Home Blog Page 245

මාස 18ට සියයට 3ක්වත් හදලා නෑ : බිලියන 10.7ක ජලාශ ව්‍යාපෘතියක් නවතී !

0

රුපියල් බිලියන 10.7ක් වටිනා ව්‍යාපෘතියක් නතර කිරීමට වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයට සිදු වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ අදාළ ව්‍යාපෘතිය මාස 18ක් තුළ සියයට 3ක හෝ ප්‍රගතියක් නොපෙන්වීමයි. ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාර යටතේ වාරිමාර්ග අමාත්‍යංශය සහ චීන සමාගම් දෙකක් මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

අපේක්ෂාව

මහකිතුල සහ මහකිරුල නම් විශාල ජලාශ දෙක ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන ලද්දේ වයඹ පළාතේ ජල අවශ්‍යතා කඩිනමින් සපුරාලීමයි. චීනයේ CAMC Engineering Co. Ltd (CAMCE) සහ Qingdao Municipal Construction Group Company මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම සිදුකරන සමාගම් දෙකයි.

නොවැම්බර් දැනුම් දීම

2021 මාර්තු 31දා ආරම්භ කරන ලද මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ නම මහවැලි ජාල ආරක්ෂණ ආයෝජන ව්‍යාපෘතියයි. (Mahaweli Water Security Investment Programme) ඒ යටතේ ක්‍රියාත්මක මෙය වයඹ පළාත් ඇළ මාර්ග ව්‍යාපෘතියයි. (North Western Province Canal Project – NWPCP) මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ ගැටළු ඇති බවත්, එම තත්ත්වය මගහරවා නොගන්නේ නම්, මූල්‍ය ආධාර නතර කිරීමට සිදු වන බවත් පසුගිය නොවැම්බර් මාසය මුල දී ආසියානු සංවර්ධන බැංකුව මගින් දැනුම් දී තිබිණි.

මුල්ගල් තැබීම

2020 වසරේ පෙබරවාරි 16දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කෝන්ගහ මංසන්ධියේදී මෙම ජලාශ ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබන ලද්දේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ විසිනි.

හක්වටුනා ඔය සහ මී ඔය නිම්නය සම්බන්ධ කරගනිමින් ඉදිකිරීමට සැලසුම් කළ මෙම ජලාශ ධාරිතාව ලෙස සඳහන් වූයේ අක්කර අඩි 20,250කි. එමගින් හෙක්ටයාර 13,000ක කුඹුරු වගාකිරීමට සැලසුම් කෙරිණි. එය 2023 වසරේදී අවසන් කිරීමට යෝජිත විය. එවකට වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරු විශාල පිරිසක් ද මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.

රොනාල්ඩෝ හිස් අතින් : මොරොක්කෝව පාපන්දු ඉතිහාසය අලුතින් ලියයි !

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව ඊයේ (11) සමත් විය.

ඔවුන් එම අවස්ථාව දිනාගත්තේ අර්ධ අවසන් පූර්ව තරගයේදී සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ ප්‍රබල පෘතුගාලය 1 – 0 ක් ලෙස පරාජයට පත්කරමින් ය. මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ම මෙවැනි අනපේක්ෂිත ජයග්‍රහණ සහ පරාජයන් රැසක් දැකිය හැකි විය.

සිය ලෝක කුසලාන සිහිනය බොඳ වුණු රොනාල්ඩෝ තරගයේ අවසන් විසිල් හඬ නැගෙනවාත් සමගම හඬමින් පිටියෙන් ඉවත්ව සෘජුව ම ක්‍රීඩා විවේකාගාරය වෙත පියවර මනිනු දක්නට ලැබිණි. අද තරගයේදීත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කළ රොනාල්ඩෝ 51 වැනි මිනිත්තුවේදී පිටියට පිවිසියද, තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔහුට හැකි වූයේ නැත.

මෙරොක්කෝව පළමු අර්ධයේදී ම ගෝලයක් ලබාගනිමින් තරගයේ පීඩනය පෘතුගාලය වෙත යොමුකිරීමට සමත් විය. නමුත් දෙවැනි අර්ධයේදී ලැබුණු අවස්ථා කිහිපයක්ම අසාර්ථක කරගැනීම හේතුවෙන් පෘතුගාල ක්‍රීඩකයන්ට සිදු වුණේ ලෝක කුසලාන සිහිනය අතහැර යළි සිය රට බලා යෑමටයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට වෙන කිසිම පනතක් අවශ්‍ය නෑ – පා.ම., ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්

0

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කොට, වෙනත් නමකින් එය යළිත් ගෙනඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත්, ඒ වෙනුවට කිසිම පනතක් අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අවධාරණය කළේය.

ඔහු මේ අදහස් පළකළේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනු යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ නීතිඥයන් විසින් අද (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද සඳහන් කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අපි රට පුරාම ගෙන ගියා. දින 25ක් පමණ රට පුරා ගමන් කර මෙය අහෝසි කර ගැනීමේ ලොකු උත්සාහයක අපි දිගටම නියැළී සිටිනවා. තවමත් මේ පනත ක්‍රියාත්මක කරන්නේ ‘තාවකාලික පනත’ කියලයි. මාස හයකට 1979දී ගෙන ආ පනත ආරම්භ කළේ බුල් වීරතුංග කියන බ්‍රිගේඩියර්වරයාට මාස හයක කාලයක් සඳහා උතුරේ ත්‍රස්තවාදය නිමා කිරීමට බලය දෙන්නයි. නමුත්, ඒ මාස හය තුළ තමයි, ත්‍රස්තවාදයට පෙර ප්‍රචණ්ඩත්වය වර්ධනය වුණේ. 1981දී මේ පනත ස්ථිර කළා. යුද්ධය අවසන් කළ පසුව මේ පනත අහෝසි කළ යුතුයි කියන හඬ නැඟුණා. 1990දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනකුට එරෙහිව මේ පනත යටතේ නඩු පවරා තිබුණා. ඔවුන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ මා පෙනීසිටියා. ක්ලැන්සි ප්‍රනාන්දු කියන හමුදා නිලධාරියා ඝාතනයට සම්බන්ධ බාබු කියන පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත වෙනත් පිරිසක් අත්අඩංගුවට ගත්තා. නමුත්, බාබු නිදහස් කර ඔහු පිළිබඳව තොරතුරු හෙළි නොකළේ යැයි චෝදනා කරමින්, අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත්තා. බාබු කියන පුද්ගලයා ඒ නඩු විභාගය බලන්න අධිකරණයටත් ඇවිත් හිටියා.

