Home Blog Page 215

කල්දැමීමේ පෙත්සමේ විභාගය 23දා : මැතිවරණ කොමිසමේ ප්‍රතිඥාව පිළිබඳ සෑහීමට පත්වෙයි – ඡන්දයට අධිකරණයෙන් ඉඩ !

0

සැලසුම් කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිෂන් සභාවට අවසර ලබාදී තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකළ රීට් පෙත්සම් 02ක් අද (10) කැඳවිණි. එහිදී මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙමින් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසම පියවර ගන්නා බවයි.

මෙම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමට පත්වන බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට දැනුම් දුන්හ.

ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එම පෙත්සම් විභාගය අවසන් කරන ලදි. එස්. තුරෙයිරාජා, ඒ.එච්.ඩි. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් මෙම පෙත්සම් සලකා බැලූහ.

මේ අතර යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර විසින් මැතිවරණයට අදාළ සියලු කටයුතු වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන 23දා විභාගයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද කටයුතු ලබන 22දා ආරම්භ කිරීමට නියමිත ය.

SSP නිල නිවසේ සිට වීඩියෝ කරලා : ජීවිත තර්ජන ගැන කරන්නාගොඩගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් !

0

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබේ.

මේ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ආණ්ඩුකාරවරයාගේ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිල නිවස, කුරුණෑගල නගරයේ පිහිටා ඇති ආණ්ඩුකාර කාර්යාලයේ සිට නිල නිවස වෙත ගමන් ගන්නා මාර්ගය මෙන්ම පෙර ගමන් රථය කිසියම් පිරිසක් විසින් වීඩියෝ ගත කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ. එසේ වීඩියෝ ගත කළ දර්ශන කිසියම් අයෙකු විසින් ආණ්ඩුකාරවරයා වෙත ලබාදී ඇති බව ද සඳහන් ය.

වාර්තා වන ආකාරයට ආණ්ඩුකාර නිල නිවසට අදාළ වීඩියෝ දර්ශන ලබාගෙන ඇතැයි සඳහන් කර ඇත්තේ ඊට යාබද ව පිහිටා ඇති කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල නිවසේ සිට ය. තමන් නිල නිවසේ නොමැති අවස්ථාවක කිසියම් අයෙකු විසින් මෙම දර්ශන ලබාගෙන ඇති බව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද, එය මන්දගාමීව සිදුවීම හේතුවෙන් මෙසේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරණ බව ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.

අදාළ තත්ත්වය සලකා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව ද මේ වන විට වැඩිකර ඇත.

කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අද දකුණු අප්‍රිකාවේදී ඇරඹේ

ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය 8 වැනි වරට සංවිධාන කරන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (10) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වෙයි.

මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් තරග වදින අතර ඔස්ට්‍රේලියාව ,  බංග්ලාදේශය ,නවසීලන්තය , දකුණු අප්‍රිකාව,  සහ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.

එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

මේ කාණ්ඩ ද්විත්වයේ මුල් ස්ථාන 2 දිනාගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට එක් වෙයි.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද කේප් ටවුන් නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු  ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව ඇති අර ප්‍රහාරාත්මක පිතිකාරිනියක්වන  චමරි අතපත්තුට එහි නායකත්වය හිමිව ඇත. 

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය.

වසර 2009 දී එංගන්තයේ ලන්ඩන්හිදී ඇරඹුණු මංගල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය එංගලන්ත ක්‍රීඩිකාවන් තමන් සතු කරගත් අතර දෙවැනි, තෙවැනි සහ සිව් වැනි ලෝක කුසලාන ජය ඔස්ටේලියානු ක්‍රීඩිකාවන් තමන් සතු කර ගත්තාය. 2016 ලෝක කුසලාන ජය බටහිර ඉන්දීය කොදෙව් පිල හිමිකරගත් අතර යළිත් 2018 සහ 2020 ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට හිමිවිය.

ඒ අනුව පැවති තරගාවලිය 7දී 5 වරක් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව (2010, 2012, 2014, 2018 සහ 2020) සමත්ව තිබේ. 

ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය

චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්සිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනි, කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කාංචනා, සත්‍යා සන්දීපනී.

ආයුබෝවන් මිට්ෂුබිෂි….

0

අද්විතීය ජපන් මෝටර්රථ සමාගමක් වන මිට්ෂුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් අවසන් කරලා යනවලු. ඒ කියන්නේ ලෝකයේ තවත් ශ්‍රේෂ්ට සන්නාමයක් අපිව දාල යනවා. ඒ ගැන දුකයි.

පුද්ගලික ප්‍රවාහනය ලංකාවට ආපු වෙලේ අපේ කෑගල්ල රඹුක්කන පාරේ මුලින්ම දිව්වේ ප්‍රථම පරම්පරාවේ (first generation) මිට්ෂුබිෂි රෝසා බස් එකක්. ඒක මම හිතන හැටියට අවුරුදු විස්සක් විතර දිව්වා. සී. ටී. බී. බස් නැති වෙලාවල් වල ඒ බස් එකේ අපි ආව ගියා. ඒක මතකයක්.

