‘නිදි නැති නිම්නය’ පිළිබඳ අදහස් කිහිපයක්
තරංගා රණසිංහ කෙටිකතාකාරියක් හැටියට අපි හඳුනාගත්තෙ 2008 වසරෙදි “මෙමා හැර ලියෝ” නමින් ඇය ලියූ කතා එකතුවෙන්. එය කාන්තා කේන්න්ද්‍රීය තේමාවක් සහිත කෙටිකතා සංග්‍රහයක් හැටියට පාඨක විචාරක අවධානය දිනා ගත්තා. 2022 වසරෙදි ඇගේ තෙවන කතා එකතුව නිකුත් වුවත් එය මා අතට පත් වුණේ මෑතකදියි.
“නිදි නැති නිම්නය” පළ වන්නේ “මෙමා හැර ලියෝ” පළ වී 14 වසරකට පමණ පසුවයි. කෙටිකතාකාරියක් හැටියට තරංගා කිසියම් වර්ධනයක් අත්පත් කරගෙන තිබේද යන්න විමසා බැලිය හැක්කේ ඇගේ මුල් කතා සංග්‍රහයට මෙන්ම වර්තමාන කෙටිකතා කලාව අත්පත් කරගෙන තිබෙන කලාත්මක වර්ධනයන්ටත් සාපේක්ෂකවය කියා මා සිතනවා. සැබවින්ම ඇගේ “මෙමා හැර ලියෝ” පළ වූ කාලය ගැන සලකා බලන විට ලාංකික කෙටිකතා කලාවේ කාන්තා දායකත්වය සීමාසහිත මට්ටමකයි පැවතුණේ.
එපමණක්ද නොව සාහිත්‍යාංගයක් හැටියට එවකට කෙටිකතා කලාව පැවතියේද විවිධ අත්හදා බැලීම් කරන මට්ටමකයි.
සාහිත්‍යාංගයක් හැටියට කෙටිකතා කලාවේ 2000 දශකයේ සිදුවෙමින් පැවති වර්ධනය අද වන විට ප්‍රශස්ත මට්ටමකට පත්ව ඇති ආකාරය පසුගිය කාලයේ පළ වූ කෙටිකතා සංග්‍රහ විමසා බලන විට තේරුම් ගන්න පු`ඵවන්. අමරකීර්ති, එරික්, කීර්ති හා ප්‍රභාත් වැනි ප්‍රවීණයන්ගේ පරපුරේ සිට සුදර්ශන, ප්‍රින්ස්. මූණමල්පේ හා කංචනා ආදි නව පරපුරේ සාමාජිකයන් දක්වා තේමාත්මකව හා ශිල්පීය වශයෙනුත් ලාංකික කෙටිකතාව වර්ධනය වී ඇති ආකාරයක් දකින්න ලැබෙනවා.
තරංගාගේ “නිදි නැති නිම්නය” පාඨක සමාජය අතට පත් වන්නේ මෙවැනි පසුබිමකයි. මෙම කතා එකතුවේද ඇගේ මුල් කතා සංග්‍රහයට නැකම් කියන නිර්මාණ කිහිපයක්ම දකින්න පුළුවන්. මෙහි අන්තර්ගත කතා පහේම කාන්තා චරිතයක් ඉස්මතු කර දැක්වීමට තරංගා උත්සහා දරා තිබෙනවා. මේ හැම කතාවකටම පාහේ තේමා වි තිබෙනුයේ ගැහැනිය විෂයෙහි පුරුෂෝත්තම සමාජ ක්‍රමය විසින් එල්ල කරනු ලබන පීඩනයයි. “නිකිණි පාළුව” නමින් එන මුල්ම කතාව තවමත් ඉතා පසුගාමී මට්ටමක පවතින දුෂ්කර කෘෂි කලාපයක් ආවරණය කරන්නක්. එහි එන සුනන්දා, පුරුෂකේන්ද්‍රීය සමාජ බලයක් විසින් පීඩනයට පත් කෙරෙන ගැහැනියක්. තරංගා මෙම කතාව ගොඩනගන්නේ විවාහක පුරුෂයා අන් අඟනක් කරා යෑම , සල්ලාලයන් ඇය හඹා ඒම, විවාහක පුරුෂයාගේ මරණය, දිරිය