පාපොච්චාරණ මඟින් ලබා ගන්නා ප්‍රකාශ සම්බන්ධ නඩු අධිකරණය ඉදිරියේ දිගටම විභාග වෙද්දී, සත්‍ය වශයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ අය නිදහස් කර හැරියා. ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද සඟරාවක පිටපත් පනහක් ප්‍රකාශයට පත් කළ තිස්සනායගම් කියන මාධ්‍යවේදියා අවුරුදු දෙකකට පස්සේ අත්අඩංගුවට ගෙන රඳවා ගත්තා. පසු කාලයක චෝදනා ඉදිරිපත් කළේ මේ සඟරාවල අඩංගු කරුණු සිංහල ජනතාව කියැවූවා නම්, ජාතිකත්වයන් අතර ගැටුම් ඇති විය හැකි බවටයි. නමුත්, එවැනි කිසි දෙයක් සිදුවී තිබුණේ නැහැ. තිස්සනායගම්ගේ අත්අකුරෙන්ම ලියවාගෙන තිබුණු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව යොදා ගත්තා. අධිකරණය මේ පාපොච්චාරණයේ බරපතළ සැකකටයුතු තැන් තිබියදී පවා පිළිගෙන අවුරුදු විස්සකට දඬුවම් නියම කළා. ඒ වාගේම තවත් පුද්ගලයකු ළඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය නිකුත් කළ ‘ට්‍රැවල් කාඩ්’ එකක් තිබුණා. එය එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිකුත් කළ ‘අයිඩෙන්ටි’ කාඩ් එකක් හැටියට හඳුන්වා අධිකරණයට ඉදිරිපත් කළා. අවුරුදු දහසයකට පස්සේ ඔහුව නිදහස් කර තිබෙනවා. මේ සිදුවුණු අසාධාරණයට විරුද්ධව නඩු පැවරීමට පවා ඒ වින්දිතයා ඉදිරිපත් වුණේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ තරම් බරපතළයි.

මේ පනත ඉවත් කරන බව කියමින්, වෙනත් නමකින් නැවත ගෙනඑන්න යනවා. නමුත්, අප මෙහිදී පැහැදිලි ස්ථාවරයකට එන්න ඕනෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙන කිසිම පනතක් අවශ්‍ය නැති බව රජයට පමණක් නොවෙයි, අපි හැමෝම එකතු වී ලෝකයටම කියන්න ඕනෑ.”

රන් ආභරණ උකස් කිරීම වාර්තාගත ලෙස ඉහළට : අරමුණ කෘෂිකාර්මික කටයුතු සහ අධ්‍යාපනය !

0

2022 වසරේ මුල් මාස 10ක කාලයේදී, එනම් ඔක්තෝබර් දක්වා දිවයින පුරා ලක්ෂ 40ක පමණ ජනතාවක් රුපියල් කෝටි දහනව දහස් තුන්සියයකට (19,300) වැඩි වටිනාකමකින් යුත් රත්තරන් බඩු ප්‍රමාණයක් (ආභරණ) බැංකු ඇතුළු මූල්‍ය සමාගම්වලට උකස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වී තිබේ.

විශේෂ අධ්‍යයනයකදී මෙම කරුණු හෙළිවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි.

දිවයිනේ ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 13ක් සහ ප්‍රධාන උකස් සමාගම් 10ක් යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය වූ බවත්, 2021 වසරේදී මෙසේ උකස් කරන ලද ආභරණවල ප්‍රමාණයට සාපේක්ෂව මෙය විශාල වැඩිවීමක් බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතරින් වැඩි පිරිස මධ්‍යම පාන්තික පවුල්වල සාමාජිකයන් බවත්, මෙසේ ආභරණ වැඩි ප්‍රමාණයක් උසස් කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.

මේ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැති වීම ඇතුළු පාරිභෝගික අවශ්‍යතා පදනම් කරගෙන මෙසේ වැඩි වශයෙන් ආභරණ උකස් කර ඇතැයි එම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

මේ අතර මහාචාර්යවරයා පවසන ආකාරයට මේ වසරේ පමණක් රත්තරන් මිල සියයට 80කින් පමණ වැඩිවී ඇත. අද වන විට වෙළෙඳපොළේ රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහස් එකසිය පනහකි. රන් පවුමක මිල මීට වසර කිහිපයකට පෙර පැවතුණේ රුපියල් හැටදහස – හැත්තෑ දහස අතර සීමාවේ ය.

අපි ඔක්කොම වමේ : අපි ප්‍රජාතන්ත්‍රවාදීයි – පා.ම. නාමල් රාජපක්ෂ

0

‘අපි හැමෝම වමේ දේශපාලන බලවේග. අපි ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් අපිත් එක්ක හිටපු හැමෝම එක්ක සාකච්ඡා කරන්න සූදානම්’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (10) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ නීත්‍යනුකූල ව කඩිනමින් පැවැත්විය යුතු වන්නේ පළාත් පාලන මැතිවරණය බවයි. එම මැතිවරණයට සූදානම් වන ආකාරය සම්බන්ධයෙන් අද මූලික සාකච්ඡාවක් පැවැත්වූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

අපිට ගැටළු නෑ

‘අපිත් එක්ක ඉන්න හැමෝම පොදුජන පෙරමුණත් එක්ක ඉස්සරහට යන්න සූදානම්. ඒකෙ කිසි ගැටළුවක් නෑ. අපේ රටේ අරගලවලින් ආණ්ඩු වෙනස් කරනවද, මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කරනවද කියන එක අපි තීරණය කරන්න ඕනෙ. අපි ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි.’

