බොහෝ කෙටිකතා අවසන් වන්නේ ඛේදවාචකයක් ලෙසින් ය. මිය යෑමක් , ඝාතනයක් , සිය දිවි නසා ගැනුමක් , පිපිරීමක් , ප්‍රිය විප්පයෝගයක් හෝ අප්‍රිය සම්පයෝගයකිනි. සැබවින් ම කෙටිකතා තුළින් ඉදිරිපත් කරන්නේ අට වැදෑරුම් දොළොස් වැදෑරුම් දුක දැයි සිතෙන තරමට ම කෙටිකතාව දුක්ඛාන්තයට වහල් වී ඇත. නමුත් මෙම කෙටිකතා සංග්‍රහය තුළ වූ බොහෝ කෙටිකතා දුකෙන් තොර සතුටක් දෛර්යයක් උපදවන අවසානයට උරුමකම් කෙටිකතා වීම ආශ්වාදනීය වේ. ( මෙහිද කෙටිකතා කිහිපයක් ඛේදාන්තයන් ලෙසින් අවසන් වේ. )
ඕනෑ ම කෙටිකතාවක සාර්ථකත්වයට කෙටිකතා ආකෘතිය , කෙටිකතා අන්තර්ගතය හා භාෂාව වැදගත් බවයි මාගේ හැඟීම නම්. නමුත් මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතුවරයාගේ කිසිඳු ආකෘති හරඹයක් දක්නට නොලැබෙන අතර වාර්තාමය ස්වරූපයෙන් කතාව ගලා යෑම දැක ගත හැකි ය. නමුත් කතා සාරය එම සියල්ල පරදවා ඉදිරියට පැමිණෙයි. පාඨකයා නොඇසූ විරූ නොදුටු විරූ අත්දැකීම් පාඨකයා වෙත ගෙන එමින් නව්‍ය වූ අත්දැකීම් සමුදායක් පාඨකයාට ලබා දීම නිසා කෙටිකතා සංග්‍රහයට අගයක් ලැබිය යුතු ය. වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශිත වූ අනෙක් කෙටිකතා සංග්‍රහයන්වලින් දිගු තත්පර හා ගෙදරවට සිතියම කෙටිකතා සංග්‍රහයන්ට වඩා බොහෝ ලෙසින් විසිරී පැතුරුණු අත්දැකීම් දාමයන් පාඨකයන් වෙත ගෙන ආවද එම කෙටිකතා සංග්‍රහ තුළ වන ආකෘතිමය හා භාෂාත්මක හරඹය ඉදිරියේ කොළඹ දැනුම පසු බසියි. එහෙත් කතා එකොළහ තුළ වන කතා අන්තර්ගතයන් පසු පසට ගන්නා පයම ඉදිරියට තබන්නා සේ ය. එමනිසා අනෙක් කෙටිකතා සංග්‍රහයන් දෙකටම වඩා සිත්ගත් කෙටිකතා සංග්‍රහය මෙය වූ බව කිව යුතු ය.
එරික් ඉලයප්ආරච්චිගේ බොහෝ නවකතා පුහුණු පාඨකයෙක් ඉල්ලා සිටින නමුත් කෙටිකතාව ඉන් බොහෝ ලෙස වෙනස් වන බැව් මෙමඟින් හැඟී ගියේ ය. කෙටිකතා එකොළහකින් යුක්ත මෙම කෙටිකතා සංග්‍රහයේ බොහෝ කෙටිකතා ඕනෑම පාඨකයෙක්ට සරල ව වටහා ගත හැකි ඒවා ය. ඒ තුළ ඇති ධ්වනිය පළපුරුදු පාඨකයෙක්ට වටහා ගැනීම අපහසු නොවේ. මෙහි එන කොළඹ දැනුම , දිවයින් තුනක්, උපතක විපත කෙටිකතා දෙක යම් තරමක් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරයි. අනෙක් සියලු කෙටිකතා පාඨකයා සැබවින් ම ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යයි. කෙටිකතා පිළිබඳ ව කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකි ය.
ඊසප්පුගේ වික්‍රමය නම් පළමු කෙටිකතාව නව යෞවන අවධිය නිරූපණය කරන තරුණ ගැටවරයන්ගේ ඇට්ටරකම් අලලා ලියන ලද මෙහි ඊසප්පු නම් තරුණයා තුළින් වහනය වන සමාජ අසාධාරණය කතුවරයා සියුම් ව ඉදිරිපත් කරයි.සුදු සීයා හා ඊසප්පු නම් චරිත ද්විත්වය තුළ සැඟවී ඇති සමාජ යථාර්ථය පාඨකයාට සෙවීමට භාර ය.
මෙහි එන ඉතා රසවත් මෙන් ම නව්‍ය අනුභූතියකින් යුතු කතාවක් වන අවතැන් ප්‍රේමය කෙටිකතාවද කෙටිකතා සංග්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාවකි. රාසික් තුළින් නොනිවී ඇවිලෙන ජාතිවාදයත් පූජිතා තුළින් අවතැනෙහි පවා සිදුවන අසරණත්වයත් ප්‍රේමය තුළ සිදුවන මුලාවත් ධ්වනිත කරන කෙටිකතාව තුළ විටින් විටින් ගෙන එන සංකේත එහි සාර්ථකත්වය තීව්‍ර කරයි.
අහරක රස කෙටිකතාවක තවරා පාඨකයාට පිදීම රජ බොජුන් තුළින් කියැවේ. විශ්‍රාමිත්වය ඔත්පළත්වය තුළ වුව ද වැඩෙන අතීත කාමී වෘත්තීය පහස මෙතුළින් කුළු ගැන්වේ. ආහාර කලාවේ අතීතයත් වර්තමානයත් උපහාසත්මක අයුරින් සංකේතානුසාරයෙන් ගෙන ඒම කෙටිකතාව තුළින් සාර්ථක ව සිදු වී ඇත.
