මාකඳුරේ මධුෂ් – හරක් කටාටත් වඩා බරපතළ සංවිධානාත්මක අපරාධකරුවෙක් දේශබන්දු : අතිරේක සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි !

Share post:

විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාකඳුරේ මධුෂ්, හරක් කටා වැනි සංවිධානාත්මක අපරාධකරුවන්ටත් වඩා දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අවධාරණය කරයි.

පෙබරවාරි 27 වැනිදා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීමෙන් පසු දින 20ක් සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන්, ඊයේ (19) උදෑසන 8.20ට ඒ අධිකරණයට පැමිණ තිබිණි. ඉන්පසු ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ මෝසම පස්වරු 12.30ට මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවන තෙක් පොලිස්පතිවරයා අධිකරණයේ බංකුවක වාඩි වී සිටිනු දක්නට ලැබිණි. 

මෝසම කැඳවීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ 2020 වසරේ සිට දේශබන්දු තෙන්නකෝන් සමාජයේ ජීවත් වී ඇත්තේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම හෝ නොමැතිව අවතාරයක් ලෙස බවයි. එසේ අනන්‍යතාවක් නොමැතිව ජීවත් වූ විත්තිකරු, දින 20ක් සියලු විමර්ශන අංශවලින් සැඟවී සිට කිසිවකුට නොපෙනී අධිකරණයට පැමිණ වාඩි වූයේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයක් බව අවධාරණය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, සුඛෝපභෝගී බෙන්ස් කාර් දෙකකින් ඔහු පැමිණියේද යන සැකය ඇති බව ද සඳහන් කළේය. මේ නිසා දෙශ්බන්දු තෙන්නකෝන් පසුගිය දින 20ක කාලය සැඟවී සිටියේ කොහේද යන්න සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පැවසීය.

මේ වන විට සොයාගෙන ඇති ආකාරයට දේශබන්දු තෙන්නකෝන් නිවාස අටක හිමිකරුවකු බවත්, වෙනත් දේපොළ රැසක් ද ඔහුට ඇති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මෙවැනි තැනැත්තකු පොලිස්පති ධුරයට නොව පොලිස් කොස්තාපල් ධුරයට හෝ සුදුසු නැති බව ද සඳහන් කළේය. එසේ පැවසීම පොලිස් කොස්තාපල් ධුරයට කරන නිගරුවක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මාකඳුරේ මධුෂ්, හරක් කටා වැනි සංවිධානාත්මක අපරාධකරුවන්ටත් වඩා දරුණු ගණයේ අපරාධකරුවකු ලෙස විත්තිකරු හැඳින්විය හැකි බවත්, ඔහු තමන්ගේ බලය බරපතළ ලෙස අවභාවිත කර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, විමර්ශන අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙහිදී කරුණු දක්වමින් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ පැවසුවේ තම සේවාදායකයාට ඇති තර්ජන නිසා අභියාචනාධිකරණයට ගිය බවත්, අභියාචනාධිකරණයේ තීන්දුව පිළිගනිමින් සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් වූ බවත් පෙන්වා දුන්නේය. තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ උපදෙස් පරිදි අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාන්ක රණසිංහ ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් පසු මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (20) දක්වා විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර, අද පස්වරු 2ට විත්තිකරුට ඇප ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් වන ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ සමග කොළඹ සහ මාතර නියෝජනය කරන නීතිඥවරුන් විශාල සංඛ්‍යාවක් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙනීසිටියහ.

මාතර, පැලෑන වට රවුම ආසන්නයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු මියයෑම සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි. මේ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඔහු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළ අතර, එය ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහාමඩ් ලෆාර් ප්‍රකාශ කළේ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නීත්‍යනුකූල බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...