කුමාරපුරම් සමූහ ඝාතනයට අදට (11) වසර 27කි. ඒ නිමිත්තෙන් ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ පුරුදු සැමරුම අදත් පැවැත්වූහ.
මේ, තවත් යුක්තිය අහිමි අපරාධයක සම්පූර්ණ කතාවයි.
1996 පෙබරවාරි 11
‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ යනුවෙන් කිලිවෙඩ්ඩි, කුමාරපුරම්හි සිය නිවස ඉදිරිපිටදී රජයේ ආරක්ෂක අංශ විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කාන්තප්පුඩි කමලාදේවි ඇගේ දෑත් හිසට උඩින් ඔසවා ආයාචනය කර තිබිණි.
හමුදා භට පිරිස් විසින් කුමාරපුරම්හිදී ද්‍රවිඩ ගම්වාසීන් 26 දෙනෙකු කෲර ලෙස ඝාතනය කෙරුණේ 1996 පෙබරවාරි මාසයේදී ය. ඝාතනය වූවන් අතර කාන්තාවන් 06 දෙනෙක්, පිරිමින් 05 දෙනෙක් සහ ළමයින් 13 දෙනෙක් (වයස අවුරුදු 18ට අඩු) වූහ. ගම්වාසීහු 26 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
1996 වසරේ පෙබරවාරි 11 වන දින සිය නිවෙස් දෙසට වෙඩි ශබ්ද එන බව කුමාරපුරම්හි ගම්වැසියන්ට ඇසෙන විට වේලාව සවස 5ට පමණ විය. ‘මුලදී අපි බයවුණේ නැහැ. මොකද හමුදාව සමග දින කිහිපයකට පෙර තිබූ රැස්වීමකදී ඔවුන් අපට පැවසුවා වෙඩි ශබ්ද ඇසුණොත් කලබල නොවන ලෙසත්, ඔවුන් කුරුල්ලන්ට වෙඩි තියන බවත්’ යනුවෙන් කාන්තප්පුඩි පිරපරානි මාධ්‍යයට පවසා තිබිණි.
වෙඩි ශබ්ද කිට්ටුවෙන් ඇසෙන්නට පටන් ගත්විට, ඇගේ මව ඔවුන්ගේ නිවස තුළට දිවයන ලෙස ඇයට කෑ ගසා කීවාය. අනෙකුත් ගම්වැසියෝ ද රැකවරණය පතා එහි පැමිණ සිටියහ. බිත්තියේ පැල්මකින් එබී බැලූ විට, නිල ඇඳුමින් සැරසුණු හමුදා පිරිස් විශාල කණ්ඩායමක් ඔවුන්ගේ නිවස දෙසට එනු ඔවුන් විසින් දැක තිබිණි. හමුදාව ඔවුන්ගේ නිවසට පිටතින් සිට ඔවුන්ට පිටතට පැමිණෙන ලෙස කෑ ගැසූ විට, පිරපරානිගේ මව සිය දරුවන් බේරාගැනීමට උත්සාහ දැරීමට පිටතට දිව ගියා ය. ඇයගේ මවට වෙඩි තබා, හමුදාව නිවස දෙසට ද කළ වෙඩි තැබීමෙන් ඇතුළත සිටි බොහෝදෙනෙකුට තුවාල විය.
හඳුනන අයත් …
තන්කවේල් මරුදයි මේ සිද්ධිය ගැන මාධ්‍යයට මෙසේ කියා තිබිණි. ‘මගේ සැමියා වැඩ ඇරී නිවසට පැමිණියා පමණයි. මම ඔහුට තේ සූදානම් කරමින් සිටින විට, අසල කඳවුරක කෝප‍්‍රල් කපිල නමින් අපි හොඳින් හඳුනන හමුදා නිලධාරියෙක් සහ තවත් නිලධාරියෙක් පැමිණ අපේ නිවස පිටත සිට මගේ සැමියාට අඩගැසුවා. මගේ සැමියා වඩු කාර්මිකයෙකු බැවින්, කපිල නිතරම පැමිණ යම් යම් දේ අඵත්වැඩියා කරගැනීම හෝ සාදා ගැනීම කළ නිසා, අපි ඔහුව හොඳින් දන්නවා.’