නීතිය දැන් හරි

වැඩිදුරටත් මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

‘ජනාධිපතිවරයා නීතිය හා සාමය තහවුරු කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. බදු එක්ක ජනතාවට යැපෙන්න අමාරුයි. ඒක අපි දන්නවා. අපි ඒ ගැන අවධානය යොමුකරනවා. මේ ජීවන වියදමේ වැඩි වීම ලංකාවට විතරක් අදාළ දෙයක් නෙමෙයි, ඇමෙරිකාව, එංගලන්තය මේ හැම රටටම මේ තත්ත්වය අදාළයි.’

අපි ප්‍රතිපත්ති හදලා දෙන්නම්

තරුණයන් රැකියා අවස්ථා සඳහා සීග්‍රයෙන් විදේශගත වීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළකළේය.

‘තරුණයන්ට මේ රට ගැන විශ්වාසයක් ඇති කරන්න නම් අපි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෙ. ඒ සඳහා අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කොමිසමක් යෝජනා කරලා තියෙනවා ජාතික සභාව විදිහට. විධායකය යටතේ පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් පිහිටුවන්න අපි ඒ හරහා මැදිහත් වෙනවා. මොන දේශපාලන පක්ෂය බලයට ආවත් නිවැරදි ප්‍රතිපත්තියක් තිබුණොත් ගැටළුවක් වෙන්නෙ නෑ. මේ තරුණයො ලෝකයේ රැකියා වෙළෙඳපොළට ගැලපෙන විදිහට අපි හදන්න ඕනෙ.’  

කාටවත් කෙදිනකදි හෝ නොකී – දිගුම දිගු කතාවක පද ලියයි,

0

සීතලෙන් පීඩිතව සැලෙන තොල්
ප්‍රේමයෙන් විකසිතව රිදුම්කයි
දුර පේන අඳුරු අහුමුලු අතර
පපුතුරට දැනෙන පෙම සුසුම්ලයි,

බොරපාට රෑ අහස සඟව ගත්
සොඳුරු උඳුවප් මහේ සිහිල සඳ
කාටවත් කෙදිනකදි හෝ නොකී
දිගුම දිගු කතාවක පද ලියයි,

එක්දහස් එක් රැයෙක තාලයට
නිසොල්ලාසය ලියූ මතක පොත
පිටෙන් පිට පෙරළමින් ඉසියුම්ව
රිදුම් පිරිමැදලමින් සිත පෙළයි,

දුරම දුර රෑ අහසෙ අනන්තයෙ
තටු සලා පියඹන්න අවසරයි
කතා කරනා නුඹේ නෙතු අගින්
වැටෙන මේ කඳුළු කැට හරි බරයි,

රුදා දෙන නුරාගිනි සතපමින්
බොහෝවුන් ගිනි අරන් දුව පනියි
නිරාමිස හැඟුම් වැල් දොවාලන
නුඹේ සෙනෙහස හිතට උණුසුමයි,

කාලයක් සිත මැවුණු සිහිනයේ
සියුම් හැඟුමන් හදට කටු අනියි
හෙට උදේ නව අරුණ දොවාලන
අලුත් ඉර සොඳුරියේ නුඹ තමයි……

කුමාර අලගියවන්න

ක්‍රොඒෂියාව – ආජන්ටිනාව අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව ඊයේ (09) සමත් විය.

බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අර්ධ අවසන් පුර්ව තරගයේදී නියමිත කාලය තුලදී එක් කණ්ඩායමක් හෝ ගෝල වාර්තා කිරීමට සමත් නොවූ අර පසුව අතිරේක කාලයේදී 105 වැනි විනාඩියේදී නේමාර් පළමු ගෝලය වාර්තා කළේය.

එමෙන්ම 117 වැනි විනාඩියේදී ක්‍රෙඒෂියාවද ගෝලයක් වාර්තා කරමින් කණ්ඩායම් දෙකම ගෝල එකට එකක් ලෙස සම තත්ත්වයට පැමිණීයේය.

එයත් සමග දඞුවම් පහර ලබාදීමට තරග තීරකයින් කටයුතු කළේය.

ඒ අනුව දඞුවම් පහර හතරට දෙකක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් විය.

මේ අතර දකුණු ඇමරිකාවන්ගේ පාපන්දු උන්මාදය තවත් තීර්ව කරමින් ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය ජය ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව ඊයේ සමත්වූහ.

තරගයේ පළමු අර්ධයේ 35 වැනි විනාඩියේදී පසුපෙළ ක්‍රීඩක නවුවෙල් මොලීනා ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ අතර පළමු අර්ධය නිමාවේදී ආර්ජන්ටිනාව ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

දෙවැනි අර්ධයේ 73 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට මෙසී සමත්විය.

නෙදර්ලන්ත පිල වෙනුවෙන් වොට් වෙග්හෝර්ස්ට් 83 වැනි මිනිත්තුවේදී වාර්තා කළ ගෝලයත් සමග ආජන්ටිනාවේ ජයග්‍රහනය යළිත් මදකට ප්‍රමාද විය.

වොට් වෙග්හෝර්ස්ට් අවසන් මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහර ගෝලයක් බවට පරිවර්තනය කිරීමත් සමග සම්පූර්ණ කාලය නිමාවට පත් වුයේ කණ්ඩායම් දෙකම ගෝල දෙකට දෙකක් ලෙස සම තත්ත්වයට පත්වෙමිනි.

පසුව ලබාදුන් දඞුවම් පහර අවස්ථාවේ දී හතරට තුනක් ලෙස ලබාගනිමින් ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ඒ අනුව ආජන්ටිනා කණ්ඩායම සහ ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් පුර්ව තරගය ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර අර්ධ අවසන් පුර්ව වටයේ තවත් තරග දෙකක් අද (10) පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ මොරොක්කෝව සහ පෘතුගාල කණ්ඩායම් අතර සහ එංගලන්තය සහ ප්‍රංශ කණ්ඩායම් අතරය.

ලලිත්-කුගන් අපරාධයේ චූදිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයත් මගහරී : අපේ කාලෙ කවුරුත් අතුරුදන් වුණේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

0

ප්‍ර : ආණ්ඩුව විවේචනය කරපු පිරිස් අතුරුදන් වෙන්න, පැහැරගන්න පටන්ගත්තෙ ඇයි… ?

පි : ඒව බොරු කතා. දේශපාලන වාසි ගන්න කියපුව. මේ කාලෙ ඇතුළත එහෙම කිසිකෙනෙක් අතුරුදන් වුණේ නෑනෙ.

ප්‍ර : එක්කෙනෙක්වත් අතුරුදන් වුණේ නෑ එතකොට… ?

පි : නෑ.

ප්‍ර : හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා එහෙම අතුරුදන්වීම් ගැන හාන්කවිසියක්වත් දන්නෙ නෑ… ?

පි : නෑ. කවුද එහෙම අතුරුදන් වුණේ.

ප්‍ර : දේශපාලන ක්‍රියාකාරීන් වෙච්ච ලලිත්-කුගන් දෙන්නා… ?

පි : ඔය ලලිත්-කුගන් කියන දෙන්නා මම දන්නෙවත් නෑ, පැහැරගත්තා කියල දේශපාලනඥයො කතා කරනකම්.

ප්‍ර : දන්නෙවත් නෑ කියන්නෙ, ඔබ දනුවත්වත් මිනිස්සු පැහැරගත්තද… ?

පි : එහෙම එකක් නෙමෙයි මම කියන්නෙ. අපිට විවෘතව කරන්න පුළුවන් දේවල් තියෙනවනෙ.

ප්‍ර : එතකොට ඔය ලලිත්-කුගන්ලා පැහැරගෙන ගිහින් කියලා ඔබට දැනුම්දීමක්වත් කළේ නෑ… ?

පි : ඔය ලලිත්-කුගන් කියන දෙන්නා අල්ලගත්තෙ ඇයි. ඊට වඩා කොච්චර තර්ජන තිබුණු කට්ටිය හිටියද. ඔය නම් කියපු අය ගැන මම දන්නෙවත් නෑ.

ප්‍ර : අඩුතරමෙ පත්තරවලින්වත් දැක්කෙ නැද්ද, මම ඔබෙන් ඇහුවෙත් එහෙම ප්‍රසිද්ධියට පත්වුණු සිද්ධි කීපයක් ගැන… ?

පි : ඔය සිද්ධි දේශපාලන හේතු මත උඩට ආපු ඒවා. මොන හේතුවක් හින්දා වුණාද කියන්න දන්නෙත් නෑ. හමුදාවට හෝ බුද්ධි අංශවලට එහෙම දෙයක් කරන්න තරම් ඔය මිනිහා තර්ජනයක්ද.

ප්‍ර : ඒකයි මෙතැන තියෙන ප්‍රශ්නෙ. ඔවුන්ට තර්ජනයක් නොවුණට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තර්ජනයක් වුණා… ?

පි : නෑ. ඔය දේශපාලන වාසි තකා කරන ප්‍රකාශනෙ.

ප්‍ර : දේශපාලන වාසි තකා හරි පුද්ගල පැහැරගැනීමක් ගැන කියන එක භයානක කාරණයක්. ඒත් ඔබ ඒක ගැන දන්නෙ නෑ… ?

පි : මම දන්නවා. ඔය හැමතැනම බිත්තිවල ලියල තිබුණේ.

ප්‍ර : එහෙනම් මුලදි දන්නෙ නෑ කිව්වෙ… ?

පි : මම ඒ කිව්වෙ බුද්ධි අංශවල දැනුවත්කම ඇතුව අතුරුදන් වුණේ නෑ කියලයි. ඔබ ඇහුවෙත් ඒ පැත්තෙන්නෙ.

ප්‍ර : ඔව්. මොකද උතුරේ මෙච්චර හමුදාවක් ඉඳලත් ඔවුන් නොදැන ඔය දේවල් වෙන්න පුළුවන් ද… ?

පි : යම් යම් අය අතුරුදන් වුණා. මරණයට පත්වුණා විවිධ අයගේ අවශ්‍යතා මත. නමුත් අන්තිමට ඒක දාන්නෙ අපේ අකවුන්ට් එකට. එහෙම කෙනෙක් හිටියා කියලා සමහර විට බුද්ධි අංශ දැනගන්නෙත් ඔය සිද්ධි වුණාට පස්සෙ.

ප්‍ර : ඉතින් ඔය චෝදනාවලට අපි නිවැරදිකරුවො, අපි හොඳ ළමයි කියලා ආරක්ෂක අංශවලට ඔප්පු කරලා පෙන්වන්න තිබුණනෙ… ?

පි : බුද්ධි අංශ වගේ ඒවට ඒ නිවැරදි බව කියන්න ක්‍රමවේද නෑනෙ. ඔවුන්ට මාධ්‍ය සාකච්ඡා තියන්න බෑ. දේශපාලනඥයකුට චෝදනා කළොත් ඔවුන්ට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්න පුළුවන්, මම මේකට සම්බන්ධ නෑ කියලා. පොලිසියේ, හමුදාවෙ කෙනෙක් මේව ගැන කතාකරන්න ගියොත් ඒ මිනිහට විරුද්ධව විනය පියවර ගන්නවා.

