‘මිනිසා නිරායාසයෙන් ‘නිකං ඉන්නවිට’ පවා ඇත්තේ, ආයාසයෙන් නිකං ඉන්නවට වඩා සිත්ගන්නා බවකි…’
ලියනගේ අමරකීර්ති ලියූ ‘පහන සහ කැඩපත’ පොතේ එන ලිපියක මෙවැන්නක් සඳහන් වෙනවා. මේ කියමන මට මතක් වුණේ ලක්ෂාන්ත අතුකෝරලගේ ‘ලියසැව් ලිහී ගිය ගනසාඬුලු’ කවි සරණියේ කවි කිහිපයක් කියවන්න ලැබුණායින් පස්සෙ. ඒ කිහිපය කියෙව්වම සම්පූර්ණ පොත ම කියවා අවසන් වෙනකම් ඉන්න බැරි නොසන්සුන්කමක් ඔඩුදුවන්න ගත්ත නිසා, යමක් ලියන්න හිත කැසකැව්වා. නිරයාසයෙන් ඉබේ ගලන කවි සොබාවයක් පෙන්වන පොතේ බොහෝ නිර්මාණ, ආකෘති අතිනුත්, බස් වහර අතිනුත්, ශබ්ද ලක්ෂණ අතිනුත් සෙසු කවීන්ගෙන් වෙන්වෙලා පෙනෙන මොකක්දෝ අලුත් බවක් දනවන්න සමත් වුණා. අර මුල් කියමනට ගියොත්, ආයාසයෙන් නිකම් ගලන කවි ලෙස නොඅඟවන, නිරායාසයෙන් නිකම් ගලන කවි ලෙස පෙනෙන කවි ආරක් මෙතන දි හමුවෙනවා.
මේ කවි බස ස්ථර ගලවන්න පුලුවන් බසක්. චිරන්තන ගද්‍ය පද්‍ය පොතපත කියවල පත්තියම් වුණු බසක්. වඩාත් පැහැදිලි කළොත් ලක්ෂාන්ත, ගද්‍ය සාහිත්‍යයේ භාෂාව පද්‍ය සාහිත්‍යයට අරගන්නවා. මේක වැදගත්. ගද්‍ය සාහිත්‍යයේ රචනා රටාව, භාෂාව, ආකෘති ඔහු නොබියව තමන්ගෙ කවියට අරගන්නවා. ‘ඔත්තුකාර තරුපෙත්ත තෙපලූ තතු පවත්’ කවිය පටන්ගන්නෙ ජාතක කතා පොතේ එන වාක්‍යාංශයකින්, ‘තව ද එක් දුෂ්කර සමයක් හි…’. නමුත්, ඇල්මැරුණු නීරස බවක් නෑ සමස්තයෙ, පද්‍ය බස එක්ක මුහුකරන විදියත් රිද්මය රැකීමත් නිසා. තවත් නිර්මාණ කිහිපයක ම මේ ලක්ෂණය දකින්න පුලුවන්. චිරන්තන ගද්‍යයෙන් විතරක් නෙමේ, නූතන ගද්‍ය බසිනුත් ඔහු පෝෂණය ලබනවා. කොහොමහරි නූතන කවිපොත්වලදි වැඩිය කියවන්න නොලැබෙන වචන කෝෂයක් මේ කවි නිමැවුම් සතුයි.
‘සුන්දර වචන සුන්දර පිළිවෙළට යෙදීමයි කවිය’ වගේ නිර්වචන අපිට ඉස්කෝලෙ කාලෙදි කියවන්න ලැබිලා තියෙනවා. දැන් ඒ තර්ක වෙනස් වෙලා. ලක්ෂාන්ත ලියන මේ කවි ඇතැමෙක තියෙන්නෙ ලස්සන ද නැද්ද වගේ දේවල් නොසිතා කවියට අවංකවීමෙන් ලිවූ වදන් සරණියක්. ‘සරාගය’ කවියෙ තියෙන්නෙ ‘විරාගය’ පොතේ සාරයක්. ‘කෙහෙල්මල් කැමැත්තෙන් වැඩක් නැහැ’, ‘කුද ගහගත්‍තදෙන්’ වගේ සාමාන්‍ය කටවහරෙ එන වැකි ඔහු නිර්ලෝභීව කවියට ගන්නවා. මේ නිර්මාණෙ පළවෙනි කවියෙ පළමු පේළි දෙක මට මතක් කරන්නෙ, ‘රොබරෝසියා මල් වැළපෙන වැහිදාට..’ යනුවෙන් ‘සමහර කමටහන්’ පොතේ ඔහු ලීව කවියෙ එන රිද්මයමයි, රසයමයි, ඒ නිරායාසී බවමයි.
