2023 අයවැය යෝජනා කියවද්දී රනිල්ට ගෙදරින්ම අත්පුඩි වැදුනෙ නෑ. රනිල් තමන්ගෙ ගෙදර ඉඳන් නෙවෙයි අයවැය ඉදිරිපත් කළේ.ඒත් අත්පුඩි නොගැසුවෙ ඒ නිසා නෙමෙයි. අයවැයේ ජනප්‍රිය යෝජනා නැහැ.ඉතිං නොවැම්බර් 14 පාර්ලිමේන්තුව නිශ්චලව තිබුණා.
ප්‍රධාන කරුණු 4 ක්
අයවැයේ ප්‍රධාන අපේක්ෂා 4 ක් තිබුණා. එක තමයි අය වැය හිඟය පියවීම. දෙක ගෙවුම් ශේෂය පියවීම. ඊට පස්සේ ශ්‍රම වෙළෙඳපොළ ලිහිල් කිරීම සහ සිව්වැන්න සමාජ සුභසාධනය.
මේ සෑම ඉලක්කයක් ම ජය ගන්න ඉපැයිම් ඕනෑ. මුදල් ඇමැති හැටියට රනිල් මුදල් උපයන උපකරණය බවට පත් කරගෙන තියෙන්නෙ බදු පැනවීම. ඇත්තටම අයවැයට පෙර බදු පනවලා ඉවරයි. ඊළඟට බදු අය නොකර සේවාවන්හි සේවා ගාස්තුව වැඩි කරලා උපයන්න උත්සාහයකුත් දරනවා. විදෙස් ගමන් බලපත්, හැඳුනුම්පත් වැනි සේවාවන්වල ගාස්තු 20% කින් වැඩි කරලා. ඒකත් බදු නාමය නොමැති බද්දක්. එහෙම බලනකොට මේකෙ කිසිම පැත්තක් බදු වලින් නිදහස් වෙලා නෑ.
පරස්පරතා
දැන් එක යෝජනාවක මෙහෙම තියනවා. වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි ලංකාවේම කරන්න අවශ්‍ය අධ්‍යයන පහසුකම් සලස්වනවා. එහි අරමුණ පිටට යන ඩොලර් ඉතිරි කර ගැනීම. යෝජනාව හොඳයි. ඊළඟට ඊට අනුබද්ධ යෝජනාව බලමු. නිදහසේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් උසස්පෙළ ඉහළින් සමත්වන සිසුන් හැත්තෑපහකට විදෙස් විද්‍යාලවල ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙනවා. නිදහසේ 75 සංවත්සරය නිමිත්තෙන් උපාධිධාරීන් 75කටත් විදෙස් විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙනවා. වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධි ලංකාවේම කරන්නට පහසුකම් සලසා දී ඉතිරි කරන ඩොලර් ටික ඊට පස්සේ තියන යෝජනා දෙක වෙනුවෙන් වැය වෙනවා. එතකොට කොහොමද මේ වැඩසටහනින් ඩොලර් ඉතිරි කරන්නෙ. ඔය වගේ පරස්පරතා මේ අයවැයේ තියෙනවා.
මධ්‍යසාර වලට ප්‍රමිතිය
මධ්‍යසාර සඳහා ප්‍රමිති ආයතනයක් ස්ථාපිත කරන බව අයවැය මගින් යෝජනා කෙරුණා. දැන් රටේ සාමාන්‍ය මිනිස්සු කන බොන ආහාරවල, ළදරු ආහාර වල ප්‍රමිතියක් නෑ. පාංගෙඩිය දක්වාම ප්‍රමිතියෙන් තොරයි. මධ්‍යසාර වලට කලින් ආහාර වලට හොඳ ප්‍රමිතියක් ඕනෑ. මොන භාණ්ඩය මිලදී ගත්තත් ඒවා බාල භාණ්ඩ බව පෙනෙනවා. සිමෙන්ති බාල බව මේසන් බාස් අත්දැකීමෙන් කියනවා. ඒත් මේ හැම භාණ්ඩයකටම වෙනදට වඩා වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයාට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මධ්‍යසාර වලට කලින් එම භාණ්ඩ ප්‍රමිතියානුකූල වෙන්න ඕනෙ නේද?
මේවා කවුරුවත් මතු නොකරන ප්‍රශ්න. හාල් වලට, පොල් වලට පවා ස්ථීර මිලක් නෑ. ඒවා හිතුනු ගණන් වලට විකුණනවා. මේවාට ප්‍රමිතියක් සේම එක නිශ්චිත පරාසයක විහිද යන මිලක් තියෙන්න ඕනෙ. එහෙම නැති නිසා පාරිභෝගිකයා ගසා කෑමක් අද සිද්ධ වෙනවා.
වසර 18 න් විශ්‍රාමය
සාමානයෙන් හමුදා සේවා කාලය වසර විස්සක් හෝ විසි දෙකක්. ඒක ගිවිසුම්ගත කාලයක්. මේ සම්පූර්ණ කාලය ගත නොකර ඕනෑ නම් වසර 18 ක සේවා කාලය සම්පූර්ණ කළ පසු විශ්‍රාම ගත හැකිය යනුවෙන් අයවැය යෝජනාවක් ආවා. හැබැයි 18 න් කවුරුවත් විශ්‍රාම යන්නෙ නෑ. 20 ක් හෝ 22 ක් ඉඳලම යනවා කියලා ඕනෙ කෙනෙක් හිතනවා. මොකද තව අවුරුදු දෙකක් හෝ හතරක් හිටියම ලැබෙන ප්‍රතිලාභ වැඩි නම් දහඅටෙන් යන්නේ මොකටද? ඒ කාලය වසර දහයක් කළා නම් වැඩේ සමබර වෙන්න තිබුණා. දහයෙන් ගිය කෙනකුට වෙන අලුත් වැඩකට අත ගහන්න කාලය තියෙනවා. එතකොට රජයේ අපේක්ෂාවන් ඉටුවෙනවා.
ජාතික සැලසුම් නෑ
ඉන්දියාව මෙන්ම තවත් රටවල් සංවර්ධනය සඳහා පස් අවුරුදු ජාතික සැලසුම් හදනවා. ඒ සැලසුම් වසර පහක් පුරා ක්‍රියාත්මකයි. ඒ අතරට තමයි අයවැයේදි අලුත් යෝජනා ඇතුළු කරන්නෙ.
ලංකාවට වසර පහක පදනම් වැඩසටහනක් කිසිම දවසක තිබුණෙ නෑ.
බොහෝ විට අයවැයෙන් යෝජනා වෙන දේවල් කෙරෙන්නේ නෑ.
දයාසිරි ජයසේකර 15 වැනිදා අය වැය විවාදයේදී කිව්වා ලබන වසරේ අයවැය ඉදිරිපත් කරන කොට මේ යෝජනාවලියෙන් කරපු දේවල්, නොකරපු දේවල් හා කරන්න බැරිවුනේ මන්ද යන්න වාර්තාවක් විදියට ඉදිරිපත් කරන්න කියලා. ඇත්තටම අය වැය ගැන එහෙම පසු විපරමක් කරන එක හොඳයි.