Home Blog Page 257

අත්පුඩි නොගැසූ අයවැය

0

2023 අයවැය යෝජනා කියවද්දී රනිල්ට ගෙදරින්ම අත්පුඩි වැදුනෙ නෑ. රනිල් තමන්ගෙ ගෙදර ඉඳන් නෙවෙයි අයවැය ඉදිරිපත් කළේ.ඒත් අත්පුඩි නොගැසුවෙ ඒ නිසා නෙමෙයි. අයවැයේ ජනප්‍රිය යෝජනා නැහැ.ඉතිං නොවැම්බර් 14 පාර්ලිමේන්තුව නිශ්චලව තිබුණා.

ප්‍රධාන කරුණු 4 ක්

අයවැයේ ප්‍රධාන අපේක්ෂා 4 ක් තිබුණා. එක තමයි අය වැය හිඟය පියවීම. දෙක ගෙවුම් ශේෂය පියවීම. ඊට පස්සේ ශ්‍රම වෙළෙඳපොළ ලිහිල් කිරීම සහ සිව්වැන්න සමාජ සුභසාධනය.
මේ සෑම ඉලක්කයක් ම ජය ගන්න ඉපැයිම් ඕනෑ. මුදල් ඇමැති හැටියට රනිල් මුදල් උපයන උපකරණය බවට පත් කරගෙන තියෙන්නෙ බදු පැනවීම. ඇත්තටම අයවැයට පෙර බදු පනවලා ඉවරයි. ඊළඟට බදු අය නොකර සේවාවන්හි සේවා ගාස්තුව වැඩි කරලා උපයන්න උත්සාහයකුත් දරනවා. විදෙස් ගමන් බලපත්‍, හැඳුනුම්පත් වැනි සේවාවන්වල ගාස්තු 20% කින් වැඩි කරලා. ඒකත් බදු නාමය නොමැති බද්දක්. එහෙම බලනකොට මේකෙ කිසිම පැත්තක් බදු වලින් නිදහස් වෙලා නෑ.

පරස්පරතා

දැන් එක යෝජනාවක මෙහෙම තියනවා. වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි ලංකාවේම කරන්න අවශ්‍ය අධ්‍යයන පහසුකම් සලස්වනවා. එහි අරමුණ පිටට යන ඩොලර් ඉතිරි කර ගැනීම. යෝජනාව හොඳයි. ඊළඟට ඊට අනුබද්ධ යෝජනාව බලමු. නිදහසේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් උසස්පෙළ ඉහළින් සමත්වන සිසුන් හැත්තෑපහකට විදෙස් විද්‍යාලවල ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙනවා. නිදහසේ 75 සංවත්සරය නිමිත්තෙන් උපාධිධාරීන් 75කටත් විදෙස් විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙනවා. වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධි ලංකාවේම කරන්නට පහසුකම් සලසා දී ඉතිරි කරන ඩොලර් ටික ඊට පස්සේ තියන යෝජනා දෙක වෙනුවෙන් වැය වෙනවා. එතකොට කොහොමද මේ වැඩසටහනින් ඩොලර් ඉතිරි කරන්නෙ. ඔය වගේ පරස්පරතා මේ අයවැයේ තියෙනවා.

මධ්‍යසාර වලට ප්‍රමිතිය

මධ්‍යසාර සඳහා ප්‍රමිති ආයතනයක් ස්ථාපිත කරන බව අයවැය මගින් යෝජනා කෙරුණා. දැන් රටේ සාමාන්‍ය මිනිස්සු කන බොන ආහාරවල, ළදරු ආහාර වල ප්‍රමිතියක් නෑ. පාංගෙඩිය දක්වාම ප්‍රමිතියෙන් තොරයි. මධ්‍යසාර වලට කලින් ආහාර වලට හොඳ ප්‍රමිතියක් ඕනෑ. මොන භාණ්ඩය මිලදී ගත්තත් ඒවා බාල භාණ්ඩ බව පෙනෙනවා. සිමෙන්ති බාල බව මේසන් බාස් අත්දැකීමෙන් කියනවා. ඒත් මේ හැම භාණ්ඩයකටම වෙනදට වඩා වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයාට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මධ්‍යසාර වලට කලින් එම භාණ්ඩ ප්‍රමිතියානුකූල වෙන්න ඕනෙ නේද?
මේවා කවුරුවත් මතු නොකරන ප්‍රශ්න. හාල් වලට, පොල් වලට පවා ස්ථීර මිලක් නෑ. ඒවා හිතුනු ගණන් වලට විකුණනවා. මේවාට ප්‍රමිතියක් සේම එක නිශ්චිත පරාසයක විහිද යන මිලක් තියෙන්න ඕනෙ. එහෙම නැති නිසා පාරිභෝගිකයා ගසා කෑමක් අද සිද්ධ වෙනවා.

වසර 18 න් විශ්‍රාමය

සාමානයෙන් හමුදා සේවා කාලය වසර විස්සක් හෝ විසි දෙකක්. ඒක ගිවිසුම්ගත කාලයක්. මේ සම්පූර්ණ කාලය ගත නොකර ඕනෑ නම් වසර 18 ක සේවා කාලය සම්පූර්ණ කළ පසු විශ්‍රාම ගත හැකිය යනුවෙන් අයවැය යෝජනාවක් ආවා. හැබැයි 18 න් කවුරුවත් විශ්‍රාම යන්නෙ නෑ. 20 ක් හෝ 22 ක් ඉඳලම යනවා කියලා ඕනෙ කෙනෙක් හිතනවා. මොකද තව අවුරුදු දෙකක් හෝ හතරක් හිටියම ලැබෙන ප්‍රතිලාභ වැඩි නම් දහඅටෙන් යන්නේ මොකටද? ඒ කාලය වසර දහයක් කළා නම් වැඩේ සමබර වෙන්න තිබුණා. දහයෙන් ගිය කෙනකුට වෙන අලුත් වැඩකට අත ගහන්න කාලය තියෙනවා. එතකොට රජයේ අපේක්ෂාවන් ඉටුවෙනවා.

ජාතික සැලසුම් නෑ

ඉන්දියාව මෙන්ම තවත් රටවල් සංවර්ධනය සඳහා පස් අවුරුදු ජාතික සැලසුම් හදනවා. ඒ සැලසුම් වසර පහක් පුරා ක්‍රියාත්මකයි. ඒ අතරට තමයි අයවැයේදි අලුත් යෝජනා ඇතුළු කරන්නෙ.
ලංකාවට වසර පහක පදනම් වැඩසටහනක් කිසිම දවසක තිබුණෙ නෑ.
බොහෝ විට අයවැයෙන් යෝජනා වෙන දේවල් කෙරෙන්නේ නෑ.
දයාසිරි ජයසේකර 15 වැනිදා අය වැය විවාදයේදී කිව්වා ලබන වසරේ අයවැය ඉදිරිපත් කරන කොට මේ යෝජනාවලියෙන් කරපු දේවල්, නොකරපු දේවල් හා කරන්න බැරිවුනේ මන්ද යන්න වාර්තාවක් විදියට ඉදිරිපත් කරන්න කියලා. ඇත්තටම අය වැය ගැන එහෙම පසු විපරමක් කරන එක හොඳයි.

– විමලනාත් වීරරත්න

මිනිස් සබඳතාවන්හි ඉසියුම්ම තැන් කොනහන ‘මල් සුවඳැති හිසරදයක්’

0

ජීවිතේ, ජීවිතේ ලෙසින්ම තියෙද්දි අපට ඒක පේන්නෙ නෑ. ජීවිතේ හරියටම දකින්න නම් අපිට ඒක වෙනත් ආකාරයක් බවට පත් කරන්න සිද්ධ වෙනව. මේ වෙනත් ආකරය තියෙන්නෙ කලාව ඇතුළෙ. ජීවිතය ඇතුළෙ ඉද්දි අපට බලන්න බැරි ජීවිතය කලාකෘතියක් ඉදිරිපිටදි අපට පේනව. කලාවට තියන ජීවිතයේ ඉසියුම්තා පෙන්වීමේ විභවය කෙතරම් ප්‍රබලද කියල අපට නිතරම පසක් කරන කවියෙක් තමයි වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි. හරියටම කිව්වොත් අපට ඉන්න ජීවිතයේ චූල ආඛ්‍යාන හොඳින්ම අල්ලගන්න පුළුවන් කවීන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න කවියෙක් ඔහු. ඔහුගෙ අලුත්ම කවි එකතුව වන මල් සුවඳැති හිසරදයක් කෘතිය ඒ විදිහේ අන්වීක්ෂීය කවි මගක (අදහස් ඡායාව: නඳුන් යසිතගෙනි)සරන කවි සමුච්ඡයක්.

