මහාචාර්ය ලියනතේ අමරකීර්ති සිය පහන සහ කැඩපත කෘතියේ පරිච්ඡේදයක ආදර්ශ පාඨකයා , පරමාදර්ශී පාඨකයා සහ විශිෂ්ට පාඨකයා යන යෙදුම් භාවිත කරයි. ඔහු මෙම පාඨකයාගේ ප්‍රමුඛ ලක්ෂණයක් ලෙස දක්වා ඇත්තේ පොතක් පුබුදුවාලීමට (Blooming a book ) ඔහුට/ඇයට පවත්නා හැකියාවයි.එමෙන්ම “කියවනවා කියන්නෙ හැකිලිලා තියෙන පොතක් පිපෙන්නට සැලැස්වීමයි” යනුවෙන් ඔහු එය තවදුරටත් විස්තර කරයි.
අමරකීර්තිගෙ කෘතියේ මේ සඳහන මගේ මතකයට නැඟුණේ එරික් ඉලයප්ආරච්චිගෙ “මගේ පුස්තකාල ” පොතේ කිමිදෙමින් සිටියදීය. අඟුරුකාරමුල්ල පන්සලේ පුස්තකාලයෙන් ඇරඹි ඔහුගේ පාඨන වාරිකාව පාසල් , විශ්වවිද්‍යාල ,මහජන , පෞද්ගලික , තානාපති කාර්යාල මෙන්ම විදේශ රටවල විශිෂ්ට පුස්තකාල හරහා දිව යන අයුරු මෙම කෘතියේ අන්තර්ගත වේ. ඇමරිකානු මධ්‍යස්ථානයේ ඇති කියවීමේ ජේත්තුකාර බවත් රිපබ්ලිකන් සහ ලිබරල් අලංකරණයත් පිටකවර නැරඹීමේ සතුටත් ඔහු අපට නිරාවරණය කරයි. එරික්ට අනුව සාපේක්ෂව අඩු පාඨක සංඛ්‍යාවක් සිටින ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන පුස්තකාලය “දාර්ශනිකයන් සිරගත කර තිබෙන සිපිරි ගෙයක් බඳුය. අපි ඉඳහිට ඔවුන් බැලීමට පැමිණෙන්නෝ වෙමු. ඒ සිරගෙදර ජේලර්වරයා ජර්මන් ජාතික පුස්තකාලයාධිපති වේ.”
හයිද්‍රාබාදයේ බෙල්ලා විස්ටා මාලිගයේ පුස්තකාලය පිළිබඳ සටහනද බෙහෙවින් සිත් ගනී.මෙහි පිහිටා ඇති පරිපාලන පුහුණු ආයතන පුස්තකාලය ගැන එරික් දරන අදහස අපට අතිශයින් වැදගත් වේ. “ඉන්දියාව කණපිට හැරවූ චින්තකයන්ගේ පොත්වලින් එහි රාක්ක පිරී ඇත. එය අපේ රටේ පරිපාලන ආයතනයක දැකිය නොහැකි පුස්තකාලයකි. කළමනාකරණ විද්‍යාවේ ව්‍යාපාරික මතවාදයට එම පුස්තකාලය ගොදුරු වී නැත.”සිතියම් සාප්පු සහ සිතියම් පුස්තකාල පිළිබඳ ස්වීඩන් අත්දැකීමද අපට නුහුරු ඉසව්වකි.එරික් පවසන පරිදි ස්වකීය පවුල් ඉතිහාසය සහ වංශාවලිය සොයායාමට නෝර්ඩික් ජනතාව සතු නොනිත් ආශාව ඊට හේතු වී තිබේ.එමෙන්ම ඔහු ඉරාකයේ බස්රා නගරය යුද්ධයෙන් විනාශ වීමට පෙර ,බලධාරීන්ගේ කිසිදු සහායකින් තොරව ස්වෝත්සාහයෙන් පුස්තකාලය ආරක්ෂිත තැනකට රැගෙන ගිය ආලියා මුහම්මද් බේකර් නම් පුස්තකාලයාධිපතිනියගේ කතාව ඇතුළත් The Librarian of Basra කෘතිය ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙන් කියවීමට ලැබුණු අයුරු ද සඳහන් කරයි.
යාපනය පුස්තකාලය ගිනි තැබීම මෙරට බුද්ධිමය සංස්කෘතියේ අවසානයේ ආරම්භය බව ඔහුගේ අදහසයි.එහෙයින් එම දිනය වාර්ෂිකව විනාඩියක නිහඬතාවයෙන් සිටීමට වඩා වැඩි දෙයකින් ස්මරණය කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
මෙම කෘතිය මෙරට පුස්තකාල වෘත්තිකයන්ගේත් පුස්තකාල විද්‍යා පාඨමාලා හදාරන්නන්ගේත් නොමද අවධානයට ලක් විය යුතු බව මගේ හැඟීමයි. මන්ද , ආදර්ශ /පරමාදර්ශී /විශිෂ්ට පාඨකයකු බිහි කිරීමේදී පුස්තකාලවල තීරණාත්මක භූමිකාව පිළිබඳ සජීවී නිදසුනක් මෙම කෘතියේ ඉදිරිපත් කරන බැවිනි. පුස්තකාලය යනු තවදුරටත් භෞතික අවකාශයක්ද නැතහොත් අතථ්‍ය උතෝපියාවක්ද යන සංවාදය පැතිර යමින් පවත්නා මේ මොහොතේ එරික් මෙහි දක්වන පහත අදහස සමඟ මෙම සටහන නිමා කරමි.
“පුස්තකාලයකින් ලැබෙන සේවාවන් දෙකකි.එනම් , පොත් කියවීමේ වාසනාව උදාවීම හා පොත් නැරඹීමේ වාසනාව උදාවීමයි-