ටිරාන්ට එරෙහි වූ ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරුන්ට විනය පියවර : සතියක් තුළ සියල්ල අවසන් කරන්න – ඇමතිගෙන් ලේකම්ට නියෝගයක් !

Share post:

ආයතන සංග්‍රහයේ සඳහන් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණට සහ ප්‍රියන්ත වීරසූරියට එරෙහිව විනය පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඉදිරි දින 02 තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කරනු ඇති බවයි. මීට හේතු වී ඇත්තේ ස්ථාන මාරු සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට යැවූ ලිපි ය.

අදාළ අමාත්‍යංශ නිලධාරියා සඳහන් කළේ ආයතන සංග්‍රහයට අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ යම් ගැටළුවක් ඇත්නම් මුලින්ම පොලිස්පතිවරයාටත්, ඉන්පසු පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම්වරයාටත් ඒ පිළිබඳ දැනුම් දිය යුතු බවයි. එම පාර්ශ්ව දෙකෙන් ම විසඳුමක් නොලැබෙන්නේ නම් හෝ එම පාර්ශ්ව දෙකට ම දැනුම්දීමෙන් පසු හෝ පමණක් ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දීමේ හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ කරුණ හේතුවෙන් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පියවර ගැනීමට සැලසුම් කර තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ මීට අදාළ ක්‍රියාවලිය මේ සතිය තුළ අවසන් කරන ලෙසයි.

මේ වන විට පොලිස් කොමිෂන් සභාව මගින් ද අදාළ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අනුමත කර තිබේ.

මොනවද මේ ලිපි ?

පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් පසුගිය 25දා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම අංශ වෙත දැනුම් දී තිබුණේ  ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත් ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අනුමත කර ඇති ආකාරයට අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරු ලබාදෙන බවයි.

මෙසේ තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව ඉතා ද්වේෂ සහගත තීන්දුවක් බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊට පසු දින අවධාරණය කළේය. ඒ මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යවමිනි. අජිත් රෝහණ කොමිසමට පෙන්වා දී තිබුණේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මේ පිටුපස සිටින බවයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙකු ආරක්ෂා කිරීම සඳහා ඇමතිවරයා මෙසේ කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. මේ නිසා මෙම ස්ථාන මාරුවීම් නිර්දේශ නොකරන ලෙස ඔහු තම ලිපිය මගින් ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ අතර අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත ද ලිපියක් යවමින් අවධාරණය කර තිබුණේ තමන් ස්ථාන මාරුකිරීමට ගත් තීරණය නීතිවිරෝධී නිසා සහ නීතිවිරෝධී තීරණ ක්‍රියාත්මක කිරීමට විනයගරුක නිලධාරීන් බැඳී නැති නිසා මෙම ස්ථාන මාරුව තමන් ක්‍රියාත්මක නොකරන බවයි.

තවත් විරෝධතාවක්

එසේ ම තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුව නීතිවිරෝධී සහ අයුක්ති සහගත බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද පොලිස් කොමිෂන් සභාව වෙත ලිපියක් යවා තිබිණි. එම නිසා අදාළ ස්ථාන මාරුව අනුමත නොකරන ලෙස ඔහු ද කොමිසමෙන් ඉල්ලා තිබිණි.

මට වගකියන්න බෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පැවසුවේ තමන්ට මෙම ස්ථාන මාරු සම්බන්ධයෙන් වගකිව නොහැකි බවයි. අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉලක්ක කොට කිසිවක් සිදුකිරීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවත්, මේ පිළිබඳ තීරණ ගෙන ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා විසින් බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දන්නෙම නැද්ද?’

එහිදී අප අවධාරණය කළේ ඇමතිවරයා නොදැන මෙසේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරීන් 07 දෙනෙකු ස්ථාන මාරුකිරීම කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටිරාන් අලස් ඇමතිවරයා පැවසුවේ මාධ්‍ය මගින් නිර්මාණය කරන කතාවලට පිළිතුරු දීමට තමන්ට අවශ්‍ය නොවන බවයි.