කාලයත් එක්ක මිනිස්සු ජීවිතයට හුරු වෙනව; දේවල්වලට හුරු වෙනව. මේ හුරු වීමේ ඊළඟ තාර්කික නරක ප්‍රතිඵලය තමයි මිනිසුන්ට ජීවිතයේ විස්මය අහිමි වීම. පාවුලෝ කොයියො වගේ කෙනෙක් මේක මීට වඩා ලස්සනට ‘පියෙද්‍රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි’ වගේ පොතක කියල තියනව. අපට හොඳටම හුරු වුණු පාරක යද්දිත් අර නුහුරු යුගයට යන්න, ඒ නුහුරු බවේ සෞන්දර්ය විඳගන්න සිතීමේ මිනිස් චෛතසිකයට යෙදුණු වසන්තගේ කවි ගමනයි මේ.

සෑහෙන පමණ
හොඳින් හඳුනන නගරය
උවමනාවෙන් අතුරුදන් වෙමි
ඇතැම් දවසක
නොදත් සේ විමසමි කෙනෙකුගෙන්
කොතැන වෙද අපගේ රැඟුම්හල
ගොසින් සුපුරුදු බොජුන් හල
අසා හිඳිනෙමි මහත් රුචියෙන්
සුරත පා, මග ලකුණු පැවසුම

(උවමනාවෙන් අතුරුදන් වෙමි)

ජීවිතයෙ ඇතුළෙ තියන ක්‍රියාවලිමය ස්වභාවය යම් සාක්ශාත්කරණයකට පස්සෙ ජීවිතය ගල්ගැහෙනව වගේ තත්ත්වයක් බවට පත් වෙනව. ඒ හාම අර ක්‍රියාවලිමය සෞන්දර්යයත් නිමා වෙනව. එතනින් එහාට ඒ ක්‍රියාවලියට නොස්ටැල්ජිකව බැඳෙනව. අලුත් ක්‍රියාවලියක් වෙත ගියත් වෙන්නෙ ඕක. විඳීම තියෙන්නෙ ක්‍රියාවලිය තුළමයි. හැබැයි ඒක ඇතුළෙ දි විඳීම පේන්නෙ නෑ. ක්‍රියාවලිය නිමා වූ පසුව නැවත ඒ වෙත යාගත නොහැකි බවේ ආතතිය අපිව පාරනව. අපට උවමනාවෙන්ම අතරමං වෙන්න සිදුවෙන්නෙ මේ නිසයි.

මල් කියන්නෙ නෛසර්ගිකවම සෞන්දර්ය වස්තුවක් බව තමයි සාමාන්‍යකරණය වී ඇති පොදු අදහස. හැබැයි ඒක එහෙමමද? මල්, මල් සුවඳ හැම වෙලාවෙම හැම කෙනෙකුම අරභයා ඇති කරන්නෙ සෞන්දර්ය වේදිතයක්මද? මල් සුවඳැති හිසරදයක් කවියෙදි හෙට්ටිආරච්චි ප්‍රශ්න කරන්නෙ මේ අධිපති සාමාන්‍යකරණය නෙමේද?

දිදුලනා නෙත් අතර සිදුවන
සොඳුරුතම වන කතාබහකට
සැදී සපැමිණි මුල්ම දා අපි
බොජුන් හල් මේසය සුවඳ කළ
රෝස ගොමුවම උගුලනා ලෙස
දැඩි හඬ්න් අණ කෙරූයේ ඔහු

( මල් සුවඳැති හිසරදයක් )

මේ කවියේ එන පෙම්වතාට මල් පිළිබඳ ඇත්තේ වෙනත්ම අත්දැකීමක්. ඔහු තුළ මල් විසින් ජනිත කරනු ලබන්නේ අඳුරු හැඟීම්ක්. එහෙත් අධිපති මල් ලෝකය තුළ ඒ අඳුරු වේදනාවේ ගිලෙමින් ඉන්නට ඔහුට සිදුවෙනව. අපට ස්වාභාවික යැයි හැඟෙන දේවල්වලට එපිටින් ඒවායේ වෙනත් ආකාරයන් පිළිබඳ සාකච්ඡාවකට මේ කවිය අපට ආරාධනා කරනව.
සේරිවාණිජ වස්තුව කවියෙදි කවියා අපට සම්මුඛ කරන්නෙ පවුල නම් ව්‍යුහය ඇතුළෙ නොසපිරුණු ජීවිත ලාලසාව ඉන් පිටතදි සාක්ශාත් කරගන්නා ගැහැනියක්. ඇය අභ්‍යන්තරයෙන් මේ ව්‍යුහය බින්දට ඇයට ව්‍යුහයේ බාහිර සැකැස්ම නඩත්තු කරන්නට සිදු වෙනව. කොටින්ම කීවොත් දෙබිඩි ජීවිතයක් ඇයට ගත කරන්න සිදු වෙනව.
හිමි සේරිවාණිජය
එය නිසා ළය පැළී
මියෙන්නට ඉඩ නොදෙමි
දැලි බැඳුණ දෑ අතර
තිබෙන බැව් රන් තලිය
හැඟෙන සේ දිවි ගෙවමි

(සේරිවාණිජ වස්තුව )

දැන් ඇය සතුව පැරණි රන් තලිය නෑ. ඒත් එය ඇති ලෙසින් ඉන්නට ඇයට සිදුවෙනව. නොපවතින දෙයක් පවතින සේ ගෙන හිදීමේ ආතතික පැවැත්ම දරා හිඳින්නට ව්‍යුහයන් බිඳීමට එඩිතර වන ගැහැනියට පවා සිදුවෙන හැටි හෙට්ටිආරච්චිගේ කවිය අප ඉදිරියට පමුණුවනවා.

මල් සුවඳැති හිසරදයක් කවි කලඹ කියන්නෙ අධිපති ව්‍යුහ විසින් ජීවිත විඩාබර කරල තියෙන ආකාරය දැකගන්න පුළුවන් හොඳම ආකාරයක් කිව්වොත් ඒක අසාධාරණ නෑ. ඉහත දැක්වුවෙ උදාහරණ ටිකක් විතරයි. වෙනත් තේමාත්මක මානයන් ස්පර්ශ කරන කවිත් මෙහි නැතුවා නෙමෙයි. ඒත් කවි පොත පුරාම ඉතාම ප්‍රභල විදිහට ඉහත මානය කවියා මතුකරනව.
ජීවිතය ඇතුළෙ අපට මගහැරෙන දේ අල්ලන එක කවියන්ට පැවරෙන නිල නොලත් වගකීමක්. මං හිතන්නෙ වසන්‍ත ප්‍රදීප් හෙට්ටිආරච්චි ඒ වගකීමට කාව්‍යාත්මක සාධාරණය ඉටු කරනව…

ලහිරු කරුණාරත්න

ගද්‍ය සාහිත්‍යයේ බස, රටා, ආකෘති නොබියව කවියට ගන්නා ලක්ෂාන්ත

0

‘මිනිසා නිරායාසයෙන් ‘නිකං ඉන්නවිට’ පවා ඇත්තේ, ආයාසයෙන් නිකං ඉන්නවට වඩා සිත්ගන්නා බවකි…’
ලියනගේ අමරකීර්ති ලියූ ‘පහන සහ කැඩපත’ පොතේ එන ලිපියක මෙවැන්නක් සඳහන් වෙනවා. මේ කියමන මට මතක් වුණේ ලක්ෂාන්ත අතුකෝරලගේ ‘ලියසැව් ලිහී ගිය ගනසාඬුලු’ කවි සරණියේ කවි කිහිපයක් කියවන්න ලැබුණායින් පස්සෙ. ඒ කිහිපය කියෙව්වම සම්පූර්ණ පොත ම කියවා අවසන් වෙනකම් ඉන්න බැරි නොසන්සුන්කමක් ඔඩුදුවන්න ගත්ත නිසා, යමක් ලියන්න හිත කැසකැව්වා. නිරයාසයෙන් ඉබේ ගලන කවි සොබාවයක් පෙන්වන පොතේ බොහෝ නිර්මාණ, ආකෘති අතිනුත්, බස් වහර අතිනුත්, ශබ්ද ලක්ෂණ අතිනුත් සෙසු කවීන්ගෙන් වෙන්වෙලා පෙනෙන මොකක්දෝ අලුත් බවක් දනවන්න සමත් වුණා. අර මුල් කියමනට ගියොත්, ආයාසයෙන් නිකම් ගලන කවි ලෙස නොඅඟවන, නිරායාසයෙන් නිකම් ගලන කවි ලෙස පෙනෙන කවි ආරක් මෙතන දි හමුවෙනවා.

