Home Blog Page 8

සූරි වසර හතලිහක් තිස්සේ සිංහල, පෝලන්ත මෙන්ම ඉංග්‍රිසි බසින් රචනා කළ කවි කියවමින් ගෙවුන සන්ධ්‍යාව

0

සූරි -රත්නසිරි සූරියආරච්චි පිළිබඳ මගේ මතකය ඇරඹෙනුයේ 1985වසරේ අග සිටය. ඒ මගේ සරසවි දිවියේ පළමු වසර වන අතර ඔහු ගේ දෙවන වසරයි. යාපනය පුස්තකාලය ගිනි තබමින් සහ අසූ තුනේ කලු ජූලියට මග පාදා ජවිපෙ .තහනම් කරමින් ජේ ආර් සිය දේශපාලන මජරකම පෙන්වමින් සිටි අතර ජවිපේ ඒ වන විට තහනම් පක්ෂයක් ලෙස වේගයෙන් ඉදිරියට ඇදෙමින් පැවතියේය. මම සරසවියට ආ විගසින්ම ජවිපෙ පූර්ණ කාලිකයෙකු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධව වැඩ කරන්නට පටන් ගෙන සිටියෙමි. සූරි මට හමුවනුයේ සරසවිය තුළ වේදිකාවෙහි සිය හැකියාව විදහමින් සිටි තරුණයෙකු ලෙසටය.

එවක සරසවියෙහි නාට්‍යයක් නිෂ්පාදනය වෙමින් පැවතිණි. ඒ චෙකෝෆ්ගේ චෙරි වත්ත නාට්‍යයයි. සූරි එහි රඟපෑ අතර ඔහුගේ සමකාලීන සගයන් දෙදෙනකු වූ ඇලෙක්ස් දාබරේ හෙවත් පොඩි ඇලාද මූ දූ රංජිද වේදිකාවෙහි සිය කුසලතා විදහමින් සිටියෝය. මෙයින් ඇලා වේදිකාව අතහැරියද මූදු සහ සූරි දෙදෙනාම තදින් එහි ඇලුණෝය. රංජියා මේ අතර දේශපාලන ගමන් සගයෙකු ලෙසද මට සමීප විණි.

සූරි නාට්‍යකරුවෙකු මෙන්ම කවියෙකු ලෙසද සිය මැදිහත්වීම ඇරඹුයේ එකලය. සුගන්ධිකා මුතුමණී මෙකල සූරි සමග පුවත්පත්වල පලවූ ජපුරේ තවත් එකියකි. පසුව ඇයද කවියට සමුදුන්නාය. ඒ වසරේම තවත් දක්ෂයෙකු වූවේ සමන් වඩුගේය. ඔහු එකර පරසිදු සිත්තරෙකි. අද ඔහු දක්ෂ කෙටිකතාකරුවෙකු බවට පත්ව සිටිනුයේ රජයේ සේවයෙහි යෙදුන පරිපාලන මේවා නිලධර භූමිකාව හමාර කරමිනි. එහෙත් සූරි රටෙහි දේශපාලන වාතාවරණය අතිශය දරුනු වෙද්දී පවා කවිය සහ වේදිකාව අත නොහැර විවිධ අයුරින් මැදිහත්ව සිටියේය. බියකරු අසූව දශකයෙන් පසුව මා සූරි ගැන දැනගත්තේ දශක කිහිපයකට පසුවය. එද පෝලන්තයේ වෙසෙන්නකු වශයෙනි. එසේම යළි ඔහු මට හමුවන්නේද වසර කිහිපයකට පෙර ලංකාවට ආ අවස්ථාවකය.

ඉදින් ඒ සූරි යළි මට හමුවනුයේ මෙවර ලංකාවට පැමිණ සිය සාළිස් වස් කවි ගී කෘතිය එළිදැක්වීමට සැරසෙන විටය. ඒ අපූරු සන්ධ්‍යාවකි. එය සංවිධානය කරන ලද්දේ ජම්බුගස්මුල්ල පාරේ බැලලයිකා කැෆේහිදීය. සුදු-රතු වයින් තොල ගාමින්, කෝපි රස බලමින් ගෙවුන ඒ සන්ධ්‍යාව ඔහුගේ සමකාලීන සරසවි සගයන් පිරිසකගේ මෙන්ම නාට්‍යෙව්දීන් වන ජගත් මුතුකුමාරණ සහ ජගත් චන්ද්‍රසිරි යන දෙදෙනගෙන්ද ආලෝකය ලැබීය. සූරිගේ ගීයක් ගායනා කරමින් වැඩේට සම්බන්ධ වූවා ඔහුගේ වසරේම එකියක වන රත්නමාලි පින්නපොල ය. පියානෝව වාදනය කළ නිපුණි වැඩේ තවත් අලංකාර කළාය. රශ්මික මණ්ඩාවල පෝලන්ත නිර්මාණකාරියක වන ඔල්ගා තොකාර් චුක් ලංකාවට හඳුන්වා දුන් අත්දැකීම්ද සමගින් එහි සිටියේය.

සූරී සන්ධ්‍යාව සංවිධානය කළේ කවි කියවන සන්ධ්‍යාවක් ලෙසිනි. ඒ අපට තවමත් එතරම් හුරු නැති කටයුත්තකි. සම්ප්‍රදායික දේශන වලින් බැහැරව කවි කියවීම වෙත යොමුවන මෙවන් අවස්ථාවන් යුරෝපයට සහ රුසියාව මෙන්ම නැගෙනහිර යුරෝපියානු රටවලට පුරුදු වුවද අප රටෙහි තවමත් එය එතරම් ජනප්‍රිය නැත. එසේම එවන් අවස්ථා සඳහා පහසුකම්ද අල්පය. මෙවන් අවස්ථාවක් පිළිබඳව මගේ මතකයෙහි ඇති එක් සළකුණක් වනුයේ විශාකේස රජ සහ ඝාතකයා කෘතිය සම්බන්ධයෙන් බොරැල්ල පුංචි තියටර් හිදී සංවිධානය කළ අවස්ථාවයි.

සූරි වසර හතලිහක් තිස්සේ සිංහල, පෝලන්ත මෙන්ම ඉංග්‍රිසි බසින් රචනා කළ කවි කියවමින් ගෙවුන ඒ සන්ධ්‍යාව බෙහෙවින් සුන්දරය. වසර හතළිහක් පුරා ලංකාවෙ සමාජ විපරිණාමය මෙන්ම විවිධ තේමාවන් ඒ කවි තුළ ඇතුළත්ව තිබිණි. එසේම ඊට ඔහුගේ විප්‍රවාසී දිවියද ඇතුලත්ය. සන්ධ්‍යාව තවත් සුන්දර කරමින් බැලලයිකාවේ හිමිකරු සගයා කටයුත්තට උපරිම සහය දුන් අතර ඔහුද නිර්මාණකරුවෙකු මෙන්ම ජපුරේ ආදි සිසුවකු වීමද තවත් ගැම්මක් සැපයීය. කුසුමලතා ලංකාමුල්ල සූරිගේ සමකාලීනයෙකු ලෙස කටයුත්ත තවත් අලංකාර කලාය.

සටහන පලවන විට සූරි පෝලන්තය බලා ගොසිනි. එහෙත් කවි කියවීමේ සන්ධ්‍යාවක් සංවිධානය කරන්නට ඔහු දැරූ තැත අගය කල යුතුය. අද අප සිටිනුයේ සංස්කෘතික කලාපයෙහි වැඩි මැදිහත්වීම් ඇවැසි කාලයකය. කෘතියක් එළිදැක්වීමට නිර්මාණකරුවෙකුගේ පසුම්බියට ගැලපෙන තැන් නිකිණි වන් රටක සාහිත්‍ය සහ කලා මැදිහත්වීම් සංවිධානය කිරීම යනු අභියෝගයකි. සූරිගේ සන්ධ්‍යාවෙහි අප වෙන්ව ගියේ සමන් වඩුගේ ගේ කෙටිකතා ගැන කතාබහකට ජපුරේ රැස් වන එකඟතාවක්ද සමගිනි.
සූරි, උඹේ මැදිහත්වීමට ස්තුතියි.

