අභිරහස් සොයා යන, කැලේ කොළේ ගස් මුල්වල සරන, හොඳ ළමයින් ඉන්න ළමා ලෝකයක් තේමා වුණු කතාවලින් මිදී, සැබෑ ලෝකයේ ළමුන් මුහුණදෙන සත්‍ය ගැටලු සාකච්ඡාවට ගැනෙන නව යොවුන් සාහිත්‍ය කෘති මෙරට බිහිවෙමින් පවතී. අනෙක් අතින් මෙරට කෘතිවලට සාපේක්ෂව ලෝක ප්‍රකට යොවුන් සාහිත්‍ය ග්‍රන්ථවලින් වැඩි ආභාසයක් ලැබූ, ඒවායින් සුව නොවෙන කැක්කුම් සාදාගත් කතුවර, කතුවරියන්ගේ ලිවීම් කියවන්නට ලැබේ.
පිරිමි දරුවෙකු මුල්කරගත් කතා වෙනුවට දැන් ගැහැනු දරුවන් ද ප්‍රධාන චරිතය වන , කළු – සුදු ලෙස චරිත වෙන් නොකරන එනම්, අළු චරිත ලෙසින් කතාවට යන එන, සුරංගනා කතාවක් නොව මේ රළු පොළොව ම සමීප කරවන, රිදුම් දෙමින් සනසන, සැබෑ ලොවේදිත් තිබිය යුතු යැයි සිතෙන, ටෙට්සුකෝගේ ‘හරි පුදුම ඉස්කෝලෙ’, ඊනිඩ් බ්ලයිටන්ගෙ ‘අපූරු ඉස්කෝලෙ’ වැනි ඉස්කෝල සිහිවන නිබන්ධිකා වන්නිනායකගේ ‘කොළ පාට ඉස්කෝලෙ’, නූතනයට ඔබින – විවෘත -නවීන අදහස් සමඟින් මුහුවුණු කතා නායිකාවක්, දෙමව්පියන් සහ ගුරුවරියන්ගෙන් සැදුම් ලද්දක් වෙයි. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ගැන ලංකාවේ යොවුන් සාහිත්‍ය කෘතියකදී මට කියවන්න ලැබුණු පළමු කියවීම ද මෙය ය. මෙය, විවිධ පොත්වල චරිත සමඟ බැඳි බැඳී ඉදිරියට යන්නකි.
අඬනහිරියා උන්නේ තෙත් කලාපයකයි. ‘කොළපාට ඉස්කෝලේ’ ට යන්නට ඇයට වියළි කලාපයකට එන්නට සිදුවේ. මේ ක්‍රියාව වෙනත් ලෙසකින් අර්ථ දක්වා ගතහොත් මෙසේය. මේ යන්නේ, ලෙනෙන් කැළයට ය. ගමෙන් නගරයට ය. නිවසින් සමාජයට ය. දන්නා කියන උන්ගෙන් මිදී නොදන්නා උන් සිටින තැනකට ය. මෙළෙක් තැනින් මිදී රළුපරලු තැනකට ය. කොටින් ම කියන්නේ නම්, අඬනහිරියා දැන් යන්නේ ලෝකයේ ඇති තතු වෙත එළඹී තමන් ම ඊට මුහුණ දී ඒවා දැන කියාගන්නට ය. අතුරේ යන ගමනට මුල පුරන්නට ය. ඒ සියල්ලෙන් ඉගෙනගන්නට ය.
නිබන්ධිකාගේ ‘කොළ පාට ඉස්කෝලේ’, සාම්ප්‍රදායික මතවාද වෙත එල්ල කරන යකුළු පහරවල් තියුණු ය. ඒවා කාලයක් තිස්සේ සමාජයේ බින්න බැස පදම් වූ මනස් වෙත පෙවීම කෙතරම් සාර්ථක වේද යන්න කීමට නොහැකි වෙතත් මේ ප්‍රයත්නය, මේ සිතුවිලි, මේ කැරැල්ල යොවුන් පොතකින් එළියට දැමීම අගය කළ යුත්තකි. මන්ද, මේ පොත් කියවන්නේ හුදු ළමුන් ම නොවන නිසා. “දරුවන් දෙමව්පියන්ට ණය නැත’, ‘කුමාරයෙක්ට ගැහැනු ළමයෙක්ව කුමාරියක් කරන්නට බැරිය, එය තමා සතු තීරණයකි’ වැනි දෑ ගැන අඬනහිරියාගේ දෙමව්පියන් දරන අදහස ලංකාවට ම පත්තියම් වන දින ගැන පාඨක අපට බලාපොරොත්තු තියාගැනීමට නිබන්ධිකා ඉඩ තබයි.
“සෑම දෙයකට ම සමාන සිදුවීම් පොත්වල සිදුවී තිබේ”
අඬනහිරියාට හරියට පොත්වල රෙෆරන්ස් මතක ය. තමන්ට සිදුවන ඕනෑම දෙයකදි, ‘අසවල් පොතේ අසවල් චරිතයටත් මෙහෙම වුණා’ ලෙසින් කියන ඈ මතක ගබඩාවකි. කෘතියේ ප්‍රධාන චරිතය, වීර ගැහැනු ළමයෙක් නොකිරීමට, හොඳ ම වැඩ කරන අයෙකු නොකිරීමට කතුවරිය දැරූ ප්‍රයත්නය වටී. හොඳ ම – සුදු ම – නිවුණු ම – කිසිවෙක් මිනිස් සමාජයේ නැති බැවිණි.
අඬනහිරියා ‘කොළ පාට ඉස්කෝලෙ’න් දැන් සමාජයට බැස අවසන්. එබැවින්, කතාව අවසානයටත් පෙර කතාව මැද දී ම ඇයට තමා පය තැබූ අලුත් බිම ගැන මෙසේ සිතීම සාධාරණය.
“අප සිතනවාට වඩා බිය උපදවන දේවල් මෙලොව ඇති බව දැනගන්නට එතරම් කාලයක් ගතවන්නේ නැත”