ගමේ යකා කිව් සැණින් මගෙ සිතේ මැවෙන සිතුවම් දෙකක් වෙයි. පළමුවැන්න සිතුවම් සහිත දෙමළ ජනකතා පොතේ ඇතැයි මතකයේ ඇති, සිබිල් වෙත්තසිංහගේ තෙලි තුඩින් පණ ලැබූ, ඇග පුරා මවිල් වවාගත් විසාල යකෙක්ගේ සිතුවමයි. සුනිල් ආරියරත්න කළ එම කතා සංග්‍රහය කොළපැහැ සිතුවම් කළ ඇගේම කවරයකින් සැරසී සමනල මාවතේ පුන්චිගෙ පොත් රාක්කේ එල්ලී සිටි කාලයේ මම් කුඩා දරුවෙක් වීමි. සිතුවම මතක ඇතත් කතන්දරය මතක නැත. දෙවැන්න ඒ.සී.ජී.එස්.අමරසේකරගෙ ‘යකැදුරාගේ දියණිය’ සිතුවමයි. උසස්පෙළට චිත්‍ර උගනිමින් සිටිද්දීය, ඒ සිතුවම ඇස ගැසුණේ.
කෙසේවෙතත්, කුඩා කාලයේ ජනකතාවලින් ඇසූ විරූ, යක්කුන්ගේ පුවත්, මෑතකාලීනව මෙරට සිංහල අධිපතිවාදී නියම ලේ, ආරිය සිංහල වැනි කියමන් ඔස්සේ අවභාවිත වූයේ “අපි යක්කු” වැනි රැලි මගින් ජාතිවාදය නගා සිටුවන තවත් ප්‍රපංචයක් ලෙසිනි. ඉතිහාසගත කාරණා ඔප්පු කිරීම් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් විය.
ජනශ්‍රැති විශයෙහි මේ සම්බන්ධව යම්බදු අධ්‍යයනයක්, හදුන්වාදීමක් කෘති මගින් සිදුකිරීමට නන්දසේන රත්නපාල, තිස්ස කාරියවසම්, මිනිවන් පී. තිලකරත්න ඇතුලු පිරිස උත්සාහ ගත්හ. මේ හැරුණුවිට ජනකතා සංග්‍රහ පළ වී තිබේ.
නරක කළු පක්ශය නියෝජනය කරන යකුන් කතුවරුන් මිනිසාගෙ ජඩ පක්ශය, නිරූපණයට යොදාගන්නකි. ඔවුන් වෙනම කොට්ඨාසයක් නොව, එකම කාසියේ අනෙක් පැත්ත ලෙසිනි. යකුන් ගැන වන උප්පත්‍ති කතා, යාතුකර්ම, පූජා විදි, දෙවිදේවතාවන් හා බද්ධය. මෙහි විශේෂය නම් ජන ව්‍යවහාරයේදී සියල්ල විනාශ කරන, විපත් පමුණුවන, පීඩා ගෙනෙන බව සැලකෙන යකුන්ව නරයන් විසින් අල්ලා ගැනීම, ගස් බැදීම, බෝතලේට දැමීම, උන්ගෙන් වැඩ ගැනීම පමණක් නොව සමච්චල් කරමින් විහිලු සපයන දෙයක් බවට පත්කිරීමක් දක්වා වැඩිවීමයි. භීතිය ක්‍රමයෙන් හාස්‍යක් දක්වා විතැන් වීමයි.
රසපොළොව පිළිබද කතා බුදුදහමේ මෙන්ම සෙසු ආගම්වල ද අඩුවැඩි වශයෙන් ඇතුළත් වන්නකි. ආලෝක් නම් යක්ශයා, නරයන්ගේ ලෝකයේ රස පොළොව විමසා බලමින් ප්‍රීනනයටත්, ශෝකයටත්, විවිධ මනෝභාවයන්ට පත්වීම සංඛේතීයය. විකුම් ජිතේන්ද්‍ර කෘතියේ කවරය සදහා, ප්‍රධාන චරිතය වන යකා යොදා නොගෙන කතාවෙ සාරය පෙරාගැනීම, සමස්‍තාර්ථය ගැනීම පැසසුම් කටයුතුය.
අතීතයේ ඇසූ යක්කුන්ගේ කතාවල මූල මණ්ඩලවලට කිමිදී, වන්දනාමය බවින් සහ ඇතැම් අන්තගාමී සංස්කෘතික සම්මුතිවලින් පාඨකයා මුදවා, ඓන්ද්‍රජාලික සැරියක ගෙනයාමට ප්‍රභාත් ජයසිංහ “රස පොළොවෙන්” සමත් වේ. පළවෙනි වාක්‍ය කතාවේ උච්චස්ථානයකින් ඇරඹෙන්නේ, ආලෝක් යකා පමණක් නොව කියවන්නාව ද ලණුවලින් ගැට ගසා දමමිනි. පළවෙනි වැකි කිහිපය අවසාන වද්දී, පාඨකයා පිබිදුණු රස භාව ඇතිව වශීගුලියක් සේ පොතට ඇලේ. වෙලේ. මෙනයින් අප තුළ ගුහාගතව පැවති අතීතස්මරණ වෙත ආලෝකය යොමවා දූලි ගසා පියා පිසදා ඔපකර යලි වැඩට ගැනීමට ප්‍රභාත් සමත් වේ.
භාෂාව හැසිරවීමේ සුඛනම්‍යතාව, අනවශ්‍ය වැකියකුදු යොදානොගැනීම, බසෙන් උපරිම ප්‍රයෝජන ගැනීම, පිරිපහදු බසක් වෙනුවෙන් වෙහෙසීම රස පොළොව පුරා දක්නට ලැබෙන්නකි. වාක්‍යක් කියවා ඊළග වාක්‍යට පනිද්දි ප්‍රභාත් අප විස්මයට පත්කර අවසානය. ඉතින් පාඨක මුවින් ඉබේම “යකෝ!!!!’ යි නොකියවේද?
මූලික ක්‍රියා විකාශන භූමිය ගම සහ වනයය. නැතිනම් නර පුරය සහ යක් පුරයයි. මේ අතර දෝලනය වන සිදුවීම් අපව උන්හිටි තැන්වලින් ගෙන ගලවා මහ පොළොවට දමා අතාරින්නාක් වැන්න. චරිත විස්තර කිරීමට නොයා චරිත නිරූපණයට යයි. එබැවින් ආලෝක්ගෙ පක්ෂයේ පාඨකයා පමණක් නොව අග්නි රුක් දෙවියා පවා සිට ගනී.!
කතුවරයා රස පොළොව හදුන්වා දෙනුයේ, ‘කෙටිකතා චක්‍ර’ ලෙසිනි. කෙටිකතා රචනයෙහි අනවරත වෙහෙසක යෙදෙන කතුවරයා, නව සංකල්ප ඇසුරු කරමින් අත්හදබැලීම්වල නිරතවෙමින් කෘතියට අවංක වීම අගය කළ යුතුය. නන්දසේන රත්නපාල ද ‘ජනශ්‍රැති විද්‍යාවෙ’න් ජනකතා අතර වන, ‘කතා චක්‍ර’ හදුන්වා දෙයි. කෘතිය අවසානයේ එන සටහනින් කෙටිකතා චක්‍ර ගැන වැඩිදුර විමසිය හැකිය.
ප්‍රභාත් ජයසිංහයෙනි, රස පොළොවෙන්’ රිද්ද ගත්තෙමි!