මිනිස් සබඳතාවන්හි ඉසියුම්ම තැන් කොනහන ‘මල් සුවඳැති හිසරදයක්’

Share post:

ජීවිතේ, ජීවිතේ ලෙසින්ම තියෙද්දි අපට ඒක පේන්නෙ නෑ. ජීවිතේ හරියටම දකින්න නම් අපිට ඒක වෙනත් ආකාරයක් බවට පත් කරන්න සිද්ධ වෙනව. මේ වෙනත් ආකරය තියෙන්නෙ කලාව ඇතුළෙ. ජීවිතය ඇතුළෙ ඉද්දි අපට බලන්න බැරි ජීවිතය කලාකෘතියක් ඉදිරිපිටදි අපට පේනව. කලාවට තියන ජීවිතයේ ඉසියුම්තා පෙන්වීමේ විභවය කෙතරම් ප්‍රබලද කියල අපට නිතරම පසක් කරන කවියෙක් තමයි වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි. හරියටම කිව්වොත් අපට ඉන්න ජීවිතයේ චූල ආඛ්‍යාන හොඳින්ම අල්ලගන්න පුළුවන් කවීන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න කවියෙක් ඔහු. ඔහුගෙ අලුත්ම කවි එකතුව වන මල් සුවඳැති හිසරදයක් කෘතිය ඒ විදිහේ අන්වීක්ෂීය කවි මගක (අදහස් ඡායාව: නඳුන් යසිතගෙනි)සරන කවි සමුච්ඡයක්.

කාලයත් එක්ක මිනිස්සු ජීවිතයට හුරු වෙනව; දේවල්වලට හුරු වෙනව. මේ හුරු වීමේ ඊළඟ තාර්කික නරක ප්‍රතිඵලය තමයි මිනිසුන්ට ජීවිතයේ විස්මය අහිමි වීම. පාවුලෝ කොයියො වගේ කෙනෙක් මේක මීට වඩා ලස්සනට ‘පියෙද්‍රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි’ වගේ පොතක කියල තියනව. අපට හොඳටම හුරු වුණු පාරක යද්දිත් අර නුහුරු යුගයට යන්න, ඒ නුහුරු බවේ සෞන්දර්ය විඳගන්න සිතීමේ මිනිස් චෛතසිකයට යෙදුණු වසන්තගේ කවි ගමනයි මේ.

සෑහෙන පමණ
හොඳින් හඳුනන නගරය
උවමනාවෙන් අතුරුදන් වෙමි
ඇතැම් දවසක
නොදත් සේ විමසමි කෙනෙකුගෙන්
කොතැන වෙද අපගේ රැඟුම්හල
ගොසින් සුපුරුදු බොජුන් හල
අසා හිඳිනෙමි මහත් රුචියෙන්
සුරත පා, මග ලකුණු පැවසුම

(උවමනාවෙන් අතුරුදන් වෙමි)

ජීවිතයෙ ඇතුළෙ තියන ක්‍රියාවලිමය ස්වභාවය යම් සාක්ශාත්කරණයකට පස්සෙ ජීවිතය ගල්ගැහෙනව වගේ තත්ත්වයක් බවට පත් වෙනව. ඒ හාම අර ක්‍රියාවලිමය සෞන්දර්යයත් නිමා වෙනව. එතනින් එහාට ඒ ක්‍රියාවලියට නොස්ටැල්ජිකව බැඳෙනව. අලුත් ක්‍රියාවලියක් වෙත ගියත් වෙන්නෙ ඕක. විඳීම තියෙන්නෙ ක්‍රියාවලිය තුළමයි. හැබැයි ඒක ඇතුළෙ දි විඳීම පේන්නෙ නෑ. ක්‍රියාවලිය නිමා වූ පසුව නැවත ඒ වෙත යාගත නොහැකි බවේ ආතතිය අපිව පාරනව. අපට උවමනාවෙන්ම අතරමං වෙන්න සිදුවෙන්නෙ මේ නිසයි.

