Home Blog Page 209

චීන ගනුදෙනුව නිසා යන්න බෑ කී බැසිල් ව අයින් කරන්න ගෝඨාභය මහින්දව පාවිච්චි කළා – Sunday Times

0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලය අක්‍රීය තත්ත්වයට පත්කිරීම නිසා එවකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ චීනය සමග සිදුකිරීමට ගිය දැවැන්ත ගනුදෙනුවක් වැළකී ගිය බව Sunday Times පුවත්පත සිය දේශපාලන විග්‍රහය මගින් අනාවරණය කරයි.

මෙම ගනුදෙනුව සාර්ථක වීමට ආසන්න තත්ත්වයේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරයෙන් ඉවත්වීමට දැනුම් දුන් බව ද එහි සඳහන් ය. එහෙත් බැසිල් රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කර තිබේ. එම නිසා ගෝඨාභය රාජපක්ෂ එවකට අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කොට ඔහු ඉවත් වීමට එකඟ කරගෙන ඇත.

අගමැතිවරයා ඉවත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය ස්වයංක්‍රීයව විසිරී යන නිසා බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරය ද අහිමි වූ බව එහි වැඩිදුරටත් සඳහන් ය.

දේශපාලන විශ්ලේෂකයන් විසින් පසුගිය වසරේ මුල් කාර්තුවේදී අවධාරණය කළේ ලංකාව බරපතළ ලෙස භූදේශපාලනික අරගලයකට හිරවීමට නියමිත බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමෙරිකාව සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වීමත්, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බහුතරය චීනය සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වීමත් ඊට හේතු වනු ඇතැයි ද සඳහන් කෙරිණි.  

ඔයාලට හිතෙන්නේ නැද්ද අපි ඉන්නේ මාරම මාරාන්තික වෙලාවක කියල?

0

ලංකාව තියෙන්නේ ගිණිගොඩක් උඩ. හැම පැත්තෙන්ම ගිණි ගන්නවා. කන්න බොන්න නැතුව, බේත් ටික නැතුව, බදු බරින් මිරිකිලා, අනාගතයක් නැතුව, රටේ ධනය හිඳිලා, කිසිම බලාපොරොත්තුවක් නැති මොහොතකට අපි ඇවිල්ල ඉන්නවා. ඒ අස්සේ සියල්ල අවදානමට දාල රටින් යන එවුන් අප්‍රමාණයි. තමන්ගේ විරෝධය හරි ප්‍රකාශ කරගන්න චන්දයක් දෙන්න නැතුව දේශපාලන පීඩනය අහස උසට. ඒ නිසා හැම තැනකම ගින්දර.

ඒ අස්සේ මොන ජනතා විරෝධය තිබ්බත් නිදහස් ආතල් එක ගත්ත. දැන් ජනරජ පෙරහැර ආතල් එක ගන්නවා. මිනිස්සු පෙරහැරක් පැත්ත බලන්නේ නැති වුණත් නිකම් මෝඩ ආතල් එකක් රටේ පාලකයා ගන්නවා.
ඒක කරන්නෙත් නිකම් නෙවෙයි. පරාණ බය නිසා දහස් ගණන් පොලිස් හමුදා ආරක්ෂාව දාගෙන. මේක රෝග ලක්ෂණයක් නෙවෙයි ද?

මොකක්ද මේකෙන් කියවෙන්නේ? ඓතිහාසික උදාහරණයක් ගත්තොත් මේකට තියෙන්නේ ‘රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා’ කියන එක (Niro fiddled while Rome burned). බර්නි සැන්ඩර්ස් කියන විදියට කිව්වොත් ‘ඇමෙරිකාව ගිණිගනිද්දී ට්‍රම්ප් ගොල්ෆ් ගැහුවා’ (Trump golfed while America burned).
ලංකාවේ නම් කියන්න වෙන්නේ ‘ලංකාව බංකොලොත් වෙද්දී රනිල් ජනරජ පෙරහැර ගියා වගේ’ කියල (Ranil paraded while Sri Lanka bankrupted).
නීරෝ බොහෝ විට එහෙම කළේ ආතතියෙන් බේරන්න වෙන්න ඇති කියල සමහර විචාරකයෝ කියනවා. ට්‍රම්ප් නම් හුදෙක්ම නොසැලකිල්ලෙන්. හැබැයි මෙයා නම් කරන්නේ නරුමත්වයෙන්.

