Home Blog Page 261

මහේලගේ වාර්තාව කෝලි බිඳියි

0

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි අද (02) සමත්විය.

කෝලි විසින් මෙලෙස තමන් සතුකරගත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුවලට අදාළ වාර්තාවයි.

ලෝක කුසලාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉනිම් 31කදී ලකුණු 1016ක් රැස්කරගනිමින් මහේල ජයවර්ධන එහි පෙරමුණේ පසුවිය.

මේවනවිට පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරගයේදී අදාල ලකුණු සීමාව පසුකිරීමට විරාත් කෝලි සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් රැස් කළ අතර විරාත් කොලි නොදැවී පන්දු 44 කට මුහුණ දෙමින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත්විය. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ එක් 6 පහරකින් අලංකාරවත්විය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් බංග්ලාදේශය පන්දුවට මුහුණ දෙමින් සිටි අතර මේ වනවිට වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දමා ඇත.

තීරණාත්මක පකිස්තාන – දකුණු අප්‍රිකාව තරගය අද

0

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පකිස්ථාන – දකුණු අප්‍රිකා තරගය අද (03) පැවැත්වේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයෙන් මෙම තරගය පැවැත්වේ.

කණ්ඩායම් දෙකම මේ වනවිට දෙවැනි කාණ්ඩයේ තරග 3 බැගින් ක්‍රීඩා කර අවසන් ය.

සහභාගී වූ තරග 3 න් 2 ක් ජය ගත් දකුණු අප්‍රිකාවට එම කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිව තිබේ.

ඒ, ලකුණු 5ක් ද සමගිනි.

පකිස්ථානයට දෙවැනි කාණ්ඩයේ ජය ගැනීමට හැකි වූයේ එක් තරගයක් පමණි.

ඔවුන් තරග 2කින් පරාජය වීම නිසා ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසු වෙයි.

ඔවුන්ට හිමිව ඇත්තේ, ලකුණු 2ක් පමණි.

දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු වේ.

ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම වන නමුත් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙපිලටම එක් ලකුණ බැගින් හිමි වීම හේතුවෙනි.

කෙසේ නමුත් අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී වූ තරග 2ම ජය ගෙන තිබීම පකිස්ථානයට ද වාසිදායක තත්ත්වයක් බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ, ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදු නොවිය හැකි නමුත් පන්දු යවන්නන්ගේ කිසියම් වෙනසක් සිදු විය හැකි බවයි.

පකිස්ථාන ක්‍රීඩක ෆකර් සමාන් ආබාධයකට ලක් වී ඇති බැවින් එම කණ්ඩායමේ වෙනසක් අපේක්ෂා කෙරෙනු ඇත.

මේ අතර පකිස්ථාන කණ්ඩායමේ නසීම් ෂා පවසන්නේ, ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගය පරාජය වුවද වෘත්තීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත තම කණ්ඩායම ඉදිරි තරගවලදී දක්ෂතා අතරට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරේ

0

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණින් ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදි ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියොජනය කරමින් 2022 ආසියානු කුසලානයේ අනු ශුරතාවය දිනාගත් කණ්ඩායම් සමාජිකාවන් වු ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් ෂෙහානි රණසිංහ සැරයන් නිළයටත් නායක ගුවන් කාන්තා මල්ෂා ශෙහානි කෝප්‍රල් නිළයටත් ගුවන් හමුදාධිපති තුමන් විසින් උසස් කිරිම සිදුකරන ලදි.

මෙම ඇගයීමේ උත්සවයේ දි ශ්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වෙමින් ජයග්‍රහනය කරනු ලැබු හා සහභාගි වු පහත නමි සදහන් ක්‍රිඩක ක්‍රිඩිකාවන් හා ක්‍රිඩා සංචිතයන් හි පුහුණුකරුවන් ගුවන් හමුදාධිපති තුමන්ගේ විශේෂ ඇගයිමට ලක් වු අතර ඔවුන් සදහා සමරු තිළින හා මුදල් ත්‍යාග පිරිනැමිම ද ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි සිදු කරන ලදි.