ඇය පිටතට ගොස් ඇගේ සැමියාට අඬගසන්නේ මන්දැයි ඇසූ විට, ඔවුහු ඇයට කෑ ගසා නිවසට වෙඩි තැබූහ. නිවස තුළ සිටි ඇගේ සැමියා වෙඩි වැදී දින 15කට පසුව රෝහල්ගතව සිටියදී මිය ගොස් තිබිණි. ඇයගේ නිවස තුළ සැඟවී සිටි අනෙකුත් බොහෝදෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් පුද්ගලයෙකු සහ දස හැවිරිදි දරුවෙකු වෙඩි වැදී එතැනම මිය ගිය බව ද ඇය සිහිපත් කරයි.
වෙඩි වරුසාවක්
දෛනික වැටුප් උපයන්නෙකු වූ අරසරතම් නාගරාසා, කුඹුරු වැඩ හමාර කර ආපසු පැමිණ, 58 වෙනි සැතපුම් කණුව අසල දියනෑම සඳහා ගිය විට, ඔහුගේ ගම දෙසින් වෙඩි ශබ්ද ඇසී ඇත. ඔහු වහා නිවසට දිව ගිය විට අනෙකුත් ගම්වැසියන්ගෙන් ඔහුගේ නිවස පිරී තිබෙනු දැක තිබේ. ‘වෙඩි වරුසාවක් වගේ වැටෙනවා අපට දිගටම ඇහුණ නිසා අපි පිටතට ඒමට බොහෝ සේ බියවුණා. බිත්තියේ තිබූ පැල්මකින් අපි දුටුවා හමුදා පිරිස් අපේ නිවස දෙසට එන බව. ඔවුන් නිවස වෙතට පැමිණි පසු පිටත සිට ‘එළියට වරෙන්’ යනුවෙන් කෑගැසුවා.’
ඔවුන් කිිසිවෙක් පිටතට නොගිය විට, හමුදා පිරිස් නිවසෙහි ටකරන් තහඩු දමා සාදා තිබුණු බිත්තිය හරහා වෙඩි තැබුවේය. ‘එක් වෙඩිල්ලක් මගේ වම් ඇස පසාරු කරගෙන ගොස් දකුණු ඇස හරහා පිටවුණා. මගේ අසල්වාසීන් මාව අසල තිබූ ඩිස්පැන්සරියට ගෙනයාමට උත්සාහ දැරූ නමුත්, යන අතරතුර, නැවත වෙඩි තබන ශබ්දය ඇසුණු බැවින්, අපි අසල තිබුණු නිවසකට දිව්වා. එහිදී මට ආරංචි වුණා මගේ බිරිඳට සහ පුතාට වෙඩි තබා ඇති බව. නමුත් ඒ අවස්ථාවේදී මට සිහිය යන එන ගතියෙන් තිබුණ බැවින් ඔවුන් පැවසුවේ කුමක්දැයි මට සම්පූර්ණයෙන් තේරුණේ නැහැ’ යැයි ඔහු මාධ්‍යයට කියා තිබිණි.
‘කිලෝමීටර් එකක පමණ දුරින් වෙඩි තබන ශබ්දය මට ඇසුණා. නමුත් නිතරම වෙඩි ශබ්ද ඇසෙන නිසා ඒ වෙලාවේ දී මම එතරම් සැලකුවේ නැහැ. වෙඩි ශබ්දය ළඟට එන විට මම අසල පිහිටි නිවසකට දිව්වා. හමුදාව නිවස පිටතට ඇවිත් අපිට පිටතට පැමිණෙන ලෙස කෑගැසුවා. අපි කිසිවෙක් පිටතට නොගිය විට, ඔවුන් දොරට පයින් ගසා දොර ඇරගෙන ඇතුළට විත් අපිට වෙඩි තිබ්බා. කාන්තාවක් වෙඩි වැදී මිය ගියා. මගේ සැමියාගේ බඩට වෙඩි තිබ්බා. තව කෙනෙකුට තදබල ලෙස තුවාල වුණා. ඔවුන් පරීක්ෂා කිරීමට නැවත පැමිණෙන විට, අපි සියලුදෙනාම බිම වැටී නොසෙල්වී සිටියා.’ යනුවෙන් නඩරාසා තවමණී ඇගේ අත්දැකීම ගැන මාධ්‍යයට පවසා තිබිණි.
