Home Blog Page 191

කාංචන වෙන පාරක : CIDය මගින් තෙල් සංස්ථාවේ අභියෝගය මර්දනය කිරීමේ සැලැස්මක් !

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෝරාගත් වෘත්තීය සමිති නායකයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විෂය බාර ඇමති කාංචන විජේසේකරගේ පාර්ශ්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෘත්තීය සමිති නායකයා අනිවාර්ය නිවාඩු යවා නැත.

සංස්ථා අභ්‍යන්තරයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදි. එහිදී හඳුනාගත් සංස්ථා සේවකයන් පිළිබඳව කාංචන විජේසේකර ඇමතිවරයා විසින් වාර්තාවක් ලබාගෙන තිබේ. ඉන්පසු ඇමතිවරයා විසින් අදාළ වෘත්තීය සමිති නායකයා ඉලක්ක කොට විමර්ශන ක්‍රියාත්මක කරන ලෙසත්, ඔහුට එරෙහිව නීතිමය පියවර ගත හැක්කේ කෙසේද යනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් දැනුම් දී ඇත.

මහින්ද හමුව

මේ අතර වර්ජනය දින සේවකයන්ට බලපෑම් කළ බවට චෝදනා එල්ල කොට අනිවාර්ය නිවාඩු යවා ඇති වෘත්තීය සමිති සාමාජිකයන් ඇතුළු ඛනිජ තෙල් සේවකයන් 20කගේ කණ්ඩායමක් අද (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබේ. ඒ, ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී ය.

මෙම පිරිස ඉදිරි දින කිහිපයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද මුණගැසීමට සැලසුම් කර තිබේ. එසේම මෙම පිරිස තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

මේ අතර සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සඳුදා (03) සිට මෙම පිරිසට අදාළ විනය පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවයි.

පාවාදීමක් !

වෘත්තීය සමිති නායකයන් මර්දනය කර ඛනිජ තෙල් සම්පත අහිමි කිරීමේ මහා පාවාදීමේ වටිනාකම බලශක්ති ඇමති කාංචන විජේසේකර ඇමතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ක්‍රියාත්මක ඛනිජ තෙල්, වාණිජ සේවා, කර්මාන්ත ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති, අනිවාර්ය නිවාඩු යවා ඇති බන්දුල සමන් කුමාර පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතියේ ප්‍රධානියා ලෙස තමන් සහ සංස්ථාවේ තම වෘත්තීය සමිතියේ අනෙකුත් සාමාජිකයන් 2019 ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කළ කැපකිරීම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සියලු පාර්ශ්ව දන්නා බවත්, එසේ තිබියදී මෙසේ තමන් කියන දේට ඇහුම්කන් නොදී සිටීම දැඩි කණගාටුවක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂය පිහිටුවීමටත් පෙර සිට තමන් ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයන් පොදුජන පෙරමුණු ප්‍රගතිශීලි බලවේගය ගොඩනැගූ බවත්, එහි අරමුණ වූයේ ජාතික සම්පත් සුරක්ෂිත කොට රට දියුණු කිරීම බවත් පෙන්වා දුන් ඔහු, එසේ කළ තමන්ට මෙසේ සැලකීම කිසිසේත්ම අපේක්ෂා නොකළ බව ද අවධාරණය කළේය.

සභාපතිවරයා මෙසේ පැවසුවේ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යැවීමත්, ඔවුන්ට ආයතන පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමත් සම්බන්ධයෙන් කළ විමසීමකදී ය.

සත්‍යග්‍රහයේ සිට වර්ජනය දක්වා

සංස්ථාවේ කොටස් විදේශ සමාගම් 03කට වසර 20ක කාලයක් සඳහා පවරා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබාදීමට එරෙහිව සංස්ථා වෘත්තීය සමිති පසුගිය 28දා උදෑසන සත්‍යග්‍රහයක් ඇරඹීය. බලධාරීන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා සත්‍යග්‍රහය වර්ජනයක් දක්වා පුළුල් කිරීමට 28 පස්වරුවේ එම වෘත්තීය සමිති තීරණය කළේය.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම නතර කෙරිණි. ඉන්පසු ආරක්ෂක හමුදා යොදවා බලහත්කාරයෙන් බවුසර්වලට තෙල් පිරවීමටත්, ඒවා පිටත් කිරීමටත් කටයුතු කෙරිණි. එම උත්සාහයේදී තෙල් බවුසර් 10ක් පමණ පිටතට යැවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ සඳහා සහයෝගය නොදුන් සහ සංස්ථා සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීමට ඉඩනොදුන් වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පියවර ගන්නා බව 28 රාත්‍රියේ ඛනිජ තෙල් විෂය බාර ඇමති කාංචන විජේසේකර පැවසීය.

උදෑසන ලිපිය

ඒ අනුව පසුගිය 29දා උදෑසන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ සේවාවල යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යැවීමට සංස්ථා කළමනාකාරිත්වය තීරණය කර ඇති බවයි.

එසේ ම ඔවුන්ට සංස්ථා පරිශ්‍රවලට ඇතුළු වීම තහනම් කරන බව ද එම නිවේදනයේ සඳහන් විය.

හේතුව කුමක්ද?

විදේශීය සමාගම් 3කට මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව පසුගිය 27දා විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර සඳහන් කළේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පැවසුවේ Hell PLC සමග එක්ව චීනයේ Sinopec, United Petroleum of Australia සහ USA RM Parks යන සමාගම් සඳහා මෙම අනුමැතිය ලැබී ඇති බවයි. ඒ අනුව අදාළ සමාගම්වලට වසර 20ක බලපත්‍රයක් හිමිවීමට නියමිත ය. මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම යන කාර්යයන් සඳහා ඔවුන්ට මෙම බලපත්‍රය හිමි වේ.

නියෝජිත ඉන්ධන පිරවුම්හල්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක නියෝජිත ඉන්ධන පිරවුම්හල් 450ක් රට පුරා තිබේ. එම නියෝජිත පිරවුම්හල් 450, අදාළ සමාගම් 3ට 150 බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

හතර අතේ විකිණෙන ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය : රෝයල් පාක් ලේඛන ඉදිරිපත් කරන්නැයි නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරී තිබූ බලතල යොදාගනිමින් මෙම ජනාධිපති සමාව ප්‍රදානය කරන ලදි. අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙරේදා (30) විභාගයට ගත් අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කෙරිණි.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පවත්වා ඇත.

අතුරලියේ රතන භික්ෂුවගේ ඉල්ලීමට !

අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම, සම්බන්ධීකරණය සහ මැදිහත් වීම මත රෝයල් පාක් ඝාතන නඩුවේ ඝාතක ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදුන් බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. ජනාධිපති මාධ්‍ය අංශය මගින් මේ බව සඳහන් කරමින් නිවේදනයක් ද නිකුත් කළේය.

ජනාධිපතිවරයා ගත් මේ තීන්දුව අසාධාරණ බවත්, තමන්ට ද සමාව ලැබිය යුතු බවත් වැලිකඩ, බූස්ස, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල රැඳවියන් විසින් එහිදී අවධාරණය කරන ලදි. ඔවුන් තම විරෝධය පළ කළේ බන්ධනාගාර වහල මතට නැගීමෙන් සහ ආහාර වර්ජනය කිරීමෙන් ය. මරණ දඬුවම නියම වී සිටින වැලිකඩ සිරකරුවෝ ද ආහාර වර්ජනයක නිරත වෙමින් ජනාධිපතිවරයාගේ මේ අත්තනෝමතික තීරණයට විරෝධය පළකළහ. වසර 04කට වරක් සිදුකරන දඬුවම් සම්බන්ධ සමාලෝචනය පවා විධිමත්ව සිදු නොවන තත්ත්වයක් තුළ මෙය බරපතළ අසාධාරණයක් බව ඔවුහු ඒ මොහොතේ පෙන්වා දුන්හ.

හතර අතේ විකිණෙයි !

ජනාධිපති සමාව යනු මේ රටේ වැඩියෙන්ම අවභාවිත වන බලයකි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ළමා අපචාරයකට වැරදිකරු වූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දුන්නේය. එයිනුත් නොනැවතී මුළු දිවයිනටම සාම විනිසුරු කළේය. එතැන් පටන් රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ දිගටම ජනාධිපති සමාව භාවිත කළේ සුවිශේෂී කරගත් පුද්ගලයන්ට ජනාධිපති සමාව ලබාදීමට ය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ සබරගමුව දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු පිරිසකට මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබාදීමත්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වූ දුමින්ද සිල්වාට සහ මිරුසුවිල් සමූහ ඝාතනයට වරදකරු වූ සුනිල් රත්නායකට ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබාදීමත් පසුගිය කාලයේ කතාබහට ලක්වූ එවැනි අවස්ථා කිහිපයකි.

මෛත්‍රිපාල සිරිසේන විසින් ජූඩ් ශ්‍රමන්තට අමතරව අධිකරණයට අපහාස කළ චෝදනාවට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සහ අල්ලස් චෝදනාවකට වරදකරු වූ වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට ද ජනාධිපති සමාව ලබාදුන්නේය.

රෝයල් පාක් ! 

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී 2005 වසරේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූඞ් ශ්‍රමන්ත ඇන්තනීට කොළඹ මහාධිකරණයෙන් වසර 12ක සිර දඬුවම් නියම කෙරිණි. ඊට එරෙහිව විත්ති පාර්ශ්වයෙන් අභියාචනා කරන ලද අතර, අභියාචනාධිකරණය එය මරණ දඬුවමක් දක්වා වැඩි කළේය. මේ මරණ දඬුවමට එරෙහිව යළිත් විත්ති පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කළේ අභියාචනාධිකරණයට ද මරණ දඬුවම ලබාදිය හැකිය යනුවෙන් විශේෂ තීන්දුවක් ද ලබාදෙමින් ය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කෙරිණි. ඉන්පසු මෛත්‍රිපාල සිරිසේන විසින් ඔහුට පූර්ණ සමාවක් ලබාදෙන ලදි.

34 (1) වගන්තිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය මගින් ජනාධිපතිවරයාට එවැනි සමාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත. එහෙත් එය නීත්‍යනුකූල සලකාබැලීම්වලට ද යටත් ය. මරණ දඬුවම නියම කර ඇති වරදකරුවෙකුට එම සමාව ලබාදීමේදී ව්‍යවස්ථාවට අනුව අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් කැඳවිය යුතුය. එම වාර්තාව උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ යුතු අතර, නීතිපතිවරයාගේ උපදෙස් සහිත අදාළ වාර්තාව අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කළ යුතුය. අධිකරණ ඇමැතිවරයා විසින් ඊට අදාළ තම නිර්දේශය ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය.

ව්‍යවස්ථානුකූල ද – තනි කැමැත්තට ද?

මේ අනුව නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තාව, ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය සහ අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය මත මේ සමාව ලබාදී තිබේද යන්න දැනගැනීම ජනතාවගේ අයිතියකි. එවැනි වාර්තාවක්, මතයක් සහ නිර්දේශයක් සහිතව මේ සමාව ලබාදුන්නේද යන්න හෝ එම පාර්ශ්වවල නිර්දේශ සහ වාර්තා නොමැතිව අදාළ සමාව ලබාදුන්නේද හෝ යන්න පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. මේ සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය තිබුණද, එය අත්තනෝමතික හෝ තෝරාගැනීමක් සහිතව හෝ ක්‍රියාත්මක නොකළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ලබාදී ඇති මෙවැනි සමාවක් ලබාදීමේදී 34 (1) වගන්තියේ දක්වා ඇති විධිවිධානවලට අනුකූලව කටයුතු කර තිබේ ද යන්න විශ්ලේෂණය කළ යුතුය.

ඇත්ත ජනතාව දැනගත යුතුයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන් අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත මේ පිළිබඳව ප්‍රශ්න කරමින් ලිපියක් යොමුකරන ලදි. එහිදී පහත කරුණු විශේෂයෙන් අවධාරණය කෙරිණි.
(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) යටතේ ජනාධිපති සමාව ලබාදීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම.
(ආ) එම සමාව ලබාදීමේදී අවධානය යොමු කළ කරුණු.
(ඇ) අනෙකුත් මරණ දඬුවම නියම කර ඇති වරදකරුවන්ගෙන් දුමින්ද සිල්වා විශේෂිත වන ආකාරය.
(ඈ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර 34 (1) වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවූයේද, එසේ නම් එම වාර්තාවේ අන්තර්ගතය කුමක්ද යන්න.
(ඉ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර නීතිපතිවරයාගේ මතය විමසා සිටියේද යන්න සහ එසේ විමසා සිටියේ නම් එම මතය කුමක්ද යන්න.
(ඊ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය ලබාගෙන තිබේද යන්න සහ එසේ නම් එම නිර්දේශය කුමක්ද යන්න.

අමරසිරි කලංසූරිය, හාර්ට්ලෑන්ඩ්, සිංහල සිනමාව, ශ‍්‍රී ලංකාව

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අද (අප්‍රේල් 01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

1940 සැප්තැම්බර් 20 දා උපත ලද කලංසූරිය මහතා, 1969 දී ‘රැයත් දවාලත්’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසියේය.

එතැන් සිට ඇරඹූ සිනමා චාරිකාවේදී, හන්තානේ කතාව, අපේක්ෂා, සාගරයක් මැද, පූජා, බඹරු ඇවිත්, අහස් ගව්ව, අනුපමා, පරිත්‍යාගය, යස ඉසුරු, සක්විති සුවය, පොඩි විජේ ආදී අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක රඟමින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගැනීමට අමරසිරි කලංසූරිය සමත් විය.

එතුමන්ගේ දේහය, මහජන ගෞරවය දක්වනු පිණිස, අප්‍රේල් 02 දින සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු අප්‍රේල් 03 දින සවස 2.00 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

මේ සත්හඬ පුවත්පතේ සිහිනය අතිරේකයේ 2017 ජනවාරි 10 වැනිදා පළවූ විමල් කැටිපෙආරච්චි විසින් සම්පාදනය කළ ලිපියකි.

අමරසිරි කලංසූරිය, හාර්ට්ලෑන්ඩ්, සිංහල සිනමාව, ශ‍්‍රී ලංකාව

පාර හොයාගෙන එනු පිණිස ඔහුගේ ලිපිනය ඔහු අපට දුරකථනයෙන් පැවසීය.

හාට්ලෑන්ඩ් – ඒකල – ජා ඇළ.

එය කෙතරම් දෛවෝපගත ලිපිනයක්ද? මන්ද යත්, කොහොමත් ඔහු ඉන්නේ සිංහල සිනමා පේ‍්‍රක්ෂකයන්ගේ‘හාට් ලෑන්ඩ් එකේ’ය. එය ඔහුගේ ඇත්ත‘ඇඩ‍්‍රස්’ එකය.

වැදගත් ගමනක්‘කැන්සල්’ කරගෙන අප එනතුරු ඔහු හිටියත්, කොළඹ සිට චාරිකා කළ අපේ ප‍්‍රමාදය විසින් ඔහුගේ සන්ධ්‍යාවෙන් පැයක් සොරාගනු ලැබ තිබිණ.

ගෙමිදුලට පිවිසෙන්නට ගේට්ටුව විවර කරන විට, ප‍්‍රමාදයට දඬුවමක් හැටියට එක් බැල්මකින් අපට තරවටු කළත්, සිය ගෙතුළට අප ඇතුළු වන්නටත් පෙර පීතෘ සිනහවකින් අපට සංග‍්‍රහ කොට, ගෙතුළට ගොඩ වූ පසු,ඒ සිනාවට ම ගැළපෙන ආදරණීය ස්වරයකින්”ඉඳගන්නැ”යි ඔහු කීවේය.

