අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා වෙරළ තීරයේ ඉල්මනයිට් ඇතුළු ඛනිජ කැනීම් සඳහා විදේශීය පෞද්ගලික සමාගමකට අවසර ලබා දී තිබේ. මේ හේතුව නිසා බරපතළ පරිසර හානි රැසක් සිදු වන බව පරිසරවේදීහු අවධාරණය කරති.
‘කිලෝමීටර් 3ක් විතරයි’
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස්. රණවකගෙන් මේ පිළිබඳව කරන ලද විමසීමකදී ඔහු පැවසුවේ අදාළ වෙරළ කලාපයේ කිලෝමීටර් 3ක ප්‍රදේශයක පරිසරයට හානියක් නොවන ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එම සමාගමට අවසර ලබා දී ඇති බවයි.
‘කිසිම සූදානමක් නෑ’
කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීමේදී පරිසර විෂය බාර ඇමතිවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මීට පෙර පැවසුවේ එවැනි කිසිදු සුදානමක් නැති බවයි.
‘වෙරළ ම’
අපට වාර්තා වන ආකාරයට මේ සමස්ත වෙරළ ම කොටස් කිහිපයක් යටතේ අදාළ සමාගමට ලබාදීමට අවශ්‍ය සියලු වාර්තා මේ වන විට සකස් කර අවසන් ය.
තීරණයක් නැතුව සල්ලි වියදම් කරයිද?
ඇමතිවරයා එසේ කියන විටත් අදාළ සමාගම අක්කරෙයිපත්තු, තිරුක්කෝවිල්හි ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබිණි. වෙරළ අයිනේ කළු වැල්ල සහිත ඉඩම් මිලදී ගනිමින් සිටියේය. ඒවාගේ වෙළෙඳපොළ වටිනාකම්වලට වැඩි වටිනාකම් පවා ගෙවමින් සිටියේය. ජනතාවට ද එය වැදගත් ය. තමන්ගේ ඉඩම්වලට හොඳ මිලක් ලැබෙමින් තිබෙන බව එහි ගිය අපට ඔවුහු පැවසූහ. එම ජනතාව කිව්වේ මෙවැනි අවස්ථාවක් යළි නොලැබෙන බව ය.
උමා ඔය ආදර්ශය
හරියටම උමා ඔයේ වගේ ය. 2008 අප්‍රේල් 29 උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල් තිබ්බේය. ව්‍යාපෘතිය ආරම්භ කළ 2010 – 2011 කාලයේ පරිසරවේදීන්, භූවිද්‍යාඥයන් එහි ගොස් අවදානමක් ගැන කීවේය. නායයෑම් සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අනතුරු ඇඟවීය. එහිදී ජනතාව කිව්වේ මෙසේ ය.
‘අපි කීයක් හරි වැඩියෙන් හොයාගන්න එපාද? අපි අපේ වැඩ බලාගන්නම්.’
ඇතැම් තැනකදී එම ප්‍රතිචාර තර්ජන විය. උමා ඔයේ උමං කැණීම් වෙනුවෙන් ඉරාන සමාගම ඔවුන්ට දිනකට රුපියල් 2,500 බැගින් ගෙව්වේය. දිනකට රුපියල් 1,000 හෝ ඊටත් අඩු වැටුපට වැඩ කළ ඔවුන්ට එය වැදගත් විය. එය ජනතාවගේ වරදක් නොවේ. ජනතාව ඒ තැනට පත්කළ විට, වැඩ කරගන්නට පහසු ය. අක්කරෙයිපත්තුවේ සිදුවන්නේ ද එය ය.
උමා ඔයේ ක්‍රමය
තවත් කාරණයකි. උමා ඔයට මුල්ගල තැබුවේ 2008 අප්‍රේල් ය. එහෙත් ඊට අදාළ පරිසර බලපෑම් වාර්තාව සකස් කොට අවසාන කළේ 2010 ඔක්තෝබර් මාසයේ ය. එය මහජන පරීක්ෂාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාළ රාජ්‍ය ආයතනවල තබා තිබුණේ 2010 නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ය. එනම් මුල්ගල් තැබීමට රුපියල් මිලියන 26ක් වියදම් කොට තිබුණේ පරිසර තක්සේරුව පවා අවසන් නොකොට ය.