අපේ පොඩි කාලේ ලංකාවේ බොඩි ගහපු ඉසුසු බස් දිව්වා. ලෝකයේ ප්‍රධාන සන්නාම වන ඩන්ලොප්, මිචලින්, බ්‍රිජ්ස්ටෝන් වගේ ටයර් හැම තැනම තිබ්බ. ඒවා ගන්න පුළුවන් කමක් මිනිස්සුන්ට තිබ්බ. අද ඒ ටයර් එකක් ගැන හිතන්නවත් බැහැ.
අදටත් කොළඹ නුවර දුවන ඒ. සී. කොට බස් ගොඩක් මිට්ෂුබිෂි රෝසා කාණ්ඩයේ ඒවා. සුවපහසුයි. ප්‍රභලයි.
ඔය මිනින්දෝරු එකට ආව ජීප් වුණත් මිට්ෂුබිෂි. අදටත් මොඩිෆයි කරනවා 4DR5 මොඩල් එක.

පළාත් සභා ආපු කාලේ තමයි මිට්ෂුබිෂි පැජරෝ දිග සහ කොට මොඩල් ආවේ. ඊට කලින් ඔය රෝසා බස් වලට අමතරව ලාන්සර් බොක්ස් තිබ්බ. වැඩියෙන් ඒවා තිබ්බේ රත්නපුරේ මැණික් කාරයෝ ළඟ. ඈත දුෂ්කර පතල් වලට උන් ගියේ ඒවායින්. දැන් අවුරුදු පනහක් වෙලත් තම ලාන්සර් බොක්ස් දුවනවා. පැජරෝත් දුවනවා.

පැජරෝ කියන්නේ ජයග්‍රාහී ඉතිහාසයක් තියන වාහනයක්. ඒ තමයි ඒක ඩකා මෝටර් රැළිය ජයග්‍රහණය කිරීම.
මෙච්චර කාලයක් ලෝකයේ මෝටර් රේසිං වල යුරෝපීය වාහන රජ කරනකොට ජපන්නු ඒ තරඟවලට අවතීර්ණ උණා. ප්‍රංශ මෝටර් රැළි, ඉතාලි රැළි, ඩකා වගේම අප්‍රිකානු ඔරොත්තු දීමේ රැළිවල (endurance motor racing) මුල් කාලේ පොර්ශේ, ෆෙරාරි, ෆෝර්ඩ්, අවුඩි, බෙන්ස්, ඇල්ෆා රෝමියෝ වගේ වාහන එක්ක ජපන්නු තරඟ කළා. ඒ වගේම දිණුවා.

අද සියලුම යුරෝපීය ඔරොත්තු දීමේ රැළිවල අංක එක ටොයෝටා. හැබැයි අනික් සියලු ජපන් සමාගම් මේ තරඟවලට ඇවිත් දිනුවා. මැස්ඩා, හොන්ඩා, නිසාන් වගේම මිට්ෂුබිෂිත් තමන්ගේ රට සහ නිෂ්පාදන ලෝකෙට අරන් ගිහිල්ල ලෝකේ දිනපු කෙනෙක්. ඉගෙනගන්න බොහොමයක් දේ එයාල ළඟ තියනවා.

දැන් අර රේල් බස් ව්‍යාපෘතිය නිසා ජපානේ අපි එක්ක අවුල් වෙලා ඉන්නේ. ඒකත් බලපාන්න ඇති මේ ඉවත් වීමට.
අපිව දාල යන එක ගැන දුකයි. ඒත් මේ වගේ දුෂිත, අකාර්යක්ෂම, කාලකන්ණි දේශපාලනය විසින් මෙහෙයවන රටවල ඉන්න ඕනිත් නැහැ එක අතකට.

ඉතිහාසය පුරාවට ජපන්නු සමුරායි ල. මේ සමකාලීන තරඟකාරී ආර්ථිකය ඇතුළෙත් ඔවුන් තරඟයක් නොදී මැරෙන්න සුදානම් නැහැ කියල පෙන්නලා තියනවා. මිට්ෂුබිෂි අයිති වෙන්නෙත් ඒ ප්‍රවර්ගයට.
ඉතිං තවත් එක ගෝලීය නිෂ්පාදකයෙක් අපෙන් යනවා. සයොනාරා!

මහේෂ් හපුගොඩ

තුර්කි – සිරියා ව්‍යවසනය : මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවයි

0

තුර්කි – සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 21,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උප ජනාධිපති Fuat Oktay ට අනුව තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 17,674 ක් මියගොස් ඇති අතර සිරියාවේ අවම වශයෙන් 3,377 ක් මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි විනාශ වූ ගොඩනැගිලි තුළ තවදුරටත් පුද්ගලයන් සිරවී සිටින අතර එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.

මේ අතර මුදාගත් පිරිස් වෙතද කුඩාරම්, ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව හිමි නොවීම තුළ තවත් ව්‍යසනයක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

එමෙන්ම මෙම භූමිකම්පාවත් සමග නිවාස සහ ප්‍රධාන ගොඩනැගිලි විනාශ වීමෙන් පසු විපතටපත් දරුවන් හට ආහාර, නවාතැන් සහ උණුසුම් ඇඳුම් හි අවශ්‍යතාවයක් ඇති බව Save the Children ආයතනය පෙන්වාදෙයි.

සබැඳි පුවත්

දරුණු භූ කම්පනයෙන් තුර්කිය සහ සිරියාව කැළඹෙයි – ගලවා ගැනීමේ මෙහෙයුම්වලටත් බාධා

සිව්වැනි CISM වෙරළ වොලිබෝල් තරගාවලිය මීගමු වෙරළ තීරයේදී 13 දා ඇරඹේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) මගින් සිව්වන වරට සංවිධානය කරනු ලබන වෙරළ වොලිබෝල් තරගාවලිය 2023, පෙබරවාරි මස 13 වැනි දින සිට 17 වැනිදා දක්වා මීගමුව වෙරළ තීරයේ පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය,ඕමානය, සෞදි අරාබියාව,වෙනිසියුලාව, කොලොම්බියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල් 08ක් සභාභාගීවන අතර ඊට පිරිමි ක්‍රීඩා කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් සහභාගි වනු ඇත.  

