‘කොළ පාට ඉස්කෝලේ’, සාම්ප්‍රදායික මතවාද වෙත එල්ල කරන යකුළු පහරවල් තියුණු ය

Share post:

අභිරහස් සොයා යන, කැලේ කොළේ ගස් මුල්වල සරන, හොඳ ළමයින් ඉන්න ළමා ලෝකයක් තේමා වුණු කතාවලින් මිදී, සැබෑ ලෝකයේ ළමුන් මුහුණදෙන සත්‍ය ගැටලු සාකච්ඡාවට ගැනෙන නව යොවුන් සාහිත්‍ය කෘති මෙරට බිහිවෙමින් පවතී. අනෙක් අතින් මෙරට කෘතිවලට සාපේක්ෂව ලෝක ප්‍රකට යොවුන් සාහිත්‍ය ග්‍රන්ථවලින් වැඩි ආභාසයක් ලැබූ, ඒවායින් සුව නොවෙන කැක්කුම් සාදාගත් කතුවර, කතුවරියන්ගේ ලිවීම් කියවන්නට ලැබේ.

පිරිමි දරුවෙකු මුල්කරගත් කතා වෙනුවට දැන් ගැහැනු දරුවන් ද ප්‍රධාන චරිතය වන , කළු – සුදු ලෙස චරිත වෙන් නොකරන එනම්, අළු චරිත ලෙසින් කතාවට යන එන, සුරංගනා කතාවක් නොව මේ රළු පොළොව ම සමීප කරවන, රිදුම් දෙමින් සනසන, සැබෑ ලොවේදිත් තිබිය යුතු යැයි සිතෙන, ටෙට්සුකෝගේ ‘හරි පුදුම ඉස්කෝලෙ’, ඊනිඩ් බ්ලයිටන්ගෙ ‘අපූරු ඉස්කෝලෙ’ වැනි ඉස්කෝල සිහිවන නිබන්ධිකා වන්නිනායකගේ ‘කොළ පාට ඉස්කෝලෙ’, නූතනයට ඔබින – විවෘත -නවීන අදහස් සමඟින් මුහුවුණු කතා නායිකාවක්, දෙමව්පියන් සහ ගුරුවරියන්ගෙන් සැදුම් ලද්දක් වෙයි. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ගැන ලංකාවේ යොවුන් සාහිත්‍ය කෘතියකදී මට කියවන්න ලැබුණු පළමු කියවීම ද මෙය ය. මෙය, විවිධ පොත්වල චරිත සමඟ බැඳි බැඳී ඉදිරියට යන්නකි.

අඬනහිරියා උන්නේ තෙත් කලාපයකයි. ‘කොළපාට ඉස්කෝලේ’ ට යන්නට ඇයට වියළි කලාපයකට එන්නට සිදුවේ. මේ ක්‍රියාව වෙනත් ලෙසකින් අර්ථ දක්වා ගතහොත් මෙසේය. මේ යන්නේ, ලෙනෙන් කැළයට ය. ගමෙන් නගරයට ය. නිවසින් සමාජයට ය. දන්නා කියන උන්ගෙන් මිදී නොදන්නා උන් සිටින තැනකට ය. මෙළෙක් තැනින් මිදී රළුපරලු තැනකට ය. කොටින් ම කියන්නේ නම්, අඬනහිරියා දැන් යන්නේ ලෝකයේ ඇති තතු වෙත එළඹී තමන් ම ඊට මුහුණ දී ඒවා දැන කියාගන්නට ය. අතුරේ යන ගමනට මුල පුරන්නට ය. ඒ සියල්ලෙන් ඉගෙනගන්නට ය.

නිබන්ධිකාගේ ‘කොළ පාට ඉස්කෝලේ’, සාම්ප්‍රදායික මතවාද වෙත එල්ල කරන යකුළු පහරවල් තියුණු ය. ඒවා කාලයක් තිස්සේ සමාජයේ බින්න බැස පදම් වූ මනස් වෙත පෙවීම කෙතරම් සාර්ථක වේද යන්න කීමට නොහැකි වෙතත් මේ ප්‍රයත්නය, මේ සිතුවිලි, මේ කැරැල්ල යොවුන් පොතකින් එළියට දැමීම අගය කළ යුත්තකි. මන්ද, මේ පොත් කියවන්නේ හුදු ළමුන් ම නොවන නිසා. “දරුවන් දෙමව්පියන්ට ණය නැත’, ‘කුමාරයෙක්ට ගැහැනු ළමයෙක්ව කුමාරියක් කරන්නට බැරිය, එය තමා සතු තීරණයකි’ වැනි දෑ ගැන අඬනහිරියාගේ දෙමව්පියන් දරන අදහස ලංකාවට ම පත්තියම් වන දින ගැන පාඨක අපට බලාපොරොත්තු තියාගැනීමට නිබන්ධිකා ඉඩ තබයි.

“සෑම දෙයකට ම සමාන සිදුවීම් පොත්වල සිදුවී තිබේ”

අඬනහිරියාට හරියට පොත්වල රෙෆරන්ස් මතක ය. තමන්ට සිදුවන ඕනෑම දෙයකදි, ‘අසවල් පොතේ අසවල් චරිතයටත් මෙහෙම වුණා’ ලෙසින් කියන ඈ මතක ගබඩාවකි. කෘතියේ ප්‍රධාන චරිතය, වීර ගැහැනු ළමයෙක් නොකිරීමට, හොඳ ම වැඩ කරන අයෙකු නොකිරීමට කතුවරිය දැරූ ප්‍රයත්නය වටී. හොඳ ම – සුදු ම – නිවුණු ම – කිසිවෙක් මිනිස් සමාජයේ නැති බැවිණි.

අඬනහිරියා ‘කොළ පාට ඉස්කෝලෙ’න් දැන් සමාජයට බැස අවසන්. එබැවින්, කතාව අවසානයටත් පෙර කතාව මැද දී ම ඇයට තමා පය තැබූ අලුත් බිම ගැන මෙසේ සිතීම සාධාරණය.

“අප සිතනවාට වඩා බිය උපදවන දේවල් මෙලොව ඇති බව දැනගන්නට එතරම් කාලයක් ගතවන්නේ නැත”

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...