දැන් අක්කරෙයිපත්තු වෙරළ…
සීග්‍ර ඛාදනයක් සිදුවෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා දැවැන්ත ඛනිජ කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එංගලන්ත සමාගමකට ආණ්ඩුව විසින් අවසර ලබා දී තිබේ.
රුපියල් මිලියන 7,000ක්
එංගලන්ත සමාගමක් වන කැපිටල් මෙට්ල්ස් පෞද්ගලික සමාගම සමග මෙරට ක්‍රියාත්මක දම්සිලා එක්ස්පෝර්ට්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම වෙරළේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගාර්නට් යන ඛනිජ ද්‍රව්‍ය බහුලව ඇති බවත්, මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක (රුපියල් මිලියන 7,000ක) ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අදාළ එංගලන්ත සමාගම මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
වර්ග කිලෝමීටර් 351ක්
මුල් අදියරේදී ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 5,431,709 ක් මෙම වෙරළෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර, වෙරළේ කැණීම් ව්‍යාපෘති 04ක් සහ මුහුදේ කැණීම් ව්‍යාපෘති 05ක් සිදුකිරීමට සැලසුම් සකස් කොට ඇත. මුහුදේ වර්ග කිලෝමීටර් 351ක් පුරා මේ කැණීම් සිදුකිරීමට නියමිත ය. මෙසේ ලබාගන්නා වැලි, ඔලුවිල් වරායේ ඉදිකෙරෙන පිරිපහදුවකදී වෙන්කෙරෙන අතර, ඉන්පසු ලබාගන්නා ඛනිජ ද්‍රව්‍ය සෘජුවම ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට රැගෙන යෑමට අදාළ සමාගම සැලසුම් කර තිබේ.
බැසිල් රාජපක්ෂගේ ව්‍යාපෘතියක්
ඉක්වටෝරියල් පාම් ඔයිල් ඇතුළු නම් කිහිපයකින් හඳුන්වා ඇති මේ සමාගම, අවස්ථා කිහිපයකදීම නම් වෙනස් කර ඇති බව හෙළි වේ. සමාගම වර්තමාන නම භාවිත කිරීම ආරම්භ කළ 2015 වසරේ සිට මෙවැනි ව්‍යාපෘති සිදු කර නැති බව ද සමාගම් වෙබ් අඩවියේ තොරතුරුවලින් තහවුරු වේ.
බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී නැගෙනහිර නවෝදය වැඩසටහනේ ව්‍යාපෘතියක් ලෙස මුල් වරට මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සාහ දරා තිබිණි. එහෙත් ධීවර රැකියාවේ නියුතු පවුල් 10,000ක් ප්‍රමුඛ 80,000කට අධික ජනතාවගේ විරෝධය නිසා ව්‍යාපෘතියේ කටයුතු නතර කෙරිණි.
භූ විද්‍යාඥ මතය
නැගෙනහිර පළාතේ අලයඩිවෙම්බු, තිරුක්කෝවිල් සහ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, මේ වෙරළ තීරය ලංකාවේ වැඩිම වෙරළ ඛාදනයක් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වෙරළ තීරයේ ශක්තිමත් බව අදාළ ඛනිජ නිසා බවත්, ඒවා යන්ත්‍ර මගින් ඉවත් කිරීමෙන් පසු එය සම්පූර්ණයෙන්ම නැති වන බවත් ය.
ජනතාව නොදත් මහජන පරීක්ෂණ
ව්‍යාපෘතියට අදාළව සකස් කළ පරිසර තක්සේරු වාර්තාවේ මහජන පරීක්ෂණ කටයුතු අවසන් බව පැවසුවද, එය සිදු කෙරුණේ කිසිදු විනිවිදභාවයකින් තොරව ය. ව්‍යාපෘතියට අදාළ ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාර්තාව තබා තිබූ බවත්, ඊට මහජන අදහස් නොලැබුණු බවත් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. වඩාත් වැදගත් වන්නේ මෙවැනි වාර්තාවක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මහජන පරීක්ෂාව සඳහා තබා තිබූ බවක් එම ප්‍රදේශයේ ජනතාව නොදැන සිටීම ය.
