයා වෙත යොමුකරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පොලිසියේ හැසිරීම

මෙම නියෝගය ලබාදීමට පෙර විවෘත අධිකරණයේදී කරුණු දක්වමින් අගතියට පත්, මියගිය පුද්ගලයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින නීතිඥ චාරක ධර්මසිරි සඳහන් කළේ අධිකරණය මගින් මීට පෙර ලබාදුන් නියෝගයකට අනුව පොලිසිය මෙම සිද්ධියට අදාළ නිවැරදි බී වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

එසේ ම මීට අදාළ සැකකරුවන් සිටී නම්, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය ද පොලිසිය ඉටු කර නැති බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. සිදුවීම පිළිබඳ විමර්ශන අධිකරණය විසින් නියෝග කළ ආකාරයට මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ කාර්යාංශයකට බාර නොදී, තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතට පත්කර ඇතැයිද සඳහන් කළ නීතිඥවරයා, මේ ආකාරයට දිගින්-දිගටම පොලිසිය අධිකරණයේ නියෝග කඩ කර ඇති බව අවධාරණය කළේය.

සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ විමර්ශන සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට සෑහීමකට පත්විය නොහැකි බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

‘චෝදනා ප්‍රතික්ෂේප කරයි’

එම අවස්ථාවේදී මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් මෙම නඩුවට පෙනීසිටින නීතිඥ අසිත තොටගොඩ පැවසුවේ අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇති විමර්ශන අංශයකින් මෙම විමර්ශන සිදුකරන බවත් ය.

සාක්ෂිකරුවන් කිව්වේ මොනවාද?

ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් පිස්තෝලයකින් මියගිය පුද්ගලයාගේ පපුවට වෙඩි තැබූ බව නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකරුවෝ තිදෙනෙක් මීට පෙර ප්‍රකාශ කළහ.

එසේම මෙම සිදුවීමට අදාළ සටහන් සහිත පොලිස් තොරතුරු පොතේ පිටු 02ක කොටස් ටිපෙක්ස් කර මකා දමා ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.

මෙසේ වෙඩි තැබීමෙන් මරණයට පත්වී තිබුණේ අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න හෙවත් රාල නම් 39 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදුවූ බහින්බස්වීමකින් පසු මිය ගිය පුද්ගලයා පොලිස් නිලධාරීන් සතු ගිනිඅවිය පැහැරගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කරද්දී ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහුට ම වෙඩි වැදුණු බවයි.

වින්දිත පාර්ශ්වය

කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිසිය ඇඳුම් ගලවා එක් වරක් පරීක්ෂා කර, දෙවැනි වර ද පරීක්ෂා කරද්දී ඊට විරෝධය දැක්වීම නිසා ගිනි අවිය රැගෙනවිත් පොලිස් නිලධාරියකු ඔහුට වෙඩි තබා මරා දැමූ බවයි. මිය ගිය පුද්ගලයා නාඋල, ඇළහැර පාරේ දෙකේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, මෙම සිදුවීම සිදුවී තිබුණේ ඔහුගේ නිවස ආසන්නයේදී ම ය.

2022 මාර්තු 03දා මෙම සිදුවීම සිදු වී ඇති අතර, පොලිසිය මුලින්ම මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ‘ඒආර්’ වාර්තාවකිනි. ඉන්පසු ව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම මත මාස ගණනාවකට පසු ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. 2022 මාර්තු 03දා මෙම සිද්ධිය සිදු වී තිබිණි.

මරණ පරීක්ෂණ ගැන නඩු

මීට පෙර ද අගතියට පත් පාර්ශ්වයෙන් කරුණු දක්වමින් නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළ ව අවස්ථා කිහිපයකදී අධිකරණය ලබා දුන් නියෝග පොලිසිය පැහැර හැර ඇති බවයි.

2022 දෙසැම්බර් 14දා මෙම සිදුවීමට අදාළ සාක්ෂි කැඳවූ අවස්ථාවේදී පොලිසීය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුවන් ගුණසේකර සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අතර සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.

‘මරණ පරීක්ෂණයකදී මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය ගැන 2017 මාර්තු දෙවැනිදා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන විසින් ලබා දුන් පිටු 43ක නඩු තීන්දුවක් තිබෙනවා. ඒ වගේම සෙනෙහෙරත්න එදිරිව නීතිපති නඩු තීන්දුව ගැනත් එහි සඳහන් වෙනවා. මරණ පරීක්ෂණයේදී මහේස්ත්‍රාත්වරයකු කටයුතු කළ යුත්තේ කෙසේද යන්න එහි පැහැදිලිව සඳහන් වෙනවා. නීතිඥ රුවන්ට ඕන විදිහට සාක්කි මෙහෙයවන්න දෙන්න බෑ. පොලිසිය වෙඩි තියලා තියෙන්නේ. ඇසින් දුටු සාක්කි නැතුව පොලිසියේ පිරිසක් සාක්කිකරුවන් විදිහට ගෙන්වන්න උත්සාහ කළා.

‘මනුෂ්‍යයෙක් මැරිලා’

ඒ වගේම මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබෙන විශේෂ ඒකකයකින් විමර්ශන කරන්න කියලා අධිකරණය නියෝග කළාම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශන කරනවා. මුලින් බී වාර්තාවක් ඉදිරිපත් කළේ නෑ. පසුව අධිකරණය නියෝග කළා බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස. දැන් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එහි අදාළ වගන්ති සඳහන් කරලා නෑ. ඒ වගේම සැකකරුවන් අත්අඩංගුවට ගන්න කිව්වා. එය සිදුකරලත් නෑ. ශ්‍රී ලංකා පොලිසිය අධිකරණය හෑල්ලු කිරීම පුරුද්දක් කරගෙන තිබෙනවා. වෙඩි වැදුණු පුද්ගලයා කවර තරාතිරමක වුවත් ඔහු මනුෂ්‍යයෙක්. ඔහු මැරිලා තියෙනවා.

පොලිසියේ කැපවීම

මම නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 15ක් පමණ රාජකාරි කරලා තියෙනවා. අපි දන්නවා අධිකරණ කටයුත්තකට අදාළ ව පොලිස් ස්ථානාධිපතිවරයෙක් අධිකරණයට ගෙන්වාගන්න තියෙන අමාරුව. නමුත් මේ නඩුවට අදාළ ව පොලිස් නීතිඥවරුන් 06ක්, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් අධිකරණයට ඇවිත් ඉන්නවා. මෙම අධිකරණය දුන්නු නියෝගවලට එකඟ නැත්නම් පොලිසිය කළ යුත්තේ ඉහළ අධිකරණයට යන එක. එහෙම නැතුව නියෝග ක්‍රියාත්මක නොකර වෙන වෙන දේවල් කරන්න බෑ. සාක්කිකරුවන්ට පැමිණෙන්න කියලා කළ දැනුම්දීමේ තිබෙන්නේ නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න කියලා නීති අධ්‍යක්ෂ රුවන් ගුණසේකර ඉදිරියේ.’ යැයී නීතිඥ චාරක ධර්මසිරි මෙහිදී ප්‍රකාශ කළේය.