ව්‍යායාම සඳහා අඳින පන්නයේ‘බොටම්’ වර්ගයේ කලිසමකින් සහ සාමාන්‍ය කමිසයකින් ඔහු සැරසී සිටියේය. ඔව්. ඔබ සිතුවා හරි. කමිසයේ උඩ බොත්තම් දමා තිබුණේ නැත. ඉතින් ඒ ඔහු ම බවට කිසිදු සැකයක් නැත.

ඔහු පැනවූ අසුනෙන් අප හිඳගත් සැණින්”පොඩ්ඩක් ඉන්නැ”යි කියා මඳක් ඔබ්බෙන් තිබූ තරප්පුව දිගේ ඔහු ඉහළට නැංගේ ඔහුට වඩා අවුරුදු තිහක් තිස්පහක් බාලයන් වූ අප පවා ලැජ්ජාවට පත්කරනසුලු වේගයකිනි.

එක්දහස් නවසිය හතළිහේ සැප්තැම්බර් විසි වන දා ඉපිද, පසු කලෙක සිංහල සිනමාවේ සදාකාලික යෞවනයා වූ ඔහු, තවමත් එදා මෙන් ම කලබල – හිතුවක්කාර‘පොඩි විජේ’ය කියා, ඒ වේගවත් යාම් ඊම් දුටු අපට සිතිණි.

ඔහු රැගෙන ආවේ පින්තූර ඇල්බමයකි. ඇත්තටම කියනවානම් එය, ඔහු සමඟ කළ  පුවත්පත් සාකච්ඡා – ඔහු ගැන පළ වූ වාර්තා හා විචාර යනාදිය සමඟ වැදගත් පින්තූර රැසක් පිළිවෙළකට එකතු කර සංරක්ෂණය කරන ලද ඇල්බමයකි.

එහි පිටුවෙන් පිටුව පෙරළමින් – සරල – එහෙත් අතීතය දෙසට නැමුණු මන්දස්මිතයකින් යුතුව ස්වකීය ජීවන මතක පොතේ පිටු ද අපට ද ඇසෙන සේ තැනින් තැනින් ගෙන, එකින් එක පෙරළන්නට පටන් ගත් හේ; අමරසිරි කලංසූරිය ය.

“ජීවිතයේ එක කාලයක නොවිඳිනා දුක් වින්දා. නංගිලා මල්ලිලා ජීවත් කරන්න ගස් නැග්ගා. දොදොල් පවා හැඳිගාලා තියෙනවා. මහියංගණේ ගිහින් එකයි හැත්තෑ පහේ පඩියට ගල් ඇද්දා.

හමුදාවටත් ගියා. හැත්තෑ එකේ කැරැල්ල කාලේ මම උතුරේ ඩියුටි කළේ. තාත්තා ආවත් චෙක් කරන්න කියල ඉහළින්  ඕඩරේ ආව. මම හිටිය චෙක් පොයින්ට් එකට කාර් එකක් ආව. පොලිස් ලොක්කෙක් ඇවිත් තියෙන්නේ. අයිඩින්ටි කාඩ් එක ඉල්ලූවම, මම එස් පී කැන්ඩි – අයිඩින්ටි කාඩ් එක අමතක වුණා කිව්වා. මම යන්න දෙන්න බැහැ කිව්වම ගියොත් මොකද කරන්නෙ කියල ඇහුව. සර් අයි හෑව් ටු ඩූ මයි ජොබ් කියල තුවක්කුව ලෝඩ් කරගත්තා. ඊට පස්සේ මගේ කොල්ලො එයාව චෙක් කරලා නතින්ග් සර් කිව්වා. ඊට පස්සේ මම ගන් එක අන්ලෝඩ් කරලා ගිහින් සැලියුට් එකක් ගහලා කිව්වා, සර් අයි ඩිඩ් මයි ජොබ් කියලා.

මේ සිද්ධියත් එක්ක මට ඇතුළෙනුත් ප‍්‍රශ්න ආවා. මගේ ම ලොක්කෙක් මාත් එක්ක රණ්ඩුවට ආවා. උඹ එළියට ගිය ගමන් උඹව පොලීසියෙන් මරනවා කියල කිව්වා. ඒ කතාවට මගේ ප‍්‍රතිචාරයත් එච්චර හොඳ වුණේ නැහැ. ලොකු සිද්ධියක් වෙන්න ගිහින් නූලෙන් නැවතුණා. මම ඩොකියුමන්ට් සයින් කරලා ආමි එකෙන් එළියට බැස්සා.

පොඩි ගාණක් අතේ තිබ්බා. ඒකෙන් ඇඳුම් බිස්නස් එකක් පටන් ගත්තා. අවුරුද්දක් ඇතුළත නුවර ලොකුම ඇඳුම් ෂොප් එක මගේ. ඊළඟට කෑගල්ලෙත් එකක් දැම්මා. ඉතින් ඔන්න ඔය කියන කාලය වෙනකොට මම සිනමාවට ඇවිත් !”

හන්තානේ කතාව ඔහුගේ සිනමා ජීවිත කතාවේ  මඟහැරිය නොහැකි කතාවකි. ඒ කතාවට ඇතුළු වුණ විදිහ සිහිනය පාඨකයන් වෙනුවෙන් ආයෙමත් සැරයක් මතක් කරමුදැයි අපි ඔහුගෙන් ඇසීමු.

“දවසක් මම මගේ ඇඳුම් බිස්නස් එකේ වැඩකට කෝච්චිය ගන්න ස්ටේෂන් එකක ඉන්නකොට සුගතපාල සෙනරත් යාපා තවත් මිත‍්‍රයෙක් එක්ක ඇවිත් මා එක්ක කතා කළා. මල්ලි, රඟපාන්න කැමති නැද්ද කියලා ඇහුවා. මම කිව්වා කලින් නම් රඟපාලා නැහැ කියලා. ආ ඒක වැඩිය හොඳයි කියල ඇඩ‍්‍රස් එක ඉල්ල ගත්තා.

ටික දවසකින් ලියුමක් ආව චිත‍්‍රපටියක රඟපාන්න ඉන්ටවීව් එකට කොළඹ එන්න කියලා. මමත් ගියා. හාර පන්සීයක පෝලිමක් හිටියා.

මම ගිහින් ඇහුවා – සර් මම නුවර ඉඳන් ආවේ? රෑ වුණොත් බස් නැති වෙනවා තව පරක්කු වෙනවද කියලා. ආ හරි මල්ලි එහෙනම් ගමු කියලා – අනෙක් අයටත් පොඩ්ඩක් ඉන්න කියලා මාව ඉන්ටවීව් කෙරුවා.

මට කිව්වා දැන් ඔයා හිතාගන්න තමන්ගේ බිරිඳව මරලා මරණ දඬුවම නියම වෙලා උසාවියේ ඉන්නවා කියලා. උසාවිය ඔයාට අවසන් වශයෙන් යමක් කියන්න අවස්ථාව දෙනවා, අපි ඔයාට ඒක හදාගන්න විනාඩි දහයක් දෙන්නම් කිව්වා. මම බැලූව තවත් විනාඩි දහයක් පරක්කු වෙන්නෙ මොකටද – හරි සර් මම ලෑස්තියි දැන්මම ගමු කියලා කිව්වා.

මම පෙරකදෝරුවන්ට කෝට් විකුණන්න උසාවි ගිහින් තිබ්බා. නඩුකාරයා ඉන්නේ ටිකක් උස තැනක බව මම දන්නවා. මම ඔළුව ටිකක් උස් කරලා ඉහළ තැනක් බලාගෙන මෙහෙම කිව්වා.

ස්වාමීනි, උගත් නීතිඥ මහත්වරුනි, මහත්මියනි, මේ සේරට ම මුල එහා ගෙදර පර වේසි !

හරි හරි මල්ලි ඔය හොඳට ම ඇති – අපි ඔයාට ලියුමක් එවන්නම් කිව්වා.

ඉතින් කොහොමහරි එදා ආව අයගෙන් නළුවන් හැටියට සිලෙක්ට් වුණේ මමයි විජය කුමාරතුංගයි විතරයි.

හන්තානේ කතාවෙන් මුණගැහිච්ච ස්වර්ණා මල්ලවාරච්චි පස්සේ කාලෙක ප‍්‍රසිද්ධියේ කිව්වා ඈ දැක්ක හොඳ ම නළුවා අමරසිරි කලංසූරිය කියලා. ඒ ඇතිනෙ”

නිකම්ම නිකං නළුවකු හෝ නිළියක වනවාට වඩා කිසියම් සමාජ අවබෝධයක් සිනමාවට එකල අවැසි බව දැන් අපට වැටහෙයි.

එහෙයින් ඒ කාලයේ නළු නිළියන් පොත පත කියෙව්වාද කියා දැනගන්නට අපට  ඕනෑ වූයේ වර්තමානයත් සමඟ නිරායාස සංසන්දනයකට සිත බල කරන බැවිනි.

“ඇයි නැත්තේ. රටේ තොටේ දේවල් ගැන හැමෝ ම වගේ හොඳ අවබෝධෙකින් හිටියේ. මිස්ට ගාමිණී ෆොන්සේකා හොඳට පොත පත ඇසුරු කරපු කෙනෙක්. අයිරාංගනී සේරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි මට මේ වෙලාවෙ මතක් වෙනවා. රවීගේ දැනුම අනුව ඔහු පොත පත කියෙව්වාය කියල මම හිතනවා. සිරිල් පොත පත කියෙව්වා. කොස්තා නම් පොත් කියෙව්වේ නෑ. හැබැයි එයා පොතක් වගේ මනුස්සයෙක්. නිතර දෙවේලේ පොත් නොකියෙව්වාට විජේ මහ පුදුම මනුස්සයෙක්.

එයාට රජාත් එකයි හිඟන්නත් එකයි. ඒකයි එයාට හැමෝ ම ආදරේ. මා එක්ක ඉතා කිට්ටු මිත‍්‍රකමක් විජේට තිබ්බා. මගේ දුවට නම දැම්මෙත් එයා. දුව ඉපදුණාම විජේ ආවා බලන්න. මොකද්ද මේකිගෙ  නම කියලා ඇහුව. මම කිව්වා යකෝ  දරුවා ඉපදුණේ ඊයේ තාම නමක් නැහැ කියල. අකුර මොකද්ද ඇහුවා. ලායන්න කිව්වා ම ආ එහෙනං ලාලිත්‍යා කියලා දාපන් කිව්වා. විජේ කියෙව්ව පොත තමයි මනුස්සකම.”

විජයගේ ඝාතනය ඔබේ ජීවිතයටත් එක්තරා අයුරකින් බලපෑවා නේද?

“ඔව්. හෘදයාංගම මිත‍්‍රයෙක් අහිමි වීම තමයි ලොකුම දේ. එහෙව් මනුස්සකමක් මම දැකලා නැහැ. ඊළඟට, විජය ඝාතනය ගැන කතා කරන්න ගිහින් මගේ මුළු ජීවිතය ම අනෙක් පැත්තට හැරුණා. දිවයින පත්තරේ මගෙන් ඇහුවා, විජය කුමාරණතුංග ගේ මරණය ගැන ඔබේ අදහස මොකක්ද කියලා. මම කෙළින්ම කිව්වා රටේ නායකත්වය වගකියන්න  ඕනේ කියලා. මේ ප‍්‍රකාශයට එවකට රාජ්‍ය නායකයා ප‍්‍රකෝප වුණාය කියන ආරංචිය මට ආවා. සමහරු හරහා පණිවිඩ එව්වා පේ‍්‍රමදාස මහත්තයගෙන් සමාව ඉල්ලන්න කියලා. මම ඇහුවා මොකටද සමාව ඉල්ලන්නෙ කියලා. විජේ මගේ මිත‍්‍රයා. මම කතා කළේ ඔහු වෙනුවෙන්. මම සමාව ඉල්ලන්න ගියේ නැහැ. ආරක්ෂක අංශවල මගේ මිත‍්‍රයෝ පණිවිඩ එව්වා මචං උඹට ගහල දාන්න  ඕඩර් එක දීලා තියෙන්නෙ පරිස්සම් වෙයන් කියලා.

අපේ ගේ ගාව කාර් ගිනි තිබ්බා. බස් ගිනි තිබ්බා. ලයිට් කණු කැඩුවා. ඒ සේරම මගේ අනුදැනුම ඇතුව මම කෙරෙව්වා කියලා රාවයක් යැව්වා. මාව මරන්නත් මරණය සාධාරණය කරන්නත් පස සකස් කළා.

දවසක් මම නුවර ගෙදර ඉද්දි මහ රෑක සන්නද්ධ කණ්ඩායමක් ගේ වට කෙරුවා. ඔෆිසර් කෙනෙක් ඇවිත් දොර ඇරලා කිව්වා එළියට යමු කියලා. මම ඇහුවා ඇයි මොකටද කියලා. එතකොට කිව්වා ටිකක් කතා කරන්න කියලා. මම කිව්වා ගෙයි ඉඳන් කතා කරමු කියලා. ඊට පස්සේ කුස්සියේ බංකුවක වාඩි වෙලා ඒ ඔෆිසර් මාත් එක්ක කතා කළා. සර් අපි ප‍්‍රා එකෙන්. සර්ව මරන්න අපි ආවේ. ඒත් අපි සර්ව මරන්නෙ නැහැ. හෙට ම මෙහෙන් පිට වෙලා කොහෙහරි යන්න කිව්වා. ඊට පස්සෙ මට පොඩි කඩදාසි කෑල්ලක් පෙන්නුවා. ඒක මාව මරලා – මරපු තැන දාල යන්න ගෙනාව නෝටිස් එක.‘දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය’ කියලා ඒකෙ තිබ්බා. ජේවීපී එක පිටින් යන්න තමයි වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ.

මම පහුවෙනිදම ඒ ගෙදරින් පිටත් වුණා.  සතියක් යන්න කලින් මම දුක් විඳලා හදාගත්ත ගේ ගිනිතියලා අළු කරලා දැම්මා. ඒ හැම දෙයක් ම සිද්ධ වෙනකොට හෙවණැල්ල වගේ මගේ ළඟ හිටියේ මගේ ආදර බිරිඳ. අදත් ඈ මවක් වගේ මා ළඟ ඉන්නවා.”

ඔහුගේ කටහඬ මඳක් පැටලිණි. දෑස කඳුළින් බර විණි. එහෙත් අධිෂ්ඨානයත් ආදරයත් වියැකී තිබුණේ නැත. ඒ කෙසේ වුව අපි මාතෘකාව මඳක් වෙනස් කළෙමු.

ඔබ තරු සමඟ වගේ ම තරු නොවන තරු සමඟ එකට ගැටිලා වැඩ කරපු මිනිහෙක්. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, ටෝනි රණසිංහ, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික‍්‍රමගේ, විමල් කුමාර ද කොස්තා වගේ ලෝක සිනමාවත් එක්ක කරට කර තියන්න පුළුවන් මිනිස්සු අතර වෘත්තීය අත්දැකීම මොන වගේද?

“ඒ කාලේ තිබ්බා සම්ප‍්‍රදායක්, ඇඳුමට තැන දෙන්නෙ නැහැ. රූපය වැදගත් නැහැ රංගනයට. මේකප් වැදගත් නැහැ රංගනයට. වැඩ තමයි වැදගත්. චරිතය තමයි වැදගත්. අපි වැඩේට අවංකව වැඩේ කරන්න නිතර ම වෑයම් කෙරුවා. රඟපානකොට එකිනෙකා අතර සුන්දර තරගයක් තිබ්බා. කවුරුත් කාටවත් සෙකන්ඩ් වෙන්න රඟපෑවේ නැහැ. හැමෝම තමන්ගෙ කොටස හරියට කෙරුවා.