චුලානන්ද සමරනායක

මනෝහරී ජයලත්ගේ අලුත්ම නවකතාව ” නිදොස්මි නිදහස්මි”

0

ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය හා සංස්කෘතික වශයෙන් ද පසුගාමී සමාජයක ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිවිරෝධතා උත්සන්න තලයක පවතී. සෑම ක්ෂෙත්‍රයකම එය බයිනරි හෙවත් ද්විමය ආකාරයෙන් ක්‍රියාත්මක වේ. එහෙයින් පුරුෂ කේන්ද්‍රීය චින්තනය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාජය තුළ ස්ථාපිතව පවත්නා අතර පුරුෂාධිපත්‍යයක් දක්වා වර්ධනය වී තිබේ. මේ නිසා පිරිමි සිතීම, පිරිමි භාෂාව , පිරිමි චර්යාව පිළිබඳ අවිඥානික පිළිගැනීමක් ස්ත්‍රීන් තුළ ද පවතී. මෙම තත්ත්වයට අභියෝග කරන සහ එය අභිබවා යාමට උත්සාහ කරන ස්ත්‍රිය ද එසේ කරනුයේ මෙකී පිරිමි සිතීමට, භාෂාවට, චර්යාවට අනුගත වීමෙනි. ස්ත්‍රියකට පුරුෂාධිපත්‍යයට අභියෝග කළ හැක්කේ සමාජීය හා සංස්කෘතික වශයෙන් පිරිමිභාවයට ආරෝපණය වීමෙන් ද? නැතහොත් ස්ත්‍රීමය සාරය හා බැඳුණු අනන්‍යතාව පිළිගැනීමෙන් ද? මනෝහරී ජයලත්ගේ අලුත්ම නවකතාව වන ” නිදොස්මි නිදහස්මි” මෙකී තේමාත්මකය ගවේෂණය කිරීමට ගන්නා ප්‍රයත්නයකි.

මෙම නවකතාවේ කතාපුවත දිගහැරෙනුයේ ජයන්ති නම් ස්ත්‍රියක් කේන්ද්‍ර කරගෙනය. ඇය සැමියාගේ රැවටීමට ගොදුරු වූ දෙදරු මවකි. තමන්ගේම ත්‍රිරෝද රථයක් පැදවීම ඇගේ ජීවිකාව වේ. ඇයට සිය ජීවිකාවේ නියැලීමට සිදුවන්නේ ත්‍රිරෝද රථගාලේ පිරිමි සංස්කෘතියට මුහුණ දෙමිනි. ඇය මෙම අභියෝගය සමඟ ගැටෙනුයේ පිරිමි සිතීමක්, භාෂාවක් සහ චර්යාවක් වැලඳ ගැනීමෙනි. මෙම වටපිටාව තුළ ඇය තමාට වඩා වයසින් බාල තරුණ ත්‍රිරෝද රථ රියදුරකු සමඟ සමීප ඇසුරක් ගොඩ නඟා ගනී. අනතුරුව, ත්‍රිරෝද රථ පැදවීමේ ජීවිකාවෙන් ඉවත් වන ඇය තමාගේ පැරණි මිතුරියකගේ සම්බාහන මධ්‍යස්ථානයක සේවයට බැඳෙයි. ඇය සහ දරුවන් දෙදෙනා ජීවත් වන්නේ ස්ථාන තුනකය. කතුවරිය කතාපුවත ඉදිරියට ගෙන යන්නේ මෙම චරිතවල අන්තර්ක්‍රියාකාරිත්වය ඔස්සේය.

පිරිමින්ට පමණක් කැප යැයි සම්මත රැකියාවක නියැලි ගැහැනියක් ද පිරිමි භාෂාව කතා කරන මෙන්ම පිරිමි චර්යාවක් සහිත ගැහැනියක් ද පිරිමි ආධිපත්‍යයට අභියෝග කරන ගැහැනියක් ද සුකොමළකම වියළී ගිය ගැහැනියක් ද හීන මියගිය ගැහැනියක් ද අලුත් කතාවක් පසුපස ලුහුබඳින ගැහැනියක් ද අපට මෙම නවකතාවේ දී හමු වේ. ඇයට ඉරණම්කාරි බව සහ ඉන් ගැලවිය නොහැකි බව සමඟ පොරබැදීමට සිදුව ඇත්තේ සක්‍රීය බව සහ තාර්කිකත්වය පිරිමිභාවය සමඟත් නිෂ්ක්‍රීය බව සහ අතාර්කිකත්වය ස්ත්‍රීභාවය සමඟත් ගැටගසා ඇති සමාජ පරිසරයකය. මෙම නවකතාව කියවීමේදී ඇතැම් ස්ත්‍රීවාදී ප්‍රවාද මතකයට නැගීම නොවැළැක්විය හැකිය. මේ අනුව , ” සියලුම භාෂාවන් අත්‍යවශ්‍ය ලෙස ස්වභාවයෙන්ම පුරුෂ ලිංගික වේ. සැමතැන පවතින පිරිමින්ගේ කතා, වටිනාකම්, සිහින මෙන්ම ආශාවන් හැමදෙයක්ම නීති වේ.”

පසුගාමී සමාජ අවකාශයක ගැහැනියට පොදු මෙම තත්ත්වය ප්‍රබන්ධගත කිරීමේදී මනෝහරී භාවිත කරන ආඛ්‍යාන රටාවේ විශේෂත්වයක් පවතී. ඇය වර්තමාන කතාව අතරට වරින් වර අතීතය කැඳවීමේ සාම්ප්‍රදායික ක්‍රමය යොදා ගත්තද එය හුදු අතීතාවර්ජන ඉක්මවා ගිය රටාවක් බවට පත් කිරීමට සමත් වේ. මේ අනුව , අතීතය විසින් වර්තමානයත් වර්තමානය විසින් අතීතයත් අන්‍යොන්‍ය වශයෙන් අර්ථකථනය කරනු ලබයි. මෙහිදී ප්‍රධාන චරිතය තමා සහ අනෙකා සමඟ කරන අභ්‍යන්තර හෙවත් ආත්මීය සංවාදය බෙහෙවින් වැදගත් වේ. සවිඥානය සහ අවිඥානය අතිපිහිත වන්නේ මෙම අභ්‍යන්තර සංවාදයේදීය. එය ඇය තමා මෙන්ම අනෙකාද නිරීක්ෂණය කරන ශෛලියකි. විශේෂයෙන් ජයන්ති සහ රංගන (ත්‍රිරෝද රථ රියදුරා) අතර ගොඩනැංවෙන සබඳතාව කතුවරිය අතිශය අපූර්වත්වයකින් යුතුව නිරූපණය කරයි. ඒ නිසා ම පාඨකයාට එය ප්‍රේමයක් ද ලිංගිකාශාවක් ද ගනුදෙනුවක් ද ව්‍යාජයක් ද යන්න නිශ්චය කර ගැනීමට නොහැකි වේ. කතුවරිය කිසිවිටෙකත් ⁣ස්වකීය චරිත සදාචාර විනිශ්චයකට ලක් නොකරන අතර පාඨකයාට ද එවන් විනිශ්චයකට එලඹීමට ඉඩ නොතබයි. නවකතාවේ ඇතැම් කොටස්වලදී දැනෙන ඒකාකාරිත්වය ඛණ්ඩනය කිරීමට කතුවරියට අවකාශ පැවති බව හොඳින් දිස් වේ. කෙසේ වෙතත්, නවකතාව අවසානයේ නැවතත් ජීවිතයේ අලුත් කතාවකට ඉඟි කරයි.

මනෝහරීගේ නවකතාවල අවියෝජනීය ලක්ෂණයක් වන නිරායාස මනහර භාෂා රිද්මය මෙම කෘතියේ ද නොඅඩුව පවතී. නිදොස්මි නිදහස්මි නවකතාව කියවා අවසන් කළ පසු පාඨකයකුගේ සිතට මෙවන් ප්‍රශ්න මාලාවක් පැන නැඟුනහොත් එය පුදුමයක් නොවනු ඇත. ගැහැනියට හිමිවන්නේ බුද්ධත්වයට මෙහා තැනක් ද? පුරුෂමූලික සමාජයක ගැහැනියට සිදුවන්නේ යුක්තියක් නැති නඩු විභාගයකට මුහුණ දීමට ද? හැමවිටම නිදොස් කොට නිදහස් වන්නේ පිරිමියා ද? ස්ත්‍රියට ස්ත්‍රීමය සාරය අහිමි කරගෙන පිරිමි ලෝකය සමතික්‍රමණය කළ හැකිද?

උදිත අලහකෝන්

කච්චතිව් නඩුව සහ මෝදිගේ ලංකාගමනය !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 05 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත ය. එහිදී ඔහු සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති තාප සහ සූර්යබල විදුලි බලාගාරයකට මුල්ගල් තැබීමට නියමිත ය. ඒ පිළිබඳ අවධානය යොමුවෙමින් තිබියදී පසුගිය 25 වැනිදා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලංකාවටට අදාළ විශේෂ නඩුවක් කැඳවන ලදි. කෙටියෙන් කියන්නේ නම් ඒ කච්චතිව් දූපත පිළිබඳ නඩුවයි. 