මේ කවි බස ස්ථර ගලවන්න පුලුවන් බසක්. චිරන්තන ගද්‍ය පද්‍ය පොතපත කියවල පත්තියම් වුණු බසක්. වඩාත් පැහැදිලි කළොත් ලක්ෂාන්ත, ගද්‍ය සාහිත්‍යයේ භාෂාව පද්‍ය සාහිත්‍යයට අරගන්නවා. මේක වැදගත්. ගද්‍ය සාහිත්‍යයේ රචනා රටාව, භාෂාව, ආකෘති ඔහු නොබියව තමන්ගෙ කවියට අරගන්නවා. ‘ඔත්තුකාර තරුපෙත්ත තෙපලූ තතු පවත්’ කවිය පටන්ගන්නෙ ජාතක කතා පොතේ එන වාක්‍යාංශයකින්, ‘තව ද එක් දුෂ්කර සමයක් හි…’. නමුත්, ඇල්මැරුණු නීරස බවක් නෑ සමස්තයෙ, පද්‍ය බස එක්ක මුහුකරන විදියත් රිද්මය රැකීමත් නිසා. තවත් නිර්මාණ කිහිපයක ම මේ ලක්ෂණය දකින්න පුලුවන්. චිරන්තන ගද්‍යයෙන් විතරක් නෙමේ, නූතන ගද්‍ය බසිනුත් ඔහු පෝෂණය ලබනවා. කොහොමහරි නූතන කවිපොත්වලදි වැඩිය කියවන්න නොලැබෙන වචන කෝෂයක් මේ කවි නිමැවුම් සතුයි.

‘සුන්දර වචන සුන්දර පිළිවෙළට යෙදීමයි කවිය’ වගේ නිර්වචන අපිට ඉස්කෝලෙ කාලෙදි කියවන්න ලැබිලා තියෙනවා. දැන් ඒ තර්ක වෙනස් වෙලා. ලක්ෂාන්ත ලියන මේ කවි ඇතැමෙක තියෙන්නෙ ලස්සන ද නැද්ද වගේ දේවල් නොසිතා කවියට අවංකවීමෙන් ලිවූ වදන් සරණියක්. ‘සරාගය’ කවියෙ තියෙන්නෙ ‘විරාගය’ පොතේ සාරයක්. ‘කෙහෙල්මල් කැමැත්තෙන් වැඩක් නැහැ’, ‘කුද ගහගත්‍තදෙන්’ වගේ සාමාන්‍ය කටවහරෙ එන වැකි ඔහු නිර්ලෝභීව කවියට ගන්නවා. මේ නිර්මාණෙ පළවෙනි කවියෙ පළමු පේළි දෙක මට මතක් කරන්නෙ, ‘රොබරෝසියා මල් වැළපෙන වැහිදාට..’ යනුවෙන් ‘සමහර කමටහන්’ පොතේ ඔහු ලීව කවියෙ එන රිද්මයමයි, රසයමයි, ඒ නිරායාසී බවමයි.

“තාත්තව බලන්ට මහ වැස්සෙ ආව හැටි සරා
මතකයෙන් මැකේවිද සංසාරෙ ඉවරවෙන තුරා…”

මේ පොතේ මට දැනෙන හොඳ ම කවිය ‘අබිලිං අප්පුහාමි’. සේකරගේ ‘තුංමංහදියෙ’ අබිලිං මට මතක් කරන්නෙ මගෙ ලොකු මාමා සහ චුට්ටන් බාප්පා. ‘නොම්මර එකට හඳ පායා ආවා සේ’ වැනි යෙදුම් නොපෙරා මුවට එන යෙදුම්. සෝකයයි, ආදරයයි, සාහිත්‍යයි සේරම මේ කවියෙදි මුහුවෙනවා. සම්පූර්ණ කවිය කියවන්න, මුළු පොතේ ම සාරය කැටිකළොත් ඒ බව පේන ප්‍රධාන ම කවිය මේකයි මට !

ලක්ෂාන්‍තගේ ‘යටි වියනට කිරණ ඉරක්’ කියන කවිය මතක් වෙන කවියක්, ‘ගනසාමඬුලු’. මේ කවියෙ පරිකල්පන, වාග් චිත්‍ර එක්ක මුහුවෙලා පරිසර පාඩමක් කියාදෙනවා වගේ. පොළොව, ගනසාමඬුලු, අහස, වලාකුළු, දිව්‍ය ලෝකෙ මේව ස්ථර විදියට පෙන්වලා එකම කටයුත්තක් වෙනුවෙන් එක් රැස්වෙන විදිය කියනවා. මේ නිර්මාණෙ එන එක කවියකදි, මෙච්චර වෙලා පුටුවෙ වාඩිවෙලා කැලෑව දිහා බලන් හිටි ලක්ෂාන්ත ඉන්න තැනින් නැගිටලා අත මිට මොළවලා අහස දිහ බලනවා මට පේනවා. මෙන්න ඒ කවිය,

“විමනේ දේව යකුනේ තව දන්නැද්ද
දෙරණේ ලෝක පොළොවේ ඇවිලෙන ඇත්ත
මුදුණේ ඔහොම සඟවා සැනසෙන වැස්ස
සැදුණේ බිම් පෙතේ නිම්නේ පස් එක්ක…”

ජන කවි රටාවට අනුව ලියන ‘කෙත් ඉහත්‍තාවෙ දහයියාව’, උත්ප්‍රාසාත්මක නිමැවුමක්. ලක්ෂාන්ත ඉදල හිටල වංගුව ගන්නෙ, මෙතෙක් ආව පාරෙන් ශෝට්කට් පාරකට වාහනෙ අරගන්නෙ, ක්ෂණිකව ඇඟට පතට නොදැනි. ඔහු තීරණය කරනවා, ‘මේ කවිය මං ලියන්නෙ මේ විදියට’ කියල ලියන්න කලින්. ඒබව කාටවත් කිය කිය ඉන්නෙ නැ, ඔහු ඒක කරලයි පෙන්වන්නෙ. ක්ෂණිකව. මේ කවිය පටන්ගන්න විදිය බලන්න.

“වරම් වරම් ඉර සඳ දෙවි
වරම් නොදී එකෙල මෙකෙල වෙතී
දුම්බර කෙතෙ බණ්ඩි ගොයම්
දිලිසුනාවෙ ඕසෙට පල නැති
රන් දෑකැති විරිත්තමින්
එල්ල කරත අප දිහාට කැති
ණය දෙවිගොල්ලන් නියඟෙට
වස්සනවා හීනෙන් වස පෙති”

ආකෘතිය අතින් ඔහු කරන හරඹ, ටීකා සීපද ස්වරූප, තුන්පද කවි, වස්තුවිශය අනුව කවියෙ ස්වභාවය තීරණය කරන උසාවියෙ කවිය, අර්ථයක් එන විදියට සිරස්ව එළිවැටට අකුරු පේළියක් යෙදෙන කවි මෙහි මතක ඇති කවි කිහිපයක්.
අලෝනුෂ්කා අක්කයි ඉවානුෂ්කා මල්ලියි ගැන කියන පොතේ අවසන් කවියත්, හැඟීම් හරඹයක්. රෙෆරන්ස් දැනගන කියවන්න ඕනෙ කවි මෙහි තියෙනවා. ලක්ෂාන්තගෙ මින් පෙර නිර්මාණවලදිත් දුටු යම් පරතරයක් පවත්වාගෙන යාම කවිවලදි දකින්න ලැබෙනවා. ඒක හොඳ දෙයක්. ඔහු කියවන්නා ව සමීපයට ම ගන්නෙ නෑ. අතේදුරින් තියාගන්නවා.
පොතේ කවි කිහිපයක් තැනින් තැනින් අහම්බෙන් පෙරළලා කියවල ඉවරවුණාම,
මං මටම කියාගත්තෙ එක දෙයයි,
‘කොහොමද මෙහෙම පිරෙන්න ලියන්නෙ, කොහොමද?’

ඩිල්ශානි චතුරිකා දාබරේ

‘ඕක අතහැරලා දාන්න’ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපදෙස් දෙයි : පොලිසියේ කාන්තා පහසුකම් කමිටුව ලත් තැන ලොප් !

0

විරෝධතාවක් අතරතුරදී පානදුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති චමින්ද පින්තෝ විසින් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීමට අදාළ සිදුවීම පිළිබඳ එම නිලධාරිනියන් සහ ඉහළ පොලිස් නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ සූම් ඔස්සේ පවත්වා තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරි ඇතුළු ප්‍රදේශය බාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත. ඒ සඳහා අදාළ නිලධාරිනියන් දෙදෙනා බාර ඉහළ පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ද සහභාගි වී තිබේ.

‘අපේ ප්‍රශ්න’

මෙහිදී අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලිව පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන්නේ ‘අපේ ප්‍රශ්න අපි බේරගන්න ඕනෙ, රාජකාරි අතරතුර එතැන තියෙන කලබලයත් එක්ක ඕනෙ තරම් ඔය වගේ සිදුවීම් වෙන්න පුළුවන්. ඒවා තරහකින් කරන දේවල් නෙමෙයිනෙ. ඒක හින්දා මේක අතහැරලා දාන්න’ යනුවෙනි.
ඉන්පසු ඊට පක්ෂ ව තවත් ඉහළ පොලිස් නිලධාරියෙකු ද සිය අත්දැකීම් එකතු කරමින් අදහස් දක්වා ඇත.

