ජනාධිපති ගෝඨා ආරක්ෂක ඇමැතිවරයා ලෙස කළ සියල්ල ව්‍යවස්ථා විරෝධියි : අහ්නෆ් – හෙජාස් ඇතුළු රැඳවුම් නියෝග සියල්ල නීතිවිරෝධී බවට තර්කයක් !

Share post:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වසරක කාලයක් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ගනු ලැබූ සියලු තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති. ඔවුන් මේ බව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුවක් උපුටා දක්වමිනි.

කවියකු වන අහ්නෆ් ජසීම්ට එරෙහිව මෙන්ම නීතිඥ හෙජාස් හිස්බුල්ලාට එරෙහිව ද ගෝඨාභය රාජපක්ෂ රැඳවුම් නියෝග නිකුත් කළේ මේ කාලයේදී ම ය.

2019 නොවැම්බර් මාසයේ සිට 2020 ඔක්තෝබර් මාසය දක්වා හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ධුරය දැරීය. ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නියෝගයක දැක්වෙන්නේ මේ කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමැති ධුරය දරා ඇත්තේ ව්‍යවස්ථාවට පිටින් වන බවයි. එම තීන්දුවේ සඳහන් වන ආකාරයට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 50 සහ 51 ව්‍යවස්ථා අනුව ආරක්ෂක ඇමැති ධුරය දැරිය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වූයේ 2019 නොවැම්බර් මාසයේදී වන අතර, ඒ වන විට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක විය. 2020 ඔක්තෝබර් 29 වැනිදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීම ආරම්භ වූ අතර, එම සංශෝධනයට අනුව ආරක්ෂක ඇමැති ධුරය ජනාධිපතිවරයාට දැරිය හැකිය. අදාළ තීන්දුව මගින් අවධාරණය කර ඇත්තේ මේ හේතුව නිසා ගෝඨාභය රාජපක්ෂට අදාළ කාලයේදී ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට අධිකාරයක් නැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබාදුන්නේ 2020 පෙබරවාරි 06 වැනිදා ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස නිකුත් කළ රැඳවුම් නියෝගයක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අවසන් කරමිනි. හේනේගම, පොකුණුවිට පදිංචි මදුරප්පෙරුමගේ කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම මේ පෙත්සම ගොනුකොට තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස පෑලියගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක කැළුම් සංගීත්, එවකට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු 15 දෙනකු නම් කර තිබිණි.

2020 ජනවාරි 30 වැනිදා පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ 1929 අංක 17 දරන විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ ආඥා පනත යටතේ ය. ඉන්පසු ඇයට රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කර තිබුණේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් ය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මේ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොමැති නිසා ඔහු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර නොහැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වේ. 

ගෝඨාභය රාජපක්ෂගේ මේ තීරණය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (1), 13 (1), 13 (2) යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, මේ නිසා රජය පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.    

Related articles

Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි !

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා...

Business World International 2025 සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි !

Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ...

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි !

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World...

BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි !

දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO...