Home Blog Page 254

රුපවාහිනීයේ මුදල් අවභාවිතය: ඇමති කෙහෙළියට අධිචෝදනා, විදෙස් ගමන් තහනම්

0

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ ජනමාධ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අධිචෝදනා ගොනු කර තිබේ.

එමෙන්ම එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහට සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදල් හරහා ජී.අයි පයිප්ප මිලදී ගෙන රජයට පාඩු සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් විදෙස් ගමන් තහනමක් ද ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළේය.

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළ අතර විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

මේ අතර විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිල අවශ්‍යතා මත විදේශගත වීමට අපේක්ෂා කරන්නේ නම්, විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවයි.

නඩුව යළි පෙබරවාරි 01 වැනිදා කැඳවීමට නියමිතය.

බීඩි මත බදු වැඩිකිරීමෙන් ලක්‍ෂ 5 කගේ රැකියා අනතුරේ

0

මෙවර අයවැය මගින් බීඩි මත බද්ද රුපියල් දෙකක් සහ බීඩි එතුම් කොළ මිල වැඩිකිරීම නිසා ලක්ෂ 5 කගේ පමණ සෘජු සහ වක්‍ර රැකියා අර්බුදයට යන තත්ත්වයක් උදාවී තිබේ.

2022 වර්ෂයේ අයවැය මගින් රුපියල් විසිපහකට තිබුණු කැප්ටන් සිගරට්ටුවක මිල රු.10 දක්වා අඩු කැරිණි.මේ වන විට කැප්ටන් සිගරැට්ටුවක නව මිල රු. 15 කි. 2023 අයවැය යෝජනා මගින් බීඩි මත බද්ද රුපියල් 2 කින් වැඩිකිරීමත් සමගම බීඩි එතුම් කොළ කිලෝවක මිලද රුපියල් 7500 සිට 10000 දක්වා වැඩි කෙරිණි. ආනයනකරුවන් විසින් එතුම් කඩදාසි වල මිල අයවැයට පසුදාම වැඩි කළ අතර නොබෝ දිනකින් බීඩියක මිල තවත් රුපියල් දෙකකින් වැඩි වීමට නියමිතය. එවිට දැනට රුපියල් දහයකට විකිණෙන බීඩියක මිල නව වැඩි වීමත් සමඟ රුපියල් පහළොවකට ආසන්න මිලකට එසවෙයි.

මෙම මිල වැඩිවීම මත දුම්පානය කරන්නන්ට රුපියල් පහළොවකට කැප්ටන් සිගරට්ටුවක් මිලදී ගත හැකිව තිබියදී බීඩියක් රුපියල් පහළොවකට මිලදී ගැනීම සිදු නොවෙයි. දෛනිකව බීඩි ලක්ෂ 60-70 අතර ප්‍රමාණයක් වෙළඳපලෙහි විකිණෙන අතර බීඩි වෙළෙඳපල අර්බුදයට ගියහොත් දිවයින පුරා ඇති බීඩි කර්මාන්තශාලා 900 ක් පමණ වසා දැමීමට සිදුවන බව පැහැදිලිය.
ලංකාවේ ලොකුම ගෘහ කර්මාන්තය බීඩී නිෂ්පාදනය වන අතර බීඩී නිෂ්පාදනය කරන කලාප වල සෑම නිවසකම එය දෙවැනි ආදායම බවට පත්ව තිබේ.. එමගින් ඔවුහු මසකට රු.10000-20000 අතර මුදලක් උපයති. බීඩී එතුම් කරුවන් පමණක් ලක්ෂ දෙකක් පමණ සිටිති.

කැප්ටන් සිගරට්ටුව නිපදවන්නේ ගෝල්ඩ්ලීෆ් හා බ්‍රිස්ටල් සිගරැට් නිපදවා ඉතිරිවන දුම්කොළ කුඩු වලින් වන අතර දුම්කොළ කිලෝවක වර්තමාන මිල රු.75000 කි.ගෝල්ඩ්ලීෆ් සහ බ්‍රිස්ටල් වලින් උපරිම ලාභ ඉපැයූ පසු ඉතිරි දුම්කොළ කුඩෙන් නිපදවන කැප්ටන් සිගරට්ටුවක නිෂ්පාදන මිල ශත පනහක් පමණ වෙයි. එනම් කැප්ටන් සිගරට්ටුවකින් 99.5% ක ශුද්ධ ලාභයක් නිෂ්පාදකයාට හිමි වෙයි.

කැප්ටන් සිගරට්ටුව රුපියල් විසිපහකට තිබුණු කාලයේ අධික ලාභයක් සිගරට් සමාගම් ලැබූ අතර මිල අඩු කිරීම යටතේ පවා දෛනිකව කැප්ටන් සිගරට් කෝටි දෙකක් පමණ විකිණීමෙන් දවසකට කෝටි විස්සකට අධික ශුද්ධ ලාභයක් සමාගමට හිමි වෙයි. 2022 අයවැය මගින් එකී මිල අඩු කිරීම බලවත් සැකයකට තුඩු දෙන්නක් වන අතර එමගින් රටෙහි ප්‍රධානියකුට විශාල වාසියක් හිමිවූ බවද ප්‍රකට කතාවකි. කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය වන සිගරට්ටුවක හා බීඩීයක මිල සමාන වීම නිසා බීඩි කර්මාන්ත කරුවන් හා යැපෙන්නන් මුහුණ දෙන තත්ත්වය සමනය කිරීම පහසු නොවනු ඇත.

සාරිය – හුදු ඇඳුමක් වෙනස් කිරීමට වඩා එහා ගිය සංස්කෘතික පරිවර්ථනයකට

0

ශ්‍රී ලංකාව රටක් ලෙස වෙනස් කිරිම සම්බන්ධයෙන් කතා කරන ඕනෑම අවස්ථාවක මම ප්‍රායෝගිකව එය ආරම්භ කළ යුතු හොඳම ස්ථානයක් විදිහට දකින්නේ පාසලයි. ඒ සඳහා ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, සම්ප්‍රදායයන්, විෂය නිර්දේශ සහ උගන්වන ආකාරය ආදී මේ සියල්ලම දෙස බැලිය යුතුයි. සමහර විට ඒ එක සුළු වෙනසක් විශාල පරිවර්තනයන් වලට මග කපන්න ඉඩ තියෙනවා. එබැවින් වෙනස් කිරීම් සම්බන්ධයෙන් කථා කරන හැම විටම අත්හදා බැලිය යුත්තේ විශාල වෙනස් කිරීම් වලට වඩා සුළු පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් තැනුයි. සාරිය වෙනස් වීම හුදු ඇඳුමක් වෙනස් කිරීමට වඩා එහා ගිය සංස්කෘතික පරිවර්ථනයකට පාර කපන්නේ ඉඩ ඇත්තේ ඒ නිසයි.

