නිර්මාණකරුවෙකුගේ එක් එක් නිර්මාණ සමුච්ච එකින් එක වෙනස් තානයන්, පසුබිම්, පසුතල, නිමිති, වගාභූමි, පිරිපහදු අවස්ථා, පොහොර යෙදීම් අපේක්ෂා කරනවා සහ ඉල්ලා සිටිනවා. ඔහු හෝ ඇය පැමිණි ගමන් මග තේරුම්ගන්නත් ඒ එක් එක් සාහිත්‍ය කෘති ඉවහල් වෙනවා.
නමුත්, ඇතැම් කෘතිවලින් නිර්මාණකරුවාගේ නිර්මාණ කේවලව තනි තනි විදියට නැතිව, සමස්ත කෘතියම සියලු නිර්මාණ ම අරා දිවෙන පොදු තේමාවක්, ගැළපුමක්, තානයක්, අදහසක් ඇති තැන් හමුවෙනවා. කවියා ඒ ඒ කෘතිවලදි ඒ හැම තැනදි ම හැම කවියක දි ම තමන්ගේ නොවෙනස් මුද්‍රාව තබනවා, ඊට අනන්‍ය වන පරිදි. මේක වෙසෙස් දෙයක්.
කල්පනා ඇම්බ්‍රෝස්ගේ ‘අරියාද්නේ’ නම් නව කාව්‍ය නිර්මාණ සමුච්චය වෙනුවෙන් දිය හැකි සංක්ෂිපත ම අදහසත් එයයි. මෙය ඇගේ පෙර නිර්මාණ සමග විමසා බැලුවොත් මෙහෙමයි. බූන්දි කවිවලින් (නිර්මාණ පරිවර්තනවලින්) සහ ‘මේ නිහඬ වෙරළට එන්න’ කෘතිය ඔස්සේ ආ ගමන ‘ඔබ ගැඹුරු නින්දක’ට එද්දි චිරන්තන පැදි බසත්, නූතන වහරත් මිශ්‍ර කරමින්, බහුලව සිව්පදයට නැඹුරුවෙමින්, ළසෝ ගීතවත් බවක් කවිය අරා ඉන්නවා. ‘පියා නොහැඹූ පියාපත්’ ගාවදි කෙටි කවියේ හයියත් පැණසර බවත් අර කී ළමැලි බවට ම මුහුවෙනවා. ‘නොපවතිනු වස් ප්‍රේමය ව පවතිමි’ යි කියනවිට, එක ම කවියට බහුවිධ අරුත් දෙන, එක් අදහසකට කොටුනොකරන, සහෘදයාව වැටකොටු නොබැඳ නිදහස් කරන, ප්‍රේමයේ හැඩරුව විවිධ වේශෙන් කැන්දන පැදි බහුල වෙනවා.
අරියාද්නේ කරා එද්දී රෙෆරන්ස් සහිත නිර්මාණ මතුවෙනවා. නිර්මාණයට නිමිති වුණු කෘතිය, සංකල්පය ආයෙ ආයෙ කියවීමේ කුහුල උපදිනවා. ඒ මුල්කෘතියේ කියවෙන දෙය සහ එය නිර්මාණයේදී පරිකල්පනය කර තියෙන විදිය යන දෙක අතර වෙනස අපට හිතන්න සලස්වනවා. තමා දන්න කියන දෙස් විදෙස් කෘති, විශේෂයෙන් ලෝක සාහිත්‍යයේ එන මිථ්‍යා කතා, ආගමික කතා, සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය සහ මෑතකාලීන නිමවුම් ඇසුරින් ඒ ඒ පොත්වල චරිත සහ කියමන් ගොනුවක් මන්ත්‍ර විලසින් මතකයේ තබාගත් නිර්මාණකරුවෙක් අරියාද්නේ කෘතියෙන් එබී බලනවා. ලංකාවේ කොටසකුත් ලෝකයේ කොටසකුත් තමාගේ කොටසකුත් අනුව අරියාද්නේ කෘතියේ පසුබිම හැදෙනවා. ඕනම රටකට උරුම පැරණි සාහිත්‍යයත් නූතන සාහිත්‍යයත් විදෙස් සාහිත්‍යයත් යන තුන ම මෙලෙසින් හිතමානේ යළි යළි තැන්පත් කරගනිමින් කියවීමෙන් කිමිදීමෙන් අරා සිටීමෙන් ඒවායින් සුව නොවෙන කැක්කුම් සාදාගැනීමෙන් හැර නිර්මාණකරුවෙක් නිරුත්සාහිකව පෝෂණය වන වෙන විකල්පයක් තිබිය හැකි යැයි මම හිතන්නෙ නැහැ. ඉතාලි ජාතික ලේඛක ඉතාලෝ කැල්විනෝ විසින් Classic Literature කියවිය යුත්තේ ඇයි ද කියන පැනයට දෙන පිළිතුරු ටික මීට ඌණ පූර්ණයක් සපයාවි.
අරියාද්නේ කවි සමුච්චය, දඩිබිඩි දිවිල්ලක් නැති, කලබලයක් නැති, ඉස්පාසුවේ පාඩුවේ මැදහත් බවක් අරා සිටින්නක්. මේ කවිවල තියෙන්නෙ යාන්තම් රිදෙන සෝක තනුවක්. විලාප දෙන හැඩිලි, සාපකිරිලි නැති, දැරීමක්. එක්වන්නට අත දෙන අතරේ ම වෙන්වන්නට අත හැර යාමක්. ඇති බව මෙන් ම නැතිවන බව ද දැනසිටීමක්. මතත් කිරීමක්. උපේක්ෂාවක්. බලාසිටීමක්. මුදුන් මුල් හෑරීමක්. පිරික්සා බැලීමක්. මේ කියන කලාපයේ යි නිර්මාණකරුවා අරියාද්නේ අසළ දි ඉන්නේ. පවන් අංජන මේ මැදහත් බව පෙන්වන මුහුණක් කවරයට අරගන්නේ අරක කී විදෙස් තේමාව පසුබිමේ තියාගෙනයි. ලලනාව ඉන්නේ බිම බලාගෙන නෙමේ, වෙන ම පැත්තක් බලාගෙන.
කල්පනාගේ ‘ඔබ ගැඹුරු නින්දක’ ඉන්නෙ ‘කාබන් මිනිසුන්’. ‘අරියාද්නේ’හි ඉන්නෙ ‘අඩිකෝදු මිනිසුන්’. මිනිසෙක් තවත් මිනිසෙක්ව කියවන විදිය, දකින විදිය, මනින විදිය, හැසිරෙන විදිය මේ නිර්මාණ දෙකේ ම අඩංගුයි. තරාදි, මිනුම් පටි අතේ තියාගෙන වටපිටබල බල, දකින දකින දෙයට ඇගිලි දිගු කරන, ගානට අඩි තිය තිය මැන මැන යන අඩිකෝදු තරමෙ මිනිස් රූප අපිට මැවිලා පේනවා. ඇයට පොදු ලකුණක් වන, විවිධ අරුත් බිණීමෙහි ඇති කවි හැකියාව, මේ කවියෙත් තියෙනවා. මාර්ගවල මැනුම් පිරික්සන ඉංජිනේරු මහත්තයෙක් වුණත් මේ කවියට මවාගන්න බැරි නැහැ.
‘කන්දක් නාය ගිය පසු
කෙන්දක සංයුතිය විමසන
තුලා අත දරාගත්
අඩිකෝදු මිනිසුනි’
මෙතනදි කවියා සහෘදයා දිහාටත් විපරම් බැල්මක් හෙළනවා. එයින් මිදීම පහසු නෑ, ‘ඇන්ටික් කඩේක මරණයක්’ වේදිකා නාට්‍යයෙදි ප්‍රේක්ෂකාගාරයේ ඉන්න නරඹන්නන්ටත් වැදෙනන්න ටෝච් එළිය එල්ල කරද්දි, එයින් ගැලවෙන්න බැරියා සේ. මොකද සමාජය කියන්නෙ අපෙන් බාහිර වෙන දෙයක්, වෙන මිනිස්සු පිරිසක් නෙමේ අපි අපි ම බව අපි දන්න නිසා.
පෙර නිර්මාණකරුවෙකුගේ නිර්මාණයකින් සුදුසු තැනක් ගෙන එය ප්‍රතිනිමවීම මෙහි කවි කිහිපයක ම දක්නට ලැබෙනවා. ‘කටු සටහන් මිස පිටු අංක නෑ ඇත්ත කතාවල’ කවිය, මිනිස් සමාගම් එක්වීම, වෙන්වීම, අහිමිවීම, හැබැයි වෙන්වන අහිමිවන බව දැනසිටීම, අත්හැරීම, වෛරයක් ඉතිරි කරනොගැනීම, දිවි තතු එලෙසින් අවබෝධ කරගැනීම යන සිතිවිලි ක්‍රියාත්මක වෙමින් ලියූවක්. මේක ක්‍රමයෙන් පරිණත වන පුද්ගලයෙක් බිහිවෙන ලකුණු පෙන්වන කවියක්. ජී.බී. සේනානායකගේ කාව්‍ය නිර්මාණයක්, (ඒ ඇසුරින් මංජුල වෙඩිවර්ධන ලියූ කවිය ද සිහිවේ) අර කී තේමාවට අනුව අරගන්න කිවිඳිය එය ප්‍රති නිමවන්නේ මෙලෙසින්.
