Home Blog Page 214

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ “අලුත් මාවත” හෙට එළි දැක්වෙයි

0

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති අඩංගු කෘතියක් “අලුත් මාවත” නමින් හෙට (10) උදේ 10.00 කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී එලිදැක්වීමට නියමිතය.

එමෙන්ම අර්බුදයට විසඳුම ගැන සිය ප්‍රතිපත්ති හෙලිදරව් කරන ලෙස අනෙක් පක්ෂ වලට බලකරන ලෙස එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙවර පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් එම ජනතා විරෝධී තැත පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගත හැක්කේ මහජන ව්‍යාපාරයක පුළුල් ක්‍රියාකාරීත්වය තුළින් පමණක් බව එම පක්ෂය පෙන්වාදෙයි.

එමෙන්ම දේශපාලන පක්ෂ වලට සිය ප්‍රතිපත්ති හා අර්බුදයට පිළිතුරු හෙලිදරව් කිරීම සඳහා බල කළ හැක්කේත් කවුරු බලයට පත් වුවත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැක්කේත් මහජන ව්‍යාපාරයක් හරහා පමණක් බවද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ එලෙස මහජන ව්‍යාපාරයක් හරහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලිය ගොඩ නැගීමත්, මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය ප්‍රතිපත්තිමය සංවාදයකට හැරවීමක් ඉලක්ක කරන බවයි.

සායනික භීතිකාවෙන් උපන් සුජිත්ගේ පොදු සංවේදීතාවයේ අර්බුදය සහ අරගලයේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය..

0

සායනික අරුතින් ගත් කළ Clinophobia කියන්නේ කෙනෙක්ට ඇඳක් මත නිදාගැනීමට ඇතිවන අස්වස්ථි භීතිකාව නැමැති මානසික තත්වයක් වගේම එය මනෝවිද්‍යාවට අනුව කෙනෙකු ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය රෝගී තත්වයකි.එහෙත් සමාජීයව මැදිහත් වන සංවේදී පුද්ගලයෙකුට හා කලා කරුවෙකුට මෙම තත්වය බලපාන්නේ වෙනත් ආකාරයකිනි. මුළු මහත් රටක් සමාජයක් සහ එහි වෙසෙන මිනිසුන් මහත් දුක් කම්කටළුවලට ඇද වැටී සිටින සමාජ පරිසරයක් තුළ, සැබෑ සංවේදී කලා කරුවෙකුට පුළුවන් කමක් නැහැ සීතල කාමරයක සුවපහසු මෙට්ටයක් මත කොට්ටයක් තුරුළු කරගෙන සුභ සිහිනවලට සම වැදී සුවසේ නිදාගන්නට සහ සමාජ වගකීම් වලින් පලා යන්නට.

සමාජ ව්‍යාසනයන් හමුවේ බොහෝ කලා කරුවන්, උගතුන් බුද්ධිමතුන් සහ දාර්ශනිකයන් කියාගන්නා නරුමවාදීන් පවතින අඝතිගාමී සමාජ දේශපාලන අර්බුද හමුවේ මුණිවත රකිමින් සහ මුළු මහත් සමාජයක් අගාධයට ඇද දැමූ තක්කඩි දේශපාලඥයින්ට ප්‍රශස්ති ගී ගයමින් උන්ගේ ජඩකම්, අමනකම් සාධාරණීය කරමින් ඉන්න සමාජ පරිසරයක “සුජිත් ” තම කලා භාවිතය සමාජ දේශපාලන පරිසරයේ අඳුරු කඩතුරාවකින් වැසී ඇති ශෝකාන්ත පසුතලය මත ඔහුගේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය පොදු සංවේදීයතාවයට මුදාහැර ඇත. සුජිත් තම කලා භාවිතය පොදු සංවේදීතාවයට මුදාහරින්නේ සුවපහසු සයනයක සැතපී එහි මිහිරි සුව විඳිමින් ඉන්න පරිසරයක් මතින් නොව, ඔහු තම කලාත්මක භාවිතය ගොඩනගන්නේ අඳුරු සිර කුටියක් වන්, කිසිම සුව පහසුකමක් නැති මලකඩ කාපු රළු යකඩ ඇඳක් මත රැය පහන් කරමිනි. එය සාංකාමය මිනිස් ඉඳීමක් වගේම වේදනාබර අත්දැකීමකි.

සුජිත් තම සංවේදනාත්මක සාරය කලාත්මක බලයක් ලෙස පොදු සංවේදීතාවයට මුදාහරින විට, කලාවේ සෞන්දර්යාත්මක මායාවේ ආකර්ෂණය දෙදරා යයි. මේ දෙදරා යාම, ඉරිතැලීම නරඹන්නියගේ මානසික ලෝකයට මහත් තර්ජනයකි. මෙම මානසික තර්ජනය කලාත්මක රෙජීමය විසින් ඉල්ලා සිටින දේශපාලනික මොහොතකි. සුජිත්ගේ කලා භාවිතය යම් ආකාරයකට මානසික ප්‍රතිචාරය මැනීමේ ශිල්ප ක්‍රමයක් ලෙසත් අර්ථ ගන්වන්නටත් පුළුවන්. Psychologycal Scaling.
ඉතිං, පෙබරවාරි 15 වෙනිදා තෙක් සුජිත්ගේ අර්බුදය සහ අරගලයේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාර ප්‍රදර්ශනය ලයනල් වෙන්ට්ඩ් කලා ගාරයේ පැවැත්වෙන අතර, සුජිත්ගේ මෙම මානසික ප්‍රතිචාරය මැනීමේ දෘශ්‍ය කලා සායනයට ඇතුල්වී පවතින සමාජ දේශපාලන දුෂ්ටත්වයේ විනිශ්චය අත්විඳින්න.
ආමේන්,

සාලිය ඉඳුරුවිතාන

‘කොළ පාට ඉස්කෝලේ’, සාම්ප්‍රදායික මතවාද වෙත එල්ල කරන යකුළු පහරවල් තියුණු ය

0

අභිරහස් සොයා යන, කැලේ කොළේ ගස් මුල්වල සරන, හොඳ ළමයින් ඉන්න ළමා ලෝකයක් තේමා වුණු කතාවලින් මිදී, සැබෑ ලෝකයේ ළමුන් මුහුණදෙන සත්‍ය ගැටලු සාකච්ඡාවට ගැනෙන නව යොවුන් සාහිත්‍ය කෘති මෙරට බිහිවෙමින් පවතී. අනෙක් අතින් මෙරට කෘතිවලට සාපේක්ෂව ලෝක ප්‍රකට යොවුන් සාහිත්‍ය ග්‍රන්ථවලින් වැඩි ආභාසයක් ලැබූ, ඒවායින් සුව නොවෙන කැක්කුම් සාදාගත් කතුවර, කතුවරියන්ගේ ලිවීම් කියවන්නට ලැබේ.

පිරිමි දරුවෙකු මුල්කරගත් කතා වෙනුවට දැන් ගැහැනු දරුවන් ද ප්‍රධාන චරිතය වන , කළු – සුදු ලෙස චරිත වෙන් නොකරන එනම්, අළු චරිත ලෙසින් කතාවට යන එන, සුරංගනා කතාවක් නොව මේ රළු පොළොව ම සමීප කරවන, රිදුම් දෙමින් සනසන, සැබෑ ලොවේදිත් තිබිය යුතු යැයි සිතෙන, ටෙට්සුකෝගේ ‘හරි පුදුම ඉස්කෝලෙ’, ඊනිඩ් බ්ලයිටන්ගෙ ‘අපූරු ඉස්කෝලෙ’ වැනි ඉස්කෝල සිහිවන නිබන්ධිකා වන්නිනායකගේ ‘කොළ පාට ඉස්කෝලෙ’, නූතනයට ඔබින – විවෘත -නවීන අදහස් සමඟින් මුහුවුණු කතා නායිකාවක්, දෙමව්පියන් සහ ගුරුවරියන්ගෙන් සැදුම් ලද්දක් වෙයි. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ගැන ලංකාවේ යොවුන් සාහිත්‍ය කෘතියකදී මට කියවන්න ලැබුණු පළමු කියවීම ද මෙය ය. මෙය, විවිධ පොත්වල චරිත සමඟ බැඳි බැඳී ඉදිරියට යන්නකි.

අඬනහිරියා උන්නේ තෙත් කලාපයකයි. ‘කොළපාට ඉස්කෝලේ’ ට යන්නට ඇයට වියළි කලාපයකට එන්නට සිදුවේ. මේ ක්‍රියාව වෙනත් ලෙසකින් අර්ථ දක්වා ගතහොත් මෙසේය. මේ යන්නේ, ලෙනෙන් කැළයට ය. ගමෙන් නගරයට ය. නිවසින් සමාජයට ය. දන්නා කියන උන්ගෙන් මිදී නොදන්නා උන් සිටින තැනකට ය. මෙළෙක් තැනින් මිදී රළුපරලු තැනකට ය. කොටින් ම කියන්නේ නම්, අඬනහිරියා දැන් යන්නේ ලෝකයේ ඇති තතු වෙත එළඹී තමන් ම ඊට මුහුණ දී ඒවා දැන කියාගන්නට ය. අතුරේ යන ගමනට මුල පුරන්නට ය. ඒ සියල්ලෙන් ඉගෙනගන්නට ය.

නිබන්ධිකාගේ ‘කොළ පාට ඉස්කෝලේ’, සාම්ප්‍රදායික මතවාද වෙත එල්ල කරන යකුළු පහරවල් තියුණු ය. ඒවා කාලයක් තිස්සේ සමාජයේ බින්න බැස පදම් වූ මනස් වෙත පෙවීම කෙතරම් සාර්ථක වේද යන්න කීමට නොහැකි වෙතත් මේ ප්‍රයත්නය, මේ සිතුවිලි, මේ කැරැල්ල යොවුන් පොතකින් එළියට දැමීම අගය කළ යුත්තකි. මන්ද, මේ පොත් කියවන්නේ හුදු ළමුන් ම නොවන නිසා. “දරුවන් දෙමව්පියන්ට ණය නැත’, ‘කුමාරයෙක්ට ගැහැනු ළමයෙක්ව කුමාරියක් කරන්නට බැරිය, එය තමා සතු තීරණයකි’ වැනි දෑ ගැන අඬනහිරියාගේ දෙමව්පියන් දරන අදහස ලංකාවට ම පත්තියම් වන දින ගැන පාඨක අපට බලාපොරොත්තු තියාගැනීමට නිබන්ධිකා ඉඩ තබයි.

“සෑම දෙයකට ම සමාන සිදුවීම් පොත්වල සිදුවී තිබේ”

අඬනහිරියාට හරියට පොත්වල රෙෆරන්ස් මතක ය. තමන්ට සිදුවන ඕනෑම දෙයකදි, ‘අසවල් පොතේ අසවල් චරිතයටත් මෙහෙම වුණා’ ලෙසින් කියන ඈ මතක ගබඩාවකි. කෘතියේ ප්‍රධාන චරිතය, වීර ගැහැනු ළමයෙක් නොකිරීමට, හොඳ ම වැඩ කරන අයෙකු නොකිරීමට කතුවරිය දැරූ ප්‍රයත්නය වටී. හොඳ ම – සුදු ම – නිවුණු ම – කිසිවෙක් මිනිස් සමාජයේ නැති බැවිණි.

අඬනහිරියා ‘කොළ පාට ඉස්කෝලෙ’න් දැන් සමාජයට බැස අවසන්. එබැවින්, කතාව අවසානයටත් පෙර කතාව මැද දී ම ඇයට තමා පය තැබූ අලුත් බිම ගැන මෙසේ සිතීම සාධාරණය.

“අප සිතනවාට වඩා බිය උපදවන දේවල් මෙලොව ඇති බව දැනගන්නට එතරම් කාලයක් ගතවන්නේ නැත”

ඩිල්ශානි චතුරිකා දාබරේ

අඟුරුකාරමුල්ල පන්සලේ පුස්තකාලයේ සිට ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලය දක්වා

0

මහාචාර්ය ලියනතේ අමරකීර්ති සිය පහන සහ කැඩපත කෘතියේ පරිච්ඡේදයක ආදර්ශ පාඨකයා , පරමාදර්ශී පාඨකයා සහ විශිෂ්ට පාඨකයා යන යෙදුම් භාවිත කරයි. ඔහු මෙම පාඨකයාගේ ප්‍රමුඛ ලක්ෂණයක් ලෙස දක්වා ඇත්තේ පොතක් පුබුදුවාලීමට (Blooming a book ) ඔහුට/ඇයට පවත්නා හැකියාවයි.එමෙන්ම “කියවනවා කියන්නෙ හැකිලිලා තියෙන පොතක් පිපෙන්නට සැලැස්වීමයි” යනුවෙන් ඔහු එය තවදුරටත් විස්තර කරයි.

අමරකීර්තිගෙ කෘතියේ මේ සඳහන මගේ මතකයට නැඟුණේ එරික් ඉලයප්ආරච්චිගෙ “මගේ පුස්තකාල ” පොතේ කිමිදෙමින් සිටියදීය. අඟුරුකාරමුල්ල පන්සලේ පුස්තකාලයෙන් ඇරඹි ඔහුගේ පාඨන වාරිකාව පාසල් , විශ්වවිද්‍යාල ,මහජන , පෞද්ගලික , තානාපති කාර්යාල මෙන්ම විදේශ රටවල විශිෂ්ට පුස්තකාල හරහා දිව යන අයුරු මෙ⁣ම කෘතියේ අන්තර්ගත වේ. ඇමරිකානු මධ්‍යස්ථානයේ ඇති කියවීමේ ජේත්තුකාර බවත් රිපබ්ලිකන් සහ ලිබරල් අලංකරණයත් පිටකවර නැරඹීමේ සතුටත් ඔහු අපට නිරාවරණය කරයි. එරික්ට අනුව සාපේක්ෂව අඩු පාඨක සංඛ්‍යාවක් සිටින ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන පුස්තකාලය “දාර්ශනිකයන් සිරගත කර තිබෙන සිපිරි ගෙයක් බඳුය. අපි ඉඳහිට ඔවුන් බැලීමට පැමිණෙන්නෝ වෙමු. ඒ සිරගෙදර ජේලර්වරයා ජර්මන් ජාතික පුස්තකාලයාධිපති වේ.”

හයිද්‍රාබාදයේ බෙල්ලා විස්ටා මාලිගයේ පුස්තකාලය පිළිබඳ සටහනද බෙහෙවින් සිත් ගනී.මෙහි පිහිටා ඇති පරිපාලන පුහුණු ආයතන පුස්තකාලය ගැන එරික් දරන අදහස අපට අතිශයින් වැදගත් වේ. “ඉන්දියාව කණපිට හැරවූ චින්තකයන්ගේ පොත්වලින් එහි රාක්ක පිරී ඇත. එය අපේ රටේ පරිපාලන ආයතනයක දැකිය නොහැකි පුස්තකාලයකි. කළමනාකරණ විද්‍යාවේ ව්‍යාපාරික මතවාදයට එම පුස්තකාලය ගොදුරු වී නැත.”සිතියම් සාප්පු සහ සිතියම් පුස්තකාල පිළිබඳ ස්වීඩන් අත්දැකීමද අපට නුහුරු ඉසව්වකි.එරික් පවසන පරිදි ස්වකීය පවුල් ඉතිහාසය සහ වංශාවලිය සොයායාමට නෝර්ඩික් ජනතාව සතු නොනිත් ආශාව ඊට හේතු වී තිබේ.එමෙන්ම ඔහු ඉරාකයේ බස්රා නගරය යුද්ධයෙන් විනාශ වීමට පෙර ,බලධාරීන්ගේ කිසිදු සහායකින් තොරව ස්වෝත්සාහයෙන් පුස්තකාලය ආරක්ෂිත තැනකට රැගෙන ගිය ආලියා මුහම්මද් බේකර් නම් පුස්තකාලයාධිපතිනියගේ කතාව ඇතුළත් The Librarian of Basra කෘතිය ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙන් කියවීමට ලැබුණු අයුරු ද සඳහන් කරයි.