ප්‍ර : ඇයි එහෙනම් හරියට පරීක්ෂණ කරන්න බැරි වුණේ ඔය සිද්ධි ගැන. ඇයි ඒ ෆයිල් යටගැහුවෙ… ?

පි : එහෙම ඔබ කියන විදිහට ෆයිල් යටගහලා නෑ. මම කියන්නෙ මේවට බුද්ධි අංශ සම්බන්ධ නෑ කියලයි. අතුරුදන් කරනවා නම් අතුරුදන් කරන්න මීට වඩා හුඟක් අය හිටියනෙ.

(හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‘ලලිත්-කුගන් අතුරුදන් වීම’ සම්බන්ධයෙන් ලියුම්කරු සමග මෙසේ අදහස් පළකළේ 2015 මාර්තු 22 දින මව්බිම පුවත්පත වෙනුවෙන් කරන ලද දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී ය.

අපරාධ චූදිතයෙක්

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂි ලබාදීමෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැලවී සිටියේ මුක්තිය ඉදිරියට දමමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය යටතේ ජනාධිපතිවරයකුට ධුරය දරන කාල සීමාවේදී මුක්තියක් හිමි වේ.

එනම් ඔහුව හෝ ඇයව හෝ අධිකරණය ඉදිරියට කැඳවිය නොහැකිය. ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අවධාරණය කරන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂට එරෙහි සියලු නඩු පවත්වාගෙන යා හැකි බවයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ මූලික ම කරුණක් වන සියලු පුරවැසියන්ට නීතිය සමාන බව තහවුරු කිරීමට එය අත්‍යවශ්‍ය බව ද ඔවුහු පෙන්වා දෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය වේ. එහෙත් ඒ ව්‍යවස්ථාවේ මෙවැනි තැන් යොදාගැනෙන්නේ අපරාධ චූදිතයන්ගේ ගැලවිල්ලට ය.

ලලිත්-කුගන් නඩුව ඔහුට එරෙහි එක් චෝදනාවකට අදාළ නඩුවක් පමණි. තව කොපමණක් ද?

අධිකරණය මගහැරීම

ලලිත්-කුගන් අතුරුදන්කිරීමට අදාළ ව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව මගහැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවට ගෝඨාභය රාජපක්ෂව පසුගිය ඔක්තෝබර් 19දා කැඳවා තිබිණි. එහෙත් ඔහු අධිකරණයට ආවේ නැත. දැන් යළිත් ඔහුව කැඳවා තිබේ.

මේ ආකාරයට මෙම නඩුවේදී ගෝඨාභය රාජපක්ෂ අධිකරණය මගහැරිය අවස්ථා රැසකි.

01. 2019 මැයි 03 – පෞද්ගලික ප්‍රශ්නයක් බව අධිකරණයට දැනුම් දෙන ලදි.

02. 2019 ජුනි 21 – අසනීප බව අධිකරණයට දැනුම් දෙන ලදි.

03. 2019 සැප්තැම්බර් 24 – ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව අධිකරණයට දැනුම් දෙන ලදි.

04. 2019 දෙසැම්බර් 03 – ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමි මුක්තිය නිසා ඒමට නොහැකි බව අධිකරණයට දැනුම් දෙන ලදි.

05. 2022 අගෝස්තු 02 – ගෝඨාභය රාජපක්ෂට නොතීසි බාරදීමට හැකියාවක් නොලැබුණු බව අධිකරණයට දැනුම් දෙන ලදි.

06. 2022 ඔක්තෝබර් 19 – අධිකරණයට නොපැමිණීමට නිශ්චිත හේතුවක් දැනුම් දුන්නේ නැත.

‘දැන් මං ජනාධිපති’

ලලිත්-කුගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවට අදාළ ව සාක්ෂි ලබාදෙන්නැයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කෙරිණි. තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු ඇති නිසා යාපනයට යා නොහැකි බව කියමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගියේය.

2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණය අවසන් වන තෙක් අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලැබුණේ නැත. ඉන්පසු ආරක්ෂක ගැටළු කතාව පසෙකට කෙරිණි. ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් අධිකරණයට කිව්වේ ‘දැන් තමන්ගේ සේවාදායකයා ජනාධිපති නිසා ඔහුට මුක්තිය ඇති බවයි.’ අභියාචනාධිකරණය එය පිළිගත්තේය.

සාක්ෂිකරුවෙක් ලෙස

ඉන්පසු වින්දිත පාර්ශ්වය ඒ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය මගින් ඔවුන් පෙන්වා දුන්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීමට උත්සාහ කරන්නේ සැකකරුවකු ලෙස නොව, සාක්ෂිකරුවකු ලෙස වන බවයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ඒ සම්බන්ධයෙන් පවසන්නේ ජනාධිපති ධුරය දරන්නාට ඇති මුක්තිය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් නොවන බවයි.

ඔහුට අපරාධ නඩු සම්බන්ධයෙන් මුක්තියක් තිබේ. යම් අවස්ථාවකදී ජනාධිපතිවරයාට සාක්ෂි ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයකින් සිතාසි යවනු ලැබුවහොත්, ඔහු එය පිළිගන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතු වේ. යම් අපරාධයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සාක්ෂිය අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී, ඔහු කැමැත්තෙන් සාක්ෂි ලබාදෙන්නේ නම්, ඊට බාධාවක් තිබිය නොහැකිය.

යටි අරමුණ කුමක්ද?