එහි අවසන් පූර්ව තරග 16 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 17 වැනිදා පැවැත්වේ.

මෙම තරගාවලියේ පළමු, දෙවැනි සහ තෙවැනි තරගාවලි පිළිවෙළින් ජර්මනිය, බ්‍රසීලය, සහ චීනයේ වුහාන් හිදී පැවත්විණි.

මෙවර එහි සත්කාරකත්වය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමිව ඇත.

මෙහි පූර්ණ සංවිධානය ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්තමාන සභාපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් දර්ශන පතිරණ  යටතේ සිදු කරනු ලබන අතර  යුද හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම්  ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහයෝගය ඇතිව ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.

මීගමුව goldi sands හෝටලය අසල වෙරළ තීරයේදී පැවැත්වෙන මෙම තරගාවලිය මහජනතාව සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ඇති බව එහි සංවිධායකයින් පවසා සිටියි.

කොපි වෙනුවට ඔරිජිනල් ඉල්ලන වෙලාවක ; ගජමෑන් !

0

සතුට පත්තරයේ ගජමෑන් ඉපදුණේ මේ ලියුම්කරු ඉපදෙන්නත් කලින්. ගජමෑන් සතුටෙන් සිත්තරට ඇවිත් සිත්තරෙන් සත්සිරි දක්වා ගිය ගමනේ සෑහෙන කොටසක් දුටුව සාක්ෂිකාරයනුත් ලියුම්කරුගේ පරම්පරාව තමයි.

ඊට අමතරව, ගජමෑන්, විවිධ උත්සව කාලවලදී වෙනම විශේෂ පත්තරයක් හැටියටත් පාඨක දෝතට ඇවිත්, වෙනම රහක් දීලා ගියා. සෙල්ලං සේන, දොං සේතං, පද්මාවතී, ටික්කා, සිරිබිරිස්… මේ හැමෝම ගජමෑන් නිර්මාතෘ කැමිලස් මහත්තයගෙ තෙළිතුඩෙන් උපන්නේ.

ඒ ද්විමානයෙන් මුද්‍රිත ගජමෑන්, කඩදාසියේ සිට සිනමා තිරය දක්වා එන්නේ ත්‍රිමාණ සජීවකරණයෙන් පණ ලබලා. ඒක වෙනම අද්දැකීමක්. කැමිලස්ගේ ගජමෑන් ත්‍රිමාණ සිනමා අද්දැකීම එලෙසින්ම ඔබට විඳගන්න පුළුවන් වෙන්නෙ සිනමා ශාලාවකදී විතරයි.

ලියුම්කරු සමග ගාමින්ද කළ – නුදුරේදී නිකුත්වන්නට නියමිත Ktube සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියනව, කෙරෙන්නෑ කියල හිතපු ත්‍රිමාණ ගජමෑන්, ඇත්තක් බවට පත් කරන්න චානකලා මහන්සි වෙච්ච තරම.

ඒක අලුත් පරම්පරාවේ මහන්සිය. ඒ මහන්සියට අපි හිස නමන්න ඕන. ගජමෑන් පළමු ත්‍රිමාණ සිනමා පියවර තියනකොට, මේ ලියුම්කරු වගේ පැරණි පාසැලේ චිත්‍රකතා ලෝලීන් හීන දකිනවා, බැට්මෑන්ලාට නොදෙවෙනි යුනිකෝ වගේ වීර චරිත ත්‍රිමාණ සිනමාවට එන විදිහ ගැන.

හෝල් එකට ගිහිල්ලා විසිල් පාරවල් මැද බයිස්කෝප් එකක් බලන එකේ සොමිය, මගහරින්න එපා. ඒ ගජමෑන්ට අහුවෙච්ච, මේ ගජමෑන්ට මිස් වෙච්ච දේවල් ලියුම්කරු දකිනවා. ඒත් ඒ දැක්ම විනෝදයට බාධාවක් නෙමේ. විනෝද සංස්කෘතිය, ජීවිතය අත්නොහරින්න කොන්දේසි විරහිතව උදව් කරන බවයි ලියුම්කරුගේ හැඟීම.!

විමල් කැටිපෙආරච්චි

කල්පනා ඇම්බ්‍රෝස්ගේ ‘අරියාද්නේ’

0

නිර්මාණකරුවෙකුගේ එක් එක් නිර්මාණ සමුච්ච එකින් එක වෙනස් තානයන්, පසුබිම්, පසුතල, නිමිති, වගාභූමි, පිරිපහදු අවස්ථා, පොහොර යෙදීම් අපේක්ෂා කරනවා සහ ඉල්ලා සිටිනවා. ඔහු හෝ ඇය පැමිණි ගමන් මග තේරුම්ගන්නත් ඒ එක් එක් සාහිත්‍ය කෘති ඉවහල් වෙනවා.

නමුත්, ඇතැම් කෘතිවලින් නිර්මාණකරුවාගේ නිර්මාණ කේවලව තනි තනි විදියට නැතිව, සමස්ත කෘතියම සියලු නිර්මාණ ම අරා දිවෙන පොදු තේමාවක්, ගැළපුමක්, තානයක්, අදහසක් ඇති තැන් හමුවෙනවා. කවියා ඒ ඒ කෘතිවලදි ඒ හැම තැනදි ම හැම කවියක දි ම තමන්ගේ නොවෙනස් මුද්‍රාව තබනවා, ඊට අනන්‍ය වන පරිදි. මේක වෙසෙස් දෙයක්.