1 47 වන ජාතික ක්‍රිඩා උළෙලේ මැරතන් තරගයේ රන් පදක්කම්ලාභී නායක ගුවන් භට තලාවර්ගයේ රත්නපාල
2 ශ්‍රී ලංකා රග්බි 7 තරගාවලියේ හොඳම ක්‍රීඩකයා – නායක ගුවන් භට දර්ශන දාබරේ
3 ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා – නායක ගුවන් භට සඳරුවන්
4 2022 ආසියානු ශූරතාවය දිනූ පැසිපන්දු කණ්ඩාමේ සාමාජිකා – ෆ්ලයින් ඔෆිසර් නිර්මා සසන්ති
5 08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් සාමාජික කෝප්‍රල් උදේශ් පෙරේරා
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත ලේකම්වරුන්, ක්‍රීඩා සංචිත කළමණාකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මහ සභාව නීතියට පටහැනියි

0

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්මත කළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වත්තලදී පැවති එහි විශේෂ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මේ වන විට ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ – (2022) පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන් තුන් මසක සහන කාලය අවලංගු කරමින් ක්‍රීඩා ඇමැතිවරයා ලබාදුන් නියෝගය ඒ වනවිට ප්‍රකාශයට පත්ව තිබීම මෙම ගැටලුවයි.

ඒ අනුව පාපන්දු නව ව්‍යවස්ථාව සම්මත කළ වත්තලදී පැවති විශේෂ මහ සභාව කැඳවනවිට පාපන්දු ආයතනයේ එතෙක් ක්‍රියාත්මක වූ විධායක සභාවේ වලංගුභාවය පිළිබඳ එහිදී ගැටලුවක් පැන නැගී තිබෙන බවද වාර්තා වේ.

ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙසේ පැවසීය.

‘එහෙම ගැටලුවක් පැන නැගී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරනවා. මේ තත්වය මත පැරණි ව්‍යවස්ථාවට අනුව මීළඟ පාපන්දු නිලවරණය පැවැත්වීම වඩාත් සුදුසුයි’.

පාපන්දු ආයතනයේ වත්තලදී පැවති විශේෂ මහ සභා රැස්වීමේ දී සම්මත වූ එහි නව ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හා ලියාපදිංචිය සඳහා මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කර තිබේ.

ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් ඝෘජුවම ඖෂධ මිලදී ගන්න යයි

0

මෙරටට අවශ්‍ය ඖෂධ ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීමට තීරණය කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත පවසයි.

ලේකම්වරයා පැවුසවේ, ඊට අදාළ ඇනවුම් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුකර ඇති බවයි.

දැනට ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් රට තුළ පවතී.

ලේකම්වරයා පැවසුවේ, ලබා දුන් ඇනවුම් අනුව ඉදිරි දින 14 තුළ අදාළ ඖෂධ වර්ග මෙරටට ලැබෙනු ඇති බවයි.

ඉන්දීය ණය පහසුකම යටතේ, ඖෂධ වර්ග ඇතුළු අයිතම 1700 ක් පමණ මෙරටට ලැබීමට නියමිත වුවත්, හටගෙන ඇති ප්‍රමාදයක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇතැයි, ඔහු පැවසී ය.

මේ අතර, දැනට කල්ඉකුත්ව ඇති ෆයිසර් එන්නත් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සලකා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත්කර තිබේ.

අදාළ කමිටුවේ නිර්දේශ මත ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

කොට්ඨාස 21 ක් ඩෙංගු අධිඅවදානමේ

0

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 21 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය නිවේදනය කළේ, අධිඅවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් කොට්ඨාස 9 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ යමින් ඇති බව ය.

පිළියන්දල, හාරිස්පත්තුව, උකුවෙල, බදුල්ල, කෑගල්ල සහ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අලුතින් හඳුනාගත් අධිඅවදානම් කලාප බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ ය.