‘වරදක් නෑ’

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ මෙම සිදුවීමට අදාළ ව නීතිපතිවරයාට මැදිහත් වන ලෙස මුලින්ම ඉල්ලිම් කර ඇත්තේ අගතියට පත් පාර්ශ්වයෙන්ම බවයි. ‘අගතියට පත් පාර්ශ්වයෙන් නීතිපතිට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් නීති කොට්ඨාසයට පිටපත් සහිතව පොලිස්පතිට ලිපි දෙකක් යොමු කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය මට දුරකතනයෙන් කතා කරලත් කිව්වා මැදිහත් වෙන්න කියලා. ඒ වගේම මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඉල්ලීමක් කරලා තියෙනවා පොලිස්පතිගෙන්. ඒ අනුව තමයි පොලිස් නීති කොට්ඨාසය මේකට ආවේ. මම අද සාක්කි ලැස්තුවක් ඉදිරිපත් කරනවා.

මම ඉදිරිපත් වෙලා ඉන්නේ අධිකරණයට සහාය වෙන්න. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය කියන්නේ මේ විදිහේ විමර්ශන කරන එකක් නෙමෙයි. ඒක විනය ගැන කටයුතු කරන එකක්. විමර්ශන නිලධාරීන් කියනවා මේ වන තෙක් කළ විමර්ශන අනුව වරදක් අනාවරණය වෙලා නෑ කියලා. ‘

භයානක තත්ත්වයක්

නීතිඥ චාරක ධර්මසිරි – මුලින් නාඋල පොලිසියෙන් විමර්ශන කළා. දැන් තෙල්දෙණියට දීලා විමර්ශන කරනවා. රුවන් ගුණසේකර ඩුවල් කැපෑසිටි එකකින් මෙතන ඇවිත් පෙනී සිටිනවා. පොලිසිය නීතිය හෑල්ලු කිරීම දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා තියෙනවා. මෙහෙම ගියොත් මිනිස්සුත් නීතිය අතට ගන්න භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. අපට තියෙන්නේ මේ අධිකරණයේ රැකවරණය විතරයි. මේක අපි මෙතනින් නතර කරන්නේ නෑ. අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් මේ ගැන දැනුම් දෙනවා. මේක සීරියස් කේස් එකක්. අපි මේ විදිහට බලාගෙන හිටියොත් ඊළඟ දවසේ කාට තුවක්කුව එල්ලවෙයිද කියලා බරපතළ සැකයක් තිබෙනවා.’

දෙපාර්ශ්වය කරුණු දැක්වීමෙන් පසු රුවන් ගුණසේකර ඉදිරිපත් කළ සාක්කි ලැයිස්තුව අනුව සාක්කි ලබාගැනීමට විරෝධයක් ඇත්දැයි අගතියට පත් පාර්ශ්වයෙන් විමසා සිටි අතර, එලෙස විරෝධයක් නැතැයි දැනුම්දීමෙන් පසු එදින සාක්කි ලබාගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පළමු සාක්කිය

නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත මුලින්ම සාක්කි ලබාදුන්නේ අමරතුංගගේ තිස්ස කුමාර නම් පුද්ගලයකු වන අතර, ඔහු මිය ගිය පුද්ගලයාගේ මස්සිනා බව කියැවිණි. රුවන් ගුණසේකර කෙටි ප්‍රශ්න විමසද්දී සාක්කිකරුට දීර්ඝ ලෙස පිළිතුරු දිය හැකි වන පරිදි ප්‍රශ්න විමසන ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය. රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබා දුන් තිස්ස කුමාර නම් තරුණයා මෙසේ ද පැවසීය.

‘2022 මාර්තු 03 වෙනිදා උදේ 9.30ට විතර මස්සිනා එක්ක සුනඛයාට බෙහෙත් විදින්න යන්න පිටත් වුණා. මස්සිනා කියන්නේ මියගිය පුද්ගලයා. අපි ත්‍රීරෝද රියෙන් තමයි යන්න හැදුවේ. ත්‍රීරෝද රථයේ රියදුරු අල්ලපු ගෙදර අයියා. මම ත්‍රීවිල් එක හොයන්න යන්න යද්දි මස්සිනා ගෙදර ඉස්සරහා අම්මා එක්ක බල්ලා තියාගෙන හිටියා. අයියා සුනඛයා එක්ක ඇවිත් ත්‍රීරෝද රියට ගොඩ වුණා. ත්‍රීරෝද රිය ඇළහැර පැත්තට මුහුණ දාලා තිබුණේ. නාඋල සිට ඇළහැරට යද්දි ත්‍රීවිල් එක නතර කරලා තිබුණේ වම් පැත්තේ. ත්‍රීවිල් එකේ ඉස්සෙල්ලම සුනඛයා නැග්ගුවා. ඊට පස්සේ අයියා නැග්ගා. ඊට පස්සේ මම නැග්ගා. ත්‍රීරෝද රියෙන් බහින පැත්තෙ මුලින්ම හිටියේ මම.

– – –  දෙසට යන්න ත්‍රීරෝද රථය හරවන්න යද්දි පොලිසියේ දෙන්නෙක් ස්කූටරයකින් ඇවිත් වීල් එක ඉදිරියෙන් හරස් කරලා නතර කළා. පොලිසියේ දෙන්නා ආවේ නාඋල පැත්තේ ඉඳන්. මාව මුලින්ම බැස්සුවා. දෙවැනියට අයියව එළියට ගත්තා. ඊට පස්සේ අපි දෙන්නාව සෝදිසි කළා. පොලිසියේ දෙන්නා හිටියේ නිල ඇඳුමෙන්. අපිව සෝදිසි කරන්න හේතුව දන්නේ නෑ. ඒ වන විට ත්‍රීරෝද රියදුරු ත්‍රීරෝද රියේ ඇතුළෙ ම හිටියේ. සෝදිසි කරලා ඇඳුම් ගලවලා පාතට කරලා ආයේ මාව සෝදිසි කළා.

‘වෙඩි තියලා දාපං’

සෝදිසි කළාට මොනවත් හොයගත්තේ නෑ.  ඇඳුම් ගලවලා ආයේ සෝදිසි කරන නිසා එහෙම කරන එක ප්‍රතික්ෂේප කළා. එක් නිලධාරියෙක් පරුෂ වචනයක් කියලා වෙඩි තියලා දාපං කිව්වා. ඊට පස්සේ පොලිස් නිලධාරියා යතුරුපැදියට ගිහින් යතුරුපැදියෙන් පිස්ටල් එක අරගෙන ආවා. පිස්ටල් එක අරං වෙඩි තියන්න යද්දි අපේ අම්මා මගේ කොල්ලො දෙන්නට වෙඩිතියන්න එපා කියලා කිව්වා. පොලිසියේ කෙනා එන ගමන් බිමට වෙඩිල්ලක් එල්ල කළා. ඉන්පස්සේ මගේ පිටිපස්සේ හිටපු අයියට වෙඩි තියලා යතුරුපැදියෙන් යන්න ගියා. මස්සිනා බිමට ඇදවැටුණා. ඉන් පස්සේ අයියව ත්‍රීවිල් එකේ දාගෙන රෝහලට ගෙනිච්චා. ඔහු මිය ගියා කියලා පස්සේ ආරංචි වුණා. මම මෘත දේහය දැක්කා. අපි රෝහලට යද්දි අපිට ඉස්සරහින් ඒ පොලිසියෙ දෙන්නා බයික් එකේ ගිය එක මම වීඩියෝ කළා. ’

ඉන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චාරක ධර්මසිරි අධිකරණයේ අවධානයට යොමු කරමින් මෙම සාක්කිකරුගෙන් තවදුරටත් කාරණා කිහිපයක් අනාවරණය කරගැනීමට අත්‍යවශ්‍ය බැවින් ප්‍රශ්න යොමුකිරීමට අවශ්‍ය බව දැන්වීය. ඊට රුවන් ගුණසේකර විරෝධය දැක්වූ අතර, මහේස්ත්‍රාත්වරිය එම ප්‍රශ්න යොමුකිරීමට ඉඩ දුන්නාය.