මම එක උදාහරණයක් කියන්නම්. පරිත්‍යාගය ෂූට් කරනකොට මම සෑහෙන කල් ගත්තා මගේ රංගනයට ප‍්‍රවේශ වෙන්න. කොතනින්ද මුල පුරන්නෙ කියල මම කල්පනා කළා. මම එච්. ඩී. ගෙන් මගේ චරිතය ගැන තව තවත් ඇහුවා. ෆුට් බයිසිකලයක් පැදගෙන ඇවිත් පෙම්වතිය මුණගැහෙන දර්ශනයක් තමයි මුලින්ම තියෙන්නේ. මම එතනින් පටන් ගත්තා. වේගෙන් බයිසිකලේ පැද්දා. අත ඇරලත් යනවා. ලොරියකත් එල්ලිලා බයිසිකලේ පදිනවා. කෙල්ල වසන්ති. කෙල්ල ගාවට ගිහින් සරාස් ගාලා බ්රේක් පාරක් ගහනවා. ඒ වෙනකොට මම මුළු චිත‍්‍රපටය ම මගේ ගාවට අරන් ඉවරයි.

පරිත්‍යාගය කරගෙන යනකොට ටෝනි මට පොඩි චැලේන්ජ් එකක් කළා ඇක්ටින් ගැන. චිත‍්‍රපටය අවසන් වෙනකොට ටෝනි මා ළඟට ඇවිත් කිව්වා කලං යූ වොන් ද ගේම් කියලා.

මගේ රංගනයේ රහස මේකයි. මම කාවවත් ඉමිටේට් කළේ නැහැ. මම අමරසිරි කලංසූරිය. එච්චරයි.

යස ඉසුරු, පූජා, බමරු ඇවිත්, අහස් ගව්ව, අපේක්ෂා මේ කොයි එකකත් මම මගේ උපරිමය කළා.”

තව බොහෝ දේ කතා කළ හැකිය. තව බොහෝ දේ කතා කළ යුතුය. සැබැවින් ම ඔබ දැන් කියවූයේ ද  අප කතා කළ දෙයින් අංශු මාත‍්‍රයක් පමණි. නත්තල මුවවිටේ තබාගත් සන්ධ්‍යාවක පැය දෙක තුනක්, ඊට වඩා බොහෝ සෙයින් වටිනා කතාබහක් වෙනුවෙන් අපි විය හියදම් කළෙමු. එහෙත් ආවොත් යන්න වෙයි. ගියොත් එන්නට පුළුවන. ඉක්මනට ගියොත් ඉක්මනට එන්නට හැකි යැයි සරච්චන්ද්‍රයන් කියා ඇත ද ප‍්‍රමාද වී පැමිණ ප‍්‍රමාද වී ආපසු පිටත්ව යන්නට සැරසෙන මොහොතේ, ඉක්මනින් එන අපේක්ෂාව සහිතව අවසන් ප‍්‍රශ්නය, අමරසිරි කලංසූරියට අපි යොමු කළෙමු.

ඔබට මුණගැසුණු දක්ෂතම නළුවා කවුද?

“කතා දෙකක් නැහැ. විමල් කුමාර ද කොස්තා. ඔහු තරම් ශ්‍රේෂ්ඨ නළුවෙක් මා දැක නැහැ. ඔහු තරම් අහිංසක මිනිහෙක් මා දැක නැහැ.

ජීවිතය ද දවසක් වාගේ ම ය. උදෑසන මතකයන් සන්ධ්‍යාව හැඩ කරයි. ගෙයින් එළියට බට අපි,  සන්ධ්‍යා අහස යටට හිස නිරුවත් කළෙමු.

ජා ඇළ ඒකල අහසේ සැන්දෑ වලාවන් නෙක වර්ණ රටා මවද්දී, ඒ කල මේ කල – යුග යුග – හද හද – ඇද බැඳගත් සිංහල සිනමා සිහිනයේ‘හාට් ලෑන්ඩ්’ එකේ, සදාකාලික තරුණයාට සමු දී අපි පිටත්ව ආවෙමු.

විමල් කැටිපෙආරච්චි

IPL – 2023 අද ඇරඹෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් – 2023 තරගාවලියේ 16 වැනි අදියර අද (31 වැනිදා) ආරම්භ වේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් පසුගිය වසරේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද රාත්‍රී 7.30 ට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය්දී තරග බිමට පිවිසීමට නියමිතය.

මෙවර මෙවර අයි.පී.එල්. තරගාවලිය තරග 74 කින් සමන්විත වන අතර ඊට කණ්ඩායම් 10 ක සහභාගි වේ.

ඊට මූලික වටයේ තරග 70 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඊට ඇතුළත් වේ.

ඉන්දියාව පුරා ක්‍රීඩාංගණ 12 කදී මෙවර තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ දක්වා ශූරතා 5 ක් (2013, 2015, 2017, 2019 සහ 2020) දිනා ඇති ඔවුන් 2010 වසරේදී අනු ශූරයන් බවට පත් විය.

එමෙනම ශූරතා 4 ක් (2010, 2011, 2018 සහ 2021) දිනා, අනු ශූරතා 5 කටද (2008, 2012, 2013, 2015 සහ 2019) හිමිකර ගෙන සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගි වන තවත් ප්‍රභල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය.

පසුගිය වසරේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩයම හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය යටතේ පළමු වරට IPL කුසලානය දිනා ගැනීමට තරගාවලියේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වේ.

නරඹන්නාව අහෝසි කරන සුජිත්ගේ දෘෂ්‍ය කලා එළඹුම ; අර්බුදය සහ අරගලය

0

දෘෂ්‍ය කලාව පවතින්නෙ නරඹන්නා සහ කෘතිය අතර සිද්ධවෙන දෘෂ්‍යමය ගණුදෙනුවක් විදියට. කොටින්ම නරඹන්නාගෙ බැල්ම (Gaze) විසින් ඔහු ඉදිරියෙන් ඇති දෙය කලාත්මක වස්තුවක් බවට පත් කෙරෙනව. එය කලාත්මක වස්තුවක් බවට පත් කරමින් නරඹන්නා එය පරිභෝජනය කරනව. ඒ වගේම මේ නිරපේක්ෂ මමක් /නරඹන්නෙක්/විශයයක් (Subject) විසින් වස්තූන් මත හෙලන බැල්ම හරි රේකීයයි ජ්‍යාමිතිකයි වගේම එය නිතරම නරඹන්නා සිට වස්තුව දෙසට යොමුවී තියෙනව.මේ තමයි අපි සාමාන්‍යෙයන් දන්න දෘෂ්‍ය කලා අත්දැකීම.

හැබැයි සුජිත්ගෙ අර්බුදය සහ අරගලය ප්‍රදර්ශණය නැරඹීමට යන නරඔන්නාට විදින්න සිද්ධ වෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් අත්දැකීමක්.

අර්බුධය සහ අරගලය අවකාශයට ඇතුලු වෙද්දිම නරඹන්නා ප්‍රදර්ශන අවකාශය වෙත හෙලන බැල්ම (Gaze) විතැන් කරමින් ප්‍රදර්ශන අවකාශය විසින් නරඹන්නාට පෙරලා බැල්මක් හෙලනව(දූෂනයට එරෙහි ඇස- Anti corruption eye).ඉිතිං නරඹන්නා නැමැති විශය අහෝසි වෙලා යනව.ඒක හරියට මා වස්තුව දෙස හෙලන බැල්මම වෙනුවට වස්තුව විසින් මා දෙස හෙලන බැල්ම වගේ…

ප්‍රදර්ශනයේ ඇති ප්‍රධාන කෘති දෙකක් මගින් ඉහත ක්‍රියාව තව තවත් සංකීර්ණ කරනව. එකක් “කැඩපත සහ ලොකප්” ( Mirror and Lock-Up) අනෙක “අරගලය සහ මලකඩ පණත “ (Aragalaya and Rusted act No iii) .

“කැඩපත සහ ලොකප්” කෘතිය ඉදිරියට යන නරඹන්නාට/නරඹන්නියට මුණ ගැහෙන්නෙ තමා ඉදිරියෙන් ඇති හිර කූඩුවක යකඩ දොරක් සහ ඊටත් ඉදිරියෙන් ඇති විශාල කැඩපතක්.ඒ කැඩපත තමාවත් යකඩ දොරත් විතරක් නෙමෙයි ඉදිරියේ ඇති ලොකු අවකාශයක් හසු කරගන්න සමත්.ඉතිං කැඩපත ඉදිරියට යන තමාට දකින්න ලැබෙන්නෙ සිර මැදිරියක ඉන්න තමාගේම රූපය.කොටින්ම කැඩපත විසින් පෙරලා නරඔන්නාව නරඹමින් සිටිනව මෙතෙක් නිදහස් නරඹන්නෙක් විදියට කලාගාරයට ඇතුලු වුනු තමාව යකඩ කූරු අතර හිරවුනු සිරකරුවෙක් ලෙස..

ෆූකෝ (මිෂෙල් ෆූකෝ) කියනව නූතන රාජ්‍ය කරන්නෙ කීකරු ශරීරයක් ඇති (Docile Bodies) නූතන මිනිසෙක් නිර්මාණය කිරීමය කියල.ඉතිං මේ කීකරු ශරීරය නිර්මාණය වෙන්නෙ පාසල රෝහල සිරගෙවල් වගේ රාජ්‍යවාදී ආයතන නූනන මිනිසාට නිරන්තරයෙන් හෙලන සුපරීක්ෂාකාරී බැල්ම නිසා.කොටින්ම අපට මහ මග හමුවෙන නිදහස් කාමී තීකරු මිනිසා කියන්නෙ රාජ්‍ය විසින් නිරන්තරයෙන් සුපරීක්ෂාකාරීත්වයට ලක් කෙරෙන හිස මත ජංගම හිරගෙයක් තබාගෙන යන අයෙක්.ඉතිං “කැඩපත සහ ලොකප්” කෘතිය ඉදිරියට පැමිණෙන නරඹන්නා තමාටම අවිඥාණික වුන තමා රාජ්‍ය සුපරීක්ෂාකාරීත්වය යටතේ සිරකරුවෙකුය යන්න දර්ශනය වෙනව. අනෙක මෙතනදි නරඹන්නා අහෝසි වෙලා නරඔන්නා කෘතියේම කොටසක් බවට පත්වෙනව.කොටින්ම නරඹන්නා “කැඩපත සහ ලොකප්” කෘතිය ඉදිරියට නොයන තාක් කෘතිය අසම්පූර්ණයි.කෘතිය සම්පූර්ණ වෙන්නෙ නරඹන්නා කැඩපත ඉදිරියට පැමිණීමෙන් පමණයි

අනික කෘතිය අතිශයින් විචල්‍යයි.මොකද කෘතිය ඉදිරියට එන නරඹන්නා වෙනස් වෙන විට කෘතියේ දෘෂ්‍ය රූපය වෙනස් වෙන නිසා.

“අරගලය සහ මලකඩ පණත “ (Aragalaya and Rusted act No iii) .කෘතිය තුල රළු ඝණ මල බැදුනු පලල් යකඩ රාමුවක වීදුරු තලයක් මත පුද්ගල මුහුණක් සිතුවම් වෙලා තියෙනව.ඒත් එක්කම පැත්තකින් ඒ මුහුණට සමාණ වටකුරු හැඩයට වීදුරු දර්පණය සිතුවම් නොකර තියෙනව.මේ කෘතිය අභිමුකයට පැමිණෙන නරඹන්නා/නරඔන්නිය මුලින්ම අර සිතුවම් කල පුද්ගල රූපය බලනව( viewers gaze) ක්ෂණයෙන් අර සිතුවම් නොකල අවකාශයේ දර්පණය තුලින් තමාගේම මුහුණ දකිනව.ඒත් එක්කම නැරඹීම (බැල්ම) නැමැති ක්‍රියාවේ කතෘ මාරු වෙනව අර පුද්ගල රූපය සහ දර්පනයෙන් දකින තමාගේම මුහුණ දෙසට.ඒ කියන්නෙ සිතුවම් කල රූපය විසිනුත් දර්පනයෙන් පෙනෙන තමාගේ රූපය විසිනුත් මාරුවෙන් මාරුවට නරඹන්නාව නරඹනව.ඒ වගේම කෘතියේ සිතුවම් කල පුද්ගල රූපය ඉදිරියේ ඇති ඝණ කම්බි දැල ඉරා දමමින් තියෙද්දි දර්පනයෙන් පෙනෙන නරඹන්නා ගේ රූපය තියෙන්නෙ කම්බි දැලෙන් වට වෙලා…

කොටින්ම සුජිත්ගෙ අර්බුදය සහ අරගලය ප්‍රදර්ශනය නරඹන්න එන්නෙ නිදහස් නරඹන්නෙක් නම් ප්‍රදර්ශනය තුලදි නරඹන්නාව කෘතියේම කොටසක් බවට පත් වෙනව.

අර්බුදය සහ අරගලයේ ප්‍රධාන තේමාවන් ගැන මේ මොහොතේ සමාජමය දේශපාලනමය වශයෙන් කොතෙකුත් කතා කල හැකියි.නමුත් මෙතනදි අපේ උත්සහය උනේ දෘෂ්‍යකලා භාවිතයක් ලෙස මේක සංකල්පගත කල හැක්කෙ කොහොමද බලන්න…

ඕනෙනම් අපිට සුජිත්ගෙ ප්‍රදර්ශනයේ මාතෘකාවම දෘෂ්‍යකලා භාෂාවකින් නැවත ලිවිය හැකියි.

මේ දෘෂ්‍ය කලා අත්දැකීම විසින් නරඹන්නාට නැරඹුම් අන්‍යතාවය අහෝසි කරල දානව..නරඹන්නා කලා කෘතියේ කොටසක් ලෙස කෘතිය විසින් ගිල දමනව..මේක නරඹන්නාගේ නැරඹුම්කාමී අනන්‍යතාවය සැබෑ ලෙසට අර්බුදය ඇද දැමීමක්.අනෙක් අතට අරගලය වෙන්නෙ කෘතියේම කොටසක් වුනු නරඹන්නා විසින් නරඹන්නා (විශය) සහ නරඹන්න(වස්තුව එසේත් නැතිනම් කෘතිය) වෙන්කොට නැරඹන්නාගේ අනන්‍යතාවය නැවත සොයාගන්නේ කෙසේද කියන උභතෝකෝටිකය.මන්ද නරඹන්නා නරඹන්නෙක් වෙලා කෘතිය වෙන් කල ගමන් කෘතිය අසම්පූර්ණ වෙනව…කෘතිය සම්පූර්ණ කරන්න ගිය ගමන් නරඹන්නා අහෝසි වෙනව.

ඉතින් සුජිත්ගෙ මේ දුර්ලභ කලාත්මක වෙහෙස නැවත වරක් අප්‍රේල් පළවෙනිද ඉදල නුවර අටෙලියර් පෙදෙසෙදි දිග හැරෙනව…දෘෂ්‍ය කලාවේ මේ අපූරු සීරු මාරුව විදගන්න ඒ ගැන දොඩමලු වෙන්න හැමෝටම ආරාධනා කරනව.

කපිල ක්‍රිෂාන්ත

තේමාත්මක විවිධත්වය සොයා යාම හා කතා කලාවේ විවිධ මානයන් වෙත ගිය ‘නිදි නැති නිම්නය’

0

‘නිදි නැති නිම්නය’ පිළිබඳ අදහස් කිහිපයක්

තරංගා රණසිංහ කෙටිකතාකාරියක් හැටියට අපි හඳුනාගත්තෙ 2008 වසරෙදි “මෙමා හැර ලියෝ” නමින් ඇය ලියූ කතා එකතුවෙන්. එය කාන්තා කේන්න්ද්‍රීය තේමාවක් සහිත කෙටිකතා සංග්‍රහයක් හැටියට පාඨක විචාරක අවධානය දිනා ගත්තා. 2022 වසරෙදි ඇගේ තෙවන කතා එකතුව නිකුත් වුවත් එය මා අතට පත් වුණේ මෑතකදියි.