මවක ලෙස ඇය ජීවිතයට මුහුණ දීමට දරන ප්‍රයත්නය ආදි ඉසව් ඔස්සේයි. මෙහිදී ලේඛිකාව රූප රාමු ඛණ්ඩනය කරමින් කරනු ලබන සිද්ධි නිරූපණය ඇය සතු ශිල්පීය කුසලතා ප්‍රකට කිරීමක් ලෙස අගය කළ හැකියි. මෙම කතාවේ සුනන්දාගේ පුරුෂයා ලෙස විජේරත්න හා විජේසිංහ යන නම් දෙකක් සඳහන් වෙනවා. ලේඛිකාව මෙම කතා රචනයේදී ශිල්ප භාවිතාවකද නිරත වන නිසා මෙවන් නාමකරණයන් කතා උපායන් ලෙස භාවිතා කළේද යන ගැටලුව පාඨකයා හමුවේ පැනනැගිය හැකියි. එසේම මෙහි යොදා තිබෙන යාත්තල්ල නම් වදනද කිසියම් ප්‍රාදේශීය බස් වහරකට අයත් එකක්ද යන්න පැහැදිලි වුණානම් හොඳයි .(ගැමි වහරේ බහුල ලෙස භාවිතා වන මීට සමාන වදන යාලත්තයි)
“ගෝල්ඩන් කී”කතාව මගින් තරංගා ඈත එපිට ගමින් මිදී නගරයට විතැන් වනු දැකිය හැකියි. පහළ මැද පන්තියේ බිඳ වැටෙමින් පවතින ජිවන අපේක්ෂාවන් කෙරෙහි මෙමගින් අවධානය යොමු කෙරෙනවා. මෙහිදී අපට හමු වන්නේ නිශාරා නම් බටහිර පන්නයේ තරුණ මවක්. රටක ආර්ථික හා දේශපාලන අර්බුදය උග්‍ර වන විට ඉන් වඩාත්ම බැට කන්නේ මැද පාන්තික ප්‍රජාව බව නිශාරා තම කුටුම්බ සංරක්ෂණය වෙනුවෙන් කරන අරගලය මගින් ද්විනිත වෙනවා. කතාව අවසානයේ ප්‍රදර්ශනය වන්නේ මේ අගාධයෙන් ගොඩ එනු පිණිස ඇගේ ශරිරය පූජා කිරීමට පවා පෙළෙඹෙන සැටියි. කතාවේ නිමාව සෘජු රූපකයක් ලෙස ඉස්මතු නොවී වඩාත් නිර්මාණාත්මක වුණා නම් අගනේය කියා හිතෙනවා.
“මහ බඹාට මුහුණු දෙකයි”, “රතු කොට්ටම්බා ගස්” හා “නිදි නැති නිම්නය” මෙහි අන්තර්ගත අනෙක් කතා තුනයි. “මහ බඹාට මුහුණු දෙකයි” කතාවේ කුමාරි සම්ප්‍රදායික ගැමි සමාජයේ දඬු අඬුවට හසු වූ පිටස්තර තරුණියක්. තරංගා මෙය රචනා කරනුයේ ගැමි සමාජයේ දේපළ සබඳතා හා සමාජ චාරිත්‍ර අතර හුදෙකලා වන කුමාරිගේ චරිතය දෙස සානුකම්පිත දෘෂ්ටියක් හෙළන කතාවක් ලෙසයි. මෙම කතාවේ බස් වහරේදී ලිඛිත හා වාචික යන රීති දෙකම භාවිතා කර තිබෙනවා. ලේඛිකාව මෙය සිතාමතාම යොදා ගත් ශිල්පෝපක්‍රමකය්ද යන්න පැහැදිලි නැහැ. සම්මත ලෝකයේ හිතුවක්කාරියක ලෙස හංවඩු ගැසෙන දැරියක් ස්වෝත්සහයෙන් මැඩම්වරියක් බවට පත් වන ආකාරය “රතු කොට්ටම්බා ගස්” කතාව මගින් ලේඛිකාව සිතුවමට නංවනවා. මෙහිදී උපයෝගි කරගන්නා ගණිත රූප සටහන් කතාවේ වාච්‍ය සීමාවන් ඉක්මවා ගියේද යන පැනය මා හමුවේ මතු වුණා.
