දේශබන්දු : චෝදනාවලට ඇප දිය හැකි නම් රිමාන්ඩ් කළේ ඇයි?

Share post:

ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑමටත්, සැකකරුට සැඟවී සිටීමට සහාය දුන් පාර්ශ්ව අනාවරණය කරගැනීමේ විමර්ශන විධිමත්ව සිදුකිරීමටත් බාධා ඇති විය හැකි නිසා සැකකාර තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශලංකාර දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ ඇප අයැදීම ප්‍රතික්ෂේප කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කරයි.

ඒ අනුව සැකකරු ලබන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, බන්ධනාගාරගතව සිටියදී සහ සැකකරු ප්‍රවාහනය කිරීමේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස ද මාතර බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය. ඊයේ (20) පස්වරු 2ට මහෙස්ත්‍රාත්වරයා විසින් මේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කළේය.

සැකකරු සම්බන්ධයෙන් කඩිනම් සහ පුළුල් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 1හි ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. 

ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පැවසුවේ මෙය නීතියේ ආධිපත්‍යය සහ නීතිය අවභාවිතය පිළිබඳව කියැවෙන වැදගත් නඩුවක් බවයි. තමන් අධිකරණයට පැමිණියේ පොලිස් ආරක්ෂාව යටතේ බවත්, එවැනි තත්ත්වයක් අසාර්ථක රාජ්‍යයක සලකුණක් බවත් මෙහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, විමර්ශන අවසන් කොට සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරිය යුතු බව ද සඳහන් කළේය.

පසුගිය මාර්තු 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට අනුව මේ සිදුවීමේ පළමු සැකකරු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ. යම් තැනැත්තකුට හෝ ආණ්ඩුවට හානියක් කිරීමේ චේතනාවෙන් නීතියේ විධානයන්ට රජයේ සේවකයකු ලෙස අකීකරු වීම, ඩබ්ලිව් 15 හෝටලයට සහ එහි හිමිකරුවන්ට සාපරාධී බලහත්කාරය පෑම, නීතිවිරෝධී රැස්වීමකට පොලිස් නිලධාරීන් යෙදවීම, රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික කටයුත්තකට ටී 56 ගිනිඅවියකින් වෙඩා තබා බියගැන්වීම, සත්‍යය නිරාවරණය වීම වැළැක්වීමට බොරු සාක්ෂි ගෙතීම, පුපුරණ ද්‍රව්‍යයකින් හෝටලයට හානිකිරීම, නීත්‍යනුකූල නොවන වෙඩි තැබීමක් සිදුකිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල පිළිබඳව දැනුවත්ව එහෙත් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් පොලිස් නිලධාරියකුගේ මරණය සිදුකිරීමට දායකවීම ඇතුළු චෝදනා 09ක් සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇත. 

මේ චෝදනා පිළිබඳව සඳහන් කරමින් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලය දරන දැනට සේවය අත්හිටුවා ඇති සැකකරු, චේතනාන්විතව අධිකරණ නියෝගයට අවනත නොවී සැඟවී සිට ඇති බවයි. මේ නිසා නඩුවට අදාළ විමර්ශන අඩපණවී ඇති බවත්, ඔහු සෙවීම සඳහා මහජන මුදල් වැයකිරීමට සිදු ව ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් ය. 

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් බන්ධනාගාගත කළ සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළේය.

එසේම සැඟව සිටි දින 20ක කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් විසින් පරිහරණය කළ ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම්වලට අවසර ලබා දුන්නේය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...