කළු පැහැති කුඩා පොත – සචින්ත ප්‍රමෝද් නාඔටුන්න
මම වැඩිපුරම ආස පෙම් කවි කියවන්න. දැන් මං ආස පෙම් කවි තියෙන්නෙ ටිකක් උඩ රාක්කෙක නම් අනිත් ඔක්කොම තියෙන්නෙ ඊට පහළ රාක්කෙක. ඒක අනිත් කවිවලට කරන නිග්‍රහයක් කියලා හිතන්නෙපා. ඒක මගේ කැමැත්ත. ඒ තේරුමෙන්ම තමයි මම නාඔටුන්නගෙ සමහර කවිවලටත් කැමති වුණේ. එයාගෙ කවියක් මුලින්ම මට මතක හිටියේ ෆේස්බුක් එකෙන්. ඒ කවියෙ මාතෘකාව ‘මචං’.
මං හිතන්නෙ ඒ කවියෙන්ම මේ කතාව පටන් ගත්තා නම් වැඩිපුර හොඳයි කියලයි. මේක හරිම හදවත පුච්චන වර්ගයේ කවියක්. දැන් නිකං අපි බැලුවට පස්සෙ පෙම් කවිවලත් වර්ගීකරණ ගොඩක් තියෙනවනෙ. මේක අයිති වෙන්නෙ විරහා කවියෙත් කෙළවරම නෝට් එකකට. මොකද මේ කවියෙන් කථකයා කියන කතන්දරය අර අපි දන්න විරහා කවිවලින් හොයාගන්න බැරි එකක්. අපිට මෙතනදි හම්බ වෙන්නෙ හිතාගන්න බැරි තරම් ජීවිතේ අත්හැරීම් ප්‍රගුණ කරපු පෙම්වතෙක්ව කියලයි මුලින් හිතෙන්නෙ. ඒක එහෙමම නොවෙන්නත් පුළුවන්. මෙහෙම පෙම්වතුන් ඉන්නවද වගෙ එකක් හිතන්න මහන්සි නොවී මම කවිය ඇතුළේ තියෙන මූඩ් එකට කාන්දමක් වගේ හේත්තු වුණා.
සමහර වෙලාවට කවි ඇතුළේ අපි අත්දකින්න උත්සාහ කරන්නෙම සතුටට වඩා දුක කියලයි මම හිතන්නෙ. මෙහෙම අපිට නැති දුකක් අපි අනන්‍ය කරගෙන බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන එක බරපතළව හිතන්න ඕනා කාරණයක්. එක්කෝ මේ කවිවලට ආස මිනිස්සු ඔක්කෝම බිඳුණු මිනිස්සු වෙන්න ඕනා. එහෙමත් නැත්නම් මේ අය හරිම ඩ්‍රැමටික් වෙන්න ඕනා. ඒ මොකවත් නෙවෙයි නම් කථකයාගෙ අත්දැකීමට ආසන්න අත්දැකීමක් මේ අයටත් තියෙනවා වෙන්න පුළුවන්.
මෙතනදි මම ආසයි ඒ අය ගැන නොහිතා මම නාඔටුන්නගෙ ‘මචං’ කවියට කැමති ඇයි කියනෙක කියන්න. මේ කවියෙ තියෙන දුක්බර ගතියට වගේම, කොයිතරම් අතෑරලා කියලා හිතුවත් තාම අල්ලගෙන ඉන්න හැඟීමට මං කැමතියි. බලන්නකො කොහොමද කියලා අතෑරලා අල්ලගෙන ඉන්නෙ තරම. කවියෙන් පොඩි කොටසක් මං කියවන්නම්. (37 පිටුව. 04 වෙනි කවිය.)
“මචං,
තනි වචනෙ කෙටි පුංචි පණිවිඩ
‘හ්ම්ම්’ ‘හ්ම්ම්’ බකමූණු උත්තර
වට්සැප් එකේ පිරුණොත්
අර එක ඇහැක කඳුළක් එන
හිනාවෙන ඉමොජිය ඈ එව්වොත්
උඹ දන්න ලස්සනම කතාවක් කියපං
නැත්තන් පොඩි විහිළුවක් කරපං
ඒ ඈට දුක හිතුණ වෙලාවට..”