යාපනය පුස්තකාලය ගිනි තැබීම මෙරට බුද්ධිමය සංස්කෘතියේ අවසානයේ ආරම්භය බව ඔහුගේ අදහසයි.එහෙයින් එම දිනය වාර්ෂිකව විනාඩියක නිහඬතාවයෙන් සිටීමට වඩා වැඩි දෙයකින් ස්මරණය කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
මෙම කෘතිය මෙරට පුස්තකාල වෘත්තිකයන්ගේත් පුස්තකාල විද්‍යා පාඨමාලා හදාරන්නන්ගේත් නොමද අවධානයට ලක් විය යුතු බව මගේ හැඟීමයි. මන්ද , ආදර්ශ /පරමාදර්ශී /විශිෂ්ට පාඨකයකු බිහි කිරීමේදී පුස්තකාලවල තීරණාත්මක භූමිකාව පිළිබඳ සජීවී නිදසුනක් මෙ⁣ම කෘතියේ ඉදිරිපත් කරන බැවිනි. පුස්තකාලය යනු තවදුරටත් භෞතික අවකාශයක්ද නැතහොත් අතථ්‍ය උතෝපියාවක්ද යන සංවාදය පැතිර යමින් පවත්නා මේ මොහොතේ එරික් මෙහි දක්වන පහත අදහස සමඟ මෙම සටහන නිමා කරමි.
“පුස්තකාලයකින් ලැබෙන සේවාවන් දෙකකි.එනම් , පොත් කියවීමේ වාසනාව උදාවීම හා පොත් නැරඹීමේ වාසනාව උදාවීමයි-

උදිත අලහකෝන්

ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත කාන්තාවන්ට ජය

කාන්තා ලෝක කුසලාන ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ තරග දෙකකින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ජය ලබයි. A කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය අතර තරගය පැවැත්විණ. මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 9කට ලකුණු එකසිය හැත්තෑ තුනක් රැස් කළහ. ඇලීස් හීලි ලකුණු 55 යි. මැග් ලෙනින් ලකුණු 41 ක් සහ එලීස් පෙරී වේගවත් ලකුණු 40 ක් රැස් කළහ. ලී ටහුහු ලකුණු 37 කට කඩුළු 3 යි. ඇමේලියා කර් ලකුණු 23 කට කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත්වූවාය. නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 76 කට දැවී ගියහ. ඇමේලියා කර් ලකුණු 21 යි. ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 12 කට කඩුළු 5 යි. ඒ අනුව කුණු 97 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

B කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ එංගලන්තය තරග වැදිණ. මුලින් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවෝ ලකුණු 135ක් රැස් කළහ. හීලි මැතිව්ස් ලකුණු 42 යි. සොෆී එක්ලෙස්ටන් ලකුණු 23 කට කඩුළු 3 යි. 15 වන පන්දුවාරයේදී තරගය ජයගැනීමට එංගලන්තය සමත් වූයේ කඩුළු 3 ක් පමණක් බිඳවැටී තිබියදීයි. නැට් ෂීවර් බ්‍රන්ට් නොදැවී ලකුණු 40 යි. කාන්තා T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සවස 6:30 ට ඇරඹෙයි. තරගාවලියේ පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය සමග රාත්‍රී 10:30 ට තරග වදිති. එය B කාණ්ඩයේ තරගයකි.

වජිර කැලුම් පෙරේරා

‘කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ : 1996 – 2023 යුක්තිය අහිමි තවත් අපරාධයක සැමරුමක් !

0

කුමාරපුරම් සමූහ ඝාතනයට අදට (11) වසර 27කි. ඒ නිමිත්තෙන් ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ පුරුදු සැමරුම අදත් පැවැත්වූහ.

මේ, තවත් යුක්තිය අහිමි අපරාධයක සම්පූර්ණ කතාවයි.

1996 පෙබරවාරි 11

‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ යනුවෙන් කිලිවෙඩ්ඩි, කුමාරපුරම්හි සිය නිවස ඉදිරිපිටදී රජයේ ආරක්ෂක අංශ විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කාන්තප්පුඩි කමලාදේවි ඇගේ දෑත් හිසට උඩින් ඔසවා ආයාචනය කර තිබිණි.

හමුදා භට පිරිස් විසින් කුමාරපුරම්හිදී ද්‍රවිඩ ගම්වාසීන් 26 දෙනෙකු කෲර ලෙස ඝාතනය කෙරුණේ 1996 පෙබරවාරි මාසයේදී ය. ඝාතනය වූවන් අතර කාන්තාවන් 06 දෙනෙක්, පිරිමින් 05 දෙනෙක් සහ ළමයින් 13 දෙනෙක් (වයස අවුරුදු 18ට අඩු) වූහ. ගම්වාසීහු 26 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
1996 වසරේ පෙබරවාරි 11 වන දින සිය නිවෙස් දෙසට වෙඩි ශබ්ද එන බව කුමාරපුරම්හි ගම්වැසියන්ට ඇසෙන විට වේලාව සවස 5ට පමණ විය. ‘මුලදී අපි බයවුණේ නැහැ. මොකද හමුදාව සමග දින කිහිපයකට පෙර තිබූ රැස්වීමකදී ඔවුන් අපට පැවසුවා වෙඩි ශබ්ද ඇසුණොත් කලබල නොවන ලෙසත්, ඔවුන් කුරුල්ලන්ට වෙඩි තියන බවත්’ යනුවෙන් කාන්තප්පුඩි පිරපරානි මාධ්‍යයට පවසා තිබිණි.

වෙඩි ශබ්ද කිට්ටුවෙන් ඇසෙන්නට පටන් ගත්විට, ඇගේ මව ඔවුන්ගේ නිවස තුළට දිවයන ලෙස ඇයට කෑ ගසා කීවාය. අනෙකුත් ගම්වැසියෝ ද රැකවරණය පතා එහි පැමිණ සිටියහ. බිත්තියේ පැල්මකින් එබී බැලූ විට, නිල ඇඳුමින් සැරසුණු හමුදා පිරිස් විශාල කණ්ඩායමක් ඔවුන්ගේ නිවස දෙසට එනු ඔවුන් විසින් දැක තිබිණි. හමුදාව ඔවුන්ගේ නිවසට පිටතින් සිට ඔවුන්ට පිටතට පැමිණෙන ලෙස කෑ ගැසූ විට, පිරපරානිගේ මව සිය දරුවන් බේරාගැනීමට උත්සාහ දැරීමට පිටතට දිව ගියා ය. ඇයගේ මවට වෙඩි තබා, හමුදාව නිවස දෙසට ද කළ වෙඩි තැබීමෙන් ඇතුළත සිටි බොහෝදෙනෙකුට තුවාල විය.