අනෙක් අතට අධිකරණයට කැඳවීමක් කොට, ඒ අනුව කටයුතු නොකිරීම යනු දඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි. එම නිසා එය අපරාධ ක්‍රියාවකට සම්බන්ධ වන නිසා, ඊට අදාළව ද මුක්තිය හිමි වන බවට තර්කයක් ගොනු කළ හැකිය. තවත් පැත්තක් තිබේ. ඇතැම් නීතිඥයන් පෙන්වාදෙන්නේ කැමැත්තෙන් වුවද, ව්‍යවස්ථාවෙන් පැවරූ අයිතියක් අත්හළ නොහැකි බවයි.

මේ ආකාරයට නීති තර්ක හරහා වෙනත් මානයන්ට යොමු විය හැකිය. එහෙත් හෘද සාක්ෂියට අනුව, ඔබ යම් අපරාධයක අත්‍යවශ්‍ය සාක්ෂිකරුවකු වූ විට, එය මගහැරීමට වෙනත් උපක්‍රම භාවිත කරන්නේ නම්, ඔබේ යටි අරමුණ විය හැක්කේ කුමක්ද? කොහොමත් දැන් ඒ මුක්තිය ඔහුට අදාළ නොවේ.

2011 – 2022

2011 දෙසැම්බර් 09දා ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කෙරිණි. ඒ අදින් අවුරුදු 11කට පෙර ය.

ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09දා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ පස්වරු පහට පමණය. පසු දින, එනම් දෙසැම්බර් 10දා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතු ඔවුහු සිදු කරමින් සිටියහ.

කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් පස්වරු පහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය හා ගම්වැසියන් පවසන කරුණු අතර පරස්පරතා රැසක් තිබේ. ඒ පරස්පරතා ලිහන පාර වැසීම ඉතා වේගවත්ව සිදු කෙරිණි.

කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා තිබිණි. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරු පැදිය තමන් බාරයට ගෙන තිබුණු බවයි.

මෙම යතුරු පැදිය සම්බන්ධයෙන් නිර්වේලි ප්‍රදේශවාසීන් විසින් ෂන්මුගන් වඩිවේල් නම් එවකට එම ප්‍රදේශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 09දා ය. යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී ලලිත් – කුගන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය වෑන් රථයකින් සහ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. එහෙත් ඒවා ඉදිරියට යන්නේ නැත. ඊට හේතුව අතුරුදන් කළ පාර්ශ්වය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හොඳින් දැන සිටීම විය හැකිය.

අත්අඩංගුවට ගැනීමක්?

එවකට පැවති ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා වූයේ කෙහෙළිය රඹුක්වැල්ල ය. වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ය. ලලිත්-කුගන් අතුරුදන් කළ දෙසැම්බර් මාසයේ ම, 15 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ ලලිත්-කුගන් අතුරුදන් වී නැති බවත්, ඉක්මනින්ම ඔහු පොලිසිය හෝ හමුදාව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් ය. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීමක් ගැන කතාවකි. ඒ ප්‍රකාශය කළේ එවකට ආණ්ඩුවේ නිල ප්‍රකාශක ලෙස කටයුතු කළ ඇමැතිවරයා ය.

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම සම්පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. පොලිස් ස්ථානය භාරව කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ සියලුම කාර්යයන් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බව උක්වත්ත එ. මාරසිංහ සහ තවත් අය නම් තීන්දුවේ සඳහන් ය. අත්අඩංගුවේ සිටියදී සිදු වන ඇඟේ සීරීමකට පවා ස්ථානාධිපතිවරයා පිළිතුරු බැඳිය යුතුය.

එහෙත් පසුගිය කාලයේ එසේ අත්අඩංගුවට ගත් සියයකට ආසන්න පිරිසක් ආයුධ පෙන්වන්නට ගොස්, පළායෑමට උත්සාහ දැරීමේදී වෙඩි තැබූ බව පවසමින් ඝාතනය කෙරිණි. එකම කතාන්දරය පොලිසිය අධිකරණයට කිව්වේය. එය අසා සිටි එක් විනිසුරුවරයකු හෝ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ඒ ගැන විමසුවේ ද?

කෙහෙළිය රඹුක්වැල්ලගේ මල්ලෙන් එළියට පැන්න බළලාට අනුව නම් ලලිත්-කුගන් අත්අඩංගුවේ ය. එහෙත් එවැන්නක් මෙතෙක් තහවුරු වූයේ නැත. ඔවුන් සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන් ඉදිරිපත් කෙරුණේ ද නැත. හමුදා අත්අඩංගුවේ දිගටම තබාගත නොහැක. පොලිසියට බාරදිය යුතුය. එවැන්නක් සිදු වූයේද නැත.

මේ සම්බන්ධයෙන් දෙවරක් කැඳවීමෙන් පසු, 2016 මැයි මාසයේදී අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ එවකට පැවැති ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රකාශය කළ බවයි. එසේ නම් ඒ ආරක්ෂක කවුන්සිලය නියෝජනය කළ සියල්ලන් ඒ ගැන යම් තොරතුරක් දැන සිටිය යුතුය. සේනාධිනායක ලෙස ජනාධිපති, හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානියා සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ඒ කවුන්සිලය ඒ වකවානුවේ නියෝජනය කළහ.

මගහැරීමේ උපක්‍රම

2019 සැප්තැම්බර් 27දා ලලිත්-කුගන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ගෝඨාභය රාජපක්ෂ පෙනීසිටිය යුතු විය. ඒ 2019 ජුනි 21දා කළ නියෝගයක් ප්‍රකාරව ය. නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුනි 21දා පෙනීසිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට මුලදී දැනුම් දී තිබිණි. එහෙත් ඔහුගේ නීතිඥයන් එදින අධිකරණයට දැනුම් දුන්නේ තමන්ගේ සේවාදායකයා විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවටයි. ඒ අනුව සැප්තැම්බර් 21 දිනය ලැබිණි.