කල්පනා ඇම්බ්‍රෝස්ගේ ‘අරියාද්නේ’ නම් නව කාව්‍ය නිර්මාණ සමුච්චය වෙනුවෙන් දිය හැකි සංක්ෂිපත ම අදහසත් එයයි. මෙය ඇගේ පෙර නිර්මාණ සමග විමසා බැලුවොත් මෙහෙමයි. බූන්දි කවිවලින් (නිර්මාණ පරිවර්තනවලින්) සහ ‘මේ නිහඬ වෙරළට එන්න’ කෘතිය ඔස්සේ ආ ගමන ‘ඔබ ගැඹුරු නින්දක’ට එද්දි චිරන්තන පැදි බසත්, නූතන වහරත් මිශ්‍ර කරමින්, බහුලව සිව්පදයට නැඹුරුවෙමින්, ළසෝ ගීතවත් බවක් කවිය අරා ඉන්නවා. ‘පියා නොහැඹූ පියාපත්’ ගාවදි කෙටි කවියේ හයියත් පැණසර බවත් අර කී ළමැලි බවට ම මුහුවෙනවා. ‘නොපවතිනු වස් ප්‍රේමය ව පවතිමි’ යි කියනවිට, එක ම කවියට බහුවිධ අරුත් දෙන, එක් අදහසකට කොටුනොකරන, සහෘදයාව වැටකොටු නොබැඳ නිදහස් කරන, ප්‍රේමයේ හැඩරුව විවිධ වේශෙන් කැන්දන පැදි බහුල වෙනවා.

අරියාද්නේ කරා එද්දී රෙෆරන්ස් සහිත නිර්මාණ මතුවෙනවා‍. නිර්මාණයට නිමිති වුණු කෘතිය, සංකල්පය ආයෙ ආයෙ කියවීමේ කුහුල උපදිනවා. ඒ මුල්කෘතියේ කියවෙන දෙය සහ එය නිර්මාණයේදී පරිකල්පනය කර තියෙන විදිය යන දෙක අතර වෙනස අපට හිතන්න සලස්වනවා. තමා දන්න කියන දෙස් විදෙස් කෘති, විශේෂයෙන් ලෝක සාහිත්‍යයේ එන මිථ්‍යා කතා, ආගමික කතා, සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය සහ මෑතකාලීන නිමවුම් ඇසුරින් ඒ ඒ පොත්වල චරිත සහ කියමන් ගොනුවක් මන්ත්‍ර විලසින් මතකයේ තබාගත් නිර්මාණකරුවෙක් අරියාද්නේ කෘතියෙන් එබී බලනවා. ලංකාවේ කොටසකුත් ලෝකයේ කොටසකුත් තමාගේ කොටසකුත් අනුව අරියාද්නේ කෘතියේ පසුබිම හැදෙනවා. ඕනම රටකට උරුම පැරණි සාහිත්‍යයත් නූතන සාහිත්‍යයත් විදෙස් සාහිත්‍යයත් යන තුන ම මෙලෙසින් හිතමානේ යළි යළි තැන්පත් කරගනිමින් කියවීමෙන් කිමිදීමෙන් අරා සිටීමෙන් ඒවායින් සුව නොවෙන කැක්කුම් සාදාගැනීමෙන් හැර නිර්මාණකරුවෙක් නිරුත්සාහිකව පෝෂණය වන වෙන විකල්පයක් තිබිය හැකි යැයි මම හිතන්නෙ නැහැ. ඉතාලි ජාතික ලේඛක ඉතාලෝ කැල්විනෝ විසින් Classic Literature කියවිය යුත්තේ ඇයි ද කියන පැනයට දෙන පිළිතුරු ටික මීට ඌණ පූර්ණයක් සපයාවි.

අරියාද්නේ කවි සමුච්චය, දඩිබිඩි දිවිල්ලක් නැති, කලබලයක් නැති, ඉස්පාසුවේ පාඩුවේ මැදහත් බවක් අරා සිටින්නක්. මේ කවිවල තියෙන්නෙ යාන්තම් රිදෙන සෝක තනුවක්. විලාප දෙන හැඩිලි, සාපකිරිලි නැති, දැරීමක්. එක්වන්නට අත දෙන අතරේ ම වෙන්වන්නට අත හැර යාමක්. ඇති බව මෙන් ම නැතිවන බව ද දැනසිටීමක්. මතත් කිරීමක්. උපේක්ෂාවක්. බලාසිටීමක්. මුදුන් මුල් හෑරීමක්. පිරික්සා බැලීමක්. මේ කියන කලාපයේ යි නිර්මාණකරුවා අරියාද්නේ අසළ දි ඉන්නේ. පවන් අංජන මේ මැදහත් බව පෙන්වන මුහුණක් කවරයට අරගන්නේ අරක කී විදෙස් තේමාව පසුබිමේ තියාගෙනයි. ලලනාව ඉන්නේ බිම බලාගෙන නෙමේ, වෙන ම පැත්තක් බලාගෙන.