මේ වසරේ 43 වන සතියේ වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 143 කි.

පසුගිය වසරේ මේ කාලසීමාවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,296 ක් වුවත්, මේ වසරේ එය රෝගීන් 14,937 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය රෝගීන් 7,641 දෙනෙකුගේ වැඩිවීමකි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,435 ක් වන අතර එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,248 දෙනෙකුගේ වැඩිවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසී ය.

කෙහෙළියගේ නඩුව දෙසැම්බර් 09

0

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුව “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, එම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසය.

ඊට තමන් විරුද්ධ වන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දන්වා සිටියේය.

පූර්ව නඩු විභාග අවස්ථාවේදී එම විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගන්නා බවත් විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 09 වනදා යොමු කිරීමට නියෝග කළ විනිසුරුවරයා එදින අදාළ සංශෝධන ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

2012 වසරේ මැයි 01 වනදා සිට කාලසීමාව තුළ ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගාස්තු වශයෙන් ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවන ලෙස නිලධාරීන්ට බලකීරීම තුළින් රජයට පාඩුවක් සිදුකිරීම හරහා අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

පැරසිටමෝල්වත් නැහැ : කරාපිටියේ උග්‍ර බෙහෙත් හිඟයක්

0

ඇතැම් රෝහල්වල පැරසිටමෝල් පවා දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සාමාන්‍යයෙන් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඖෂධ වර්ග 1300කට අධික ප්‍රමාණයක් මෙරට තුළ භාවිත කෙරෙන අතර ඒ අතර පවතින ඖෂධ වර්ග 383 ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස සලකනු ලබයි.

මේ වනවිට රටතුළ එවැනි ඖෂධ වර්ග 160 ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරත් පෙන්වාදෙයි.

මේ අතර කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීන්ට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින බව රෝහල් අරංචි මාර්ග පවසයි.

ඒ හේතුවෙන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දිනකට දහසකට අධික රෝගීන් සංඛ්‍යාවක් දැඩි අපහසුදාවයකට පත්ව ඇති අතර ඔවුනට ආරක්ෂිතව ඖෂධ ලබා දීමට කවර පවා නොමැති බව සඳහන් වේ.

බෙහෙත් දැමීම සඳහා කවර නැති බවට දැන්වීමක් ද රෝහලේ අලවා ඇත. එක් දහස් පන්සියයකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් නේවාසිකව සිටින අතර ඔවුන්ගේ ඊ.සී.ජී. පරික්ෂණ දත්ත ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩදාසි පටිවල පවා හිඟයක් පවතී.

ආර්ථික අර්බුධයෙන් වැඩිපුරම බැට කන්නේ ළමුන් සහ කාන්තාවන්

0

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පවසයි.

එම කොමිසමේ දකුණු හා නිරිත දිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා මහත්මිය පවසන්නේ, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තු‍ළින් පවුල් පරිසරය තුළ කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවය.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මිකිකො ටනාකා මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.

ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම විසින් මේ වන විටත් මෙරට ව්‍යවසාය සංවර්ධනයට ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියේ දී තම සංවිධානයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් මිකිකො ටනාකා මහත්මිය එහිදි වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සම්බන්ධීකරණය කරමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විටත් තම අමාත්‍යාංශය හා රජය කටයුතු කරමින් සිටින බවය.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවත් ග්‍රාමීය මට්ටමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඔවුන් නඟාසිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

බැසිල්ගේ ව්‍යාපෘතියක් : නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට !

0

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා වෙරළ තීරයේ ඉල්මනයිට් ඇතුළු ඛනිජ කැනීම් සඳහා විදේශීය පෞද්ගලික සමාගමකට අවසර ලබා දී තිබේ. මේ හේතුව නිසා බරපතළ පරිසර හානි රැසක් සිදු වන බව පරිසරවේදීහු අවධාරණය කරති.