“නිදි නැති නිම්නය” පළ වන්නේ “මෙමා හැර ලියෝ” පළ වී 14 වසරකට පමණ පසුවයි. කෙටිකතාකාරියක් හැටියට තරංගා කිසියම් වර්ධනයක් අත්පත් කරගෙන තිබේද යන්න විමසා බැලිය හැක්කේ ඇගේ මුල් කතා සංග්‍රහයට මෙන්ම වර්තමාන කෙටිකතා කලාව අත්පත් කරගෙන තිබෙන කලාත්මක වර්ධනයන්ටත් සාපේක්ෂකවය කියා මා සිතනවා. සැබවින්ම ඇගේ “මෙමා හැර ලියෝ” පළ වූ කාලය ගැන සලකා බලන විට ලාංකික කෙටිකතා කලාවේ කාන්තා දායකත්වය සීමාසහිත මට්ටමකයි පැවතුණේ.

එපමණක්ද නොව සාහිත්‍යාංගයක් හැටියට එවකට කෙටිකතා කලාව පැවතියේද විවිධ අත්හදා බැලීම් කරන මට්ටමකයි.
සාහිත්‍යාංගයක් හැටියට කෙටිකතා කලාවේ 2000 දශකයේ සිදුවෙමින් පැවති වර්ධනය අද වන විට ප්‍රශස්ත මට්ටමකට පත්ව ඇති ආකාරය පසුගිය කාලයේ පළ වූ කෙටිකතා සංග්‍රහ විමසා බලන විට තේරුම් ගන්න පු`ඵවන්. අමරකීර්ති, එරික්, කීර්ති හා ප්‍රභාත් වැනි ප්‍රවීණයන්ගේ පරපුරේ සිට සුදර්ශන, ප්‍රින්ස්. මූණමල්පේ හා කංචනා ආදි නව පරපුරේ සාමාජිකයන් දක්වා තේමාත්මකව හා ශිල්පීය වශයෙනුත් ලාංකික කෙටිකතාව වර්ධනය වී ඇති ආකාරයක් දකින්න ලැබෙනවා.

තරංගාගේ “නිදි නැති නිම්නය” පාඨක සමාජය අතට පත් වන්නේ මෙවැනි පසුබිමකයි. මෙම කතා එකතුවේද ඇගේ මුල් කතා සංග්‍රහයට නැකම් කියන නිර්මාණ කිහිපයක්ම දකින්න පුළුවන්. මෙහි අන්තර්ගත කතා පහේම කාන්තා චරිතයක් ඉස්මතු කර දැක්වීමට තරංගා උත්සහා දරා තිබෙනවා. මේ හැම කතාවකටම පාහේ තේමා වි තිබෙනුයේ ගැහැනිය විෂයෙහි පුරුෂෝත්තම සමාජ ක්‍රමය විසින් එල්ල කරනු ලබන පීඩනයයි. “නිකිණි පාළුව” නමින් එන මුල්ම කතාව තවමත් ඉතා පසුගාමී මට්ටමක පවතින දුෂ්කර කෘෂි කලාපයක් ආවරණය කරන්නක්. එහි එන සුනන්දා, පුරුෂකේන්ද්‍රීය සමාජ බලයක් විසින් පීඩනයට පත් කෙරෙන ගැහැනියක්. තරංගා මෙම කතාව ගොඩනගන්නේ විවාහක පුරුෂයා අන් අඟනක් කරා යෑම , සල්ලාලයන් ඇය හඹා ඒම, විවාහක පුරුෂයාගේ මරණය, දිරිය මවක ලෙස ඇය ජීවිතයට මුහුණ දීමට දරන ප්‍රයත්නය ආදි ඉසව් ඔස්සේයි. මෙහිදී ලේඛිකාව රූප රාමු ඛණ්ඩනය කරමින් කරනු ලබන සිද්ධි නිරූපණය ඇය සතු ශිල්පීය කුසලතා ප්‍රකට කිරීමක් ලෙස අගය කළ හැකියි. මෙම කතාවේ සුනන්දාගේ පුරුෂයා ලෙස විජේරත්න හා විජේසිංහ යන නම් දෙකක් සඳහන් වෙනවා. ලේඛිකාව මෙම කතා රචනයේදී ශිල්ප භාවිතාවකද නිරත වන නිසා මෙවන් නාමකරණයන් කතා උපායන් ලෙස භාවිතා කළේද යන ගැටලුව පාඨකයා හමුවේ පැනනැගිය හැකියි. එසේම මෙහි යොදා තිබෙන යාත්තල්ල නම් වදනද කිසියම් ප්‍රාදේශීය බස් වහරකට අයත් එකක්ද යන්න පැහැදිලි වුණානම් හොඳයි .(ගැමි වහරේ බහුල ලෙස භාවිතා වන මීට සමාන වදන යාලත්තයි)
“ගෝල්ඩන් කී”කතාව මගින් තරංගා ඈත එපිට ගමින් මිදී නගරයට විතැන් වනු දැකිය හැකියි. පහළ මැද පන්තියේ බිඳ වැටෙමින් පවතින ජිවන අපේක්ෂාවන් කෙරෙහි මෙමගින් අවධානය යොමු කෙරෙනවා. මෙහිදී අපට හමු වන්නේ නිශාරා නම් බටහිර පන්නයේ තරුණ මවක්. රටක ආර්ථික හා දේශපාලන අර්බුදය උග්‍ර වන විට ඉන් වඩාත්ම බැට කන්නේ මැද පාන්තික ප්‍රජාව බව නිශාරා තම කුටුම්බ සංරක්ෂණය වෙනුවෙන් කරන අරගලය මගින් ද්විනිත වෙනවා. කතාව අවසානයේ ප්‍රදර්ශනය වන්නේ මේ අගාධයෙන් ගොඩ එනු පිණිස ඇගේ ශරිරය පූජා කිරීමට පවා පෙළෙඹෙන සැටියි. කතාවේ නිමාව සෘජු රූපකයක් ලෙස ඉස්මතු නොවී වඩාත් නිර්මාණාත්මක වුණා නම් අගනේය කියා හිතෙනවා.

“මහ බඹාට මුහුණු දෙකයි”, “රතු කොට්ටම්බා ගස්” හා “නිදි නැති නිම්නය” මෙහි අන්තර්ගත අනෙක් කතා තුනයි. “මහ බඹාට මුහුණු දෙකයි” කතාවේ කුමාරි සම්ප්‍රදායික ගැමි සමාජයේ දඬු අඬුවට හසු වූ පිටස්තර තරුණියක්. තරංගා මෙය රචනා කරනුයේ ගැමි සමාජයේ දේපළ සබඳතා හා සමාජ චාරිත්‍ර අතර හුදෙකලා වන කුමාරිගේ චරිතය දෙස සානුකම්පිත දෘෂ්ටියක් හෙළන කතාවක් ලෙසයි. මෙම කතාවේ බස් වහරේදී ලිඛිත හා වාචික යන රීති දෙකම භාවිතා කර තිබෙනවා. ලේඛිකාව මෙය සිතාමතාම යොදා ගත් ශිල්පෝපක්‍රමකය්ද යන්න පැහැදිලි නැහැ. සම්මත ලෝකයේ හිතුවක්කාරියක ලෙස හංවඩු ගැසෙන දැරියක් ස්වෝත්සහයෙන් මැඩම්වරියක් බවට පත් වන ආකාරය “රතු කොට්ටම්බා ගස්” කතාව මගින් ලේඛිකාව සිතුවමට නංවනවා. මෙහිදී උපයෝගි කරගන්නා ගණිත රූප සටහන් කතාවේ වාච්‍ය සීමාවන් ඉක්මවා ගියේද යන පැනය මා හමුවේ මතු වුණා.

“නිදි නැති නිම්නය” කතාව තරංගා වඩාත්ම රුචි කරන තේමාව සමග හරඹ කිරීමට දැරූ තැතක්. එහිදී තරංගා පාඨකයා රැගෙන යන්නේ අර්ධ නාගරික පරිසරයකට. මෙහි එන කාන්තිලතා පිරිමින් දෙදෙනෙකුට මැදි වූ ගැහැනියක්. විවාහක පුරුෂයා හා පෙම්වතා වශයෙන්. ඒත් මේ දෙදෙනාම කාන්තිලතාට සලකන්නේ ඔවුන්ගේ යටත් වැසියෙක් හැටියට. සුනඛයන් දෙදෙනෙක්ද මෙහි කැපී පෙනෙන භූමිකාවක් රඟනවා. සංකේතමය වශයෙන් සලකා බලන කල මේ සුනඛ නියෝජනය මගින් ලේඛිකාව කතාවට නව අරුතක් දනවන්න සමත් වෙනවා. මේ කතා සංග්‍රහයේ එන වඩාත්ම ප්‍රබල නිර්මාණය වශයෙන් මා
දකින්නේ “නිදි නැති නිම්නය”යි. තරංගාගේ “මෙමා හැර ලියෝ” කතා සංග්‍රහයේ එනමින්ම එන කතාව තරමටම මෙය සාර්ථක බවයි මගේ හැඟීම.
වර්තමාන කෙටිකතාව පැමිණ තිබෙන දුර දෙස බලන විට “නිදි නැති නිම්නය” කවර තැනක ස්ථානගත කළ හැකිද යන්න පාඨක විචාරක පර්ෂද හමුවේ මතු විය හැකි පැනයක්. මා සිතන ආකාරයට නම් “නිදි නැති නිම්නය”මගින් තරංගා කර තිබෙනුයේ ඇගේ මුල් කෘතියට සමපාත විය හැකි නිර්මාණ කිහිපයක් ප්‍රබන්ධ කිරීමට වැයම් කිරීමක්. තමාගේ කතා කලාව තව දුරටත් පෝෂණය කර කෙටිකතා කලාවේ නව කඩඉම් ජය ගන්නට ඇයට කිසියම් හැකියාවක් ඇතත් එම ඉලක්කය වෙත පිවිසෙන්නට ඇය ආයාසයක් දරා නැතැයි මට හිතෙනවා.

මැතකදී කතාබහට ලක් වුණ නව පරපුරේ කෙටිකතා කෘති ලෙස සැලකිය හැකි සුදර්ශන සමරවිරගේ “සුනෙත් කාන්තගේ ශො ්කාන්තය”, කාංචනා ප්‍රියකාන්තගේ “කර්මක්ෂ”, සුසන්ත මූණමල්පේගේ “රෝස මුසන්ඩාස් පිස්සුව”, ප්‍රින්ස් සේනාධීරගේ “ක`ඵ උස මනුස්සයෙක්” වැනි කෙටිකතා සංග්‍රහා දෙස මඳ අවධානයක් යොමු කරන්න කැමතියි. තේමාත්මක හා ශිල්පීය වශයෙන් මෙන්ම ජීවන ධර්මතා ප්‍රකට කිරීම අතිනුත් මෙම කතා සංග්‍රහයන් හි අඩංගු කතා රැසක් ඉහළ මට්ටමක පවතින බවයි මගේ හැඟීම. තේමාත්මක විවිධත්වය සොයා යාම හා කතා කලාවේ විවිධ මානයන් කෙරෙහි ඇති නැමියාව මෙම
කතා වල සාර්ථකත්වයට තුඩු දී ඇති සාධක අතර කැපී පෙනෙනවා.

කෙටිකතාකාරියක ලෙස තරංගා සතු ශක්‍යතා පූර්ණ ලෙස මුදා නොහල කතා සංග්‍රහයක් ලෙයසි “නිදි නැති නිම්නය” මා දකින්නේ. යල් පැන ගිය කතා රීතීන් බිඳ දමා නව ආඛයාන විධි ස්ථාපිත කිරීමේ අවැසිතාව පිළිබඳව කිසිදු විවාදයක් නැතත් නවීන කතා කලාව විසින් ඉල්ලා සිටිනු ලබන ගැඹුරු ජීවන හා සමාජ විවරණයද සමග ඒකාත්මික වූ නැවුම් ආඛ්‍යාන රටාවන් බිහි කළ හැකි නම් කවර සාහිත්‍යාංගයක් හෝ වේවා කලාත්මක අපූර්වත්වයෙන් පරිපූර්ණ වනු ඇතැයි මම සිතනවා. තරංගාගේ ලේඛන ශක්‍යතා තවතවත් ඔපවත් වී ආකාතිමය වශයෙන් සේම අන්තර්ගතය පාර්ශ්වයෙන්ද නැවුම් නිර්මාණ බිහි කිරීමේ වාසනා ගුණය අත් වේවායි පතනවා.

කමල් පෙරේරා

ගාන්ධිට පාර්ලිමේන්තු අසුන අහිමි කිරීම පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය

කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අත්හිටුවීම පිළිබඳ තමන් සැලකිල්ලෙන් පසුවන බව ජර්මානු විදේශ අමාත්‍යාංශය අද (30) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා ජර්මානු රජය සතු ජාත්‍යන්තර විකාශන ආයතනයක් වන Deutsche Welle (DW) හි විකාශය වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ ” අපගේ දැනුමට අනුව රාහුල් ගාන්ධිට තමන් වැරදිකරු වූ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බවයි.

එවැනි වටපිටාක මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීම පිළිබඳ සිය රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඔහු එහිදී පවසා තිබේ.

ජර්මනිය “අධිකරණ ස්වාධීනත්වය සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අදාල නඩුවේදී අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවද හිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම පසුගිය සතියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ එක්සත් ජනපදය ඉන්දීය අධිකරණයේ රාහුල් ගාන්ධිගේ නඩුව දෙස බලා සිටින බවයි.

“නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩිතාලම වන බවත් ගාන්ධි මහතාගේ (රාහුල් ගාන්ධි) ඉන්දීය අධිකරණයේ නඩුව දෙස බලා සිටිමු,” ඔහු වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රාහුල් ගාන්ධි නුසුදුස්සකු වීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පටෙල් කියා සිටියේ එක්සත් ජනපදය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සඳහා කැපවෙන බවයි.

2019 වසරේදී කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණ රැලියකදී “මෝදි” වාසගම අලලා සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් සූරත් හි දිස්ත්‍රික් අධිකරණයක් රාහුල් ගාන්ධි වරදකරු කරමින් වසර දෙකක සිර දඬුවමක් නියම කරන ලදී.

වසර දෙකක සිර දඬුවම දින 30කට අත්හිටවූ අතර එම කාලය තුලදී රාහුල් ගාන්ධිට ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

රාහුල් ගාන්ධිට එරෙහිව සාපරාධී අපහාස නඩුව පවරා ඇත්තේ සූරත් බටහිර ප්‍රදේශයේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී පුර්ණේෂ් මෝදි විසිනි.

මෙම අධිකරණ තීන්දුවත් සමග රාහුල් ගාන්ධි ලෝක් සභාවට නුසුදුස්සකු බවට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති අතර එයත් සමග ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට කටයුතු කෙරිණි.

එපමණක් නොව රාහුල් ගාන්ධිට මන්ත්‍රී නිල නිවසෙන් ඉවත් වන ලෙසත් දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ලෝක් සභා මහලේකම්වරයා පසුගියදා රාහුල් ගාන්ධිට ලිපියක් යොමු කරමින් ඔහු දැනට පදිංචිව සිටින මන්ත්‍රී නිවසින් ඉවත් වීමට මාසයක කාලයක් ලබා දී ඇති අතර, අප්‍රේල් මස 22 වැනිදා වන විට ඔහු එම නිවස නැවත භාර දිය යුතුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්

චූල නොවුණ චූලානන්දගේ පොත් හයක් – මාර්තු 31 සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයේ

0

මිනිසුන් ගැන සහතික ලියන්න අමාරු කාලෙක මිනිසකු ගැන වචන කිහිපයක් ලියන්න ලැබීමත් භාග්‍යයක්.. අද දවසේ මිනිසා කියන්නෙම පරිණාම මාර්ගයේ රිවස් එකට යන මානව රූපකයක්.. එහෙව් කාලයක තමා වෙත පවරා ගන්නා ලද පරම සමාජ වගකීමක් උරින් ගෙන, සමාජය දෙසට ඇස් කන් යොමා ගෙන, සමාජය විනිවිද දකිමින් ඉන් නොනැවතී සමාජ සමාජිකයන් ගේ හිස් මොළවලට බුද්ධිය දියකර වත් කරන මිනිසකු දක්නට ලැබීම දුලබ දර්ශනයක්..