”මම තොප නොහඳුනමි
මට තොප මතක නැත’
ගඟක් ඉවුරට කොදුරයි
‘ඔව් තොප නිවැරදිය
අපි අප නාදුනමු’
ඉවුර නිසලව පවසයි”
මහගමසේකර ’නොමියෙමි’ පොතේ මෙහෙම ලියනවා,
‘ක්ලාන්තයි ආනන්ද- පිපාසයි ආනන්ද
වේසාලිය රමණීයයි – වේළුවනය රමණීයයි’
‘ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක්’ පොතේදි, රෝහණ පොතුලියැද්ද,
‘අතහැරීම ම නිවන කියන උතුමෙකු –
අත නෑර අල්ල ගති ආනන්ද’ කියනවා. ‘එච්චරයි නේද ආනන්ද’ කවියෙදි කල්පනා මෙහෙම කියනවා.
‘ක්ලාන්තය ආනන්ද
පිපාසයි ආනන්ද
නිවන් නොගොසින්
මෙහි ම නොරැදුණ
ඔබ කොහෙද ආනන්ද
ඇහෙනවද ඒ සරදම් සිනා හඩ ආනන්ද,
ජීවිතේ කියන්නෙ ම
බුදු වුනේ නැත්නම්
විහිලුවක් විතරයි’
මේ කවියෙදි, බුදුන් ඉන්නෙ ගිලානව පිරිනිවන් මංචකයේ නෙමෙයි. වර්තමානෙ අපිට පේන මානෙ, පෙළක්විට බුදුමැදුරෙ අර තිර රෙදිවලට එහාපැත්තෙ කාටවත් නොපෙනී ගිලානව. සමාජෙන් අර සරදම් හිනා හඬ ඇහෙද්දි, බුදුන් හිතනවා සහ ආනන්ද හිමිට කියනවා, ‘හොඳ වෙලාවට ආනන්ද මං බුදුවුණේ. බුදු වුණේ නැත්නම් මාව අර මිනිස්සු විහිලුවකට ගනී නේද?’ කියලා. ‘ආනන්ද, මං නිවන් ගියා, ඒත් ඔයා කෝ? ඔයා මෙහෙ(මේ සමාජෙ) හිටියෙත් නෑ, කෝ දැන් ඔයා’ බුදුන් අහනවා. මේ හැර තවත් අර්ථවලට කවිය කියවගන්න පුලුවන්. බුදුන්ගෙ ඉගැන්වීම ගැන මිත්‍රයෙක් එක්ක කරන සමීප කතාබහක්, නව අදහස් කිහිපයක් මේ කවියෙදි මුණගැහෙනවා.
‘උත්පත්ති පොත පෙරළන අතැගිලි’ කවියෙදි, ගැහැනිය මැවුණේ පිරිමියෙකුගේ ශරීර ඇටයකින්ය යන අදහස අනුව අවසානයට කවිය ගියත්, මේ පිරිමියාව බැදීම්වලින් බැඳගන්න, රාමුකරගන්න දගලන්නේ නැති ගැහැනියකගේ හෘදවාචී පද එළියට එනවා. අනෙක් අතින් මේ කවිය කියන්නේ කාන්තාවයි කියා සිතුණත්, මේ ස්ත්‍රියත් පුරුෂයාත් මැවූ දෙවියා වෙන්න බැරි නැහැ. දෙවියා ඔවුන් දෙදෙනාට මෙහෙම කියනවා වෙන්න බැරි නැහැ.
‘ඔබට මිනිහෙක් වෙන්න පුලුවන්
උයන හැර නික්මෙන්න පුලුවන්
දුහුවිල්ලෙන් මවාලූයෙන්
දුහුවිල්ලට ම යන්න පුලුවන්’
දුහුවිල්ල, පෑගෙන්න පුලුවන් අන්තිම අඩිය බව, නැතිවෙලා යන්න පුලුවන් දෙයක් බව අමතක කරන්න එපා.
‘අවසාන හුස්මට කලියෙන් එපමණයි ඇය කියනු ඇසුණේ’ කවිය, දෙස් – විදෙස් කලා කෘතිවල, මිනිස් ජීවිතවල එන ඒ ඒ චරිත විරහව දරන හැටි ගැන කියූ ප්‍රකට කියමන් එකතුවකින් සැදුණක්. මේ මෙහොතේත් ලෝකේ කොහෝ හෝ ඉන්නා අයෙක් ඒවා එලෙසින් ම කියනවා ඇතියි කල්පනා කියනවා. ඒ ඇසිල්ලෙන් අපි ඒ චරිත බවට පත්වෙනවා. සියල්ල සමබර, සමාන වෙනවා. ප්‍රකට – අප්‍රකට භේද නැතිවෙනවා. මේ පොදු මිනිස් තත්වයන් බව අපි දන්නවා. මෙකවෙන් ආයෙමත් දැනගන්නවා. මෙහෙම කවි තව තියෙනවා. ලියන්නට අත රිදෙනවා.