වින්දිත එකඟතාව

ඉන්පසු අදාළ නිලධාරිනියන් දෙදෙනා පවසා ඇතැයි වාර්තා වන්නේ එය හිතාමතා කළ තල්ලු කිරීමක් නොවන බවයි. තම ඉහළ නිලධාරියා එහි සිටිනු තමන් නුදුටු බව ද ඔවුන් පවසා ඇති අතර, සිදුවීම ඉදිරියට පවත්වාගෙන නොයෑමට ද එකඟ වී තිබේ.
ඉන්පසු එම නිලධාරිනියන් බාර ඉහළ නිලධාරිනියන් ද මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ ද, තමන්ට වාර්තා නොවූ බවත්, අදාළ සිදුවීමට මුහුණ දුන් නිලධාරිනියන් ඒ පිළිබඳව තමන් දැනුවත් නොකළ බවත් පවසා ඇත.
එයින් පසු රාජකාරි කටයුතුවලදී තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දීර්ඝ අදහස් දැක්වීමකින් සාකච්ඡාව අවසන් කර තිබේ.

දිවයින ප්‍රවෘත්තිය

අද (16) දිවයින පුවත්පත මෙවැනි ප්‍රවෘත්තියක් වාර්තා කර තිබිණි.
‘උද්ඝෝෂකයන් මෙල්ල කිරීමට පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා ඔවුන් ඉදිරියට යැවීමට තැත් කළ පානදුර (දකුණ) ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ පොලිස් නිලධාරීහු පිරිසක් පෙරේදා (15) සිට පරීක්ෂණ ආරම්භ කළහ.
මේ සම්බන්ධයෙන් සිද්ධියට අදාළ පොලිස් කාන්තාවන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇත.
එහිදී මෙම පොලිස් කාන්තාවන් පවසා ඇත්තේ මෙම ක්‍රියාව තමන්ට ප්‍රශ්නයක් නොවන බවයි.
චෝදනාවට ලක්ව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ එම අවස්ථාවේ තමන් පොලිස් නිලධාරීන් රාජකාරිය සඳහා උනන්දු කළ බවයි.’

සිදුවීම කුමක්ද?

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලබාගත් දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පසුගිය 14දා පැවති විරෝධතා පාගමනක් අතරතුර මෙම සිදුවීම සිදු විය. ඊට අදාළ වීඩියෝ සාක්ෂි සියල්ල මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි.

පොලිස්පති බේරෙයි

ඉන්පසු පොලිසිය වෙත එල්ල වූ දැඩි විරෝධය නිසා පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම ඔහු යටතේ පවතින විශේෂ විමර්ශන ඒකකයට බාරදුන්නේය. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පරීක්ෂණය පවත්වන නිලධාරීන් අදාළ සිදුවීමට මුහුණ දුන් නිලධාරිනියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ ඊයේ පැවති සූම් සාකච්ඡාවෙන් පසුව ය.

සමාජ බලපෑම

අදාළ වීඩියෝ සාක්ෂි මත පදනම් ව මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් තුන්වැනි පාර්ශ්වයකට තිබේ ද යන්න පිළිබඳව thetime.lk නීතිවේදීන් කිහිපදෙනෙකුගෙන් විමසීමු.
ඔවුන් සඳහන් කළේ එවැනි හැකියාවක් පවතින්නේ පොදු සමාජයට මෙම සිද්ධිය බලපෑම් එල්ල කරන බව තහවුරු කළ හැකි නම් පමණක් බවයි. (Public Interest Litigation) වින්දිත පාර්ශ්වයට මෙවැනි සිද්ධියකදී වධහිංසා පනත යටතේ නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති බවත්, එසේ නොමැති නම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙතසමක් ගොනුකිරීමේ හැකියාව ඇති බවත් ඔවුහු අප කළ විමසීමේදී පෙන්වා දුන්හ.
එහෙත් මෙහිදී අදාළ නිලධාරිනියන් තමන්ගේ පාර්ශ්වයෙන් එය ඉදිරියට ගෙන නොයන බව සඳහන් කර තිබේ.

කමිටුව ලත් තැන ලොප්

පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කිරීමේදී කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මානව හිමිකම් ආයතන කිහිපයක් එක්ව 2014 වසරේදී සමීක්ෂණයක් කරන ලද අතර, එහිදී අනාවරණය වී තිබුණේ පහළ පොලිස් නිලධාරිනියන්ගෙන් බහුතරයක් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බවයි. එහෙත් ඔවුන් රැකියාව පිළිබඳ ඇති බිය නිසා ඒ පිළිබඳ අනාවරණය කිරීමෙන් වලකින බව ද මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති අදාළ වාර්තාවේ සඳහන් වේ.
පසුව පොලිස්පති එන්.කේ. ඉලංකෝන්ගේ කාලයේදී මෙම වාර්තාවේ සඳහන් කරුණු පදනම් කරගනිමින් පොලිස් නිලධාරිනියන්ට පහසුකම් ලබාදීම පිළිබඳ අධ්‍යයනය කිරීමට ඉහළ පොලිස් නිලධාරිනියන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. එහෙත් එම කමිටුවේ කටයුතු ඉදිරියට ගොස් නැත.

පුංචි ඡන්දය මාර්තු 20 වැනිදාට කළින් : මැකෝ සහතික වෙයි

0

වසර 2022 මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය.

ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දාට පෙර පැවැත්වීමට නොහැකි බවට විවිධ මත පළ වෙමින් තිබුණද, ඊට කිසිදු බාධාවක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය දා පවසා තිබිණි.

මේ අතර ඊයේ ( නොවැම්බර්15) සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කළේය.

ඒ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එම අවස්ථාවට සහභාගී වූ මෙම පිරිස පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ ලිපියක් ද භාරදී තිබුණි.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ දශක හයක සාහිත මෙහෙවර

0

අද (නොවැම්බර් 16) පස්වරු 2. 00ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ ශාස්ත්‍රීය සේවාව අගයනු වස් සාහිත්‍ය සේවා අභිනන්දන උලෙළක් සංවිධානය කර තිබේ. මෙහිදී මුලසුන දරනු ලබන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ වන අතර, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවාණන් විසින් මුඛ්‍ය දේශනය පැවැත්වීමට නියමිතය.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ දශක හයක සාහිත මෙහෙවර

