අද (නොවැම්බර් 16) පස්වරු 2. 00ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ ශාස්ත්‍රීය සේවාව අගයනු වස් සාහිත්‍ය සේවා අභිනන්දන උලෙළක් සංවිධානය කර තිබේ. මෙහිදී මුලසුන දරනු ලබන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ වන අතර, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවාණන් විසින් මුඛ්‍ය දේශනය පැවැත්වීමට නියමිතය.
ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ දශක හයක සාහිත මෙහෙවර
මෙරට සාහිත්‍යකරණයේ නිරත වන්නන් අතරින් වඩාත් ම සක්‍රිය ව හා සාර සුභාවිත ව එකී කාර්යයේ නිරත වන්නේ කවුරුන්දැයි කිසිවකු හෝ ප්‍රශ්න කළහොත්, ඊට දෙකට දෙවාරේ නැති කෙලින් පිළිතුරක් දෙන්නට අපට හැකියාව තිබේ. මහා ගත්කරු නමින් විරුදාවලි ලබන මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් අනතුරුව සාහිත්‍ය ලෝකයේ බොහෝ අහුමුලු පිරික්සමින්, වරෙක ඒවාට පෙර ගමන් පතමින් තවත් විටෙක ඒවා සදය උපහාසයට ලක්කරමින් සාහිත්‍ය ලෝකයේ පියවි සිහියෙන් සරන මෙකල්හි ජීවමාන සාහිත්‍යධරයන් අතර ප්‍රමුඛයකු වන්නේ ඩබ්ලියු. ඒ. අබේසිංහයන් ය. එතුමා අතින් සාහිත්‍යයේ සෑම අහුමුල්ලක් ම ස්පර්ශය ලබන්නේ තනි මිනිසකුට මෙතරම් වැඩ කන්දරාවක් කළ හැකි දැ යි අපට සැක සිතෙන තරමට බුහුටිවට ය. කිසිදු ගුරු කුලයකයට අයිති නොවන හෙතෙම, දේශ දේශාන්තර සාහිතය දෙස බලන්නේ ස්වාධීන දෘෂ්ටියකිනි.
සංසාරය සේම අක්මුල් නැතැයි ඔහු පවසන සාහිත්‍යයේ මිණි මුතු ද මතුකර දෙමින්, සාහිත්‍යයට අනුශාංගික අවශේෂ කාරණා ද අරභයා ඔහු පතළ කරන විග්‍රහාත්මක සංසන්දනය අදට වඩා සප්‍රයෝජනවත් වන්නේ හෙට ට ය. තමන්ට ම ආවේණික විචාර ක්‍රමවේදයකින් සිංහල සාහිත්‍යයත්, පොදුවේ විශ්ව සාහිත්‍යයේ ඇතැම් පැතිකඩත් අවලෝකනය කරන අබේසිංහයන්ගේ සාහිත්‍ය රචනා අතිශය නිර්මාණාත්මක ද, තුලනාත්මක ද, රසාත්මක ද වූයේ බොහෝ කරුණු කාරණා පිළිබඳ ව පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම අවධානය යොමු කරවමිනි. එ නිසාම අබේසිංහයන්ගේ නිර්මාණ කියවන කවරකු වුව ද මේ සාහිත්‍ය නමැති ගංගාවේ සිහිල් පැන් කෙතරම් මිහිරි ද යන්න අවබෝධ කරගත් වුන් ය.
ඔහු අදහන්නේ ඇසූ ගී මිහිරි බවත් නෑසූ ගී වඩාත් මිහිරි බවත් ය. එබැවින් අප ඔහුගේ ඇසූ ගීවලට වඩා නෑසූ ගී බොහොමයක් ඇති බවට සැකයක් නැත. ඩබ්ලියු. ඒ. අබේසිංහයන් තවමත් අපට මුළුමනින් ම නොකියවූ කවියකි. කොහොමටත් අබේසිංහයන්ගේ මුළු නිර්මාණ වපසරිය ම පීරා බැලුවකුට අවසන සිතෙන්නේ අබේසිංහයන් කියවා හමාර කළ නොහැකි බව යැයි ම සිත කියයි. වරෙක බුදු බණේ අහුමුලු පීරමින් පුරාතන සාහිත කෙතේ සැරිසරන ඔහු ඒ සැණින් විදෙස් සාහිත කෙතට එළැඹෙන්නේ සිතා ගත නොහැකි තරම් අවබෝධයකිනි. ඒ සියලු සාහිත ධාරා ඔහු අග වඩාත් සුඛනම්‍ය වන්නේ සිතාගත නොහැකි තරම් වේගයකිනි. එබැවින් ඔහු නමැති ගීය ද ඇසූ පමණට වඩා නොඇසූ ප්‍රමාණය වැඩි ය.
