අඟුරුකාරමුල්ල පන්සලේ පුස්තකාලයේ සිට ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලය දක්වා

Share post:

මහාචාර්ය ලියනතේ අමරකීර්ති සිය පහන සහ කැඩපත කෘතියේ පරිච්ඡේදයක ආදර්ශ පාඨකයා , පරමාදර්ශී පාඨකයා සහ විශිෂ්ට පාඨකයා යන යෙදුම් භාවිත කරයි. ඔහු මෙම පාඨකයාගේ ප්‍රමුඛ ලක්ෂණයක් ලෙස දක්වා ඇත්තේ පොතක් පුබුදුවාලීමට (Blooming a book ) ඔහුට/ඇයට පවත්නා හැකියාවයි.එමෙන්ම “කියවනවා කියන්නෙ හැකිලිලා තියෙන පොතක් පිපෙන්නට සැලැස්වීමයි” යනුවෙන් ඔහු එය තවදුරටත් විස්තර කරයි.

අමරකීර්තිගෙ කෘතියේ මේ සඳහන මගේ මතකයට නැඟුණේ එරික් ඉලයප්ආරච්චිගෙ “මගේ පුස්තකාල ” පොතේ කිමිදෙමින් සිටියදීය. අඟුරුකාරමුල්ල පන්සලේ පුස්තකාලයෙන් ඇරඹි ඔහුගේ පාඨන වාරිකාව පාසල් , විශ්වවිද්‍යාල ,මහජන , පෞද්ගලික , තානාපති කාර්යාල මෙන්ම විදේශ රටවල විශිෂ්ට පුස්තකාල හරහා දිව යන අයුරු මෙ⁣ම කෘතියේ අන්තර්ගත වේ. ඇමරිකානු මධ්‍යස්ථානයේ ඇති කියවීමේ ජේත්තුකාර බවත් රිපබ්ලිකන් සහ ලිබරල් අලංකරණයත් පිටකවර නැරඹීමේ සතුටත් ඔහු අපට නිරාවරණය කරයි. එරික්ට අනුව සාපේක්ෂව අඩු පාඨක සංඛ්‍යාවක් සිටින ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන පුස්තකාලය “දාර්ශනිකයන් සිරගත කර තිබෙන සිපිරි ගෙයක් බඳුය. අපි ඉඳහිට ඔවුන් බැලීමට පැමිණෙන්නෝ වෙමු. ඒ සිරගෙදර ජේලර්වරයා ජර්මන් ජාතික පුස්තකාලයාධිපති වේ.”

හයිද්‍රාබාදයේ බෙල්ලා විස්ටා මාලිගයේ පුස්තකාලය පිළිබඳ සටහනද බෙහෙවින් සිත් ගනී.මෙහි පිහිටා ඇති පරිපාලන පුහුණු ආයතන පුස්තකාලය ගැන එරික් දරන අදහස අපට අතිශයින් වැදගත් වේ. “ඉන්දියාව කණපිට හැරවූ චින්තකයන්ගේ පොත්වලින් එහි රාක්ක පිරී ඇත. එය අපේ රටේ පරිපාලන ආයතනයක දැකිය නොහැකි පුස්තකාලයකි. කළමනාකරණ විද්‍යාවේ ව්‍යාපාරික මතවාදයට එම පුස්තකාලය ගොදුරු වී නැත.”සිතියම් සාප්පු සහ සිතියම් පුස්තකාල පිළිබඳ ස්වීඩන් අත්දැකීමද අපට නුහුරු ඉසව්වකි.එරික් පවසන පරිදි ස්වකීය පවුල් ඉතිහාසය සහ වංශාවලිය සොයායාමට නෝර්ඩික් ජනතාව සතු නොනිත් ආශාව ඊට හේතු වී තිබේ.එමෙන්ම ඔහු ඉරාකයේ බස්රා නගරය යුද්ධයෙන් විනාශ වීමට පෙර ,බලධාරීන්ගේ කිසිදු සහායකින් තොරව ස්වෝත්සාහයෙන් පුස්තකාලය ආරක්ෂිත තැනකට රැගෙන ගිය ආලියා මුහම්මද් බේකර් නම් පුස්තකාලයාධිපතිනියගේ කතාව ඇතුළත් The Librarian of Basra කෘතිය ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙන් කියවීමට ලැබුණු අයුරු ද සඳහන් කරයි.

යාපනය පුස්තකාලය ගිනි තැබීම මෙරට බුද්ධිමය සංස්කෘතියේ අවසානයේ ආරම්භය බව ඔහුගේ අදහසයි.එහෙයින් එම දිනය වාර්ෂිකව විනාඩියක නිහඬතාවයෙන් සිටීමට වඩා වැඩි දෙයකින් ස්මරණය කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
මෙම කෘතිය මෙරට පුස්තකාල වෘත්තිකයන්ගේත් පුස්තකාල විද්‍යා පාඨමාලා හදාරන්නන්ගේත් නොමද අවධානයට ලක් විය යුතු බව මගේ හැඟීමයි. මන්ද , ආදර්ශ /පරමාදර්ශී /විශිෂ්ට පාඨකයකු බිහි කිරීමේදී පුස්තකාලවල තීරණාත්මක භූමිකාව පිළිබඳ සජීවී නිදසුනක් මෙ⁣ම කෘතියේ ඉදිරිපත් කරන බැවිනි. පුස්තකාලය යනු තවදුරටත් භෞතික අවකාශයක්ද නැතහොත් අතථ්‍ය උතෝපියාවක්ද යන සංවාදය පැතිර යමින් පවත්නා මේ මොහොතේ එරික් මෙහි දක්වන පහත අදහස සමඟ මෙම සටහන නිමා කරමි.
“පුස්තකාලයකින් ලැබෙන සේවාවන් දෙකකි.එනම් , පොත් කියවීමේ වාසනාව උදාවීම හා පොත් නැරඹීමේ වාසනාව උදාවීමයි-

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...