සාරිය වෙනුවට කැමති, නිදහස්, විකල්ප ඇඳුමක් අඳින්න නිර්භීත වුණු ගුරුවරියන්ට මගේ ප්‍රණාමය.
කැමති වෙලාවට සාරියත් අඳිමින්, කැමති හෝ අවශ්‍ය වෙලාවට වෙනත් උචිත ඇඳුමක් අඳිමින්, නිදහස්කාරක අධ්‍යාපනය ඇති කිරීමට නම් සාරියට වඩා බෙහෙවින් දරුණු දෘෂ්ටිවාදී සහ සංකල්පමය රාමු තියෙනවා ගුරුවරියන් නිදහස් වෙන්න ඕනෙ. සාරිය නමැති රාමුවෙන් පිටට ඒම අර දෘෂ්ටිවාදී රාමුවලින්ද නිදහස්වීමට ආදර්ශයක් වේවා!
සාරියෙන් බේරීම නිසා ඉතිරි වන යම් මුදලක් වේ නම් ඉන් ටිකක් වැය කොට ඉඳහිට හොඳ පොතක්පතක් මිලදී ගෙන කියවා බුද්ධිමය හා භාවමය සිරගෙවලින්ද නිදහස්වීමට සිත් පහළ වේවා!
මෙවර උසස් පෙළට සූදානම් වන මගෙ පුතා පාඩම් කරමින් සිට මා අසලට ආ විට කියූ දෙයක් මෙහෙමයි:
එයා හිතන විදියට සබ්ජෙක්ට් තුනටම -A – ගන්න එක පීස් ඔෆ් කේක් නැත්නම් අ වෝක් ඉන්ද පාර්ක්.
මම ඔහුට විහිළුවට මෙහෙම කිව්වා:
“ලංකාවෙ පළවෙනියා, දෙවෙනියා අරව මේව නං වෙන්න එපා මට ටීවීකාරයන්ට බොරු කියන්න බෑ. මම ඇත්තම කියනවා මෙන්න මෙහෙම:
මගෙ පුතාව මම විෂයයන් තුනටම දක්ෂ ටියුෂන් ගුරුවරු සහ ගුරුවරියන් ළඟට යැව්වා. මහා පරිමාණ ටියුෂන් කර්මාන්ත සැබෑ අධ්‍යාපනය කියල නොහිතන මම පුතාව යැව්වෙ කුඩා පන්තිවලට. විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වපු ගුරුවරිය තරුණ දරුවන්ට විචාරාත්මකව හිතන්න ඉගැන්වීමට හරිම දක්ෂයි. උසස් පෙළ ඉංග්‍රීසි විෂය නිර්දේශය සිංහල විෂය නිර්දේශය වගේ නෙමෙයි තරුණ දරුවන්ට ආදරය, ලිංගිකත්වය, ජාතිවාදය, ජාත්‍යන්තර ජන සංක්‍රමණය, ආදී මේ කාලෙ වැඩිහිටි පුරවැසියන්ට වැදගත් වන තේමා මුණ ගස්වන විෂය නිර්දේශයක්. සිංහල විෂය නිර්දේශය තියෙන්නෙ දරුවන්ට. ඉංග්‍රීසි විෂය නිර්දේශය තියෙන්නෙ තරුණ දරුවන් වැඩිහිටි පුරවැසියන් කරා ගෙනියන්න.
බොරු නම් ඔය විෂය නිර්දේශ දෙක සන්සන්දනය කරලා බලන්න. ඒවා ඇසුරින් මතු කළ හැකි අධ්‍යයන තේමා අතර විශාල බුද්ධිමය පරතරයක් තියෙනවා.
ඒ නිසා ඒ තේමා බය නැතුව හොඳට උගන්වන්න පොතපත එහෙම කියවන ගුරුවරු ඕනෙ. අපේ පුතාට උගන්නපු ගුරුවරිය එහෙම කෙනෙක්. ඉස්කෝලෙත් එහෙම ගුරුවරියක් හිටියට ඉස්කෝල ආකෘතිය සහ කාලය ඇයට නිදහසේ උගන්වන්න ඉඩ දෙන්නෙ නෑ. විෂයයන් තුනටම ඉතා දක්ෂ ගුරුවරු පාසලේ ඉන්නවා. ඒත් ඒ ගුරුවරුන්ගෙ ඉගැන්වීම් දක්ෂතා පොහොණි වී මල් ඵල දරන්න ඉඩ නොදෙන ආකෘති තමයි ඉස්කෝලවල තියෙන්නෙ. ඒවා සාරියට වඩා බරපතළ සීමා. ස්ටාලින්ලා, ජයසිංහලා අධ්‍යාපනයේ අන්තර්ගතය, හරය, අරමුණු වගේ ඒවා ගැන කතා කරන්නෙවත් නෑ. වෘත්තීය සමිති කොව්වත් එහෙම තමයි…”
මම ඔය විදිහට කතා කරගෙන යද්දි ටීවීකාරයො කැමරා ඕෆ් කරන බව මම දන්නවා.
ඒත් ශිෂ්‍යයත්වෙ, සාමාන්‍ය පෙළ, උසස් පෙළ වැනි ජාතික විභාග සමත් වෙන්න ටියුෂන් නැතුව බැරි තත්ත්වයක් නේද තියෙන්නෙ? සාරිය වෙනුවට නිදහස් ඇඳුමක් හැඳි ගුරුවරියන්ටත්, තවදුරටත් සාරියම හැඳ සිටින ගුරුවරියන්ටත් නිදහසේ හිතන්න මම එදාට අර විදියට කියනවා.
හැබැයි විභාගෙට පාඩම් කරනවා වෙනුවට වෙන වෙන දේවල් කියවන මගෙ පුතා අර ටීවී කැමරාවට කතා කරන්න මට ඉඩ නොදෙන්න හොඳටම ඉඩ තියෙනවා. මමත් ඒකට කැමතියි, ටීවී එකේ කතා කරන්න නොලැබුණත්.
ඔහු සාකල්‍යවත් අධ්‍යාපනයක් ලැබූ දරුවෙක්. විභාගෙට “A” වැලක් බලාගෙන පාසල් ගිය කෙනෙක් නෙමෙයි.
ඉතා සාකල්‍යවත් පාසල් අත්දැකීමක් ඔහුට දුන්න පාසලකට තමයි ඔහු යන්නෙ. මොන ඇඳුම ඇඳගෙන වුණත් ඒ සාරවත් පාසල් අත්දැකීම ඔහුට ලබාදුන්නෙ ඒ පාසලේ ගුරුවරු සහ ගුරුවරියන්.
හුදෙක් උපාධි සහතික කොළේ පමණක් නොබලා, තියුණු පරීක්ෂණයකින් පාසල් ගුරුවරුන් තෝරාගෙන, ගෞරවනීය ඉහළ වැටුපක් ගෙවා, නිදහස්කාරක වූද සාකල්‍යවත් වූද අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන හැටි ඔවුන්ට පුහුණු කරන්න ඕනෙ.
සාරියෙන් නිදහස් වූ ගුරුවරියො හැකිනම් බෙල් හුක්ස්ගෙ Teaching to Transgress: Education as Practice of Freedom වගේ පොතක් කියවල පටන්ගන්න. ඇය ලෝකය පුරා ගුරුවරියන්ට ආනුභාවය සැපයූ මහාචාර්යවරියක්. විශ්වවිද්‍යාලය යනු කුමක්ද පොතේ ඇය ගැන නිතර සඳහන් වෙනවා.