දැන් සාරිය වෙනස් කර වෙනත් ඇඳුම් වලට ගුරුවරියන් යනවාත් සමගම ඊට විරෝධය පළ කරන අයගෙන් ඇවිල්ලා ඇති මතයක් තමයි සාරිය තරම් සංවර වැදගත් භාවයක් අනිත් ඇඳුම් ඇඳගෙන ආවම පෙනෙන්න වල නැති බවයි, එයින් වගකිය යුතු ගුරුවරියකගේ ස්වභාවය නොපෙනෙන බවයි.

සම්ප්‍රදායික පිරිමින්ගේ කවි ගීත සිතුවම් ආදී බොහෝ ප්‍රකාශන තුළ බොහෝ කාලයක සිට සාරිය ඇඳි ගැමි ලලනාව චිත්‍රණය කර තිබෙන රොමැන්ටික් රූපය බොහෝ දෙනෙකුගේ හිත් වලින් එක රැයින් අයින් කර ගන්ඩ අපහසුවීම තේරුම් ගන්න පුළුවන්. එකම ගැහැනිය සාරියයි ගවුමයි දෙක අදිද්දි දෙවිදිහකට පෙනෙන්නේ මේ නිසයි. මෙයින් සැලකිය යුතු පිරිමි සංඛාවක් මෙසේ නිර්මාණය කරපු සාරියට රැවටී ගැහැනුන්ව කසාද බැද මැදි වයසෙදි ගෙවල් වලට වඩා හවසට බාර් වලට යමින් වුණේ මොන මගුලක් දැයි කල්පනා කරමින් තාමත් මිහිකත නලවාලා සිංදුව ගහන හැටි අපි දැකල තියනවා. ඒක වෙනම කතාවක්.

කොහොමහරි සාරිය ඇරුණුකොට අනිත් අදින ඇඳුම් වලට යම් කිසි වගකිවයුතු භාවයක් පිළිවෙලක් දෙන්නට අවශ්‍යම නම් ඒකද ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. එකී තත්ත්වය රඳා පවතින්නේ සංස්කෘතිකව සාම්ප්‍රදායිකව එන දෙයක් මත නෙමෙයි එම ඇඳුම ඉදිරිපත් කරන ආකාරය තුළයි. ඔය පන්ජාබි ඇඳුම්, දිගු කලිසම්, සාය සහ ගවුම් මේ සියල්ලම අවශ්‍ය නම් සාරිය තරම්ම වගකිවයුතු බැරෑරුම් පිළිවෙලකට පෙනෙන විදිහට නිර්මාණය කරගෙන අදින්න පුළුවන්. විවිධ රටවල් වල සංස්කෘතීන් වල ඔය ඇඳුම් සමහර ගුරුවරුන් සහ කාර්යාල සේවකයින් අඳින්නෙ එහෙමයි. ඒවා කැෂුවල් ඇඳුම් බවත් සාරිය කැෂුවල් නොවන බවත් කීම සම්පූර්ණයෙන් වැරදියි. ඕනෑම ඇඳුමක් කැෂුවල් විදිහටද බැරෑරුම් හෝ නිල විදිහට ද නිර්මාණය කර අඳින්න පුළුවන්. සාරියමත් ඔය සෑම විදියකටම විවිධ කාන්තාවන් පොළේ බඩු විකිණීමේ ඉඳන් නඩු කතා කිරීම දක්වා විවිධ විදිහට අඳිනවා.

පාසල් සහ විශ්වවිද්‍යාල වල දී මට හමුවුනු විෂය ඉතා දක්ෂ විදිහට ඉගැන්වූ ගුරුවරු කීප දෙනෙක් මට මතකයි, ඔවුන් සියලුම දෙනා වගේ ඇඳුම ගැන එතරම් සැලකිලිමත් අය නෙමෙයි. ඔවුන් පඩංගු හං සෙරප්පු දෙකක් සහ කාලිසමට උඩින් මොකක් හරි ෂර්ට් එකක් දාගත්ත අයයි. අපිට ඔවුන් ගැන විශාල ගෞරවයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නැගුනේ ඇඳුමට නෙමෙයි ඔවුන් වැඩ කාරයන් බව අපි තේරුම් ගැනීම නිසයි. ඔවුන් සියලුම දෙනාට මෙන් විෂයට සීමා නොවුණු සමාජය ජීවිතය ගැන ද පුළුල් අවබෝධයක් තිබුණා.

දවස අවසානයේ ශිෂ්‍යයාට ඉතාම වැදගත් දේ ගුරුවරයා ඉතා දක්ෂයෙක් වීමයි. ඒ නිසා ගුරුවරුන් මේ ඉන්න තත්ත්වයට වඩා බොහෝ පැතිවලින් නඟාසිටුවීම සඳහා අවශ්‍ය පරිවර්තන කිරීම් ගැන ද මේ සමග කල්පනා කරල බැලීම වටිනවා. පාසලේ සිදුවන පරිවර්තනයට ජනතාවගේ අවධානය සහ සහයෝගය විශාල වශයෙන් ලබා දිය යුතුයි.

ධනංජය කරුණාරත්න

බැසිල්ට ප්‍රභූ ආරක්ෂාව දීම නීති විරෝධීයැයි පැමිණිල්ලක්

0

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමෙන් රජයට පාඩුවක් කර ඇතැයි පෙන්වා දෙමින් පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

රජයේ කිසිදු තනතුරක් නොදරන පුද්ගලයෙකු වන බැසිල් රාජපක්ෂ පෙරේදා (නොවැ. 20) කටුනායක ගුවන්තොටුපොළේ සිට ගමන්ගත් මෝටර් රථයට ඉදිරියෙන් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පොලිස් රථවාහන, යතුරුපැදියක් හා පිටුපසින් පොලිස් ජීප් රථයක් ධාවනය කර තිබෙන බව පැමිණිල්ල විසින් පෙන්වාදී ඇත.

මෙම සිදුවීමේදී පොලිස්පතිවරයා රජයට පාඩුවක් සහ නීති විරෝධී ක්‍රියාවක් කර තිබෙන බව පවසන පැමිණිලි පාර්ශ්වය මේ සම්බන්ධව විමර්ශනයක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සබැඳි පුවත්

පොලිස් කොමිසමේ සභාපති බැසිල් සමග එළිපිට වැඩ : ඉතිහාසය මෙන්න !

