‘මනෝ’ – සංජය ඉශාන්
සිංහල කවියෙහි සංක්ෂිප්ත කවිය ස්ථාපිත කිරීම පිණිස මූලිකවම මැදිහත්වූ කවීන් වනුයේ ආරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ දෙපලය. ජපන් හයිකු කවියෙහි හැඩ තල එලෙසම නොවුවද යම් තරමකට අනුගමනය කරමින් හයිකු නොවන එහෙත් වඩාත් සංක්ෂිප්ත නැතිනම් කෙටි කවි විශේෂයක් සිංහල කවියට ඒ සමගම එකතු වූ අතර ඉක්මනින්ම එය කවීන් අතර ජනප්‍රිය වීමද අරඹුණි. මුලදී බෙහෙවින් අනුකාරක ලක්ෂණ පල කලද අද වන විට මේ කවි මාර්ගය බොහෝ දෙනා අතර ප්‍රචලිතව හමාරය. විශේෂයෙන්ම තාක්ෂණයේ වර්ධනයත් සමගින් සමාජ මාධ්‍ය භාවිතය වේගයෙන් වැඩි වීමද කවිය එහිදී මූලිකම ප්‍රකාශන මාධ්‍යයක් බවට පත්වීමද කැපී පෙනන අතර එහිදී මේ මාධ්‍ය තුළ කෙටි කවිය කැපී පෙනෙන තැනකට ගෙන ඒමට මැදිහත්වූ තරුණ කවියා වූවේ අද අප අතර නැති ඉන්දික ගුණවර්ධන බව කිව යුතුය. ඔහුගේ කවියෙහි විශේෂත්වය වූවේ සමාජ විචාරයේ ලා කෙටි කවිය යොදා ගැනීමට ඔහු තුළ වූ උත්සුක භාවයයි. මේ ඔහු සිය මුල්ම කවි අතර නිර්මාණය කළ තියුණු දේශපාලන අරුතක් සහිත කවියකි.
නැටි
තිබුණ නං
අපිට
වනල වනලම
කැඩිල මෙලහට
කෙසේ හෝ වේවා අද වන විට කෙටි කවිය සිංහල කවීන් අතර බෙහෙවින් ජනප්‍රිය කාව්‍ය මාර්ගයක් වී හමාරය. මනෝ නමින් සිය කාව්‍ය එකතුවක් පල කරනා සංජය ඉෂාන්ගේ කවි මේ කෙටි කවි අතර කැපී පෙනෙන මැදිහත්වීමක් කරයි. ඔහු ගේ කවි තුළින් මතු කරන සමාජ විචාරය මෙන්ම එහි ගැබ්වන දේශපාලන සමාජ අරුතද විටෙක ප්‍රබල ය.
නොගිහින් බුදුන් ළඟට
රෙද්දක් හෙවුව නං
වහගන්න හෙළුව
පටාචාරාගේ
ලිපිනය
වෙන්න බැරි නෑ
බෝ ගහ යට
පිටකොටුව
මෙහි එන ඇතැම් ඇඟවුම් හරහා මතු කරන සමාජ යථාර්තය බෙහෙවින් කටුක ය. පිටුකොටුවේ බෝ ගහ යන්න ආගමික් අර්ථයට වඩා නාගරික දිවියෙහි අඳුරු අහුමුළු විවරණය කරන්නට භාවිතා කරනා යෙදුමකි. එක් කාලයක එය වඩාත් පරසිදු වූවේ පුරඟනන්ගේ තිප්පොලක් ලෙසටය. කවියා පටාචාරාව බුදුන් නොදැක්කා නම් එහි දී හමුවන්නට ඉඩක් නොවිණිදැයි විමසන්නේ ගැඹුරු අරුතක් සම්පාදනය කරමිනි.
ඔහු විටෙක සිය කවියෙන් සමකාලීන දේශපාලනයේ ස්වභාවය විමසීමට ලක් කරයි. අද වන විට අපට කේවල රාජ්‍යයක් ලෙස පවතින්නට බැරි තරමටම ලෝක බලවතුන්ගේ මලපුඩුවෙහි සිරව හමාරය. ඉන්දියාව හා ඇමරිකාව සමගින් වන කඳවුරත් චීනය රුසයාව සමගින් වන කඳවුරත් අතර වෙන්දේසි වන කටුක ඉරණමක දිනපතා අප කොටු වන, අපේ දේශපාලකයන්ගේ බලලෝභී තීරණ හේතුවෙන් දරුණු ආර්ථික අගාධයකට වැටෙන අපේ රටෙහි ඛේදවාචකය කවියා මෙලෙස ස්පර්ශ කරයි.
මේක දූපතක්
දොස් කියලා මක්කටෙයි
චීනෙටත්
ඇමරිකාවටත්
සුද්දටත්
මේ ඔහු අප ඉරණමම තවත් මානයකින් අල්ලන ආකාරයයි.