‘කිලෝමීටර් 3ක් විතරයි’

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස්. රණවකගෙන් මේ පිළිබඳව කරන ලද විමසීමකදී ඔහු පැවසුවේ අදාළ වෙරළ කලාපයේ කිලෝමීටර් 3ක ප්‍රදේශයක පරිසරයට හානියක් නොවන ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එම සමාගමට අවසර ලබා දී ඇති බවයි.

‘කිසිම සූදානමක් නෑ’

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීමේදී පරිසර විෂය බාර ඇමතිවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මීට පෙර පැවසුවේ එවැනි කිසිදු සුදානමක් නැති බවයි.

‘වෙරළ ම’

අපට වාර්තා වන ආකාරයට මේ සමස්ත වෙරළ ම කොටස් කිහිපයක් යටතේ අදාළ සමාගමට ලබාදීමට අවශ්‍ය සියලු වාර්තා මේ වන විට සකස් කර අවසන් ය.

තීරණයක් නැතුව සල්ලි වියදම් කරයිද?

ඇමතිවරයා එසේ කියන විටත් අදාළ සමාගම අක්කරෙයිපත්තු, තිරුක්කෝවිල්හි ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබිණි. වෙරළ අයිනේ කළු වැල්ල සහිත ඉඩම් මිලදී ගනිමින් සිටියේය. ඒවාගේ වෙළෙඳපොළ වටිනාකම්වලට වැඩි වටිනාකම් පවා ගෙවමින් සිටියේය. ජනතාවට ද එය වැදගත් ය. තමන්ගේ ඉඩම්වලට හොඳ මිලක් ලැබෙමින් තිබෙන බව එහි ගිය අපට ඔවුහු පැවසූහ. එම ජනතාව කිව්වේ මෙවැනි අවස්ථාවක් යළි නොලැබෙන බව ය.

උමා ඔය ආදර්ශය

හරියටම උමා ඔයේ වගේ ය. 2008 අප්‍රේල් 29 උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල් තිබ්බේය. ව්‍යාපෘතිය ආරම්භ කළ 2010 – 2011 කාලයේ පරිසරවේදීන්, භූවිද්‍යාඥයන් එහි ගොස් අවදානමක් ගැන කීවේය. නායයෑම් සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අනතුරු ඇඟවීය. එහිදී ජනතාව කිව්වේ මෙසේ ය.

‘අපි කීයක් හරි වැඩියෙන් හොයාගන්න එපාද? අපි අපේ වැඩ බලාගන්නම්.’

ඇතැම් තැනකදී එම ප්‍රතිචාර තර්ජන විය. උමා ඔයේ උමං කැණීම් වෙනුවෙන් ඉරාන සමාගම ඔවුන්ට දිනකට රුපියල් 2,500 බැගින් ගෙව්වේය. දිනකට රුපියල් 1,000 හෝ ඊටත් අඩු වැටුපට වැඩ කළ ඔවුන්ට එය වැදගත් විය. එය ජනතාවගේ වරදක් නොවේ. ජනතාව ඒ තැනට පත්කළ විට, වැඩ කරගන්නට පහසු ය. අක්කරෙයිපත්තුවේ සිදුවන්නේ ද එය ය.

උමා ඔයේ ක්‍රමය

තවත් කාරණයකි. උමා ඔයට මුල්ගල තැබුවේ 2008 අප්‍රේල් ය. එහෙත් ඊට අදාළ පරිසර බලපෑම් වාර්තාව සකස් කොට අවසාන කළේ 2010 ඔක්තෝබර් මාසයේ ය. එය මහජන පරීක්ෂාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාළ රාජ්‍ය ආයතනවල තබා තිබුණේ 2010 නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ය. එනම් මුල්ගල් තැබීමට රුපියල් මිලියන 26ක් වියදම් කොට තිබුණේ පරිසර තක්සේරුව පවා අවසන් නොකොට ය.