ජනවර්ගය උප්පැන්නෙන් ඉවතට : සියලු දෙනා ‘ශ්‍රී ලාංකික’ කරයි

0

ශ්‍රී ලංකාවේ භාවිතාවන උප්පැන්න සහතිකයෙන් ‘ජන වර්ගය/ජාතිය’ ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ අනුව දැනට උප්පැන්න සහතිකයේ සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම්, මැලේ සහ ඉන්දියානු සම්භවයක් යන්න භාවිත වන බැවින් එය එම ලේඛනයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ සාමාජයීය සහ ජාත්‍යන්තර වශයෙන් පවතින ගැටලු ද සලකා බලා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි. ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන් අනුව උප්පැන්න සහතිකයේ තවත් සංශෝධන කිහිපයක් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව උප්පැන්න සහතිකයක් තම මව් භාෂාවෙන් ලබාගත හැකි නමුත් ඉදිරියේදී එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

දැනට මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාල හතකදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, එළඹෙන වසරේදී නව උප්පැන්න සහතික නිකුත් කිරීම ප්‍රාදේශිය ලේකම් කාර්යාල 100 ක් මගින් සිදුකිරීමට නියමිත බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කරයි.

එසේ වුවද, අවශ්‍ය නම් ජාතිකත්වය ඇතුළත් කළ හැකි අතර පියා සහ දෙමාපියන්ගේ විවාහක තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් නොවන බව ඔහු පවසා සිටී. එසේම ඉදිරියේදී උප්පැන්න සහතිකය තනි පිටුවක් ලෙස නිකුත් කිරීමට නියමිතය.

ව්‍යාජ උප්පැන්න සහතික සැකසීම වැළැක්වීම, උප්පැන්න සහතික වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට සිදුවීම නතර කිරීම සහ දෙමාපියන් විවාහ වී සිටියේද නැද්ද යන්න පිළිබඳ තොරතුරු ඉවත් කිරීම මගින් නව උප්පැන්න සහතිකය සාමාජීය වශයෙන් ඇතිවනු ගැටළු වලට විසඳුමක් බවද ඔහු පෙන්වාදෙයි

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ජාත්‍යන්තරව පිළිගත් නව උප්පැන්න සහතිකයක් ලබාදීමට මෙම උත්සාහයන් ගන්නා බව රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

සාරියෙන් නිදහස ලද ගුරුවරියන්ට ප්‍රණාම සමග!!

0

සාරිය වෙනුවට කැමති, නිදහස්, විකල්ප ඇඳුමක් අඳින්න නිර්භීත වුණු ගුරුවරියන්ට මගේ ප්‍රණාමය.

කැමති වෙලාවට සාරියත් අඳිමින්, කැමති හෝ අවශ්‍ය වෙලාවට වෙනත් උචිත ඇඳුමක් අඳිමින්, නිදහස්කාරක අධ්‍යාපනය ඇති කිරීමට නම් සාරියට වඩා බෙහෙවින් දරුණු දෘෂ්ටිවාදී සහ සංකල්පමය රාමු තියෙනවා ගුරුවරියන් නිදහස් වෙන්න ඕනෙ. සාරිය නමැති රාමුවෙන් පිටට ඒම අර දෘෂ්ටිවාදී රාමුවලින්ද නිදහස්වීමට ආදර්ශයක් වේවා!

සාරියෙන් බේරීම නිසා ඉතිරි වන යම් මුදලක් වේ නම් ඉන් ටිකක් වැය කොට ඉඳහිට හොඳ පොතක්පතක් මිලදී ගෙන කියවා බුද්ධිමය හා භාවමය සිරගෙවලින්ද නිදහස්වීමට සිත් පහළ වේවා!

මෙවර උසස් පෙළට සූදානම් වන මගෙ පුතා පාඩම් කරමින් සිට මා අසලට ආ විට කියූ දෙයක් මෙහෙමයි:
එයා හිතන විදියට සබ්ජෙක්ට් තුනටම -A – ගන්න එක පීස් ඔෆ් කේක් නැත්නම් අ වෝක් ඉන්ද පාර්ක්.

මම ඔහුට විහිළුවට මෙහෙම කිව්වා:

“ලංකාවෙ පළවෙනියා, දෙවෙනියා අරව මේව නං වෙන්න එපා මට ටීවීකාරයන්ට බොරු කියන්න බෑ. මම ඇත්තම කියනවා මෙන්න මෙහෙම:

මගෙ පුතාව මම විෂයයන් තුනටම දක්ෂ ටියුෂන් ගුරුවරු සහ ගුරුවරියන් ළඟට යැව්වා. මහා පරිමාණ ටියුෂන් කර්මාන්ත සැබෑ අධ්‍යාපනය කියල නොහිතන මම පුතාව යැව්වෙ කුඩා පන්තිවලට. විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වපු ගුරුවරිය තරුණ දරුවන්ට විචාරාත්මකව හිතන්න ඉගැන්වීමට හරිම දක්ෂයි. උසස් පෙළ ඉංග්‍රීසි විෂය නිර්දේශය සිංහල විෂය නිර්දේශය වගේ නෙමෙයි තරුණ දරුවන්ට ආදරය, ලිංගිකත්වය, ජාතිවාදය, ජාත්‍යන්තර ජන සංක්‍රමණය, ආදී මේ කාලෙ වැඩිහිටි පුරවැසියන්ට වැදගත් වන තේමා මුණ ගස්වන විෂය නිර්දේශයක්. සිංහල විෂය නිර්දේශය තියෙන්නෙ දරුවන්ට. ඉංග්‍රීසි විෂය නිර්දේශය තියෙන්නෙ තරුණ දරුවන් වැඩිහිටි පුරවැසියන් කරා ගෙනියන්න.

බොරු නම් ඔය විෂය නිර්දේශ දෙක සන්සන්දනය කරලා බලන්න. ඒවා ඇසුරින් මතු කළ හැකි අධ්‍යයන තේමා අතර විශාල බුද්ධිමය පරතරයක් තියෙනවා.

ඒ නිසා ඒ තේමා බය නැතුව හොඳට උගන්වන්න පොතපත එහෙම කියවන ගුරුවරු ඕනෙ. අපේ පුතාට උගන්නපු ගුරුවරිය එහෙම කෙනෙක්. ඉස්කෝලෙත් එහෙම ගුරුවරියක් හිටියට ඉස්කෝල ආකෘතිය සහ කාලය ඇයට නිදහසේ උගන්වන්න ඉඩ දෙන්නෙ නෑ. විෂයයන් තුනටම ඉතා දක්ෂ ගුරුවරු පාසලේ ඉන්නවා. ඒත් ඒ ගුරුවරුන්ගෙ ඉගැන්වීම් දක්ෂතා පොහොණි වී මල් ඵල දරන්න ඉඩ නොදෙන ආකෘති තමයි ඉස්කෝලවල තියෙන්නෙ. ඒවා සාරියට වඩා බරපතළ සීමා. ස්ටාලින්ලා, ජයසිංහලා අධ්‍යාපනයේ අන්තර්ගතය, හරය, අරමුණු වගේ ඒවා ගැන කතා කරන්නෙවත් නෑ. වෘත්තීය සමිති කොව්වත් එහෙම තමයි…”

මම ඔය විදිහට කතා කරගෙන යද්දි ටීවීකාරයො කැමරා ඕෆ් කරන බව මම දන්නවා.
ඒත් ශිෂ්‍යයත්වෙ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ වැනි ජාතික විභාග සමත් වෙන්න ටියුෂන් නැතුව බැරි තත්ත්වයක් නේද තියෙන්නෙ? සාරිය වෙනුවට නිදහස් ඇඳුමක් හැඳි ගුරුවරියන්ටත්, තවදුරටත් සාරියම හැඳ සිටින ගුරුවරියන්ටත් නිදහසේ හිතන්න මම එදාට අර විදියට කියනවා.