නන්විධ භූමිකා රැසක නිමග්න ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස සමාජයට කරන බලපෑම වඩාත් සාර්ථක, ජනහිතකාමී එකක් යැයි කීමට මැළි නොවෙමි. පුවත්පත් කලාවේදී ඔහු විප්ලවවාදියෙකි. ඔහුගේ ගද්‍ය රීතිය අනම්‍ය ය, ව්‍යක්ත ය, උපහාසාත්මක ය, සරු ය. කිව යුතු දේ කියන්නට ඔහු කිසි විටෙකත් මැළි වූයේ නැත. අඩවන් වූ දෙනෙතින් ගලනා ගීතය කරුණ රසයෙන් ආඪ්‍ය වන්නේ යම් සේ ද ඔහුගේ ගද්‍ය රීතිය ඊටත් වඩා පෝෂිත වන්නේ ය. ඔහු විසින් රචිත සමාජ, දේශපාලන, සාහිත්‍ය විචාර ග්‍රන්ථ රැසකි. පුවත්පත්වලට වරින්වර ලියන ලද විචාර එක්තැන් කොට කෘති කිහිපයක් ම ඔහු සංග්‍රහ කර ඇත්තේ ය. සාරගර්භ වූ, සර්වකාලීන වූ ඒ කෘති ලිපි සරණි ලෙසින් සංරක්ෂණය කිරීමේ වැදගත්කම තේරුම් ගැනීම ද ඔහුගේ විචාර බුද්ධියේ ම ප්‍රභාවක් යැයි සිතීම යුක්ති යුක්ත ය. අර්ථවත් ලිපි ලේඛන කෙසේ වෙතත් ලේඛකයන්ට පවා ගරු බුහුමන් නොකරන රටක ඒ කාර්යයත් ලේඛකයාට ම කරන්නට සිදුවීම එක්තරා අන්දමකට අභාග්‍යයකි. එහෙත් ඒ අනුන් සතු වගකීම් ගැන හෝ ඔවුන් ඒවා ඉටුකිරීම ගැන හෝ තඹ දොයිතුවක් තරම් නොසිතන අබේසිංහයන් කිසිදු පැකිළීමකින්, ගෙරවීමකින්, රැවුමකින් තොර ව තමා ම ඒ කාර්යය ඉටු කරන්නේ මඳ සිනාවක් ද සහිත ව ය.
1960 දශකයෙහි පටන් මෙතුවක් ඇත්ත, සිළුමිණ, ලංකාදීප, දිවයින, ලක්බිම හා රාවය පුවත්පත්වලට වරින්වර ලියන ලද ලිපිවලින් තෝරා ගත් ලිපි සාහිත්‍ය සංසාර චරිකා, සාහිත්‍ය සංසාර චාරිකා 2, සාහිත්‍ය සංසාර යාත්‍රා, සමාජය නිරුවත් කළ ගැහැනිය, සම්මත අසම්මත, ගේය පද ලීලා – සිංහල ගීතයේ සාහිත්‍ය සමාජ අර්ථ කථනය ඈ නන්විධ නම්වලින් ග්‍රන්ථ වශයෙන් පළ කොට ඇත්තේ ය. එතුමාගේ ගද්‍ය රීතියෙහි එන උපහාසය හා නිර්මාණශීලී පෙළ ගැස්ම අදට වඩා හෙට අරුත් ගොඩනඟන්නේ ය. එබැවින් අබේසිංහයන් ජීවත් වන්නේ අද නොව තවත් දශක කිහිපයකට පසු අනාගතයේ ය. ඔහු බොහෝ විට පාඨකයන්ට ඉඟි කරන්නේ ය. ඒ ඉඟි වියත් පාඨකයා වෙනුවෙන් ම ය.