හඳුනන අයත් …

තන්කවේල් මරුදයි මේ සිද්ධිය ගැන මාධ්‍යයට මෙසේ කියා තිබිණි. ‘මගේ සැමියා වැඩ ඇරී නිවසට පැමිණියා පමණයි. මම ඔහුට තේ සූදානම් කරමින් සිටින විට, අසල කඳවුරක කෝප‍්‍රල් කපිල නමින් අපි හොඳින් හඳුනන හමුදා නිලධාරියෙක් සහ තවත් නිලධාරියෙක් පැමිණ අපේ නිවස පිටත සිට මගේ සැමියාට අඩගැසුවා. මගේ සැමියා වඩු කාර්මිකයෙකු බැවින්, කපිල නිතරම පැමිණ යම් යම් දේ අඵත්වැඩියා කරගැනීම හෝ සාදා ගැනීම කළ නිසා, අපි ඔහුව හොඳින් දන්නවා.’

ඇය පිටතට ගොස් ඇගේ සැමියාට අඬගසන්නේ මන්දැයි ඇසූ විට, ඔවුහු ඇයට කෑ ගසා නිවසට වෙඩි තැබූහ. නිවස තුළ සිටි ඇගේ සැමියා වෙඩි වැදී දින 15කට පසුව රෝහල්ගතව සිටියදී මිය ගොස් තිබිණි. ඇයගේ නිවස තුළ සැඟවී සිටි අනෙකුත් බොහෝදෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් පුද්ගලයෙකු සහ දස හැවිරිදි දරුවෙකු වෙඩි වැදී එතැනම මිය ගිය බව ද ඇය සිහිපත් කරයි.

වෙඩි වරුසාවක්

දෛනික වැටුප් උපයන්නෙකු වූ අරසරතම් නාගරාසා, කුඹුරු වැඩ හමාර කර ආපසු පැමිණ, 58 වෙනි සැතපුම් කණුව අසල දියනෑම සඳහා ගිය විට, ඔහුගේ ගම දෙසින් වෙඩි ශබ්ද ඇසී ඇත. ඔහු වහා නිවසට දිව ගිය විට අනෙකුත් ගම්වැසියන්ගෙන් ඔහුගේ නිවස පිරී තිබෙනු දැක තිබේ. ‘වෙඩි වරුසාවක් වගේ වැටෙනවා අපට දිගටම ඇහුණ නිසා අපි පිටතට ඒමට බොහෝ සේ බියවුණා. බිත්තියේ තිබූ පැල්මකින් අපි දුටුවා හමුදා පිරිස් අපේ නිවස දෙසට එන බව. ඔවුන් නිවස වෙතට පැමිණි පසු පිටත සිට ‘එළියට වරෙන්’ යනුවෙන් කෑගැසුවා.’

ඔවුන් කිිසිවෙක් පිටතට නොගිය විට, හමුදා පිරිස් නිවසෙහි ටකරන් තහඩු දමා සාදා තිබුණු බිත්තිය හරහා වෙඩි තැබුවේය. ‘එක් වෙඩිල්ලක් මගේ වම් ඇස පසාරු කරගෙන ගොස් දකුණු ඇස හරහා පිටවුණා. මගේ අසල්වාසීන් මාව අසල තිබූ ඩිස්පැන්සරියට ගෙනයාමට උත්සාහ දැරූ නමුත්, යන අතරතුර, නැවත වෙඩි තබන ශබ්දය ඇසුණු බැවින්, අපි අසල තිබුණු නිවසකට දිව්වා. එහිදී මට ආරංචි වුණා මගේ බිරිඳට සහ පුතාට වෙඩි තබා ඇති බව. නමුත් ඒ අවස්ථාවේදී මට සිහිය යන එන ගතියෙන් තිබුණ බැවින් ඔවුන් පැවසුවේ කුමක්දැයි මට සම්පූර්ණයෙන් තේරුණේ නැහැ’ යැයි ඔහු මාධ්‍යයට කියා තිබිණි.

‘කිලෝමීටර් එකක පමණ දුරින් වෙඩි තබන ශබ්දය මට ඇසුණා. නමුත් නිතරම වෙඩි ශබ්ද ඇසෙන නිසා ඒ වෙලාවේ දී මම එතරම් සැලකුවේ නැහැ. වෙඩි ශබ්දය ළඟට එන විට මම අසල පිහිටි නිවසකට දිව්වා. හමුදාව නිවස පිටතට ඇවිත් අපිට පිටතට පැමිණෙන ලෙස කෑගැසුවා. අපි කිසිවෙක් පිටතට නොගිය විට, ඔවුන් දොරට පයින් ගසා දොර ඇරගෙන ඇතුළට විත් අපිට වෙඩි තිබ්බා. කාන්තාවක් වෙඩි වැදී මිය ගියා. මගේ සැමියාගේ බඩට වෙඩි තිබ්බා. තව කෙනෙකුට තදබල ලෙස තුවාල වුණා. ඔවුන් පරීක්ෂා කිරීමට නැවත පැමිණෙන විට, අපි සියලුදෙනාම බිම වැටී නොසෙල්වී සිටියා.’ යනුවෙන් නඩරාසා තවමණී ඇගේ අත්දැකීම ගැන මාධ්‍යයට පවසා තිබිණි.