හැබැයි විභාගෙට පාඩම් කරනවා වෙනුවට වෙන වෙන දේවල් කියවන මගෙ පුතා අර ටීවී කැමරාවට කතා කරන්න මට ඉඩ නොදෙන්න හොඳටම ඉඩ තියෙනවා. මමත් ඒකට කැමතියි, ටීවී එකේ කතා කරන්න නොලැබුණත්.
ඔහු සාකල්‍යවත් අධ්‍යාපනයක් ලැබූ දරුවෙක්. විභාගෙට “A” වැලක් බලාගෙන පාසල් ගිය කෙනෙක් නෙමෙයි.
ඉතා සාකල්‍යවත් පාසල් අත්දැකීමක් ඔහුට දුන්න පාසලකට තමයි ඔහු යන්නෙ. මොන ඇඳුම ඇඳගෙන වුණත් ඒ සාරවත් පාසල් අත්දැකීම ඔහුට ලබාදුන්නෙ ඒ පාසලේ ගුරුවරු සහ ගුරුවරියන්.

හුදෙක් උපාධි සහතික කොළේ පමණක් නොබලා, තියුණු පරීක්ෂණයකින් පාසල් ගුරුවරුන් තෝරාගෙන, ගෞරවනීය ඉහළ වැටුපක් ගෙවා, නිදහස්කාරක වූද සාකල්‍යවත් වූද අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන හැටි ඔවුන්ට පුහුණු කරන්න ඕනෙ.

සාරියෙන් නිදහස් වූ ගුරුවරියො හැකිනම් බෙල් හුක්ස්ගෙ Teaching to Transgress: Education as Practice of Freedom වගේ පොතක් කියවල පටන්ගන්න. ඇය ලෝකය පුරා ගුරුවරියන්ට ආනුභාවය සැපයූ මහාචාර්යවරියක්. විශ්වවිද්‍යාලය යනු කුමක්ද පොතේ ඇය ගැන නිතර සඳහන් වෙනවා.

ලියනගේ අමරකීර්ති

එරික් ඉලයප්ආරච්චිගේ ,කොළඹ දැනුම,

0

බොහෝ කෙටිකතා අවසන් වන්නේ ඛේදවාචකයක් ලෙසින් ය. මිය යෑමක් , ඝාතනයක් , සිය දිවි නසා ගැනුමක් , පිපිරීමක් , ප්‍රිය විප්පයෝගයක් හෝ අප්‍රිය සම්පයෝගයකිනි. සැබවින් ම කෙටිකතා තුළින් ඉදිරිපත් කරන්නේ අට වැදෑරුම් දොළොස් වැදෑරුම් දුක දැයි සිතෙන තරමට ම කෙටිකතාව දුක්ඛාන්තයට වහල් වී ඇත. නමුත් මෙම කෙටිකතා සංග්‍රහය තුළ වූ බොහෝ කෙටිකතා දුකෙන් තොර සතුටක් දෛර්යයක් උපදවන අවසානයට උරුමකම් කෙටිකතා වීම ආශ්වාදනීය වේ. ( මෙහිද කෙටිකතා කිහිපයක් ඛේදාන්තයන් ලෙසින් අවසන් වේ. )

ඕනෑ ම කෙටිකතාවක සාර්ථකත්වයට කෙටිකතා ආකෘතිය , කෙටිකතා අන්තර්ගතය හා භාෂාව වැදගත් බවයි මාගේ හැඟීම නම්. නමුත් මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතුවරයාගේ කිසිඳු ආකෘති හරඹයක් දක්නට නොලැබෙන අතර වාර්තාමය ස්වරූපයෙන් කතාව ගලා යෑම දැක ගත හැකි ය. නමුත් කතා සාරය එම සියල්ල පරදවා ඉදිරියට පැමිණෙයි. පාඨකයා නොඇසූ විරූ නොදුටු විරූ අත්දැකීම් පාඨකයා වෙත ගෙන එමින් නව්‍ය වූ අත්දැකීම් සමුදායක් පාඨකයාට ලබා දීම නිසා කෙටිකතා සංග්‍රහයට අගයක් ලැබිය යුතු ය. වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශිත වූ අනෙක් කෙටිකතා සංග්‍රහයන්වලින් දිගු තත්පර හා ගෙදරවට සිතියම කෙටිකතා සංග්‍රහයන්ට වඩා බොහෝ ලෙසින් විසිරී පැතුරුණු අත්දැකීම් දාමයන් පාඨකයන් වෙත ගෙන ආවද එම කෙටිකතා සංග්‍රහ තුළ වන ආකෘතිමය හා භාෂාත්මක හරඹය ඉදිරියේ කොළඹ දැනුම පසු බසියි. එහෙත් කතා එකොළහ තුළ වන කතා අන්තර්ගතයන් පසු පසට ගන්නා පයම ඉදිරියට තබන්නා සේ ය. එමනිසා අනෙක් කෙටිකතා සංග්‍රහයන් දෙකටම වඩා සිත්ගත් කෙටිකතා සංග්‍රහය මෙය වූ බව කිව යුතු ය.

එරික් ඉලයප්ආරච්චිගේ බොහෝ නවකතා පුහුණු පාඨකයෙක් ඉල්ලා සිටින නමුත් කෙටිකතාව ඉන් බොහෝ ලෙස වෙනස් වන බැව් මෙමඟින් හැඟී ගියේ ය. කෙටිකතා එකොළහකින් යුක්ත මෙම කෙටිකතා සංග්‍රහයේ බොහෝ කෙටිකතා ඕනෑම පාඨකයෙක්ට සරල ව වටහා ගත හැකි ඒවා ය. ඒ තුළ ඇති ධ්වනිය පළපුරුදු පාඨකයෙක්ට වටහා ගැනීම අපහසු නොවේ. මෙහි එන කොළඹ දැනුම , දිවයින් තුනක්, උපතක විපත කෙටිකතා දෙක යම් තරමක් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරයි. අනෙක් සියලු කෙටිකතා පාඨකයා සැබවින් ම ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යයි. කෙටිකතා පිළිබඳ ව කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකි ය.

