ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 05 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත ය. එහිදී ඔහු සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති තාප සහ සූර්යබල විදුලි බලාගාරයකට මුල්ගල් තැබීමට නියමිත ය. ඒ පිළිබඳ අවධානය යොමුවෙමින් තිබියදී පසුගිය 25 වැනිදා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලංකාවටට අදාළ විශේෂ නඩුවක් කැඳවන ලදි. කෙටියෙන් කියන්නේ නම් ඒ කච්චතිව් දූපත පිළිබඳ නඩුවයි.
කච්චතිව් දූපත් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව පවතින නඩුව සැප්තැම්බර් 15 දින අවසන් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 25 වැනිදා තීරණය කළේය. 1974 ජුනි 26, 28 සහ 1976 මාර්තු 23 කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබිණි. තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය දැරූ එම්. කරුණානිධි මේ ගිවිසුම්වලට එරෙහි පෙත්සම පවරා තිබූ අතර, ඔහු 2018 වසරේදී මියගියේය. ඒ වෙනුවට කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ වර්තමාන නායක ටී.ආර්. බාලුට මෙහි පෙත්සම්කරු ලෙස ඉදිරිපත් වීමට ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවසර දීම ද කැපීපෙනෙන සිදුවීමකි.
මේ ගිවිසුම් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වාදෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ පී.විල්සන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඉන්දීය අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරන ලදි. පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපත අවට කලාපයේ ඉන්දීය ධීවරයන්ගේ අයිතිවාසිකම් මේ ගිවිසුම් නිසා අහිමි වී ඇති බව ද පෙත්සමේ දැක්වේ. ඒ ධීවරයන්ගේ ජීවත්වීමේ අයිතියට මෙමගින් සෘජු බලපෑමක් සිදු ව ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් ය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එරට පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් ද ලබාදී තිබේ. එසේ වුවත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙතෙක් ජීවත් වීමේ අයිතිය පිළිගෙන නැත. 2015 පැවැති ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ගත් උත්සාහයට අනුව පිහිටුවූ මහජන අදහස් විමසීමේ කමිටුව ඉදිරියට ද ඒ පිළිබඳ ඉල්ලීම් රැසක් ඉදිරිපත් විය.
මේ නඩුවේදී දැඩි අවධානයක් යොමු වූ තවත් කරුණක් වන්නේ ඉන්දීය මධ්‍යම රජය විසින් කච්චතිව් ලංකාවට පැවරීමේ තීන්දුව ගෙන තිබෙන්නේ තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමෙන් නොවන බවයි. එය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රාන්ත රාජ්‍යය බලතලවලට සෘජුව මැදිහත්වීමක් බව ද මෙහිදී පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් විසින් මතුකර තිබූ කරුණක් වන්නේ මේ නඩුවේ තීන්දුව ලබාදීමේදී අධිකරණය බරපතළ ගැටලුවකට මුහුණ දෙන බවයි. ඊට හේතුව තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයේ මතය නිවැරදි බවට පිළිගතහොත්, අනෙක් ප්‍රාන්ත රාජ්‍යයන් ඉදිරියේදී කෙසේ කටයුතු කරයිද යන ප්‍රශ්නයයි.
නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරට අගමැති ධුරයට තරග කරන අවස්ථාවේදී ද මේ පිළිබඳ සංවාදයක් මතු විය. එවකට තමිල්නාඩු මහ ඇමැති කේ.ස්ටාලින් මෝදිට පවසා තිබුණේ ශ්‍රී ලංකාවට අයත්ව තිබෙන කච්චතිව් දූපත අනිවාර්යෙන්ම නැවත ඉන්දියාවට පවරාගත යුතු බවයි. මෙය හැත්තෑව දශකයේ සිට වරින්වර උඩට එන – යටට යන මාතෘකාවකි.