දැන් අක්කරෙයිපත්තු වෙරළ…

සීග්‍ර ඛාදනයක් සිදුවෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා දැවැන්ත ඛනිජ කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එංගලන්ත සමාගමකට ආණ්ඩුව විසින් අවසර ලබා දී තිබේ.

රුපියල් මිලියන 7,000ක්

එංගලන්ත සමාගමක් වන කැපිටල් මෙට්ල්ස් පෞද්ගලික සමාගම සමග මෙරට ක්‍රියාත්මක දම්සිලා එක්ස්පෝර්ට්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම වෙරළේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගාර්නට් යන ඛනිජ ද්‍රව්‍ය බහුලව ඇති බවත්, මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක (රුපියල් මිලියන 7,000ක) ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අදාළ එංගලන්ත සමාගම මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

වර්ග කිලෝමීටර් 351ක්

මුල් අදියරේදී ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 5,431,709 ක් මෙම වෙරළෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර, වෙරළේ කැණීම් ව්‍යාපෘති 04ක් සහ මුහුදේ කැණීම් ව්‍යාපෘති 05ක් සිදුකිරීමට සැලසුම් සකස් කොට ඇත. මුහුදේ වර්ග කිලෝමීටර් 351ක් පුරා මේ කැණීම් සිදුකිරීමට නියමිත ය. මෙසේ ලබාගන්නා වැලි, ඔලුවිල් වරායේ ඉදිකෙරෙන පිරිපහදුවකදී වෙන්කෙරෙන අතර, ඉන්පසු ලබාගන්නා ඛනිජ ද්‍රව්‍ය සෘජුවම ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට රැගෙන යෑමට අදාළ සමාගම සැලසුම් කර තිබේ.

බැසිල් රාජපක්ෂගේ ව්‍යාපෘතියක්

ඉක්වටෝරියල් පාම් ඔයිල් ඇතුළු නම් කිහිපයකින් හඳුන්වා ඇති මේ සමාගම, අවස්ථා කිහිපයකදීම නම් වෙනස් කර ඇති බව හෙළි වේ. සමාගම වර්තමාන නම භාවිත කිරීම ආරම්භ කළ 2015 වසරේ සිට මෙවැනි ව්‍යාපෘති සිදු කර නැති බව ද සමාගම් වෙබ් අඩවියේ තොරතුරුවලින් තහවුරු වේ.

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී නැගෙනහිර නවෝදය වැඩසටහනේ ව්‍යාපෘතියක් ලෙස මුල් වරට මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සාහ දරා තිබිණි. එහෙත් ධීවර රැකියාවේ නියුතු පවුල් 10,000ක් ප්‍රමුඛ 80,000කට අධික ජනතාවගේ විරෝධය නිසා ව්‍යාපෘතියේ කටයුතු නතර කෙරිණි.

භූ විද්‍යාඥ මතය

නැගෙනහිර පළාතේ අලයඩිවෙම්බු, තිරුක්කෝවිල් සහ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, මේ වෙරළ තීරය ලංකාවේ වැඩිම වෙරළ ඛාදනයක් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වෙරළ තීරයේ ශක්තිමත් බව අදාළ ඛනිජ නිසා බවත්, ඒවා යන්ත්‍ර මගින් ඉවත් කිරීමෙන් පසු එය සම්පූර්ණයෙන්ම නැති වන බවත් ය.

ජනතාව නොදත් මහජන පරීක්ෂණ

ව්‍යාපෘතියට අදාළව සකස් කළ පරිසර තක්සේරු වාර්තාවේ මහජන පරීක්ෂණ කටයුතු අවසන් බව පැවසුවද, එය සිදු කෙරුණේ කිසිදු විනිවිදභාවයකින් තොරව ය. ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාර්තාව තබා තිබූ බවත්, ඊට මහජන අදහස් නොලැබුණු බවත් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. වඩාත් වැදගත් වන්නේ මෙවැනි වාර්තාවක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මහජන පරීක්ෂාව සඳහා තබා තිබූ බවක් එම ප්‍රදේශයේ ජනතාව නොදැන සිටීම ය.