ඒ අනුව පිළිතුරු ලබාදෙමින් එම සාක්කිකරු (මස්සිනා) මෙසේ ද ප්‍රකාශ කළේය.

කටඋත්තරය

‘එදා රෝහලට ඇවිත් නාඋල පොලිසියට එන්න කිව්වා. නාඋල පොලිසියෙදි කටඋත්තර ලියාගත්තා. ඒ වෙලාවේ පොලිසියේ ලයිට් තිබ්බේ නෑ. ලියාගත්තු කටඋත්තරය කියවලා දුන්නෙත් නෑ. ආයෙත් මාතලෙනුත් කටඋත්තර ගන්න එනවා කියලා තියාගත්තා. මාතලේ පොලිසියත් ඇවිත් කටඋත්තර ගත්තා. මාතලෙන් කටඋත්තර අරං ඉවර වෙනකොට රෑ 12 විතර වුණා. කටඋත්තරේ කියා දුන්නේ නෑ.’

තුන්වැනි සාක්කිය

ඉන්පසුව මිය ගිය පුද්ගලයාගේ බිරිඳගේ මව වන ජුවානිස්ගේ සුමනලතා (53) තුන්වැනි සාක්කිකරු ලෙස නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නාය.

‘මියගියේ මගේ බෑණා. ඔහු මගේ දියණිය විවාහ කරගෙන ඉන්නවා. මිය ගිය කෙනාගේ නම ඒ.පී.තුෂාර චන්ද්‍රරත්න. එදා සුනඛයා ගෙනියන්න ත්‍රීවිල් එක ගේන්න පුතා ගියා. ඒ වෙනකං අපි බලං හිටියා. ත්‍රීවිල් එක එද්දි බල්ලව අරගෙන ඉස්සරහට ගියා. ත්‍රීවිල් එකට ගොඩවෙනතුරු මම පාර අයිනේ හිටියා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් නාඋල පැත්තේ ඉඳන් ඇවිත් ත්‍රීවිල් එක ඉස්සරහින් නැවැත්තුවා. පුතයි බෑණයි දෙන්නව ත්‍රීවිල් එකෙන් බැස්සුවා. ඊට පස්සේ එයාලා දෙන්නව සෝදිසි කළා.

‘බෑ කියද්දිත් ගත්තා’

සෝදිසි කළාට පස්සේ කලිසං පාතට දාලා ටී ෂර්ට් උඩට දාලා දෙවැනි පාර පරීක්ෂා කරන්න ගියා. මේක මහ පාර. මෙතන එහෙම කරන්න එපා කියලා බෑණා කිව්වා. පොලිස් නිලධාරීන් කිව්වා කට වැඩී කියලා. එක පොලිසියෙ එක්කෙනෙක් ස්කූටියේ කැබින් එකේ තිබිලා පිස්තෝලයක් ගත්තා. ඒක අරං එන ගමන් බිමට වෙඩි තිබ්බා. මං කෑගැහුවා වෙඩි තියන්න එපා කියලා. පුතයි බෑණයි මට පිටිපස්සෙන් හිටියේ. දෙවැනි වෙඩිල්ල අපි ඉස්සරහින් තිබ්බා. ඒකෙන් බෑණට තුවාල වුණා. වෙඩි තියලා එයාලා යන්න ගියා. රෝහලට ගෙනිහින් ටික වෙලාවකින් බෑණා නැතිවුණා කියලා ආරංචි වුණා. පුතා ආවේ නෑ බලන්න කියලා ත්‍රීරෝද රියදුරුගේ අම්මා කිව්වා. ඊට පස්සේ මම ගියා පොලිසියට. මගෙනුත් කටඋත්තර ගන්න ඕන කිව්වා. මං කිව්වා දැන් කරුවලයි, මගේ කොලස්ට්‍රෝලුත් වැඩියි ඒ නිසා බෑ කියලා. බෑ කියද්දිත් කටඋත්තර ගත්තා.’

දෙවැනි සාක්කිය

ඉන්පසුව නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නේ මිය ගිය පුද්ගයාගේ බිරිඳ වන දිනූෂා කුමාරයි.

‘මිය ගිය කෙනා මගේ සැමියා. 2022 මාර්තු 03 වැනිදා මං හිටියේ වැඩ කරන තැන, – – – කොට්ඨාස කලාප කාර්යාලයේ. මගේ මහත්තයට පොලිසියෙන් වෙඩි තිබ්බා කියලා අම්මා කතා කරලා කිව්වා. මම වැඩකරන තැනට දැනුම්දීලා ආවා. මං යද්දි සිද්ධිය වෙච්ච තැනින් හොස්පිටල් අරං ගිහින්. රෝහලේදි කිව්වා නැතිවෙලා කියලා. මම ඉල්ලන්නේ මට සාධාරණයක් කරලා දෙන්න කියලා.’

පස්වැනි සාක්කිය

ඉන් අනතුරුව සාක්කි ලබාදුන්නේ ඉබ්බාගමුවේ පදිංචි නාලක ප්‍රදීප් කුමාර නම් 33 හැවිරිදි පුද්ගලයෙකි. පස්වැනි සාක්කිකරු ලෙස ඔහු සාක්කි ලබාදුන්නේ ද නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම අනුව ය.

‘මම ටයිල් වැඩ කරන්නේ. මාතලේ ටයිල් වැඩක් කරලා 2022 මාර්තු 03 වෙනිදා අඹනට යන්න ගියා සල්ලි ගන්න. යතුරුපැදියෙන් මමයි වැඩකරපු අනිත් කෙනයි ගියේ. අනිත් කෙනා රුවන් කියලා කෙනෙක්. සම්පූර්ණ නම මතක නෑ. මම ඒ පැත්තට ගියේ පළවෙනි පාරට. පාර අහගෙන අහගෙන තමයි ගියේ. මම යනකොට සිද්ධිය වුණ තැන දුරට පේනවා. එතන බල්ලෙක් හිටියා. පොලිසියේ දෙන්නෙක් හිටියා. ඒ නිසා බලාගෙන ගියා මොකද කියලා.

‘අත දන්න පටං ගත්තා’

ඒ සිද්ධිය වෙන්නේ පාරේ වම් අත පැත්තේ. පොලිසියේ දෙන්නා නිල ඇඳුමෙන් හිටියේ. ත්‍රීවිල් එක හරහට බයික් එකක් දාලා තිබ්බා. ගැහැනු කෙනෙක් එළියේ හිටියා. තවත් එක්කෙනෙක් එළියේ හිටියා. කලබලේ දඟලනවා වගේ හිටියේ. කෑගහන සද්දේ තිබ්බා. කවුද කෑගැහුවේ කියලා හරියට කියන්න බෑ. ඉස්සරහට ටික දුරක් යද්දි වෙඩි සද්දයක් ආවා. ටික දුරක් යද්දි අත දන්න පටං ගත්තා. අත බලනකොට උණ්ඩ කෑල්ලක් ඇලිලා තිබුණා. ඊයම් කෑල්ලක් වගේ ඇලිලා තිබ්බේ.