“තාත්තව බලන්ට මහ වැස්සෙ ආව හැටි සරා
මතකයෙන් මැකේවිද සංසාරෙ ඉවරවෙන තුරා…”
මේ පොතේ මට දැනෙන හොඳ ම කවිය ‘අබිලිං අප්පුහාමි’. සේකරගේ ‘තුංමංහදියෙ’ අබිලිං මට මතක් කරන්නෙ මගෙ ලොකු මාමා සහ චුට්ටන් බාප්පා. ‘නොම්මර එකට හඳ පායා ආවා සේ’ වැනි යෙදුම් නොපෙරා මුවට එන යෙදුම්. සෝකයයි, ආදරයයි, සාහිත්‍යයි සේරම මේ කවියෙදි මුහුවෙනවා. සම්පූර්ණ කවිය කියවන්න, මුළු පොතේ ම සාරය කැටිකළොත් ඒ බව පේන ප්‍රධාන ම කවිය මේකයි මට !
ලක්ෂාන්‍තගේ ‘යටි වියනට කිරණ ඉරක්’ කියන කවිය මතක් වෙන කවියක්, ‘ගනසාමඬුලු’. මේ කවියෙ පරිකල්පන, වාග් චිත්‍ර එක්ක මුහුවෙලා පරිසර පාඩමක් කියාදෙනවා වගේ. පොළොව, ගනසාමඬුලු, අහස, වලාකුළු, දිව්‍ය ලෝකෙ මේව ස්ථර විදියට පෙන්වලා එකම කටයුත්තක් වෙනුවෙන් එක් රැස්වෙන විදිය කියනවා. මේ නිර්මාණෙ එන එක කවියකදි, මෙච්චර වෙලා පුටුවෙ වාඩිවෙලා කැලෑව දිහා බලන් හිටි ලක්ෂාන්ත ඉන්න තැනින් නැගිටලා අත මිට මොළවලා අහස දිහ බලනවා මට පේනවා. මෙන්න ඒ කවිය,
“විමනේ දේව යකුනේ තව දන්නැද්ද
දෙරණේ ලෝක පොළොවේ ඇවිලෙන ඇත්ත
මුදුණේ ඔහොම සඟවා සැනසෙන වැස්ස
සැදුණේ බිම් පෙතේ නිම්නේ පස් එක්ක…”
ජන කවි රටාවට අනුව ලියන ‘කෙත් ඉහත්‍තාවෙ දහයියාව’, උත්ප්‍රාසාත්මක නිමැවුමක්. ලක්ෂාන්ත ඉදල හිටල වංගුව ගන්නෙ, මෙතෙක් ආව පාරෙන් ශෝට්කට් පාරකට වාහනෙ අරගන්නෙ, ක්ෂණිකව ඇඟට පතට නොදැනි. ඔහු තීරණය කරනවා, ‘මේ කවිය මං ලියන්නෙ මේ විදියට’ කියල ලියන්න කලින්. ඒබව කාටවත් කිය කිය ඉන්නෙ නැ, ඔහු ඒක කරලයි පෙන්වන්නෙ. ක්ෂණිකව. මේ කවිය පටන්ගන්න විදිය බලන්න.
“වරම් වරම් ඉර සඳ දෙවි
වරම් නොදී එකෙල මෙකෙල වෙතී
දුම්බර කෙතෙ බණ්ඩි ගොයම්
දිලිසුනාවෙ ඕසෙට පල නැති
රන් දෑකැති විරිත්තමින්
එල්ල කරත අප දිහාට කැති
ණය දෙවිගොල්ලන් නියඟෙට
වස්සනවා හීනෙන් වස පෙති”
ආකෘතිය අතින් ඔහු කරන හරඹ, ටීකා සීපද ස්වරූප, තුන්පද කවි, වස්තුවිශය අනුව කවියෙ ස්වභාවය තීරණය කරන උසාවියෙ කවිය, අර්ථයක් එන විදියට සිරස්ව එළිවැටට අකුරු පේළියක් යෙදෙන කවි මෙහි මතක ඇති කවි කිහිපයක්.
අලෝනුෂ්කා අක්කයි ඉවානුෂ්කා මල්ලියි ගැන කියන පොතේ අවසන් කවියත්, හැඟීම් හරඹයක්. රෙෆරන්ස් දැනගන කියවන්න ඕනෙ කවි මෙහි තියෙනවා. ලක්ෂාන්තගෙ මින් පෙර නිර්මාණවලදිත් දුටු යම් පරතරයක් පවත්වාගෙන යාම කවිවලදි දකින්න ලැබෙනවා. ඒක හොඳ දෙයක්. ඔහු කියවන්නා ව සමීපයට ම ගන්නෙ නෑ. අතේදුරින් තියාගන්නවා.
පොතේ කවි කිහිපයක් තැනින් තැනින් අහම්බෙන් පෙරළලා කියවල ඉවරවුණාම,
මං මටම කියාගත්තෙ එක දෙයයි,
‘කොහොමද මෙහෙම පිරෙන්න ලියන්නෙ, කොහොමද?’