පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් බේරීමේ තවත් මෙහෙයුමක් අවසන්? : වසර 04කට පසු දේශබන්දු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ට චෝදනා පත්‍ර යවයි !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 04කට පසු එම ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදී වගකීම් පැහැර හැර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා පත්‍ර අනුමත කර එම නිලධාරීන් වෙත යවා තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් නිලධාරීන් සිව්දෙනෙකුට යොමු කර තිබූ අතර, එම නිලධාරීන් සිව්දෙනාගෙන් ඇතැම් නිලධාරීන් තමන් යටතේ සිටින  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට මේ ගැන දැනුම් දී තිබියදී එම නිලධාරීන් එම නියෝග නිසි ලෙස ඉටු කරමින් ආරක්ෂාව ගැන සොයා බලා නැති බවත්, ඔවුන් නිසියාකාරව කටයුතු කළේ නම් මෙම ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබූ බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ මලල්ගොඩ කමිටු වාර්තාවේ සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු පිරීසක් ද මෙසේ චෝදනා පත්‍ර යොමු කෙරුණු පිරිස අතර සිටිති.

2019 අප්‍රේල් 21දා එල්ල වූ ප්‍රහාරයෙන් පසු නිලධාරීන් 11 දෙනෙකුගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් සොයාබලන ලෙස නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඒ පිළිබඳ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන්නේය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ ගැන විමර්ශනය කිරීමෙන් පසු එහි නම සඳහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හැර සෙසු නිලධාරීන් 10 දෙනාට එරෙහිව විනය පියවර ගත යුතු බවට නිර්දේශ කළේය. එහෙත් මෙහිදී චෝදනා පත්‍ර කෙටුම්පත් කර තිබුණේ දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, නන්දන මුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සම්බන්ධයෙන් පමණි. විශේෂ විමර්ශන ඒකකය  චෝදනා පත්‍ර කෙටුම්පත් කර වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කළ අතර, වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම චෝදනා පත්‍ර 2020 ජනවාරි මාසයේදී ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කළේය.

ඒ වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ කර තිබිණි. එම නිසා කොමිෂන් සභා වාර්තාව එන තෙක් චෝදනා පත්‍ර ලබා නොදීමට 2020 පෙබරවාරි මාසයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළේය.

අදාළ ජනාධිපති කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව සහ වෙළුම් 2021 පෙබරවාරි 01දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාර දුන් අතර, ඒ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස් කොමිසමට තිබූ බලතල ඉවත් කර එම බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පවරා තිබිණි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2021 ජුනි 15දා අදාළ චෝදනා පත්‍ර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලදි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.කේ.සී.  අතුකෝරල, පොලිස් අධිකාරි එල්.එම්. සංජීව බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරි කේ.එම්.ආර්.එස්.බී. කුමාරසේන සහ සහකාර පොලිස් අධිකාරි එච්.බී.එස්.එස්. සිසිර කුමාර මෙසේ චෝදනා පත්‍ර සකසා කෙරුණු පිරිස ය.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න, පොලිස් පරීක්ෂක ඩී.කේ.සී. නවරත්න, පොලිස් පරීක්ෂක පී. එස්. උපේන්ද්‍ර, පොලිස් පරීක්ෂක ඒ. එම්. එස්. අබේසිංහ, පොලිස් පරීක්ෂක එම්. ඒ. සෙනවිරත්න, උප පොලිස් පරීක්ෂක ඒ. එල්. ජී. ආර්. කුමාර, පොලිස් සැරයන් සුනිල් ආර්යසිංහ, පොලිස් සැරයන් ආර්. එස්. රාජපක්ෂ, පොලිස් සැරයන් එච්. එම්. ඩී. එස්. හඳපාන්ගොඩ, පොලිස් සැරයන් එම්. එම්. නිශාන්ත සහ පොලිස් කොස්තාපල් කේ. ජී. එස්. සම්පත් යන පිරිසට ද වහාම චෝදනා පත්‍ර ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිසම මගින් පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 2021 ජුනි 18දා එවකට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර, එහිදී මෙම නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඇමැතිවරයාගෙන් විමසන ලදි. චෝදනා පත්‍ර ලැබුණු බව සහ ඒවා ඉදිරියේදී බාර දෙන බව මෙහිදී ඇමැතිවරයා පැවසීය.

මේ අතරතුර පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපියක් යවමින් මෙම නිලධාරීන් අපරාධ නඩුවල සාක්ෂිකරුවන් විය හැකි බැවින් චෝදනා පත්‍ර ලබානොදෙන ලෙස ඉල්ලා තිබූ අතර, ඉන්පසු චෝදනා පත්‍ර ලබාදීමක් සිදු නොවීය.

ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ලබානොදීම ගැන සමාජ හා සාමයික කේන්ද්‍රය සහ medialk.com වෙබ්අඩවිය විසින් තොරතුර දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන මත තොරතුරු ඉල්ලීම් යොමුකිරීමෙන් පසු එම චෝදනා පත්‍ර අදාළ නිලධාරීන්ට බාර දීම සඳහා පොලිස් මූලස්ථානයට පසුගිය සතියේ යොමුකර තිබිණි. පොලිස් මූලස්ථානය විසින් එම චෝදනා පත්‍ර අදාළ නිලධාරීන් වෙත යවා ඇත.

මෙම විමර්ශන ආරම්භ වූ දින සිට චෝදනා පත්‍ර නිකුත් කළ දිනය තෙක් කාලය තුළ එම චෝදනා පත්‍ර නිකුත් කිරීමට නිර්දේශ වූ නිලධාරීන්ට උසස්වීම් ලබා දී තිබුණු අතර, ඇතැම් නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීම විශේෂත්වයක් විය.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව ද විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කළේය. ඔහුට එරෙහිව ද චෝදනා පත්‍ර නිකුත් කළහොත් ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ මුලින්ම සිටින තිදෙනාට ම එරෙහිව විනය කටයුතු සිදුවනු ඇත. වර්තමාන පොලිස්පතිවරයාට පසු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වන අතර, දෙවැනියට සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ය. දේශබන්දු තෙන්නකෝන් සිටින්නේ තෙවැනි තැන ය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...