අපේ අම්මා…
‘ඒ වන විට මාස නවයක ගැබිණියක් වූ අපේ අම්මාට වෙඩි තබා ඝාතනය කළා. ඇගේ අතේ සිටි මගේ සොයුරියගේ පාදයේ ඇඟිලි දෙකක් සහ පාදයෙහි කොටසක් විනාශ වී කැඩි විසිවී ගොස් තිබුණා. අපි සැඟවී සිටි කාමරයේ ගම්වැසියන් 07 දෙනෙක් ඝාතනය කර තිබුණා. අපේ ගැබිණි අම්මා සහ ඇගේ සොහායුරිය, අසල්වාසී ළමයින් තුන්දෙනෙක් සහ ඔවුන්ගේ අම්මා සහ තවත් තරුණ පිරිමි ළමයෙක්. බේරුණේ මගේ සොහොයුරිය, සොහොයුරා සහ මම පමණයි. නමුත් වෙඩි තැබීමෙන් මගේ සොහොයුරියගේ පාදය සහ මගේ සොහොයුරාගේ කකුල දණහිසෙන් පහළට අස්ථිය දිගේ පිපිරී විවෘත වීම නිසා සදාකාලයටම විකෘති වුණා.’ අරුමයිත්තුරෙයි පුවේන්දිනීගේ වැඩිමහලු සොයුරිය ප්‍රියා එසේ පවසා තිබිණි.
කෝප්‍රල් කුමාර
බොහෝ ගම්වාසීහු කෝප‍්‍රල් කුමාර නමින් වූ එක් විශේෂ සෙබළෙක් ගැන කතා කර තිබිණි. ඔහුට ද මේ සිද්ධියට අදාළව අධිචෝදනා නගා තිබුණද, බොහෝ ගම්වාසීන්ගේ ජිවිත බේරාගැනීමට ඔහු උදව් කළ බව ඔවුහු පිළිගත්හ. උදාහරණයක් වශයෙන් කෝප‍්‍රල් කපිල (තවත් සෙබළෙක්) කාන්තාවක් ඝාතනය කිරීමට කිණිස්සක් එළියට ඇද ගත් විට, කුමාර ඔහුව පිටුපසට ඇදීම නිසා, කිණිස්ස බිත්තියේ එල්ලා තිබූ කණ්ණාඩියක් පසාකර ගෙන ගොස් ඇත.
පුතා කමලේශ්වරන්
මේ කන්නයියා රාමජෙයම් මාධ්‍යයට පවසා තිබූ දේ ය. ‘එදා මම වැඩට ගමින් පිට ගියා. මම ආපසු ගෙදර එන විට මෙතන අවුල් ජාලයක් වී තිබුණා. ඒ වන තුරුත් මගේ පුතා මගේ සොහොයුරාගේ නිවසේ සිට ආපසු විත් නොතිබුණ බැවින් මම ඔහු සෙවීමට ගියා. මම මගේ සොහොයුරාගේ නිවසට යන විට මගේ පුතා සහ සොහොයුරා කුඹුරේ මැරී වැටී සිටිනු දුටුවා. ඔවුන් දෙදෙනොවම ඝාතනය කර තිබුණා. එවිට මගේ පුතාගේ වයස අවුරුදු 11 ක් පමණයි. ඔහුගේ නම තමයි කමලේශ්වරන්. කරුණාකර ඔහුගේ නම ලියාගන්න. ඔහුගේ නම කමලේශ්වරන්.’
500ක පෙරට්ටුවක්
කුමාරපුරම් සමූහ ඝාතන නඩුව ම අභියෝග රැසකි. දින තුනක් පුරා පැවති 500කට අධික සෙබළුන් සංඛ්‍යාවක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ සිට, පළමු නඩු විභාග කිහිපය තුළදීම විත්තිකරුවන් ඇප මත මුදාහැරිම, සිදුවී යැයි කියන පරිදි ද්‍රව්‍යමය සාක්ෂි ගින්නෙන් විනාශ වීම, සම්පූර්ණයෙන් සිංහල ජූරි සභාවක් පත් කිරීම සහ අනුරාධපුරයට නඩුව මාරු කිරීම එවැනි අභියෝග කිහිපයකි.