මෙරට සාහිත්‍යකරණයේ නිරත වන්නන් අතරින් වඩාත් ම සක්‍රිය ව හා සාර සුභාවිත ව එකී කාර්යයේ නිරත වන්නේ කවුරුන්දැයි කිසිවකු හෝ ප්‍රශ්න කළහොත්, ඊට දෙකට දෙවාරේ නැති කෙලින් පිළිතුරක් දෙන්නට අපට හැකියාව තිබේ. මහා ගත්කරු නමින් විරුදාවලි ලබන මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් අනතුරුව සාහිත්‍ය ලෝකයේ බොහෝ අහුමුලු පිරික්සමින්, වරෙක ඒවාට පෙර ගමන් පතමින් තවත් විටෙක ඒවා සදය උපහාසයට ලක්කරමින් සාහිත්‍ය ලෝකයේ පියවි සිහියෙන් සරන මෙකල්හි ජීවමාන සාහිත්‍යධරයන් අතර ප්‍රමුඛයකු වන්නේ ඩබ්ලියු. ඒ. අබේසිංහයන් ය. එතුමා අතින් සාහිත්‍යයේ සෑම අහුමුල්ලක් ම ස්පර්ශය ලබන්නේ තනි මිනිසකුට මෙතරම් වැඩ කන්දරාවක් කළ හැකි දැ යි අපට සැක සිතෙන තරමට බුහුටිවට ය. කිසිදු ගුරු කුලයකයට අයිති නොවන හෙතෙම, දේශ දේශාන්තර සාහිතය දෙස බලන්නේ ස්වාධීන දෘෂ්ටියකිනි.
සංසාරය සේම අක්මුල් නැතැයි ඔහු පවසන සාහිත්‍යයේ මිණි මුතු ද මතුකර දෙමින්, සාහිත්‍යයට අනුශාංගික අවශේෂ කාරණා ද අරභයා ඔහු පතළ කරන විග්‍රහාත්මක සංසන්දනය අදට වඩා සප්‍රයෝජනවත් වන්නේ හෙට ට ය. තමන්ට ම ආවේණික විචාර ක්‍රමවේදයකින් සිංහල සාහිත්‍යයත්, පොදුවේ විශ්ව සාහිත්‍යයේ ඇතැම් පැතිකඩත් අවලෝකනය කරන අබේසිංහයන්ගේ සාහිත්‍ය රචනා අතිශය නිර්මාණාත්මක ද, තුලනාත්මක ද, රසාත්මක ද වූයේ බොහෝ කරුණු කාරණා පිළිබඳ ව පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම අවධානය යොමු කරවමිනි. එ නිසාම අබේසිංහයන්ගේ නිර්මාණ කියවන කවරකු වුව ද මේ සාහිත්‍ය නමැති ගංගාවේ සිහිල් පැන් කෙතරම් මිහිරි ද යන්න අවබෝධ කරගත් වුන් ය.
ඔහු අදහන්නේ ඇසූ ගී මිහිරි බවත් නෑසූ ගී වඩාත් මිහිරි බවත් ය. එබැවින් අප ඔහුගේ ඇසූ ගීවලට වඩා නෑසූ ගී බොහොමයක් ඇති බවට සැකයක් නැත. ඩබ්ලියු. ඒ. අබේසිංහයන් තවමත් අපට මුළුමනින් ම නොකියවූ කවියකි. කොහොමටත් අබේසිංහයන්ගේ මුළු නිර්මාණ වපසරිය ම පීරා බැලුවකුට අවසන සිතෙන්නේ අබේසිංහයන් කියවා හමාර කළ නොහැකි බව යැයි ම සිත කියයි. වරෙක බුදු බණේ අහුමුලු පීරමින් පුරාතන සාහිත කෙතේ සැරිසරන ඔහු ඒ සැණින් විදෙස් සාහිත කෙතට එළැඹෙන්නේ සිතා ගත නොහැකි තරම් අවබෝධයකිනි. ඒ සියලු සාහිත ධාරා ඔහු අග වඩාත් සුඛනම්‍ය වන්නේ සිතාගත නොහැකි තරම් වේගයකිනි. එබැවින් ඔහු නමැති ගීය ද ඇසූ පමණට වඩා නොඇසූ ප්‍රමාණය වැඩි ය.
නන්විධ භූමිකා රැසක නිමග්න ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස සමාජයට කරන බලපෑම වඩාත් සාර්ථක, ජනහිතකාමී එකක් යැයි කීමට මැළි නොවෙමි. පුවත්පත් කලාවේදී ඔහු විප්ලවවාදියෙකි. ඔහුගේ ගද්‍ය රීතිය අනම්‍ය ය, ව්‍යක්ත ය, උපහාසාත්මක ය, සරු ය. කිව යුතු දේ කියන්නට ඔහු කිසි විටෙකත් මැළි වූයේ නැත. අඩවන් වූ දෙනෙතින් ගලනා ගීතය කරුණ රසයෙන් ආඪ්‍ය වන්නේ යම් සේ ද ඔහුගේ ගද්‍ය රීතිය ඊටත් වඩා පෝෂිත වන්නේ ය. ඔහු විසින් රචිත සමාජ, දේශපාලන, සාහිත්‍ය විචාර ග්‍රන්ථ රැසකි. පුවත්පත්වලට වරින්වර ලියන ලද විචාර එක්තැන් කොට කෘති කිහිපයක් ම ඔහු සංග්‍රහ කර ඇත්තේ ය. සාරගර්භ වූ, සර්වකාලීන වූ ඒ කෘති ලිපි සරණි ලෙසින් සංරක්ෂණය කිරීමේ වැදගත්කම තේරුම් ගැනීම ද ඔහුගේ විචාර බුද්ධියේ ම ප්‍රභාවක් යැයි සිතීම යුක්ති යුක්ත ය. අර්ථවත් ලිපි ලේඛන කෙසේ වෙතත් ලේඛකයන්ට පවා ගරු බුහුමන් නොකරන රටක ඒ කාර්යයත් ලේඛකයාට ම කරන්නට සිදුවීම එක්තරා අන්දමකට අභාග්‍යයකි. එහෙත් ඒ අනුන් සතු වගකීම් ගැන හෝ ඔවුන් ඒවා ඉටුකිරීම ගැන හෝ තඹ දොයිතුවක් තරම් නොසිතන අබේසිංහයන් කිසිදු පැකිළීමකින්, ගෙරවීමකින්, රැවුමකින් තොර ව තමා ම ඒ කාර්යය ඉටු කරන්නේ මඳ සිනාවක් ද සහිත ව ය.

1960 දශකයෙහි පටන් මෙතුවක් ඇත්ත, සිළුමිණ, ලංකාදීප, දිවයින, ලක්බිම හා රාවය පුවත්පත්වලට වරින්වර ලියන ලද ලිපිවලින් තෝරා ගත් ලිපි සාහිත්‍ය සංසාර චරිකා, සාහිත්‍ය සංසාර චාරිකා 2, සාහිත්‍ය සංසාර යාත්‍රා, සමාජය නිරුවත් කළ ගැහැනිය, සම්මත අසම්මත, ගේය පද ලීලා – සිංහල ගීතයේ සාහිත්‍ය සමාජ අර්ථ කථනය ඈ නන්විධ නම්වලින් ග්‍රන්ථ වශයෙන් පළ කොට ඇත්තේ ය. එතුමාගේ ගද්‍ය රීතියෙහි එන උපහාසය හා නිර්මාණශීලී පෙළ ගැස්ම අදට වඩා හෙට අරුත් ගොඩනඟන්නේ ය. එබැවින් අබේසිංහයන් ජීවත් වන්නේ අද නොව තවත් දශක කිහිපයකට පසු අනාගතයේ ය. ඔහු බොහෝ විට පාඨකයන්ට ඉඟි කරන්නේ ය. ඒ ඉඟි වියත් පාඨකයා වෙනුවෙන් ම ය.

අබේසිංහයන්ගේ පෑනට දේශපාලනය අසාත්මික වූයේ නැත. ඔහු පවතින දේශපාලනයේ අඩුලුහුඬුකම් තියුණු ලෙස මතු කළේ සාහිත්‍ය නිර්මාණවල දවටා ය. පැරැණි අලංකාරිකයෝ කීවේ ලේඛකයා පූර්ණත්වයට පත්වන්නේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති, සතතාභ්‍යාසය යන ත්‍රිවිධ අංගයන්ගේ සුසංයෝගයෙන් බව ය. මේ තුන ම පදමට අබේසිංහන්ට පිහිටා ඇතැයි සිතෙන්නේ ඔහුගේ ලේඛන පරිශීලනය කරන විට ය. ඒවා සරල ය; ඒ සරල බව යට ඇති ගැඹුර මිණිය නොහැකි තරම් ය. පාරිභාෂික වදන් බහුල ව යොදා ගැඹුරින් ලිවීම අපහසු නොවන බවත්, ගැඹුරු දේ සරල ව ලිවීම අපහසු බවත් ලේඛකයෝ දනිති. ගැඹුරෙහි පැණි රස ගල්වන්නට හැම ලේඛකයකුට ම නොහැකිය. අබේසිංහයෝ ඊට මනා සුරුවකු ම වෙති.

සාහිත්‍ය සංසාර යාත්‍රා අබේසිංහයන්ගේ මනස විදාරණය කරන්නකැයි මට සිතේ. වරෙක විදෙස් සාහිත්‍යයේ කිමිදෙන ඔහු ඒ සැණින් විමලරත්න කුමාරගම සොයා යන්නේ මේ දෙක පෑහෙන්නේ කෙසේදැයි අපට සිතා ගැනීමටත් නොහැකි තරම් සුළු කාලයකිනි. සාහිත්‍ය ඔස්සේ ම දේශපාලනය, ආර්ථිකය විමසන ඔහු සැණෙකින් කවිවල අරුත් සොයන්නට වෙයි. අපට නම් මේ එකිනෙකට වෙනස් දෑ දකින විට මතක් වන්නේ මෙවැන්නකි.

යා දෙක නොරත රත සමඟ පෑහීමක් නැත… කියා ය.

එහෙත් ඒ යා දෙක නොරත රත ගළපන ආකාරය විස්මයජනක ය. ඒ සුරු බව පිළිබඳ ව ඔහු ම පෙරවදනෙහිලා මෙසේ සටහන් කරයි.

“සාහිත්‍ය – සංසාර” යන යෙදුම ආයාසයකින් පුරුද්දා ගත් යෙදුමකැයි ඇතැම් විට ඔබ සිතනු විය හැකිය. එහෙත් එය මගේ සිතට ගලා ආවේ නිතැතින් මෙනි. නිතැතින් සිතට ආ ඒ යෙදුම, ලොකු අරුතක් ඇති එකකැයි සිතෙන්නේ දැන් ය.
ඇත්තටම සාහිත්‍ය වූ කලී සංසාරය ම වෙයි. ඒ, ඒ තරමට ම විශාල නිසා ය; ඒ තරමට ම අගක්, මුලක් පරක් තෙරක් නැති නිසා ය; ඒ තරමට ම වටහා ගන්නට අපහසු නිසා ය.