යතුරුපැදිය පැදගෙන ගියේ මම. වම් අතෙයි දැවිල්ල ආවේ. මං බලනකොට අතෙන් ලේ එනවා. බයිසිකලෙන් බැහැලා එතන හිටපු පොලිසියේ කෙනාට කිව්වා. එහා පැත්තේ එක්කෙනෙක් වැටිලා හිටියා. මට වෙඩි වැදුණා කියලා පොලිසියට ඊයම් කෑල්ල බාරදුන්නා.  මම තුවාලයට ගෙදර ගිහින් බෙහෙත් දාගත්තා.’

ව්‍යාජ සාක්කිකරුවෙක් ද?

මෙම සාක්කිකරු පොලිසිය විසින් හඳුන්වා දුන් ව්‍යාජ සාක්කිකරුවකු ද යන්න පරීක්ෂා කිරීමට ඔහුගෙන් මෙම මරණයට අදාළ ව තවත් කරුණු අනාවරණය කර ගත යුතු බව අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළ අතර, ඊට ඉඩ දිය නොහැකි බව නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය. නීතිඥවරයකු ලෙස තමන්ට ඊට අවස්ථාව නැත්නම් නීතිඥවරයකු ලෙස රුවන් ගුණසේකරට ද ඊට අවස්ථාව ලබාදීමට හැකියාවක් නැති බව නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ළබැඳියාවන් අතර ගැටුමක්

පුද්ගලයන් මරා දමා සටහන් පොත් වෙනස් කළ ඉතිහාසයක් පොලිසියට ඇති බවත්, මෙය ද එවැන්නක්දැයි සැකසහිත සිදුවීමක් බවත්, පොලිසිය යම් යම් කරුණු වසං කරන බවත්, පොලිස් නිලධාරියකු වන රුවන් ගුණසේකර නීතිඥවරයකු ලෙස පැමිණ ප්‍රශ්න ඇසීම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරවන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

අධිකරණයේ අවසරය මත යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්කි ලබාදෙමින් සිටි පුද්ගලයා පැවසුවේ වෙඩි සද්දයෙන් පසු අතේ දැවිල්ල ආ බවයි.  දැවිල්ල ආවේ පළවෙනි වෙඩිල්ලෙන් පසුව බවත්, ගෙදර ගොස් ඩිස්පැන්සරියකින් බෙහෙත් දමා ගත් බවත්, සිද්ධියෙන් පසු කටඋත්තර ගැනීම සඳහා පොලිසියෙන් කැඳවීමක් ලැබුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු සමඟ යතුරු පැදියේ පිටුපසින් ගිය බව කියන රුවන්සිරි පුෂ්පකුමාර නම් 42 හැවිරිදි ගොකරැල්ලේ පුද්ගලයකු ඉන් අනතුරුව නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නේය.

‘මම ටයිල් වැඩ කරන්නේ. මාතලේ වැඩක් ඉවර වෙලා සල්ලි ගන්න අඹනට එන්න කිව්වා. අඹනට යන්න මාතලේ ඉඳන් පිටත් වුණා. මාත් එක්ක වැඩ කරන අනිත් මල්ලිගේ යතුරුපැදියෙන් ගියේ. මම ඒ අයට කියන්නේ රාල කියලා. අපි යද්දි පොලිසියේ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගලක් අරං වෙඩි තියන්න කියලා ඉස්සරහට ආවා. ඒ රාලහාමි මහත්තයා බිමට වෙඩි තිබ්බා. ඊට පස්සේ තව වෙඩිල්ලක් පපුවට තිබ්බා.’

එම සාක්කිකරුගෙන් නීතිඥවරයාට ඇති ප්‍රශ්න යොමුකිරීමට සූදානම් වෙද්දී නීතිඥවරයා හරස් ප්‍රශ්න ස්වරූපයෙන් ප්‍රශ්න අසන බවට සටහන් කරන්නැයි නීතිඥ රුවන් ගුණසේකර ඉල්ලා සිටියේය. රුවන් ගුණසේකරගේ හැසිරීම කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් බවට ද සටහන් තබා ගන්නැයි නීතිඥවරයා ප්‍රකාශ කළේය. සාක්කි ලබාදෙමින් එම පුද්ගලයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘මම වැඩ කරපු සල්ලි ගන්න ගියේ. මං දැක්කා වෙඩි තියනවා. පළවෙනි වෙඩිල්ල තියද්දියි මං එතනින් පාස් වුණේ. මුලින්ම වෙඩිල්ල තිබ්බේ බිමට. මීටර් 20ක් 30ක් යද්දි තමයි දෙවැනි වෙඩිල්ල තිබ්බේ. ඒක තිබ්බේ පපුවට. මං එක්ක ගියපු කෙනාගේ අතට කෑල්ලක් වැදුණේ පළවෙනි වෙඩිල්ලේ. දෙවැනි වෙඩිල්ල පපුවට තියනවා දැක්කා. යතුරු පැදිය නතර කරලා ආයිත් සල්ලි ගන්න ගියා. සල්ලි ගන්න ගිය කෙනා පොලිසියට කිව්වා කියලා මං හිතන්නේ. සතියකට විතර පස්සේ කටඋත්තර ගන්න එන්න කිව්වා.’

සාක්කි අංක 06 ලෙස නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත ඊළඟට සාක්කි ලබාදුන්නේ 58 හැවිරිදි ජයතිලක බණ්ඩා නම් අඹන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

වෙඩි 01යි 

‘සිද්ධය වෙච්ච දවසේ අඹන සේනාගම නිවසේ සිට නාඋලට බඩු ගෙනියන්න ආවා. අඹන සිට නාඋලට එන්න තියෙන අඹන හංදියෙන් හැරිලා ඇළහැර පාරේ ආවේ. මම නාඋලට එද්දි – – – හංදියේ කන්ද පාමුල මම එනකොට පොලිසියෙන් මහත්තුරු වගයක් පොර බැදුවා. මං එද්දි දකුණු පැත්තේ පොලිසියේ ඇඳුමෙන් දෙන්නෙක් හිටියා. අනිත් මහත්තයා සිවිල් හිටියේ. ඒ තුන්දෙනා තමයි පොර බැදුවේ. ඒ වෙලාවේ ත්‍රීවිල් එකක්, බයිසිකල් එකක් වගේ තිබ්බා, හරියට මතක නෑ. මම බයිසිකලය ස්ලෝ කරලා බැලුවා. වෙන මුකුත් මං දැක්කේ නෑ. මං ටවුමට ආවා. මට වෙඩි ශබ්දයක් වගේ ඇහුණා. එච්චරයි. වෙඩි 01යි ඇහුණේ.’

ඉන්පසුව මරණ පරීක්ෂණයේ සාක්කි ලබාදුන්නේ මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියෙකි. මේ වන විට මාතලේ පොලිසියේ සේවය කරන, එම සිදුවීම සිදු වන අවස්ථාව වන විට නාඋල පොලිසියේ සේවය කරමින් සිටි පොලිස් සැරයන් 36705 අංක දරන විජේතුංග බණ්ඩාර නම් 56 හැවිරිදි පොලිස් නිලධාරියා නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදෙමින් මෙසේ ද පැවසීය.

පොලිසියේ සාක්කි

‘1988 දෙසැම්බර් 08 වැනිදා මම පොලිසියට බැඳුණේ. දැන් අවුරුදු 34කට ආසන්න වෙනවා. 2022 මාර්තු 03 නාඋල පොලිසියට අනුයුක්තවයි රාජකාරි කළේ. එදා දිවා ජංගම රාජකාරි පැවරිලා තිබුණා. මම උදේ 6.35ට රාජකාරියට වාර්තා කළා. ස්ථානාධිපතිතුමා විසින් ලිඛිතව නියෝග ලබා දී තිබුණා එම රාජකාරි සඳහා.’