එවන් දුලබ මිනිසකු ලෙසින් නම් කිරීමට මා කැමති සීමිත පිරිස අතරේ ඉදිරි පෙළ සිටින චූලා – චූලානන්ද සමරනායක හඳුන්වන්න මං කැමතියි.. චූලා අපේ යුගයේ බරපතළ කැරලිකරුවෙක්.. අප්‍රමාණ මිනිසෙක්.. අති දක්ෂ පරිවර්තකයෙක්.. කවියෙක්.. කලා, දේශපාලන සහ සමාජ විචාරකයෙක්. මිතුරන්ට හොඳම මිතුරෙක්.. සතුරන්ගේ ඉහ මොළ රත්කරන පරම සතුරෙක්… අවිද්‍යාවේ වලිගයෙන් අල්ලා කුම්භස්තලය පොළොවේ ගහන යෝධයෙක්… කොටින්ම කිවහොත් චූලා කියන්නෙ සදාකාලික විප්ලවකාරයෙක්…
එහෙව් චූලගෙ ජීවිතේ බරපතළ සමාජ මොහොතක් හෙට හවස මහවැලි කේන්ද්‍රයේ දි උදා වෙනවා.. එනිසා අප එහි යා යුතුයි… ඔහුගේ සමාජ දෘෂ්ටියේ විචිත්‍රත්වය මොනවට දක්වන පොත් හයක් එහි දී සමාජයට මුදා හරිනවා..
කවි, යොවුන් නවකතා, පරිවර්තන, ළමා ඈ සාහිත්‍ය ශානර නියෝජනය කරන මේ පොත් වැස්සට නොතෙමී අපට බැහැ ජීවිතයේ පිනි සිසිල ස්පර්ෂ කරන්න..
ඉතින් අපි හෙට – මාර්තු 31 සවස 3.00 ට මහවැලි කේන්ද්‍රයට යමු.
මේ අප්‍රමාණ මානව ප්‍රේමියාගේ සාහිත්‍ය ජීවනයට සුබ පතමින් එහි තෙත වින්දනය කරමු..

අනුරසිරි හෙට්ටිගේ

2023 මාර්තු 30..

ක්ලික්… මගේ අම්මාට මේ ලෝකයේ අන්තිමට ඇහුණු සද්දය ඒක වෙන්න ඇති

0

මට මතකයි එක්තරා දවසක අපි ගියා කාර් එකෙන් ටෙනිස් පුහුණුවට. අම්මා තමයි වාහනය ගෙනිච්චේ. මමයි, විලියි පිටිපස්සෙ ආසනේ. අපිට කිසිම අනතුරු ඇඟවීමක් කරන්නේ නැතිවම අම්මා හිටි හැටියේම ඇක්සලරේටරය ලෑල්ලටම පාගලා රොකට් වේගයෙන් කාර් එක අරගෙන ගියා. පටු පාරවල් උඩින්… රතු එළි අස්සෙන්… වංගු අතරින් වීසිවෙවී. විලියි, මමයි අපේ සීට්වලට ඇලිලාම හිටියා, මොකද එතකොට අපිට පිටිපස්සෙ වීදුරුවෙන් කිසිම දෙයක් පේන්නේ නැති හින්දා. ඒත් අපිට හැඟීමක් තිබුණා කවුද අපේ පස්සෙන් ලුහුබැඳ ගෙන එන්නේ කියලා. ඒ එයාලාම තමයි, මෝටර් සයිකල්වලින්…!

“අම්මේ එයාලා එන්නේ අපිව මරන්න ද? … අපි මේ මැරෙන්න ද යන්නේ?”

ලොකු අව් කන්නාඩි දෙකක් දාගෙන හිටිය අම්මා වාහනයේ කන්නාඩි සැරෙන් සැරේ එබි එබී බැලුවා. බරපතළ වාහන අනතුරු ගණනාවක්ම සිද්ධ වෙන්න ඔන්න මෙන්න තිබිලා ඒවා යාන්තමට බේරිලා ගිය විනාඩි පහළොවකට විතර පස්සේ අම්මා මහ හයියෙන් බ්රේක් එක පාගලා වාහනය නවත්ත ගත්තා. වාහනයෙන් එළියට පැනලා එයාලා ඉස්සරහට වේගයෙන් ඇවිද ගෙන ගියා.

“දෙවියන්ගේ නාමයට අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න! මං ඉන්නේ මගේ දරුවොත් එක්ක. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න බැරිද?”

අම්මා වෙවුලනවා. කම්මුල් රෝසපාට වෙලා. කාර් එකට නැගපු ගමන් මහ හයියෙන් දොර වහලා දාලා වීදුරු කවුළු උඩටම උස්සපු අම්මා ස්ටියරිං වීල් එකට ඔළුව තියාගෙන ඉකි ගහන්න ගත්තා. ඒ අතරේ එයාලා එක දිගටම ක්ලික්.. ක්ලික්… ක්ලික්… ක්ලික්… අම්මාගේ ලොකු අව් කන්නාඩි අතරින් කඳුළු වැල් ගලාගෙන ගිය හැටි මට මතකයි…. මට මතකයි විලී ගල් ගැහිලා හිටිය හැටි… ඒ අතරේ එයාලා එක දිගටම ඉලක්කය එල්ල කරගෙන… එල්ල කරගෙන… එල්ල කරගෙන ගිය හැටි.

ක්ලික්… ක්ලික්…ක්ලික්….

කවුද මේ අම්මා…?

කවුද මේ පුතා.. කාරෙකේ හිටිය විලී…?

කවුද ඒ පස්සෙන් එළවාගෙන ආපු පිරිස…?

මොකක්ද ඒ ක්ලික් සද්දය…? තුවක්කුවක කොකා ගස්සන හඬ ද?

ඒ අම්මා තමයි අකාලයේ මිය ගිය ඩයනා කුමරිය.

කතාව කියන පුතා තමයි චාල්ස් – ඩයනා විවාහයේ බාලම පුතා, හැරී. බ්‍රිතාන්‍යයේ අනාගත රජ කිරුළ හිමි විලියම්, (විලී) තමයි හැරීගේ අයියා.

පස්සෙන් එළවාගෙන ආවේ පැපරාසියෝ.

ක්ලික් සද්දය තමයි කැමරාව ක්‍රියාත්මක වෙන ඒ “බිහිසුණු නාදය”. හැරී කියන විදියට තමන්ගේ අම්මා මරණයට පත් කළ බිහිසුණු නාදය. අම්මාගේ මරණයෙන් පස්සේ තමන්ගේ පසුපස හඹාගෙන ආපු, තමන් ජීවිතයේ වඩාත්ම බියට පත් කරවන බිහිසුණුම නාදය.

“ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ මගේ පිංතූරය තියෙනවාද කියලා බලන එක මට සතුටක් ප්‍රබෝධයක් ගෙන දෙන කාරණාවක් නෙමෙයි. මට දරාගන්නම බැරි කාරණාව තමයි මගේ පිංතූරයකට එයාලා දෙන්න හදන අර්ථකථනය. මගේ උරහිසට උඩින්, එහෙමත් නැතිනම් මගේ පිටිපස්සෙන්, එහෙමත් නැතිනම් මට පෙනෙන නොපෙනන දුරින් ඇහෙන අර කිව්ව බිහිසුණු නාදය…. ක්ලික් සද්දය, හැම මොහොතකම මගේ ඇඟේ ලේ උණුහුම් කරනවා, හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. මට මුහුණ දෙන්න සිද්ධ වුණු අත්දැකීම් එක්ක පස්සේ පස්සේ මට ඒක දැනුණේ තුවක්කුවේ කොකා ගස්සනවා වගේ, එහෙමත් නැතිනම් තියුණු පිහිතලයකින් කපනවා වගේ. ඒක තව තවත් උග්‍ර වෙලා අර ඇස් නිලංකාර කරවන ෆ්ලෑෂ් එළිය මට ශාරීරික කම්පනයක් ගේනවා”

ගිනස් ලෝක වාර්තාවක්!

මේ තොරතුරු තියෙන්නේ හැරී කුමාරයාගේ SPARE කියන අලුත්ම පොතේ. පොත නිකුත් වෙලා තාම මාස දෙකයි.

කැනඩාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය කියන රටවල් තුනේම එකම දවසක ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 10 වැනිදා මේ පොත මුලින්ම නිකුත් වුණු දවසේ ම පොත ගිනස් ලෝක වාර්තාවක් පිහිටෙවුවා. ඒකට හේතුව මානව ඉතිහාසයේ එකම දිනයක ඒ කියන්නේ පැය විසි හතරක් ඇතුළත වැඩිම පිටපත් ගණනාවක් අලෙවි වුණු පොත විදියට. පොඩි ගණනක් නෙමෙයි, පොත නිකුත් වෙලා පැය විසි හතරක් ඇතුළත පිටපත් දශ ලක්ෂ 1.43ක්. (පිටපත් ලක්ෂ 14ක්) අලෙවි වුණා. තවමත් සීස්‍රයෙන් අලෙවි වෙනවා. මේ දක්වා මේ වාර්තාව තිබුණේ 2020 දි නිකුත් වුණු හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ජීවිත කතාව ලියැවුුුණු පොතට. ඒ වාර්තාව පිටපත් 887,000යි.

ළඟදී නිකුත් වෙන්නට නියමිත පොතකට කරුණු සොයන්නට බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ අපකීර්තිමත් ඉතිහාසය සොයා යන්නට සිදු වුණු අවස්ථාවේ හැරෙන්නට බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කිසිම උනන්දුවක් කිසිමදාක මට තිබුණේ නැහැ. ඒත් ඇමරිකාවේ, කැනඩාවේ නිකුත් වෙන අලුත්ම පොත පත විශේෂයෙන්ම ප්‍රබන්ධ නොවන (non-fiction) පොත පත කියැවීමේ පිපාසයක් තියෙන හින්දා මේ පොත කියවන්නට අතට ගත්තත් මේ පොත දිගටම කියවන්න තරම් ආසාවක් ඇතිවේද කියලා කුකුසක් මුල ඉඳන්ම හිතේ තිබුණා. පොතත් තරමක් ලොකුයි. පොයින්ට් අටක් තරම් කුඩා අකුරින් පිටු 410 ක්.

ඒත් මේ පොත කොයි තරම් නම් හැගුම්බර ආත්මකථනයක් වුණා ද කියනවා නම් අවසානය දක්වාම පොත එක දිගටම කියවනවා හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් මට තිබුණේ නැහැ. මේ පොත පුරාම මං දැක්කේ සාමාන්‍යත්වයේ අසාමාන්‍යත්වය… අසාමාන්‍යත්වයේ සාමාන්‍යත්වය… රාජකීයත්වයේ දුගී බව… දුගී බවේ රාජකීයත්වය.

අප්‍රිකානු බිහිරි දරුවන් සමග රංගනයක නිරත වෙන හැරී – GETTY IMAGES

එච්. අයි. වී. ආසාධිත පවුල්වල දරුවන් සමග හැරී – GETTY IMAGES

හලෝ..ඕ..ඕ

“මිනිස්සු හුඟාක් වෙලාවට හිතනවා ඇති මගේ කුමාර ජීවිතය මනමෝහනීය හින්දා මං මගේ තනිකඩ ජීවිතය උපරිමයෙන්ම විඳින්න ඇති කියලා. එත් බොහොමයක් හවස්වරුවල මට හිතිලා තියෙනවා අනේ මගේ ඇත්ත ජීවිතය ඒ අය දකිනවා නම් කියලා!

මගේ රෙදි ටික මගේ අතින්ම හෝදලා ඉවර කළාට පස්සේ මට තිබුණා කරන්න තව වැඩ… මගේ අතින්ම උයා පිහා ගන්න එක… මට ඕන කරන දේවල් ගන්න කඩේට යන එක. බංකිංහැම් මාලිගාව ළඟම තිබුණා සුපර් මාකට් එකක්. අඩුම තරමින් සතියකට වතාවක්වත් මං එතැනට යනවා.

ඔය හැම වතාවකම මං ගියේ ඇෆ්ගනිස්ථානයේ යුද පෙරමුණට යනවා වගේ බොහොම පරිස්සමින් සූදානම් වෙලා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මාධ්‍යවලින් බේරෙන්න ඕන නිසා මං ඒ ගමන ගියේ එකම වෙලාවට නෙමෙයි, අහම්බෙන් තෝරා ගත්ත එක එක වෙලාවල්වල. වෙස්වලාගෙන වගේ තමයි ගියේ. සමහර වෙලාවට ඔළුව පහළටම වැහෙන විදියේ බේස්බෝල් තොප්පියක් දාගෙන, එල්ලා වැටෙන කබායක් ඇඳන්.

මං කැමැතිම ජාතියේ යෝගට්, සැමන් මාළු ඩැහැ ගන්න ගමන් සුපර් මාකට්ටුවේ එක එක මං තීරු අස්සෙන් මං ඉගිලිලා යන්නේ හරියට බඹරෙක් වගේ. ඒ වගේම ග්‍රැනී ස්මිත් වර්ගයේ ඇපල්, කෙසෙල්… ඇයි බැදපු අල පෙති පැකට්ටුවකුත් වරදින්නේ නැහැ. සුපර් මාර්කට් එකේ හැම මං තීරුවක්ම සිතියමක් විදියට මගේ මතකයේ සටහන් වෙලා තියෙනවා.

ඔය ටික අරගෙන මං කැෂියර් කවුන්ටරයට දුවන්නේ එක පිම්මට.

ඔය වැඩ ටික කරගන්න යන කාලය විනාඩි දහයකට සීමා කරගන්න මට පුළුවන් වුණා. එක රාත්‍රියක ඔය විදියට මට හුරු පුරුදු මං තීරු ඔස්සේ මං සුපර් මාකට් එකේ එහාට මෙහාට දුව ගෙන යද්දී… ඒ හැම දෙයක්ම තිබුණු තැන් වලින් වෙනස් කරලා.

මං දුවගෙන ගියා කඩේ වැඩ කරන කෙනෙක් ගාවට. “මොකද වුණේ…?”

“ඒ කිව්වේ?”

“ඒවට මොනවද වුණේ?”

“මොනවට ද?”

“ඇයි මේ හැමදෙයක්ම තිබුණු තැන්වලින් වෙනස් කරලා…?”

“ඔය ඇත්තටම ද අහන්නේ?”

“ඔව්, ඇත්තටම තමයි”

“කඩේට එන අය තව වැඩි වෙලාවක් මෙතැන තියා ගන්න. එතකොට එයාලා තව වැඩිපුර දෙවල් ගන්නවානේ”

මං පුදුමයෙන් ගල් ගැහුණා. ඇත්තටම එයාලට එහෙම කරන්න පුළුවන් ද? නීතියක් නැද්ද?