කච්චතිව් දූපත් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව පවතින නඩුව සැප්තැම්බර් 15 දින අවසන් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 25 වැනිදා තීරණය කළේය. 1974 ජුනි 26, 28 සහ 1976 මාර්තු 23 කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබිණි. තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය දැරූ එම්. කරුණානිධි මේ ගිවිසුම්වලට එරෙහි පෙත්සම පවරා තිබූ අතර, ඔහු 2018 වසරේදී මියගියේය. ඒ වෙනුවට කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ වර්තමාන නායක ටී.ආර්. බාලු‍ට මෙහි පෙත්සම්කරු ලෙස ඉදිරිපත් වීමට ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවසර දීම ද කැපීපෙනෙන සිදුවීමකි.

මේ ගිවිසුම් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වාදෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ පී.විල්සන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඉන්දීය අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරන ලදි. පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපත අවට කලාපයේ ඉන්දීය ධීවරයන්ගේ අයිතිවාසිකම් මේ ගිවිසුම් නිසා අහිමි වී ඇති බව ද පෙත්සමේ දැක්වේ. ඒ ධීවරයන්ගේ ජීවත්වීමේ අයිතියට මෙමගින් සෘජු බලපෑමක් සිදු ව ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් ය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එරට පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් ද ලබාදී තිබේ. එසේ වුවත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙතෙක් ජීවත් වීමේ අයිතිය පිළිගෙන නැත. 2015 පැවැති ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ගත් උත්සාහයට අනුව පිහිටුවූ මහජන අදහස් විමසීමේ කමිටුව ඉදිරියට ද ඒ පිළිබඳ ඉල්ලීම් රැසක් ඉදිරිපත් විය. 

මේ නඩුවේදී දැඩි අවධානයක් යොමු වූ තවත් කරුණක් වන්නේ ඉන්දීය මධ්‍යම රජය විසින් කච්චතිව් ලංකාවට පැවරීමේ තීන්දුව ගෙන තිබෙන්නේ තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමෙන් නොවන බවයි. එය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රාන්ත රාජ්‍යය බලතලවලට සෘජුව මැදිහත්වීමක් බව ද මෙහිදී පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් විසින් මතුකර තිබූ කරුණක් වන්නේ මේ නඩුවේ තීන්දුව ලබාදීමේදී අධිකරණය බරපතළ ගැටලුවකට මුහුණ දෙන බවයි. ඊට හේතුව තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයේ මතය නිවැරදි බවට පිළිගතහොත්, අනෙක් ප්‍රාන්ත රාජ්‍යයන් ඉදිරියේදී කෙසේ කටයුතු කරයිද යන ප්‍රශ්නයයි. 

නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරට අගමැති ධුරයට තරග කරන අවස්ථාවේදී ද මේ පිළිබඳ සංවාදයක් මතු විය. එවකට තමිල්නාඩු මහ ඇමැති කේ.ස්ටාලින් මෝදිට පවසා තිබුණේ ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතිව් දූපත අනිවාර්යෙන්ම නැවත ඉන්දියාවට පවරාගත යුතු බවයි. මෙය හැත්තෑව දශකයේ සිට වරින්වර උඩට එන – යටට යන මාතෘකාවකි.  

කච්චතිව් දූපත, කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 75.2ක් නිරිතදිගින් පිහිටා තිබේ. මේ දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබෙන්නේ ඩෙල්ෆ්ට් දූපතයි. ඩෙල්ෆ්ට් සහ කච්චතිව් දූපත් අතර පවතින දුර කිලෝමීටර් 23.5කි. කච්චතිව් දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටි ඉන්දීය ගොඩබිම් ප්‍රදේශය වන්නේ පම්බන් දූපතේ පිහිටි රාමේෂ්වරම් ප්‍රදේශයයි. රාමේෂ්වරම් ප්‍රදේශය කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 24.7ක් තරම් දුරකින් පිහිටා තිබේ. 1964 වසරේදී සුළි කුණාටුවක් නිසා විනාශ වූ ධනුෂ්කොඩි නගරය ද කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 25.1ක දුරකින් පිහිටා ඇත. එමගින් පැහැදිලි වන්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට් දූපත සහ දකුණු ඉන්දියාවට අයත් රාමේෂ්වරම් ප්‍රදේශයට ආසන්න වශයෙන් සමාන දුරකින් පිහිටා තිබෙන බවයි.

බි්‍රතාන්‍ය ජාතිකයන් ලංකාව සම්පූර්ණයෙන්ම පාලනය කරන කාලයේ සකස් කළ සිතියම් කිහිපයකම දැක්වෙන්නේ කච්චතිව් දූපත ලංකාවට අයත් බවයි. ඒ අතරින් එක් සිතියමක් සකස් කර තිබෙන්නේ 1857 වසරේදී ජෝන් ඇරෝස්මිත් ය. ඒ සිතියමේ කච්චතිව් යාපනය අර්ධද්වීපයට අයත් දූපතක් බව පැහැදැලිව දක්වා ඇත. බි්‍රතාන්‍ය ජාතික සිවිල් නිලධාරියකු වූ සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් 1860දී සිලෝන් නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළ අතර, එහි දැක්වෙන්නේ ද මේ දූපත ලංකාවේ උතුරු ප්‍රදේශයට අයත් බවයි. 

කච්චතිව් දූපතේ විශාලත්වය අක්කර 285කි. එය ධීවර කටයුතු සඳහා ඉතා වැදගත් ප්‍රදේශයක් වන අතර, සාගර සම්පත් ගවේෂණ කටයුතු සඳහා ද වැදගත් ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. මූලාශ්‍රවලට අනුව මේ දූපත පිහිටි ප්‍රදේශයේ අතීතයේ සිට වෙළෙඳ ගනුදෙනු ද සිදු වී ඇත. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් වන මෙහි ස්වභාවික ඛනිජ තෙල් සහ ගෑස් ඇති බවට ද මතයක් පවතී.

20 වැනි සියවසේ මුල් භාගයේදී කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව පළමු ගැටලුව මතු විය. ඒ ගැටලු‍ව විසඳාගැනීමට 1921දී දෙරට අතර සාකච්ඡාවක් පැවතිණි. මූලාශ්‍ර අනුව පෙනීයන්නේ මේ සාකච්ඡාවට ලංකාවෙන් සහ ඉන්දියාවෙන් නියෝජිතයන් සිව්දෙනා බැගින් සහභාගි වී ඇති බවයි. මාස හතක් මේ සාකච්ඡා පවත්වා ඇත. එහිදී ඉන්දියානුවන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන තර්කයක් වන්නේ කච්චතිව්හි පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වැඳපුදා ගැනීමට අතීතයේ සිට දකුණු ඉන්දීය කතෝලිකයන් එහි පැමිණ තිබෙන නිසා දූපතට ඔවුන්ට අයිතියක් ඇති බවයි. තමිල්නාඩුවේ රාමනාථපුරම්හි රාමනාද් පෙළපත 19 වැනි සියවස මුල් භාගයේ කච්චතිව් දූපත පාලනය කළ බවට ද එහිදී තර්කයක් ඉදිරිපත් වී තිබේ.

එම තර්කවලට පිළිතුරු දෙමින් ලංකාවේ නියෝජිත පිරිස පැරණි ඉතිහාස මූලාශ්‍ර උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ යාපනයේ රජකම් කළ සංකිලි කුමාරන් ඔහුගේ ප්‍රියතම ආහාරයක් වූ එක්තරා ඉබි විශේෂයක් ඇල්ලීම සඳහා කච්චතිව් දූපතට සිය මිනිසුන් යවා තිබෙන බවයි. කච්චතිව් දූපත එකල යාපනය රාජධානියට අයත් ව තිබූ ඉන් පැහැදිලි වන්නේ යැයි ද ඔවුන් පෙන්වා දී ඇත. 1766දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලන්දේසීන් සමග ගිවිසුමකට එළඹෙමින් යාපන අර්ධද්වීපය ආශ්‍රිත ව පැවති දූපත් ලන්දේසීන්ට පවරා දුන් ආකාරය ද ලංකාව පැත්තෙන් මෙහිදී පෙන්වා දී ඇතැයි වාර්තාවල දැක්වේ. එසේ ලන්දේසීන්ට අයිති වුණු යාපන අර්ධද්වීපයේ දූපත් පසුව ඉංග්‍රීසින්ට අයිති වූ බවත්, පසු කාලයක ඉංග්‍රීසීන් එම දූපත් පාලනය කිරීම සඳහා රාමනාද් පෙළපතට භාර කළ බවත් මෙහිදී සඳහන් වී තිබේ. එම පෙළපතේ නියෝජිතයන් ඉංග්‍රීසීන් වෙනුවෙන් බදු එකතු කිරීමේ නිරත වී ඇත.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවලින් පසුව වුවද දූපතේ අයිතිය පිළිබඳ ගැටලුව එසේ ම පැවැතිණි. මේ සංවාදයේදී ඉතිහාසඥයන්ගේ මතය වූයේ ආගමික අයිතියෙන් දූපතේ අයිතිය තීරණය කිරීමට නොහැකි බවයි. 

