සූරි -රත්නසිරි සූරියආරච්චි පිළිබඳ මගේ මතකය ඇරඹෙනුයේ 1985වසරේ අග සිටය. ඒ මගේ සරසවි දිවියේ පළමු වසර වන අතර ඔහු ගේ දෙවන වසරයි. යාපනය පුස්තකාලය ගිනි තබමින් සහ අසූ තුනේ කලු ජූලියට මග පාදා ජවිපෙ .තහනම් කරමින් ජේ ආර් සිය දේශපාලන මජරකම පෙන්වමින් සිටි අතර ජවිපේ ඒ වන විට තහනම් පක්ෂයක් ලෙස වේගයෙන් ඉදිරියට ඇදෙමින් පැවතියේය. මම සරසවියට ආ විගසින්ම ජවිපෙ පූර්ණ කාලිකයෙකු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධව වැඩ කරන්නට පටන් ගෙන සිටියෙමි. සූරි මට හමුවනුයේ සරසවිය තුළ වේදිකාවෙහි සිය හැකියාව විදහමින් සිටි තරුණයෙකු ලෙසටය.
එවක සරසවියෙහි නාට්‍යයක් නිෂ්පාදනය වෙමින් පැවතිණි. ඒ චෙකෝෆ්ගේ චෙරි වත්ත නාට්‍යයයි. සූරි එහි රඟපෑ අතර ඔහුගේ සමකාලීන සගයන් දෙදෙනකු වූ ඇලෙක්ස් දාබරේ හෙවත් පොඩි ඇලාද මූ දූ රංජිද වේදිකාවෙහි සිය කුසලතා විදහමින් සිටියෝය. මෙයින් ඇලා වේදිකාව අතහැරියද මූදු සහ සූරි දෙදෙනාම තදින් එහි ඇලුණෝය. රංජියා මේ අතර දේශපාලන ගමන් සගයෙකු ලෙසද මට සමීප විණි.
සූරි නාට්‍යකරුවෙකු මෙන්ම කවියෙකු ලෙසද සිය මැදිහත්වීම ඇරඹුයේ එකලය. සුගන්ධිකා මුතුමණී මෙකල සූරි සමග පුවත්පත්වල පලවූ ජපුරේ තවත් එකියකි. පසුව ඇයද කවියට සමුදුන්නාය. ඒ වසරේම තවත් දක්ෂයෙකු වූවේ සමන් වඩුගේය. ඔහු එකර පරසිදු සිත්තරෙකි. අද ඔහු දක්ෂ කෙටිකතාකරුවෙකු බවට පත්ව සිටිනුයේ රජයේ සේවයෙහි යෙදුන පරිපාලන මේවා නිලධර භූමිකාව හමාර කරමිනි. එහෙත් සූරි රටෙහි දේශපාලන වාතාවරණය අතිශය දරුනු වෙද්දී පවා කවිය සහ වේදිකාව අත නොහැර විවිධ අයුරින් මැදිහත්ව සිටියේය. බියකරු අසූව දශකයෙන් පසුව මා සූරි ගැන දැනගත්තේ දශක කිහිපයකට පසුවය. එද පෝලන්තයේ වෙසෙන්නකු වශයෙනි. එසේම යළි ඔහු මට හමුවන්නේද වසර කිහිපයකට පෙර ලංකාවට ආ අවස්ථාවකය.