21දා ද ගෝඨාභය අධිකරණයට ගියේ නැත. මාධ්‍ය මගින් ඊට පෙර, අනාවරණය කළේ ආරක්ෂක හේතු දක්වා නඩුවෙන් මගහැර යෑමට ඔහු උත්සාහ කරන බවයි. උතුරු-නැගෙනහිර හැර, අනෙක් ඕනෑම පළාතක පිහිටි අධිකරණයකදී තමන්ට මේ නඩුවේ සාක්ෂි ලබාදීමට අවස්ථාව ඉල්ලමින් ගෝඨාභය අභියාචනාධිකරණයට ගියේය.

එහෙත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඒ කාලයේදී ම ගෝඨාභය රාජපක්ෂ යාපනයට ගියේය. එයින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට ද තර්ක කිරීමට හැකියාව තිබිණි.

ආරක්ෂක හේතු මත නඩුවක සාක්ෂි දෙන්නට යන්නට බෑ කී ඔහු, පෞද්ගලික වාසිය තකා එසේ ගියේ කෙසේද? ඉන්පසු ඔහු මුක්තිය අස්සේ සැඟවිණි.

අපරාධ චූදිතයෙකුට නීතිය ඉදිරියේ විශේෂ සැලකීමක් අනුමත කළ හැකිද ?

ශ්‍රේෂ්ඨාධිකරණයට !

අභියාචනාධිකරණය විසින් ගෝඨාභයට අදාළ ව ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වින්දිත පාර්ශ්වයෙන් අභියාචනයක් ගොනුකෙරිණි. එය ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

දැන් ගෝඨාභය රාජපක්ෂ මගහරිමින් සිටින්නේ රටේ ඉහළ ම අධිකරණයයි.

ශාලික විමලසේන

සහල් ගැසට් පිළිබඳ ශ්‍රී ලංකා වාර්තාව රනිල් අලුත් කරයි ?

0

සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2021 වසරේ මහ කන්නයේ වී වගාව අසාර්ථක වීමත් සමග මෙරට සහල් හිඟයක් ඇති වේ යැයි අනාවැකි පළ විය. එම නිසා මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත් බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

ඒ අනුව 2022 සැප්තැම්බර් අවසන් වන විට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,75,288ක් වන අතර, ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 73,627ක් බව රජයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

වජිර – සාගල සාකච්ඡාවක්

මේ අතර ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් හෙට (10) සහල් ආනයනකරුවන් සහ ජනාධිපතිවරයාගේ සමීපතමයන් දෙදෙනෙකු ලෙස ප්‍රකට වජිර අබේවර්ධන, සාගල රත්නායක අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. විපක්ෂය පාර්ශ්වයෙන් චෝදනා කරන්නේ වර්තමාන ආණ්ඩුවේ ආයෝජන සහ ව්‍යාපාර සම්බන්ධ සියලු බලතල ජනාධිපතිවරයා විසින් මෙම දෙදෙනාට පවරා ඇති බවටත්, ඔවුන් ඒවා සිදුකරන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව බවටත් ය.

ගෝඨා ගැසට්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මගින් සහල් සඳහා අවස්ථා ගණනාවකදී මිල පාලන ගැසට් රැසක් නිකුත් කළේය. එම සියලු ගැසට් කෙටි කාලයක් තුළ වෙනස් කෙරුණු අතර, ඒ පිළිබඳ සමාජයේ ප්‍රකට වූයේ සහල් ගැසට්වලින් ශ්‍රී ලංකා වාර්තාවක් තබන බවටයි. කෙසේ වෙතත් සහල් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව මත මෙසේ අදාළ ගැසට් වෙනස් වූ බව පසුව අනාවරණය කෙරිණි.

2020 නොවැම්බර් 04දා නිකුත් කළ සහල් ගැසට් පත්‍රයට අනුව සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසටත්, සම්බා කැකුළු කිලෝවක මිල රුපියල් 94ක් ලෙසටත්, නාඩු කිලෝවක මිල රුපියල් 92ක් ලෙසටත්, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 89ක් ලෙසටත් ප්‍රකාශයට පත්කෙරිණි. මෙම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ සහල් සඳහා සිල්ලර උපරිම මිල නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවකදී පැවසීය. එමෙන්ම එම ගැසට් පත්‍රයේ සඳහන් වූයේ ද නිෂ්පාදකයකු හෝ සහල් මෝල් හිමියකු මෙම මිලට වඩා වෙළඳාම් නොකළ යුතු බව මිස එහි බෙදාහරින්නන් හෝ වෙළෙන්දන් අලෙවි කළ යුතු සිල්ලර උපරිම මිලක් පිළිබඳ සඳහන් වූයේ නැත.

ඊට පෙර බලාත්මකව පැවති පැරණි ගැසට් පත්‍රයට අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වූ අතර, නාඩු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 96ක් ලෙසට ද, කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 93ක් ලෙසට ද සඳහන් විය. අංක – 2177/9 දරන එම ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ 2020 මැයි 28 වැනි බ‍්‍රහස්පතින්දා ය.

එහෙත් මෙම ගැසට් පත්‍ර නිකුත් කළ ද, සහල් කිලෝ ග්‍රෑම් 1ක තොග මිල පවා ඒ වන විට පැවතුණේ අදාළ මිලට වඩා ඉහළින් ය. එය ශ්‍රී ලංකා මහ බැංකුව නොවැම්බර් 04දා නිකුත් කළ දත්ත අනුව ම තහවුරු කෙරිණි. ඊට අනුව පිටකොටුව වෙළෙඳපොලේ සම්බා සහල් කිලෝ ග්‍රෑම් 1ක තොග මිල රුපියල් 115ක් වූ අතර, මරඳගහමුල එම මිල එඋපියල් 114ක් ලෙස සඳහන් විය.

