පොලිසියේ දෙවැනියාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක වීම අතරමග ? : පරීක්ෂණයක් ආරම්භ කළා – මාධ්‍ය ප්‍රකාශක : මම විස්තර දන්නෙ නෑ – පොලිස් කොමිසමේ ලේකම්

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධනට විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නියෝගය විධිමත්ව ක්‍රියාත්මක නොවන බව අනාවරණය වේ.

ඔහු තවදුරටත් පොලිස්පතිවරයාට පසු පොලිසියේ වගකිවයුතු ම ධුරය හෙවත් පොලිසියේ දෙවනියා ලෙස කටයුතු කරමින් සිටී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට හදිසියේ ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කිරීමත් සමග මේ සම්බන්ධයෙන් ද සංවාදයක් මතු විය.

කෙසේ වෙතත් අප වෙත වාර්තා වන්නේ මීට අදාළ පරීක්ෂණයක් ආරම්භ කෙරුණද, මෙතෙක් එම පරීක්ෂණය සඳහා නිලන්ත ජයවර්ධන කැඳවීමක් හෝ කර නැති බවයි.

‘ක්‍රියාදාමය විධිමත්’

මේ පිළිබඳව thetime.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දැනුම්දීමකට අනුව පොලිස් කොමිසම මගින් අදාළ විනය පරීක්ෂණය ආරම්භ කර ඇති බව පමණක් තමන්ට සඳහන් කළ හැකි බවයි. අදාළ ක්‍රියාදාමය විධිමත් ව සිදු වන බව හැර, එහි කටයුතු පිළිබඳව තමන් දැනුවත් ව නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

‘වැඩි විස්තර දන්නෙ නෑ’

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අදහස් දැක්වීමට අනුව thetime.lk ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් තමාරා ඩි. පෙරේරාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.

එහිදී ලේකම්වරිය සඳහන් කළේ කොමිසම මගින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් වන විමර්ශනය සිදුකරන බවයි. එම විමර්ශනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමේදී ලේකම්වරිය පැවසුවේ තමන් එහි කටයුතු පිළිබඳ යාවත්කාලීන වී නොමැති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණ කමිටුව ප්‍රකාශයක් හෝ ගෙන තිබේදැයි විමසීමේදී එය ද තමන් නොදන්නා බව ලේකම්වරිය පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි සේවයේ එවකට හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි අංශයේ එවකට ප්‍රධානී නිලන්ත ජයවර්ධන, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි පසුගිය ජනවාරි 12දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මීට අදාළ ව මෛත්‍රිපාල සිරිසේනට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක්, හේමසිරි ප්‍රනාන්දුට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 50ක්, නිලන්ත ජයවර්ධනට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක්, පුජිත් ජයසුන්දරට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක්, සිසිර මෙන්ඩිස්ට තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 10ක් වන්දි ලෙස වින්දිතයන්ට ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මීට අමතරව රජය විසින් වින්දිතයන්ට රුපියල් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එසේ ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි.

පෙත්සම්කරුවන්

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පහේ හෝටල්වලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලබාදී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගත් බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස් සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පුද්ගලයන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ඇතුළු පාර්ශ්ව 12ක් විසින් මෙම පෙත්සම් ගොනුකළහ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරිණි.

2019 අප්‍රේල් 21දා කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පහේ හෝටල් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙක් මියගොස් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

රනිල් ගැලවුණු හැටි !

මේ අතර ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට අගමැති ධුරය දැරූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබිණි. එහෙත් ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නීතිඥයන් මගින් අධිකරණයට දැනුම් දුන්නේ සිය ධුර කාලය තුළ තමන්ට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...