ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට වෙන කිසිම පනතක් අවශ්‍ය නෑ – පා.ම., ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්

Share post:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කොට, වෙනත් නමකින් එය යළිත් ගෙනඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත්, ඒ වෙනුවට කිසිම පනතක් අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අවධාරණය කළේය.

ඔහු මේ අදහස් පළකළේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනු යන තේමාව යටතේ ජාතික ජන බලවේගයේ නීතිඥයන් විසින් අද (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද සඳහන් කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අපි රට පුරාම ගෙන ගියා. දින 25ක් පමණ රට පුරා ගමන් කර මෙය අහෝසි කර ගැනීමේ ලොකු උත්සාහයක අපි දිගටම නියැළී සිටිනවා. තවමත් මේ පනත ක්‍රියාත්මක කරන්නේ ‘තාවකාලික පනත’ කියලයි. මාස හයකට 1979දී ගෙන ආ පනත ආරම්භ කළේ බුල් වීරතුංග කියන බ්‍රිගේඩියර්වරයාට මාස හයක කාලයක් සඳහා උතුරේ ත්‍රස්තවාදය නිමා කිරීමට බලය දෙන්නයි. නමුත්, ඒ මාස හය තුළ තමයි, ත්‍රස්තවාදයට පෙර ප්‍රචණ්ඩත්වය වර්ධනය වුණේ. 1981දී මේ පනත ස්ථිර කළා. යුද්ධය අවසන් කළ පසුව මේ පනත අහෝසි කළ යුතුයි කියන හඬ නැඟුණා. 1990දී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනකුට එරෙහිව මේ පනත යටතේ නඩු පවරා තිබුණා. ඔවුන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ මා පෙනීසිටියා. ක්ලැන්සි ප්‍රනාන්දු කියන හමුදා නිලධාරියා ඝාතනයට සම්බන්ධ බාබු කියන පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත වෙනත් පිරිසක් අත්අඩංගුවට ගත්තා. නමුත්, බාබු නිදහස් කර ඔහු පිළිබඳව තොරතුරු හෙළි නොකළේ යැයි චෝදනා කරමින්, අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත්තා. බාබු කියන පුද්ගලයා ඒ නඩු විභාගය බලන්න අධිකරණයටත් ඇවිත් හිටියා.

පාපොච්චාරණ මඟින් ලබා ගන්නා ප්‍රකාශ සම්බන්ධ නඩු අධිකරණය ඉදිරියේ දිගටම විභාග වෙද්දී, සත්‍ය වශයෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ අය නිදහස් කර හැරියා. ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද සඟරාවක පිටපත් පනහක් ප්‍රකාශයට පත් කළ තිස්සනායගම් කියන මාධ්‍යවේදියා අවුරුදු දෙකකට පස්සේ අත්අඩංගුවට ගෙන රඳවා ගත්තා. පසු කාලයක චෝදනා ඉදිරිපත් කළේ මේ සඟරාවල අඩංගු කරුණු සිංහල ජනතාව කියැවූවා නම්, ජාතිකත්වයන් අතර ගැටුම් ඇති විය හැකි බවටයි. නමුත්, එවැනි කිසි දෙයක් සිදුවී තිබුණේ නැහැ. තිස්සනායගම්ගේ අත්අකුරෙන්ම ලියවාගෙන තිබුණු පාපොච්චාරණයක් ඔහුට විරුද්ධව යොදා ගත්තා. අධිකරණය මේ පාපොච්චාරණයේ බරපතළ සැකකටයුතු තැන් තිබියදී පවා පිළිගෙන අවුරුදු විස්සකට දඬුවම් නියම කළා. ඒ වාගේම තවත් පුද්ගලයකු ළඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය නිකුත් කළ ‘ට්‍රැවල් කාඩ්’ එකක් තිබුණා. එය එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිකුත් කළ ‘අයිඩෙන්ටි’ කාඩ් එකක් හැටියට හඳුන්වා අධිකරණයට ඉදිරිපත් කළා. අවුරුදු දහසයකට පස්සේ ඔහුව නිදහස් කර තිබෙනවා. මේ සිදුවුණු අසාධාරණයට විරුද්ධව නඩු පැවරීමට පවා ඒ වින්දිතයා ඉදිරිපත් වුණේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ තරම් බරපතළයි.

මේ පනත ඉවත් කරන බව කියමින්, වෙනත් නමකින් නැවත ගෙනඑන්න යනවා. නමුත්, අප මෙහිදී පැහැදිලි ස්ථාවරයකට එන්න ඕනෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙන කිසිම පනතක් අවශ්‍ය නැති බව රජයට පමණක් නොවෙයි, අපි හැමෝම එකතු වී ලෝකයටම කියන්න ඕනෑ.”

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...