බිරන්තට්ටු වෙලා හිටිය මං, මගේ ට්‍රොලියත් අරගෙන එහාට මෙහා දුව පැනගෙන මට ඕන කරන දේවල් හොයන්න පටන් ගත්තේ මගේ ඔරලෝසුවේ වෙලාව දිහා ඇහැ ගහ ගෙන ඉන්න ගමන්. ඊට පස්සේ මං ගියා කැෂියර් කූඩුව ගාවට. එතැන තමයි ලොකුම පුරස්නේ. එතැන නම් මට පුළුවන් කමක් නැහැ කඩිමුඩියේ පැනගෙන වැඩ ටික ඉවර කරගන්න, හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ කොයි තරම් පිරිසක් පෝලිමේ ඉන්නව ද කියන එක අනුවයි. කැෂියර් කූඩුව ළඟම තමයි බ්‍රිතාන්‍යයේ හැම ටැබ්ලොයිඩ් එකක්ම, සඟරාවක්ම විකුණනන්න දාලා තියෙන්නේ. එ්වායින් භාගයකට වඩා මුල් පිටු සැරසිලා තියෙන්නේ මගේ පවුලේ පිංතූර වලින්. එහෙම නැතිනම් මගේ අම්මගේ… නැතිනම් මගේ.

කැෂියර් ගාවට යන්න තමන්ගේ වාරය එනකම් එතැන ඉන්න මිනිස්සු ඔය ටැබ්ලොයිඩ්වල මං ගැන තියෙන දේවල් කියවන හැටි.. මං ගැන වාද විවාද කරන හැටි මං දැකලා තියෙන්නේ එක සැරයක් දෙකක් නෙමෙයි. 2015 දී මට නිතර නිතර ඇහිලා තියෙනවා මං කවදාවත්ම බඳින එකක් නැහැ කියලා එයාලා කතා වෙන හැටි… මං සතුටින් ද නැද්ද ඉන්නේ කියලා කතා වෙන හැටි… මං සමලිංගිකයෙක් ද නැද්ද කියලා කතා වෙන හැටි. ඒ වෙලාවට එයාලගේ උරහිසට තට්ටුවක් දාලා මෙහෙම කියන්නම මට හිතෙනවා…. ‘හලෝ..ඕ..ඕ’

හැම අවුරුද්දකම තාත්තා මට දෙනවා දීමනාවක් ඇඳුම් ගන්න. ඒත් ඒ සල්ලි වියදම් කරන්න පුළුවන් කන්තෝරුවට යන්න පුළුවන් කාර්යාලයීය ඇඳුම්‍ ගන්නම විතරයි. ටයි කෝට්, උත්සවවලට අඳින ඇඳුම් වගේ දේවල්. එදිනෙදා මං අඳින ඇඳුම් ගන්න මං යන්නේ T. K. Maxx කියන මිල අඩු සාප්පුවට. අවුරුද්දකට සැරයක් තියෙන එයාලගෙ සේල් එකට යන්න තමයි මං වැඩියෙන්ම කැමැති. ඇද පළුඳු තියෙන හින්දා එහෙමත් නැතිනම් සෘතු අවසානයේ තොග අඩු කරගන්න ඕන හින්දා මිල අඩුවට දාන ‘බ්‍රෑන්ඩ් නේම්’ ඇඳුම් අඩුවට ගන්න ඒ සේල් එකෙන් පුළුවන්. සේල් එකේ මුල්ම දවසේ ගියොත් තමයි වැඩිම වාසිය.

මෙතැනදිත් මට තියෙනවා මගේම ක්‍රමයක්. මං සාප්පුවට යන්නේ ඒක වහන්න විනාඩි පහළොවක් තියෙද්දි. ඇදලා ගන්නවා ෂොපිං බකට් එකක්. ඉක්මනටම යනවා උඩම තට්ටුවට. එතැනින් පටන් අරන් රාක්කයෙන් රාක්කයට යනවා.

මට හිතට අල්ලන දෙයක් තිබුණොත් කන්නාඩියක් ඉස්සරහට ගිහින් මං ඒක තියලා බලනවා මගේ පපුවට හරි කකුල් දෙකට හරි. ඇඳුමෙ පාට හරි ස්ටයිල් එක ගැන හරි හොය හොයා යන්න මං වද වෙන්නේ නැහැ. ඇඳුම ඇඳලා බලන්න නම් කිසිම දවසක යන්නේ නැහැ. ඇඳුම හොඳයි කියලා හිතෙනවා නම්, සුවහපසු ගතියක් දැනෙනවා නම් මගේ බකට් එකට ඒක යනවා.

සාප්පුව වහන්න ළං වෙද්දී ලොකු බෑග් දෙකකට ඇඳුම් පුරවාගෙන මං එළියට එන්නෙ ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ. දැන් ඉතින් ආපහු ඉස්සරහ හය මාසයකටම ඇඳුම් ගැන නම් වද වෙන්න ඕන නැහැ.

ඇයි මේ පොතට SPARE කියලා නම තිබ්බෙ?

මේ පොතට අතට ගත්තම පොත කියවන්නත් කලින් මට ඇතිවුණු ප්‍රශ්නය තමයි ඇයි පොතට SPARE කියල නම දැම්මේ කියන එක. ඒත් පොතේ 15 වැනි පිටුව ළඟට එද්දිම ඒකට පිළිතුර ලැබුණා. ඔබ දන්නවානේ වාහනයක නම් SPARE WHEEL කියන්නේ අමතර රෝදයට. ඒ කියන්නේ ටයරයක පැච් එකක් ගිහින් හුළං බැස්සම තාවකාලිකව පාවිච්චි කරන අමතර රෝදයට. ඒ අමතර රෝදය පාවිච්චි කරන්නේ තාවකාලිකව විතරයි. මේ පොතටත් ඒ නම දාලා තියෙන්නේ ඒ අර්ථයෙන්ම තමයි.

චාල්ස් – ඩයනාගේ වැඩිමහල් පුතා විලියම් තමයි අනාගත බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරු. හැරී කියන්නේ බාල පුතා. එතකොට හැරී කියන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ උරුමයට අතිරේකව ඉන්න තැනැත්තා. හැරී ඒක ලස්සනට කියනවා: ‘Willy was the Heir, whereas I was the Spare’.

හැරීගේ කෝණයෙන් කියන විදියට පුංචි කාලයේ ඉදන්ම එයාලගේ කාමරවල පවා ඒ වෙනස තිබුණා. දෙදෙනාට ලැබුණු සැලකිලිත් දෙවිදියක්. විලීට අවශ්‍ය විටෙක විලී වෙනුවෙන් වකුගඩුවක් වගේ අවයවයක් දන් දෙන්න, ලේ දන් දෙන්න, ඇට මිදුළු පරිත්‍යාග කරන්න… ඒ කියන්නේ බැකප් එකක් විදියට තමයි හැරී ඉන්නේ.

තමන්ට අවුරුදු විසි එකක් වෙද්දී මුල්ම සැරේට අහන්න ලැබුණු කතාවක් හැරී විස්තර කරනවා. හැරී ඉපදුණු ගමන්ම චාල්ස්, ඩයනාට කිව්වාලු “නියමයි… දැන් ඔයා මට උරුමකරුවෙකුයි, කැපකරුවෙකුයි දෙන්නෙක්ම දීලා තියෙනවා – දැන් ඉතින් මගේ වැඩ ටික අහවරයි” (Wonderful! Now you’re given me a Heir and a Spare – my work is done). එහෙම කියපු චාල්ස් කුමාරයා තමන්ගේ පෙම්වතිය බලන්න ගියා කියලා පොතේ තියෙනවා. මේක ඇත්තටම සිද්ධ වුණු දෙයක් ද විහිළුවක් ද කියලා හැරී දන්නේ නැහැ. ඒත් පොත කියවද්දී හිතෙනවා හැරීගේ මුළු ජීවිතයම Spare එකක් නේද කියලා. (Heir & Spare කියන වචන දෙකේ රිද්මයානුකූල බව රැකෙන සිංහල වචන දෙකක් හිතට නැගු‍ණේ නැති නිසයි, ‘උරුමකරු’ සහ ‘කැපකරු’ කියන වචන දෙක පාවිච්චි ක‍ළේ. ඒත් ඇත්තටම හැරීගේ පොත කියවද්දී වැටහෙන දෙයක් තමයි ඔහුගෙන් බ්‍රිතාන්‍ය රජ පවුල බලාපොරොත්තු වෙන්නේ කිසියම් ආකාරයක කැපකාර භූමිකාවක් කියන එක ගැන) මේ ළඟඳී ගියා තාත්තා ආධාර උපකාර කරන රෝහලකට. එතැන හිටිය රෝගීන් බෙහොම දෙනෙක් මුදු මොළොක් අය වුණත් ඒ අතරින් එක්කෙනෙක් එක සැරේම නැගී හිටියා. උස මහත නැති හාදයෙක්… එයා කිව්වා එයා තමයි වේල්ස් කුමාරයා (Prince of Wales) කියලා.

තාත්තා එයා ඉස්සරහට ගිහින් විහිළුවට වගේ ඇඟිල්ලකුත් උරුක් කරලා මෙහෙම තරවටුවක් කරලා තියෙනවා. “මේ බලන්න. ඔයා වේල්ස් කුමාරයා වෙන්න බැහැනේ! මමයි වේල්ස් කුමාරයා”

රෝගියාත් ආපිට ඇඟිල්ල උරුක් කරලා. “කොහෙත්ම වෙන්න බැහැ. මමයි වේල්ස් කුමාරයා”

තාත්තා ආසයි කතාන්දර කියන්න. මේ කතාව තාත්තගේ හිත් ගත්තම කතාවක්. ඒ හැම වෙලාවකම එයා මේ කතාව ඉවර කරන්නේ පොඩි පහේ දාර්ශනිකභාවයකුත් ඒකට එකතු කරලා. මේ මානසික රෝගියා, තාත්තා තරමින්ම අඩුවක් නැතිව තමන්ගේ අනන්‍යතාව ගැන ඒ තරම්ම තදින් විශ්වාසය තියාගෙන ඉන්නවා නම් ඇත්තටම එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. “කාටද කියන්න පුළුවන් අපි දෙන්නගෙන් ඇත්තටම පිස්සු කාටද කියලා? කවුද දන්නේ ඇත්තටම මං වේල්ස් කුමාරයා ද කියලා? කවුද දන්නේ මම ඇත්තටම ඔයාගේ තාත්ත ද කියලත්?”

තාත්තාට හිනාව නවත්තගන්න බැහැ…. හිනාවෙනවා… හිනාවෙනවා…. ඒත් මට මේක මේක කොහෙත්ම විහිළුවක් නෙමෙයි. මගේ ඇත්තම තාත්තා, අම්මාගේ පරණ පෙම්වතෙක් වෙච්ච මේජර් ජේම්ස් හේවිට් කියලා හැම තැනම යන කටකතාව හින්දයි ඒ. මේජර් හේවිට්ටත් තිබුණේ දිළිසෙන ඉඟුරු පාට කොණ්ඩයක් හින්දයි ඔය කතාව පැතිරු‍ණේ. මේ කටකතාවට අනෙක් හේතුව නම් තව කෙනෙකුට පීඩා කරන්නට තියෙන කෘෘර ආශාව. වේල්ස් කුමාරයාගේ බාලම පුතා වේල්ස් කුමාරයාගේ නෙමෙයි කියන කාරණාව ටැබ්ලොයිඩ් කියවන අය අමන්දානන්දයට පත් කරවන දෙයක්. මොකක් හරි හේතුවක් හින්දා මේ ‘සමච්චලය’ එයාලට කවදාවත්ම ඇති වෙන්නේ නැහැ. සමහරවිට තරුණ කුමාරයාගේ ජීවිතය හිනාවට කාරණාවක් කියලා හිතන එකෙන් එයාලාගේ හිත්වලට පොඩි ගැම්මක් දැනෙනවා ඇති.

මම ඉපදිලාත් සෑහෙන කාලයක් යනකම් මගේ අම්මට මේජර් හේවිට්ව හමුවුණේ නැති වුණත් මේ කතාව එහෙම නිකම්ම ඉවතට වීසි කරලා දාන්න තරම් හොඳ වැඩියි. මාධ්‍ය මේ කතාවට තව තවත් අලුත් දේවල් එකතු කළා,.. ආලවට්ටම් දැම්මා… ඒ විතරක් නෙමෙයි සමහර වාර්තාකරුවන්ට ඕන වුණා මගේ ඩීඑන්ඒ පරීක්ෂාවක් පවා කරවන්න.

මගේ අම්මාගේ මරණයෙන් පස්සේ, මේ අද වෙනකල්ම පත්තරයක හෝ වේවා, සඟරාවක හෝ වේවා මගේ ජීවිතය ගැන ලියැවෙන හැම කතාවකටම වගේ මේජර් හේවිට්වත් ගාවගන්නවාම තමයි. මේ කතාව තව තවත් බරපතළ කරන්න ඕන නිසා එයාලා කරපු විස්තරයක් තමයි තාත්තා මාත් එක්ක මුහුණට මුහුණ වාඩි වෙලා මගේ ඇත්තම තාත්තා මේජර් හේවිට් නෙමෙයි කියලා මට ඒත්තු ගැන්නුවාය කියන කාරණාව. කවදාවත්ම සිදු නොවුණු දේවල් ඔය විදියට හිතට කාවදින වෛවර්ණ කතා ගොතන්නේ. තාත්තාට මේජර් හේවිට් ගැන එහෙම සැකයක් තිබුණා නම් තාත්තා ඒක එයාගේ හිතේ විතරක්ම තියා ගනීවි.

මගේ මුළු ජීවිතයම මේ වගේ අයට විනෝදයක්… සෙල්ලමක්. මේ අයට මං මිනිස් ප්‍රාණයක් නෙමෙයි. මං කාටූන් චරිතයක්. අනෙක් අයගේ විනෝදයට නටවලා පෙන්නන්න පුළුවන් රූකඩයක්. අවුරුදු 14 ක කොළු ගැටයෙකු වෙලා හිටිය කාලයේ මට දුන්නු මේ වධ හිංසා ඒ වයසේ වෙනත් සාමාන්‍ය දරුවෙකුට සිද්ධ වුණානම්? මේ හැම දෙයක්ම සාධාරණීකරණය කෙරුණේ මං රජ පවුලක ඉපදුනු හින්දා. එයාලා හිතන විදියට රජ පුවලක ඉපදුනා කියන්නේ තව දුරටත් මනුෂ්‍ය ප්‍රාණියෙක් නෙමෙයි”. මේ කියන විදියේ කරුණු සනාථ කරන්න හැරී තමන් මුහුණ දුන්නු සිදුවීම් බොහොමයක් ගෙන හැර පානවා. රාජකීයෙකු වීම නිසාම ලෝකයේ වෙනත් කිසිම තැනක සාමාන්‍ය දරුවෙකුට මුහුණ දෙන්නට නොලැබෙන පීඩනයන්ටත් ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. “පාසලේ මගේ ලකුණු හැම දෙයක්ම දෙනාටම දකින්න පුළුවන්. අධ්‍යාපන කටයුතු එක්ක මට තිබුණු හැල හැප්පීම් හැම දෙයක්ම මුළු පොදු රාජ්‍ය මණ්ඩලයම දන්නවා”.

මාධ්‍ය ගැන හැරී මෙහෙම කියනවා. “ලෝකය ගැන එයාලගේ දැක්ම හරිම සරලයි. ඔයා රාජකීය කෙනෙක්. මාලිගාවක ඉන්න හින්දා ඔයා ගෙවන්න ඕන වන්දිය තමයි මේ”.

රැජිනත් සිරකාරියෙක්!

ඔබ සමහර විට කියවලා ඇති House of Scorpions කියන විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධය. (මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවාද කියලා මං දන්නේ නැහැ). හැරීගේ පොතේ පේළි අතරින් වරින් වර හවුස් ඔෆ් ස්කෝපියන්ස් පොතේ ඇතැම් අවස්ථාවන් මගේ මතකයට ආවේ නිරායාසයෙන්. හවුස් ඔෆ් ස්කෝපියන්ස් පොත මිනිස් ක්ලෝනයක් ගැන දිග හැරෙන අපූරු කතාවක්. ඒ රසවත් කතාවේ තේමාව තමයි තමන්ගේ සැබෑ අනන්‍යතාව සොයා ගෙන යන්නට කරන වෑයමක් ගැන. Spare ඔස්සේ හැරීගේ උත්සාහයත් ඊට ආසන්නයි.

