2014 සිට එක්සත් ජාතීන්ට දුන් පොරොන්දුවක් ඉටුකිරීමේ සූදානමක් : දණ්ඩ නීති සංග්‍රහයේ 365 අහෝසි කරයි ?

Share post:

සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි පවසයි.

පසුගිය සතියේ පැවති එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචනයේදී (Universal Periodic Review – UPR) එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ ඇතුළු රාජ්‍ය කිහිපයක් විසින් සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් මෙය සිදුකරන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය මගින් සමරිසි ලිංගික ක්‍රියා සාපරාධීකරණය කිරීම අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත්, නමුත් ඒ තුළින් සමරිසි විවාහවලට නීත්‍යනුකූලභාවයක් හිමි නොවන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

1994 ආරම්භය

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති ඔස්සේ විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ගොඩනැගී ඇති සමාජ කතිකාවත පළමු වරට සංවාදයට ලක්වූයේ 1994දී වන අතර, එදා සිට මේ වන තුරු ඊට සාධාරණයක් ඉටු වී නැත. එම වගන්ති තුළින් පුද්ගලයන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදුවන ‘සොබාදහමට එරෙහි’ හෝ ‘තදබල අශෝබන’ ලිංගික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් බවට නිගමනය කළ ද, එහි කිසිදු වගන්තියකින් සමලිංගිකත්වයට හෝ විවිධ ලිංගික අනන්‍යතාවලට හෝ එරෙහි ප්‍රකාශයක් අඩංගු වන්නේ නැත. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන සොබාදහමට එරෙහි හෝ තදබල අශෝබන ලිංගික ක්‍රියා මොනවාද යන්න පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ද නැත.

පොලිසියේ භාවිතය

කෙසේ වෙතත් පොලිසිය මගින් මෙම වගන්ති අවභාවිත කරමින් විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට පීඩා සිදුකිරීමට කටයුතු කරන අතර, මෙම චෝදනා මත අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මානසික රෝගයක් පවතින බවට හැඟවීම සඳහා බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකළ අවස්ථා ද තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 (1), 12 (2) වගන්ති මගින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය යොදාගනිමින් ඔවුන්ට වෙනස් කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2014, 2017 සහ 2019 වර්ෂවලදී ප්‍රකාශ කර ඇති අතර, 2022දී විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නැති බවත්, එසේ පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුවට (The Convention on the elimination of All Forms of Discrimination against Women – CEDAW) ප්‍රකාශ කරන ලදි.

පාර්ලිමේන්තුව

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට බලහත්කාරයෙන් සිදුකරනු ලබන පරිවර්තන චිකිත්සා (Conversion Therapy) තහනම් කිරීමට නීතියක් සම්මත කරන ලෙස ඉල්ලා 2022දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Paediatricians – SLCP) විසින් සමලිංගිකත්වය ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා පැවතීම සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක් බවත්, එය මානසික රෝගී තත්ත්වයක් නොවන බවත් 2021දී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස් කොට සැලකීම් සිදු කිරීමට අදාළ ව දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.

‘අහෝසි කරනවා’

එවැනි පසුබිමක් තුළ විදේශ කටයුතු ඇමතිවරයා විසින් සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට රජය කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි. මේ සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය අවශ්‍ය බව ද ඔහු සඳහන් කර තිබිණි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති අහෝසි කිරීම සිදු කළ හැකි බව ද අලි සබ්‍රි ඇමතිවරයා පවසා තිබිණි.

මෙවර ඉල්ලීම

එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිවාරයේ 4 වැනි චක්‍රයේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ නෝර්වේ යන රාජ්‍ය විසින් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කරන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටි අතර, සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික සහ ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම්වලට ගරු කරන මෙන් එක්සත් ජනපදය එහිදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...