පොලිස් කොමිසම අජිත් රෝහණට එරෙහි වෙයි : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු අර්බුදයේ සම්පූර්ණ කතාව !

Share post:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ලබාදී ඇති ස්ථාන මාරුව යළිත් ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇත.

පසුගිය අප්‍රේල් 25 දින ඔහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබිණි. පසුව අජිත් රෝහණ විසින් එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ජාතික පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරන ලදි. එම අබියචනය නිසා අදාළ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවීමට පොලිස් කොමිසම පියවර ගෙන තිබිණි.

එම අභියාචනයේ තීන්දුව ලබාදෙමින් මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක කිරීමට කොමිසම නියෝග කර තිබේ.

සිදුවීම කුමක්ද ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකු ස්ථාන මාරුකිරීමට පසුගිය අප්‍රේල් 25දා පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක, ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය, එස්.සී. මැදවත්ත, ඩබ්ලිව්.කේ. ජයලත්, ආර්.එල්. කොඩිතුවක්කු, කේ. අජිත් රෝහණ සහ එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මෙසේ ස්ථාන මාරු කෙරිණි.

පොලිස්පතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම අංශ වෙත දැනුම් දී තිබුණේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත් ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අනුමත කර ඇති ආකාරයට මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව එල්.එස්. පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාතටත්, ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාතේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන ලෙසත්, එස්.සී. මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට දකුණු පළාතටත්, ඩබ්ලිව්.කේ. ජයලත් නැගෙනහිර පළාතේ සිට වයඹ පළාතටත්, ආර්.එල්. කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙසත්, කේ. අජිත් රෝහණ දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතටත්, එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා ලෙසත් මාරුකර තිබිණි.

ද්වේෂ සහගත තීන්දුවක්?

තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව ඉතා ද්වේෂ සහගත තීන්දුවක් බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊට පසු දින ම අවධාරණය කළේය. සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යවමින් අජිත් රෝහණ පෙන්වා දී තිබුණේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මේ පිටුපස සිටින බවයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙකු ආරක්ෂා කිරීම සඳහා ඇමතිවරයා මෙසේ කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් අදාළ ලිපියේ සඳහන් කර තිබිණි. මේ නිසා මෙම ස්ථාන මාරුවීම් නිර්දේශ නොකරන ලෙස ඔහු තම ලිපිය මගින් ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබිණි.

මේ අතර අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත ද ලිපියක් යවමින් අවධාරණය කර තිබුණේ තමන් ස්ථාන මාරුකිරීමට ගත් තීරණය නීතිවිරෝධී නිසා සහ නීතිවිරෝධී තීරණ ක්‍රියාත්මක කිරීමට විනයගරුක නිලධාරීන් බැඳී නැති නිසා මෙම ස්ථාන මාරුව තමන් ක්‍රියාත්මක නොකරන බවයි.

තවත් විරෝධතාවක්

එසේ ම තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුව නීතිවිරෝධී සහ අයුක්ති සහගත බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද පොලිස් කොමිෂන් සභාව වෙත ලිපියක් යවා තිබිණි.

මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් තීන්දුවක් ගෙන නැත. ඊට හේතු වී ඇත්තේ ඔහු අදාළ ස්ථාන මාරුවට විරෝධතා දැක්වුවද, එය අවලංගු කරන ලෙස ඉල්ලීමක් කර නොතිබීමයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පොලිස් කොමිසමට කරුණු දක්වමින් අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබුණේ ස්ථාන මාරුවීම් පිළිගෙන රාජකාරි කිරීමට බැඳී සිටියද, එය නිවැරදි ක්‍රමවේදයට සිදු විය යුතු බවයි.

මට වගකියන්න බෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පැවසුවේ තමන්ට මෙම ස්ථාන මාරු සම්බන්ධයෙන් වගකිව නොහැකි බවයි. අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉලක්ක කොට කිසිවක් සිදුකිරීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත්, මේ පිළිබඳ තීරණ ගෙන ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා විසින් බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දන්නෙම නැද්ද?’

එහිදී අප අවධාරණය කළේ ඇමතිවරයා නොදැන මෙසේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරීන් 07 දෙනෙකු ස්ථාන මාරුකිරීම කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටිරාන් අලස් ඇමතිවරයා පැවසුවේ මාධ්‍ය මගින් නිර්මාණය කරන කතාවලට පිළිතුරු දීමට තමන්ට අවශ්‍ය නොවන බවයි.