කච්චතිව් දූපත, කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 75.2ක් නිරිතදිගින් පිහිටා තිබේ. මේ දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබෙන්නේ ඩෙල්ෆ්ට් දූපතයි. ඩෙල්ෆ්ට් සහ කච්චතිව් දූපත් අතර පවතින දුර කිලෝමීටර් 23.5කි. කච්චතිව් දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටි ඉන්දීය ගොඩබිම් ප්‍රදේශය වන්නේ පම්බන් දූපතේ පිහිටි රාමේෂ්වරම් ප්‍රදේශයයි. රාමේෂ්වරම් ප්‍රදේශය කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 24.7ක් තරම් දුරකින් පිහිටා තිබේ. 1964 වසරේදී සුළි කුණාටුවක් නිසා විනාශ වූ ධනුෂ්කොඩි නගරය ද කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 25.1ක දුරකින් පිහිටා ඇත. එමගින් පැහැදිලි වන්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට් දූපත සහ දකුණු ඉන්දියාවට අයත් රාමේෂ්වරම් ප්‍රදේශයට ආසන්න වශයෙන් සමාන දුරකින් පිහිටා තිබෙන බවයි.
බි්‍රතාන්‍ය ජාතිකයන් ලංකාව සම්පූර්ණයෙන්ම පාලනය කරන කාලයේ සකස් කළ සිතියම් කිහිපයකම දැක්වෙන්නේ කච්චතිව් දූපත ලංකාවට අයත් බවයි. ඒ අතරින් එක් සිතියමක් සකස් කර තිබෙන්නේ 1857 වසරේදී ජෝන් ඇරෝස්මිත් ය. ඒ සිතියමේ කච්චතිව් යාපනය අර්ධද්වීපයට අයත් දූපතක් බව පැහැදැලිව දක්වා ඇත. බි්‍රතාන්‍ය ජාතික සිවිල් නිලධාරියකු වූ සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් 1860දී සිලෝන් නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළ අතර, එහි දැක්වෙන්නේ ද මේ දූපත ලංකාවේ උතුරු ප්‍රදේශයට අයත් බවයි.
කච්චතිව් දූපතේ විශාලත්වය අක්කර 285කි. එය ධීවර කටයුතු සඳහා ඉතා වැදගත් ප්‍රදේශයක් වන අතර, සාගර සම්පත් ගවේෂණ කටයුතු සඳහා ද වැදගත් ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. මූලාශ්‍රවලට අනුව මේ දූපත පිහිටි ප්‍රදේශයේ අතීතයේ සිට වෙළෙඳ ගනුදෙනු ද සිදු වී ඇත. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් වන මෙහි ස්වභාවික ඛනිජ තෙල් සහ ගෑස් ඇති බවට ද මතයක් පවතී.
20 වැනි සියවසේ මුල් භාගයේදී කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව පළමු ගැටලුව මතු විය. ඒ ගැටලුව විසඳාගැනීමට 1921දී දෙරට අතර සාකච්ඡාවක් පැවතිණි. මූලාශ්‍ර අනුව පෙනීයන්නේ මේ සාකච්ඡාවට ලංකාවෙන් සහ ඉන්දියාවෙන් නියෝජිතයන් සිව්දෙනා බැගින් සහභාගි වී ඇති බවයි. මාස හතක් මේ සාකච්ඡා පවත්වා ඇත. එහිදී ඉන්දියානුවන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන තර්කයක් වන්නේ කච්චතිව්හි පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වැඳපුදා ගැනීමට අතීතයේ සිට දකුණු ඉන්දීය කතෝලිකයන් එහි පැමිණ තිබෙන නිසා දූපතට ඔවුන්ට අයිතියක් ඇති බවයි. තමිල්නාඩුවේ රාමනාථපුරම්හි රාමනාද් පෙළපත 19 වැනි සියවස මුල් භාගයේ කච්චතිව් දූපත පාලනය කළ බවට ද එහිදී තර්කයක් ඉදිරිපත් වී තිබේ.