අබේසිංහයන්ගේ පෑනට දේශපාලනය අසාත්මික වූයේ නැත. ඔහු පවතින දේශපාලනයේ අඩුලුහුඬුකම් තියුණු ලෙස මතු කළේ සාහිත්‍ය නිර්මාණවල දවටා ය. පැරැණි අලංකාරිකයෝ කීවේ ලේඛකයා පූර්ණත්වයට පත්වන්නේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති, සතතාභ්‍යාසය යන ත්‍රිවිධ අංගයන්ගේ සුසංයෝගයෙන් බව ය. මේ තුන ම පදමට අබේසිංහන්ට පිහිටා ඇතැයි සිතෙන්නේ ඔහුගේ ලේඛන පරිශීලනය කරන විට ය. ඒවා සරල ය; ඒ සරල බව යට ඇති ගැඹුර මිණිය නොහැකි තරම් ය. පාරිභාෂික වදන් බහුල ව යොදා ගැඹුරින් ලිවීම අපහසු නොවන බවත්, ගැඹුරු දේ සරල ව ලිවීම අපහසු බවත් ලේඛකයෝ දනිති. ගැඹුරෙහි පැණි රස ගල්වන්නට හැම ලේඛකයකුට ම නොහැකිය. අබේසිංහයෝ ඊට මනා සුරුවකු ම වෙති.
සාහිත්‍ය සංසාර යාත්‍රා අබේසිංහයන්ගේ මනස විදාරණය කරන්නකැයි මට සිතේ. වරෙක විදෙස් සාහිත්‍යයේ කිමිදෙන ඔහු ඒ සැණින් විමලරත්න කුමාරගම සොයා යන්නේ මේ දෙක පෑහෙන්නේ කෙසේදැයි අපට සිතා ගැනීමටත් නොහැකි තරම් සුළු කාලයකිනි. සාහිත්‍ය ඔස්සේ ම දේශපාලනය, ආර්ථිකය විමසන ඔහු සැණෙකින් කවිවල අරුත් සොයන්නට වෙයි. අපට නම් මේ එකිනෙකට වෙනස් දෑ දකින විට මතක් වන්නේ මෙවැන්නකි.
යා දෙක නොරත රත සමඟ පෑහීමක් නැත… කියා ය.
එහෙත් ඒ යා දෙක නොරත රත ගළපන ආකාරය විස්මයජනක ය. ඒ සුරු බව පිළිබඳ ව ඔහු ම පෙරවදනෙහිලා මෙසේ සටහන් කරයි.
“සාහිත්‍ය – සංසාර” යන යෙදුම ආයාසයකින් පුරුද්දා ගත් යෙදුමකැයි ඇතැම් විට ඔබ සිතනු විය හැකිය. එහෙත් එය මගේ සිතට ගලා ආවේ නිතැතින් මෙනි. නිතැතින් සිතට ආ ඒ යෙදුම, ලොකු අරුතක් ඇති එකකැයි සිතෙන්නේ දැන් ය.
ඇත්තටම සාහිත්‍ය වූ කලී සංසාරය ම වෙයි. ඒ, ඒ තරමට ම විශාල නිසා ය; ඒ තරමට ම අගක්, මුලක් පරක් තෙරක් නැති නිසා ය; ඒ තරමට ම වටහා ගන්නට අපහසු නිසා ය.
එහෙත් ඊට ද වැඩි කාරණයක් ඇත්තේ ය. බොහෝ සාහිත්‍ය පොතපත කියැවීමෙන් පසුවද, බොහෝ දේවල් ගැන ලිවීමෙන් පසුව ද දැනෙන්නේ පසක් වන්නේ අපගේ ම අල්ප බව ය. කියවා ගන්නට කොතරම් නම් දේවල් ඉතිරි ව තිබේ ද? ලියා ඇති දේ මොනතරම් අල්ප ද? හරියට සංසාරය වගේ ම ය. සංසාරයේ අපි මේ ගෙවන මොහොත, මොනතරම් ස්වල්ප ද? එහි මුලත්, අගත් ඒ දෙක ම තිබේ නම් මොනතරම් අනන්ත ද?“
අබේසිංහයන් සාහිත්‍ය යන්න හකුළුවා අපට ඉදිරිපත් කරන්නේ එහි පරතෙර පිළිබඳ ව නොසෙවිය යුතු ය යන ඉඟිය දෙමිනි. මේවා විටමින් වැනි වැකි ය. ඒවා අපේ ජීවිතයට විවිධ මාන ඉදිරිපත් කරන්නේ ය. මේ වැකි ඔබට ය; මට ය; අප සැමට ම ය. පෙර කීවා සේ මේවා විටමින් වැනි වැකි ය. උපහාසයේ දවටා දෙන වගකීමේ කතා ය. නැවත හැරී බලන්නට දෙන ඔවදන් ය. කෙසේ කීවත් මෙවැනි ලේඛනයකට අටුවා ටීකා කිවිය නොහැකි ය. එතරම් ම සරල ය; එතරම් ම ගැඹුරු ය.