අපේ අම්මා…

‘ඒ වන විට මාස නවයක ගැබිණියක් වූ අපේ අම්මාට වෙඩි තබා ඝාතනය කළා. ඇගේ අතේ සිටි මගේ සොයුරියගේ පාදයේ ඇඟිලි දෙකක් සහ පාදයෙහි කොටසක් විනාශ වී කැඩි විසිවී ගොස් තිබුණා. අපි සැඟවී සිටි කාමරයේ ගම්වැසියන් 07 දෙනෙක් ඝාතනය කර තිබුණා. අපේ ගැබිණි අම්මා සහ ඇගේ සොහායුරිය, අසල්වාසී ළමයින් තුන්දෙනෙක් සහ ඔවුන්ගේ අම්මා සහ තවත් තරුණ පිරිමි ළමයෙක්. බේරුණේ මගේ සොහොයුරිය, සොහොයුරා සහ මම පමණයි. නමුත් වෙඩි තැබීමෙන් මගේ සොහොයුරියගේ පාදය සහ මගේ සොහොයුරාගේ කකුල දණහිසෙන් පහළට අස්ථිය දිගේ පිපිරී විවෘත වීම නිසා සදාකාලයටම විකෘති වුණා.’ අරුමයිත්තුරෙයි පුවේන්දිනීගේ වැඩිමහලු සොයුරිය ප්‍රියා එසේ පවසා තිබිණි.

කෝප්‍රල් කුමාර

බොහෝ ගම්වාසීහු කෝප‍්‍රල් කුමාර නමින් වූ එක් විශේෂ සෙබළෙක් ගැන කතා කර තිබිණි. ඔහුට ද මේ සිද්ධියට අදාළව අධිචෝදනා නගා තිබුණද, බොහෝ ගම්වාසීන්ගේ ජිවිත බේරාගැනීමට ඔහු උදව් කළ බව ඔවුහු පිළිගත්හ. උදාහරණයක් වශයෙන් කෝප‍්‍රල් කපිල (තවත් සෙබළෙක්) කාන්තාවක් ඝාතනය කිරීමට කිණිස්සක් එළියට ඇද ගත් විට, කුමාර ඔහුව පිටුපසට ඇදීම නිසා, කිණිස්ස බිත්තියේ එල්ලා තිබූ කණ්ණාඩියක් පසාකර ගෙන ගොස් ඇත.

පුතා කමලේශ්වරන්

මේ කන්නයියා රාමජෙයම් මාධ්‍යයට පවසා තිබූ දේ ය. ‘එදා මම වැඩට ගමින් පිට ගියා. මම ආපසු ගෙදර එන විට මෙතන අවුල් ජාලයක් වී තිබුණා. ඒ වන තුරුත් මගේ පුතා මගේ සොහොයුරාගේ නිවසේ සිට ආපසු විත් නොතිබුණ බැවින් මම ඔහු සෙවීමට ගියා. මම මගේ සොහොයුරාගේ නිවසට යන විට මගේ පුතා සහ සොහොයුරා කුඹුරේ මැරී වැටී සිටිනු දුටුවා. ඔවුන් දෙදෙනොවම ඝාතනය කර තිබුණා. එවිට මගේ පුතාගේ වයස අවුරුදු 11 ක් පමණයි. ඔහුගේ නම තමයි කමලේශ්වරන්. කරුණාකර ඔහුගේ නම ලියාගන්න. ඔහුගේ නම කමලේශ්වරන්.’

500ක පෙරට්ටුවක්

කුමාරපුරම් සමූහ ඝාතන නඩුව ම අභියෝග රැසකි. දින තුනක් පුරා පැවති 500කට අධික සෙබළුන් සංඛ්‍යාවක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ සිට, පළමු නඩු විභාග කිහිපය තුළදීම විත්තිකරුවන් ඇප මත මුදාහැරිම, සිදුවී යැයි කියන පරිදි ද්‍රව්‍යමය සාක්ෂි ගින්නෙන් විනාශ වීම, සම්පූර්ණයෙන් සිංහල ජූරි සභාවක් පත් කිරීම සහ අනුරාධපුරයට නඩුව මාරු කිරීම එවැනි අභියෝග කිහිපයකි.

සිද්ධියෙන් පසුදින (12) උදෑසන, මුත්තූර් පොලීසිය පැමිණ සියලුම මෘත ශරීර සහ තුවාල ලැබූවන් නිරීක්ෂණය කර ඇත. ඉන්පසුව උදේ 8ට පමණ, සිද්ධිය වූ ස්ථානයට හමුදාව පැමිණ, තුවාල ලැබූවන් බසයක නංවා සේරුනුවර රෝහලට සහ එහි සිට ත්‍රීකුණාමලය රෝහලට ද ගෙන ගොස් තිබේ. තවද හමුදාව මෘත ශරීර සියල්ල ට‍්‍රැක්ටරයකට සහ සන්නද්ධ රථයකට පටවා, මුත්තූර් රෝහලට ප‍්‍රවාහනය කර ඇත.

ප‍්‍රහාරයෙන් දින තුනකට පසු, අපරාධකරුවන් හඳුනාගැනීම පිණිස මුත්තූර් උසාවියට පැමිණෙන ලෙස ගම්වාසීන්ට දැනුම් දී ඇත. හිස්වැසුම් දාගත් යුද හමුදා පිරිස 500ක් පමණ, දින 3ක් පුරා ගම්වාසීන් ඉදිරියේ පෙරෙට්ටු කළ අතර, විශාල පිරිසක් මධ්‍යයේ තනි අපරාධකරුවන් විසුරුවා එවූ බව මාධ්‍ය එවකට වාර්තා කර තිබිණි. පෙරෙට්ටුවේදී ඔවුන්ගේ හිස්වැසුම් ඉවත් කරන ලෙස ගම්වාසීන් ඉල්ලා ඇත. ඉන්පසු, ගම්වාසීන්ට 58 වැනි සහ දෙහිවත්ත කඳවුරුවලින් සෙබළුන් 8 දෙනෙක් හඳුනාගත හැකිවී ඇත.