එම තර්කවලට පිළිතුරු දෙමින් ලංකාවේ නියෝජිත පිරිස පැරණි ඉතිහාස මූලාශ්‍ර උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ යාපනයේ රජකම් කළ සංකිලි කුමාරන් ඔහුගේ ප්‍රියතම ආහාරයක් වූ එක්තරා ඉබි විශේෂයක් ඇල්ලීම සඳහා කච්චතිව් දූපතට සිය මිනිසුන් යවා තිබෙන බවයි. කච්චතිව් දූපත එකල යාපනය රාජධානියට අයත් ව තිබූ ඉන් පැහැදිලි වන්නේ යැයි ද ඔවුන් පෙන්වා දී ඇත. 1766දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලන්දේසීන් සමග ගිවිසුමකට එළඹෙමින් යාපන අර්ධද්වීපය ආශ්‍රිත ව පැවති දූපත් ලන්දේසීන්ට පවරා දුන් ආකාරය ද ලංකාව පැත්තෙන් මෙහිදී පෙන්වා දී ඇතැයි වාර්තාවල දැක්වේ. එසේ ලන්දේසීන්ට අයිති වුණු යාපන අර්ධද්වීපයේ දූපත් පසුව ඉංග්‍රීසින්ට අයිති වූ බවත්, පසු කාලයක ඉංග්‍රීසීන් එම දූපත් පාලනය කිරීම සඳහා රාමනාද් පෙළපතට භාර කළ බවත් මෙහිදී සඳහන් වී තිබේ. එම පෙළපතේ නියෝජිතයන් ඉංග්‍රීසීන් වෙනුවෙන් බදු එකතු කිරීමේ නිරත වී ඇත.
කෙසේ වෙතත් මේ සාකච්ඡාවලින් පසුව වුවද දූපතේ අයිතිය පිළිබඳ ගැටලුව එසේ ම පැවැතිණි. මේ සංවාදයේදී ඉතිහාසඥයන්ගේ මතය වූයේ ආගමික අයිතියෙන් දූපතේ අයිතිය තීරණය කිරීමට නොහැකි බවයි.
1940 දශකය අග භාගයේදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට නිදහස ලැබිණි. එහෙත් කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ගැටලුව එසේ ම පැවැතිණි. නැවතත් 1950 සහ 1960 යන දශකවලදී මේ පිළිබඳ සාකච්ඡා සිදු විය. මේ කච්චතිව් දූපත පිළිබඳ ගැටලුවට විසඳුමක් ලැබුණේ 1974 වසරේදී ය. එවකට ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි සහ ලංකාවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක අතර මේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කෙරිණි.
1974 ජූනි මාසයේදී අත්සන් කළ එම ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට අයත් කොටසක් බව ඉන්දීය රජය පිළිගත්තේය. දූපතේ අයිතිය ලබාගැනීම සඳහා යළිත් සටන් නොකරන බව ඉන්දීය රජයේ ස්ථාවරය විය. 1974 ජූනි 29 වැනි දින පළ වූ පුවත්පතක ප්‍රධාන සිරස්තලය වූයේ ‘කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට – මවුබිමේ අයිතිය මැතිනිය දිනාගනී – ඉන්දියන් යෝධයෝ දණ ගසති’ යනුවෙනි. 1976 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවත් ගිවිසුමක් අත්සන් කරන ලදි. ඒ ගිවිසුමට අනුව මෙරට ධීවරයන්ට ඉන්දියානු මුහුදු සීමාවේ ද, ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ද ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් විය.
1991 වසරේදී තමිල්නාඩු ප්‍රාන්ත රජය කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව යළිත් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය. පසුගිය කාලය පුරා තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හෙබවූ ජයලලිතා ජයරාම් සහ මුතුවේල් කරුණානිධි මීට ප්‍රධාන වශයෙන් මැදිහත් වූහ. ඔවුහු ඉන්දීය මධ්‍යම රජයට දැඩි බලපෑමක් එල්ල කළහ. ජයලලිතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනුකරමින් ඉල්ලා සිටියේ 1974 සහ 1976 ගිවිසුම් බලරහිත කරන ලෙසයි. එහෙත් එය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. මේ ලිපියේ ආරම්භයේ කියූ පෙත්සම කරුණානිධි ගොනුකරන ලද්දේ ඉන්පසුව ය.
- ශාලික විමලසේන