ඈන් ෆ්‍රෑන්ක් කථාවක් නම් වූ කෙටිකතාව බොහෝ ලෙස සාර්ථක ලක්ෂණ පෙන්නුම් කරන රසවත් භාවය තරමක් සිඳී ගිය කෙටිකතාවකි. 1983 කළු ජූලියේ සිදු වූ සිදුවීමක් කාර්‍යයාල සේවකයෙකු හා එක් කොට රචනා කර තිබීම මෙහි දැක ගත හැකි ය. ජාතිවාදී කෝලාහල සමයක ලියවුණු සුලබ කතාන්දරයක් ලෙසින් ද පාඨකයාට භාරගත හැකි වීම නිසා රසවත් භාවය පිළිබඳ ව පැන නගී.
මුහුදු වෙරළේ ඩමිය නම් වූ කෙටිකතාව ජාතික දෙබිඩියාව තුළින් පිටස්තර කරන ලද රොබින්සන් නම් චරිතය තුළින් සමාජ සංකේතයක් නිරූපණය කරයි කෙටිකතාව තුළ කතුවරයාගේ ශ්‍රාස්ත්‍රීය දැනුම යම් තරමක් දුරට ඉස්මතු වී පෙනීම නිසා කියවීම තරමක් දුරට නීරස ය. කෙටිකතාවේ නාමය හා කෙටිකතාව අතර වන සම්බන්ධය වටහා ගන්නට පාඨකයාට අවසන් ඡේදය වන් තුරු ඉවසා වැදෑරිය යුතු ය.
කොළඹ දැනුම කෙටිකතාව මෙහි එන සංකීර්ණ කෙටිකතාවකි. ඇතැම් වාක්‍ය දෙතුන් වරක් කියවා අර්ථ වටහා ගන්නට සිදුවූ බව කිව යුතු ය. නමුත් කලාත්මක හා ශ්‍රාස්ත්‍රීය අතින් කතුවරයා දක්වන නව්‍යත්වයත් අනුභූතික පරිසරයට ඇති ලෝලීත්වයත් හේතුවෙන් එය සාර්ථක ම නිර්මාණයක් වී ඇත.
අහිගුණ්ඨිකයෙක්ට බූරුවෙක් නම් වූ කෙටිකතාව ක්ෂුද්‍ර ජාතික මිනිසෙකු සිය අතීත උරුමයක් රැක ගැනීමට(ජීවී උරුමයක්) ගොස් සිදුවන ඛේදනීය ඉරණමක් සියුම් සමාජ විමර්ශනයක් තුළ ගැබ් කර ඉදිරිපත් කර තිබීම දැක ගත හැකිය. මෙම කෙටිකතාව පාසල් අධ්‍යාපනයට යොමු කිරීමට තරම් සාහිත්‍යයෙන් පෝෂිත බැව් කිව යුතු ය.
සුළු කවියා හා මහ කවියා නම් වූ කෙටිකතාව තුළින් කලා ක්ෂේත්‍රය තුළ සැබෑ දක්ෂයා හා ඉස්මතු වන දක්ෂයා අතර වන වෙනස ඉතාමත් නව්‍යත්වයකින් ගෙනහැර පෑම සිදු කර ඇත. එවන් මාතෘකා සාකච්ඡාවට ලක්වන පොදු කතා රසව වෙනුවට අවසානයේ ඉදිරිපත් කරන සංකල්පය තරමක් ප්‍රබල ලෙස දැනවීම පිළිබඳ ව පැසසිය යුතු ය.
කොස්වාලිහිණි නම් කෙටිකතාව තුළින් මිත්‍රත්වය පිළිබඳ විව්ධ සංකල්ප ධ්වනිත කරයි. සමාජීය මිනිසුන් පිළිබඳ සියුම් විමර්ශනයක් ද මෙමඟින් සිදුවේ.
දිවයින් තුනක් කෙටිකතාව මෙහි එන දීර්ඝතම කෙටිකතාව වන අතර කෙටිකතාකරුවා කතාව තුළ පාඨකයා රඳවා ගන්නට අසමත් වන බවයි මාගේ හැඟීම නම්. එමෙන් ම උපතක විපත කෙටිකතාවත් මෙහිත් කතුවරයාගේ ශ්‍රාස්ත්‍රීය දැනුම උඩු පිනුම් යටි පිනුම් ගසමින් ආධිපත්‍යය පතුරවද්දී කතා රසය හීන වී යයි.
එරික් ඉලයප්ආරච්චිගේ අනෙකුත් කෙටිකතා සංග්‍රහයන් සොයා කියවීමට තරම් බලපෑමක් කෙටිකතාකරුවා මෙමඟින් සිදු කරයි. ඔහුගේ නවකතාවල මෙන් නොව කතා රසය හා කතා ගැළපුම අතින් කෙටිකතාව බොහෝ ලෙසින් ඉදිරියෙන් තැබිය හැකි ය. පාඨකයාට දැනෙන චරිත නිරූපණයත් කතාව තුළ නිසඟයෙන් රඳවගනිමින් ශ්‍රාස්ත්‍රීය දැනුම අඩු වැඩි වශයෙන් ලබා දෙන්නටත් ඔහු කටයුතු කරයි.
2021 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙම කෙටිකතා සංග්‍රහයට හිමි වීම පුදුමයක් නොවේ.
( පොතක් ගැන වදනක් 71)