“කෞතුකාගාරයේ දුටු ඒ ගැහැනු රූපය සහිත ගිරය හිත ඇතුළෙ හොල්මන් කළා ….”

Share post:

පසුගාමී විවාහ සංස්ථාව නිර්දය ලෙස දෙපළු කළ නූතනවාදී ගිරය හෙවත් පුණ්‍යකාන්ති විජේනායක ජීවිත ගමනට නැවතුම තැබුවාය.

ඉංග්‍රීසි බසින් සාහිත්‍යකරණයේ යෙදුණු, ඉංග්‍රීසි සාහිත්‍යකාමීන් අතර ජනප්‍රිය ලේඛිකාවක වූ පුණ්‍යකාන්ති විජේනායක 1994 වසරේ දී Amulet නම් කෘතිය උදෙසා ග්‍රේෂන් ත්‍යාගය ද දිනාගැනීමට සමත් වූවාය. එසේ නුමුදු පුණ්‍යකාන්ති විජේනායක යන නම භාෂා භේදයකින් තොරව පොදු රසික සමාජයට මුසුවන්නේ ඇගේ සාහිත්‍ය සැරිසැරියේ අග්‍රඵලය බඳු ‘ගිරය’ නම් ඉංග්‍රීසි නවකතාව ඔස්සේ ය.

2013 වසරේ ‘රිවිර’ පුවත්පතෙහි ‘කලස’ සාහිත්‍යය අතිරේකය සමග සාකච්ඡාවක දී ඇය මෙසේ පවසා තිබුණාය.
‘දවසක් මම ගියා කොළඹ කෞතුකාගාරයට. එහි කෞතුක භාණ්ඩ අතර මම දැක්කා එක්තරා ගිරයක්. ඒක විශේෂ පිත්තල ගිරයක් .ගිරයේ හිසේ තිබුණෙ වැඳගෙන ඉන්න කකුල් දෙපසට දමාගත් ගැහැනියකගේ රූපයක්. කොණ්ඩයක් බැන්ද අමුතු භාව ලීලාවකින් ඉස්සරහ බලා ඉන්න විධියට කොටා තිබුණු ඒ පිත්තල ගැහැනු රූපය මට අමුතු හැඟීමක් ඇති කළා. කෞතුකාගාරය බලලා එළියට ආවාට පස්සෙත් මං ඒ ගැහැනු රූපය සහිත ගිරය හිත ඇතුළෙ හොල්මන් කළා …..’
1976 වසර තරම් ඈත අතීතයක දී Giraya නමින් ඉංග්‍රීසියෙන් ලියූ නවකතාව අසූව දසකයේ අග භාගයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ‘ගිරය’ යන නමින් ම ටෙලි නාට්‍යයට නැගුවේය. සෝමවීර සේනානායක විසින් තිරපිටපත ලියූ ‘ගිරය’ ටෙලි නාට්‍යය හරහා පුණ්‍යකාන්ති විජේනායක විසින් සමාජය සහ විවාහ සංස්ථාව පිළිබඳ වෙනත් මානයකින් ලියන ලද නවකතාව සාහිතකාමීන් ලෝලනය කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1992 වසරේ දී කළුබෝවිල සිරිල් සී.පෙරේරා මහතා විසින් ‘ගිරය’ නමින් ම එම කතාවට සිංහලයට පරිවර්තනය කරනු ලැබිණ.

පුණ්‍යකාන්ති විජේනායක නම් වූ අප්‍රමාණ ප්‍රතිභාවකින් හෙබි සාහිත්‍යවේදිනියගේ සමුගැන්ම සමග මේ ලියැවෙන සටහන ඇය පිළිබඳ ගුණ වර්ණනාවක් නොවන්නේය. මෙම සටහන ඇගේ ඉසියුම් සමාජ කියවීම සහ සංකීර්ණ ජීවන අත්දැකීම් ග්‍රහණය කරගැනිමේ දී ඇය දැක්වූ ඉදිරිගාමීබව පිළිබඳ සරල ඉඟියක් පමණි.