‘දේශබන්දුට එරෙහි චෝදනා මොනවාද?’

මෙසේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ස්ථාන මාරු ලබාදුන්නද, සිදුවීම් ගණනාවක චූදිතයෙකු වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු නොකිරීම සම්බන්ධයෙන් අපි ඇමතිවරයාගෙන් විමසීමු.

එහිදී ඔහු විමසුවේ ඔහුට එරෙහිව ඇති චෝදනා මොනවාද යනුවෙනි. ඔහුට එරෙහිව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වී කරුණු පිළිබඳව පැහැදිලි කිරීමෙන් පසු ඇමතිවරයා පැවසුවේ ඒ කිසිවකට දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු බව මෙතෙක් අධිකරණය තීන්දු කර නැති බවයි. එම නිසා ඔහුට අදාළ ව කිසිදු පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

18 රැස්වීම

පසුගිය 18දා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවූ රැස්වීමක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමන් විසින් සකස් කළ ලිපියක් සම්බන්ධයෙන් ඇමතිවරයා තමන්ට තරවටු කළ බව ද අජිත් රෝහණ විසින් පොලිස් කොමිසම වෙත යවන ලද ලිපියේ දැක්වේ.

එසේ ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම රැස්වීමෙන් පසු ඇමතිවරයාගේ කාර්යාලය වෙත තමන් කැඳවා අනාගත පොලිස්පති ධුරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපියක් පිළිබදව තමන්ට ‌චෝදනා කළ බවයි. එහිදී මෙම ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් තමන්ට ඉඟියක් ලැබුණු බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියේ සඳහන් ය.

අජිත් රෝහණ ඉලක්ක කළේ නෑ’

මේ සම්බන්ධයෙන් කරුණු සහිතව විමසීමේදී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පැවසුවේ අජිත් රෝහණ ඉලක්ක කොට තමන් කිසිවක් සිදු නොකළ බව යළිත් පවසන බවයි. ඉන්පසු ඒ පිළිබඳව දීර්ඝ සංවාදයකට යෑම ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.

ඇමති නොදන්න දේ මෙන්න !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, විශ්‍රාමික නන්දන මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බවට නීතිපතිවරයා විසින් නිර්දේශ කර තිබිණි. ඉන්පසු පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ද විමර්ශනයක් කොට මෙම නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව වාර්තා කර තිබිණි.

ජනාධිපති මන්දිරයේ තිබී ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධ විමර්ශනවලදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මේ අතර ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝගම නම් සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත ව උපදෙස් ලබාදී තිබිණි.

පහරදීම, තුවාල සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙසේ අදාළ පිරිසෙන් 32 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, ඊට ආධාර අනුබල දීම යටතේ දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කරන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

සැලකීම් වෙනස

මෙසේ දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු නොකළද, ලලිත් පතිනායකට මේ ලබාදී ඇත්තේ මාසයක් තුළ දෙවැනි ස්ථාන මාරුවයි. අජිත් රෝහණ දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට වසරක්වත් ගත වී නැත. ප්‍රියන්ත වීරසූරියට අද ලබාදී ඇත්තේ වසරක් තුළ තුන්වැනි ස්ථාන මාරුව ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක, ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය, එස්.සී. මැදවත්ත, ඩබ්ලිව්.කේ. ජයලත්, ආර්.එල්. කොඩිතුවක්කු, කේ. අජිත් රෝහණ සහ එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මෙසේ ඊයේ සිට ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව එල්.එස්. පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාතටත්, ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාතේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන ලෙසත්, එස්.සී. මැදවත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට දකුණු පළාතටත්, ඩබ්ලිව්.කේ. ජයලත් නැගෙනහිර පළාතේ සිට වයඹ පළාතටත්, ආර්.එල්. කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙසත්, කේ. අජිත් රෝහණ දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතටත්, එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සහ රථවාහන සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක සහ ක්ෂේත්‍ර බලකා ලෙසත් මාරුකර තිබේ.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...