චූදිත දේශබන්දු එතැනමයි : නීතිපති උපදෙස් කණකට නොගනී : ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරුන් 7කට ස්ථාන මාරු !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති, අධිකරණය ඉදිරියේ චෝදනා ද ගොනුකර ඇති සැකකරුවෙකු වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු කිරීමට නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් මෙතෙක් පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කර නැත.

අද (25) ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකු ස්ථාන මාරුකිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක, ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය, එස්.සී. මැදවත්ත, ඩබ්ලිව්.කේ. ජයලත්, ආර්.එල්. කොඩිතුවක්කු, කේ. අජිත් රෝහණ සහ එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මෙසේ අද සිට ස්ථාන මාරු කර තිබේ.

පොලිස්පතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම අංශ වෙත දැනුම් දී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත් ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අනුමත කර ඇති ආකාරයට මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව එල්.එස්. පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාතටත්, ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාතේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන ලෙසත්, එස්.සී. මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට දකුණු පළාතටත්, ඩබ්ලිව්.කේ. ජයලත් නැගෙනහිර පළාතේ සිට වයඹ පළාතටත්, ආර්.එල්. කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙසත්, කේ. අජිත් රෝහණ දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතටත්, එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා ලෙසත් මාරුකර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, විශ්‍රාමික නන්දන මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බවට නීතිපතිවරයා විසින් නිර්දේශ කර තිබිණි. ඉන්පසු පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ද විමර්ශනයක් කොට මෙම නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව වාර්තා කර තිබිණි.

ජනාධිපති මන්දිරයේ තිබී ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධ විමර්ශනවලදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මේ අතර ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝගම නම් සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත ව උපදෙස් ලබාදී තිබිණි.

පහරදීම, තුවාල සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙසේ අදාළ පිරිසෙන් 32 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, ඊට ආධාර අනුබල දීම යටතේ දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කරන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

මෙසේ දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු නොකළද, ලලිත් පතිනායකට මේ ලබාදී ඇත්තේ මාසයක් තුළ දෙවැනි ස්ථාන මාරුවයි. අජිත් රෝහණ දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට වසරක්වත් ගත වී නැත. ප්‍රියන්ත වීරසූරියට අද ලබාදී ඇත්තේ වසරක් තුළ තුන්වැනි ස්ථාන මාරුව ය.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...