එහෙත් ඊට ද වැඩි කාරණයක් ඇත්තේ ය. බොහෝ සාහිත්‍ය පොතපත කියැවීමෙන් පසුවද, බොහෝ දේවල් ගැන ලිවීමෙන් පසුව ද දැනෙන්නේ පසක් වන්නේ අපගේ ම අල්ප බව ය. කියවා ගන්නට කොතරම් නම් දේවල් ඉතිරි ව තිබේ ද? ලියා ඇති දේ මොනතරම් අල්ප ද? හරියට සංසාරය වගේ ම ය. සංසාරයේ අපි මේ ගෙවන මොහොත, මොනතරම් ස්වල්ප ද? එහි මුලත්, අගත් ඒ දෙක ම තිබේ නම් මොනතරම් අනන්ත ද?“

අබේසිංහයන් සාහිත්‍ය යන්න හකුළුවා අපට ඉදිරිපත් කරන්නේ එහි පරතෙර පිළිබඳ ව නොසෙවිය යුතු ය යන ඉඟිය දෙමිනි. මේවා විටමින් වැනි වැකි ය. ඒවා අපේ ජීවිතයට විවිධ මාන ඉදිරිපත් කරන්නේ ය. මේ වැකි ඔබට ය; මට ය; අප සැමට ම ය. පෙර කීවා සේ මේවා විටමින් වැනි වැකි ය. උපහාසයේ දවටා දෙන වගකීමේ කතා ය. නැවත හැරී බලන්නට දෙන ඔවදන් ය. කෙසේ කීවත් මෙවැනි ලේඛනයකට අටුවා ටීකා කිවිය නොහැකි ය. එතරම් ම සරල ය; එතරම් ම ගැඹුරු ය.
අබේසිංහයන්ට දේශපාලනය අරුම දෙයක් නොවේ. වාමවාදියකු වී මාක්ස්වාදය හදාරා කාල් මාක්ස් කියවා ගත්තකු වන ඔහු මාක්ස්වාදියකු ලෙසින් අපට පෙනී යන්නේ නැත. ‘විවාදාපන්න ලිපි’ කෘතියේ ඔහු සටහන් කරන්නේ ලෝකයේ හොඳ ම කවියා බුදුන් වහන්සේ ය කියා ය. ඒ කියැවීමට අනුව ඔහුට දේශපාලනඥයකු විය නොහැකි ය. මාක්ස් හැදෑරුවත් මාක්ස්වාදියකු වීම ගැන නම් කෙසේවත් සිතිය නොහැකිය. එසේ වූවා නම් ඔහුට “ධම්මපද ගීතය” ලිවිය නොහැකි ය. එතරම් හැදෑරු, කලෙක නිමග්න වූ දේශපාලනය ගැන ඔහු “යුගයෙන් යුගයට – සාහිත්‍ය සමාජ විමර්ශන” කෘතියෙන් මෙසේ පවසයි.
“දේශපාලනය අරුම පුදුම සෙල්ලමකි. ඕනෑම කෙනකු සමඟ බුදියගෙන, ඕනෑම කෙනකු සමඟ ඇහැරෙන්නට පුළුවන් දේශපාලනයේදී පමණි. ඉංගිරිසියෙහි කියැවෙන පරිදි Strange bed Fellows හෙවත් එකට නිදිවදින යහළුවන් සිටින්නේ දේශපාලනයේ පමණි.

එයට හේතුවක් ඇත. දේශපාලනයෙහි සදාකාලික මිතුරන් ද සදාකාලික සතුරන් ද ඇත්තේ නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි. බලය වස නපුරු දෙයකි. හොඳ සිහිකල්පනාව ඇති මිනිසුන්ගේ මෙන්ම ගැහැනුන්ගේ ද සිහිය විකල් වන්නේ බලයට පැමිණි විට ය. මන්ද යත් බලය ඉතාමත් ම රසවත් වන නිසා ය. එහෙයින් බලයේ සැමදාම සිටිය යුතුය. මැරෙන තුරුම සිටිය යුතුය”
දේශපාලනය පිළිබඳ ව හටගත් කලකිරීම, හාස්‍ය මුසු අනම්‍ය බස් වහරේ දවටා ඔහු ඉදිරිපත් කළේ කිසිදු බිය සැකකින් තොර ව ය.
බොහෝ ලේඛකයන්ගේ පෑන් තුඩු අගට කතා කළ හැකි නම් ඒ පෑන් තුඩු හඬගා කියනු ඇත්තේ මේ තම තුඩෙන් ලියැවෙන වදන් ඒවා ලියන පුද්ගලයාගේ හදවතේ තිබෙන දේ නොවනා බව ය. අබේසිංහයන් ඒ මතු කරන සත්‍යය කෙතරම් අදීන බවකින් යුතුව ඉදිරිපත් කළා ද යන්නට අටුවා ටීකා ලිවිය යුතු නැත. ඔහුගේ ලේඛන පුරාවට බොරු මායම් වෙනුවට විදුහුරු, සුදුහුරු බවක් ඉදිරිගාමී චින්තනයක් පැහැදිලිව විද්‍යමාන වෙයි. එබැවින් ඔහු අයත් වන්නේ ලෝකය වෙනස් කිරීමට දායක වූ මහා ගත්කරුවන්ගේ ගණයට ය. ජීවිත පරිඥානය ඇතිකරන දාර්ශනික චින්තාවක ගුණ සුවඳ විහිදුවන ලේඛක පරපුරට ය. කොටින් ම ජීවිතය ලැබීමේ භාග්‍යයට පෙරළා කෘතගුණ දැක්වූ නව චින්තන පරම්පරාවට ය.

පෙර’පර දෙදිග සම්භාව්‍ය හා නූතන සාහිත්‍ය පිළිබඳ පැතුරුණු දැනුමත්, බල ඇත්තන්ට වඩා ඒ බලය නිසා පීඩාවට පත්වන හුදී ජනයාගේ හදවතත් සමඟ ගැටී සැනහුණු සිතත් ඔහුගේ ලේඛන දිවිය ගුණවත්, නැණවත් හා පොහොසත් කරන්නට බලපෑ මූලික ගුණාංග බැව් නියත ය. ඔහුගේ ලේඛන කියවන විට නූතන ජාතක කතා කියවන විටෙක මෙන් අපට අප ව පෙනෙන්නට පටන් ගනී.

එතරම් විදුහුරු ලේඛනයක් ගොඩනඟා ගන්නට ඔහු කියැවූ දස දහස් ගණනක පොතපත ප්‍රදීපාලෝකය දල්වන්නට ඇත.
මාර්ටින් වික්‍රමසිංහයන් සහ අබේසිංහයන් අතර තිබූ දීර්ඝ මානුෂීය හා ප්‍රඥාමය සබැඳියාව මෙරට ශාස්ත්‍රාභිලාෂීන්ට මහඟු උන්නතිකාමයක් සැපයූ බැව් පෙනේ. ‘මහගත්කරු වත’ කාණ්ඩ තුනක් යටතේ පළ කිරීමට හේ ගත් ප්‍රයත්නය අතිශය සාර්ථක කෘතියක් ව වික්‍රමසිංහ අපදානය මතු නොව මෙරට දශක 7ක සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික වෘත්තාන්තය ද විෂද කරන බැව් නොරහසකි.

අබේසිංහයන්ගේ සාහිත්‍ය චාරිකාව හුදෙක් මෙරට සාහිත්‍ය ප්‍රබෝධය උදෙසා ම පමණක් දියත් වූ බැව් මෙහිදී අවධාරණයෙන් ම සටහන් කරන්නෙමි. එයට හේතුව සාහිත්‍යයේ නියම අරුත කවරාකාර ද ඒ අරුත වචනයෙහි පරිසමාප්තාකාරයෙන් ම ඉටු කරන්නට එතුමා ගත් වෙහෙස ලේඛන ඔස්සේ විදුලි දහරා සේ ලාංකේය සාහිත කෙත අස්වද්දන බැවිනි. එබැවින් මම ඔබට මෙවැනි ආරාධනයක් කරන්නෙමි.

“අබේසිංහයන්ගේ ‘සාහිත්‍ය සංසාර යාත්‍රා’ ඇතුළු විමර්ශන විචාර කෘති අතට ගනු මැනවි. එසඳ ඒ අපූර්ව සාහිත්‍යධරයා ඔබේ අත අල්ලාගෙන සාහිත්‍ය මතු නොව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ගමනකට ඔබ කැඳවාගෙන යනු ඇත්තේ ය. සියුම් ව එහෙත් තියුණු ව මුනිදාස කුමාරතුංගයන්ගේ පටන් රවීන්ද්‍රනාත් තාගෝර්, වෝල්ටෙයාර්, මහත්මා ගාන්ධි, සමර්සෙට් මෝම්, තෝල්ස්තෝයි, දොස්තයෙව්ස්කි පසු කරගෙන ගිසෙප්, ටොමෙසි, ඩී. ලැම්පෙඩූසාගේ නිර්මාණ ද පෙන්වා කව්සිළුමිණ, උමංදාව ඔස්සේ විමලරත්න කුමාරගම ද නූතන පරපුරේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ද කියවා ගන්නට, නිර්මාණ විමර්ශනය කරන්නට ඔබට පාර කියනු ඇත. කාලයෙන් ද අවකාශයෙන් ද වැඩී ඇති නිර්මාණ දොරටු විවර කර අනන්ත අප්‍රමාණ සාහිත කෙත අස්වද්දන්ට අවැසි මූලාශ්‍රය පෙන්වනු ඇත. සාහිත්‍ය නිර්මාණයන්හි නිදන්ගත ව ඇති උතුම් මිනිස් ගුණය ද, එයින් විහිදෙන අප්‍රමාණ සුන්දරත්වය ද ඔබට විඳ ගන්නට ඉඩ දී අනතුරුව ඒ නිර්මාණයන්හි සමාජ දේශපාලන විවරණය ඔබට පහදා දෙනු ඇත.”