ඊසප්පුගේ වික්‍රමය නම් පළමු කෙටිකතාව නව යෞවන අවධිය නිරූපණය කරන තරුණ ගැටවරයන්ගේ ඇට්ටරකම් අලලා ලියන ලද මෙහි ඊසප්පු නම් තරුණයා තුළින් වහනය වන සමාජ අසාධාරණය කතුවරයා සියුම් ව ඉදිරිපත් කරයි.සුදු සීයා හා ඊසප්පු නම් චරිත ද්විත්වය තුළ සැඟවී ඇති සමාජ යථාර්ථය පාඨකයාට සෙවීමට භාර ය.

මෙහි එන ඉතා රසවත් මෙන් ම නව්‍ය අනුභූතියකින් යුතු කතාවක් වන අවතැන් ප්‍රේමය කෙටිකතාවද කෙටිකතා සංග්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාවකි. රාසික් තුළින් නොනිවී ඇවිලෙන ජාතිවාදයත් පූජිතා තුළින් අවතැනෙහි පවා සිදුවන අසරණත්වයත් ප්‍රේමය තුළ සිදුවන මුලාවත් ධ්වනිත කරන කෙටිකතාව තුළ විටින් විටින් ගෙන එන සංකේත එහි සාර්ථකත්වය තීව්‍ර කරයි.

අහරක රස කෙටිකතාවක තවරා පාඨකයාට පිදීම රජ බොජුන් තුළින් කියැවේ. විශ්‍රාමිත්වය ඔත්පළත්වය තුළ වුව ද වැඩෙන අතීත කාමී වෘත්තීය පහස මෙතුළින් කුළු ගැන්වේ. ආහාර කලාවේ අතීතයත් වර්තමානයත් උපහාසත්මක අයුරින් සංකේතානුසාරයෙන් ගෙන ඒම කෙටිකතාව තුළින් සාර්ථක ව සිදු වී ඇත.

ඈන් ෆ්‍රෑන්ක් කථාවක් නම් වූ කෙටිකතාව බොහෝ ලෙස සාර්ථක ලක්ෂණ පෙන්නුම් කරන රසවත් භාවය තරමක් සිඳී ගිය කෙටිකතාවකි. 1983 කළු ජූලියේ සිදු වූ සිදුවීමක් කාර්‍යයාල සේවකයෙකු හා එක් කොට රචනා කර තිබීම මෙහි දැක ගත හැකි ය. ජාතිවාදී කෝලාහල සමයක ලියවුණු සුලබ කතාන්දරයක් ලෙසින් ද පාඨකයාට භාරගත හැකි වීම නිසා රසවත් භාවය පිළිබඳ ව පැන නගී.

මුහුදු වෙරළේ ඩමිය නම් වූ කෙටිකතාව ජාතික දෙබිඩියාව තුළින් පිටස්තර කරන ලද රොබින්සන් නම් චරිතය තුළින් සමාජ සංකේතයක් නිරූපණය කරයි කෙටිකතාව තුළ කතුවරයාගේ ශ්‍රාස්ත්‍රීය දැනුම යම් තරමක් දුරට ඉස්මතු වී පෙනීම නිසා කියවීම තරමක් දුරට නීරස ය. කෙටිකතාවේ නාමය හා කෙටිකතාව අතර වන සම්බන්ධය වටහා ගන්නට පාඨකයාට අවසන් ඡේදය වන් තුරු ඉවසා වැදෑරිය යුතු ය.

කොළඹ දැනුම කෙටිකතාව මෙහි එන සංකීර්ණ කෙටිකතාවකි. ඇතැම් වාක්‍ය දෙතුන් වරක් කියවා අර්ථ වටහා ගන්නට සිදුවූ බව කිව යුතු ය. නමුත් කලාත්මක හා ශ්‍රාස්ත්‍රීය අතින් කතුවරයා දක්වන නව්‍යත්වයත් අනුභූතික පරිසරයට ඇති ලෝලීත්වයත් හේතුවෙන් එය සාර්ථක ම නිර්මාණයක් වී ඇත.

අහිගුණ්ඨිකයෙක්ට බූරුවෙක් නම් වූ කෙටිකතාව ක්ෂුද්‍ර ජාතික මිනිසෙකු සිය අතීත උරුමයක් රැක ගැනීමට(ජීවී උරුමයක්) ගොස් සිදුවන ඛේදනීය ඉරණමක් සියුම් සමාජ විමර්ශනයක් තුළ ගැබ් කර ඉදිරිපත් කර තිබීම දැක ගත හැකිය. මෙම කෙටිකතාව පාසල් අධ්‍යාපනයට යොමු කිරීමට තරම් සාහිත්‍යයෙන් පෝෂිත බැව් කිව යුතු ය.

සුළු කවියා හා මහ කවියා නම් වූ කෙටිකතාව තුළින් කලා ක්ෂේත්‍රය තුළ සැබෑ දක්ෂයා හා ඉස්මතු වන දක්ෂයා අතර වන වෙනස ඉතාමත් නව්‍යත්වයකින් ගෙනහැර පෑම සිදු කර ඇත. එවන් මාතෘකා සාකච්ඡාවට ලක්වන පොදු කතා රසව වෙනුවට අවසානයේ ඉදිරිපත් කරන සංකල්පය තරමක් ප්‍රබල ලෙස දැනවීම පිළිබඳ ව පැසසිය යුතු ය.
කොස්වාලිහිණි නම් කෙටිකතාව තුළින් මිත්‍රත්වය පිළිබඳ විව්ධ සංකල්ප ධ්වනිත කරයි. සමාජීය මිනිසුන් පිළිබඳ සියුම් විමර්ශනයක් ද මෙමඟින් සිදුවේ.

දිවයින් තුනක් කෙටිකතාව මෙහි එන දීර්ඝතම කෙටිකතාව වන අතර කෙටිකතාකරුවා කතාව තුළ පාඨකයා රඳවා ගන්නට අසමත් වන බවයි මාගේ හැඟීම නම්. එමෙන් ම උපතක විපත කෙටිකතාවත් මෙහිත් කතුවරයාගේ ශ්‍රාස්ත්‍රීය දැනුම උඩු පිනුම් යටි පිනුම් ගසමින් ආධිපත්‍යය පතුරවද්දී කතා රසය හීන වී යයි.