මල් කියන්නෙ නෛසර්ගිකවම සෞන්දර්ය වස්තුවක් බව තමයි සාමාන්‍යකරණය වී ඇති පොදු අදහස. හැබැයි ඒක එහෙමමද? මල්, මල් සුවඳ හැම වෙලාවෙම හැම කෙනෙකුම අරභයා ඇති කරන්නෙ සෞන්දර්ය වේදිතයක්මද? මල් සුවඳැති හිසරදයක් කවියෙදි හෙට්ටිආරච්චි ප්‍රශ්න කරන්නෙ මේ අධිපති සාමාන්‍යකරණය නෙමේද?

දිදුලනා නෙත් අතර සිදුවන
සොඳුරුතම වන කතාබහකට
සැදී සපැමිණි මුල්ම දා අපි
බොජුන් හල් මේසය සුවඳ කළ
රෝස ගොමුවම උගුලනා ලෙස
දැඩි හඬ්න් අණ කෙරූයේ ඔහු

( මල් සුවඳැති හිසරදයක් )

මේ කවියේ එන පෙම්වතාට මල් පිළිබඳ ඇත්තේ වෙනත්ම අත්දැකීමක්. ඔහු තුළ මල් විසින් ජනිත කරනු ලබන්නේ අඳුරු හැඟීම්ක්. එහෙත් අධිපති මල් ලෝකය තුළ ඒ අඳුරු වේදනාවේ ගිලෙමින් ඉන්නට ඔහුට සිදුවෙනව. අපට ස්වාභාවික යැයි හැඟෙන දේවල්වලට එපිටින් ඒවායේ වෙනත් ආකාරයන් පිළිබඳ සාකච්ඡාවකට මේ කවිය අපට ආරාධනා කරනව.
සේරිවාණිජ වස්තුව කවියෙදි කවියා අපට සම්මුඛ කරන්නෙ පවුල නම් ව්‍යුහය ඇතුළෙ නොසපිරුණු ජීවිත ලාලසාව ඉන් පිටතදි සාක්ශාත් කරගන්නා ගැහැනියක්. ඇය අභ්‍යන්තරයෙන් මේ ව්‍යුහය බින්දට ඇයට ව්‍යුහයේ බාහිර සැකැස්ම නඩත්තු කරන්නට සිදු වෙනව. කොටින්ම කීවොත් දෙබිඩි ජීවිතයක් ඇයට ගත කරන්න සිදු වෙනව.
හිමි සේරිවාණිජය
එය නිසා ළය පැළී
මියෙන්නට ඉඩ නොදෙමි
දැලි බැඳුණ දෑ අතර
තිබෙන බැව් රන් තලිය
හැඟෙන සේ දිවි ගෙවමි

(සේරිවාණිජ වස්තුව )

දැන් ඇය සතුව පැරණි රන් තලිය නෑ. ඒත් එය ඇති ලෙසින් ඉන්නට ඇයට සිදුවෙනව. නොපවතින දෙයක් පවතින සේ ගෙන හිදීමේ ආතතික පැවැත්ම දරා හිඳින්නට ව්‍යුහයන් බිඳීමට එඩිතර වන ගැහැනියට පවා සිදුවෙන හැටි හෙට්ටිආරච්චිගේ කවිය අප ඉදිරියට පමුණුවනවා.

මල් සුවඳැති හිසරදයක් කවි කලඹ කියන්නෙ අධිපති ව්‍යුහ විසින් ජීවිත විඩාබර කරල තියෙන ආකාරය දැකගන්න පුළුවන් හොඳම ආකාරයක් කිව්වොත් ඒක අසාධාරණ නෑ. ඉහත දැක්වුවෙ උදාහරණ ටිකක් විතරයි. වෙනත් තේමාත්මක මානයන් ස්පර්ශ කරන කවිත් මෙහි නැතුවා නෙමෙයි. ඒත් කවි පොත පුරාම ඉතාම ප්‍රභල විදිහට ඉහත මානය කවියා මතුකරනව.
ජීවිතය ඇතුළෙ අපට මගහැරෙන දේ අල්ලන එක කවියන්ට පැවරෙන නිල නොලත් වගකීමක්. මං හිතන්නෙ වසන්‍ත ප්‍රදීප් හෙට්ටිආරච්චි ඒ වගකීමට කාව්‍යාත්මක සාධාරණය ඉටු කරනව…

ලහිරු කරුණාරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...