වටිනාකම එකතු නොකරන්නේ ඇයි?

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර පවසන්නේ ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් නිසා පරිසරයට හානි සිදුවීම වැළැක්විය නොහැකි බවයි. එහෙත් අවම වශයෙන් හානියට සාපේක්ෂව රටට යහපතක් සිදුවන ආකාරයට අදාළ ව්‍යාපෘතිය සැලසුම් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

නැගෙනහිර වෙරළෙන් ඛනිජ ඉවත් කළ විට වෙරළ ඛාදනය වැඩි විය හැකි වුවද, එය ඇතැම් විට අනාගතයේදී නැවත යථා තත්ත්වයට පත්විය හැකි බවද පෙන්වා දෙන මහාචාර්යවරයා, අවධාරණය කරන්නේ අදාළ ඛනිජවලට වටිනාකමක් එකතු කොට විදේශ රටකට යැවිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවයි. ලංකාවේ මිනිරන්වල සිට සියල්ල කිසිදු වටිනාකමක් එකතු කොට විදේශ රටවලට යවන බවත්, ඉන්පසු එම රටවල අදාළ අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන නිෂ්පාදන ලංකාවට ආනයනය කරන බවත්, ඒ සඳහා අපනයනයෙන් ලබන ආදායමට වැඩි වියදමක් දරන බවත් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළ

මේ ව්‍යාපෘතිය මගින් අදාළ සමාගමට නිදහසේ ලබාගැනීමට ඉඩ සලසන ඉල්මනයිට් සහ රූටයිල් යනු වටිනා ඛනිජ වේ. ඒවාගේ ටයිටේනියම් අඩංගු වන අතර, තීන්ත, පිඟන් මැටි සහ සැහැල්ලු මිශ්‍ර ලෝහ නිෂ්පාදනය කිරීමට ඒවා භාවිත කරයි. කල් පවතින, ශක්තිමත් ඛෙනිජ කොටස් වන මේවා ගුවන් යානා කොටස්, කෘත්‍රිම අස්ථි, බයිසිකල් රාමු සහ ක්‍රීඩා උපකරණ නිෂ්පාදනය කිරීමට බහුලව භාවිත කරයි.

එපමණකින් මේවාට ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ඔබට වැටහේ. ගාර්නට් සහ සර්කෝන් යනු ද පිරිපහදු කටයුතු ඇතුළු කර්මාන්ත රැසකදී භාවිත කෙරෙන ඉහළ ඉල්ලුමක් ඇති ඛනිජ වේ. සමාගම් ගණනාවක් මීට පෙර ද අවස්ථා කිහිපයකදී නැගෙනහිර වෙරළ තීරයේ හම්බන්තොට, කිරින්ද දක්වා වෙරළේ ඇති මේ ඛනිජ සම්පත් ලබාගැනීමට උත්සාහ දැරීය.

කියන විදිහටම සිද්ධ වෙයිද?

මුල් අදියරේදී අදාළ සමාගම අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා වෙරළ තීරයේ වැලි සේදීමට සැලසුම් කර ඇත. ඒ මීටර් 50ක් පළල, මීටර් 150ක් දිග කොටස් වශයෙනි. පරිසර තක්සේරු වාර්තාවට අනුව ඔවුන් එම වැලි ඔලුවිල් වරායේදී සෝදා, ඛනිජ වෙන්කර ගැනීමෙන් පසු, නැවත අදාළ ස්ථානයට ගෙනැවිත් දමයි. එවිට වෙරළ ඛාදනයක් සිදුනොවන බවත්, වෙරළ පැවැති ආකාරයටම ශක්තිමත්ව ස්ථාවර වන බවත් ඔවුහු පෙන්වා දෙති.