එරික් ඉලයප්ආරච්චිගේ අනෙකුත් කෙටිකතා සංග්‍රහයන් සොයා කියවීමට තරම් බලපෑමක් කෙටිකතාකරුවා මෙමඟින් සිදු කරයි. ඔහුගේ නවකතාවල මෙන් නොව කතා රසය හා කතා ගැළපුම අතින් කෙටිකතාව බොහෝ ලෙසින් ඉදිරියෙන් තැබිය හැකි ය. පාඨකයාට දැනෙන චරිත නිරූපණයත් කතාව තුළ නිසඟයෙන් රඳවගනිමින් ශ්‍රාස්ත්‍රීය දැනුම අඩු වැඩි වශයෙන් ලබා දෙන්නටත් ඔහු කටයුතු කරයි.
2021 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙම කෙටිකතා සංග්‍රහයට හිමි වීම පුදුමයක් නොවේ.
( පොතක් ගැන වදනක් 71)

අකලංක මාතරගේ

පවන් අංජනගේ කවිවල විශේෂත්වය වෙන්නෙ එහි ඇති සියුම් බව සහ හැඟුම්බර බවයි

0

පවන් අංජන ‘වළාකුළු නිම්නයට එන්න’

පවන්ගේ කවි එකතුව කියවන්නට පටන් අරගෙන දවස් ගාණක්. ඒක අඛණ්ඩ කියවීමක් නෙවෙයි. කෝචිචිවල බස්වල ස්ටේෂන්වල වරින් වර කළ කියවීමක්. කෝච්චි පරක්කුව වගේම වැස්ස වගේ විවිධ සාධක ඒකට විටෙක සහය දුන්න වගේම තවත් විටෙක බාධාවන් කළා තමයි. හැබැයි කවර බාධා මැද වුනත් මේ පොත පුරාම තිබුණ ගුණය තමයි නවත්තපු තැනින් ආයෙම කියවන්න උත්තේජනයක් ලැබෙන එක.

පවන් තම කවි පොත ආරම්භයෙම මෙහෙම දෙයක් කියනව.

කවියෙන් කවියට පදයෙන් පදයට
අර්ථ විවරණ අසා රිදවන මිතුරනි
මේ කිසිදු කවකට එහිම අර්ථයක් නැති
ඒවා හුදු හැඟුමා මා ලියමන් පමණි
ඒවා විඳගැනුම හෝ නොගැනුම ඔබ සතු යමකි
මෙතැකයි නොකියමි මෙපමණකින් නවතිමි

මම ඉස්සෙල්ලම කළේ පවන්ගෙ උපදේශය අල්ලලා එලියට වීසි කරන එක. මේ කවි එහිම අර්ථයක් නැති කවි කියල හඳුන්වනවට වඩා පාඨකයගේ කියවීම අනුව විවිධ තැන් වලින් පිවිසෙන්න, අරුත් ගන්වන්න පුළුවන් නිර්මාණ. ඒ කවි විසිතුරුයි, විවිධ අරුත් සම්පාදනයට මග සලසන ස්වභාවයෙන් යුක්තයි. ඒ කවි කියවන පළමු මොහොතෙ දැනෙන්නෙ පඨකයා පෙම් සැරියකට සැරසෙන බවක්. කවියා පෙමෙහි විසිතුරු බව විවිධ ආකාරයෙන් ගෙනහැර පානව. ඒක මතුපිටින් බලනකොට පේන්නෙ මෙච්චර අර්බුද තියෙද්දිත් කවියා නිකං මෙහි අසිරිය වර්ණනා කරමින් අපිව වෙනතක ඇදගෙන යන්න හදනව වගේ වැඩක් කියලයි. ඒ නිසාම වෙන්නඇති සමහර වෙලාවට කවියම පෙරවදනෙ වගේම පළමු කවියෙනුත් කරුණු පැහැදිලි කිරීමකට යන්න හදන්නෙ.

ඒත් මට අනුව නම් මේ කවි කෙසේවත් මේ මොහොතෙන් වියුක්තව පාවෙන කවි නෙවෙයි කියන එක. ඒ කවි අතරෙ මේ අපි ගෙවන කාලයෙ වේදනාව, කටුකත්වය දුෂ්කරබව අනවබෝධය, කුහකකම ගැන මතු කෙරෙනව.

ඔහු ඔයා එනවද මාත් එක්ක කියන කවියෙ මෙහෙම ලියනව.

ඔයා එනවද මාත් එක්ක
වෙන මාසෙකට පැනල යන්න
ඔයා එනවද මාත් එක්ක
වෙන අවුරුද්දකට පැනල යන්න
ඔයා එනවද මාත් එක්ක
වෙන සියවසකට පැනල යන්න

ඇයි කවිය මෙහෙම කියන්නෙ? ඔහු හදන්නෙ පලා යන්නද? මම නං හිතන්නෙ ඒකෙ තියුණු උත්ප්‍රාසයක් තියෙනව කියලයි. ඔහුම පසුව මෙහෙම කියනව.

හැමෝගෙම ඇස් වලින් හැංගෙන්න
(මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද ඇත්තටම)

මේ ලොකු සමාජ කියවීමක් වචන කිහිපයකින්. අනෙකාගේ නිදහස ගැන වගකට නොගන්න අනෙකාත් තමන්ගේ ඇහෙන්ම මනින්න හදන සමාජයක මිනිස්සුන්ට නැති ජීයවිතයක් ගැන මේ ඉඟි කරන්නෙ.
හාදුවක තත්පර කියන කවියත් ඒ වගේමයි. ඒක දිග කතාවක් තියුණු ව්‍යංගාර්ථවත් බසකින් දිගහරින කවියක්. ඔහුගේ කාව්‍යාත්මක යෙදුම් අපූරුයි.

ඩිජිටල් ශිෂ්ටාචාරයක ඉවුරේ
ටැෆික් ලයිට් නිවී දැල්වෙන නිමේෂයක
මං, ඔබේ නළල උඩ මළුව ඉම්බා

මතක තියා ගන්න ඔහු ඉඹින්නෙ උඩ මළුව. එහි ඇති පූජණීයත්වය කෙතරම්ද කියන්න ඒ යෙදුමම ඇති.

සුදු වතින් පේවුන කතක්
කාටදෝ ඇනුම් පද කිවුවා

දැං කවියගෙ කතාව සම්පූර්ණයි. අපිට මේ කවි වර්තමාන මොහොත හැරදා පලා යන නිර්මාණ කියන්න හැකිද.
ඔහු ආයෙම මෙහෙම කියනව.