එබැවින් ඩබ්ලියු. ඒ. අබේසිංහ යනු හුදු නිර්මාණකරුවකු පමණක් නොව අප දුටු දේට වඩා නොදුටු දේ බහුල, ඇසූ දේට වඩා නොඇසූ දේ බහුල සාහිත්‍ය සංසාර යාත්‍රාවක් ම බැව් ඉඳුරා ම පවසන්නෙමි.
ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් වෙනුවෙන් සංවිධානය කරන ලද මේ උලෙළේ සංවිධායක කමිටුව වෙන සිරිසේන විතානගේ, මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ සහ තුෂාර හෙට්ටිආරච්චි යන විද්වතුන්ට මේ සිදුකරන සද්කාර්යය වෙනුවෙන් ගෞරවනීය ආචාරය පුදන්නෙමු.

සුමුදු චතුරාණී ජයවර්ධන

ශ්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් ජය රවිදු ලක්සිරි හා පකිස්ථාන් පැතොම් ඉසඩින් ට

0

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය 2022 නොවැම්බර් මස 05 වන දින සිට 12 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්විණි .

ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ඉසව්වක් වන මෙම ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය සදහා දේශිය මෙන්ම විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකු පමණ සහභාගි විය.

මෙම තරඟාවලිය වයස අවුරුදු 13න් පහළ, අවුරුදු 15න් පහළ, අවුරුදු 17න් පහළ සහ අවුරුදු 19න් පහළ යන වයස් කාණ්ඩ යටතේ ද පිරිමි සහ කාන්තා විවෘත, පිරිමි සහ කාන්තා ආධුනික අවුරුදු 35න් පහළ, අවුරුදු 40න් පහළ, අවුරුදු 45න් පහළ, සහ අවුරුදු 50න් ඉහළ යන කාණ්ඩ යටතේද තරග ඉසව් පැවැත්විණි.

එහිදී විවෘත ස්කොෂ් පිරිමි සහ කාන්තා අවසන් තරගය සදහා පිරිමි අංශයෙන් පකිස්ථාන ගූවන් හමුදාව නියෝජනය කරමින් ෆර්හාන් සමන් (Farhan Zaman ) හා ශ්‍රී ලංකා ක්‍රීඩක රවිදු ලක්සිරි තරග වැදුණු අතර එහිදි රවිඳු වට 3 ට 2ක් ලෙස ඔහු ජයග්‍රහනය කළේය.

එමෙන්ම කාන්තා අංශයේ අවසන් තරගය පැතොම් ඉසඩින් (Fathoum Issadeen) හා යෙහානි කුරුප්පු (Yeheni Kuruppu) අතර පැවති අතර එහිදි වට 3 ට 2ක් ලෙස පැතොම් ඉසඩින් (Fathoum Issadeen) ජය ගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ස්කොෂ් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් පුජන ගුණතිලක, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිල‍යේ ලේකම් සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ උප සභාපති මෙන්ම ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ තරග සංවිධාන කමිටුවේ සභාපති ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයයේ ලේකම් එරංග අල්විස්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ක්‍රීඩා ලෝලින් විශාල පිරිසක් ද සහභාගි විය.

ෆර්හාන් සමන් (Farhan Zaman )
රවිදු ලක්සිරි (Ravindu Laksiri)
යෙහානි කුරුප්පු (Yeheni Kuruppu)
පැතොම් ඉසඩින් (Fathoum Issadeen)

උප්පැන්නය – හැඳුනුම්පත – පාස්පෝට් සියල්ල ව්‍යාජයි : ඒක ජනාධිපතිතුමාට ප්‍රශ්නයක් නෙමෙයි – ඇමති ඩයනා ගමගේ

0

සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් නීතිවිරෝධී ලෙස මෙරට ආගමන විගමන බලපත්‍රයක් (Passport)ලබාගෙන ඇති බවට අධිකරණයට තොරතුරු ඉදිරිපත් විය.

ආගමන විගමන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) මෙම තොරතුරු දැනුම් දුන් අතර, ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව ද එම නිලධාරීන් පෙන්වා දුන්නේය.

2014 න් අවසන්

එම නිලධාරීන් දෙපාර්තමේන්තු ලිපිලේඛන උපුටා දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ 2014 වසරේදී ඇමතිවරියගේ ශ්‍රී ලංකා ආගමන විගමන බලපත්‍රය අවසන් වී ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපින ලේඛන අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර හේවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකි.

ද්විත්ව නෙමෙයි !

ඒ අනුව ඇය ද්විත්ව පුරවැසිභාවය උසුලන්නියක් නොව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත, නීතිවිරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමිකාරිනියක බව ද ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් අධිකරණයට පෙන්වා දුන්නේය.

නඩුව ඉදිරියට

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අදාළ කරුණු අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ මේ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමටයි.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු හැකි ඉක්මනින් විශ්ලේෂණය කර මෙම අධිකරණ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙහිදී නියෝග කළේය.

ඩයනාගේ පිළිතුර !

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන් thetime.lk ඇයගෙන් විමසීමක් කළේය.

  • මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ පාර්ශ්වයේ අදහස විමසීම අපේ වගකීමක්. මොකක්ද කියන්න තියෙන්නෙ …?

“මට කරන චෝදනා ඒගොල්ලො අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න ඕනෙ. එතෙක් මං ඕක ගැන කමෙන්ට් නොකර ඉන්නයි තීරණය කරලා තියෙන්නෙ.”

  • ඒත් ජනතාවට වගකියන ඇමති ධුරයක් දරන කෙනෙකුට, මේ වගේ බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් නිහඬ ව ඉන්න පුළුවන් ද ?

අධිකරණයේ කටයුතු දෙස බලාගෙන ඉන්නවා. ඒ වගේම ඊට පස්සෙ තමයි වැඩ තියෙන්නෙ. අපහාස නඩු ආදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනෙ ඊටපස්සෙ.

  • මේ වගේ චෝදනාවක් එල්ල වෙලා තියෙන අවස්ථාවක, තවදුරටත් ඔබ ඇමති ධුරයේ කටයුතු කිරීම සාධාරණ ද ?

ප්‍රශ්නයක් නෑ. මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. ජනාධිපතිතුමාට හෝ ඇමති මණ්ඩලයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හින්දා මම මගේ වැඩ කරගෙන යනවා.

අයවැය දිනන්න මහවැලි ඉඩම් බෙදිල්ල නවතයි : රනිල්ගෙන් අලුත් සැලැස්මක් !

0

මහවැලි අධිකාරිය යටතේ ඇති ඉඩම් බෙදීම වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල් වෙත ලිඛිත ව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පාලනය වන්නේ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ය. PS/CSA/00/08/මහවැලි(පොදු) අංක දරන ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මෙම ලිපිය නිකුත් කරන බවයි. 

මෙම ලිපිය මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද පිටපත් සහිතව යොමු කර ඇත.

‘කියන විදිහට වැඩ කරනවා’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම පැවසුවේ මෙතෙක් තමන්ට එම ලිපිය නොලැබුණු බවයි. ලිපිය ලැබුණු විගස ඒ අනුව කටයුතු කිරීමට බැඳීසිටින බව ද ඔහු සඳහන් කළේය.

මහවැලි විෂය බාර රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ නිර්දේශ මත මේ වන විට ජනතාවට ලබාදීමට සූදානම් කර ඇති ඉඩම්වලට මෙය බලපාන්නේ කෙසේද යනුවෙන් විමසීමේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි බවයි.

අක්‍රමිකතා රැසක් වළක්වයි ?

මහවැලි අධිකාරිය පිළිබඳ පනත මගින් එම විෂය බාර ඇමතිවරයාට රජයේ ඉඩම් බෙදීම පිළිබඳ අභිමත බලයක් ලබාදී තිබේ. මේ හේතුව නිසා අදාළ ඉඩම් බෙදීමේදී බරපතළ අක්‍රමිකතා සිදුවන බවටත්, මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය සඳහා මෙම බලය යොදාගැනීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය කෙරෙන බවටත් චෝදනා එල්ල වේ.

