පවන් අංජනගේ කවිවල විශේෂත්වය වෙන්නෙ එහි ඇති සියුම් බව සහ හැඟුම්බර බවයි

Share post:

පවන් අංජන ‘වළාකුළු නිම්නයට එන්න’

පවන්ගේ කවි එකතුව කියවන්නට පටන් අරගෙන දවස් ගාණක්. ඒක අඛණ්ඩ කියවීමක් නෙවෙයි. කෝචිචිවල බස්වල ස්ටේෂන්වල වරින් වර කළ කියවීමක්. කෝච්චි පරක්කුව වගේම වැස්ස වගේ විවිධ සාධක ඒකට විටෙක සහය දුන්න වගේම තවත් විටෙක බාධාවන් කළා තමයි. හැබැයි කවර බාධා මැද වුනත් මේ පොත පුරාම තිබුණ ගුණය තමයි නවත්තපු තැනින් ආයෙම කියවන්න උත්තේජනයක් ලැබෙන එක.

පවන් තම කවි පොත ආරම්භයෙම මෙහෙම දෙයක් කියනව.

කවියෙන් කවියට පදයෙන් පදයට
අර්ථ විවරණ අසා රිදවන මිතුරනි
මේ කිසිදු කවකට එහිම අර්ථයක් නැති
ඒවා හුදු හැඟුමා මා ලියමන් පමණි
ඒවා විඳගැනුම හෝ නොගැනුම ඔබ සතු යමකි
මෙතැකයි නොකියමි මෙපමණකින් නවතිමි

මම ඉස්සෙල්ලම කළේ පවන්ගෙ උපදේශය අල්ලලා එලියට වීසි කරන එක. මේ කවි එහිම අර්ථයක් නැති කවි කියල හඳුන්වනවට වඩා පාඨකයගේ කියවීම අනුව විවිධ තැන් වලින් පිවිසෙන්න, අරුත් ගන්වන්න පුළුවන් නිර්මාණ. ඒ කවි විසිතුරුයි, විවිධ අරුත් සම්පාදනයට මග සලසන ස්වභාවයෙන් යුක්තයි. ඒ කවි කියවන පළමු මොහොතෙ දැනෙන්නෙ පඨකයා පෙම් සැරියකට සැරසෙන බවක්. කවියා පෙමෙහි විසිතුරු බව විවිධ ආකාරයෙන් ගෙනහැර පානව. ඒක මතුපිටින් බලනකොට පේන්නෙ මෙච්චර අර්බුද තියෙද්දිත් කවියා නිකං මෙහි අසිරිය වර්ණනා කරමින් අපිව වෙනතක ඇදගෙන යන්න හදනව වගේ වැඩක් කියලයි. ඒ නිසාම වෙන්නඇති සමහර වෙලාවට කවියම පෙරවදනෙ වගේම පළමු කවියෙනුත් කරුණු පැහැදිලි කිරීමකට යන්න හදන්නෙ.

ඒත් මට අනුව නම් මේ කවි කෙසේවත් මේ මොහොතෙන් වියුක්තව පාවෙන කවි නෙවෙයි කියන එක. ඒ කවි අතරෙ මේ අපි ගෙවන කාලයෙ වේදනාව, කටුකත්වය දුෂ්කරබව අනවබෝධය, කුහකකම ගැන මතු කෙරෙනව.

ඔහු ඔයා එනවද මාත් එක්ක කියන කවියෙ මෙහෙම ලියනව.

ඔයා එනවද මාත් එක්ක
වෙන මාසෙකට පැනල යන්න
ඔයා එනවද මාත් එක්ක
වෙන අවුරුද්දකට පැනල යන්න
ඔයා එනවද මාත් එක්ක
වෙන සියවසකට පැනල යන්න

ඇයි කවිය මෙහෙම කියන්නෙ? ඔහු හදන්නෙ පලා යන්නද? මම නං හිතන්නෙ ඒකෙ තියුණු උත්ප්‍රාසයක් තියෙනව කියලයි. ඔහුම පසුව මෙහෙම කියනව.