1940 දශකය අග භාගයේදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නිදහස ලැබිණි. එහෙත් කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ගැටලු‍ව එසේ ම පැවැතිණි. නැවතත් 1950 සහ 1960 යන දශකවලදී මේ පිළිබඳ සාකච්ඡා සිදු විය. මේ කච්චතිව් දූපත පිළිබඳ ගැටලුවට විසඳුමක් ලැබුණේ 1974 වසරේදී ය. එවකට ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි සහ ලංකාවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක අතර මේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කෙරිණි.

1974 ජූනි මාසයේදී අත්සන් කළ එම ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට අයත් කොටසක් බව ඉන්දීය රජය පිළිගත්තේය. දූපතේ අයිතිය ලබාගැනීම සඳහා යළිත් සටන් නොකරන බව ඉන්දීය රජයේ ස්ථාවරය විය. 1974 ජූනි 29 වැනි දින පළ වූ පුවත්පතක ප්‍රධාන සිරස්තලය වූයේ ‘කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට – මවුබිමේ අයිතිය මැතිනිය දිනාගනී – ඉන්දියන් යෝධයෝ දණ ගසති’ යනුවෙනි. 1976 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවත් ගිවිසුමක් අත්සන් කරන ලදි. ඒ ගිවිසුමට අනුව මෙරට ධීවරයන්ට ඉන්දියානු මුහුදු සීමාවේ ද, ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ද ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් විය.

1991 වසරේදී තමිල්නාඩු ප්‍රාන්ත රජය කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව යළිත් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය. පසුගිය කාලය පුරා තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හෙබවූ ජයලලිතා ජයරාම් සහ මුතුවේල් කරුණානිධි මීට ප්‍රධාන වශයෙන් මැදිහත් වූහ. ඔවුහු ඉන්දීය මධ්‍යම රජයට දැඩි බලපෑමක් එල්ල කළහ. ජයලලිතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනුකරමින් ඉල්ලා සිටියේ 1974 සහ 1976 ගිවිසුම් බලරහිත කරන ලෙසයි. එහෙත් එය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. මේ ලිපියේ ආරම්භයේ කියූ පෙත්සම කරුණානිධි ගොනුකරන ලද්දේ ඉන්පසුව ය. 

  • ශාලික විමලසේන

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි !

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. මෙමඟින් පාරිභෝගිකයන්ට තම වීසා හෝ මාස්ටර් කාඩ් NFC පහසුකම් සහිත ස්මාට් දුරකථනයට Tap කිරීමෙන් ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් කළ හැකිය. මුදල් නෝට්ටු භාවිතයෙන් සහ පොෂ් යන්ත්‍ර භාවිතයෙන් ඉදිරියට ගොස් විධිමත් හා නව්‍ය ගෙවීම් ක්‍රමවේදයක් මේ හරහා ඉදිරිපත් කර ඇත.

“මෙම සහයෝගීතාව විශාල දිගු පියවරක්. Tap to pay මගින් නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙනවා පමණක් නොව රියැදුරන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ඔවුන්ගෙන් ලැබෙන සේවය වඩාත් ශක්තිමත් කිරීමටත් මෙය යොදා ගන්නවා. මෙම සේවාව ගෙවීම් වඩාත් පහසු හා ඉක්මන් කරනවා. කවරාකාර ගමනක් වුවද ඒ ඒ ආකරයට විස්තර ඇතුල් කර පහසුවෙන් කුලී රථ වෙන් කර ගන්න පුළුවන්. අඛණ්ඩව සේවය සපයන දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් මගින් පාරිභෝගිකයන් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීමත්, යාවත්කාලීන වූ වෙබ් අඩවිය සමඟ ඉහළ සේවයක් සැපැයීමත් මඟින් කැන්ගරු කැබ්ස් ආරක්ෂාකාරී, සුව පහසු ගමනකට ඉඩ සළසා දෙනවා. Genie Business සමඟ හවුල්කාරිත්වයෙන් Kangaroo Cabs කාර්යක්ෂමව ගාස්තු ස්වයංක්‍රීයව අය කර ගන්නා අතර කාලය අවම කර ගැනීමටත්, නිවැරැදි ගෙවීම් විස්තර සඳහන් වීමටත් ඉඩ සළසා දෙනවා.” කැන්ගරු කැබ්ස් මූල්‍ය අධ්‍යක්ෂ කුසල් ෆොන්සේකා මහතා පැවැසීය.

කැන්ගරු කැබ්ස් www.kangaroocabs.com වෙබ් අඩවිය හරහා ඉක්මනින් සහ පහසුවෙන් කුලී රථ වෙන් කර ගැනීමට අවස්ථාව සළසා ඇත. එසේම කැන්ගරු කැබ්ස් Miles හඳුන්වා දෙමින් දෛනික පාරිභෝගිකයන්ට වටිනාකමක් සපයයි. සෑම සැතපුමකටම රුපියලක් පාරිභෝගිකයාට එකතු වෙන Kangaroo Miles පාරිභෝගිකයන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වන වැඩසටහනකි.

“නාඔටුන්නගෙ කවි බහුතරය ගේන්නෙ වළ දාපු දුකක්” – ‘කළු පැහැති කුඩා පොත’

0

මම වැඩිපුරම ආස පෙම් කවි කියවන්න. දැන් මං ආස පෙම් කවි තියෙන්නෙ ටිකක් උඩ රාක්කෙක නම් අනිත් ඔක්කොම තියෙන්නෙ ඊට පහළ රාක්කෙක. ඒක අනිත් කවිවලට කරන නිග්‍රහයක් කියලා හිතන්නෙපා. ඒක මගේ කැමැත්ත. ඒ තේරුමෙන්ම තමයි මම නාඔටුන්නගෙ සමහර කවිවලටත් කැමති වුණේ. එයාගෙ කවියක් මුලින්ම මට මතක හිටියේ ෆේස්බුක් එකෙන්. ඒ කවියෙ මාතෘකාව ‘මචං’.

මං හිතන්නෙ ඒ කවියෙන්ම මේ කතාව පටන් ගත්තා නම් වැඩිපුර හොඳයි කියලයි. මේක හරිම හදවත පුච්චන වර්ගයේ කවියක්. දැන් නිකං අපි බැලුවට පස්සෙ පෙම් කවිවලත් වර්ගීකරණ ගොඩක් තියෙනවනෙ. මේක අයිති වෙන්නෙ විරහා කවියෙත් කෙළවරම නෝට් එකකට. මොකද මේ කවියෙන් කථකයා කියන කතන්දරය අර අපි දන්න විරහා කවිවලින් හොයාගන්න බැරි එකක්. අපිට මෙතනදි හම්බ වෙන්නෙ හිතාගන්න බැරි තරම් ජීවිතේ අත්හැරීම් ප්‍රගුණ කරපු පෙම්වතෙක්ව කියලයි මුලින් හිතෙන්නෙ. ඒක එහෙමම නොවෙන්නත් පුළුවන්. මෙහෙම පෙම්වතුන් ඉන්නවද වගෙ එකක් හිතන්න මහන්සි නොවී මම කවිය ඇතුළේ තියෙන මූඩ් එකට කාන්දමක් වගේ හේත්තු වුණා.

සමහර වෙලාවට කවි ඇතුළේ අපි අත්දකින්න උත්සාහ කරන්නෙම සතුටට වඩා දුක කියලයි මම හිතන්නෙ. මෙහෙම අපිට නැති දුකක් අපි අනන්‍ය කරගෙන බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එක බරපතළව හිතන්න ඕනා කාරණයක්. එක්කෝ මේ කවිවලට ආස මිනිස්සු ඔක්කෝම බිඳුණු මිනිස්සු වෙන්න ඕනා. එහෙමත් නැත්නම් මේ අය හරිම ඩ්‍රැමටික් වෙන්න ඕනා. ඒ මොකවත් නෙවෙයි නම් කථකයාගෙ අත්දැකීමට ආසන්න අත්දැකීමක් මේ අයටත් තියෙනවා වෙන්න පුළුවන්.