කල්පනාගේ ‘ඔබ ගැඹුරු නින්දක’ ඉන්නෙ ‘කාබන් මිනිසුන්’. ‘අරියාද්නේ’හි ඉන්නෙ ‘අඩිකෝදු මිනිසුන්’. මිනිසෙක් තවත් මිනිසෙක්ව කියවන විදිය, දකින විදිය, මනින විදිය, හැසිරෙන විදිය මේ නිර්මාණ දෙකේ ම අඩංගුයි. තරාදි, මිනුම් පටි අතේ තියාගෙන වටපිටබල බල, දකින දකින දෙයට ඇගිලි දිගු කරන, ගානට අඩි තිය තිය මැන මැන යන අඩිකෝදු තරමෙ මිනිස් රූප අපිට මැවිලා පේනවා. ඇයට පොදු ලකුණක් වන, විවිධ අරුත් බිණීමෙහි ඇති කවි හැකියාව, මේ කවියෙත් තියෙනවා. මාර්ගවල මැනුම් පිරික්සන ඉංජිනේරු මහත්තයෙක් වුණත් මේ කවියට මවාගන්න බැරි නැහැ.

‘කන්දක් නාය ගිය පසු
කෙන්දක සංයුතිය විමසන
තුලා අත දරාගත්
අඩිකෝදු මිනිසුනි’

මෙතනදි කවියා සහෘදයා දිහාටත් විපරම් බැල්මක් හෙළනවා. එයින් මිදීම පහසු නෑ, ‘ඇන්ටික් ක‌ඩේක මරණයක්’ වේදිකා නාට්‍යයෙදි ප්‍රේක්ෂකාගාරයේ ඉන්න නරඹන්නන්ටත් වැදෙනන්න ටෝච් එළිය එල්ල කරද්දි, එයින් ගැලවෙන්න බැරියා සේ. මොකද සමාජය කියන්නෙ අපෙන් බාහිර වෙන දෙයක්, වෙන මිනිස්සු පිරිසක් නෙමේ අපි අපි ම බව අපි දන්න නිසා.

පෙර නිර්මාණකරුවෙකුගේ නිර්මාණයකින් සුදුසු තැනක් ගෙන එය ප්‍රතිනිමවීම මෙහි කවි කිහිපයක ම දක්නට ලැබෙනවා. ‘කටු සටහන් මිස පිටු අංක නෑ ඇත්ත කතාවල’ කවිය, මිනිස් සමාගම් එක්වීම, වෙන්වීම, අහිමිවීම, හැබැයි වෙන්වන අහිමිවන බව දැනසිටීම, අත්හැරීම, වෛරයක් ඉතිරි කරනොගැනීම, දිවි තතු එලෙසින් අවබෝධ කරගැනීම යන සිතිවිලි ක්‍රියාත්මක වෙමින් ලියූවක්. මේක ක්‍රමයෙන් පරිණත වන පුද්ගලයෙක් බිහිවෙන ලකුණු පෙන්වන කවියක්. ජී.බී. සේනානායකගේ කාව්‍ය නිර්මාණයක්, (ඒ ඇසුරින් මංජුල වෙඩිවර්ධන ලියූ කවිය ද සිහිවේ) අර කී තේමාවට අනුව අරගන්න කිවිඳිය එය ප්‍රති නිමවන්නේ මෙලෙසින්.

”මම තොප නොහඳුනමි
මට තොප මතක නැත’
ගඟක් ඉවුරට කොදුරයි
‘ඔව් තොප නිවැරදිය
අපි අප නාදුනමු’
ඉවුර නිසලව පවසයි”

මහගමසේකර ‌’නොමියෙමි’ පොතේ මෙහෙම ලියනවා,

‘ක්ලාන්තයි ආනන්ද- පිපාසයි ආනන්ද
වේසාලිය රමණීයයි – වේළුවනය රමණීයයි’

‘ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්’ පොතේදි, රෝහණ පොතුලියැද්ද,
‘අතහැරීම ම නිවන කියන උතුමෙකු –
අත නෑර අල්ල ගති ආනන්ද’ කියනවා. ‘එච්චරයි නේද ආනන්ද’ කවියෙදි කල්පනා මෙහෙම කියනවා.

‘ක්ලාන්තය ආනන්ද
පිපාසයි ආනන්ද
නිවන් නොගොසින්
මෙහි ම නොරැදුණ
ඔබ කොහෙද ආනන්ද


ඇහෙනවද ඒ සරදම් සිනා හඩ ආනන්ද,
ජීවිතේ කියන්නෙ ම
බුදු වුනේ නැත්නම්‍
විහිලුවක් විතරයි’

මේ කවියෙදි, බුදුන් ඉන්නෙ ගිලානව පිරිනිවන් මංචකයේ නෙමෙයි. වර්තමානෙ අපිට පේන මානෙ, පෙළක්විට බුදුමැදුරෙ අර තිර රෙදිවලට එහාපැත්තෙ කාටවත් නොපෙනී ගිලානව. සමාජෙන් අර සරදම් හිනා හඬ ඇහෙද්දි, බුදුන් හිතනවා සහ ආනන්ද හිමිට කියනවා, ‘හොඳ වෙලාවට ආනන්ද මං බුදුවුණේ. බුදු වුණේ නැත්නම් මාව අර මිනිස්සු විහිලුවකට ගනී නේද?’ කියලා. ‘ආනන්ද, මං නිවන් ගියා, ඒත් ඔයා කෝ? ඔයා මෙහෙ(මේ සමාජෙ) හිටියෙත් නෑ, කෝ දැන් ඔයා’ බුදුන් අහනවා. මේ හැර තවත් අර්ථවලට කවිය කියවගන්න පුලුවන්. බුදුන්ගෙ ඉගැන්වීම ගැන මිත්‍රයෙක් එක්ක කරන සමීප කතාබහක්, නව අදහස් කිහිපයක් මේ කවියෙදි මුණගැහෙනවා.