එයා දන්නවා මේක ගිලෙනවා කියල. තමනුත් ඒ ගිළෙන නැව එක්ක ගිලෙනවා කියල. එයා නීරෝටත් වඩා නීරෝ කෙනෙක් වෙන්න අධිෂ්ටාන කරගෙන ඉන්නවා.

අවම වශයෙන් තියන සල්ලි ටිකෙන් වත් ප්‍රයෝජනවත් දෙයක්, මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කියල හිතන එක ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්නවා (disavowal). මේක තමයි මේ මිනිස්සුන්ගේ නග්න නරුමත්වය (cynicism).

අන්තිම පැයේ කොහොමත් මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම මරුවිකල්ලෙන්…?.

මහේෂ් හපුගොඩ

Facebook – Twitter – insta
වැඩක් කරන්න වෙන්නේ සල්ලි ගෙව්වොත් විතරයි !

0

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට blue tick verification ලබා ගැනීම සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවන බව එහි මව් සමාගම වන Meta නිවේදනය කරයි.

මින් පෙර එය නොමිලයේ ලබා දීමට එම සමාගම කටයුතු කළේය.

එම සමාගම නිවේදනය කරන ආකාරයට වෙබ් පරිශීලකයන් වෙනුවෙන් මාසයක් සඳහා ඩොලර් 11.99 (ආසන්න වශයෙන් රුපියල් 4,400ක්) සහ ඇපල් iphone පරිශීලකයන් වෙනුවෙන් මාසයක් සඳහා ඩොලර් 14.99 (ආසන්න වශයෙන් රුපියල් 5,500) මේ සඳහා ගෙවීමට සිදුවනු ඇත.

එය මේ සතියේ සිට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙය අනෙකුත් රටවලට ලබපාන්නේ කවදා සිටදැයි Meta ආයතනය තවම නිශ්චිතව සඳහන් කර නොමැත.

කෙසේවෙතත් එය ඉතා ඉක්මනින්ම සිදුවනු ඇතැයි මෙටා හි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත.

ඔහු පවසන්නේ මෙය සමාජ මාධ්‍ය ගිණුම් වල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට මෙන්ම සහ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් අවම කිරීමට ගත් පියවරක් බවයි.

මෙම blue tick ලබා ගන්නා පරිශීලකයින්ට ඔවුන්ගේ Facebook සහ Instagram සටහන්, ඡායාරූප වඩා වැඩි දෙනෙකුට පෙනෙන ආකාරයට Reach වනු ඇති අතර ගිණුම් වල සුරක්ෂිතතාවය වැඩි ඉඩක් ලැබෙනු ඇ.ත.

මෙම ගෙවීම් මීට පෙර blue tick ලබාගත් ගිණුම්වලට බලනොපාන බවද මාර්ක් පවසා තිබේ.

එමෙන්ම Twitter හි හිමිකරු වන Elon Musk විසින් 2022 නොවැම්බර් මාසයේදී Twitter blue tick verification ලබා දීම සඳහා මෙම පියවර ක්‍රියාත්මක කළේය.

Reddit සහ Discord වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි ද මෙවැනිම විවිධ ක්‍රමවේද භාවිතා කර තිබේ.

මේ අතර Twitter සමාගම විසින් Twitter ගිණුම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ගිණුම් ආරක්ෂක ක්‍රමවේදයක් වන, SMS two-factor authentication භාවිතා කළ හැක්කේ මුදල් ගෙවන පරිශීලකයින් හට පමණි.