මෙතනදි මම ආසයි ඒ අය ගැන නොහිතා මම නාඔටුන්නගෙ ‘මචං’ කවියට කැමති ඇයි කියනෙක කියන්න. මේ කවියෙ තියෙන දුක්බර ගතියට වගේම, කොයිතරම් අතෑරලා කියලා හිතුවත් තාම අල්ලගෙන ඉන්න හැඟීමට මං කැමතියි. බලන්නකො කොහොමද කියලා අතෑරලා අල්ලගෙන ඉන්නෙ තරම. කවියෙන් පොඩි කොටසක් මං කියවන්නම්. (37 පි‍ටුව. 04 වෙනි කවිය.)

“මචං,
තනි වචනෙ කෙටි පුංචි පණිවිඩ
‘හ්ම්ම්’ ‘හ්ම්ම්’ බකමූණු උත්තර
වට්සැප් එකේ පිරුණොත්
අර එක ඇහැක කඳුළක් එන
හිනාවෙන ඉමොජිය ඈ එව්වොත්

උඹ දන්න ලස්සනම කතාවක් කියපං
නැත්තන් පොඩි විහිළුවක් කරපං
ඒ ඈට දුක හිතුණ වෙලාවට..”

දැන් මේ අතෑරලා නෙවෙයිනෙ. අයිතිය ආයෙ කියන විදිහනෙ මේ තියෙන්නෙ. හැබැයි අපිට පිටට පේන්නෙ අත්හැරීමක් වගෙයි. ඒක තමයි කවියන්ගෙ ප්‍රයෝගය. ඒ අය නොයෙක් ඇස්බැන්ඳුම් කරන්න දන්නවා. කැමති නම් අපිට ඒවට අහුවෙන්න පුළුවන්. ඇත්තටම එහෙම අහුවීමෙත් ලොකු ප්‍රමෝදයක් තියෙනවා.

“ඒ ඈට තරහා ගිය වෙලාවට…”
“ඒ ඈට කම්මැලිම වෙලාවට..”

දැන් මේ පෙම්වතියව කියවගන්න මිනි ඩික්ෂනරියක්නෙ පරණ පෙම්වතා දෙන්නෙ. එතකොට අලුත් පෙම්වතා මේ ගැන මොනවා හිතනවා ඇතිද? කොල්ලට යක්සයා ආවේස වෙනවා ඇති නේද?
කවියෙ අන්තිමට තමයි පරණ පෙම්වතා තමන් සම්බන්ධයෙන් ලොකුම ලංසුව තියෙන්නෙ.

“මචං,
පොත්හලක් ගාවින් යනකොට
කවි පොතක ඇස් නතර වෙනකොට
ගම්පහට දුම්‍රියෙන් එනකොට
එක්වරම ඈ නිහඬ වූවොත්
උඹේ අත හිමින් අත හැරියොත්
හිනාවන් එක සැණින් මැකුණොත්

දැක්කෙ නෑ වගේ ඉඳපං
ඒ මාව මතක් වුණ වෙලාකට…”

මේක හරිම දුක්බර කවියක් විදිහට මතුපිටින් කියවගත්තට කවියෙ දුකට වඩා හංගලා තියෙන්නෙ අයිතිවාසිකම් කීමක් කියලා මට හිතෙනවා. මේ මොනවා දැනගෙන උන්නත් මම තරම් කලින් පෙම්වතීව දන්න කෙනෙක් නැති බව කථකයා ඉතාම රම්‍ය භාෂාවකින් කියනවා. ඒක හරිම සොඳුරු උගුලක්. මම කලින් කිව්වා වගේම කවියො නොයෙක් ඇස්බැන්ඳුම් දන්නවා. සරලවම ගත්තම මායම් දන්නවා. මේ එහෙම මායමක්. හැබැයි ඒ මායමට මං කැමතියි. මොකද ඒක හරිම ක්‍රියේටිව්.

නාඔටුන්නගෙ කවි ඇතුළෙ මට නිතර මුණගැහුණ කීප දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් සොම්බියෙක්, අනිකා රාස්සයෙක්, ඉතිරි එකා ඉමොජියක්.
එතකොට කවි පොතක එහෙම නිතර මුණගැහෙන ජීවී, අජීවී දේවල් කවි කියවන එකට වැදගත් වෙන්නෙ කොහොමද? මට හිතෙන විදිහට ඒක වෙන්නෙ මෙහෙමයි. අපි කවියාව හරි කවිය හරි තේරුම් ගන්නෙ එහෙම පොදු සලකුණුවලින්. කිසිම වෙලාවක කවියෙක් තමන්ට කියන්න ඕන දේ කියනවයි කිව්වට ඒක ඊට දුරස් දෙයක්. එයාලා එහෙම ලේසියෙන් දේවල් කියන්නෑ. කවියක හංගන දේවල් ගොඩක් තියෙනවා. කවියෙකුට උවමනා වෙන්නෙ නෑ තමන්ගෙ කවියෙන් තමන්ව සියයට සීයක්ම පෙන්නන්න. ඉතිං එයා කවි ඇතුළේ ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. හැබැයි මේ ක්‍රීඩාවෙ වැඩිම විනෝදය තියෙන්නෙ කවියාට මිසක් පාඨකයාට නෙවෙයි. කවියා හිතන්නෙ තමන් උස තැනක වාඩිවෙලා ඉන්නවා කියලයි. ඒත් හැම තිස්සෙම එයාට එහෙම උස තැනක වාඩිවෙලා බිම බලාගෙන ඉන්න කියවන්නො ඉඩ දෙන්නැති බව අමතක වෙලා යනවා. මොකද වර්තමානයේ ඉන්න පාඨකයෝ නිකංම නිකං නරඹන්නෝ නෙවෙයි. ඒ අයට සෑහෙන බලයක් තියෙනවා. ඒකට දැනුම ගලාගෙන එන වේගයත් බලපාලා තියෙනවා.

කවියාගේ නිර්මාණශීලීත්වය හැරෙන්න අනිත් ඔක්කෝම දේවල් හැමෝටම විවෘතව දැන් පේන්න තියෙනවා. ඉතිං කියවන්නෝ මෙන්න මේ වාගෙ පොදු සංකේත, චරිත, නාමකරන අල්ලගන්නවා. ඒකෙන් කවියාව තේරුම් ගන්න පුළුවන් වෙනවා කියල කිසිම වෙලාවක මම කියන්නෑ. ඒ වුණාට පුහුණු කියවන්නෙකුට කවියා වාඩිවෙලා ඉන්න උස පුටුව ආසන්නෙන්ම පුටුවක් තියන් වාඩිවෙලා ඉන්න ඉඩක් ලැබෙනවා.

දැන් නාඔටුන්නගෙ රාස්සයත්, සොම්බියත්, ඉමොජියත් තුනම අත් දෙකට වඩාගෙන මං එළිමහනකට එනවා. ඇයි නාඔටුන්නට රාස්සයෙක් ඕන වෙන්නෙ? මේ කියන රාස්සයා ඉන්නෙ ඇඳ යට. හැබැයි ඒකා ඊළඟ වතාවෙ හොයද්දි ඇඳ උඩට ඇවිත්. දැන් ඔන්න පටලැවිල්ල පටන් ගන්නවා. කථකයත් රාස්සයෙක්ද එතකොට? නැත්නම්
‍රාස්සයා ඇඳ යට ඉන්නෙ මිනිහට බයේද? ඌ එතකොට උදේ වෙද්දි තමන්ගෙ බය නැති කර ගන්නවද? නැත්නම් සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්තද? ඒ වුණාට මං ආසයි රාස්සයා ඇඳ යට ඉන්නෙ මිනිහට බයේ කියලා හිතන්න. මට විනෝදයක් ලැබෙන්නෙ එතකොටනෙ. ඉතිං මගේ විනෝදය විනාස කර නොගෙන මම දිගටම එහෙම හිතනවා.

