2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 27ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ එම වෙඩිතැබීමේ සිදුවීම් 27න් පුද්ගලයන් 22ක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
රට පුරා සිදුවූ එම වෙඩි තැබීම් පිළිබඳ සාරාංශය මෙසේ ය.
ජනවාරි –
04 – වැලිගම පොලිස් වසමේ කප්පරතොට, වල්ලිවෙල ප්‍රදේශයේ පාගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මේ සිද්ධියෙන් 26 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
07 – ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුරුවකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 36ක් සහ අවුරුදු 20ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
09 – අහුංගල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් තුවාල ලද එක් අයකු රෝහල්ගත කෙරිණි. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ ලොකු පැටී නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියකු බව පසුව හෙළි විය.
13 – දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයකු ඉලක්ක කරගනිමින් එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කරන ලදි. කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නිවසේ ගේට්ටුව විවෘත කළ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර සිද්ධියෙන් දිවි බේරා ගැනීමට ව්‍යාපාරිකයා සමත් විය.
15 – දොඩංගොඩ, විල්පාත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර එදින අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුනොවීය.
16 – මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කරන ලදි. සිද්ධියෙන් එම පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ සිටි දෙදෙනකු මෙසේ ඝාතනයට ලක් විය.
එදිනම කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේදී ද වෙඩි තැබීමේ සිද්ධියක් සිදු විය. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.
19 – ගල්කිස්ස, සිරිපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ 24 හැවිරිදි සහ 36 හැවිරිදි දෙදෙනෙකි.
22 – අම්බලන්තොට, කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබිණි. මේ වෙඩිතැබීමෙක් කිසිවකුටත් හානි සිදු වූයේ නැත.
31 – ගාල්ල හිනිදුම, පනංගල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර, එහිදී පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය ඒ අවස්ථාවේ පැවසීය.
පෙබරවාරි –
07 – මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු ජීවීතක්ෂයට පත් විය. එහිදී මියගොස් තිබුණේ 35 හැවිරිදි වියේ පසුවූ අයෙකි.
10 – කොටහේන බෙනඩික් මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කළ අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. වෙඩි ප්‍රහාරයට ලක්වූ තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් පූකුඩුකන්නාගේ සමීපතමයකු බව පොලිසිය පැවසීය.
19 – මිද්දෙණිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු, ඔහුගේ දියණිය සහ පුතා ජීවිතක්ෂයට පත්විය. මෙසේ ඝාතනයට ලක්වූයේ කජ්ජා නමින් හැඳින්වූ පුද්ගලයකු වන අතර, ඔහු සමග අවුරුදු 06ක් වූ දියණිය සහ 09 හැවිරිදි පුතා මෙහිදී ජීවිතක්ෂයට පත් විය.
එදින ම සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නැමැත්තාට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
21 – ජා ඇළ, පමුණුගම, මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එදින ම කොටහේන, ගල්පොත හන්දිය අසලදී සිදු කළ වෙඩිතැබීමකින් ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
26 – මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර තිබිණි. වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලැබූ අතර, එසේ තුවාල ලබා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ පාසල් මිතුරෙකු බව පොලීසිය පැවසීය.
මාර්තු –
08 – ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලක සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
13 – ගාල්ල අක්මීමන, තලගල ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදත් ධම්මික නාඳුනන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඔහුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.
එදින ම වැලිවේරිය, අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදු විය. එහිදි තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කෙරිණි.
14 – අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරිණි. ඝාතනයට ලක්ව තිබුණේ අවුරුදු 39ක් වූ එම ප්‍රදේශයේ පදිංචිව සිටි පොඩි සුද්දා නමැත්තෙකි.
17 – මිදිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදුව නොතිබිණි.
එදින ම පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදියේදී වෙඩි තැබීමක් සිදු විය. එම වෙඩි තැබීමෙන් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
22 – දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී වෙඩි තැබීමක් සිදු විය. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු ඉලක්ක කර වෑන් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. එම වෙඩි ප්‍රහාරයන් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්විය.