අබේසිංහයන්ට දේශපාලනය අරුම දෙයක් නොවේ. වාමවාදියකු වී මාක්ස්වාදය හදාරා කාල් මාක්ස් කියවා ගත්තකු වන ඔහු මාක්ස්වාදියකු ලෙසින් අපට පෙනී යන්නේ නැත. ‘විවාදාපන්න ලිපි’ කෘතියේ ඔහු සටහන් කරන්නේ ලෝකයේ හොඳ ම කවියා බුදුන් වහන්සේ ය කියා ය. ඒ කියැවීමට අනුව ඔහුට දේශපාලනඥයකු විය නොහැකි ය. මාක්ස් හැදෑරුවත් මාක්ස්වාදියකු වීම ගැන නම් කෙසේවත් සිතිය නොහැකිය. එසේ වූවා නම් ඔහුට “ධම්මපද ගීතය” ලිවිය නොහැකි ය. එතරම් හැදෑරු, කලෙක නිමග්න වූ දේශපාලනය ගැන ඔහු “යුගයෙන් යුගයට – සාහිත්‍ය සමාජ විමර්ශන” කෘතියෙන් මෙසේ පවසයි.
“දේශපාලනය අරුම පුදුම සෙල්ලමකි. ඕනෑම කෙනකු සමඟ බුදියගෙන, ඕනෑම කෙනකු සමඟ ඇහැරෙන්නට පුළුවන් දේශපාලනයේදී පමණි. ඉංගිරිසියෙහි කියැවෙන පරිදි Strange bed Fellows හෙවත් එකට නිදිවදින යහළුවන් සිටින්නේ දේශපාලනයේ පමණි.
එයට හේතුවක් ඇත. දේශපාලනයෙහි සදාකාලික මිතුරන් ද සදාකාලික සතුරන් ද ඇත්තේ නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි. බලය වස නපුරු දෙයකි. හොඳ සිහිකල්පනාව ඇති මිනිසුන්ගේ මෙන්ම ගැහැනුන්ගේ ද සිහිය විකල් වන්නේ බලයට පැමිණි විට ය. මන්ද යත් බලය ඉතාමත් ම රසවත් වන නිසා ය. එහෙයින් බලයේ සැමදාම සිටිය යුතුය. මැරෙන තුරුම සිටිය යුතුය”
දේශපාලනය පිළිබඳ ව හටගත් කලකිරීම, හාස්‍ය මුසු අනම්‍ය බස් වහරේ දවටා ඔහු ඉදිරිපත් කළේ කිසිදු බිය සැකකින් තොර ව ය.
බොහෝ ලේඛකයන්ගේ පෑන් තුඩු අගට කතා කළ හැකි නම් ඒ පෑන් තුඩු හඬගා කියනු ඇත්තේ මේ තම තුඩෙන් ලියැවෙන වදන් ඒවා ලියන පුද්ගලයාගේ හදවතේ තිබෙන දේ නොවනා බව ය. අබේසිංහයන් ඒ මතු කරන සත්‍යය කෙතරම් අදීන බවකින් යුතුව ඉදිරිපත් කළා ද යන්නට අටුවා ටීකා ලිවිය යුතු නැත. ඔහුගේ ලේඛන පුරාවට බොරු මායම් වෙනුවට විදුහුරු, සුදුහුරු බවක් ඉදිරිගාමී චින්තනයක් පැහැදිලිව විද්‍යමාන වෙයි. එබැවින් ඔහු අයත් වන්නේ ලෝකය වෙනස් කිරීමට දායක වූ මහා ගත්කරුවන්ගේ ගණයට ය. ජීවිත පරිඥානය ඇතිකරන දාර්ශනික චින්තාවක ගුණ සුවඳ විහිදුවන ලේඛක පරපුරට ය. කොටින් ම ජීවිතය ලැබීමේ භාග්‍යයට පෙරළා කෘතගුණ දැක්වූ නව චින්තන පරම්පරාවට ය.
පෙර’පර දෙදිග සම්භාව්‍ය හා නූතන සාහිත්‍ය පිළිබඳ පැතුරුණු දැනුමත්, බල ඇත්තන්ට වඩා ඒ බලය නිසා පීඩාවට පත්වන හුදී ජනයාගේ හදවතත් සමඟ ගැටී සැනහුණු සිතත් ඔහුගේ ලේඛන දිවිය ගුණවත්, නැණවත් හා පොහොසත් කරන්නට බලපෑ මූලික ගුණාංග බැව් නියත ය. ඔහුගේ ලේඛන කියවන විට නූතන ජාතක කතා කියවන විටෙක මෙන් අපට අප ව පෙනෙන්නට පටන් ගනී.