දැන් මේ අතෑරලා නෙවෙයිනෙ. අයිතිය ආයෙ කියන විදිහනෙ මේ තියෙන්නෙ. හැබැයි අපිට පිටට පේන්නෙ අත්හැරීමක් වගෙයි. ඒක තමයි කවියන්ගෙ ප්‍රයෝගය. ඒ අය නොයෙක් ඇස්බැන්ඳුම් කරන්න දන්නවා. කැමති නම් අපිට ඒවට අහුවෙන්න පුළුවන්. ඇත්තටම එහෙම අහුවීමෙත් ලොකු ප්‍රමෝදයක් තියෙනවා.
“ඒ ඈට තරහා ගිය වෙලාවට…”
“ඒ ඈට කම්මැලිම වෙලාවට..”
දැන් මේ පෙම්වතියව කියවගන්න මිනි ඩික්ෂනරියක්නෙ පරණ පෙම්වතා දෙන්නෙ. එතකොට අලුත් පෙම්වතා මේ ගැන මොනවා හිතනවා ඇතිද? කොල්ලට යක්සයා ආවේස වෙනවා ඇති නේද?
කවියෙ අන්තිමට තමයි පරණ පෙම්වතා තමන් සම්බන්ධයෙන් ලොකුම ලංසුව තියෙන්නෙ.
“මචං,
පොත්හලක් ගාවින් යනකොට
කවි පොතක ඇස් නතර වෙනකොට
ගම්පහට දුම්‍රියෙන් එනකොට
එක්වරම ඈ නිහඬ වූවොත්
උඹේ අත හිමින් අත හැරියොත්
හිනාවන් එක සැණින් මැකුණොත්
දැක්කෙ නෑ වගේ ඉඳපං
ඒ මාව මතක් වුණ වෙලාකට…”
මේක හරිම දුක්බර කවියක් විදිහට මතුපිටින් කියවගත්තට කවියෙ දුකට වඩා හංගලා තියෙන්නෙ අයිතිවාසිකම් කීමක් කියලා මට හිතෙනවා. මේ මොනවා දැනගෙන උන්නත් මම තරම් කලින් පෙම්වතීව දන්න කෙනෙක් නැති බව කථකයා ඉතාම රම්‍ය භාෂාවකින් කියනවා. ඒක හරිම සොඳුරු උගුලක්. මම කලින් කිව්වා වගේම කවියො නොයෙක් ඇස්බැන්ඳුම් දන්නවා. සරලවම ගත්තම මායම් දන්නවා. මේ එහෙම මායමක්. හැබැයි ඒ මායමට මං කැමතියි. මොකද ඒක හරිම ක්‍රියේටිව්.
නාඔටුන්නගෙ කවි ඇතුළෙ මට නිතර මුණගැහුණ කීප දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් සොම්බියෙක්, අනිකා රාස්සයෙක්, ඉතිරි එකා ඉමොජියක්.
එතකොට කවි පොතක එහෙම නිතර මුණගැහෙන ජීවී, අජීවී දේවල් කවි කියවන එකට වැදගත් වෙන්නෙ කොහොමද? මට හිතෙන විදිහට ඒක වෙන්නෙ මෙහෙමයි. අපි කවියාව හරි කවිය හරි තේරුම් ගන්නෙ එහෙම පොදු සලකුණුවලින්. කිසිම වෙලාවක කවියෙක් තමන්ට කියන්න ඕන දේ කියනවයි කිව්වට ඒක ඊට දුරස් දෙයක්. එයාලා එහෙම ලේසියෙන් දේවල් කියන්නෑ. කවියක හංගන දේවල් ගොඩක් තියෙනවා. කවියෙකුට උවමනා වෙන්නෙ නෑ තමන්ගෙ කවියෙන් තමන්ව සියයට සීයක්ම පෙන්නන්න. ඉතිං එයා කවි ඇතුළේ ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. හැබැයි මේ ක්‍රීඩාවෙ වැඩිම විනෝදය තියෙන්නෙ කවියාට මිසක් පාඨකයාට නෙවෙයි. කවියා හිතන්නෙ තමන් උස තැනක වාඩිවෙලා ඉන්නවා කියලයි. ඒත් හැම තිස්සෙම එයාට එහෙම උස තැනක වාඩිවෙලා බිම බලාගෙන ඉන්න කියවන්නො ඉඩ දෙන්නැති බව අමතක වෙලා යනවා. මොකද වර්තමානයේ ඉන්න පාඨකයෝ නිකංම නිකං නරඹන්නෝ නෙවෙයි. ඒ අයට සෑහෙන බලයක් තියෙනවා. ඒකට දැනුම ගලාගෙන එන වේගයත් බලපාලා තියෙනවා.