එළඹෙන මාර්තු 20 න් පසු, මුදල් ගෙවා Twitter blue tick සලකුණ ලබාගත් පරිශීලකයින්ට පමණක් මෙම ආරක්ෂක ක්‍රමවේදය භාවිතා කළ හැක.

සයිබර් අවකාශය සුන්දර තැනක් කිරීම නාමල් හම්බන්තොටින් අරඹයි !

0

සයිබර් අවකාශය පීරී ඇත්තේ බොරු ප්‍රවෘත්ති, පෞද්ගලිකත්වයට හානි කරන මැද සහ ක්‍රෝධය පිරි කාරණාවලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

එය වෙනස් කර සයිබර් අවකාශය සුන්දර තැනක් බවට පත්කළ යුතු යැයි ද ඔහු සඳහන් කර සිටී.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ Cyber Leaders වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඩිජිටල් ව්‍යවසායකයන් සහ ගෞරවාන්විත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිර්මාණය කළ යුතු බවයි.

ඊයේ (19) ආරම්භ කළ මෙම වැඩසටහනට කොළඹ මහා නගර සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකවරයෙකු වූ එරන්ද ගිනිගේ ද සහභාගි වූහ.

ඡන්දය කල් දාන පෙත්සම සලකා බලන්න කලබලයක් නෑ – කර්නල් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි : ප්‍රතිඥාව කැඩුණු හැටි කියන්න කොමිසමෙන් මෝසමක් !

0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ඉල්ලමින් යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ගොනු කර තිබූ පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලීම අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරුන් විසින් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම 23දා කැඳවීමට නියමිත ව තිබිණි. එහෙත් මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ 22දා ය. එම් නිසා පෙත්සම අදාළ දිනට පෙර සලකා බලන ලෙස පෙත්සම්කරුගේ පාර්ශ්වයෙන් මෝසමක් ඉදිරිපත් කෙරිණි. එය සලකා බැලීම සඳහා අද කැඳවන ලදි.

තැපැල් ඡන්දය කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති නිසා මෝසම අනවශ්‍ය බව ද නීතිඥවරු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති, එහි සාමාජිකයන් ඇතුළු නවදෙනෙකි. එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න ඇතුළු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවේ.

මේ අතර මැතිරණය පැවැත්වීමට ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මගින් අද (20) පස්වරුවේ හෝ හෙට (21) උදෑසන මෝසමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත ය. මීට පෙර මැතිවරණය පවත්වන බවට කොමිසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා ලබා දී තිබිණි.

එහෙත් රජයේ මුද්‍රණාලය මගින් නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කොට බාරනොදීම, අනෙකුත් මැතිවරණ වියදම් සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දීම ඇතුළු හේතු නිසා මැතිවරණ රාජකාරි තාවකාලිකව අත්හිටුවන බවට කොමිසමෙන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට ලිඛිත ව දන්වනු ලැබිණි.   

සරමාගෝ සහ ඥානවන්තම මිනිසා

0

“මගේ මුළු ජීවිත කාලයේදීම මා දැනසිටි ඥානවන්තම මිනිසා කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත. හිමිදිරි පාන්දර හතරට පමණ, ප්‍රංශ භූමියට ඉහළින් නව දවසක උදාව එකෙල මෙකෙල වෙමින් තිබෙන මොහොතේ, ඔහු වැතිර සිටි පිදුරු මෙට්ටයෙන් ඈත් වී, දුසිම් භාගයක් වූ ඌරු රංචුව ඔහු තණ පිට්ටනියට රැගෙන යයි. තම බිරිඳ සමඟ ඔහු බඩ වියත රැක ගන්නේ ඒ ඌරු රැළ විසින් උපද්දන පැටවුන් මඟිනි.“

ජොසේ සරමාගෝගේ නොබෙල් දේශනයෙන් – (පරිවර්තනය සුභාෂිණි චතුරිකා)

1998 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකරගනිමින් ජොසේ සරමාගේ තම නොබෙල් දේශනය අරඹන්නේ එලෙසින්. සරමාගෝගේ ආරම්භක වැකිය, “මගේ මුළු ජීවිත කාලයේදීම මා දැනසිටි ඥානවන්තම මිනිසා කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත,“ යන්න බුද්ධිමත්භාවය පිළිබඳ එක්තරා සංකේතයකි. සැබෑව නම් අප දැනුම ලෙස අද හඳුනාගන්නා බහුතරය මේ ලෝකයේ අපට ජීවත් වීමට අවශ්‍ය දේවල් නොවේ. ඒවා අපිට අවශ්‍ය වන්නේ රැකියාවක් කරමින් මේ පද්ධතියේ සේවකයෙකු වීමට මිස මේ ලෝකය තේරුම් ගන්නට හෝ අපේ ජීවිතය වටහා ගන්නට නොවේ. සරමාගෝ පවසන මේ වැකියෙහි එන ඔහු, සරමාගෝ සීයාය. ඌරු කොටුවක් බලාගනිමින් ජීවත් වන වයසක මිනිසෙකු සරමාගෝ තම ජීවිත කාලයෙහිම දැන සිටි ඥානවන්තම මිනිසා වන්නේ කෙසේද?

නොබෙල් දේශනයේ එක් තැනක ඔහු මෙසේ දක්වයි.

“සමහර ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම් රාත්‍රීන්වල කෑම ගැනීමෙන් පසු මගේ සීයා මට මෙසේ කියයි.

ජොසේ අද අපි දෙන්නා නිදා ගන්න යන්නේ අත්තික්කා ගහ යට.“

රාත්‍රී කාලයේ සාමකාමී බව අතරේ, ගසේ උසැති අතු අතරින් තරුවක් මා ඉදිරියේ දිස් වී, අනතුරුව මා වෙනතක දෑස් යොමන අතර වාරේ, හිස් අහස් ගැඹරේ නිහඬව ගලා යන ගංගාවක් ලෙස මා දෑස් මානයේ මතුවන්නේ සුදීප්තිමත් ක්ෂීරපථයේ දසුනයි. ගම්මානයේ අපි දැනුදු එය හඳුන්වන්නේ සන්තියාගෝවලට යන පාර යනුවෙනි.“

සරමාගෝගේ මේ වචන තුළ ලේඛකයෙකු ගොඩනැගීම සහ ඔහුගේ පරිකල්පනය තීව්‍ර වීම අපූරුවට දකින්නට ලැබෙනවා.
“ගම්මානයේ අපි දැනුදු එය හඳුන්වන්නේ සන්තියාගෝවලට යන පාර යනුවෙනි.“

ක්ෂීර පථය මෙලෙස නම්කිරීමම මායාමය ලක්ෂණයකි. සරමාගෝ එතැන් සිට සිය දේශනය පුරාම පවසන්නේ අර අත්තික්කා ගහ යට සිට කියූ කතන්දරය. පුරාවෘත, මැරයන්, මළවුන්, ආදී දේවල් හරහා ඔහුගේ ලේඛනය නිර්මාණය වූ හැටියි. මේ සියල්ල හරහාම අපට පෙනෙන්නේ ඥානවන්තව වීම සහ දැනුම අතර පවතින වෙනසයි. එමෙන්ම කතන්දර තුළින් ඥානවන්ත භාවය වර්ධනය වෙන ආකාරයයි. ඔබ මේ දේශනය සම්පූර්ණයෙන්ම කියවන්නේ නම් ඔබට මේ කාරණය ඉතාම මැනවින් අවබෝධ වනු ඇත. ඔබේ දරුවා ඥානවන්තයෙකු කිරීමට නම් හැකි තරම් සුරංගනා කතන්දර කියාදෙන්න කියලා අයින්ස්ටයින් කළ ප්‍රකාශය ද නැවත සරමාගෝගේ නොබෙල් දේශනය හරහා කියවන්නට පුළුවන.