ඉදිරි ක්‍රියාමාර්ග අවශ්‍යයි

එම නියෝගයේ පිටපතක් පැ.09 ලෙස ඉදිරිපත් කරන බව රුවන් ගුණසේකර අධිකරණයට දැනුම් දුන්නේය. එම අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළේ නාඋල පොලිසියේ පොත් ඉදිරිපත් කරමින් පොලිස් නිලධාරියාගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරන බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් ඉන්පසු තොරතුරු සටහන් පොත ලබාදී අදාළ නියෝගවල පළමු නියෝගය සහ පස්වැනි නියෝගය කියවන ලෙස රුවන් ගුණසේකර දැනුම් දුන් අතර, ඒ අනුව එම නියෝගය කියැවීම සිදුවිය.

‘මා පිටවීමේ සටහන් යොදලා පොලිස් සැරයන් 4832 ජනක සහ පොලිස් සැරයන් 27076 වීරසේකර යන නිලධාරීන් සමග ඩබ්ලිව් පී ඒබීබී 2332 දරණ ත්‍රීරෝද රියෙන් අංක 02 නිල ඇඳුමෙන් යන්න ගියා. 600837 අංක දරණ පිස්තෝලයක් පතුරම් 10ක් සහිත පතුරම් ගැබ් එකක් මා රැගෙන ගියා. යන්න යද්දී පොලිස් සැරයන් තෙන්නකෝන් නිලධාරියා දැනුම් දුන්නා, නාඋල පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැකකරුවකු අධිකරණයට රැගෙන යෑමට ජංගම රථය ලබාගැනීමට අවශ්‍ය බව. ඒ ගැන ස්ථානාධිපති දැනුවත් කළ බවත් ඔහු කිව්වා. ඉන්පසු ස්ථානාධිපති හමුවී මේ ගැන දැනුම් දුන්නා. ඉන් අනතුරුව පොලිස් සැරයන් ජනක නිලධාරියා සමග යතුරුපැදියෙන් සංචාරය කරන්න නියෝග ලබාදුන්නා.

ගිනිඅවිය සහ පතුරම් මා සතුව තිබ්බේ. මම පිස්තෝල රඳවනය ඉණ බඳපටියේ රඳවාගෙන තමයි පිටව ගියේ. අපි මුලින්ම – – –  සහ – – – ප්‍රදේශවලට  සංචාරය කළා. එහෙට ගියේ කිහිපදෙනකු අත්අඩංගුවට ගන්න. ඒත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඉන්පස්සේ නාඋල නගරයේ හෝටලයකින් උදේ ආහාරය ලබාගත්තා. කෑම කාලා ඉවර වෙලා — ප්‍රදේශයට සංචාරය කරන්න තීරණය කළා. මම කාලා එද්දි තොරතුරක් ලබා දුන්නා, නාඋල ඇළහැර – – – කන්ද පාමුල පුද්ගලයන් දෙන්නෙක් ත්‍රීවිල් එකකින් විෂ මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් අලෙවි කරනවා කියලා. එම තොරතුරු ලැබුණු බවට මගේ සාක්කු සටහන් පොතේ සටහන් යොදලා තිබෙනවා. මාර්තු 03 පැ09.45ට නාඋල ඇළහැර මාර්ගයේදී මෙම සටහන යොදලා තියෙනවා. (සාක්කු සටහන් පොත අධිකරණයේ අවධානයට යොමු කරයි.)

එම අවස්ථාවේ මා සමඟ සිටි පොලිස් සැරයන් ජනක නිලධාරියාට දැනුම් දුන්නා ඒක පරීක්ෂා කරන්න කන්ද පාමුලට යමු කියලා. ඒ අනුව ඒ දෙසට ගියා. නාඋල සිට ඇළහැර මාර්ගයේ ගමන් කළා. – – –  කන්ද පාමුල පල්ලම බහිනවත් එක්කම මීටර් 75ක් පමණ දුරින් මට තොරතුරු දුන් විදිහටම දෙන්නෙක් ත්‍රීවිල් එකට නගිනවා දැක්කා. ත්‍රීවිල් එක පාරේ වම් පැත්තේ නවත්වලා තිබ්බේ. පාරේ වම් පැත්තේ ඇළහැර දෙසට මුහුණලා නතර කර තිබුණේ. පුද්ගලයන් දෙන්නෙක් දුවගෙන ඇවිත් වීල් එකට නැග්ගා. මම ඒ අවස්ථාවේ සැරයන් ජනකට දැනුම් දුන්නා ඉක්මනින් යතුරුපැදිය ගිහින් ත්‍රීවිල් එක ඉදිරියේ නතර කරන්න කියලා. ත්‍රීවිල් එකට ඉස්සෙල්ල නැංග කෙනා අඳුරන්නේ නෑ. දෙවැනියට නැග්ගේ තිස්ස කියලා මම අඳුනගත්තා.

ජනක නිලධාරියාට මං කිව්වා අනිත් පැත්තෙන් එන්න කියලා. මං යතුරුපැදිය වම් පසින් ත්‍රීවිල් එකේ පිටුපසින්  පරීක්ෂා කරන්න ළඟා වුණා. ජනක නිලධාරියා ත්‍රීවිල් එකේ වම් පැත්තෙන් ඉන්න කෙනාට බහින්න කියලා කතා කළා. ඔහුව පරීක්ෂා කරන්න කියලා මං දැනුම් දුන්නා. ඒ වෙලාවේ ත්‍රීවිල් එකේ පිටිපස්සේ දෙන්නයි රියදුරුයි එක්ක 03යි. මුලින්ම ත්‍රීවිල් එකෙන් බිමට බැස්සෙ තිස්ස කියන කෙනා. තිස්ස කියන කෙනාව පරීක්ෂා කරන්න ජනකට කියලා මං දෙවැනි පුද්ගලයා පරීක්ෂා කරන්න කතා කළා. එයා ඒක ප්‍රතික්ෂේප කළා. අරයත් පරීක්ෂා කරන්න ඉඩදෙනවා, ඔයත් ඉඩදෙන්න කියලා පිටට තට්ටුවක් දාලා මං කිව්වා. එයා බයවෙලා වගේ කලබල වෙලා වගේ සාක්කුවට අත දාගෙන බැස්සා.

ඒ වෙනකොට මගේ අවිය තිබුණේ මගේ දකුණුපස පිස්තෝල රඳවනයේ. මම වම් පැත්තේ සාක්කුව පරීක්ෂා කළා. එහි ලොකු ජංගම දුරකතනයක් තිබුණා. දකුණු පස සාක්කුව පරීක්ෂා කරන්න දුන්නේ නෑ. ඔහු කලිසම් සාක්කුවේ අත දාගෙන හිටියේ. ඔහුගේ විරෝධය මත දකුණු සාක්කුවට අත දැම්මා. එවිට ඔහු මා සමඟ පොරබැදුවා. ඔහුගේ සාක්කුවේ තිබිලා යම් දෙයක් අහුවුණා. පොර බදද්දි කොටසක් බිමට වැටුණා. ඒක ගන්න බිමට නැමෙනකොටම මගේ යටි බඩට දණිස්සෙන් ඇන්නා. ඊටපස්සේ එකපාරටම පිස්තෝලය උදුරලා ගත්තා. යටි බඩට වැදුණු නිසා මං ඒ වන විට දැඩි වේදනාවෙන් සිටියේ. ඒ වන විට රියදුරා රියදුරු අසුනේ වාඩිවෙලා හිටියේ. තිස්ස කියන පුද්ගලයා ඒ ආසන්නයේ ත්‍රීවිල් එකේ ඉදිරිපිටට වෙන්න සයිඩ් එකේ හිටියා.