වටිනාකම එකතු නොකරන්නේ ඇයි?
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර පවසන්නේ ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් නිසා පරිසරයට හානි සිදුවීම වැළැක්විය නොහැකි බවයි. එහෙත් අවම වශයෙන් හානියට සාපේක්ෂව රටට යහපතක් සිදුවන ආකාරයට අදාළ ව්‍යාපෘතිය සැලසුම් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
නැගෙනහිර වෙරළෙන් ඛනිජ ඉවත් කළ විට වෙරළ ඛාදනය වැඩි විය හැකි වුවද, එය ඇතැම් විට අනාගතයේදී නැවත යථා තත්ත්වයට පත්විය හැකි බවද පෙන්වා දෙන මහාචාර්යවරයා, අවධාරණය කරන්නේ අදාළ ඛනිජවලට වටිනාකමක් එකතු කොට විදේශ රටකට යැවිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකිරීම කනගාටුවට කරුණක් බවයි. ලංකාවේ මිනිරන්වල සිට සියල්ල කිසිදු වටිනාකමක් එකතු කොට විදේශ රටවලට යවන බවත්, ඉන්පසු එම රටවල අදාළ අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන නිෂ්පාදන ලංකාවට ආනයනය කරන බවත්, ඒ සඳහා අපනයනයෙන් ලබන ආදායමට වැඩි වියදමක් දරන බවත් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළ
මේ ව්‍යාපෘතිය මගින් අදාළ සමාගමට නිදහසේ ලබාගැනීමට ඉඩ සලසන ඉල්මනයිට් සහ රූටයිල් යනු වටිනා ඛනිජ වේ. ඒවාගේ ටයිටේනියම් අඩංගු වන අතර, තීන්ත, පිඟන් මැටි සහ සැහැල්ලු මිශ්‍ර ලෝහ නිෂ්පාදනය කිරීමට ඒවා භාවිත කරයි. කල් පවතින, ශක්තිමත් ඛෙනිජ කොටස් වන මේවා ගුවන් යානා කොටස්, කෘත්‍රිම අස්ථි, බයිසිකල් රාමු සහ ක්‍රීඩා උපකරණ නිෂ්පාදනය කිරීමට බහුලව භාවිත කරයි.
එපමණකින් මේවාට ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ඔබට වැටහේ. ගාර්නට් සහ සර්කෝන් යනු ද පිරිපහදු කටයුතු ඇතුළු කර්මාන්ත රැසකදී භාවිත කෙරෙන ඉහළ ඉල්ලුමක් ඇති ඛනිජ වේ. සමාගම් ගණනාවක් මීට පෙර ද අවස්ථා කිහිපයකදී නැගෙනහිර වෙරළ තීරයේ හම්බන්තොට, කිරින්ද දක්වා වෙරළේ ඇති මේ ඛනිජ සම්පත් ලබාගැනීමට උත්සාහ දැරීය.
කියන විදිහටම සිද්ධ වෙයිද?
මුල් අදියරේදී අදාළ සමාගම අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා වෙරළ තීරයේ වැලි සේදීමට සැලසුම් කර ඇත. ඒ මීටර් 50ක් පළල, මීටර් 150ක් දිග කොටස් වශයෙනි. පරිසර තක්සේරු වාර්තාවට අනුව ඔවුන් එම වැලි ඔලුවිල් වරායේදී සෝදා, ඛනිජ වෙන්කර ගැනීමෙන් පසු, නැවත අදාළ ස්ථානයට ගෙනැවිත් දමයි. එවිට වෙරළ ඛාදනයක් සිදුනොවන බවත්, වෙරළ පැවැති ආකාරයටම ශක්තිමත්ව ස්ථාවර වන බවත් ඔවුහු පෙන්වා දෙති.
