ආයුබෝවන් මිට්ෂුබිෂි….

Share post:

අද්විතීය ජපන් මෝටර්රථ සමාගමක් වන මිට්ෂුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් අවසන් කරලා යනවලු. ඒ කියන්නේ ලෝකයේ තවත් ශ්‍රේෂ්ට සන්නාමයක් අපිව දාල යනවා. ඒ ගැන දුකයි.

පුද්ගලික ප්‍රවාහනය ලංකාවට ආපු වෙලේ අපේ කෑගල්ල රඹුක්කන පාරේ මුලින්ම දිව්වේ ප්‍රථම පරම්පරාවේ (first generation) මිට්ෂුබිෂි රෝසා බස් එකක්. ඒක මම හිතන හැටියට අවුරුදු විස්සක් විතර දිව්වා. සී. ටී. බී. බස් නැති වෙලාවල් වල ඒ බස් එකේ අපි ආව ගියා. ඒක මතකයක්.

අපේ පොඩි කාලේ ලංකාවේ බොඩි ගහපු ඉසුසු බස් දිව්වා. ලෝකයේ ප්‍රධාන සන්නාම වන ඩන්ලොප්, මිචලින්, බ්‍රිජ්ස්ටෝන් වගේ ටයර් හැම තැනම තිබ්බ. ඒවා ගන්න පුළුවන් කමක් මිනිස්සුන්ට තිබ්බ. අද ඒ ටයර් එකක් ගැන හිතන්නවත් බැහැ.
අදටත් කොළඹ නුවර දුවන ඒ. සී. කොට බස් ගොඩක් මිට්ෂුබිෂි රෝසා කාණ්ඩයේ ඒවා. සුවපහසුයි. ප්‍රභලයි.
ඔය මිනින්දෝරු එකට ආව ජීප් වුණත් මිට්ෂුබිෂි. අදටත් මොඩිෆයි කරනවා 4DR5 මොඩල් එක.

පළාත් සභා ආපු කාලේ තමයි මිට්ෂුබිෂි පැජරෝ දිග සහ කොට මොඩල් ආවේ. ඊට කලින් ඔය රෝසා බස් වලට අමතරව ලාන්සර් බොක්ස් තිබ්බ. වැඩියෙන් ඒවා තිබ්බේ රත්නපුරේ මැණික් කාරයෝ ළඟ. ඈත දුෂ්කර පතල් වලට උන් ගියේ ඒවායින්. දැන් අවුරුදු පනහක් වෙලත් තම ලාන්සර් බොක්ස් දුවනවා. පැජරෝත් දුවනවා.

පැජරෝ කියන්නේ ජයග්‍රාහී ඉතිහාසයක් තියන වාහනයක්. ඒ තමයි ඒක ඩකා මෝටර් රැළිය ජයග්‍රහණය කිරීම.
මෙච්චර කාලයක් ලෝකයේ මෝටර් රේසිං වල යුරෝපීය වාහන රජ කරනකොට ජපන්නු ඒ තරඟවලට අවතීර්ණ උණා. ප්‍රංශ මෝටර් රැළි, ඉතාලි රැළි, ඩකා වගේම අප්‍රිකානු ඔරොත්තු දීමේ රැළිවල (endurance motor racing) මුල් කාලේ පොර්ශේ, ෆෙරාරි, ෆෝර්ඩ්, අවුඩි, බෙන්ස්, ඇල්ෆා රෝමියෝ වගේ වාහන එක්ක ජපන්නු තරඟ කළා. ඒ වගේම දිණුවා.

අද සියලුම යුරෝපීය ඔරොත්තු දීමේ රැළිවල අංක එක ටොයෝටා. හැබැයි අනික් සියලු ජපන් සමාගම් මේ තරඟවලට ඇවිත් දිනුවා. මැස්ඩා, හොන්ඩා, නිසාන් වගේම මිට්ෂුබිෂිත් තමන්ගේ රට සහ නිෂ්පාදන ලෝකෙට අරන් ගිහිල්ල ලෝකේ දිනපු කෙනෙක්. ඉගෙනගන්න බොහොමයක් දේ එයාල ළඟ තියනවා.

දැන් අර රේල් බස් ව්‍යාපෘතිය නිසා ජපානේ අපි එක්ක අවුල් වෙලා ඉන්නේ. ඒකත් බලපාන්න ඇති මේ ඉවත් වීමට.
අපිව දාල යන එක ගැන දුකයි. ඒත් මේ වගේ දුෂිත, අකාර්යක්ෂම, කාලකන්ණි දේශපාලනය විසින් මෙහෙයවන රටවල ඉන්න ඕනිත් නැහැ එක අතකට.

ඉතිහාසය පුරාවට ජපන්නු සමුරායි ල. මේ සමකාලීන තරඟකාරී ආර්ථිකය ඇතුළෙත් ඔවුන් තරඟයක් නොදී මැරෙන්න සුදානම් නැහැ කියල පෙන්නලා තියනවා. මිට්ෂුබිෂි අයිති වෙන්නෙත් ඒ ප්‍රවර්ගයට.
ඉතිං තවත් එක ගෝලීය නිෂ්පාදකයෙක් අපෙන් යනවා. සයොනාරා!

මහේෂ් හපුගොඩ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...