බස් එකෙන් බහිද්දිම
කාකි කපුටෙක් පියාඹා විත්
න්‍යෂ්ඨික අවියක්
මගෙ බෙල්ල මුලටම තිබ්බා
අපි ඈත් වී පියමැන්නා

මේ තමයි සංස්කෘතික පොලිසියේ ස්වභාවය. ඉතිං මේ කවි අහසෙ පාවෙන කවි වෙන්න පුළුවන්ද? කවියා හරියටම නිලය අල්ලනව.
ඔහු අද අපේ ජීවිතවල ඛේදය හරියටම අල්ලන තවත් කවියක් නම් කරන්නෙ අද මට හැන්දෑව මගඇරුණා යන නමින්. මේ කවියෙ එන්නෙ සමකාලීන ජීවිතය කියන වියවුලම මිස වෙන දෙයක් නෙවෙයි.

අද හැන්දෑව මට මගඅරුණා
මේ හතරැස් පරිගණකය
මාව හතරැස් කොටුවක හිරකරනවා
දැකන් මගේ සිතුවිලි හතරැස්

අද අපි ගෙවන ඒකාකාරී, මැෂින් වැනි ජීවිතය අපිට කියාගන්න පුළුවන්ද? මේ ගැන මීට කාලෙකට කලින් දයාසේන ගුණසිංහ අපූරුවට ලිවුවා. දැන් පවන් ඒ කාරණාවම අල්ලගන්නව. ඔහුගෙ කවිවල තියෙන විශේෂත්වය වෙන්නෙ එහි ඇති සියුම් බව සහ හැඟුම්බර බව. මට ආසයි ආයෙත් ඉස්කෝලෙට යන්න කියන කවිය මට නම් විශේෂයි. ඔහු ගොලු හදවත සංක්ෂිප්ත කරනව වගේ හැඟීමක් මට දැනුන ඒ කවිය කියවද්දි. අපේ යෞවන දිවිය සංක්ෂිප්තව ඒත් විසල් සිත්තමක් වගේ මවන ඒ කවියත් කදිමයි. ඔහුගේ සමස්ත කවි සැරිය පුරාම මේ සංක්ෂිප්තබව තුළ ඇති විසල් බව දකින්න පුළුවන්.

පවන්ගෙ කවි මට ගමන් විඩාව අතරෙ ආශ්වාදයක් එක්කම අභ්‍යාසයකුත් දුන්නා. පවන්ට සුබ පැතුම් මේ ඇරයුම ඔබටත් ඒ කවි කියවන්න.

චූලානන්ද සමරනායක

යක්ෂයාගේ ක්‍රිකට් ගහමු…එතකොට දෙයියෝ ඔය යන දේවාලෙකින් යයි….

0

ක්‍රිකට් වල මගේ වීරයා අරවින්ද. සංගා නෙවෙයි. ඒකට හේතුව අරවින්ද ළඟ තිබ්බ ප්‍රහාරක බව. ඒ ප්‍රහාරක බව මහ අමුතු එකක්. එයා ක්‍රිකට් වල රැඳිලා ඉන්න (පවතින්න) ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි (survival cricket). තිබ්බ ප්‍රහාරක බව නිසා රැඳිලා හිටිය (පැවතුන) කෙනෙක්.

රැඳිලා ඉන්න (to survive) මහා ලොකු උණක් තිබ්බේ නැති නිසා මැනේජර් කෙනෙක් තියාගෙන උගේ උවමනාවට ක්‍රිකට් ගැහුවේ නැහැ අරවින්ද. පුද්ගලික ලකුණු දිහා බලාගෙන පරිස්සමෙන් වෘත්තියේ රැඳිලා හිටියේ නැහැ මම දන්නා විදියට. හෝ තණතීරුවේ දැක්ක විදියට. එයා ගැහුවේ මරන්ඩු ක්‍රිකට්. එයා ළඟ තිබ්බේ ටිකක් පිරිමි පහේ ක්‍රිකට් එකක් (දේශපාලන නිරවද්‍ය නොවන භාෂාවක් පාවිච්චි කළොත්). ඒ කියන්නේ සෙල්ලක්කාර ක්‍රිකට්. කොළු ක්‍රිකට්. ඒකයි බලන්න ආස.
සංගා මහේල දෙන්න ඒක වෙනස් කරලා පොස්ට් මොඩන් ක්‍රිකට් ගැහුවා (postmodern cricket). ඒ කියන්නේ පරිස්සම් ක්‍රිකට්. මෙයින් කියන්නේ නැහැ සංගා රිස්කි ෂොට් (risky shots) ගැහුවේ නැහැ කියල. ඒවත් ගැහුවේ කල් යල් මැනලා. අනාගත ආයෝජන විදියට.

නමුත් අරවින්ද එල්ලී එල්ලී ගැහුවේ අවදානම් ක්‍රිකට්. පට්ට එළියේ යන බෝල ඇදල හුක් ගැහුවා. පුල් ගැහුවා. අවුට් උණා. යන්න ගියා. අවුට් වෙලා ගියත් පොඩි රණශුර ගතියක් තිබ්බා (warrior).

පරිස්සම් අඩු අරවින්දගේ පුද්ගලික ලකුණු අඩුයි. පරිස්සම් වැඩි සංගාගේ පුද්ගලික ලකුණු වැඩියි. ඒක නරක දෙයකුත් නෙවෙයි. හැබැයි ඒ අරවින්ද නෙවෙයි.

සංගාට කතා පවත්වන්න ආරාධනා ලැබුණ. ආදර්ශමත් ආදි ශිෂ්‍යයෙක් උණා. ආදර්ශමත් පවුලක් තිබ්බා. නයිට් නාමයක් ලැබෙන්නත් ඔන්න මෙන්න. අරවින්දට ඒ තරම් දේවල් තිබ්බේ නැහැ. එයා ගොඩක් හිටියේ යක්ෂයාගේ පැත්තේ.
යක්ෂයාගේ ක්‍රිකට් ගහපු අරවින්ද රණශුරයෙක් උණා. පරිස්සම් ක්‍රිකට් ගහපු සංගා දෙයියන්ට අයිති උණා.
පිච් එකට ටොක් ටොක් ගාල කොටල එන එන එකට දීලා ඇද්ද අරවින්ද මිනිස් ලෝකයේ මතක හිටින නමක් උණා.
මිනිස් ලෝකයේ අරවින්ද වගේ ක්‍රිකට් ගහමු. එතකොට දෙයියෝ ඔය යන දේවාලෙකින් යයි….

(අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න නෙවෙයි මේක ලිව්වේ).

මහේෂ් හපුගොඩ

2022 පාපන්දු ලෝක කුසලානයේ පළවෙනි බිග් මැච් එක

0

2022 පාපන්දු ලෝක කුසලානයේ පළවෙනි බිග් මැච් එක. එහෙම නැත්තන් දත කට විකාගෙන බලන්න පුළුවන් මැච් එක තමයි සෙනගාල් සහ නෙදර්ලන්ත මැච් එක. මගේ කියවීමට අනුව මේ පාර ටූනමන්ට් එකේ Dark Horses ලා වෙන්නේ සෙනගාලය. හැබැයි එකම එක හේතුවක් නිසා මේක පොඩ්ඩක් වෙනස් වෙනවා.