‘මම එක් සෙබළෙක් ළඟට ගොස්, ඔහුගේ අත තදින් අල්ලා, මගේ මව ඝාතනය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගත්තා. මම සෙබළාගේ අතින් ඇද්ද නිසා, එදින නඩු විභාගය අවසන් වන තුරු මාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා.’ යැයි පිරපරානි මාධ්‍යයට කියා තිබිණි.

අධිචෝදනා 101ක්

සෙබළුන් 8 දෙනාටම අධිචෝදනා ගොනු කිරීමෙන් පසු සියලුදෙනාගේම වැඩ තහනම් කර ඇත. මෙම නඩුව විශේෂයෙන් සැලකිය යුතු වන්නේ, නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය තුළ මෙම හිටපු හමුදා පිරිසට එරෙහිව වෙනස් අධිචෝදනා 101ක් ගොනුකිරීම ය. මේ අන්දමින් මෙය අනුරාධපුර මහාධිකරණ ඉතිහාසයෙහි අපරාධ නඩුවක මොනයම් හෝ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දීර්ඝතම අධිචෝදනා ලැයිස්තුව බවට පත්විය.

නිදොස් කොට නිදහස්

වසර 2016, ජූලි 27 දින සමූහ ඝාතනය සිදුකර 20 වසරකට පසුව, ඉතිරිව සිටි හිටපු සෙබළුන් 06 දෙනා (දෙදෙනෙක් ඇප මත සිටියදී මියගිය බැවින්) අනුරාධපුර මහාධිකරණයේ පුර්ණ-සිංහල ජූරියක් මගින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

නීතිපතිගෙන් අභියාචනයක්

මෙසේ චෝදනාවලින් නිදහස් කළ වහාම, වින්දිතයින්ගේ පවුල් විසින් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සහ නීතිඥ මඩුල්ලක් ඉදිරියේ චූදිතයින් නැවත නඩු විභාගයට ලක්කරන ලෙස නීතිපතිට උපදෙස් දෙන ලෙසට සහ වින්දිතයින්ගේ පවුල්වලට පුළුල් වන්දි ගෙවීමේ ක‍්‍රමයක් ලබාදීමට පියවර ගන්නා ලෙස එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලිපියක් ඉදිරිපත් කරන ලදීඉන්පසු, නීතිපති විසින් අනුරාධපුර මහාධිකරණයේ ජූරිය හිටපු සෙබළුන් 6 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත.‘විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවලට වරදකරුවන් බව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති අතර, ඔවුන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණයේ ජූරි තීන්දුව ගත් තීරණය, වින්දිතයන්ට කරන ලද පුර්ණ අසාධාරණයකි.’ යැයි අභියාචනයේ සඳහන් විය.

ඡායාරූප – Jera Thampi

ලංකා හොස්පිට්ල්ස් හෙල්ත් ෆියෙස්ටා අදත් ( 12 ) ක්‍රියාත්මකයි

එය ආරම්භ වූයේ අද පෙරවරුවේ යි. සෞඛ්‍ය සේවා රැසක් මහජනතාවට නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව හෙල්ත් ෆියෙස්ටා වෙතින් උදාවන බව නාරාහේන්පිට, ලංකා හොස්පිට්ල්ස් කළමනාකාරීත්වය පෙන්වා දෙයි. අහඹු රුධිර පරීක්ෂාව, මේද හෙවත් ලිපිඩ පරීක්ෂාව සහ ඊ.සී.ජී පරීක්ෂණ ද නොමිලේ ලබාගත හැක්කේ ලංකා හොස්පිට්ල්ස් හෙල්ත් ෆියෙස්ටා 2023 ට සහභාගී වීමෙනි. ඊට අමතරව හෙල්ත් ෆියෙස්ටා සමග සම්බන්ධ වන ප්‍රතිලාභීන්ට ඉදිරි වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශේෂ වට්ටම් ලබාදීමට ද කළමනාකාරීත්වය තීරණය කර ඇත.

මේ අතර සෞඛ්‍ය පරීක්ෂණවලට සමගාමීව විනෝද අවස්ථා ද පවතී. හෙල්ත් ෆියෙස්ටා වෙත සහභාගී වීමෙන් සෞඛ්‍යවත්ව සහ විනෝදශීලීව සති අන්තය ගත කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හැකියාව ඇතැයි ද ලංකා හොස්පිට්ල්ස් කළමනාකාරීත්වය සඳහන් කරයි.

2014 සිට එක්සත් ජාතීන්ට දුන් පොරොන්දුවක් ඉටුකිරීමේ සූදානමක් : දණ්ඩ නීති සංග්‍රහයේ 365 අහෝසි කරයි ?

0

සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි පවසයි.

පසුගිය සතියේ පැවති එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (Universal Periodic Review – UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින් සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් මෙය සිදුකරන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය මගින් සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත්, නමුත් ඒ තුළින් සමරිසි විවාහවලට නීත්‍යනුකූලභාවයක් හිමි නොවන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

1994 ආරම්භය

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ගොඩනැගී ඇති සමාජ කතිකාවත පළමු වරට සංවාදයට ලක්වූයේ 1994දී වන අතර, එදා සිට මේ වන තුරු ඊට සාධාරණයක් ඉටු වී නැත. එම වගන්ති තුළින් පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවන ‘සොබාදහමට එරෙහි’ හෝ ‘තදබල අශෝබන’ ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් බවට නිගමනය කළ ද, එහි කිසිදු වගන්තියකින් සමලිංගිකත්වයට හෝ විවිධ ලිංගික අනන්‍යතාවලට හෝ එරෙහි ප්‍රකාශයක් අඩංගු වන්නේ නැත. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන සොබාදහමට එරෙහි හෝ තදබල අශෝබන ලිංගික ක්‍රියා මොනවාද යන්න පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ද නැත.