මං මේකෙන් පොඩි සමීකරණයක් හදාගන්න කෑලි එකතු කරගත්තා. ඒකට සොම්බියාව වගේම ඉමොජිත් දාගත්තා. නාඔටුන්නගෙ ෆික්ෂනල් ලෝකෙ ගැනයි මං ඒ සමීකරණෙ හදාගන්නෙ. ආ.. තව මේකට ‘මයි ප්‍රෙෂස්’ කියලා තනියෙන් දොඩවන ගොලම්වත් දාගන්න ඕනා. ගොලම් ඉන්නෙ ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපටියෙ. මේ තමයි නාඔටුන්නගෙ නිර්මාණාත්මක ලිවීම හැදෙන බේස් එක. එතනින් තමයි කවි, කතා ඔක්කෝම මෙරු වගේ එළියට එන්නෙ.
ගොලම් කියන කවියෙදි කවියා ගොලම් චරිතය ප්‍රේමයට ගැටගහන විදිහ බලන්න. ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ බලපු කිසි කෙනෙකුට මේ චරිතෙ එක්ක පෙම් කවියක් ලියන්න පුළුවන් කියලා කවදාවත්ම හිතිලා නැතිව ඇති. හැබැයි නාඔටුන්න දන්නවා මුද්දකට අසීමිත ආසාවෙන්, දිවි හිමියෙන් ඒ මුද්ද ලුහුබදින විරූපී ගොලම්ව තමන්ට ඕනා හැඟීම කියන්න පාවිච්චි කරන්න ඕනා විදිහ. බලන්න ඒ කවිය පටන් ගන්න ලස්සන. (32 පි‍ටුව, දෙවෙනි කවිය)

“ප්‍රේමය මිහිදන් කරන ලද
මිටියාවතෙහි කෙලවර
හුදෙකලා යමහලක ගින්නේ
තැනවෙමින් ඇත කුඩා මුදුවක්
තව නොබෝ දිනකින්
ඔබට හිමිවීමට නියමිත”

දැන් අපිව අර ‘ලෝඩ් ඔෆ් ද රිංග්’ චිත්‍රපටියෙන් ගැලවිලා පොඩි ආදර වටයක කැරෙකෙනවා. අන්තිමට ‘මගෙ වස්තුව’ කියලයි කවිය කන්ද මුදුනට ගේන්නෙ. ඊට වඩා ගැලපෙන වචනයක්, මූඩ් එකක් තව කොහෙද කියලා අන්න එතකොට හිතෙන්න ගන්නවා. ඒක වේදනාව මිශ්‍ර අයිතියක් ගැන කීමක්. ඒ වගේම අඳුරු, භයානක හැඟීමකුත් චිත්‍රපටිය බලපු අයට දනවනවා. මේ මිශ්‍ර හැඟීම එක්ක කවිය කෝණ කීපයකින් අපිට රසවිඳින්න පුළුවන් වෙනවා. එහෙම වෙනවට මං කැමතියි. කවියක් එකම ඇඳුමක් ඇඳගෙන ඉන්න එක මහා ලැජ්ජාවක්. කවියකට ඇඳුම් කීපයක්වත් අන්ඳලා තියන්න ඕනා. නාඔටුන්න ඒ වැඩේ හරි ලස්සනට කරනවා.

මේ අතරේ එකම රිද්මයේ කවි දෙකක් මට හම්බ වෙනවා. එකක් ‘තර්ඩ් මෑන්’. අනිත් කවිය ‘ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි’. මේ කවි දෙකෙන්ම ක්‍රිකට් මැච් එකක වයිබ් එකක් දැනෙනවා. හැබැයි කරන්නෙ දුක විකුණන එක. විනෝදයෙන් දුක විකුණනවා. ඒක හරියට ක්ලැරන්ස්ගෙ “පියඹා යනවා මා ආකාසයේ අවසානයි ප්‍රේමාදරේ” සිංදුව වගෙයි. ක්ලැරන්ස් පුදුම විනෝදයකින් ප්‍රේමය ඉවරයි කියනවා. ‘ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි’ කවියත් අන්න ඒ වගේ විනෝදයෙන් තමන්ගෙ දුක, වේදනාව ගැන කියනවා. හැබැයි මෙතනදි කවිය ඉවර වෙද්දි කම්මුලට ගහනවා වගේ එකකුත් දැනෙනවා. අපි ඉන්නෙ කොයිතරම් මෝඩ විනෝදකාමී සමාජයකද කියලා හිතිලයි ඒ කම්මුල් පාර හම්බවෙන්නෙ. ඒ මොනවා වුණත් තමන්ගෙම දුකට පවා හිනාවෙන්න සිද්ධ වෙන මේ නරුම සිස්ටම් එක නොනවත්වාම පවතිනවා.

‘තර්ඩ් මෑන්’ කවියෙත් තියෙන ක්‍රිකට් විස්තර ප්‍රචාර ආකෘතිය ගේන්නෙ එහෙම නරුම සමාජ දුකක්. අපිට අපේ දුක කියන්න සිද්ධ වෙලා තියෙන විදිහ එතකොට මේකද? (44 පි‍ටුව, 06 වෙනි කවිය)

“ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි
මේ මගේ අවසාන ඉනිමයි..”

ඊළඟට ‘හෝමෝ සේපියන් සේපියන්’ කවියෙ ඉන්න මනුස්සයා එලාමය නටද්දි ස්නූස් බොත්තම හොයනවා පේනවා. කැමැත්තෙන් වැටුණ මර උගුල් ලෝකයක් ගැනයි මේ කියන්නෙ. දවසෙ දඩයම වෙනුවෙන් එක්සෙල් කොටු කීපෙකට අනින හෝමෝ සේපියන් ගැන මට අනුකම්පාවකට වඩා එන්නෙ උදාසීන හැඟීමක්. මොකද මේක නෙවෙයිද හෝමේ සේපියන්ලා සිහින දැකපු ජීවිතය? ඇයි දැන් මේ චුරු-චුරුවක්? අපි මේක අතෑරලා යන්න ආයෙත් හීන දකින්නෙ මුලටමද? ගින්දර හොයාගන්නද? රෝදය හොයාගන්නද? දැන් ගුහාවෙ චිත්‍ර අඳින්න යන්න බෑ. ඒවා ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් කළෙත් අපිමනෙ. ලින්ක්ඩින් එකේ දඩයම ගැන උදම් අනන්න ආසා නැත්නම් දැන් කරන්න තියෙන ඊළඟ තෝරාගැනීම මොකක්ද? ඇත්තට එහෙම එකක් නෑ. අපි වේගයෙන් දියුණු වෙන එක ගැන ආඩපාලි කියන ගමන් තවත් වේගයෙන් දියුණුව හොයාගෙන දුවනවා. මේ පරස්පරය ගැන හිතමින් කවියෙන් එළියට එන්න අපිට පුළුවන්. ඕන නම් දිගටම හිතන්නත් පුළුවන්. දිගටම හිතන්න පෙළඹෙනවා නම් කවිය ඔයාට බලපෑමක් කරලා. (67 පි‍ටුව, 16 වෙනි කවිය)

“වේලාව උදෑසන හයයි
හිස අසල දෙදරමින් දඟලමින්
ස්මාට් තිරය උඩ එලාමය නටනවා
හෝමෝ සේපියන් සේපියන්
Snooze බොත්තම හොයනවා”

නාඔටුන්නගෙ කවි බහුතරය ගේන්නෙ වළ දාපු දුකක්. ඒවා නොයෙක් තැන්වලින් පිළිවෙළට හාරලා ගොඩගන්න එයා දන්නවා. ඊට පස්සෙ අපිටත් ඒ දුකට එක්කහු වෙන්න කියලා නොකියා කියනවා.

‘මට ඔබව සිහිවන්නේ නැත’ කවියෙනුත් අර කලින් කියපු වළ දාපු දුකක් ආයෙ ගොඩගන්නවා පේනවා. කොහොමත් කවියො හරිම දක්ෂයි සියවස් ගාණක් පරණ වළ දාපු දුකක් වුණත් මේ දැන් කඩෙන් ගෙනාවා වගේ අලුතින් අපිට පිළිගන්වන්න. (97 පි‍ටුව, 28 වෙනි කවිය)

“ෆේස්බුක් මෙමරීස් අතරින්
විටින් විට උඩට ඉල්පෙන
පැරැණි කවි පේළියක් දුටු විට
මට ඔබව සිහිවන්නේ නැත”

කවියා පොඩි දුක් බෝම්බ එහේ මෙහේ විසිකරනවා. ඒවාට අහුවෙලා නොයෙක් දෙනා තුවාල වෙනවා. කවියටවත්, පාඨකයොන්ටවත් තඹේක ගානක් නෑ. මොකද එයාලා මේ දුක් බෝම්බවලට අහුවෙන්නම පතාගෙන ආපු අය. ඉතිං තුවාල වෙලා යන්න යනවා. සමහර කවිවලින් ඇත්තටම අපිට අත් වෙන්නෙ එහෙම තුවාල. ඒවා පිපිරෙන බව දැනගෙනයි අපි පෙරගමන් යන්නෙ. මේක මහා පුදුම එකඟතාවක් නේද? කැමැත්තෙන් දුකට පනින්න අපිව ට්‍රේන් කරන්න ඇත්තෙ කවුද? අවිඥාණිකවම කවියේ මූඩ් එක නිසා අපි ඒකට එකඟ වෙනවද? සමහර වෙලාවට මම දන්නෑ ඒක කොහොම වෙනවද කියල විස්තර කරන්න. හැබැයි ඒක වෙන බව මම දන්නවා.