පිස්තෝලය උදුරගත්තේ තුන්වැනි පුද්ගලයා. ඒ අවස්ථාවෙදි මා සමග සිටි ජනක නිලධාරියා එකපාරටම රාල කියලා එතනට පැනලා. රාල කියන පුද්ගලයා දකුණු සාක්කුවේ අත දැමුවට පස්සේ අහුවුණේ හෙරොයින් කියන මත්ද්‍රව්‍ය. ඉන් කොටසක් තමයි බිම වැටුණේ. බිම වැටුණු ඉතුරුටිකත් මං බාරයට ගත්තා. ඒ අවස්ථාවෙදි ජනක නිලධාරියාගේ අතිනුත් පිස්තෝලය උදුරගෙන පැන්නා. ජනක කියන නිලධාරියා වෙපන් එක ලෝඩ් කරලා බිමට වෙඩි තිබ්බා, දඟලන්න එපා කියලා. එයා ඇහුවේ නැතුව පොර අල්ලන්න පටංගත්තා.’

සිද්ධියට අදාළ ප්‍රශ්න

පිස්තෝලයක් වෙඩි තැබීමට සූදානම් කරන තුරු ආරක්ෂිත ද යන්න සහ ඒ ආශ්‍රිත ව රුවන් ගුණසේකර ප්‍රශ්න කරද්දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා නැගී සිට ඊට විරෝධය පළ කළ අතර, මරණ පරීක්ෂණයේදී මෙම නිලධාරියාගෙන් සිදුවීම ගැන ප්‍රශ්න කරනවා වෙනුවට මතයක් විමසීම වැරදි බව ප්‍රකාශ කළේය. මෙම නිලධාරියා ගිනිඅවි සම්බන්ධ විශේෂඥයකු නොවන බැවින් විශේෂඥ මත මෙම නිලධාරියාගෙන් විමසීමෙන් ඵලක් නැති බවත්, සිද්ධියට අදාළ ප්‍රශ්න පමණක් අසන ලෙසත් මහේස්ත්‍රාත්වරිය රුවන් ගුණසේකරට දැනුම් දුන්නේය.

ඉන්පසු නැවතත් සාක්කි ලබාදෙමින් පොලිස් නිලධාරියා මෙසේ ද ප්‍රකාශ කළේය.

‘එකපාරට නැවත වතාවක් වෙඩිල්ලක් පත්තු වුණා. ඒකෙන් රාල කියන පුද්ගලයා තුවාල වුණා. රාල තමයි පිස්තෝලය උදුරගන්න පොරබැදුවේ. ඒ වෙලාවේ 10ට විතර ඇති. ඒ වෙලාවේ අවාසනාවන්ත සිද්ධියක් වුණා. හොස්පිටල් එකට තුවාලකරු අරං යන්න කියලා ත්‍රීවිල් රියදුරුට කිව්වා. ඒ වෙලාවේ එතන ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා අපි ඉස්සෙල්ලා ආවා. මම ඒ වෙලාවේ ස්ථානයට ඇවිත් පොලිස් ස්ථානාධිපතිතුමා දැනුවත් කරලා රෝහලට බලන්න යවන්න කිව්වා. පිස්තෝලය උදුරාගන්න වෙලාවේ පිස්තෝලය තිබුණේ රඳවනයේ.’

රහස් සංඥා

ඉන් අනතුරුව පිස්තෝල රඳවනය පරීක්ෂා කිරීමට නඩු භාණ්ඩ විවෘත කරද්දී ඊට අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා විරෝධය පළ කළ අතර, අදාළ නඩු භාණ්ඩය විවෘත කර පෙන්වා සිටීමට අධිකරණයේ අවසරය ලැබිණි. එය පරීක්ෂා කර බලා පොර බැදූ අවස්ථාවේ ඉරුණු බව කියමින් තැනක් පොලිස් සැරයන්වරයා පෙන්වා සිටියේය. පෙන්වා සිටිමින් කරුණු විස්තර කියද්දී පරීක්ෂණ බාරව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා නැගිට ගොස් විමර්ශන කරන ස්ථානාධිපතිට යමක් ප්‍රකාශ කළ අතර, එවිට එම ස්ථානාධිපතිවරයා සාක්කිකාර පොලිස් සැරයන්වරයාට රහසේ අතින් සංඥාවක් කරමින් නතර කරන ලෙස ඉඟිකරනු දක්නට ලැබිණි.

එම නඩු භාණ්ඩ පරීක්ෂා කර නැවත රුවන් ගුණසේකර ප්‍රශ්න විමසද්දී නඩු විභාගයේදී කරන කටයුතු සහ ඇසිය යුතු ප්‍රශ්න රුවන් ගුණසේකර මෙම අවස්ථාවේදී විමසන බවත්, මෙය මරණ පරීක්ෂණයක් බැවින් සාක්කි මෙහෙයවිය යුත්තේ මරණ පරීක්ෂණය සඳහා පමණක් බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ඔහුගේ හැසිරීමෙන් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය වන බවත් නීතිඥවරයා කීවේය. ඒ අනුව මරණයට හේතුව අනාවරණය කරගැනීමට අදාළ දේවල් පමණක් විමසන ලෙස අධිකරණය දැනුම් දුන්නේය. රුවන් ගුණසේකර සාක්කි මෙහෙයවීම අවසන් කිරීමෙන් පසු අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයේ අවසර ඇතිව යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් සැරයන්වරයා කීවේ තොරතුරු ලැබුණේ තොරතුරුකරුවකුගෙන් බවයි. අපරාධ සටහන් පොත් රැගෙන නොගිය බවත්, සිදුවීමෙන් පසු නැවත එද්දී රත්තරන් බඩු කඩයකින් හෙරොයින් කිරාගත් බවත් ප්‍රකාශ කළ අතර, එම වේලාව මතක නැති බව සඳහන් කළේය.

ඒ අනුව තොරතුරු පොත පරීක්ෂා කර වේලාව ප්‍රකාශ කරන ලෙස දැනුම් දුන් අතර, තොරතුරු පොත මිනිත්තු 7ක් පමණ පරීක්ෂා කර බලා ඊට අදාළ වේලාව සටහන් කර නැතැයි දැනුම් දුන්නේය. මෙතරම් සිදුවීමක් සිදුවී තිබියදී ජුවලරි කඩයකට ගියාදැයි ඇසූ විට පොලිස් සැරයන්වරයා කීවේ ස්ථානාධිපතිට දැනුම් දී එහි ගිය බවයි. ස්ථානාධිපතිට සිද්ධිය ගැන දුරකතනයෙන් දැනුම් දුන්නාදැයි ඇසූ විට එලෙස දුරකතනයෙන් දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේය. ඉන්පසු සටහන් දැමුවේ පොලිසියට පැමිණ බවත්, නැවත පොලිසියට පැමිණියේ 11.05ට පමණ බවට සටහන් වී ඇති බවත් සැරයන්වරයා ප්‍රකාශ කළේය.

