සාරිය – හුදු ඇඳුමක් වෙනස් කිරීමට වඩා එහා ගිය සංස්කෘතික පරිවර්ථනයකට

Share post:

ශ්‍රී ලංකාව රටක් ලෙස වෙනස් කිරිම සම්බන්ධයෙන් කතා කරන ඕනෑම අවස්ථාවක මම ප්‍රායෝගිකව එය ආරම්භ කළ යුතු හොඳම ස්ථානයක් විදිහට දකින්නේ පාසලයි. ඒ සඳහා ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, සම්ප්‍රදායයන්, විෂය නිර්දේශ සහ උගන්වන ආකාරය ආදී මේ සියල්ලම දෙස බැලිය යුතුයි. සමහර විට ඒ එක සුළු වෙනසක් විශාල පරිවර්තනයන් වලට මග කපන්න ඉඩ තියෙනවා. එබැවින් වෙනස් කිරීම් සම්බන්ධයෙන් කථා කරන හැම විටම අත්හදා බැලිය යුත්තේ විශාල වෙනස් කිරීම් වලට වඩා සුළු පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් තැනුයි. සාරිය වෙනස් වීම හුදු ඇඳුමක් වෙනස් කිරීමට වඩා එහා ගිය සංස්කෘතික පරිවර්ථනයකට පාර කපන්නේ ඉඩ ඇත්තේ ඒ නිසයි.

දැන් සාරිය වෙනස් කර වෙනත් ඇඳුම් වලට ගුරුවරියන් යනවාත් සමගම ඊට විරෝධය පළ කරන අයගෙන් ඇවිල්ලා ඇති මතයක් තමයි සාරිය තරම් සංවර වැදගත් භාවයක් අනිත් ඇඳුම් ඇඳගෙන ආවම පෙනෙන්න වල නැති බවයි, එයින් වගකිය යුතු ගුරුවරියකගේ ස්වභාවය නොපෙනෙන බවයි.

සම්ප්‍රදායික පිරිමින්ගේ කවි ගීත සිතුවම් ආදී බොහෝ ප්‍රකාශන තුළ බොහෝ කාලයක සිට සාරිය ඇඳි ගැමි ලලනාව චිත්‍රණය කර තිබෙන රොමැන්ටික් රූපය බොහෝ දෙනෙකුගේ හිත් වලින් එක රැයින් අයින් කර ගන්ඩ අපහසුවීම තේරුම් ගන්න පුළුවන්. එකම ගැහැනිය සාරියයි ගවුමයි දෙක අදිද්දි දෙවිදිහකට පෙනෙන්නේ මේ නිසයි. මෙයින් සැලකිය යුතු පිරිමි සංඛාවක් මෙසේ නිර්මාණය කරපු සාරියට රැවටී ගැහැනුන්ව කසාද බැද මැදි වයසෙදි ගෙවල් වලට වඩා හවසට බාර් වලට යමින් වුණේ මොන මගුලක් දැයි කල්පනා කරමින් තාමත් මිහිකත නලවාලා සිංදුව ගහන හැටි අපි දැකල තියනවා. ඒක වෙනම කතාවක්.

කොහොමහරි සාරිය ඇරුණුකොට අනිත් අදින ඇඳුම් වලට යම් කිසි වගකිවයුතු භාවයක් පිළිවෙලක් දෙන්නට අවශ්‍යම නම් ඒකද ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. එකී තත්ත්වය රඳා පවතින්නේ සංස්කෘතිකව සාම්ප්‍රදායිකව එන දෙයක් මත නෙමෙයි එම ඇඳුම ඉදිරිපත් කරන ආකාරය තුළයි. ඔය පන්ජාබි ඇඳුම්, දිගු කලිසම්, සාය සහ ගවුම් මේ සියල්ලම අවශ්‍ය නම් සාරිය තරම්ම වගකිවයුතු බැරෑරුම් පිළිවෙලකට පෙනෙන විදිහට නිර්මාණය කරගෙන අදින්න පුළුවන්. විවිධ රටවල් වල සංස්කෘතීන් වල ඔය ඇඳුම් සමහර ගුරුවරුන් සහ කාර්යාල සේවකයින් අඳින්නෙ එහෙමයි. ඒවා කැෂුවල් ඇඳුම් බවත් සාරිය කැෂුවල් නොවන බවත් කීම සම්පූර්ණයෙන් වැරදියි. ඕනෑම ඇඳුමක් කැෂුවල් විදිහටද බැරෑරුම් හෝ නිල විදිහට ද නිර්මාණය කර අඳින්න පුළුවන්. සාරියමත් ඔය සෑම විදියකටම විවිධ කාන්තාවන් පොළේ බඩු විකිණීමේ ඉඳන් නඩු කතා කිරීම දක්වා විවිධ විදිහට අඳිනවා.

පාසල් සහ විශ්වවිද්‍යාල වල දී මට හමුවුනු විෂය ඉතා දක්ෂ විදිහට ඉගැන්වූ ගුරුවරු කීප දෙනෙක් මට මතකයි, ඔවුන් සියලුම දෙනා වගේ ඇඳුම ගැන එතරම් සැලකිලිමත් අය නෙමෙයි. ඔවුන් පඩංගු හං සෙරප්පු දෙකක් සහ කාලිසමට උඩින් මොකක් හරි ෂර්ට් එකක් දාගත්ත අයයි. අපිට ඔවුන් ගැන විශාල ගෞරවයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නැගුනේ ඇඳුමට නෙමෙයි ඔවුන් වැඩ කාරයන් බව අපි තේරුම් ගැනීම නිසයි. ඔවුන් සියලුම දෙනාට මෙන් විෂයට සීමා නොවුණු සමාජය ජීවිතය ගැන ද පුළුල් අවබෝධයක් තිබුණා.

දවස අවසානයේ ශිෂ්‍යයාට ඉතාම වැදගත් දේ ගුරුවරයා ඉතා දක්ෂයෙක් වීමයි. ඒ නිසා ගුරුවරුන් මේ ඉන්න තත්ත්වයට වඩා බොහෝ පැතිවලින් නඟාසිටුවීම සඳහා අවශ්‍ය පරිවර්තන කිරීම් ගැන ද මේ සමග කල්පනා කරල බැලීම වටිනවා. පාසලේ සිදුවන පරිවර්තනයට ජනතාවගේ අවධානය සහ සහයෝගය විශාල වශයෙන් ලබා දිය යුතුයි.

ධනංජය කරුණාරත්න

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...