එහෙත් විෂය පිළිබඳ විද්වතුන් පෙන්වා දෙන්නේ අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා පිහිටි මේ වෙරළ තීරය යනු බරපතළ ලෙස වෙරළ ඛාදනයට ලක්ව ඇති ප්‍රදේශයක් බවයි. එවැනි ප්‍රදේශයකින් මෙසේ වැලි ඉවත් කිරීමෙන් බලාපොරොත්තු විය හැක්කේ අතිශය බරපතළ වෙරළ ඛාදනයකි.
සිදුවන්නේ කුමක්ද ?
මේ වෙරළ තීරයේ අදාළ ඛනිජ තැන්පත් වීම සඳහා සෘජුව බලපෑම් කරන්නේ හැඩ ඔය, කුඹුක්කන් ඔය සහ මැණික් ගඟ වැනි ජල පහරවල් ය. රට අභ්‍යන්තරයේ සිට වෙරළට එන අවසාදිත මෙසේ තැන්පත් වේ. මුහුද අභ්‍යන්තරයේද කැණීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීමට අපේක්ෂිත බව පරිසර වාර්තාවේ සඳහන් ය.
ඒ කියන්නේ මුහුදේ වළවල් සෑදීමට නියමිත ය. ඒ වළවල් පිරවීමටද රැල්ල මගින් වැලි ගෙනයන්නේ වෙරළෙන් ය. එනම් මේ දෙයාකාරයෙන්ම වෙරළ ඛාදනය තීව්‍රවීමක් සිදුවීමට නියමිත ය. එහෙත් සමාගම කියන්නේ එසේ නොවන බව ය.
වාර්තාව බොරු කියයි
මේ ප්‍රදේශයේ ජනතාව බරපතළ ලෙස විරැකියාවෙන් පෙළෙන බවත්, මේ ව්‍යාපෘතිය ඊට විසඳුමක් බවත් සමාගම අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ. එහෙත් එහි මෙසේ ද සඳහන් ය. ඔවුන් පළමු වසර තුළ රැකියා අවස්ථා 195ක් සහ වසර පහක් තුළ රැකියා අවස්ථා 266ක් ලබාදීමට අපේක්ෂා කරයි.
එහෙත් මේ ප්‍රදේශයේ ඛනිජ කැණීම් සම්බන්ධ රැකියා කිරීමට සුදුසුකම් ඇති පිරිස කොපමණද? මේ ප්‍රදේශයට ගැළපෙන, ඔවුන් ලබාදෙන රැකියා අවස්ථා මොනවාද? මෙවැනි ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු ඉදිරිපත් කර නැත. ඒ කියන්නේ මේ රැකියා ප්‍රමාණය කම්කරු හෝ ආරක්ෂක නිලධාරි වැනි රැකියාවලට පමණක් සීමාවීමට වැඩි ඉඩක් තිබේ.
පළමු අදියරේදී වැලි ඉවත් කිරීමට නියමිත අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා ප්‍රදේශයේ පමණක් සුළු පරිමාණ ධීවර වෘත්තික පවුල් 10,000කට ආසන්න පිරිසක් ජීවත් වේ. මේ ව්‍යාපෘතිය නිසා ඔවුන්ගේ ජීවිකාව අහිමි වන අතර, ව්‍යාපෘති කලාපය තුළ ඔවුන්ට කුඩා ඔරු සහ බෝට්ටු රැඳවීමට අවසර ලැබෙන්නේ නැත. එම පිරිසට සිදුවන්නේ කුමක්ද යන්න අදාළ ව්‍යාපෘති වාර්තා කිසිවක පැහැදිලිව සඳහන් කොට නැත. විරැකියාවක් ඇති බවත්, අවුරුදු පහකින් රැකියා 266ක් දෙන බවත් පමණක් කියා ඇත.