ඒ තමයි සෙනගාල් වල X Factor එක වෙන සාදියෝ මානේ ඉන්ජර්ඩ් වීම. මානේ කියන්නේ අප්‍රිකානු පාපන්දුවෙන් මෑත ඉතිහාසයේ බිහිවෙච්ච සාර්ථකම ක්‍රීඩකයා. කෙනෙක්ට කියන්න පුළුවන් නෑ මොහොමඩ් සලා කියලා. ඒත් මගේ කියවීමට අනුව මානේ > සලා. මානේ නැති සෙනගාල් ටීම් එක හරියට නිකං පරිප්පු නැති හෝටලේ වගේ. සෙනගාලය ට මේ පාර World Cup එකේ කරන්න ආපු දේවල් වලින් බාගෙට බාගයක වාසිය මානේ නැති වීම උඩ අවධානම් කලාපයට ගිහින් තියෙනවා.

අනිත් අතින් නෙදර්ලන්තය ෆුල් ෆිට් තරු ගොඩක් එක්ක ලෝක කුසලානයට ඇවිල්ලා ඉන්නවා. ලෝකෙ හොඳම ක්ලබ් ලෙවල් එකේ වැඩ දාන තරු ගානක්ම නෙදර්ලන්තය සතුව ඉන්නවා. නෙදර්ලන්තයේ වගේම සෙනගාලයේත් මේ මැච් එක දිහා බැලුවම පේන ස්ට්‍රෝන්ග් ම තැන තමයි ඩිෆෙන්ස් එක. සෙනගාල් කියන්නේ ඩිෆෙන්සිව් අතින් ගත්තම ගෝල් එකක් දෙන්නෙම නැති ටීම් එකක්. අප්‍රිකාවේ ඉන්න ශරීර ප්‍රමාණය ලොකු ශක්තිමත් සෙට් එකක් මවාගන්න. අන්න ඒ වගේ තමයි සෙනගාල ඩිෆෙන්ස් එක.

සෙනගාලයේ සාමාන්‍යයෙන් ස්ටාට් කරන සෙන්ටර් බැක් දෙක වෙන අබ්ඩු ඩියාලෝ අඩි 6’2 ක් සහ කලිඩු කොවුලිබාලි 6’1 ක උසකින් යුක්තයි. අනෙක් පැත්තෙන් නෙදර්ලන්තයේ සෙන්ටර් බැක් දෙක ගහන මතිස් ඩි ලිට් අඩි 6’2 ක් සහ වර්ජිල් වැන් ඩයික් අඩි 6’4 ක් උසයි. උස වගේම තමයි මෙයාලගේ ඇඟවලුත් ඒ වගේම සයිස්. ඩියාලෝ විතරයි පොඩ්ඩක් හරි කෙට්ටු එකෙක්ට ඉන්නේ (අනිත් 3 ට සාපේක්ෂව හොඳේ). ඉතින් මේ යෝධයෝ 4 දෙනා තමයි මේ මැච් එකේ ලොකුම Fact එක වෙන්නේ.

සෙනගාල් වල අනිත් තීරණාත්මක සාධකය තමයි ගෝල් කීපර් එඩොවුරාඩ් මෙන්ඩි. මෙන්ඩි කියන්නේ පහුගිය අප්‍රිකානු ශූරතාවයේදී වගේම අප්‍රිකා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී මොහොමඩ් සලා ගේ ඊජිප්තුව දෙපාරක් පෙනල්ටි ශූට් එකෙදි පරාද කරපු ගෝල් කීපර්. ඔහුත් අඩි 6’4 ක් උස කෙනෙක්. හැබැයි මෙන්ඩි පහුගිය කාලේ ඉන්ජර්ඩ් වෙලා හිටියේ. දැනට World Cup Squad එකේ ඉඳියට ස්ටාට් කරයිද නැද්ද කියලා හරියට කියලා නෑ.

මානේ ගේ නොමැති වීම හින්දම ඩිෆෙන්ස් එකෙන් එහාට ගියාට පස්සේ මිඩ්ෆීල්ඩ් එකෙයි ඇටෑක් එකෙයි වාසිය නෙදර්ලන්තය සතු වෙනවා. ෆ්‍රැන්කි ඩියොන්ග්, ක්ලබ් ලෙවල් එකේ බුල ගැහුවට හැමදාම ඉන්ටර්නැෂනල් හොඳට ගහන මෙම්පිස් ඩිපායි දෙන්නට මිඩ්ෆීල්ඩ් සහ ඇටෑකින් සෑහෙන්න වගකීමක් තියෙනවා. සෙනගාලය පැත්තෙන් නම් වට්ෆෝඩ් ගහන ඉස්මයිලියා සාර් ට සම්පූර්ණ බර අදින්න වෙනවා. ඩිෆෙන්සිව් මිඩ් ෆීල්ඩර් ගහන ඉඩ්‍රිස්සා ගාන ගේ ගැනත් මතක් කරන්න ඕනි.

සෙනගාලය ලෝක කුසලානයට එන්නෙ තමන්ගේ කුළුඳුල් අප්‍රිකානු ශූරයෝ විදිහට. ලෝක ශ්‍රේණිගත කිරීම් වල 18 වෙනි තැන ඉන්නෙත් සෙනගාලය. නෙදර්ලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි තැන ඉන්නවා. තාමත් හිතෙන්නේ සාදියෝ මානේ ඉඳියා නම් මේක මොන තරම් ආතල් මැච් එකක් වෙයිද කියලා.

පුරුදු විදිටම තැඹිලි පාටට සැරසුන නෙදර්ලන්ත ෆෑන්ස්ලා යායක් දකින්න පුළුවන් වෙයි. අමුතු විදිහට ශබ්ධ දෙන කටු වලින් හැදුන මාල දාගත්ත, සංගීත භාණ්ඩ වයන අප්‍රිකානු සංස්කෘතිය සෙනගාල් ෆෑන්ස්ලා ගෙන් බලාගන්න පුළුවන් වෙයි. හැබැයි කටාර් වල මේ නීති ප්‍රශ්නය නිසා සුදු වර්ණය ඇඟ පුරා ගාගෙන සැබෑ අප්‍රිකානු ගෝත්‍රික නිරූපණයක් පෙන්වලා නටන සෙනගාල් ෆෑන්ස්ලා නම් අද දකින්න වෙන එකක් නෑ. ඒක අපරාදයක්.

ලෝක කුසලානෙදි දකින්න හම්බෙන්නෙ නැති නිසාම මම ඒ සෙට් එකේ පොටෝ එකක් එකතු කලා.

ශාමින්ද ජයරත්න