‘කළු පැහැති කුඩා තිත’ තියෙන්නෙ අන්තිම කවිය විදිහට. කවියෙ අග්ගිස්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නාවලියක් තියෙනවා. (101 පි‍ටුව, 29 කවිය)

“හොඳ වීම ද අර්ථය?
“…ඉපයීම ද අර්ථය?”
“…පැන යාම ද අර්ථය?”

මේ සිස්ටම් එක ඇතුළේ අර්ථයක් ඇතියි කියලා හිතන කිසිම දේකට ඒ තරම් බරපතළ අර්ථයක් නෑ. ඉතිං සුළුවෙන් ජීවත් වෙන්න. සුළු දුක් බෝම්බවලට පපුව දුන්නට විසාල දුක් බෝම්බ දුටු තැන පුළුවන් නම් පැනලා යන්න. එහෙම කියන්නෙ කවියා නෙවෙයි මම.

කාංචනා අමිලානි

මහාධිකරණ විනිසුරුවරුන්ට අධිකරණ සේවා කොමිසමෙන් වත්කම් ගැන ලිඛිත දැනුම්දීමක් !

විනිසුරුවරුන් නොවන අධිකරණ නිලධාරීන් 2024 සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දෙයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.එස්. සෝමරත්න විසින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කටයුතු කරන සියලු‍ම මහාධිකරණ විනිසුරුවරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සිටින නිලධාරීන්ගේ විස්තර ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසයි. දිස්ත්‍රික් සහ මහෙස්ත්‍රාත් අධිකරණ ද එම චක්‍රලේඛයට අනුකූල ය

ලේකම්වරයා මේ දැනුම්දීම කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ය. එක් එක් කලාපයේ සේවය කරන අධිකරණ නිලධාරීන් හැර අනෙකුත් නිලධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් කොපමණ පිරිසක් තම වත්කම් සහ වගකීම් ප්‍රකාශන ඉදිරිපත් කර තිබේද යන්න මෙන්ම එසේ කිරීමට අපොහොසත් වී තිබේද යන්න පිළිබඳවද මෙසේ තොරතුරු ඉල්ලා තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය ජනවාරි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් යවමින් සෑම වසරකම නියමිත වේලාවට වත්කම්-බැරකම් ප්‍රකාශන ගොනු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබිණි.

වෙඩිතැබීම් 27ක් – 22 ක් ජීවිතක්ෂයට : මෙන්න පොලිස් වාර්තාව !

2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 27ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ එම වෙඩිතැබීමේ සිදුවීම් 27න් පුද්ගලයන් 22ක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

රට පුරා සිදුවූ එම වෙඩි තැබීම් පිළිබඳ සාරාංශය මෙසේ ය.

ජනවාරි –

04 – වැලිගම පොලිස් වසමේ කප්පරතොට, වල්ලිවෙල ප්‍රදේශයේ පාගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.  මේ සිද්ධියෙන් 26 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය. 

07 – ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුරුවකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 36ක් සහ අවුරුදු 20ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

09 – අහුංගල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් තුවාල ලද එක් අයකු රෝහල්ගත කෙරිණි. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ ලොකු පැටී නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියකු බව පසුව හෙළි විය.

13 – දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයකු ඉලක්ක කරගනිමින් එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කරන ලදි. කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නිවසේ ගේට්ටුව විවෘත කළ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර සිද්ධියෙන් දිවි බේරා ගැනීමට ව්‍යාපාරිකයා සමත් විය.

15 – දොඩංගොඩ, විල්පාත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර එදින අලු‍යම වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුනොවීය.

16 – මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කරන ලදි. සිද්ධියෙන් එම පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ සිටි දෙදෙනකු මෙසේ ඝාතනයට ලක් විය.

එදිනම කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේදී ද වෙඩි තැබීමේ සිද්ධියක් සිදු විය. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.

19 – ගල්කිස්ස, සිරිපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ 24 හැවිරිදි සහ 36 හැවිරිදි දෙදෙනෙකි.

22 – අම්බලන්තොට, කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබිණි. මේ වෙඩිතැබීමෙක් කිසිවකුටත් හානි සිදු වූයේ නැත.

31 – ගාල්ල හිනිදුම, පනංගල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර, එහිදී පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය ඒ අවස්ථාවේ පැවසීය.

පෙබරවාරි –

07 – මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු ජීවීතක්ෂයට පත් විය. එහිදී මියගොස් තිබුණේ 35 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

10 – කොටහේන බෙනඩික් මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කළ අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. වෙඩි ප්‍රහාරයට ලක්වූ තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් පූකුඩුකන්නාගේ සමීපතමයකු බව පොලිසිය පැවසීය.

19 – මිද්දෙණිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු, ඔහුගේ දියණිය සහ පුතා ජීවිතක්ෂයට පත්විය. මෙසේ ඝාතනයට ලක්වූයේ කජ්ජා නමින් හැඳින්වූ පුද්ගලයකු වන අතර, ඔහු සමග අවුරුදු 06ක් වූ දියණිය සහ 09 හැවිරිදි පුතා මෙහිදී ජීවිතක්ෂයට පත් විය.

එදින ම සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නැමැත්තාට අලු‍ත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

21 – ජා ඇළ, පමුණුගම, මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

එදින ම කොටහේන, ගල්පොත හන්දිය අසලදී සිදු කළ වෙඩිතැබීමකින් ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

26 – මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර තිබිණි. වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලැබූ අතර, එසේ තුවාල ලබා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ පාසල් මිතුරෙකු බව පොලීසිය පැවසීය.

මාර්තු –

08 – ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලක සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

13 – ගාල්ල අක්මීමන, තලගල ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදත් ධම්මික  නාඳුනන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඔහුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.

එදින ම වැලිවේරිය, අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදු විය. එහිදි තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කෙරිණි.

14 – අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරිණි. ඝාතනයට ලක්ව තිබුණේ අවුරුදු 39ක් වූ එම ප්‍රදේශයේ පදිංචිව සිටි  පොඩි සුද්දා නමැත්තෙකි.

17 – මිදිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අලු‍යම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදුව නොතිබිණි.

එදින ම පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදියේදී වෙඩි තැබීමක් සිදු විය. එම වෙඩි තැබීමෙන් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

22 – දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී වෙඩි තැබීමක් සිදු විය. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු ඉලක්ක කර වෑන් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. එම වෙඩි ප්‍රහාරයන් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්විය.

දේශබන්දු : චෝදනාවලට ඇප දිය හැකි නම් රිමාන්ඩ් කළේ ඇයි?

ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑමටත්, සැකකරුට සැඟවී සිටීමට සහාය දුන් පාර්ශ්ව අනාවරණය කරගැනීමේ විමර්ශන විධිමත්ව සිදුකිරීමටත් බාධා ඇති විය හැකි නිසා සැකකාර තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශලංකාර දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ ඇප අයැදීම ප්‍රතික්ෂේප කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කරයි.

ඒ අනුව සැකකරු ලබන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, බන්ධනාගාරගතව සිටියදී සහ සැකකරු ප්‍රවාහනය කිරීමේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස ද මාතර බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය. ඊයේ (20) පස්වරු 2ට මහෙස්ත්‍රාත්වරයා විසින් මේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කළේය.

සැකකරු සම්බන්ධයෙන් කඩිනම් සහ පුළුල් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 1හි ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. 

ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පැවසුවේ මෙය නීතියේ ආධිපත්‍යය සහ නීතිය අවභාවිතය පිළිබඳව කියැවෙන වැදගත් නඩුවක් බවයි. තමන් අධිකරණයට පැමිණියේ පොලිස් ආරක්ෂාව යටතේ බවත්, එවැනි තත්ත්වයක් අසාර්ථක රාජ්‍යයක සලකුණක් බවත් මෙහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, විමර්ශන අවසන් කොට සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරිය යුතු බව ද සඳහන් කළේය.