දේශබන්දුට එරෙහි චෝදනා මොනවාද?’

මෙසේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරු ලබාදුන්නද, සිදුවීම් ගණනාවක චූදිතයෙකු වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු නොකිරීම සම්බන්ධයෙන් අපි ඇමතිවරයාගෙන් විමසීමු.

එහිදී ඔහු විමසුවේ ඔහුට එරෙහිව ඇති චෝදනා මොනවාද යනුවෙනි. ඔහුට එරෙහිව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වී කරුණු පිළිබඳව පැහැදිලි කිරීමෙන් පසු ඇමතිවරයා පැවසුවේ ඒ කිසිවකට දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බව මෙතෙක් අධිකරණය තීන්දු කර නැති බවයි. එම නිසා ඔහුට අදාළ ව කිසිදු පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

18 රැස්වීම

අප්‍රේල් 18දා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවූ රැස්වීමක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමන් විසින් සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් ඇමතිවරයා තමන්ට තරවටු කළ බව ද අජිත් රෝහණ විසින් පොලිස් කොමිසම වෙත යවන ලද ලිපියේ දැක්වේ.

එසේ ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම රැස්වීමෙන් පසු ඇමතිවරයාගේ කාර්යාලය වෙත තමන් කැඳවා අනාගත පොලිස්පති ධුරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පිළිබදව තමන්ට ‌චෝදනා කළ බවයි. එහිදී මෙම ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් තමන්ට ඉඟියක් ලැබුණු බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියේ සඳහන් ය.

අජිත් රෝහණ ඉලක්ක කළේ නෑ’

මේ සම්බන්ධයෙන් කරුණු සහිතව විමසීමේදී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පැවසුවේ අජිත් රෝහණ ඉලක්ක කොට තමන් කිසිවක් සිදු නොකළ බව යළිත් පවසන බවයි. ඉන්පසු ඒ පිළිබඳව දීර්ඝ සංවාදයකට යෑම ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.

ඇමති නොදන්න දේ මෙන්න !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, විශ්‍රාමික නන්දන මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බවට නීතිපතිවරයා විසින් නිර්දේශ කර තිබිණි. ඉන්පසු පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ද විමර්ශනයක් කොට මෙම නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව වාර්තා කර තිබිණි.

ජනාධිපති මන්දිරයේ තිබී ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධ විමර්ශනවලදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මේ අතර ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝගම නම් සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත ව උපදෙස් ලබාදී තිබිණි.

පහරදීම, තුවාල සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙසේ අදාළ පිරිසෙන් 32 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, ඊට ආධාර අනුබල දීම යටතේ දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කරන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

සැලකීම් වෙනස

මෙසේ දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු නොකළද, ලලිත් පතිනායකට මේ ලබාදී ඇත්තේ මාසයක් තුළ දෙවැනි ස්ථාන මාරුවයි. අජිත් රෝහණ දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට වසරක්වත් ගත වී නැත. ප්‍රියන්ත වීරසූරියට අද ලබාදී ඇත්තේ වසරක් තුළ තුන්වැනි ස්ථාන මාරුව ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක, ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය, එස්.සී. මැදවත්ත, ඩබ්ලිව්.කේ. ජයලත්, ආර්.එල්. කොඩිතුවක්කු, කේ. අජිත් රෝහණ සහ එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මෙසේ ඊයේ සිට ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව එල්.එස්. පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාතටත්, ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාතේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන ලෙසත්, එස්.සී. මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට දකුණු පළාතටත්, ඩබ්ලිව්.කේ. ජයලත් නැගෙනහිර පළාතේ සිට වයඹ පළාතටත්, ආර්.එල්. කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙසත්, කේ. අජිත් රෝහණ දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතටත්, එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා ලෙසත් මාරුකර තිබේ.

නිලන්ත ජයවර්ධන ?

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කිරීමෙන් පසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ද මෙහිදී ස්ථාන මාරුවීම් ලබාදී නැත. මෙතෙක් ඔහුට එරෙහිව පොලිසිය පාර්ශ්වයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට සිවිල් සමාජ ක්‍රියාකාරීහු පිරිසක් සූදානම් වෙති.

ඔහු මේ වනවිටත් පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – පරිපාලන) ලෙස කටයුතු කරයි.

සබැඳි පුවත්

Related articles

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...