සහල් ගැසට් පිළිබඳ ශ්‍රී ලංකා වාර්තාව රනිල් අලුත් කරයි ?

Share post:

සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2021 වසරේ මහ කන්නයේ වී වගාව අසාර්ථක වීමත් සමග මෙරට සහල් හිඟයක් ඇති වේ යැයි අනාවැකි පළ විය. එම නිසා මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත් බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

ඒ අනුව 2022 සැප්තැම්බර් අවසන් වන විට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,75,288ක් වන අතර, ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 73,627ක් බව රජයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

වජිර – සාගල සාකච්ඡාවක්

මේ අතර ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් හෙට (10) සහල් ආනයනකරුවන් සහ ජනාධිපතිවරයාගේ සමීපතමයන් දෙදෙනෙකු ලෙස ප්‍රකට වජිර අබේවර්ධන, සාගල රත්නායක අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. විපක්ෂය පාර්ශ්වයෙන් චෝදනා කරන්නේ වර්තමාන ආණ්ඩුවේ ආයෝජන සහ ව්‍යාපාර සම්බන්ධ සියලු බලතල ජනාධිපතිවරයා විසින් මෙම දෙදෙනාට පවරා ඇති බවටත්, ඔවුන් ඒවා සිදුකරන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව බවටත් ය.

ගෝඨා ගැසට්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මගින් සහල් සඳහා අවස්ථා ගණනාවකදී මිල පාලන ගැසට් රැසක් නිකුත් කළේය. එම සියලු ගැසට් කෙටි කාලයක් තුළ වෙනස් කෙරුණු අතර, ඒ පිළිබඳ සමාජයේ ප්‍රකට වූයේ සහල් ගැසට්වලින් ශ්‍රී ලංකා වාර්තාවක් තබන බවටයි. කෙසේ වෙතත් සහල් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව මත මෙසේ අදාළ ගැසට් වෙනස් වූ බව පසුව අනාවරණය කෙරිණි.

2020 නොවැම්බර් 04දා නිකුත් කළ සහල් ගැසට් පත්‍රයට අනුව සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසටත්, සම්බා කැකුළු කිලෝවක මිල රුපියල් 94ක් ලෙසටත්, නාඩු කිලෝවක මිල රුපියල් 92ක් ලෙසටත්, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 89ක් ලෙසටත් ප්‍රකාශයට පත්කෙරිණි. මෙම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ සහල් සඳහා සිල්ලර උපරිම මිල නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවකදී පැවසීය. එමෙන්ම එම ගැසට් පත්‍රයේ සඳහන් වූයේ ද නිෂ්පාදකයකු හෝ සහල් මෝල් හිමියකු මෙම මිලට වඩා වෙළඳාම් නොකළ යුතු බව මිස එහි බෙදාහරින්නන් හෝ වෙළෙන්දන් අලෙවි කළ යුතු සිල්ලර උපරිම මිලක් පිළිබඳ සඳහන් වූයේ නැත.

ඊට පෙර බලාත්මකව පැවති පැරණි ගැසට් පත්‍රයට අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1ක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වූ අතර, නාඩු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 96ක් ලෙසට ද, කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 93ක් ලෙසට ද සඳහන් විය. අංක – 2177/9 දරන එම ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ 2020 මැයි 28 වැනි බ‍්‍රහස්පතින්දා ය.

එහෙත් මෙම ගැසට් පත්‍ර නිකුත් කළ ද, සහල් කිලෝ ග්‍රෑම් 1ක තොග මිල පවා ඒ වන විට පැවතුණේ අදාළ මිලට වඩා ඉහළින් ය. එය ශ්‍රී ලංකා මහ බැංකුව නොවැම්බර් 04දා නිකුත් කළ දත්ත අනුව ම තහවුරු කෙරිණි. ඊට අනුව පිටකොටුව වෙළෙඳපොලේ සම්බා සහල් කිලෝ ග්‍රෑම් 1ක තොග මිල රුපියල් 115ක් වූ අතර, මරඳගහමුල එම මිල එඋපියල් 114ක් ලෙස සඳහන් විය.

මේ වකවානුවේදී වෙළෙඳපොලේ සම්බා සහල් අලෙවි වූයේ 130 – 140 මිලකට බව වාර්තා පරිශීලනය කිරීමේදී තහවුරු වේ.

සහල් ගැසට් ඉතිහාසය

සම්බා සහ නාඩු කිලෝ ග්‍රෑම් 1ක් සඳහා උපරිම මිල රුපියල් 98ක් ලෙස නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සේනවීර 2019 දෙසැම්බර් 19 වැනි බ‍්‍රහස්පතින්දා අංක 2154/19 දරන ගැසට් නිවේදනය නිකුත් කළේය. ඊට පෙර නිකුත් කරන ලද 2019 මැයි 31 දිනැති අංක 2125/66 දරන ගැසට් පත්‍රයට අනුව කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සහල් මිල තිබුණේ සම්බා සඳහා රුපියල් 85ක් ලෙසත්, සුදු නාඩු රුපියල් 80ක් ලෙසත්, රතු නාඩු සඳහා රුපියල් 74ක් ලෙසත් ය.

දෙසැම්බර් ගැසට් පත්‍රයෙන් වැඩි කෙරුණු සහල් මිල යළි අඩු කරමින් 2020 අප්‍රේල් 10 දා 2170/7 දරන ගැසට් පත්‍රය නිකුත් කෙරිණි. එම ගැසට් නිවේදනයට අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 90ක් ලෙසත්, නාඩු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 90ක් ලෙසත් ප්‍රකාශයට පත්කෙරිණි. එම නිවේදනයට අනුව කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 85ක් ලෙස ද සඳහන් විය.

එසේ මිල අඩු කරමින් ආණ්ඩුව පැවසුවේ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි මිල වැඩි නොකරන බවයි.

නමුත් ඉහත ගැසට් නිවේදනයෙන් මාස 02ක් ගතවීමටත් පෙර, එනම් 2020 මැයි 28දා එම ගැසට් පත්‍රය අවලංගු කරමින් අංක – 2177/9 දරන ගැසට් නිවේදනයෙන් යළි සහල් මිල වැඩි කෙරිණි. ඒ අනුව සම්බා කිලෝ ග්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, සම්බා කැකුළු කිලෝ ග්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 98ක් දක්වාත්, නාඩු කිලෝ ග්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 96ක් දක්වාත්, කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක උපරිම මිල රුපියල් 93ක් දක්වාත් ඉහළ දැමිණි.

පාරිභෝගික විශ්වාසය

එම ගැසට් පත්‍ර වෙනස් වූයේ අද වන විට පවතින ආකාරයට ව්‍යාපාරික අවශ්‍යතා මත සහල් මිල සීග්‍රයෙන් ඉහළ දැමීමට බව පාරිභෝගිකයන්ගේ අදහසයි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...