කවියාගේ නිර්මාණශීලීත්වය හැරෙන්න අනිත් ඔක්කෝම දේවල් හැමෝටම විවෘතව දැන් පේන්න තියෙනවා. ඉතිං කියවන්නෝ මෙන්න මේ වාගෙ පොදු සංකේත, චරිත, නාමකරන අල්ලගන්නවා. ඒකෙන් කවියාව තේරුම් ගන්න පුළුවන් වෙනවා කියල කිසිම වෙලාවක මම කියන්නෑ. ඒ වුණාට පුහුණු කියවන්නෙකුට කවියා වාඩිවෙලා ඉන්න උස පුටුව ආසන්නෙන්ම පුටුවක් තියන් වාඩිවෙලා ඉන්න ඉඩක් ලැබෙනවා.
දැන් නාඔටුන්නගෙ රාස්සයත්, සොම්බියත්, ඉමොජියත් තුනම අත් දෙකට වඩාගෙන මං එළිමහනකට එනවා. ඇයි නාඔටුන්නට රාස්සයෙක් ඕන වෙන්නෙ? මේ කියන රාස්සයා ඉන්නෙ ඇඳ යට. හැබැයි ඒකා ඊළඟ වතාවෙ හොයද්දි ඇඳ උඩට ඇවිත්. දැන් ඔන්න පටලැවිල්ල පටන් ගන්නවා. කථකයත් රාස්සයෙක්ද එතකොට? නැත්නම්
රාස්සයා ඇඳ යට ඉන්නෙ මිනිහට බයේද? ඌ එතකොට උදේ වෙද්දි තමන්ගෙ බය නැති කර ගන්නවද? නැත්නම් සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්තද? ඒ වුණාට මං ආසයි රාස්සයා ඇඳ යට ඉන්නෙ මිනිහට බයේ කියලා හිතන්න. මට විනෝදයක් ලැබෙන්නෙ එතකොටනෙ. ඉතිං මගේ විනෝදය විනාස කර නොගෙන මම දිගටම එහෙම හිතනවා.
මං මේකෙන් පොඩි සමීකරණයක් හදාගන්න කෑලි එකතු කරගත්තා. ඒකට සොම්බියාව වගේම ඉමොජිත් දාගත්තා. නාඔටුන්නගෙ ෆික්ෂනල් ලෝකෙ ගැනයි මං ඒ සමීකරණෙ හදාගන්නෙ. ආ.. තව මේකට ‘මයි ප්‍රෙෂස්’ කියලා තනියෙන් දොඩවන ගොලම්වත් දාගන්න ඕනා. ගොලම් ඉන්නෙ ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපටියෙ. මේ තමයි නාඔටුන්නගෙ නිර්මාණාත්මක ලිවීම හැදෙන බේස් එක. එතනින් තමයි කවි, කතා ඔක්කෝම මෙරු වගේ එළියට එන්නෙ.
ගොලම් කියන කවියෙදි කවියා ගොලම් චරිතය ප්‍රේමයට ගැටගහන විදිහ බලන්න. ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ බලපු කිසි කෙනෙකුට මේ චරිතෙ එක්ක පෙම් කවියක් ලියන්න පුළුවන් කියලා කවදාවත්ම හිතිලා නැතිව ඇති. හැබැයි නාඔටුන්න දන්නවා මුද්දකට අසීමිත ආසාවෙන්, දිවි හිමියෙන් ඒ මුද්ද ලුහුබදින විරූපී ගොලම්ව තමන්ට ඕනා හැඟීම කියන්න පාවිච්චි කරන්න ඕනා විදිහ. බලන්න ඒ කවිය පටන් ගන්න ලස්සන. (32 පිටුව, දෙවෙනි කවිය)
“ප්‍රේමය මිහිදන් කරන ලද
මිටියාවතෙහි කෙලවර
හුදෙකලා යමහලක ගින්නේ
තැනවෙමින් ඇත කුඩා මුදුවක්
තව නොබෝ දිනකින්
ඔබට හිමිවීමට නියමිත”
දැන් අපිව අර ‘ලෝඩ් ඔෆ් ද රිංග්’ චිත්‍රපටියෙන් ගැලවිලා පොඩි ආදර වටයක කැරෙකෙනවා. අන්තිමට ‘මගෙ වස්තුව’ කියලයි කවිය කන්ද මුදුනට ගේන්නෙ. ඊට වඩා ගැලපෙන වචනයක්, මූඩ් එකක් තව කොහෙද කියලා අන්න එතකොට හිතෙන්න ගන්නවා. ඒක වේදනාව මිශ්‍ර අයිතියක් ගැන කීමක්. ඒ වගේම අඳුරු, භයානක හැඟීමකුත් චිත්‍රපටිය බලපු අයට දනවනවා. මේ මිශ්‍ර හැඟීම එක්ක කවිය කෝණ කීපයකින් අපිට රසවිඳින්න පුළුවන් වෙනවා. එහෙම වෙනවට මං කැමතියි. කවියක් එකම ඇඳුමක් ඇඳගෙන ඉන්න එක මහා ලැජ්ජාවක්. කවියකට ඇඳුම් කීපයක්වත් අන්ඳලා තියන්න ඕනා. නාඔටුන්න ඒ වැඩේ හරි ලස්සනට කරනවා.
මේ අතරේ එකම රිද්මයේ කවි දෙකක් මට හම්බ වෙනවා. එකක් ‘තර්ඩ් මෑන්’. අනිත් කවිය ‘ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි’. මේ කවි දෙකෙන්ම ක්‍රිකට් මැච් එකක වයිබ් එකක් දැනෙනවා. හැබැයි කරන්නෙ දුක විකුණන එක. විනෝදයෙන් දුක විකුණනවා. ඒක හරියට ක්ලැරන්ස්ගෙ “පියඹා යනවා මා ආකාසයේ අවසානයි ප්‍රේමාදරේ” සිංදුව වගෙයි. ක්ලැරන්ස් පුදුම විනෝදයකින් ප්‍රේමය ඉවරයි කියනවා. ‘ප්‍රිය ප්‍රේක්ෂක හිතවතුනි’ කවියත් අන්න ඒ වගේ විනෝදයෙන් තමන්ගෙ දුක, වේදනාව ගැන කියනවා. හැබැයි මෙතනදි කවිය ඉවර වෙද්දි කම්මුලට ගහනවා වගේ එකකුත් දැනෙනවා. අපි ඉන්නෙ කොයිතරම් මෝඩ විනෝදකාමී සමාජයකද කියලා හිතිලයි ඒ කම්මුල් පාර හම්බවෙන්නෙ. ඒ මොනවා වුණත් තමන්ගෙම දුකට පවා හිනාවෙන්න සිද්ධ වෙන මේ නරුම සිස්ටම් එක නොනවත්වාම පවතිනවා.
‘තර්ඩ් මෑන්’ කවියෙත් තියෙන ක්‍රිකට් විස්තර ප්‍රචාර ආකෘතිය ගේන්නෙ එහෙම නරුම සමාජ දුකක්. අපිට අපේ දුක කියන්න සිද්ධ වෙලා තියෙන විදිහ එතකොට මේකද? (44 පිටුව, 06 වෙනි කවිය)
“ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි
මේ මගේ අවසාන ඉනිමයි..”
ඊළඟට ‘හෝමෝ සේපියන් සේපියන්’ කවියෙ ඉන්න මනුස්සයා එලාමය නටද්දි ස්නූස් බොත්තම හොයනවා පේනවා. කැමැත්තෙන් වැටුණ මර උගුල් ලෝකයක් ගැනයි මේ කියන්නෙ. දවසෙ දඩයම වෙනුවෙන් එක්සෙල් කොටු කීපෙකට අනින හෝමෝ සේපියන් ගැන මට අනුකම්පාවකට වඩා එන්නෙ උදාසීන හැඟීමක්. මොකද මේක නෙවෙයිද හෝමේ සේපියන්ලා සිහින දැකපු ජීවිතය? ඇයි දැන් මේ චුරු-චුරුවක්? අපි මේක අතෑරලා යන්න ආයෙත් හීන දකින්නෙ මුලටමද? ගින්දර හොයාගන්නද? රෝදය හොයාගන්නද? දැන් ගුහාවෙ චිත්‍ර අඳින්න යන්න බෑ. ඒවා ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් කළෙත් අපිමනෙ. ලින්ක්ඩින් එකේ දඩයම ගැන උදම් අනන්න ආසා නැත්නම් දැන් කරන්න තියෙන ඊළඟ තෝරාගැනීම මොකක්ද? ඇත්තට එහෙම එකක් නෑ. අපි වේගයෙන් දියුණු වෙන එක ගැන ආඩපාලි කියන ගමන් තවත් වේගයෙන් දියුණුව හොයාගෙන දුවනවා. මේ පරස්පරය ගැන හිතමින් කවියෙන් එළියට එන්න අපිට පුළුවන්. ඕන නම් දිගටම හිතන්නත් පුළුවන්. දිගටම හිතන්න පෙළඹෙනවා නම් කවිය ඔයාට බලපෑමක් කරලා. (67 පිටුව, 16 වෙනි කවිය)
“වේලාව උදෑසන හයයි
හිස අසල දෙදරමින් දඟලමින්
ස්මාට් තිරය උඩ එලාමය නටනවා
හෝමෝ සේපියන් සේපියන්
Snooze බොත්තම හොයනවා”
නාඔටුන්නගෙ කවි බහුතරය ගේන්නෙ වළ දාපු දුකක්. ඒවා නොයෙක් තැන්වලින් පිළිවෙළට හාරලා ගොඩගන්න එයා දන්නවා. ඊට පස්සෙ අපිටත් ඒ දුකට එක්කහු වෙන්න කියලා නොකියා කියනවා.
‘මට ඔබව සිහිවන්නේ නැත’ කවියෙනුත් අර කලින් කියපු වළ දාපු දුකක් ආයෙ ගොඩගන්නවා පේනවා. කොහොමත් කවියො හරිම දක්ෂයි සියවස් ගාණක් පරණ වළ දාපු දුකක් වුණත් මේ දැන් කඩෙන් ගෙනාවා වගේ අලුතින් අපිට පිළිගන්වන්න. (97 පිටුව, 28 වෙනි කවිය)
“ෆේස්බුක් මෙමරීස් අතරින්
විටින් විට උඩට ඉල්පෙන
පැරැණි කවි පේළියක් දුටු විට
මට ඔබව සිහිවන්නේ නැත”
කවියා පොඩි දුක් බෝම්බ එහේ මෙහේ විසිකරනවා. ඒවාට අහුවෙලා නොයෙක් දෙනා තුවාල වෙනවා. කවියටවත්, පාඨකයොන්ටවත් තඹේක ගානක් නෑ. මොකද එයාලා මේ දුක් බෝම්බවලට අහුවෙන්නම පතාගෙන ආපු අය. ඉතිං තුවාල වෙලා යන්න යනවා. සමහර කවිවලින් ඇත්තටම අපිට අත් වෙන්නෙ එහෙම තුවාල. ඒවා පිපිරෙන බව දැනගෙනයි අපි පෙරගමන් යන්නෙ. මේක මහා පුදුම එකඟතාවක් නේද? කැමැත්තෙන් දුකට පනින්න අපිව ට්‍රේන් කරන්න ඇත්තෙ කවුද? අවිඥාණිකවම කවියේ මූඩ් එක නිසා අපි ඒකට එකඟ වෙනවද? සමහර වෙලාවට මම දන්නෑ ඒක කොහොම වෙනවද කියල විස්තර කරන්න. හැබැයි ඒක වෙන බව මම දන්නවා.
‘කළු පැහැති කුඩා තිත’ තියෙන්නෙ අන්තිම කවිය විදිහට. කවියෙ අග්ගිස්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නාවලියක් තියෙනවා. (101 පිටුව, 29 කවිය)
“හොඳ වීම ද අර්ථය?
“…ඉපයීම ද අර්ථය?”
“…පැන යාම ද අර්ථය?”
මේ සිස්ටම් එක ඇතුළේ අර්ථයක් ඇතියි කියලා හිතන කිසිම දේකට ඒ තරම් බරපතළ අර්ථයක් නෑ. ඉතිං සුළුවෙන් ජීවත් වෙන්න. සුළු දුක් බෝම්බවලට පපුව දුන්නට විසාල දුක් බෝම්බ දුටු තැන පුළුවන් නම් පැනලා යන්න. එහෙම කියන්නෙ කවියා නෙවෙයි මම.