ඔය කිව්ව හවුස් ඔෆ් ස්කෝපියන්ස් පොත වගේම මේ පොත කියවද්දී තවත් ජනප්‍රිය බටහිර ගීතයකුත් නිතරම වගේ මගේ මතකයට ආවා. ඒ තමයි Lorde නමින් අතිශයින්ම ජනප්‍රිය වෙච්ච පොප් ගායිකාවගේ Royals. අතිශයින්ම ජනප්‍රිය මේ සිංදුවේ එක්තරා කොටසක මෙහෙම කියනවා.

And we’ll never be royals.

It don’t run in our blood,

That kind of luxe just ain’t for us.

We crave a different kind of buzz.

Let me be your ruler,

You can call me queen Bee

And baby I’ll rule, I’ll rule, I’ll rule, I’ll rule.

Let me live that fantasy.

මේ සිංදුවේ ඔය කොටස සරලම අදහසින් ගත්තම ඒකෙන් කියන්නේ රාජකීයත්වයට විතරක්ම උරුම වෙච්ච සුඛෝපභෝගී සමෘද්ධිමත් ජීවිත රටාව සාමාන්‍ය අපිට උරුම නැහැ… එහෙම හිතන එකත් තාවකාලික ෆැන්ටසියක් විතරක්ම කියන එක. ඒත් හැරීගේ පොත කියවද්දී හොදටම තේරුම් යන දෙයක් තමයි බ්‍රිතාන්‍ය රජ පවුල රාජකීය කිරුළේ සිරකරුවන් නේද කියන එක. ඔය කියන විදියේ ෆැන්ටසියක් එතැන නැහැ නේද කියන එක. රැජින පවා!

හැරී තමන්ගේ ආච්චි අම්මා ඒ කියන්නේ ළඟදී මිය ගිය එළසබෙත් රැජිනගේ නිදන කාමරයට ගිහින් තියෙන්නේ අවස්ථා දෙකකදී විතරයි. එක් අවස්ථාවක් තමන්ගේ විවාහයට ඔන්න මෙන්න තියෙද්දී මේගන් එක්ක… රැජින මේගන්ට දෙනවා තමන්ගේ ඇඳුම් කාමරයෙන් විවාහයට පළඳින්න හිස් පළඳනාවක්. අනික් අවස්ථාව රැජිනගේ මරණය සිදු වූණු මොහොත.

සමහර ජීවිත කතා තියෙනවා අතිශය පෞද්ගලික කරුණු කාරණා නොසඟවා හෙළිදරවු කරන. කමාලදාස්ගේ My Story කියවන්නට ලැබුණා නම් පෞද්ගලිකත්වය කොයි තරම් දුරට ඇය සමාජගත කරනවා ද කියන එක ඔබට මතක ඇති. කමලාදස් තරම් නොවුණත් හැරී තමන්ගේ ආත්ම ප්‍රකාශනයෙන් තමන්ගේ පෞද්ගලික කරුණු කාරණා වගේම මත් ද්‍රව්‍ය භාවිතය ගැනත් කරුණු හෙළිදරවු කරනවා. එ් වගේම දැනට බ්‍රිතාන්‍යයේ රජතුමා වෙච්ච චාල්ස් වගේම අනාගත ඔටුන්න හිමි විලියම්වත් බොහොම දුරකට නිරුවත් කරනවා. විලියම් තමන්ගේ නවාතැනටම ඇවිත් තමන්ට බිම වැටෙන්නට පහර දුන් හැටි ගැන කියනවා.

GHOST WRITER

මේ තරම් රසවත්ව තමන්ගේ ජීවිත කතාව ලියන්නට හැරීට පුළුවන් නම් ඔහු රාජකීයත්වය ඉක්මවා ගිය අති විශිෂ්ට ලේඛකයෙක්. එහෙම හැකියාවක් හැරීට තියෙනවා කියලා විශ්වාස කරන්න අමාරු වුණු නිසා මේ පොත ඇත්තටම ලිව්වේ කවුද කියන කාරණාව හොයන්න පෙළඹුණා. කතාව හැරීගේ වුණත්, මේ තරම් රසවත්ව, මේ තරම් අපූරු භාෂා හරඹයක් එක්ක පොත ලියලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් Ghost Writer කියලා හදුන්වන සැඟවුණු ලේඛකයෙක්. ඔහුත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. සුප්‍රසිද්ධ ඇමරිකානු ලේඛකයෙක්. ඒ වගේම විශිෂ්ට මාධ්‍යවේදියෙක්. ඔහුගේ නම මෝරිංගර්. (J. R. Moehringer). වසරේ විශිෂ්ටතම නිර්මාණ ලේඛකයා විදියට 2000 වසරේ දී පුලිට්සර් සම්මානයෙනුත් ඔහු පිදුම් ලැබුවා. ගෝස්ට් රයිටර් කෙනෙක් විදියට මෝරිංගර් ලියපු මුල්ම පොතත් මේක නෙමෙයි.

J. R. Moehringer – ඡායාරූපය ට්විටර්

මේ පොතෙන් ඩොලර් මිලියනයක් මෝරිංගර්ට ලැබුණා. පොතේ අත්තිකාරම් මුදල විදියට හැරීට ලැබුණු ඩොලර් මිලියන විස්සෙන් වැඩිම කොටසක් වෙන් වුණේ හැරී විසින් පවත්වා ගෙන යනු ලබන සුභසාධක කටයුතු වෙනුවෙන්.

“එක සැරයක් මං ගියා නැගෙනහිර ලන්ඩනයේ රෝහලකට. මගේ අම්මා එක සැරයක් මේ රෝහලට ආපු ගමන හරිම ප්‍රසිද්ධයි. එච්.අයි.වී ආසාදිත රෝගියෙකුගේ අතක් අම්මා තමන්ගේ අත්ල මත තියාගත්ත හින්දා මුළු ලෝකයම ඒඩ්ස් රෝගීන් දිහා බලපු ආකල්පය වෙනස් කළා. එච්.අයි.වී කියන්නේ ලාදුරු නොවෙන බවත්, ඒක සාපයක් නොවන බවත් අම්මා ලෝකයටම පෙන්නලා දුන්නා. ආදරය, කරුණාව කියන්නේ අපි එකිනෙකා අතර හුවමාරු කරගන්න පුළුවන් අවම මනුෂ්‍යත්වය මිසක් අපි එකිනෙකා අතර හුවමාරු කෙරෙන තෑග්ගක් නෙමෙයි කියලා අම්මා මුළු ලෝකයටම මතක් කරලා දුන්නා.

අම්මා එදා කළ ඒ සුප්‍රසිද්ධ සංචාරය ඒ විදියට අම්මා ඒ රෝහලට ගිය සංචාරවලින් එකම එකක් විතරයි. කිසිම ප්‍රසිද්ධියක් නැතිව ඒ විදියට ඒ රෝහලට ගිහින් කිහිප දෙනෙක්ව සතුටු කරලා අම්මා ආපහු ගෙදර දුවගෙන එනවා. අම්මා එහෙම ඇවිත් හුරතල් කරපු උපතින්ම එච්.අයි.වී පොසිටිව් වෙච්ච කාන්තාවක් මට රෝහලේ දී හමුවුණා.

“මම එයාව බදා ගත්තා… ඔයාගෙ අම්මව”

මගේ මුහුණ රතුවෙලා ගියා. ඒ වගේම ඉරිසියාවක් දැනුනා.

“ඔයා… මගෙ අම්මව?”

“ඔව් මම බදාගත්තා… ආහ්… ඒක කොයි තරම් නම් සුන්දරයිද? එයා කොයි තරම් නම් ආදරයෙන් වැළඳ ගන්නවද?”

“ඔව් මට මතකයි”

ඒත් මට මතක නැහැ.

කොයි තරම් වෙහෙසිලා මං උත්සාහ කළත් මට එහෙම අවස්ථාවක් මතක් කරගන්නම බැහැ.”

ඩයනා කුමරිය මිය යද්දී හැරී ළාබල වයසක හිටියත් ඒ වියොව තාමත් ඔහුගේ ජීවිතය තුළ හොල්මන් කරන බව කෘතිය පුරාම පේනවා. පැපරාසි ග්‍රහණයෙන් මිදෙන්නට ඩයනා කුමරිය රැගත් වාහනය එ් මාරාන්තික ගමන ගිය පැරිසියේ උමං මාර්ගයට අයියයි මල්ලියි දෙන්නම යනවා. ඒත් ඒ අවස්ථා දෙකක දී, දෙන්නාටම රහසින්. ඒ ගිහින් අම්මාගේ අවසන් ගමන ගිය වාහනයේ වේගයෙන්ම එයාලත් ඒ උමං මාර්ගයේ ගමන් කිරීම තරමක් අනුවේදනීය සිදුවීමක්.

මේ සටහන ලියැවුණේ හැරීවවත්, බ්‍රිතාන්‍ය රජ පවුලවත් උත්කර්ෂයට නංවන්න නෙමෙයි.

මේ සටහන ලියන්න මා වඩාත්ම පෙළඹ වූ කාරණාව මේ පොත හරහා දිවෙන ආත්ම ප්‍රකාශනයත්, ශිෂ්ට යැයි සම්මත ලෝකයක ජනමාධ්‍ය භූමිකාවේ ඇති ජඩකමත් ඒ හරහා මතුවෙන හින්දයි. ඩයනා කුමරිය වගේම තමන්ගේ මුළු මහත් ජීවිතයම බරපතළ අර්බුදයකට ලක් කරන්නට මුල් වුණු ප්‍රධානතම හේතූන් විදියට හැරී දකින්නේ මාධ්‍ය. දෙවැන්න රජ පවුලේ ක්‍රියාකාරකම්. මේ කතාව කියවා ගෙන යද්දී මේ තරම් දියුණු සහ ශිෂ්ට යැයි කියන ලෝකයේ මාධ්‍ය හැසිරීම කොයි තරම් නම් නීච ද කියන කාරණාව යළි යළිත් තහවුරු වෙනවා.

ඒත් හැරීගේ රාජකීයත්වයත්, ඒ රාජකීයත්වය නිසාම ඔහුට මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් ජාලාවත් එක්ක ලංකාවේ රාජකීයයන් නම් කිසිසේත්ම සමකරන්නට යන්නට එපා. ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන්, සුනාමි සහන මල්ලෙන්, මහජන මුදල් මංකොල්ලයෙන් රාජකීයත්වයට පත්වේචච හිඟන රාජකීය පුත්තුයි, හැරීලායි අතර කොයි තරම් නම් පරතරයක් තියෙනවා ද කියන එක පොත කියෙව්වොත් ඔබටම වැටහේවි. විනෝදයට රොකට් යවන්නට බංකිහැම් මාලිගයෙන් හැරීලාට මුදල් ප්‍රතිපාදන වෙන් වුණේ නැහැ. රජගෙදර පිළිකන්නේ ඉඳන් යුද්ධය කරලා නාවික හමුදාපති පවා සැලියුට් ගහපු පිං ලුතිනන්ලා වගේ නෙමෙයි, හැරී තමන්ගේ තරුණ ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් සජීවී යුද පිටියේ සැබෑ ලෙසින්ම යුද පෙරමුණේ හිටිය හමුදා නිලධාරියෙක්. අනෙක් දරුවන් වගේම නේවාසික පාසලක ඉගෙනුම ලබපු හැරී තමන්ගේ අධ්‍යාපනික ජීවිතයේ අරගල හැම දෙයක්ම මේ පොතෙන් හෙළිදරවු කරනවා. තමන්ගේ ආච්චි අම්මා පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වගේම මහා බ්‍රිතාන්‍යයේ මහ රැජින වුණත් නීති විද්‍යාලයේ වැඩිම ලකුණු ගත්ත හොර පෙරකදෝරුවෙක් වෙන්න හැරීලා හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ වගේම රජ කුමරෙකු වීම හින්දාම හැරී මුහුණ දුන්නු තාඩන පීඩන එක්ක තාජුඩීන්ලා ගැන කතා කරන්නට ඉඩක් ඉතිරි කළෙත් නැහැ. ඩයනා කුමරිය කොයි තරම් මාධ්‍යයෙන් පීඩා වින්දත් පුතාණෝගේ අම්මාගේ දෙපා ඡායාරූපයට නැගුණු මාධ්‍යවේදියාට වගේ ජීවිතයෙන් සමුගන්න ඒ පැපරාසින්ට සිදු වුණේත් නැහැ. පුතාණෝගේ පියාණන් කවියෙක්, ගීත රචකයෙක්, නවකතාකරුවෙක් කරපු ගෝස්ට් රයිටර්ස්ලා මරණීය තර්ජනයෙන් නිහඩ කෙරුණත්, හැරීගේ ගෝස්ට් රයිටර් ලෝකයෙන් සඟවලා නැහැ. එල්ලා වැටෙන කලිසම උස්සන තරමට ඒකාධිතිත්වයට රට උස්සා දමන රාජකීයන් මෙන් පෞද්ගලික වධකාගාර ගොඩ නැගුනේත් නැහැ.

කොහොම වුණත් මෑත කාලයේ කියවපු ආත්ම ප්‍රකාශනයන් (Biography) අතරින් ඉතා කැමැත්තෙන් කියවපු පොතක් තමයි SPARE කියන්නේ. මේ සටහන ලියැවුණේත් ඒ ලැබුණු උත්තේජනය නිසාමයි. ඉහතින් පළ කළ පොතේ ඇතැම් කොටස්වල පරිවර්තනයත්, පොතේ වචනයෙන් වචනයට කළ පරිවර්තනයක් නොවන බවත්, කථන ශෛලියෙන් කළ සංක්ෂිප්ත අනුවර්තනයක් බවත් අවසාන වශයෙන් සදහන් කරන්නට ඕනේ.

සමන් කළුආරච්චි

(සිලිලාර)

විශ්ව නවකතා ක්ෂේත්‍රයෙහි ලා ස්ත්‍රී දායකත්වය හා ශ්‍රී ලාංකික නූතන සාහිත්‍යයේ ජාත්‍යන්තර ගමන් මගෙහි හෙට දවස කෙබඳුද ?

0

“නවකතාව” ( Novel ) නැමති සාහිත්‍යය ප්‍රාකාරය වර්තමානය වනවිට ලෝකයේ විවිධ කරුණු-කාරණා සදහා භාවිතා වන බව පෙනේ. එහිලා ගෝලීය පුරවැසිභාවය දිනාගැනීම,අන්තර්ජාතික ත්‍රත්තවාදය හා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, අධිරාජ්‍යවාදී මැදීහත්වීම්, ගෝලීය ධනවාදය හා සූරාකෑම් , සරණාගත ප්‍රශ්නය,මිනිස් ජාවාරම්, ගණිකා ව්‍යාපාරය , අවි- ආයුධ වෙළදාම හා ජාත්‍යන්තර පාතාල ලෝකය යනාදී ලොව ප්‍රබල තේමාවන් සදහා වර්තමානයේ නවකතාවේ විෂය පරාසය විහිඳ ගොස් තිබේ. එසේම ජීවිතයේ ස්භාවය හා එහි සංකීර්ණතාවය පිළිබඳව ගැඹුරු සංවාද ද නවකතාව ආශ්‍රය මිශ්‍රණය කරගෙන කෙරෙන බව පෙනේ.