“නිදි නැති නිම්නය” කතාව තරංගා වඩාත්ම රුචි කරන තේමාව සමග හරඹ කිරීමට දැරූ තැතක්. එහිදී තරංගා පාඨකයා රැගෙන යන්නේ අර්ධ නාගරික පරිසරයකට. මෙහි එන කාන්තිලතා පිරිමින් දෙදෙනෙකුට මැදි වූ ගැහැනියක්. විවාහක පුරුෂයා හා පෙම්වතා වශයෙන්. ඒත් මේ දෙදෙනාම කාන්තිලතාට සලකන්නේ ඔවුන්ගේ යටත් වැසියෙක් හැටියට. සුනඛයන් දෙදෙනෙක්ද මෙහි කැපී පෙනෙන භූමිකාවක් රඟනවා. සංකේතමය වශයෙන් සලකා බලන කල මේ සුනඛ නියෝජනය මගින් ලේඛිකාව කතාවට නව අරුතක් දනවන්න සමත් වෙනවා. මේ කතා සංග්‍රහයේ එන වඩාත්ම ප්‍රබල නිර්මාණය වශයෙන් මා
දකින්නේ “නිදි නැති නිම්නය”යි. තරංගාගේ “මෙමා හැර ලියෝ” කතා සංග්‍රහයේ එනමින්ම එන කතාව තරමටම මෙය සාර්ථක බවයි මගේ හැඟීම.
වර්තමාන කෙටිකතාව පැමිණ තිබෙන දුර දෙස බලන විට “නිදි නැති නිම්නය” කවර තැනක ස්ථානගත කළ හැකිද යන්න පාඨක විචාරක පර්ෂද හමුවේ මතු විය හැකි පැනයක්. මා සිතන ආකාරයට නම් “නිදි නැති නිම්නය”මගින් තරංගා කර තිබෙනුයේ ඇගේ මුල් කෘතියට සමපාත විය හැකි නිර්මාණ කිහිපයක් ප්‍රබන්ධ කිරීමට වැයම් කිරීමක්. තමාගේ කතා කලාව තව දුරටත් පෝෂණය කර කෙටිකතා කලාවේ නව කඩඉම් ජය ගන්නට ඇයට කිසියම් හැකියාවක් ඇතත් එම ඉලක්කය වෙත පිවිසෙන්නට ඇය ආයාසයක් දරා නැතැයි මට හිතෙනවා.
මැතකදී කතාබහට ලක් වුණ නව පරපුරේ කෙටිකතා කෘති ලෙස සැලකිය හැකි සුදර්ශන සමරවිරගේ “සුනෙත් කාන්තගේ ශො ්කාන්තය”, කාංචනා ප්‍රියකාන්තගේ “කර්මක්ෂ”, සුසන්ත මූණමල්පේගේ “රෝස මුසන්ඩාස් පිස්සුව”, ප්‍රින්ස් සේනාධීරගේ “ක`ඵ උස මනුස්සයෙක්” වැනි කෙටිකතා සංග්‍රහා දෙස මඳ අවධානයක් යොමු කරන්න කැමතියි. තේමාත්මක හා ශිල්පීය වශයෙන් මෙන්ම ජීවන ධර්මතා ප්‍රකට කිරීම අතිනුත් මෙම කතා සංග්‍රහයන් හි අඩංගු කතා රැසක් ඉහළ මට්ටමක පවතින බවයි මගේ හැඟීම. තේමාත්මක විවිධත්වය සොයා යාම හා කතා කලාවේ විවිධ මානයන් කෙරෙහි ඇති නැමියාව මෙම
කතා වල සාර්ථකත්වයට තුඩු දී ඇති සාධක අතර කැපී පෙනෙනවා.
කෙටිකතාකාරියක ලෙස තරංගා සතු ශක්‍යතා පූර්ණ ලෙස මුදා නොහල කතා සංග්‍රහයක් ලෙයසි “නිදි නැති නිම්නය” මා දකින්නේ. යල් පැන ගිය කතා රීතීන් බිඳ දමා නව ආඛයාන විධි ස්ථාපිත කිරීමේ අවැසිතාව පිළිබඳව කිසිදු විවාදයක් නැතත් නවීන කතා කලාව විසින් ඉල්ලා සිටිනු ලබන ගැඹුරු ජීවන හා සමාජ විවරණයද සමග ඒකාත්මික වූ නැවුම් ආඛ්‍යාන රටාවන් බිහි කළ හැකි නම් කවර සාහිත්‍යාංගයක් හෝ වේවා කලාත්මක අපූර්වත්වයෙන් පරිපූර්ණ වනු ඇතැයි මම සිතනවා. තරංගාගේ ලේඛන ශක්‍යතා තවතවත් ඔපවත් වී ආකාතිමය වශයෙන් සේම අන්තර්ගතය පාර්ශ්වයෙන්ද නැවුම් නිර්මාණ බිහි කිරීමේ වාසනා ගුණය අත් වේවායි පතනවා.