පොලිසියේ භාවිතය

කෙසේ වෙතත් පොලිසිය මගින් මෙම වගන්ති අවභාවිත කරමින් විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට පීඩා සිදුකිරීමට කටයුතු කරන අතර, මෙම චෝදනා මත අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මානසික රෝගයක් පවතින බවට හැඟවීම සඳහා බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකළ අවස්ථා ද තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (1), 12 (2) වගන්ති මගින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය යොදාගනිමින් ඔවුන්ට වෙනස් කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2014, 2017 සහ 2019 වර්ෂවලදී ප්‍රකාශ කර ඇති අතර, 2022දී විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නැති බවත්, එසේ පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුවට (The Convention on the elimination of All Forms of Discrimination against Women – CEDAW) ප්‍රකාශ කරන ලදි.

පාර්ලිමේන්තුව

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට බලහත්කාරයෙන් සිදුකරනු ලබන පරිවර්තන චිකිත්සා (Conversion Therapy) තහනම් කිරීමට නීතියක් සම්මත කරන ලෙස ඉල්ලා 2022දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Paediatricians – SLCP) විසින් සමලිංගිකත්වය ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා පැවතීම සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක් බවත්, එය මානසික රෝගී තත්ත්වයක් නොවන බවත් 2021දී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම් සිදු කිරීමට අදාළ ව දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.

‘අහෝසි කරනවා’

එවැනි පසුබිමක් තුළ විදේශ කටයුතු ඇමතිවරයා විසින් සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි. මේ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය අවශ්‍ය බව ද ඔහු සඳහන් කර තිබිණි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති අහෝසි කිරීම සිදු කළ හැකි බව ද අලි සබ්‍රි ඇමතිවරයා පවසා තිබිණි.

මෙවර ඉල්ලීම

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයේ 4 වැනි චක්‍රයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ යන රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටි අතර, සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම්වලට ගරු කරන මෙන් එක්සත් ජනපදය එහිදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කරයි

0

දකුණු අප්‍රිකා කාන්තාවන් ඉදිරියේ අවසන් T 20 තරග 5 ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ලෝක කුසලාන ආරම්භක තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කළහ. ඒ ලකුණු 3 කිනි. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 129 කට සීමා විය. නායිකා චමරි අතපත්තු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මංගල අර්ධ ශතකය(පන්දු 68 ට ලකුණු 50) වාර්තා කළාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අනාගතය, විශ්මි ගුණරත්න හතරේ පහර 4 ක් සමග පන්දු 34 කදී ලකුණු 35 කි. දකුණු අප්‍රිකාව ලබාගත්තේ කඩුළු 9 කට ලකුණු 126 කි. ඒ අතරින් ලකුණු 12 ක් අතිරේකය. ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවධානය යොමු කළ යුතු ඒ පිළිබඳවයි. වයිඩ් පන්දු ගණනාවක් යොමු කෙරිණි. ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුළු 03 ක් බිඳහෙළූ අතර ඕෂධී රණසිංහ ලකුණු 20 ට කඩුළු දෙකකි.

එයා දැන් බැඳලා Trending ඇයි?

0

සංසාරේ දඩයක්කාරයා, 28 , කර්ම, සංඛාරා වැනි සම්මානිත චිත්‍රපට අධ්‍යෂණය කළ ප්‍රසන්න ජයකොඩි වසර 20කට පමණ පසු නිර්මාණය කළ ටෙලි නාට්‍යයක් වන මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවෙහි විකාශය වන ‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යය පිලිබඳ සංවාදාත්මක කතිකාව පෙබරවාරි 13 සවස 3.00 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

අදහස් දැක්වීම
විදර්ශන කන්නන්ගර
තනුජා ජයවර්ධන
සඳුන් ප්‍රියංකර විතානගේ
මනෝරම වීරසිංහ

මෙහෙයවීම
ප්‍රියන්ත කොඩිප්පිලි

‘එයා දැන් බැඳලා’ ටෙලිනාට්‍යයට, මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ප‍්‍රදීප් රාමවික්‍රම, ප්‍රියන්ත සිරිකුමාර, ප්‍රසන්න දැකුම්පිටිය, ගීතා අලහකෝන් “එයා දැන් බැඳලා” වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබාදෙයි.

ටෙලියේ නිෂ්පාදනය වසන්ත කන්නන්ගර, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සංස්කරණය රංගන සිංහාරගේ, සංගීත අධ්‍යක්ෂණය ගයාන් ගණකධාර, ගායනය අජිත් කුමාරසිරි, නිෂ්පාදන විධායක නිශාන්ත රණසිංහ, කලා අධ්‍යක්ෂණය සුරංග ගුණතිලක, වෙස් ගැන්වීම් ප්‍රේමලාල් ලියනගේ, ඇඳුම් නිර්මාණ වසන්ති අල්විස්, නිෂ්පාදන කළමනාකරු නලින් ප්‍රේමරත්න, පළමු සහය අධ්‍යක්ෂ ගිම්හානි ඉඩම්මුදලිගේ, රේඛිය නිෂ්පාදනය සුමුදු ගුරුගේ විසිනි.