මේ වකවානුවේදී වෙළෙඳපොලේ සම්බා සහල් අලෙවි වූයේ 130 – 140 මිලකට බව වාර්තා පරිශීලනය කිරීමේදී තහවුරු වේ.

සහල් ගැසට් ඉතිහාසය

සම්බා සහ නාඩු කිලෝ ග්‍රෑම් 1ක් සඳහා උපරිම මිල රුපියල් 98ක් ලෙස නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සේනවීර 2019 දෙසැම්බර් 19 වැනි බ‍්‍රහස්පතින්දා අංක 2154/19 දරන ගැසට් නිවේදනය නිකුත් කළේය. ඊට පෙර නිකුත් කරන ලද 2019 මැයි 31 දිනැති අංක 2125/66 දරන ගැසට් පත්‍රයට අනුව කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සහල් මිල තිබුණේ සම්බා සඳහා රුපියල් 85ක් ලෙසත්, සුදු නාඩු රුපියල් 80ක් ලෙසත්, රතු නාඩු සඳහා රුපියල් 74ක් ලෙසත් ය.

දෙසැම්බර් ගැසට් පත්‍රයෙන් වැඩි කෙරුණු සහල් මිල යළි අඩු කරමින් 2020 අප්‍රේල් 10 දා 2170/7 දරන ගැසට් පත්‍රය නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනයට අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 90ක් ලෙසත්, නාඩු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 90ක් ලෙසත් ප්‍රකාශයට පත්කෙරිණි. එම නිවේදනයට අනුව කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 85ක් ලෙස ද සඳහන් විය.

එසේ මිල අඩු කරමින් ආණ්ඩුව පැවසුවේ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි මිල වැඩි නොකරන බවයි.

නමුත් ඉහත ගැසට් නිවේදනයෙන් මාස 02ක් ගතවීමටත් පෙර, එනම් 2020 මැයි 28දා එම ගැසට් පත්‍රය අවලංගු කරමින් අංක – 2177/9 දරන ගැසට් නිවේදනයෙන් යළි සහල් මිල වැඩි කෙරිණි. ඒ අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, සම්බා කැකුළු කිලෝ ග්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, නාඩු කිලෝ ග්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 96ක් දක්වාත්, කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 93ක් දක්වාත් ඉහළ දැමිණි.

පාරිභෝගික විශ්වාසය

එම ගැසට් පත්‍ර වෙනස් වූයේ අද වන විට පවතින ආකාරයට ව්‍යාපාරික අවශ්‍යතා මත සහල් මිල සීග්‍රයෙන් ඉහළ දැමීමට බව පාරිභෝගිකයන්ගේ අදහසයි.

ගෝඨාගේ තෑග්ග වසර 3කට පසු පාර්ලිමේන්තුවෙන් අනුමත කරයි !

0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 ජනවාරි මාසයේදී කරන ලද පත්කිරීමක් පෙරේදා (07) පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරකසභාවෙන් අනුමත කර තිබේ.

මෙසේ පත්වීමෙන් වසර 02කුත්, මාස 11කට පසු අනුමැතිය ලබාදී ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාසට ය. මේ සමග ම අදාළ කාරකසභාව මගින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලෙස මහින්ද සාලියගේ නමත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ලෙස එච්.එස්. බාලසූරියගේ නමත් අනුමත කර ඇත. කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ලෙස කන්තීපන් බාලසුබ්‍රමනියම්ගේ නමත් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරකසභාවෙන් අනුමත කර ඇත්තේ පසුගිය 07දා ය.

උපුල් ධර්මදාස යනු කවුද?

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සියලු ඇමෙරිකානු සංචාර පිළිබඳ සම්පූර්ණ වගකීම දරන්නේ මෙම උපුල් ධර්මදාස ය. ඔහු ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන්නෙකි. 2019 අප්‍රේල් මාසයේදී හදිසියේ ලංකාවට පැමිණීමට අවශ්‍ය වූ අවස්ථාවේ ද ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳ අයෝමා  රාජපක්ෂට සියලු පහසුකම් සපයා ඇත්තේ උපුල් ධර්මදාස විසින් ය.

ගෝඨා හදිසියේ පනී !

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමට අදාළ ව ඔහුගේ දියණියක වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමෙරිකාවේ පවරන ලද නඩුවට අදාළ ව ගෝඨාභය රාජපක්ෂට අධිකරණය ඉදිරියේ පෙනීසිටීමට සිදු වූ අවස්ථාවේ හදිසියේ මෙසේ එරටින් පිට විය. පසුව අනාවරණය වූයේ ඩුබායි – එමිරේට්ස් ගුවන් සමාගම මගින් මෙහෙයවන Skywards Platinum මගින් ගෝඨාභය රාජපක්ෂ සහ බිරිඳ මෙරටට පැමිණ ඇති බවයි. එය අධික වියදම් සේවයක් වන අතර, ඊට අදාළ ආසන වෙන්කිරීමේ කටයුතු ද සිදු කර ඇත්තේ ඒජන්සියක් හරහා නොව, සෘජුව ම ය.

මේ සියලු කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ උපුල් ධර්මදාස ය. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ඊට දින කිහිපයකට පෙර පළකරන ලද CHECKMATE: Inside Ahimsa’s Legal Gambit against Gota ලිපියට අනුව එම නඩුවට අනිවාර්යෙන් පෙනීසිටීමට සිදු වන තත්ත්වයක ගෝඨාභය රාජපක්ෂ ඒ වන විට සිටියේය.

බැසිල් රාජපක්ෂට අදාළ සියලු හදිසි ඇමෙරිකානු සංචාර කළමනාකරණය කරන්නේ ද මේ උපුල් ධර්මදාස විසින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.  

ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද උපුල් ධර්මදාසගේ පත්කිරීම වෙනස් කිරීමට හෝ එය නැවත සලකා බැලීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද කටයුතු කර නැත.