එහෙත් විෂය පිළිබඳ විද්වතුන් පෙන්වා දෙන්නේ අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා පිහිටි මේ වෙරළ තීරය යනු බරපතළ ලෙස වෙරළ ඛාදනයට ලක්ව ඇති ප්‍රදේශයක් බවයි. එවැනි ප්‍රදේශයකින් මෙසේ වැලි ඉවත් කිරීමෙන් බලාපොරොත්තු විය හැක්කේ අතිශය බරපතළ වෙරළ ඛාදනයකි.

සිදුවන්නේ කුමක්ද ?

මේ වෙරළ තීරයේ අදාළ ඛනිජ තැන්පත් වීම සඳහා සෘජුව බලපෑම් කරන්නේ හැඩ ඔය, කුඹුක්කන් ඔය සහ මැණික් ගඟ වැනි ජල පහරවල් ය. රට අභ්‍යන්තරයේ සිට වෙරළට එන අවසාදිත මෙසේ තැන්පත් වේ. මුහුද අභ්‍යන්තරයේද කැණීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීමට අපේක්ෂිත බව පරිසර වාර්තාවේ සඳහන් ය.

ඒ කියන්නේ මුහුදේ වළවල් සෑදීමට නියමිත ය. ඒ වළවල් පිරවීමටද රැල්ල මගින් වැලි ගෙනයන්නේ වෙරළෙන් ය. එනම් මේ දෙයාකාරයෙන්ම වෙරළ ඛාදනය තීව්‍රවීමක් සිදුවීමට නියමිත ය. එහෙත් සමාගම කියන්නේ එසේ නොවන බව ය.

වාර්තාව බොරු කියයි

මේ ප්‍රදේශයේ ජනතාව බරපතළ ලෙස විරැකියාවෙන් පෙළෙන බවත්, මේ ව්‍යාපෘතිය ඊට විසඳුමක් බවත් සමාගම අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ. එහෙත් එහි මෙසේ ද සඳහන් ය. ඔවුන් පළමු වසර තුළ රැකියා අවස්ථා 195ක් සහ වසර පහක් තුළ රැකියා අවස්ථා 266ක් ලබාදීමට අපේක්ෂා කරයි.

එහෙත් මේ ප්‍රදේශයේ ඛනිජ කැණීම් සම්බන්ධ රැකියා කිරීමට සුදුසුකම් ඇති පිරිස කොපමණද? මේ ප්‍රදේශයට ගැළපෙන, ඔවුන් ලබාදෙන රැකියා අවස්ථා මොනවාද? මෙවැනි ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු ඉදිරිපත් කර නැත. ඒ කියන්නේ මේ රැකියා ප්‍රමාණය කම්කරු හෝ ආරක්ෂක නිලධාරි වැනි රැකියාවලට පමණක් සීමාවීමට වැඩි ඉඩක් තිබේ.

පළමු අදියරේදී වැලි ඉවත් කිරීමට නියමිත අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා ප්‍රදේශයේ පමණක් සුළු පරිමාණ ධීවර වෘත්තික පවුල් 10,000කට ආසන්න පිරිසක් ජීවත් වේ. මේ ව්‍යාපෘතිය නිසා ඔවුන්ගේ ජීවිකාව අහිමි වන අතර, ව්‍යාපෘති කලාපය තුළ ඔවුන්ට කුඩා ඔරු සහ බෝට්ටු රැඳවීමට අවසර ලැබෙන්නේ නැත. එම පිරිසට සිදුවන්නේ කුමක්ද යන්න අදාළ ව්‍යාපෘති වාර්තා කිසිවක පැහැදිලිව සඳහන් කොට නැත. විරැකියාවක් ඇති බවත්, අවුරුදු පහකින් රැකියා 266ක් දෙන බවත් පමණක් කියා ඇත.

