පොලිස්පති පුටුවට පාස්කු වැරදිකරුවෙක් සහ චූදිතයන් 2ක් අතර සටනක් : ලිස්ට් එකේ ඊළඟට ප්‍රියන්ත ?

Share post:

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ලබන 26දා විශ්‍රාම ලැබුවහොත්, මීළඟ පොලිස්පති ධුරයට පත්වීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින නිලධාරීන් තිදෙනාම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් හෝ චෝදනා ලැබූ තැනැත්තන් හෝ වීම විශේෂත්වයකි.

මීළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ අයෙකි. ඊළඟට ලැයිස්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට සහ දේශබන්දු තෙන්නකෝන්ට ද ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් අවස්ථා 2කදී ඔවුන් මීට වගකිවයුත්තන් බව සඳහන් කර, විමර්ශන පැවැත්විය යුතු බවට නිර්දේශ කර ඇති අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ද සකස් කොට බාරදෙන ලදි.

ලිස්ට් එක ?

මෙම නිලධාරීන් තිදෙනාගෙන් පසු ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ය. ඔහුට එරෙහිව මෙතෙක් බරපතළ අපරාධ චෝදනා එල්ල වී නැති බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.

මෙම නිලධාරීන්ගෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, එම්.ඩී.ආර්.එස්. දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න පිළිවෙළින් පොලිස් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටිති.

වගකීම කාටද ?

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත්වීම් ලැබුවේ 2020 නොවැම්බර් 27 දින ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම සිදුකරන ලදි. ඊට හේතු වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කර තිබූ ව්‍යවස්ථාදායක සභාව 20 වැනි සංශෝධනය මගින් අහෝසි කිරීමයි.

එහෙත් යළිත් 21 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර ඇති නිසා නව පොලිස්පතිවරයා තේරීමේ වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවටයි. ඒඅම සභාව මගින් නිර්දේශ කරන පුද්ගලයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.

සේවා දිගුවක් ?

කෙසේ වෙතත් නීති විශාරදයන් සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ විශ්‍රාම වයස පිළිබඳ 21 වැනි සංශෝධනයේ පැහැදිලිව සඳහන් නොවන බවයි. මේ නිසා චන්දන වික්‍රමරත්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත සේවා දිගුවක් ලබාගැනීමේ හැකියාව ද පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඔහු සේවා දිගුවක් ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

වර්තමාන පොලිස්පතිවරයා විසින් අනීතික ලෙස ජනතවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන ලෙස පනවන ලද පොලිස් ඇඳිරි නීතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් සහ තවත් චෝදනා රැසක් ද ඔහුට මේ වන විට එල්ල වී තිබේ. ඔහුට මාර්තු 26දා ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවුවහොත්, මෙම සියලු චෝදනාවලට සාමාන්‍ය – සිවිල් පුරවැසියෙකු ලෙස තනි ව මුහුණ දීමට සිදු වේ. එවිට නීතිඥ පහසුකම් ලබාගැනීම ඇතුළු සේවා ද ඔහු විසින් සපයාගත යුතුය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...