ඉදින් ඒ සූරි යළි මට හමුවනුයේ මෙවර ලංකාවට පැමිණ සිය සාළිස් වස් කවි ගී කෘතිය එළිදැක්වීමට සැරසෙන විටය. ඒ අපූරු සන්ධ්‍යාවකි. එය සංවිධානය කරන ලද්දේ ජම්බුගස්මුල්ල පාරේ බැලලයිකා කැෆේහිදීය. සුදු-රතු වයින් තොල ගාමින්, කෝපි රස බලමින් ගෙවුන ඒ සන්ධ්‍යාව ඔහුගේ සමකාලීන සරසවි සගයන් පිරිසකගේ මෙන්ම නාට්‍යෙව්දීන් වන ජගත් මුතුකුමාරණ සහ ජගත් චන්ද්‍රසිරි යන දෙදෙනගෙන්ද ආලෝකය ලැබීය. සූරිගේ ගීයක් ගායනා කරමින් වැඩේට සම්බන්ධ වූවා ඔහුගේ වසරේම එකියක වන රත්නමාලි පින්නපොල ය. පියානෝව වාදනය කළ නිපුණි වැඩේ තවත් අලංකාර කළාය. රශ්මික මණ්ඩාවල පෝලන්ත නිර්මාණකාරියක වන ඔල්ගා තොකාර් චුක් ලංකාවට හඳුන්වා දුන් අත්දැකීම්ද සමගින් එහි සිටියේය.
සූරී සන්ධ්‍යාව සංවිධානය කළේ කවි කියවන සන්ධ්‍යාවක් ලෙසිනි. ඒ අපට තවමත් එතරම් හුරු නැති කටයුත්තකි. සම්ප්‍රදායික දේශන වලින් බැහැරව කවි කියවීම වෙත යොමුවන මෙවන් අවස්ථාවන් යුරෝපයට සහ රුසියාව මෙන්ම නැගෙනහිර යුරෝපියානු රටවලට පුරුදු වුවද අප රටෙහි තවමත් එය එතරම් ජනප්‍රිය නැත. එසේම එවන් අවස්ථා සඳහා පහසුකම්ද අල්පය. මෙවන් අවස්ථාවක් පිළිබඳව මගේ මතකයෙහි ඇති එක් සළකුණක් වනුයේ විශාකේස රජ සහ ඝාතකයා කෘතිය සම්බන්ධයෙන් බොරැල්ල පුංචි තියටර් හිදී සංවිධානය කළ අවස්ථාවයි.
සූරි වසර හතලිහක් තිස්සේ සිංහල, පෝලන්ත මෙන්ම ඉංග්‍රිසි බසින් රචනා කළ කවි කියවමින් ගෙවුන ඒ සන්ධ්‍යාව බෙහෙවින් සුන්දරය. වසර හතළිහක් පුරා ලංකාවෙ සමාජ විපරිණාමය මෙන්ම විවිධ තේමාවන් ඒ කවි තුළ ඇතුළත්ව තිබිණි. එසේම ඊට ඔහුගේ විප්‍රවාසී දිවියද ඇතුලත්ය. සන්ධ්‍යාව තවත් සුන්දර කරමින් බැලලයිකාවේ හිමිකරු සගයා කටයුත්තට උපරිම සහය දුන් අතර ඔහුද නිර්මාණකරුවෙකු මෙන්ම ජපුරේ ආදි සිසුවකු වීමද තවත් ගැම්මක් සැපයීය. කුසුමලතා ලංකාමුල්ල සූරිගේ සමකාලීනයෙකු ලෙස කටයුත්ත තවත් අලංකාර කලාය.
සටහන පලවන විට සූරි පෝලන්තය බලා ගොසිනි. එහෙත් කවි කියවීමේ සන්ධ්‍යාවක් සංවිධානය කරන්නට ඔහු දැරූ තැත අගය කල යුතුය. අද අප සිටිනුයේ සංස්කෘතික කලාපයෙහි වැඩි මැදිහත්වීම් ඇවැසි කාලයකය. කෘතියක් එළිදැක්වීමට නිර්මාණකරුවෙකුගේ පසුම්බියට ගැලපෙන තැන් නිකිණි වන් රටක සාහිත්‍ය සහ කලා මැදිහත්වීම් සංවිධානය කිරීම යනු අභියෝගයකි. සූරිගේ සන්ධ්‍යාවෙහි අප වෙන්ව ගියේ සමන් වඩුගේ ගේ කෙටිකතා ගැන කතාබහකට ජපුරේ රැස් වන එකඟතාවක්ද සමගිනි.
සූරි, උඹේ මැදිහත්වීමට ස්තුතියි.
චුලානන්ද සමරනායක