‘උත්පත්ති පොත පෙරළන අතැගිලි’ කවියෙදි, ගැහැනිය මැවුණේ පිරිමියෙකුගේ ශරීර ඇටයකින්ය යන අදහස අනුව අවසානයට කවිය ගියත්, මේ පිරිමියාව බැදීම්වලින් බැඳගන්න, රාමුකරගන්න දගලන්නේ නැති ගැහැනියකගේ හෘදවාචී පද එළියට එනවා. අනෙක් අතින් මේ කවිය කියන්නේ කාන්තාවයි කියා සිතුණත්, මේ ස්ත්‍රියත් පුරුෂයාත් මැවූ දෙවියා වෙන්න බැරි නැහැ. දෙවියා ඔවුන් දෙදෙනාට මෙහෙම කියනවා වෙන්න බැරි නැහැ.

‘ඔබට මිනිහෙක් වෙන්න පුලුවන්
උයන හැර නික්මෙන්න පුලුවන්
දුහුවිල්ලෙන් මවාලූයෙන්
දුහුවිල්ලට ම යන්න පුලුවන්’

දුහුවිල්ල, පෑගෙන්න පුලුවන් අන්තිම අඩිය බව, නැතිවෙලා යන්න පුලුවන් දෙයක් බව අමතක කරන්න එපා.

‘අවසාන හුස්මට කලියෙන් එපමණයි ඇය කියනු ඇසුණේ’ කවිය, දෙස් – විදෙස් කලා කෘතිවල, මිනිස් ජීවිතවල එන ඒ ඒ චරිත විරහව දරන හැටි ගැන කියූ ප්‍රකට කියමන් එකතුවකින් සැදුණක්. මේ මෙහොතේත් ලෝකේ කොහෝ හෝ ඉන්නා අයෙක් ඒවා එලෙසින් ම කියනවා ඇතියි කල්පනා කියනවා. ඒ ඇසිල්ලෙන් අපි ඒ චරිත බවට පත්වෙනවා‍. සියල්ල සමබර, සමාන වෙනවා. ප්‍රකට – අප්‍රකට භේද නැතිවෙනවා. මේ පොදු මිනිස් තත්වයන් බව අපි දන්නවා. මෙකවෙන් ආයෙමත් දැනගන්නවා. මෙහෙම කවි තව තියෙනවා. ලියන්නට අත රිදෙනවා.

ඩිල්ශානි චතුරිකා දාබරේ

අතාර්කික ආගම්වාදී මිනිසුන් දහස් ගණන් මරුමුවට ඇද දමා ආගමික සංකේත පමණක් ආරක්ෂා වීමේ එළය කුමක් ද?

0

ශිෂ්ටාචාරයන් මෙතරම් අරගල, අර්බූද, යුද්ධ සහ ජනවර්ග අතර ගැටුම් ඇතිවීම කෙරෙහි බලපාන එක් හේතුවක් වන්නේ ඒ ඒ ජනවර්ග ස්වකීය ආගම් පිළිබඳ දරණ ස්වෝත්තමවාදී අදහස්ය. තම ආගම අනෙක් ආගමට වඩා ඉතා හොඳය, දියුණුය, ශ්‍රේෂ්ටය කියන ජනසමාජයකට “ අන්න ඔබගේ ආගම අනතුරේ” යයි පැවසීම පමණක් ආගමාලය ඇවිස්සීමට ප්‍රමාණවත් වේ. එවිට ආගමානුරාගයෙන් පෙළෙන මිනිසා නිරන්තරයෙන් අනෙකා ( අනෙක් ආගම් අදහන්නන්) දෙස සැකමුසු ලෙස, ක්‍රෝධයෙන්, වෛරයෙන් සහ ද්වේශයෙන් බැලීමට පුරුදුවෙයි. එහි අවාසානය ආගම් සහ ජාතිය පදනම් වන ගැටුම්ය. මීට අමතරව ආගම් උත්කර්ශයට නංවන, අධික බැතිමත් භාවයෙන් පෙළෙන බොහෝ මිනිසුන් තුළ දකින්නට ඇති මූලික ලක්ෂණයන් වන්නේ අවිචාරය සහ අතාර්කික බවයි. මේ ඊට එක් සංයුක්ත නිදසුනකි.

ලෝකයේ ස්වාභාවික විපත් සැම තැනම සිදුවේ. එයට රටක් දියුණු ද- නැද්ද යන්න අදාල නොවේ. ස්වාභාවික විපත් මුළුමනින්ම වැලැක්වීමට තවමත් විද්‍යාව සමත් නැත. ස්වාභාවික විපත් වන ගංවතුර, නියඟ, භූමි කම්පා සහ සුලි සුළං වැනි තත්වයන් වලදී මිනිසාට කළ හැක්කේ ඒවා සිදුවීමට ඇති ඉඩ කඩ අවම කිරීම, ඒවායෙන් වන හානිය අවම කරගැනීමය. ඒ සඳහා එවන් විපත් කල්තියා පුරෝකථනය කරගැනීමට අවශ්‍ය වන්නේ විද්‍යාත්මක දැනුමයි.

ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලත්, ලංකාවේත් බොහෝ ආගමික භක්තියකයන් තුළ මේ අවිචාරය සහ අතාර්කික බව දක්නට ලැබේ. කිසියම් ස්වාභාවික විපතින් පසු හෝ යුද්ධයකින් පසු අහම්භයකින් අනතුරට පත්නොවී තිබෙන ආගමික සංකේතයක් පෙන්වා “ අන්න බලන්න අපේ … බේරිලා තියෙන අපූරුවා, ඒකෙ තියෙන හාස්කම” යනුවෙන් කියන බැතිමතුන් අපට මේ සමාජ ජාලා වලත්, සාමාන්‍ය ජීවිතයෙත් දකින්නට ලැබේ. එහෙත් කිසිවකු මේ බලවත් යයි කියන, ආශ්චර්යයක් ඇතැයි කියන ආගමික සංකේතවලට අර තරම් දහස් ගණන් වූ ජීවිත සහ දේපළ බේරා ගැනීමට නොහැකි වූයේ යයි අසන්නේ නැත. දස දහස් ගණනින් මිනිසුන්ට මිය යන්නට ඉඩ දී ආගමික සංකේත පමණක් බේරී සිටීමෙන් ඇති එළය කිම. අනෙක් අතට බේරී ඇති එක ආගමික සංකේතයක් පමණක් ගැන කියන්නේ ඇයි? එය උත්කර්ශයට නංවන්නේ ඇයි? සුනාමියකින්, ගංවතුරකින්, සුලි සුළඟකින්, භූමිකම්පාකින් හෝ යුද්ධයකින් පසු විනාශ වී ගිය, කැබලි වී ගිය ආගමික සංකේත කොතරම් සුන්බුන් අතර ඇත්තේ ද?

දියුණු යයි අප සිතන මනුෂ්‍යයාගේ මේ අවිචාරය සහ අතාර්කික භාවය එන්නේ කොතැනින් ද? එවැනි තත්වයන් රටක දේශපාලනයට, බුද්ධිමය චින්තනයේ දියුණුවට, සමාජ ප්‍රගතිගාමීත්වයට බලපාන්නේ නැති ද? අප මේ සියවසෙත් දියුණු ජාතියක් වන්නට සිතන්නේ මෙවන් අවිචාරයන් සහ අතාර්කික භාවයන් සමග ද? පහත ඡායාරූප දෙස හොඳින් බලන්න. මේ ස්වාභාවික විපත් සහ යුද්ධ වලින් මිය ගිය දහස් ගණනකේ ජීවිත ආගමික සංකේත වලට බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි? විනාශ වූ අතිමහත් දේපළ බේරා ගැනීමට නොහැකි වූයේ ඇයි? අවසානයේ අනතුරට පත් මිනිසුන් බේරා ගැනීම එන්නේ කවුද?
ඡායාරූප: ලංකාවේ සුනාමි තත්වය, බංගලිදේශයේ ගංවතුර තත්වයන් සහ තුර්කිය සහ සිරියාවේ භූමි කම්පාමය තත්වයන් සහ යුක්රේණයේ යුද්ධය

අතුල දිසානායක (තවත් ලිපි: සමාජ කතා)

EDITORS NOTE: Graphic content / Rescuers work on a residential building destroyed after a missile strike, in Dnipro on January 15, 2023, amid the Russian invasion of Ukraine. The death toll rose to at least 20 on January 15 after a strike on a residential building in Dnipro on January 14, a city in centre-east Ukraine, the Ukrainian regional governor said. (Photo by SERGEI CHUZAVKOV / AFP)

SLIIT ආයතනය විසින් ලංකාවේ ප්‍රථම වරට නීතිවේදී උපාධිය සඳහා නීති ආධාර ඒකකයක්

SLIIT ආයතනයේ මෙහයවීම යටතේ පවත්වාගෙන යනු ලබන එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්යාලයේ නීති උපාධිය පූර්ණ බලයලත්, තෙවසරක උපාධි වැඩසටහනකි. ඉංග්රීසි නීතියේ මූලික සිද්ධාන්ත ඇතුළත් උපාධි වැඩසටහනක් වන මෙහි මානව හිමිකම්, වාණිජ නීතිය, මූල්ය අපරාධ නීතිය, ජාත්යන්තර නීතිය යනාදී විෂයයන් ඇතුළත් වේ.

මෙරට පිරිනමනු ලබන අනෙකුත් නිති උපාධි වලට වඩා වෙනස් වූ නවමු අන්තර්ගතයක් ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්යාලයේ නීතිවේදී (ගෞරව) උපාධියේ දැක ගත හැකිය. වර්තමානයේ නීති ක්ෂේත්රයේ වඩාත් වේගවත්ව සංවර්ධනය වන සමථකරණය (Mediation), විකල්ප ආරවුල් විසඳීම (Alternative dispute Resolution) එනම් උසාවියෙන් පිටත ආරවුල් විසඳීම යනාදී ක්ෂේත්ර කෙරෙහි අවධානය යොමු කරමින් ප්රායෝගික අත්දැකීම් ලබා දීමට නැඹුරුතාවයක් දක්වන නව විෂය මාලාවකින් මෙම උපාධිය සමන්විත වේ.

එහි තවත් එක් විශේෂත්වයක් ලෙස දෙවන හා තෙවන අධ්යයන වසර වලදී නීති වෘත්තිකයන්ගේ මැදිහත්වීමෙන් පවත්වාගෙන යනු ලබන නීති ආධාර ඒකකයක අත්දැකීම් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවේ. මෙම විෂය හරහා සිසුන්ට ජ්යෙෂ්ඨ නීතිඥයින් සමඟ සම්බන්ධ වීමට සහ නීතිමය ගැටළු පිළිබඳව ප්රායෝගික අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබේ.