අම්මේ
හරි ලස්සන වචන වලින් හැඩවෙච්ච
රටක් ගැන කීවා මතකයි
ඒ කතා අහගෙන
මම බත් කෑවා මතකයි
හැමදාම හැම රෑම ජාතික තොටිල්ලේ
නින්ද මතකයි
ඒත් ටික ටික ලොකු වෙද්දි
මට මාව අමතකයි
අපේ ජීවිත ආගම විසින් ගැටගසනුයේ එක්කෝ කර්මයටය. නැතිනම් දේව කැමැත්තටය. ජනයා හට සිදුව ඇත්තේ තමන් මත පතිත වන සියළු අසාධාරණයන් ඉහත දෙකින් එකකට පවරාදී ඉවසා මිය යාමටය. ආගමික විය ගසේ ගැට ගසනු ලබනා ජනතාව තම අයිතිවාසිකම් නොඉල්ලා ඉරණමට සියල්ල භාරදී යටත්ව සිටිනා තුරාවට විමුක්තිය යනු හුදු සිහිනයක් පමණි. මිනිසා කළ යුත්තේ තම හිමිකම් වෙනුවෙන් නැගී සිටීමය. එහෙත් ඊට පෙර ඔහු තමන්ගේ සැබෑ තත්වය වටහා ගත යුතුව තිබේ. ඉෂාන් මේ ගැන ලියයි.
අතහැරපු සමහර ලෝක
මත්වුනාම ඔළුවෙ වදිනවා
ඉතින් පුරුද්දට වගේ
ආයෙ ආයෙ අල්ලගන්නවා
ගොනා පස්සෙ රෝද එනවා?
නෑ….ගොනා අදින නිසා රෝදෙ කැරකෙනවා
විමලරත්න කුමාරගමගේ එක් කවියක් තියුණු උත්ප්‍රාසයක් දනවයි. ඔහු එය නම් කරනුයේ තෙරුවන් සරණ යනුවෙනි
තෙරුවන් සරණ යයි ඔහු පොහොය දිනවල
ඊයෙත් ගියා පන්සල ළිහිණියාවල
ඔහු දුටු මහඟු තෙරුවන බණ අසන කල
ලීලගෙ පපුව රතු දෙඅදර පුලුළුකුල
මේ ඉෂාන්ගේ කවියයි.
බොහොමයක් ලැමවල්
විහින්මයි වුනේ වල්
මෙහෙම කියපු පොරවල්
තැලුවෙම නැද්ද මල්?
ඔහු වාණිජකරනයෙන් අලංකාරවත් කොට සැදැහැතියන්ගේ හිස් මතින් ඉහල මිලකට අලෙවි කරනා ආගමික භක්තිය මෙන්ම එහිදී පරිහාණියෙන් පරිහාණියට යමින් බුදුන්ගේද ගුරුවරුන් වීමට තතනන භික්ෂු සමාජය විචාරයට ලක් කරයි. තම බණටම පිටුපා තමන් අලෙවි වෙන ඒ ගැන ඔජ වඩඩවන කසාවත මේ ඔහුට පෙනෙන අයුරයි.
අතහැරීමයි කළ යුතු
ඒ බවයි දැනගත යුතු
බණට කීවට ඒ තතු
හිමිත් සිහිනෙන් අන්සතු
තාක්ෂණය මෙන්ම මාධ්‍යද සුලභ මෙවලම් සේ ගෙන ජීවිතය අතිශය සැහැල්ලු පැවැත්මක් සේ සලකා අයාලේ යන වර්තමානයක වටිනාකම් යනු හුදු වචනම පමණි. සමකාලීන ජීවිතයේ ආදරය, සාමූහිකත්වය පමණක් නොව සියළු හරයන් අද වන විට වචන පමණි. අප කල යුතුව ඇත්තේ ජීවිතයට අර්ථයක් සැපයීමය. එහෙත් සමාජයක් ලෙස අපට ඒ සඳහා දැක්මක නැත. දේශපාලනයද හුදු අවස්ථාවාදී කෙළි බිමකි. ඉෂාන් සිය කවියෙන් ජීවිතයේ අනතුරුදායකබව විමසන්නට තැත් කරයි.
පිපෙන්න
මාන බලන මල්
බැලිය යුත්තෙම
පරවෙච්ච මල්
වැටිච්ච මුල්
අප වනාහී හෘද සාක්ෂිය අහිමි කරගත් ප්‍රජාවකි. අප මෑත කාලීන අතීතය ගෙවුවේ එකිනෙකා දෙස වෛරයෙන් බලමිනි. අනෙකාගේ විනාශය තුළින් විමුක්තිය පතමිනි. දැන් වෙඩ හඬ නොඇසුනද ඕනෑම මොහොතක යළි ගිනි දැල් අවුළුවන්නට පුළුවන් තරම් කා ළඟත් ඇත්තේ ගිනි පුපුරුය. ඉෂාන් එහිදී සමාජයට ස්වයං විවේචනයකට ඇරයුම් කරයි.
යුද්ධය අහවරයි
සාමය හරි බරයි
දැන් දැන් උදේ හවා
මූණ බලන කණ්නාඩියෙන්
ත්‍රස්තවාදියෙක් නිතරම
මා දෙස බලයි
ඉෂාන් කෙටි කවියෙහි තමන් හට තව දුර යා හැකි බව ඉඟි කරනා තවත් කවි ගණනාවක්ම මේ කෘතියෙහිදී හමුවෙයි. කවියා ඉදිරියේ ඇත්තේ නිමක් නැතිව කණින්නට හැකි මිනී වලකි. කතරකි. ඉදින් ඔහු ඒ සඳහා උත්සුක විය යුතුව තිබේ.