ඇමතිගෙන් ප්‍රතිචාර නෑ

මේ පිළිබඳව විමසීමට මහවැලි විෂය බාර රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ සම්බන්ධ කර ගැනීමට thetime.lk දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු රැස්වීම්වල සිටින බව දුරකතනයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා දිගටම පැවසීම නිසා ය.

‘මරාගෙන මැරෙන ප්‍රශ්නයක්’

ලංකාවේ රක්ෂිත නොවන රජයේ ඉඩම්වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතේ පවතී. මෙම ඉඩම් බෙදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ බරපතළ ගැටුම් මතු වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් ඇමතිවරුන් සකස් කළ ඉඩම්ලාභී නම් ලැයිස්තු අනුමත නොකිරීම පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම් ද සිදු විය.

හිටපු ඇමති විමලවීර දිසානායක මීට පෙර පවසා තිබුණේ තමන්ගේ පාක්ෂිකයන්ට මහවැලි ඉඩම් ලබානොදෙන්නේ නම්, මරාගෙන මැරෙන බවයි. ඔහු එසේ පවසා තිබුණේ ප්‍රසිද්ධ රැස්වීමකදී ය. 

113 අභියෝගයක් !

මෙම ජනාධිපති ලේකම් ලිපිය සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් විමලවීර දිසානායක පැවසුවේ අදාළ ගැටළු මෙතෙක් විසඳී නැති බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කළේය. අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුවට 113 පිළිබඳ අභියෝගයක් මතුවිය හැකි බවත්, එම නිසා එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ අමනාප කරගැනීම ආණ්ඩුවට අවාසිදායක විය හැකි බවත් වැඩිදුරටත් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේය.

තීරණාත්මක සාකච්ඡා දෙකක්

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහවැලි අධිකාරිය සතු ඉඩම් බෙදීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පසුගිය සති දෙක තුළ පැවති බවයි. එයින් එක් සාකච්ඡා වටයක් පවත්වා ඇත්තේ ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨයන් අතර ය. එහිදී විමලවීර දිසානායක පවසන ආකාරයේ අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත. 

මන්ත්‍රී කෝටාවක්

එම සාකච්ඡාවලදී ගෙන ඇති එක් තීරණයක් වන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ හෝ ඇමතිවරයාගේ ජනප්‍රියත්වය සසඳමින් ප්‍රතිශතයක් ලෙස ඔහුට හෝ ඇයට හෝ ඉඩම් කෝටාවක් ලබාදීමටයි.

අනෙක් සැලැස්ම කුමක්ද ?

මෙහි අනෙක් සාකච්ඡා වටය පවත්වා ඇත්තේ ආයෝජකයන් සමග ය. මෙම සාකච්ඡා සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් වජිර අබේවර්ධන හිටපු ඇමතිවරයා සහභාගි වී තිබේ. එහිදී අවධාරණය වී ඇත්තේ ජනතාවට ඉඩම් ලබාදීමට වඩා, මේ මොහොතේ ව්‍යාපාරිකයන්ට මහවැලි ඉඩම් ලබාදීම වැදගත් බවයි. 

අලුත් ම අයවැය යෝජනාව 

මෙම සාකච්ඡාවලට ම අදාළ කරුණක් ලෙස අයවැය යෝජනා අතරට මහවැලි අධිකාරිය සතු ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරයා යටතට පත්කිරීමේ යෝජනාව ද ඇතුළත් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ මහවැලි අධිකාරිය සතු ඉඩම් ලබාගැනීමේදී පරිසර අනුමැතිය, භෞතික සැලසුම් අනුමැතිය, භූවිද්‍යා අනුමැතිය ඇතුළු විධිමත් ක්‍රමවේද රැසක් අනුගමනය කළ යුතු බව නෛතික ක්‍රමවේදයේ ම සඳහන් වීමයි.

ප්‍රාදේශීය ලේකම් යටතට මෙම ඉඩම් බලතල පවරා, අදාළ අනුමැතීන්ගෙන් තොරව කඩිනමින් රජයේ ඉඩම් තමන්ට අවශ්‍ය පාර්ශ්වවලට පැවරීම මෙහි අරමුණ වී තිබේ.

ගෝඨාභය ගිය පාර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 1/2020 චක්‍රලේඛය මගින් ද සිදු කරන ලද්දේ මීට සමාන ක්‍රියාවකි. ඒ, රජයේ අවශේෂ වනාන්තර ඉඩම් ව්‍යාපෘති සඳහා පැවරීමේදී වනසංරක්ෂණ, වනජීවී, භූවිද්‍යා, පරිසර ඇතුළු ආයතන පහකින් අනුමැතිය ලබාගැනීමේ ක්‍රමය අත්හිටුවීමයි.

මෙම තීරණයත් සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ ඉඩම් අක්කර ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් වසර එකහමාරක් තුළ දී විනාශ කෙරිණි. අම්පාර, මහඔය පිහිටි ගල්වලයාය රජයේ වනාන්තරය එහිදී සම්පූර්ණයෙන්ම විනාශ කෙරුණු ජෛව විවිධත්වයෙන් පොහොසත්ව පැවති භූමියකි. මෙම චක්‍රලේඛය වහාම සංශෝධනය කරන ලෙස පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදුන්නේය.

වඩා වැදගත් කුමක්ද ?

මේ සම්බන්ධයෙන් thetime.lk වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු පැවසුවේ මේ මොහොතේ වැදගත් ම කාර්‍යය වන්නේ රට තුළ ආදායම් උත්පාදනයත්, විදේශ මුදල් ගෙනඒමත් බවයි. 

එහෙම පුළුවන් ද?

එහෙත් මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයෙකුගෙන් මේ පිළිබඳව thetime.lk විමසීමේදී ඔහු පැවසුවේ සියලු මහා පරිමාණ ව්‍යාපෘති පරිසර තක්සේරු වාර්තා ලබාගැනීම අනිවාර්ය බවත්, ඉඩම් බලතල මාරුකිරීම මගින් පරිසර නීතිවලට බලපෑම් කළ නොහැකි බවත් ය.

එක ගලෙන් කුරුල්ලො රැසක් !

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ මහවැලි ඉඩම් බෙදීමට අදාළ ජනාධිපති ලේකම්වරයාගේ මෙම ලිපිය මගින් අරමුණු කිහිපයක් ඉටුකර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවයි. එහි කෙටි කාලීන අරමුණ ලෙස පෙනීයන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර ඇති වී තිබෙන අමනාපකම් තාවකාලිකව සමනය කිරීමයි. 

“භූමි ඒ චරිතයට තෝරාගැනීමම අභීට හා කස්සාට අභියෝගයක් වෙන්න ඇති”

0

අභී කියන්නේ වෙනස් ජීවන දැක්මක් තියෙන ශිල්පිනියක්. ඇය ඇගේ අදහස් පළකරන්න බය නෑ. ඇත්තම කිව්වොත් ඇය ගේයක්කාරිනියක්. මෑත කාලය තුල ඇය නිර්මාණය ගීත එකාකාරී රටාවෙන් මිදී ඇය කල ගී නිර්මාණයන් ලෙසයි මම දකින්නේ.

මේ ඇගේ අලුත්ම නිර්මාණය. මේක හිත කීරිගස්සන නිර්මාණයක්. ප්‍රේමය නම් කිමැයි කියා අපට හරියටම නිර්වචනයක් හොයා ගන්න තවමත් බෑ. ප්‍රේමය බිඳවැටීමෙන් පසුව ප්‍රේමවන්තයින්ගේ සිත් මනස වැඩ කරන ආකාරය ගැන කාටවත් පරිකල්පනය කරන්න බෑ.

මේ ගීතයට අදාල සංගීත වීඩියෝවත් අපූරු නිර්මාණයක්. අදියුරු කස්සාට මගේ ආදරය. ඒ වගේම එහි මුඛ්‍ය චරිත සඳහා අභී සහ කස්සා තෝරාගත් අශාන් ඩයස් හා භූමි හරේන්ද්‍ර යන දෙදෙනා .. ඔවුන් දෙදෙනාම ඒ අභියෝගය ජයගන්නවා. භූමි ඒ චරිතයට තෝරාගැනීමම අභීට හා කස්සාට අභියෝගයක් වෙන්න ඇති. ඒ අභියෝගයක් බිය නැතිව ගැනීම ගැන මගේ ගෞරවය ඔවුන් දෙදෙනාට.

ගීතය අවසානයේ අභී ම පවසන මේ වදන් ටික බලන්න. එයම ඇති ප්‍රේමය නිර්වචනය කරගන්න නව කවුළුවක් විවෘත කර ගන්න.

“මිනිස්සු ආදරය කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලයේම එකම එක වතාවක් විතරයි. මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්.ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා. “
ගීතය පහත සබැඳියෙන් රස විඳින්න

කපිල එම්. ගමගේ