SLIIT ආයතනය විසින් LJMU නීතිවේදී (ගෞරව) උපාධිය වෙනුවෙන් මෙසේ ස්ථාපිත කරන ලද නීති ආධාර ඒකකය/ නීති සායනය සිසුන්ට මිල කළ නොහැකි ප්රයෝගික අත්දැකීමක් ලබා ගැනීමට සහයෝගය දක්වයි. ලංකාවේ පෞද්ගලික නීති විද්යාලයකින් මෙවැන්නක් ස්ථාපිත කළ පළමු අවස්ථාවද මෙයයි.

SLIIT හි මෙම නීති සායනය හරහා සිසුන්ට ප්රථමයෙන් ජ්යෙෂ්ඨ නීතිඥයින්, සේවාදායකයන්ට නීති උපදෙස් හා ආධාර ලබා දීම නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා දෙන අතර ඒ හා සම්බන්ධ වී ජ්යෙෂ්ඨයන්ගේ උපදේශන කටයුතු පැවැත්වීම,නීති ලේඛන, කෙටුම්පත් සකස් කිරීම යනාදී වෘත්තීමය කටයුතුවලට අදාලව වටිනා අත්දැකීම් ලබා දීමට අපේක්ෂා කරයි. මෙය සිසුන්ගේ ‘සායනික නීති අධ්යාපනය’ යන විෂයට සමගාමීව සිදු කරන අංගයකි.

ඔවුන්ගේ ප්රායෝගික කුසලතා දියුණු කර ගැනීමට මෙම නීති සායනය සිසුන්ට පමණක් නොව ප්රාදේශීය ප්රජාවට තම නීතිමය ගැටළු විසඳා ගැනීමට හා යුක්තිය ලබා ගැනීමට අවශ්ය ප්රවේශය ලබා දීමට අවශ්ය අඩිතාලම සැපයීමටත් දායකත්වය ලබා දෙයි.

SLIIT නීති විද්යාලය මගින් මනඃකල්පිතව නඩු පිළිබඳව තර්ක කෙරෙන අනුරූපී අධිකරණයක අත්දැකීම ප්රායෝගිකව ලබා ගත හැකි අතර, ඒ තුළින් වර්තමාන සැබෑ ලෝකයේ නීතිමය ගැටළු හා සම්බන්ධ පෙරහුරු නඩු විභාග, ලිඛිත සහ වාචික උපදේශනය පිළිබඳ අත්දැකීම් සිසුන්ට ලබා දෙනු ඇත. මේ හරහා සිසුන්ට සැබෑ නීතීඥයින්ගේ ශිල්පීය ක්රම සහ ක්රියාවලීන් උපයෝගී කර ගනිමින් සැබෑ අධිකරණයක් තුළ තර්ක කිරීමට හැකියාව ලැබෙන අතර ඔවුන්ව අවශ්ය උපදේශන කුසලතා වලින් ද බල ගන්වනු ලබයි.

ක්ෂේත්රයේ කීර්තිමත් නීති විශාරදයකු වන මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන් මහතා SLIIT නීති විද්යාලයේ ප්රධානියා ලෙස කටයුතු කරන අතර ඉහළ සුදුසුකම් සහ පළපුරුදු කථිකාචාර්ය මඩුල්ලක් යටතේ සිසුන්ට සිය අධ්යයන කටයුතු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ. ඊට අමතරව (ආරාධිත දේශණයන් හරහා) පිළිගත් නීතිවේදින්ට, ජ්යෙෂ්ඨ නීතීඥයින් හමුවේ ඔවුන්ගෙන් දැනුවත් වීමේ වැඩි අවස්ථා සලසා දීමට SLIIT නීති විද්යාලය කටයුතු කරයි.

නීති උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු, උපාධි අපේක්ෂකයින්ව දේශීයව පමණක් නොව ගෝලීය තලයේ තරඟ කිරීමට සුදුසුකම්ලත් නීතිඥයින් බවට පත් කරනු ඇත. උපාධිධාරීන් එක්සත් රාජධානියේ සොලිසිටර් නියාමන අධිකාරිය සහ නීතිඥ ප්රමිති මණ්ඩලය විසින් ද පිළිගැනීමට ලක් කර ඇති අතර, ඔවුන්ට එක්සත් රාජධානියේ නීතීඥයෙකු වීමටත්, එක්සත් රාජධානියේ ඕනෑම තැනක නීතීඥවරයෙකු ලෙස කටයුතු කිරීමටත් හැකියාව ලබා දෙනු ඇත.

මීට අමතරව, මෙම නීති උපාධියට ශ්රී ලංකා නීති අධ්යාපන කවුන්සිලයේ විධිමත් අනුමැතිය ලැබී ඇති අතර ඒ මඟින් සිසුන්ට ශ්රී ලංකා නීති විද්යාලයේ විභාග වලට පෙනී සිට එම විභාග සමත් වීමෙන් ශ්රී ලංකාවේ නීතිඥයින් ලෙස දිවුරුම් දීමටත් වෘත්තියේ නියැලීමටත් අවස්ථාව ලැබේ.

SLIIT පිරිනමන LJMU LLB (ගෞරව) උපාධිය උසස් අධ්යාපන අමාත්යාංශය (MOHE) යටතේ පවතින විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් විශ්වවිද්යාල පනත යටතේ අනුමත කර ඇත. SLIIT යනු පොදුරාජ්ය මණ්ඩලීය විශ්ව විද්යාල සංගමයේ (ACU) මෙන්ම ජාත්යන්තර විශ්වවිද්යාල සංගමයේ ද (IAU) සාමාජිකයෙකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 754 4801 දුරකථන අංකයෙන් හෝ [email protected] විද්යුත් තැපෑලෙන් ලබා ගත හැකිය.