කෘෂිකර්මාන්තයේ ඉරණම

කෘෂිකර්මාන්තය සඳහා භූගත ජලය භාවිත කරන ගොවීන් ද විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයේ සිටිති. ඇතැම් ගොවීහු ජලය ලබාගැනීම සඳහා ළිං ද භාවිත කරති. වෙරළට ආසන්නයේ ඇති මෙම ගොවිපොළවල මිරිස්, වම්බටු, ඉරිඟු, රටකජු, කව්පි, මුං,ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං සහ තම්පලා යන වගාවන් සිදුකරයි. වසරට දෙවරක් මේ බෝග වගාකෙරෙන අතර, ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අහිමිවීමේ අවදානමක් ද තිබේ. දැනටමත් මේ වෙරළේ සිදුවන සීඝ්‍ර ඛාදනය නිසා ගොවීන් ජලය ලබාගත් ළිංවලට මුහුදු වතුර මිශ්‍රවෙමින් තිබේ. ඇතැම් ළිං අසලටම මුහුද පැමිණ ඇත. මේ කියන ආකාරයට ව්‍යාපෘතියෙන් පසු මෙය යහපත් ලෙස වෙනස් වන්නේ කෙසේදැයි කිසිවකු ඔවුන්ට කියන්නේ නැත.

එසේම මත්ස්‍ය අභිජනනය සඳහා පහසුකම් සපයන කොරල්, පාෂාණ වැනි සංවේදී පරිසර පද්ධති ගණනාවක් ද මේ ඛනිජ වැලි නිධිවලට ආසන්න නොගැඹුරු මුහුදේ පිහිටා ඇත. ඊට අමතරව මේ ප්‍රදේශය යනු කැස්බෑවන් බහුල ලෙස බිත්තර දමන ප්‍රදේශ වේ.

නියාමනයේ තරම සහ අයිතිවාසිකම්

මේ ආකාරයේ පාරිසරික, සමාජයීය සහ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් මේ ව්‍යාපෘති වාර්තා කිසිවකින් පුළුල් අවධානයක් යොමුකර නැත. ඒ වෙනුවට සරල, උඩින් අතගාන පන්නයේ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. අනෙක් අතට රට තුළ කිසියම් ඛනිජ නිස්සාරණයක් සිදුවන්නේ නම් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුමැතිය අනිවාර්යෙන්ම ලබාගත යුතුය. එම කාර්යාංශයේ දැක්ම වන්නේ ‘ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් වඩාත් තිරසර ලෙස පතල් කැණීම හා සැකසීම නියාමනය කිරීම’ ය. මේ සිදුවන්නේ එය ද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියට අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නීත්‍යනුකූල රැකියාවක්, වෘත්තියක්, වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක නිරත වීමට අයිතියක් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ පදිංචි ස්ථානය තෝරාගැනීමේ අයිතිය ද ඇත. එහෙත් මේ ව්‍යාපෘතිය මගින් නැගෙනහිර වෙරළේ ධීවරයන්ට සහ ගොවීන්ට දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ තමන්ගේ ජීවන ක්‍රමය අහිමි වීමේ අවදානමක් තිබේ. වඩා යහපතක් සිදුවන්නේ නම් එහි ගැටළුවක් නැත. එහෙත් මේ සැලැස්මට අනුව එවැන්නක් සිදුවීමට ඇත්තේ අවම ඉඩකි.

එසේම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපත්ති මූලධර්මවලට අනුව ප‍්‍රජාවේ යහපත සඳහා රජය විසින් පරිසරය ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කරමින් වැඩිදියුණු කිරීම කළ යුතුය. ඉහතින් දැක්වූ ආකාරයට මහාචාර්ය රංගික හල්වතුර පවසන්නේ ඊට සමාන අදහසකි. පරිසරය ආරක්ෂා කරමින්, වැඩි දියුණු කළ යුතුය. යම් හානියක් සිදුවුවද, එය ලැබෙන යහපතට සාපේක්ෂව අවම විය යුතුය. එහෙත් උමා ඔයේදී සිදුවූයේ එය ද? මේ ව්‍යාපෘතියේදී එසේ නොවෙතැයි සහතික ලබාදිය හැකිද?