සිද්ධියෙන් පසුදින (12) උදෑසන, මුත්තූර් පොලීසිය පැමිණ සියලුම මෘත ශරීර සහ තුවාල ලැබූවන් නිරීක්ෂණය කර ඇත. ඉන්පසුව උදේ 8ට පමණ, සිද්ධිය වූ ස්ථානයට හමුදාව පැමිණ, තුවාල ලැබූවන් බසයක නංවා සේරුනුවර රෝහලට සහ එහි සිට ත්‍රීකුණාමලය රෝහලට ද ගෙන ගොස් තිබේ. තවද හමුදාව මෘත ශරීර සියල්ල ට‍්‍රැක්ටරයකට සහ සන්නද්ධ රථයකට පටවා, මුත්තූර් රෝහලට ප‍්‍රවාහනය කර ඇත.
ප‍්‍රහාරයෙන් දින තුනකට පසු, අපරාධකරුවන් හඳුනාගැනීම පිණිස මුත්තූර් උසාවියට පැමිණෙන ලෙස ගම්වාසීන්ට දැනුම් දී ඇත. හිස්වැසුම් දාගත් යුද හමුදා පිරිස 500ක් පමණ, දින 3ක් පුරා ගම්වාසීන් ඉදිරියේ පෙරෙට්ටු කළ අතර, විශාල පිරිසක් මධ්‍යයේ තනි අපරාධකරුවන් විසුරුවා එවූ බව මාධ්‍ය එවකට වාර්තා කර තිබිණි. පෙරෙට්ටුවේදී ඔවුන්ගේ හිස්වැසුම් ඉවත් කරන ලෙස ගම්වාසීන් ඉල්ලා ඇත. ඉන්පසු, ගම්වාසීන්ට 58 වැනි සහ දෙහිවත්ත කඳවුරුවලින් සෙබළුන් 8 දෙනෙක් හඳුනාගත හැකිවී ඇත.
‘මම එක් සෙබළෙක් ළඟට ගොස්, ඔහුගේ අත තදින් අල්ලා, මගේ මව ඝාතනය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගත්තා. මම සෙබළාගේ අතින් ඇද්ද නිසා, එදින නඩු විභාගය අවසන් වන තුරු මාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා.’ යැයි පිරපරානි මාධ්‍යයට කියා තිබිණි.
අධිචෝදනා 101ක්
සෙබළුන් 8 දෙනාටම අධිචෝදනා ගොනු කිරීමෙන් පසු සියලුදෙනාගේම වැඩ තහනම් කර ඇත. මෙම නඩුව විශේෂයෙන් සැලකිය යුතු වන්නේ, නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය තුළ මෙම හිටපු හමුදා පිරිසට එරෙහිව වෙනස් අධිචෝදනා 101ක් ගොනුකිරීම ය. මේ අන්දමින් මෙය අනුරාධපුර මහාධිකරණ ඉතිහාසයෙහි අපරාධ නඩුවක මොනයම් හෝ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දීර්ඝතම අධිචෝදනා ලැයිස්තුව බවට පත්විය.
නිදොස් කොට නිදහස්
වසර 2016, ජූලි 27 දින සමූහ ඝාතනය සිදුකර 20 වසරකට පසුව, ඉතිරිව සිටි හිටපු සෙබළුන් 06 දෙනා (දෙදෙනෙක් ඇප මත සිටියදී මියගිය බැවින්) අනුරාධපුර මහාධිකරණයේ පුර්ණ-සිංහල ජූරියක් මගින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.
නීතිපතිගෙන් අභියාචනයක්
මෙසේ චෝදනාවලින් නිදහස් කළ වහාම, වින්දිතයින්ගේ පවුල් විසින් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සහ නීතිඥ මඩුල්ලක් ඉදිරියේ චූදිතයින් නැවත නඩු විභාගයට ලක්කරන ලෙස නීතිපතිට උපදෙස් දෙන ලෙසට සහ වින්දිතයින්ගේ පවුල්වලට පුළුල් වන්දි ගෙවීමේ ක‍්‍රමයක් ලබාදීමට පියවර ගන්නා ලෙස එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලිපියක් ඉදිරිපත් කරන ලදීඉන්පසු, නීතිපති විසින් අනුරාධපුර මහාධිකරණයේ ජූරිය හිටපු සෙබළුන් 6 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත.‘විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවලට වරදකරුවන් බව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති අතර, ඔවුන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණයේ ජූරි තීන්දුව ගත් තීරණය, වින්දිතයන්ට කරන ලද පුර්ණ අසාධාරණයකි.’ යැයි අභියාචනයේ සඳහන් විය.
ඡායාරූප – Jera Thampi