පසුගිය මාර්තු 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට අනුව මේ සිදුවීමේ පළමු සැකකරු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ. යම් තැනැත්තකුට හෝ ආණ්ඩුවට හානියක් කිරීමේ චේතනාවෙන් නීතියේ විධානයන්ට රජයේ සේවකයකු ලෙස අකීකරු වීම, ඩබ්ලිව් 15 හෝටලයට සහ එහි හිමිකරුවන්ට සාපරාධී බලහත්කාරය පෑම, නීතිවිරෝධී රැස්වීමකට පොලිස් නිලධාරීන් යෙදවීම, රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික කටයුත්තකට ටී 56 ගිනිඅවියකින් වෙඩා තබා බියගැන්වීම, සත්‍යය නිරාවරණය වීම වැළැක්වීමට බොරු සාක්ෂි ගෙතීම, පුපුරණ ද්‍රව්‍යයකින් හෝටලයට හානිකිරීම, නීත්‍යනුකූල නොවන වෙඩි තැබීමක් සිදුකිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල පිළිබඳව දැනුවත්ව එහෙත් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් පොලිස් නිලධාරියකුගේ මරණය සිදුකිරීමට දායකවීම ඇතුළු චෝදනා 09ක් සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇත. 

මේ චෝදනා පිළිබඳව සඳහන් කරමින් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලය දරන දැනට සේවය අත්හිටුවා ඇති සැකකරු, චේතනාන්විතව අධිකරණ නියෝගයට අවනත නොවී සැඟවී සිට ඇති බවයි. මේ නිසා නඩුවට අදාළ විමර්ශන අඩපණවී ඇති බවත්, ඔහු සෙවීම සඳහා මහජන මුදල් වැයකිරීමට සිදු ව ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් ය. 

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් බන්ධනාගාගත කළ සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළේය.

එසේම සැඟව සිටි දින 20ක කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් විසින් පරිහරණය කළ ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම්වලට අවසර ලබා දුන්නේය.

මාකඳුරේ මධුෂ් – හරක් කටාටත් වඩා බරපතළ සංවිධානාත්මක අපරාධකරුවෙක් දේශබන්දු : අතිරේක සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි !

විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාකඳුරේ මධුෂ්, හරක් කටා වැනි සංවිධානාත්මක අපරාධකරුවන්ටත් වඩා දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අවධාරණය කරයි.

පෙබරවාරි 27 වැනිදා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීමෙන් පසු දින 20ක් සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන්, ඊයේ (19) උදෑසන 8.20ට ඒ අධිකරණයට පැමිණ තිබිණි. ඉන්පසු ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ මෝසම පස්වරු 12.30ට මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවන තෙක් පොලිස්පතිවරයා අධිකරණයේ බංකුවක වාඩි වී සිටිනු දක්නට ලැබිණි. 

මෝසම කැඳවීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ 2020 වසරේ සිට දේශබන්දු තෙන්නකෝන් සමාජයේ ජීවත් වී ඇත්තේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම හෝ නොමැතිව අවතාරයක් ලෙස බවයි. එසේ අනන්‍යතාවක් නොමැතිව ජීවත් වූ විත්තිකරු, දින 20ක් සියලු විමර්ශන අංශවලින් සැඟවී සිට කිසිවකුට නොපෙනී අධිකරණයට පැමිණ වාඩි වූයේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයක් බව අවධාරණය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, සුඛෝපභෝගී බෙන්ස් කාර් දෙකකින් ඔහු පැමිණියේද යන සැකය ඇති බව ද සඳහන් කළේය. මේ නිසා දෙශ්බන්දු තෙන්නකෝන් පසුගිය දින 20ක කාලය සැඟවී සිටියේ කොහේද යන්න සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පැවසීය.

මේ වන විට සොයාගෙන ඇති ආකාරයට දේශබන්දු තෙන්නකෝන් නිවාස අටක හිමිකරුවකු බවත්, වෙනත් දේපොළ රැසක් ද ඔහුට ඇති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මෙවැනි තැනැත්තකු පොලිස්පති ධුරයට නොව පොලිස් කොස්තාපල් ධුරයට හෝ සුදුසු නැති බව ද සඳහන් කළේය. එසේ පැවසීම පොලිස් කොස්තාපල් ධුරයට කරන නිගරුවක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මාකඳුරේ මධුෂ්, හරක් කටා වැනි සංවිධානාත්මක අපරාධකරුවන්ටත් වඩා දරුණු ගණයේ අපරාධකරුවකු ලෙස විත්තිකරු හැඳින්විය හැකි බවත්, ඔහු තමන්ගේ බලය බරපතළ ලෙස අවභාවිත කර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, විමර්ශන අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙහිදී කරුණු දක්වමින් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ පැවසුවේ තම සේවාදායකයාට ඇති තර්ජන නිසා අභියාචනාධිකරණයට ගිය බවත්, අභියාචනාධිකරණයේ තීන්දුව පිළිගනිමින් සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් වූ බවත් පෙන්වා දුන්නේය. තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ උපදෙස් පරිදි අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාන්ක රණසිංහ ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් පසු මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (20) දක්වා විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර, අද පස්වරු 2ට විත්තිකරුට ඇප ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් වන ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ සමග කොළඹ සහ මාතර නියෝජනය කරන නීතිඥවරුන් විශාල සංඛ්‍යාවක් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙනීසිටියහ.

මාතර, පැලෑන වට රවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයෑම සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි. මේ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඔහු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළ අතර, එය ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහාමඩ් ලෆාර් ප්‍රකාශ කළේ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නීත්‍යනුකූල බවයි.

ජනාධිපති ගෝඨා ආරක්ෂක ඇමැතිවරයා ලෙස කළ සියල්ල ව්‍යවස්ථා විරෝධියි : අහ්නෆ් – හෙජාස් ඇතුළු රැඳවුම් නියෝග සියල්ල නීතිවිරෝධී බවට තර්කයක් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වසරක කාලයක් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ගනු ලැබූ සියලු තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති. ඔවුන් මේ බව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුවක් උපුටා දක්වමිනි.

කවියකු වන අහ්නෆ් ජසීම්ට එරෙහිව මෙන්ම නීතිඥ හෙජාස් හිස්බුල්ලාට එරෙහිව ද ගෝඨාභය රාජපක්ෂ රැඳවුම් නියෝග නිකුත් කළේ මේ කාලයේදී ම ය.

2019 නොවැම්බර් මාසයේ සිට 2020 ඔක්තෝබර් මාසය දක්වා හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ධුරය දැරීය. ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නියෝගයක දැක්වෙන්නේ මේ කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමැති ධුරය දරා ඇත්තේ ව්‍යවස්ථාවට පිටින් වන බවයි. එම තීන්දුවේ සඳහන් වන ආකාරයට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 50 සහ 51 ව්‍යවස්ථා අනුව ආරක්ෂක ඇමැති ධුරය දැරිය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වූයේ 2019 නොවැම්බර් මාසයේදී වන අතර, ඒ වන විට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය. 2020 ඔක්තෝබර් 29 වැනිදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීම ආරම්භ වූ අතර, එම සංශෝධනයට අනුව ආරක්ෂක ඇමැති ධුරය ජනාධිපතිවරයාට දැරිය හැකිය. අදාළ තීන්දුව මගින් අවධාරණය කර ඇත්තේ මේ හේතුව නිසා ගෝඨාභය රාජපක්ෂට අදාළ කාලයේදී ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට අධිකාරයක් නැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබාදුන්නේ 2020 පෙබරවාරි 06 වැනිදා ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස නිකුත් කළ රැඳවුම් නියෝගයක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අවසන් කරමිනි. හේනේගම, පොකුණුවිට පදිංචි මදුරප්පෙරුමගේ කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම මේ පෙත්සම ගොනුකොට තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස පෑලියගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක කැළුම් සංගීත්, එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු 15 දෙනකු නම් කර තිබිණි.

2020 ජනවාරි 30 වැනිදා පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ 1929 අංක 17 දරන විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ ආඥා පනත යටතේ ය. ඉන්පසු ඇයට රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කර තිබුණේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් ය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මේ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොමැති නිසා ඔහු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර නොහැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වේ. 

ගෝඨාභය රාජපක්ෂගේ මේ තීරණය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (1), 13 (1), 13 (2) යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, මේ නිසා රජය පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.