ටිපෙක්ස්

එම තොරතුරු පොතේ ඇතැම් ස්ථාන ටිපෙක්ස් කර ඇති බව අධිකරණයට දැනුම් දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා, මෙම තොරතුරු පොත නැවත පොලිසිය අතට පත්වුවහොත් තවත් වෙනස්කම් කරනු ඇතැයි සැකසහිත බැවින් එය අධිකරණය බාරයේ තබාගන්නා ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට විරෝධය නොදක්වන බව රුවන් ගුණසේකර ද ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම තොරතුරු පොත අධිකරණය බාරයේ තබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන චාරක ධර්මසිරි, සුරේන් ඩී පෙරේරා, හෂානි පතිරණ, මාධව ඊරියගම සහ මනුෂිකා කුරේ පෙනී සිටි අතර, මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවීම සඳහා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, මධ්‍යම පළාත් නීති ඒකකයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ නිලුපුල් සෝමසිංහ, පොලිස් නීති කොට්ඨාසයේ නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර, මධ්‍යම පළාත් නීති ඒකකයේ නීතිඥ දිලීප මාගම්මන සහ නීතිඥ දයා කුමාරසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.

රස පොළොවෙන් ‘රිද්ද ගත්තෙමි!

0

ගමේ යකා කිව් සැණින් මගෙ සිතේ මැවෙන සිතුවම් දෙකක් වෙයි. පළමුවැන්න සිතුවම් සහිත දෙමළ ජනකතා පොතේ ඇතැයි මතකයේ ඇති, සිබිල් වෙත්තසිංහගේ තෙලි තුඩින් පණ ලැබූ, ඇග පුරා මවිල් වවාගත් විසාල යකෙක්ගේ සිතුවමයි. සුනිල් ආරියරත්න කළ එම කතා සංග්‍රහය කොළපැහැ සිතුවම් කළ ඇගේම කවරයකින් සැරසී සමනල මාවතේ පුන්චිගෙ පොත්‍ රාක්කේ එල්ලී සිටි කාලයේ මම් කුඩා දරුවෙක් වීමි. සිතුවම මතක ඇතත් කතන්දරය මතක නැත. දෙවැන්න ඒ.සී.ජී.එස්.අමරසේකරගෙ ‘යකැදුරාගේ දියණිය’ සිතුවමයි. උසස්පෙළට චිත්‍ර උගනිමින් සිටිද්දීය, ඒ සිතුවම ඇස ගැසුණේ.
කෙසේවෙතත්, කුඩා කාලයේ ජනකතාවලින් ඇසූ විරූ, යක්කුන්ගේ පුවත්, මෑතකාලීනව මෙරට සිංහල අධිපතිවාදී නියම ලේ, ආරිය සිංහල වැනි කියමන් ඔස්සේ අවභාවිත වූයේ “අපි යක්කු” වැනි රැලි මගින් ජාතිවාදය නගා සිටුවන තවත් ප්‍රපංචයක් ලෙසිනි. ඉතිහාසගත කාරණා ඔප්පු කිරීම් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් විය.

ජනශ්‍රැති විශයෙහි මේ සම්බන්ධව යම්බදු අධ්‍යයනයක්, හදුන්වාදීමක් කෘති මගින් සිදුකිරීමට නන්දසේන රත්නපාල, තිස්ස කාරියවසම්, මිනිවන් පී. තිලකරත්න ඇතුලු පිරිස උත්සාහ ගත්හ. මේ හැරුණුවිට ජනකතා සංග්‍රහ පළ වී තිබේ.
නරක කළු පක්ශය නියෝජනය කරන යකුන් කතුවරුන් මිනිසාගෙ ජඩ පක්ශය, නිරූපණයට යොදාගන්නකි. ඔවුන් වෙනම කොට්ඨාසයක් නොව, එකම කාසියේ අනෙක් පැත්ත ලෙසිනි. යකුන් ගැන වන උප්පත්‍ති කතා, යාතුකර්ම, පූජා විදි, දෙවිදේවතාවන් හා බද්ධය. මෙහි විශේෂය නම් ජන ව්‍යවහාරයේදී සියල්ල විනාශ කරන, විපත් පමුණුවන, පීඩා ගෙනෙන බව සැලකෙන යකුන්ව නරයන් විසින් අල්ලා ගැනීම, ගස් බැදීම, බෝතලේට දැමීම, උන්ගෙන් වැඩ ගැනීම පමණක් නොව සමච්චල් කරමින් විහිලු සපයන දෙයක් බවට පත්කිරීමක් දක්වා වැඩිවීමයි. භීතිය ක්‍රමයෙන් හාස්‍යක් දක්වා විතැන් වීමයි.
රසපොළොව පිළිබද කතා බුදුදහමේ මෙන්ම සෙසු ආගම්වල ද අඩුවැඩි වශයෙන් ඇතුළත් වන්නකි. ආලෝක් නම් යක්ශයා, නරයන්ගේ ලෝකයේ රස පොළොව විමසා බලමින් ප්‍රීනනයටත්, ශෝකයටත්, විවිධ මනෝභාවයන්ට පත්වීම සංඛේතීයය. විකුම් ජිතේන්ද්‍ර කෘතියේ කවරය සදහා, ප්‍රධාන චරිතය වන යකා යොදා නොගෙන කතාවෙ සාරය පෙරාගැනීම, සමස්‍තාර්ථය ගැනීම පැසසුම් කටයුතුය.

අතීතයේ ඇසූ යක්කුන්ගේ කතාවල මූල මණ්ඩලවලට කිමිදී, වන්දනාමය බවින් සහ ඇතැම් අන්තගාමී සංස්කෘතික සම්මුතිවලින් පාඨකයා මුදවා, ඓන්ද්‍රජාලික සැරියක ගෙනයාමට ප්‍රභාත් ජයසිංහ “රස පොළොවෙන්” සමත් වේ. පළවෙනි වාක්‍ය කතාවේ උච්චස්ථානයකින් ඇරඹෙන්නේ, ආලෝක් යකා පමණක් නොව කියවන්නාව ද ලණුවලින් ගැට ගසා දමමිනි. පළවෙනි වැකි කිහිපය අවසාන වද්දී, පාඨකයා පිබිදුණු රස භාව ඇතිව වශීගුලියක් සේ පොතට ඇලේ. වෙලේ. ‍මෙනයින් අප තුළ ගුහාගතව පැවති අතීතස්මරණ වෙත ආලෝකය යොමවා දූලි ගසා පියා පිසදා ඔපකර යලි වැඩට ගැනීමට ප්‍රභාත් සමත් වේ.

භාෂාව හැසිරවීමේ සුඛනම්‍යතාව, අනවශ්‍ය වැකියකුදු යොදානොගැනීම, බසෙන් උපරිම ප්‍රයෝජන ගැනීම, පිරිපහදු බසක් වෙනුවෙන් වෙහෙසීම රස පොළොව පුරා දක්නට ලැබෙන්නකි. වාක්‍යක් කියවා ඊළග වාක්‍යට පනිද්දි ප්‍රභාත් අප විස්මයට පත්කර අවසානය. ඉතින් පාඨක මුවින් ඉබේම “යකෝ!!!!’ යි නොකියවේද?
මූලික ක්‍රියා විකාශන භූමිය ගම සහ වනයය. නැතිනම් නර පුරය සහ යක් පුරයයි. මේ අතර දෝලනය වන සිදුවීම් අපව උන්හිටි තැන්වලින් ගෙන ගලවා මහ පොළොවට දමා අතාරින්නාක් වැන්න. චරිත විස්තර කිරීමට නොයා චරිත නිරූපණයට යයි. එබැවින් ආලෝක්ගෙ පක්ෂයේ පාඨකයා පමණක් නොව අග්නි රුක් දෙවියා පවා සිට ගනී.!

කතුවරයා රස පොළොව හදුන්වා දෙනුයේ, ‘කෙටිකතා චක්‍ර’ ලෙසිනි. කෙටිකතා රචනයෙහි අනවරත වෙහෙසක යෙදෙන කතුවරයා, නව සංකල්ප ඇසුරු කරමින් අත්හදබැලීම්වල නිරතවෙමින් කෘතියට අවංක වීම අගය කළ යුතුය. නන්දසේන රත්නපාල ද ‘ජනශ්‍රැති විද්‍යාවෙ’න් ජනකතා අතර වන, ‘කතා චක්‍ර’ හදුන්වා දෙයි. කෘතිය අවසානයේ එන සටහනින් කෙටිකතා චක්‍ර ගැන වැඩිදුර විමසිය හැකිය.

ප්‍රභාත් ජයසිංහයෙනි, රස පොළොවෙන්’ රිද්ද ගත්තෙමි!

ඩිල්ශානි චතුරිකා දාබරේ

පොලු ගත් පිරිස හමුදාවේ ද – වෙනත් කණ්ඩායමක් ද ? : අපිටත් අඳුනගන්න බෑ, විමර්ශනයක් කරනවා – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පසුගිය 07දා ශිෂ්‍ය විරෝධතාව මර්දනය සඳහා පැමිණි බවට ඡායාරූපවල සඳහන් පොලු රැගත් පිරිස යුද හමුදාවේ පිරිසක් ද යන්න පිළිබඳව හඳුනාගැනීමට විමර්ශනයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් thetime.lk වෙත පැවසීය.

යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන විරෝධතා මර්දනය සඳහා යෙදවීම මෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිටියදී හමුදාව ඉදිරියට යැවීමේ නියෝගය පැමිණියේ කාගෙන්ද යන්න පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

‘පිටුපසින් ගත් ඡායාරූප’

එම ඡායාරූප පිටුපසින් ගත් ඒවා නිසා අදාළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකිව සිටින බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා, එම නිල ඇඳුම යුද හමුදා නිල ඇඳුම බව පෙනීයන්නේ යැයි ද පැවසීය.

‘බැටන් පොල්ල හොයන්නත් බෑ’

අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිත කිරීම සඳහා පොලිසිය භාවිත කරන ආකාරයේ බැටන් පොල්ලක් හමුදා සෙබළුන්ට ද ලබාදී ඇතැයි ඔහු කීවේය. අදාළ ඡායාරූපවල ඇත්තේ එම බැටන් පොල්ල බව තහවුරු කළ හැකි දැයි විමසීමේදී බ්‍රිගේඩියර්වරයා පැවසුවේ පිටුපසින් ගත් ඡායාරූප නිසා එය ද නිශ්චිත ව තහවුරු කළ නොහැකි බවයි.

‘ඉස්සරහ හිටියෙ නෑ’

සාමකාමී විරෝධතා පාලනය සඳහා පොලිසිය සහ කැරලි මර්දන අංශ තිබියදී මෙසේ යුද හමුදා භට කණ්ඩායමක් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ එය ද විමර්ශනයට අදාළ බවයි. පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙවැනි අවස්ථාවල ඉදිරියෙන් සිටින බවත්, යුද හමුදාව මේ අවස්ථාව වන විට ඉදිරි රාජකාරි සඳහා යොදවා නොසිටි බවත් අප කළ විමසීමේදී ඔහු වැඩිදුරටත් පැවසීය.

‘එතැන ම ද ?’

කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, මෙම ඡායාරූප අදාළ සිදුවීම අවස්ථාවේදී ගත් ඒවා ද, එසේත් නැත්නම් වෙනත් ස්ථානයක ගත් ඒවා ද යන්න සහ සංස්කරණය කළ ඒවා ද වැනි සියලු කරුණු විමර්ශනයට ඇතුළත් බවත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

තැන මෙන්න !!!

යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන අදාළ විරෝධතාව මර්දනය කරන අවස්ථාවේ ඉදිරියෙන්ම සිටියහ. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය විය. එම පිරිස ස්ථානගත කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයත් – කලා පීඨයත් අතර ය.

පොලු සඟවාගැනීමේ උත්සාහයක්

මුලදී ඉදිරියෙන් සහ පසුව පිටුපසින් සිටි මෙම පිරිස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අතරතුරදී පොලු සඟවාගැනීමේ උත්සාහයක යෙදෙනු ද නිරීක්ෂණය කළ හැකි විය.

මෙම පිරිස යුද හමුදා භට කණ්ඩායමක් ද, වෙනත් කණ්ඩායමක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතු වී තිබේ.

වෙනත් කණ්ඩායම්

2022 මාර්තු 31දා සිට මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වූ අවස්ථාවලට වෙනත් කණ්ඩායම් පැමිණ පහර දුන් අවස්ථා ද තිබිණි.

බරපතළ කරුණක්

කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙම කණ්ඩායම හමුදා සෙබළුන් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පැවසීම බරපතළ කරුණකි. මෙවැනි පොලු ගත් හමුදා කණ්ඩායම් විවිධ විරෝධතා මර්දනය සඳහා යොදාගත් අවස්ථා පිළිබඳ ඡායාරූප තිබේ.     

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පෙරේදා (07) පැවැත්වූ මෙම විරෝධතා පාගමන ලිප්ටන් වට රවුම ආසන්නයෙන් ආරම්භ කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලය අසල දී එය දරුණු ලෙස මර්දනය කෙරුණු අතර, එහිදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී එහි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටි ශිෂ්‍යයන්ට ද පහර දී තිබිණි. එසේ ම විශ්වවිද්‍යාලය තුළට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කර තිබිණි.

ඊයේත් ප්‍රහාර

මීට විරෝධය පළකරමින් ඊයේ (08) එම ස්ථානයේ දී විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන්පසු පැවති සාමකාමී පාගමනට ද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙරිණි. එම ප්‍රහාරවලින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සිසුහු ද බලවත් පීඩාවට පත්වුහ.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගය අද (9) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ක්‍රයිස්චර්ච් නුවරදී ආරම්භ විය.

දෙපිල අතර තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත්වීමට අතිශය වැදගත් වනු ඇත.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටීම් සවුදි, පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

පළමුව පන්දුවට පහරදෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 239ක් ලබා සිටියි.

නායක දිමුත් කරුණාරත්න සහ ඕෂද ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 14ක් පමණක් රැස් කළ අතර ඕෂද ප්‍රනාන්දු නායක සවුදි ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

දිමුත් සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක ශක්තිමත් සම්බන්ධතාවයක ගොඩනැගූ අතර දෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේය.

දැවී යනවිට කුසල් පන්දු 83කට මුහුණ දෙමින් ලකුණු 87ක් රැස් කරගෙන සිටි අර ඊට හතරේ පහර හතරේ පහර 16ක් ඇතුලත්ව තිබිණි.

නායක කරුණාරත්න ලකුණු 50ක් රැස් කළ අතර දි නේෂ් චන්දිමාල් ලකුණු 39 කට දැවී ගියේය. යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37 ක් ලබා සිටින අතර චන්දිමාල්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දනංජය ද සිල්වා නොදැවී ලකුණු 02 ක් රැස් කරගෙන සිටියි.