කෘෂිකර්මාන්තයේ ඉරණම
කෘෂිකර්මාන්තය සඳහා භූගත ජලය භාවිත කරන ගොවීන් ද විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයේ සිටිති. ඇතැම් ගොවීහු ජලය ලබාගැනීම සඳහා ළිං ද භාවිත කරති. වෙරළට ආසන්නයේ ඇති මෙම ගොවිපොළවල මිරිස්, වම්බටු, ඉරිඟු, රටකජු, කව්පි, මුං,ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං සහ තම්පලා යන වගාවන් සිදුකරයි. වසරට දෙවරක් මේ බෝග වගාකෙරෙන අතර, ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අහිමිවීමේ අවදානමක් ද තිබේ. දැනටමත් මේ වෙරළේ සිදුවන සීඝ්‍ර ඛාදනය නිසා ගොවීන් ජලය ලබාගත් ළිංවලට මුහුදු වතුර මිශ්‍රවෙමින් තිබේ. ඇතැම් ළිං අසලටම මුහුද පැමිණ ඇත. මේ කියන ආකාරයට ව්‍යාපෘතියෙන් පසු මෙය යහපත් ලෙස වෙනස් වන්නේ කෙසේදැයි කිසිවකු ඔවුන්ට කියන්නේ නැත.
එසේම මත්ස්‍ය අභිජනනය සඳහා පහසුකම් සපයන කොරල්, පාෂාණ වැනි සංවේදී පරිසර පද්ධති ගණනාවක් ද මේ ඛනිජ වැලි නිධිවලට ආසන්න නොගැඹුරු මුහුදේ පිහිටා ඇත. ඊට අමතරව මේ ප්‍රදේශය යනු කැස්බෑවන් බහුල ලෙස බිත්තර දමන ප්‍රදේශ වේ.
නියාමනයේ තරම සහ අයිතිවාසිකම්
මේ ආකාරයේ පාරිසරික, සමාජයීය සහ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් මේ ව්‍යාපෘති වාර්තා කිසිවකින් පුළුල් අවධානයක් යොමුකර නැත. ඒ වෙනුවට සරල, උඩින් අතගාන පන්නයේ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. අනෙක් අතට රට තුළ කිසියම් ඛනිජ නිස්සාරණයක් සිදුවන්නේ නම් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුමැතිය අනිවාර්යෙන්ම ලබාගත යුතුය. එම කාර්යාංශයේ දැක්ම වන්නේ ‘ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් වඩාත් තිරසර ලෙස පතල් කැණීම හා සැකසීම නියාමනය කිරීම’ ය. මේ සිදුවන්නේ එය ද?
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියට අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකුට නීත්‍යනුකූල රැකියාවක්, වෘත්තියක්, වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක නිරත වීමට අයිතියක් ඇති අතර, ශ්‍රී ලංකාව තුළ පදිංචි ස්ථානය තෝරාගැනීමේ අයිතිය ද ඇත. එහෙත් මේ ව්‍යාපෘතිය මගින් නැගෙනහිර වෙරළේ ධීවරයන්ට සහ ගොවීන්ට දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ තමන්ගේ ජීවන ක්‍රමය අහිමි වීමේ අවදානමක් තිබේ. වඩා යහපතක් සිදුවන්නේ නම් එහි ගැටළුවක් නැත. එහෙත් මේ සැලැස්මට අනුව එවැන්නක් සිදුවීමට ඇත්තේ අවම ඉඩකි.
එසේම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපත්ති මූලධර්මවලට අනුව ප‍්‍රජාවේ යහපත සඳහා රජය විසින් පරිසරය ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කරමින් වැඩිදියුණු කිරීම කළ යුතුය. ඉහතින් දැක්වූ ආකාරයට මහාචාර්ය රංගික හල්වතුර පවසන්නේ ඊට සමාන අදහසකි. පරිසරය ආරක්ෂා කරමින්, වැඩි දියුණු කළ යුතුය. යම් හානියක් සිදුවුවද, එය ලැබෙන යහපතට සාපේක්ෂව අවම විය යුතුය. එහෙත් උමා ඔයේදී සිදුවූයේ එය ද? මේ ව්‍යාපෘතියේදී එසේ නොවෙතැයි සහතික ලබාදිය හැකිද?