හැමෝගෙම ඇස් වලින් හැංගෙන්න
(මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද ඇත්තටම)

මේ ලොකු සමාජ කියවීමක් වචන කිහිපයකින්. අනෙකාගේ නිදහස ගැන වගකට නොගන්න අනෙකාත් තමන්ගේ ඇහෙන්ම මනින්න හදන සමාජයක මිනිස්සුන්ට නැති ජීයවිතයක් ගැන මේ ඉඟි කරන්නෙ.
හාදුවක තත්පර කියන කවියත් ඒ වගේමයි. ඒක දිග කතාවක් තියුණු ව්‍යංගාර්ථවත් බසකින් දිගහරින කවියක්. ඔහුගේ කාව්‍යාත්මක යෙදුම් අපූරුයි.

ඩිජිටල් ශිෂ්ටාචාරයක ඉවුරේ
ටැෆික් ලයිට් නිවී දැල්වෙන නිමේෂයක
මං, ඔබේ නළල උඩ මළුව ඉම්බා

මතක තියා ගන්න ඔහු ඉඹින්නෙ උඩ මළුව. එහි ඇති පූජණීයත්වය කෙතරම්ද කියන්න ඒ යෙදුමම ඇති.

සුදු වතින් පේවුන කතක්
කාටදෝ ඇනුම් පද කිවුවා

දැං කවියගෙ කතාව සම්පූර්ණයි. අපිට මේ කවි වර්තමාන මොහොත හැරදා පලා යන නිර්මාණ කියන්න හැකිද.
ඔහු ආයෙම මෙහෙම කියනව.

බස් එකෙන් බහිද්දිම
කාකි කපුටෙක් පියාඹා විත්
න්‍යෂ්ඨික අවියක්
මගෙ බෙල්ල මුලටම තිබ්බා
අපි ඈත් වී පියමැන්නා

මේ තමයි සංස්කෘතික පොලිසියේ ස්වභාවය. ඉතිං මේ කවි අහසෙ පාවෙන කවි වෙන්න පුළුවන්ද? කවියා හරියටම නිලය අල්ලනව.
ඔහු අද අපේ ජීවිතවල ඛේදය හරියටම අල්ලන තවත් කවියක් නම් කරන්නෙ අද මට හැන්දෑව මගඇරුණා යන නමින්. මේ කවියෙ එන්නෙ සමකාලීන ජීවිතය කියන වියවුලම මිස වෙන දෙයක් නෙවෙයි.

අද හැන්දෑව මට මගඅරුණා
මේ හතරැස් පරිගණකය
මාව හතරැස් කොටුවක හිරකරනවා
දැකන් මගේ සිතුවිලි හතරැස්

අද අපි ගෙවන ඒකාකාරී, මැෂින් වැනි ජීවිතය අපිට කියාගන්න පුළුවන්ද? මේ ගැන මීට කාලෙකට කලින් දයාසේන ගුණසිංහ අපූරුවට ලිවුවා. දැන් පවන් ඒ කාරණාවම අල්ලගන්නව. ඔහුගෙ කවිවල තියෙන විශේෂත්වය වෙන්නෙ එහි ඇති සියුම් බව සහ හැඟුම්බර බව. මට ආසයි ආයෙත් ඉස්කෝලෙට යන්න කියන කවිය මට නම් විශේෂයි. ඔහු ගොලු හදවත සංක්ෂිප්ත කරනව වගේ හැඟීමක් මට දැනුන ඒ කවිය කියවද්දි. අපේ යෞවන දිවිය සංක්ෂිප්තව ඒත් විසල් සිත්තමක් වගේ මවන ඒ කවියත් කදිමයි. ඔහුගේ සමස්ත කවි සැරිය පුරාම මේ සංක්ෂිප්තබව තුළ ඇති විසල් බව දකින්න පුළුවන්.

පවන්ගෙ කවි මට ගමන් විඩාව අතරෙ ආශ්වාදයක් එක්කම අභ්‍යාසයකුත් දුන්නා. පවන්ට සුබ පැතුම් මේ ඇරයුම ඔබටත් ඒ කවි කියවන්න.

චූලානන්ද සමරනායක

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...