අඩු මාසයේ කලල

Share post:

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

දුවද්දී පෙකණිවැල එතෙනකොට කුඹගහක
මේ කලල පනිනවැති උඩුබැලිව කරදියට.
නැංගුරම් බදාගෙන ජැටිය ළඟ ගිලෙනකොට
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

බාදියෙන් උදම් වී වඩදියෙන් සිනාසෙන
ජීවිතය වෙරළ උඩ අව්ව තපිනා මොහොත
පෙකණිවැල එතෙනකොට වෙරළ බඩ පොල්ගහක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

ආදරය අහිමි වී හූල්ලන ගොම්මනක
පෙකණිවැල එතෙනකොට බයිසිකල් රෝදයක
වොල්කනයිසින් රබර් හීනයක් හපනකොට
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

සීනි දා වෙඩි තියන රයිපලේකුත් රැගෙන
දඹුලු ගල දිගේ තලගොයි හොයන මිනිසෙකුට
පැටළුණොත් පෙකණිවැල සීගිරියෙ සිතුවමක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

ගෝදම්බ රොටිය උඩ ලෝක සිතියම ඇඳෙන
සීනි පොල්කොහු සතුට උලාකන ඇඳිරියක
පෙකණිවැල එතෙනකොට රේස් බුකියක දොරක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

ටොනික් පියනක් ගිලෙන වැඩවසම් සාදයක
ගල් කාලකින් විඳින බොල්ෂෙවික් ප්‍රීතියක
පෙකණිවැල එතෙනකොට බාබෙකිව් ගින්දරක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද

හඳ එළිය ලෑටි ගා උලාකන මැදියමක
සාස්පානක දපන විනාකිරි හීනයක
පෙකණිවැල එතෙනකොට බකමූණු හාදුවක
හොයනවැති ආයෙමත් ගර්භාෂයක පිහිට.

පෙකණිවැල කපා නැති අඩු මාසයේ කලල
යළිත් ගර්භාෂයක සැඟවෙන්න දුවනවද.

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...