එතරම් විදුහුරු ලේඛනයක් ගොඩනඟා ගන්නට ඔහු කියැවූ දස දහස් ගණනක පොතපත ප්‍රදීපාලෝකය දල්වන්නට ඇත.
මාර්ටින් වික්‍රමසිංහයන් සහ අබේසිංහයන් අතර තිබූ දීර්ඝ මානුෂීය හා ප්‍රඥාමය සබැඳියාව මෙරට ශාස්ත්‍රාභිලාෂීන්ට මහඟු උන්නතිකාමයක් සැපයූ බැව් පෙනේ. ‘මහගත්කරු වත’ කාණ්ඩ තුනක් යටතේ පළ කිරීමට හේ ගත් ප්‍රයත්නය අතිශය සාර්ථක කෘතියක් ව වික්‍රමසිංහ අපදානය මතු නොව මෙරට දශක 7ක සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික වෘත්තාන්තය ද විෂද කරන බැව් නොරහසකි.
අබේසිංහයන්ගේ සාහිත්‍ය චාරිකාව හුදෙක් මෙරට සාහිත්‍ය ප්‍රබෝධය උදෙසා ම පමණක් දියත් වූ බැව් මෙහිදී අවධාරණයෙන් ම සටහන් කරන්නෙමි. එයට හේතුව සාහිත්‍යයේ නියම අරුත කවරාකාර ද ඒ අරුත වචනයෙහි පරිසමාප්තාකාරයෙන් ම ඉටු කරන්නට එතුමා ගත් වෙහෙස ලේඛන ඔස්සේ විදුලි දහරා සේ ලාංකේය සාහිත කෙත අස්වද්දන බැවිනි. එබැවින් මම ඔබට මෙවැනි ආරාධනයක් කරන්නෙමි.
“අබේසිංහයන්ගේ ‘සාහිත්‍ය සංසාර යාත්‍රා’ ඇතුළු විමර්ශන විචාර කෘති අතට ගනු මැනවි. එසඳ ඒ අපූර්ව සාහිත්‍යධරයා ඔබේ අත අල්ලාගෙන සාහිත්‍ය මතු නොව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ගමනකට ඔබ කැඳවාගෙන යනු ඇත්තේ ය. සියුම් ව එහෙත් තියුණු ව මුනිදාස කුමාරතුංගයන්ගේ පටන් රවීන්ද්‍රනාත් තාගෝර්, වෝල්ටෙයාර්, මහත්මා ගාන්ධි, සමර්සෙට් මෝම්, තෝල්ස්තෝයි, දොස්තයෙව්ස්කි පසු කරගෙන ගිසෙප්, ටොමෙසි, ඩී. ලැම්පෙඩූසාගේ නිර්මාණ ද පෙන්වා කව්සිළුමිණ, උමංදාව ඔස්සේ විමලරත්න කුමාරගම ද නූතන පරපුරේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ද කියවා ගන්නට, නිර්මාණ විමර්ශනය කරන්නට ඔබට පාර කියනු ඇත. කාලයෙන් ද අවකාශයෙන් ද වැඩී ඇති නිර්මාණ දොරටු විවර කර අනන්ත අප්‍රමාණ සාහිත කෙත අස්වද්දන්ට අවැසි මූලාශ්‍රය පෙන්වනු ඇත. සාහිත්‍ය නිර්මාණයන්හි නිදන්ගත ව ඇති උතුම් මිනිස් ගුණය ද, එයින් විහිදෙන අප්‍රමාණ සුන්දරත්වය ද ඔබට විඳ ගන්නට ඉඩ දී අනතුරුව ඒ නිර්මාණයන්හි සමාජ දේශපාලන විවරණය ඔබට පහදා දෙනු ඇත.”
එබැවින් ඩබ්ලියු. ඒ. අබේසිංහ යනු හුදු නිර්මාණකරුවකු පමණක් නොව අප දුටු දේට වඩා නොදුටු දේ බහුල, ඇසූ දේට වඩා නොඇසූ දේ බහුල සාහිත්‍ය සංසාර යාත්‍රාවක් ම බැව් ඉඳුරා ම පවසන්නෙමි.
ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් වෙනුවෙන් සංවිධානය කරන ලද මේ උලෙළේ සංවිධායක කමිටුව වෙන සිරිසේන විතානගේ, මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ සහ තුෂාර හෙට්ටිආරච්චි යන විද්වතුන්ට මේ සිදුකරන සද්කාර්යය වෙනුවෙන් ගෞරවනීය ආචාරය පුදන්නෙමු.