මීට පෙර කාලවකවානුවල නවකතාව යල්පැනගිය සාහිත්‍යය ප්‍රාකාරයක් යයි මතු වූ ප්‍රවාදය මිත්‍යාවක් නොඑසේනම් පුස්සක් බවට පත් කරමින් වර්තමාන විශ්ව සාහිත්‍යය තුළ නවකතාව අත්පත් කරගෙන ඇති ගෝලීය අවධානය අතිශයින්ම විශ්මයජනක ය. එබැවින් ලෝකයේ ජනප්‍රියතම සාහිත්‍යාංගය නවකතාව යයි කීම කිසිවිටෙකත් අතිශයෝක්තියක් නොවන්නේ ය.
“නවල්” ( Novel .යන ඉංග්‍රීසි වචනය “නොවෙලා” Novella යන ඉතාලි වචනයෙන් බිඳී ආවකි.ලතින් භාෂාවෙන් “නෝවස්” Noves යන්න යම්බදු නව්‍යතර වූ දෙයක් හැඟවෙයි. මෙම වචනය පසුකාලීනව “නොවෙලස්” Novellus බවට පරිවර්තනය වූ අතර එයින් “නොවෙලා”‘ යන ඉතාලි වචනය නිර්මාණය විය..- කර්තෘ )

විශ්ව නවකතාවෙහිලා ස්ත්‍රී දායකත්වයෙහි මූලාරම්භය කෙබඳුද ?

මෙපරිදි ගත් කළ විශ්ව නවකතාව ක්ෂේත්‍රයෙහි ථෙතිහාසික විකාශනයෙහි ලා පමණක් නොව මධ්‍යතන හා නූතන විකාශනයෙහිලා ද ස්ත්‍රී පාර්ශවයේ දායත්වය විශේෂයෙන් කැපී පෙනෙන බව විශ්ව සාහිත්‍යය විමර්ශනාත්මක කරන බලන කල්හි මැනවින් පෙනේ.

ලොව මුල්ම නවකතාව වශයෙන් බොහෝ සාහිත්‍යය විචාරකයන් විසින් හදුන්වා දෙනු ලබන The Tale of Genji – 1072 රචනා කරන ලද මුරසකි ෂිකිබු ආර්යාව ( Lady Murasaki Shikibu ) ද ජපන් ජාතික කාන්තාවකි.ඇතැම් නූතන සාහිත්‍යය විචාරකයන් විසින් ලොව මුල්ම නවකතාව වශයෙන් හදුන්වනු ලබන Oroonko – 1678 රචනා කරන ලද ඇෆ්රා බෙන් ( Aphra Behn ) ද ඉංග්‍රීසි ජාතික කාන්තාවකි.එපමණක්ද නොව ලොව මුල්ම මනෝවිද්‍යාත්මක නවකතාව වූ La Princess de Cloves- 1678 – 1680 ? රචනා කරන ලද ලෆායෙට් මැතිනිය ( Madam de Laffayett ) ද ප්‍රංශ ජාතික කාන්තාවක් වීම විශේෂ කාරණාවකි.
වර්තමානය වන විට විශ්ව නවකතා ක්ෂේත්‍රයෙහිලා අන් කවරදාටත් වඩා නවකතාකරුන් අභිබවා නවකතාකාරියන් ඉදිරියට ඒමත් එහිලා ඔවුන්ගේ සාහිත්‍යය නිර්මාණ ( එනම් නවකතා ) ලොව මුල්පෙලේ සාහිත්‍යය ත්‍යාග උළෙලවල්වල දී මුල්පෙලේ ත්‍යාගවලට පාත්‍ර වීමත් ඉතා පැහැදිලිව දකින්නට ලැබෙන කාරණාවකි. එපමණක්ද නොව ඔවුන්ගේ නවකතා ලොව ඉහළම නවකතා අලෙවි දර්ශකවල ( එනම් The International Bestseller, Sunday Times Bestseller, New York Times Bestseller ) ඉහළ ස්ථානයන් අත්පත් කර ගනිමින් ඒවායේ පිටපත් මිලියන ගණනින් අලෙවි වන්නේය. එසේම ඒවා ලොව විවිධ භාෂාවවලට ද පරිවර්තනය වන්නේය.
මීට ආසන්නම උදාහරණය නම් ….

ගීතාංජලී ශ්‍රී ( Geethanjali Shree ) 


2022 දී ජාත්‍යන්තර බුකර් ත්‍යාගය ( The Booker International Prize – 2022 ) දිනාගන්නා ලද්දේ ඉන්දියානු ජාතික ගීතාංජලී ශ්‍රී ( Geethanjali Shr ) වීසින් හින්දි භාෂාවෙන් රචිත Tomb of Sands – 2021 නැමති නවකතාව.මේ වනවිට මෙම නවකතාව ලෝකයේ විවිධ භාෂා පහළොවකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී එහි පිටපත් මිලියන ගණනින් ලොවපුරා අලෙවි වන්නේය.

වර්තමානයේ විශ්ව නවකතාකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන ජේෂ්ඨ නවකතාකාරිණියන් දෙදෙනෙකු ලොව සිටින බව ඔබ දන්නෙහි ද ? නොදන්නෙහි නම් දැනගනු මැනවි.

එනම් ඒ කැනේඩියානු ජාතික මාර්ග්‍රට් ඇට්වුඩ් ( Margaret Atwood ) හා එංගලන්තයේ ජාතික හිලරි මෙන්ටල් ( Hillary Mental ) ය .මොවුන් දෙදෙනාගේ නවකතා යුරෝපයේ විකිනෙන්නේ උණුකැවුම් මෙනි. එසේම මොවුන් දෙදෙනාගේ කිනම් හෝ නවකතාක් ප්‍රකාශයට පත්වී මාස ගණනාවක් යනතුරුම ලොව නවකතා දර්ශකවල ( උදා – SundayBest Seller / New YorkTimes Bestseller ) අංක 01 ස්ථානය හිමිකර ගන්නේ ය. එපමණක්ද එම නවකතා ලොව බොහෝ නවකතාවවලට පිදෙන ත්‍යාග ලැයීස්තුවල ද මොවුන්ගේ එම නවකතා ඉහළින්ම වැජඹෙන්නේ ය.

මාර්ග්‍රට් ඇට්වුඩ් ( Margaret Atwood )

මෙහිලා මාර්ග්‍රට් ඇට්වුඩ්ගේ නවකතා The Booker Prize හි කෙටි ලැයිස්තුවට ( A Short List ) හතරවතාවක් නිර්දේශ වී 1999 දී ඇය විසින් රචිත The Blind Assassin නවකතාව වෙනුවෙන් 2000 දී ද 2018 දී රචිත The Testaments නවකතාව වෙනුවෙන් 2019 දී ද The Man Booker Prize දිනාගන්නා ලදි. එසේම හිලරි මෙන්ටල්ගේ නවකතා The Booker Prize හි කෙටි ලැයිස්තුවට එක්වරක් ඇතුලත් වී 2007 දී ඇය විසින් රචිත Wolf Holl ( ථෙතිහාසික ) නවකතාව වෙනුවෙන් 2008 දී The Booker Prize හා 2010 දී ඇය විසින් රචිත Bring Up the Bodies යන නවකතාව වෙනුවෙන් 2011 දී The Booker Prize දිනාගන්නා ලදි.

ඒ අනුව The Booker Prize දෙවරක්ම හිමිකර ගන්නා ලද ලොව දැනට සිටින නවකතාකාරිණියන් දෙදෙනා වශයෙන් මොවුන් දෙදෙනා ඉමහත් සම්භාවනාවට පාත්‍ර වන්නේ ය .

හිලරි මෙන්ටල් ( Hilary Mantel ) 

සැබැවින්ම මාර්ග්‍රට් ඇට්ඩුඩ්ගේ නවකතා තුළින් වර්තමාන යුරෝපීය ස්ත්‍රිය මුහුණ දෙන්නා වූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හා ඒ අරබයා ඇයගේ මනෝභාවයන් ක්‍රියාත්මක වන්නා වූ ආකාරය ඉතා ගැඹුරින් හා සියුම්ව විවරණය වන අතර හිලරි මෙන්ටල් වූ කලී වර්තමානයේ ලොව සිටින විශිෂ්ටතම ථෙතිහාසික නවකතාකාරිණිය වන්නේ ය .
විශ්ව නවකතාව ක්ෂේත්‍රයෙහිලා එසේ සිදුවෙද්දී ශ්‍රී ලංකික නවකතාව ක්ෂේත්‍රයෙහිලා එවන් වූ ප්‍රවණතාවයක් දකින්නට නොලැබුණ ද එහිලා කාන්තා දායකත්වය වර්තමානයේ දී කිසියම් වූ සාධනීය වර්ධනයක් පෙන්නුම් කරන බව පෙනේ. එහිලා ඔවුන් විසින් රචනා කරන ලද නවකතා අතුරින් කීපයක් හෝ ප්‍රශස්ථ මට්ටමක තැබිය හැකි නිර්මාණ වුවද, ඒවා ලොව ජාත්‍යන්තර භාෂාව වූ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී ජාත්‍යන්තර පොත් ප්‍රකාශන සමාගම් මගින් විශ්ව පාඨකයන් අතට පත් නොවීම ඉතා ශෝචනීය කාරණාවකි.

නූතන ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ශෝචනීය තත්වය නොඑසේනම් පසුගාමීත්වය පසක් කර ගැනීමට අප යුරෝපයටවත් , ලතින් ඇමරිකානු රටවල්වලටවත් නොඑසේනම් අප්‍රිකානු මහද්වීපයටවත් යා යුතු නැත.අපි අපේ අසල්වාසී රටවල්වල නූතන සාහිත්‍යයයන් උදාහරණ ගෙන බලමු. ඉන්දියානු නූතන සාහිත්‍යය විශිෂ්ටය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නොමැත.එපමණක්ද නොව ඔවුන් මේවන විට තම සාහිත්‍යකරණයෙහිලා භාවිතා කරනු පිණිස ඔවුනටම ආවේනික වූ ඉංග්‍රීසි ලේඛන ගෛලයක් ද නිර්මාණය කරගෙන ඇත්තේ ය. පාකිස්ථානයේ නූතන සාහිත්‍යය ජාත්‍යන්තරය වෙත ගොස් බොහෝ කල් ය. බංගලාදේශයේ නූතන සාහිත්‍යය පිළිබඳව කිව හැක්කේ ද එයමය.නේපාලයේ – භූතානයේ නූතන සාහිත්‍යයයන් ජාත්‍යන්තරය වෙත යෑමට අවැසි සළුපිළි ඇදිමින් සිටියි.

අපේ අසල්වාසී රටවල් නොවුනත් සිරියාවේ හා ඇෆ්ගනිස්ථානයේ නූතන සාහිත්‍යයයන් යුද ගිනිදැල් අතරින් ජාත්‍යන්තරය වෙත ගිය ඒ කටුක ගමන මුළුමහත් ලෝකයටම මහඟු ආදර්ශයකි.

ශ්‍රී ලාංකික නූතන සාහිත්‍යයේ ජාත්‍යන්තර ගමන් මගෙහි හෙට දවස.කෙබඳුද ?

අපට වැරදුණේ කොතැනද ? අප වහ වහා නිවැරදි කරගත යුත්තේ කුමක්ද ?
අපගේ සංස්කෘතිය දෙපාර්තමේන්තුවේ හා මෙරට සාහිත්‍යය හා කලා මණ්ඩලයේ නිලතල දරමින් සීතල කාමරවල හිද කැරකෙන පුටු රත් කරමින් වසරක් පාසා පවත්වන රාජ්‍ය සාහිත්‍යය සම්මාන උත්සවවලට මහජන මුදල් විශාල වශයෙන් වියදම් කරමින් ජනාධිපතිවරයාගෙන් හා විෂයභාර අමාත්‍යවරයාගෙන් ලකුණු ගැනීමට මාන බලන බලධාරීන්ට මෙම කාරණාව නිසිපරිදි තේරුණාද ? ඔවුනට මෙම කාරණාව පිළිබඳව අඹමල් රේණුවක තරම්වත් සංවේදීතාවයක් වීද ? නැත.සැබැවින්ම නැත.එසේ වී නම්, ශ්‍රී ලාංකික නූතන සාහිත්‍යය තවමත් මේ දූපතේම රැදී පවතී ද ? නැත. සැබැවින්ම නැත.
පසුගියදා කේඩෑරි වී ගිය ශ්‍රී ලාංකේය සාහිත්‍යයට කිසියම් ආකාරයකින් ප්‍රාණයක් හෝ උත්තේජනයක් ලැබුණු බව පෙනේ. ඒ
ශ්‍රී ලාංකේය ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචිත The Seven Moon of Maali Almeida ~ 2021 නවකතාව වෙනුවෙන් The Booker Prize හිමිවීමයි. මෙයට පසුබිම් වූ එකීතරා කතාවක් ඇත්තේ ය . එය මෙසේ ය.

ෂෙහාන් කරුණාතිලක විසින් රචිත Chats with the Dead නවකතාව 2020 දී ප්‍රකාශයට පත්වූයේ ඉන්දියාවේ පෙන්ගුයින් ප්‍රකාශයක් ( Indian Penguin Publication ) වශයෙනි. එය 2021 දී සංස්කරණයේ කර The Sven Moons of Maali Almeida යන නමින් බ්‍රිතාන්‍යයේ Penguin Random House ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙන්න මේ පොත අරබයා තමයි 2022 දී The Booker Prize හිමිවූයේ. බැරි වේලාවත් ෂෙහාන් කරුණාතිලක ද මෙරටේ හිරවී කුරුටු ගගා සිටියා නම් ඔහුද තවමත් මෙම කොදෙව්වේ හිරව සිටිනු ආකාරය අපට දකින්නට පුළුවනි. .

මේවන විට අප පසුකර බොහෝ රටවල් ජාත්‍යන්තරය වෙත ගොස් ඇත.”ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකි” යැයි අපේ පුරාණ ගැමියන් අතර ප්‍රකට ජනකියමනක් ඇත.දැන්වත් අප දෙනෙත් හැර ලෝකය දෙස බැලිය යුතුය. වහ වහා ක්‍රියාත්මක විය යුතුය. ඊට නිසි වැඩපිළිවෙලක් අපගේ විදේශ තානාපති කාර්යාල සමග එක්ව සකසා ගත යුතුය.
මෙම ජාතික වැඩ පිළිවෙලින් කොටසක් මෙරට කොළඹ කේන්ද්‍රගතව ක්‍රියාත්මක වන සාහිත්‍යය සංගම්වලට ද අයත්.ය. ඔවුනට මෙම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර විය නොහැක. මෙහි ඉතාමත් අවසනාවන්ත කාරණාව වනුයේ, මුද්‍රිත මාධ්‍යය ඔස්සේ පිටු පුරවන මෙරට සාහිත්‍යය ඔස්තාර්ලාටත් මෙම කාරණාව නොපෙනීමයි. සැබවින්ම ඔවුනට මෙම කාරණාව නොපෙනෙන්නේ ද? නොඑසේනම් නොපෙනුණා සේ රගපාන්නේ ද ?
ජාතියේ පිනට හෝ මතුයම් දිනක එවන් වූ ( ප්‍රයෝගික ) වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙත්ද , අපගේ නූතන සාහිත්‍යය ද ජාත්‍යන්තරය වෙත පියවර තබනු ඇත…!!!

මගේ නූතන විශ්ව සාහිත්‍යය කියවීමට අනුව ලොව ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකින් බිහි වූ විශිෂ්ට පුරාතන ගද්‍ය – පද්‍ය සාහිත්‍යයක් තවමත් ජාත්‍යන්තරයට නොගොස් රටේහි ම රැදී පවතින ලොව යම් සාහිත්‍යයක් වීද ? එසේ වී නම්, ඒ ශ්‍රී ලාංකික සාහිත්‍යයම පමණි.

මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් මෙයද කිව යුතුය.එනම් හෙළබස සැරසූ මුණිදාස කුමාරතුගු වන් පැවසූ “අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොවැ නොනගී” යන උතුම් කියමනයි.මෙය මෙරට නූතන සාහිත්‍යයටත් කොතරම් වලංගු වන්නේ ද ?

■ ආශ්‍රිත ග්‍රන්ථය —–

  1. Contemporary Woman’s Writing’s Ed by Jane Eldridge Miller ~ 2003.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි