මනෝහරී ජයලත්ගේ අලුත්ම නවකතාව ” නිදොස්මි නිදහස්මි”

Share post:

ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය හා සංස්කෘතික වශයෙන් ද පසුගාමී සමාජයක ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිවිරෝධතා උත්සන්න තලයක පවතී. සෑම ක්ෂෙත්‍රයකම එය බයිනරි හෙවත් ද්විමය ආකාරයෙන් ක්‍රියාත්මක වේ. එහෙයින් පුරුෂ කේන්ද්‍රීය චින්තනය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාජය තුළ ස්ථාපිතව පවත්නා අතර පුරුෂාධිපත්‍යයක් දක්වා වර්ධනය වී තිබේ. මේ නිසා පිරිමි සිතීම, පිරිමි භාෂාව , පිරිමි චර්යාව පිළිබඳ අවිඥානික පිළිගැනීමක් ස්ත්‍රීන් තුළ ද පවතී. මෙම තත්ත්වයට අභියෝග කරන සහ එය අභිබවා යාමට උත්සාහ කරන ස්ත්‍රිය ද එසේ කරනුයේ මෙකී පිරිමි සිතීමට, භාෂාවට, චර්යාවට අනුගත වීමෙනි. ස්ත්‍රියකට පුරුෂාධිපත්‍යයට අභියෝග කළ හැක්කේ සමාජීය හා සංස්කෘතික වශයෙන් පිරිමිභාවයට ආරෝපණය වීමෙන් ද? නැතහොත් ස්ත්‍රීමය සාරය හා බැඳුණු අනන්‍යතාව පිළිගැනීමෙන් ද? මනෝහරී ජයලත්ගේ අලුත්ම නවකතාව වන ” නිදොස්මි නිදහස්මි” මෙකී තේමාත්මකය ගවේෂණය කිරීමට ගන්නා ප්‍රයත්නයකි.

මෙම නවකතාවේ කතාපුවත දිගහැරෙනුයේ ජයන්ති නම් ස්ත්‍රියක් කේන්ද්‍ර කරගෙනය. ඇය සැමියාගේ රැවටීමට ගොදුරු වූ දෙදරු මවකි. තමන්ගේම ත්‍රිරෝද රථයක් පැදවීම ඇගේ ජීවිකාව වේ. ඇයට සිය ජීවිකාවේ නියැලීමට සිදුවන්නේ ත්‍රිරෝද රථගාලේ පිරිමි සංස්කෘතියට මුහුණ දෙමිනි. ඇය මෙම අභියෝගය සමඟ ගැටෙනුයේ පිරිමි සිතීමක්, භාෂාවක් සහ චර්යාවක් වැලඳ ගැනීමෙනි. මෙම වටපිටාව තුළ ඇය තමාට වඩා වයසින් බාල තරුණ ත්‍රිරෝද රථ රියදුරකු සමඟ සමීප ඇසුරක් ගොඩ නඟා ගනී. අනතුරුව, ත්‍රිරෝද රථ පැදවීමේ ජීවිකාවෙන් ඉවත් වන ඇය තමාගේ පැරණි මිතුරියකගේ සම්බාහන මධ්‍යස්ථානයක සේවයට බැඳෙයි. ඇය සහ දරුවන් දෙදෙනා ජීවත් වන්නේ ස්ථාන තුනකය. කතුවරිය කතාපුවත ඉදිරියට ගෙන යන්නේ මෙම චරිතවල අන්තර්ක්‍රියාකාරිත්වය ඔස්සේය.

පිරිමින්ට පමණක් කැප යැයි සම්මත රැකියාවක නියැලි ගැහැනියක් ද පිරිමි භාෂාව කතා කරන මෙන්ම පිරිමි චර්යාවක් සහිත ගැහැනියක් ද පිරිමි ආධිපත්‍යයට අභියෝග කරන ගැහැනියක් ද සුකොමළකම වියළී ගිය ගැහැනියක් ද හීන මියගිය ගැහැනියක් ද අලුත් කතාවක් පසුපස ලුහුබඳින ගැහැනියක් ද අපට මෙම නවකතාවේ දී හමු වේ. ඇයට ඉරණම්කාරි බව සහ ඉන් ගැලවිය නොහැකි බව සමඟ පොරබැදීමට සිදුව ඇත්තේ සක්‍රීය බව සහ තාර්කිකත්වය පිරිමිභාවය සමඟත් නිෂ්ක්‍රීය බව සහ අතාර්කිකත්වය ස්ත්‍රීභාවය සමඟත් ගැටගසා ඇති සමාජ පරිසරයකය. මෙම නවකතාව කියවීමේදී ඇතැම් ස්ත්‍රීවාදී ප්‍රවාද මතකයට නැගීම නොවැළැක්විය හැකිය. මේ අනුව , ” සියලුම භාෂාවන් අත්‍යවශ්‍ය ලෙස ස්වභාවයෙන්ම පුරුෂ ලිංගික වේ. සැමතැන පවතින පිරිමින්ගේ කතා, වටිනාකම්, සිහින මෙන්ම ආශාවන් හැමදෙයක්ම නීති වේ.”

පසුගාමී සමාජ අවකාශයක ගැහැනියට පොදු මෙම තත්ත්වය ප්‍රබන්ධගත කිරීමේදී මනෝහරී භාවිත කරන ආඛ්‍යාන රටාවේ විශේෂත්වයක් පවතී. ඇය වර්තමාන කතාව අතරට වරින් වර අතීතය කැඳවීමේ සාම්ප්‍රදායික ක්‍රමය යොදා ගත්තද එය හුදු අතීතාවර්ජන ඉක්මවා ගිය රටාවක් බවට පත් කිරීමට සමත් වේ. මේ අනුව , අතීතය විසින් වර්තමානයත් වර්තමානය විසින් අතීතයත් අන්‍යොන්‍ය වශයෙන් අර්ථකථනය කරනු ලබයි. මෙහිදී ප්‍රධාන චරිතය තමා සහ අනෙකා සමඟ කරන අභ්‍යන්තර හෙවත් ආත්මීය සංවාදය බෙහෙවින් වැදගත් වේ. සවිඥානය සහ අවිඥානය අතිපිහිත වන්නේ මෙම අභ්‍යන්තර සංවාදයේදීය. එය ඇය තමා මෙන්ම අනෙකාද නිරීක්ෂණය කරන ශෛලියකි. විශේෂයෙන් ජයන්ති සහ රංගන (ත්‍රිරෝද රථ රියදුරා) අතර ගොඩනැංවෙන සබඳතාව කතුවරිය අතිශය අපූර්වත්වයකින් යුතුව නිරූපණය කරයි. ඒ නිසා ම පාඨකයාට එය ප්‍රේමයක් ද ලිංගිකාශාවක් ද ගනුදෙනුවක් ද ව්‍යාජයක් ද යන්න නිශ්චය කර ගැනීමට නොහැකි වේ. කතුවරිය කිසිවිටෙකත් ⁣ස්වකීය චරිත සදාචාර විනිශ්චයකට ලක් නොකරන අතර පාඨකයාට ද එවන් විනිශ්චයකට එලඹීමට ඉඩ නොතබයි. නවකතාවේ ඇතැම් කොටස්වලදී දැනෙන ඒකාකාරිත්වය ඛණ්ඩනය කිරීමට කතුවරියට අවකාශ පැවති බව හොඳින් දිස් වේ. කෙසේ වෙතත්, නවකතාව අවසානයේ නැවතත් ජීවිතයේ අලුත් කතාවකට ඉඟි කරයි.

මනෝහරීගේ නවකතාවල අවියෝජනීය ලක්ෂණයක් වන නිරායාස මනහර භාෂා රිද්මය මෙම කෘතියේ ද නොඅඩුව පවතී. නිදොස්මි නිදහස්මි නවකතාව කියවා අවසන් කළ පසු පාඨකයකුගේ සිතට මෙවන් ප්‍රශ්න මාලාවක් පැන නැඟුනහොත් එය පුදුමයක් නොවනු ඇත. ගැහැනියට හිමිවන්නේ බුද්ධත්වයට මෙහා තැනක් ද? පුරුෂමූලික සමාජයක ගැහැනියට සිදුවන්නේ යුක්තියක් නැති නඩු විභාගයකට මුහුණ දීමට ද? හැමවිටම නිදොස් කොට නිදහස් වන්නේ පිරිමියා ද? ස්ත්‍රියට ස්ත්‍රීමය සාරය අහිමි කරගෙන පිරිමි ලෝකය සමතික්‍රමණය කළ හැකිද?

උදිත අලහකෝන්

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...