ගරාවැටෙන වලව්වක මාන්නකාරී හිමිකාරිය ඇඩ්ලින්. ගූඪ හැසිරීමක් ප්‍රකට කරන ආවේගශීලි මෙහෙකාරිය ලුසිහාමි. ගුප්ත හැසිරීමක් ඇති පුත්‍රයා ලාල් සහ ඔහු හට සරණ පාවා දෙන උගත් නමුත් දුප්පත් සහ බල රහිත රූමත් බිරිඳ කාමිනී. මේ සියල්ල මැද විනිර්මුක්තව ඉන්නන් වාලේ සිටින වලව්වේ දියණිය මානෙල්. ‘ගිරය’ වනාහි ඔවුන් කිහිපදෙනෙකුගේ කතා වස්තුවයි.

නවකතාව තුළ ලාල් සහ කාමිනී හට දරුවෙක් සිටි නමුත් ටෙලි නාට්‍යය පිටපතට අනුව ඔවුන් දෙදෙනාට දරුවන් සිටියේ නැත. ලාල් නිතරම ගෙදරින් පිටත සිටින්නට ප්‍රිය කරන අතර ඔහු සිතාමතා ම තම රූමත් බිරිඳ කාමිනීව මග හරින්නට තැත් කරන බවක් ද ඇයගේ සමීප ඇසුර නොරුස්සන බවක් ද පීටර් ද අල්මේදාගේ රංගනය වරින්වර අපට ඉඟි සපයන්නේය. බාල මහළු සියල්ලන්ට ම පොදු මාධ්‍යයක් වූ පුංචි තිරයට සෝමවීර සේනානායක විසින් අසූව දසකයේ දී ගෙන එන නාට්‍ය පිටපත තුළ ලාල්ගේ මෙම ගුප්ත හැසිරීම සහ චර්‍යාවන් මතුපිටින් ප්‍රශ්නාර්ථයක් ලෙස ඉතිරි කරන අතර සමාජය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නෙක්‍ හට එම චරිතය විනිවිද දකින්නට ද හෙතෙම ඉඩ හසර විවර කර තිබුණේය.
‘අයියට තිබුණේ කසාද නොබැඳ ඉන්නයි’

‘ගිරය’ නවකතාව අවසානයේ සියලු ම ව්‍යවසනයන් සිදු වී අහවර වූ පසුව මුව විවර කරන ලාල්ගේ සොහොයුරිය මානෙල් තම නෑනා වන කාමිනී සමග එසේ පවසන්නීය.

1972 වසර තරම් ඈත යුගයක ලියන ලද නවකතාවක් තුළ පුණ්‍යකාන්ති විජේනායක එලෙස පැටළුම් අරින්නේ අද මේ මොහොත දක්වා ම ලංකාව තුළ සංකීර්ණ සමාජ ගැටළුවක් ලෙස පවතින කරුණක් බව අවබෝධ වන විට ඇයගේ චින්තන ධාරාව එම යුගයට සාපේක්ෂව කෙතරම් දියුණු තලයක පවතින්නට ඇත්දැයි යන විස්මය ඇති වීම වළක්වනු නොහැකිය.
‘අයියට තිබුණේ කසාද නොබැඳ ඉන්නයි’

‘වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය යටතේ චිත්‍රපට දුසිම් දෙක හමාරක් ම නිර්මාණය කළ ද ලුවී වැන්ඩස්ට්‍රාටන් හට විග්‍රහ කර හෝ පැහැදිලි කර නිම කරගත නොහැකි තරම් සියුම් වස්තු විෂයයක් නවකතාව අවසානය වන තෙක් ම නිධන් කොට තැබූ ලේඛිකාව එක දෙබසක් ගුලි කොට සාම්ප්‍රදායික විවාහය නම් වූ දෙබර වදයකට දමා ගැසුවාය.

නමුත්; අවාසනාවකට මෙන් පෙර පරම්පරාවේ බොහෝ දෙනෙක් ලුසිහාමිගේ ගිරයේ කැටයමට වසඟ වූ නමුත් පුණ්‍යකාන්ති විජේනායකගේ ගිරයේ යටිපෙළ අවබෝධ කරගත්තේ නැත. ඉදින් කරුංකා මෙන් ගිරයට කැපී ගිය ජීවිත යළිදු හා නොවෙමින් දුක් විඳින සැටි අදටත්,තවමත් දකිමින්,අසමින් සිටිමු.

ඔබට සුබ ගමන් !

සහන් කසීර වික්‍රමසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...