සරමාගෝගේ වැකි කිහිපයකින් මේ සටහන නිමා කරන්නම්. ඒ ගැන ඔබ නිවී සැනසිල්ලේ සිතා බලන්න.

“ඇය නිවෙසක දොර අසල වඩාගෙන සිටියේ මේ මුළු ලෝකයේම මට පරිකල්පනය කළ හැකි කිසිවෙකු ලෙස නොවෙයි, මන්දයත් ඒ නිවෙස තුළ ජීවත් වූයේ, තම දරුවන් මෙන් ඌරු පැටවුන්ව තම ඇඳේ තබාගෙන නිදා ගත හැකි වූ මානවයන් ය, ඔවුහු මේ ලෝකය සුන්දර නිසා ජීවිතයෙන් සමුගෙන යෑම පිළිබඳ දුකින් තැවෙති. එසේම මේ ජෙරනිමෝ, මගේ සීයා, ඌරන් බලාගන්නා සහ කතා කියන්නා, තමන් මරණය අසලට පැමිණ ඇති බව දැන, ගෙවත්තේ ඇති ගස් එකිනෙක වෙත ගොස් ඒවා වැළඳ ගනිමින්ද, හඬමින් ද සමුදුන්නේ ඔහු ඒවා නැවත නොදකින බව තේරුම් ගෙන තිබූ නිසා ය.“

උපුටා ගැනීම් – සුභාෂිණී චතුරිකා පරිවර්තනය කළ සරමාගෝ ගේ පියැසි කවුළුව පොතෙහි එන සරමාගෝගේ නොබෙල් දේශනයෙන්.

රශ්මික මණ්ඩාවල

අන්තවාදී ව්‍යාපෘතියක ගොදුරක් වූ අහ්නාෆ්ට එරෙහිව සාක්ෂි සකස් කළ බව අධිකරණයේදී හෙළි වෙයි !  

0

සාහිත්‍ය කෘති මගින් මුස්ලිම් අන්තවාදයට අහාර සහ අනුබල දුන් බවටත්, ගුරුවරයෙකු ලෙස සිසුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමටත් කටයුතු කළ බවට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් අහ්නාෆ් ජාසිම් කවියා, එවැනි කිසිදු ඉගැන්වීමක් නොකළ බව නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂිකරුවෙකු විවෘත අධිකරණයේදී සඳහන් කර තිබේ.

පසුගිය 17දා මෙම නඩුව පුත්තලම මහාධිකරණයේදී කැඳවිණි. එහිදී රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් වූයේ පුත්තලම අන්තර්ජාතික පාසලක අහ්නාෆ් ජාසිම්ගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකු සහ එහි විදුහල්පතිවරයා ය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කරන ලද තමන්ගේ කටඋත්තර අසත්‍ය බව ද මෙම ශිෂ්‍යයා එහිදී සඳහන් කර තිබේ.

අහ්නාෆ් ජාසිම් අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කිරීමක් නොකළ බව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ සාක්ෂිකරු මෙහිදී පවසා ඇත. එසේ ම විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ කටඋත්තරය නැවත කියවා පැහැදිලි නොකළ බවයි.

2019 වසරේදී මෙම ප්‍රකාශ ලබාගන්නා විට ඔහු පාසල් ශිෂ්‍යයෙකු වූ අතර, මේ වන විට ඔහු වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වැඩිහිටියෙකි.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් මෙහිදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර පෙනී සිට ඇති අතර, විත්තිකරුගේ පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රුෂ්ඩි හබීබ් පෙනීසිටින ලදි. මාර්තු 23දා යළිත් මෙම නඩුව කැඳවීමට නියමිත ය.

සාහිත්‍ය කෘති මගින් මුස්ලිම් අන්තවාදයට ආධාර සහ අනුබල දුන් බවටත්, ළමුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවටත් චෝදනා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අහ්නාෆ් ජාසිම් අත්අඩංගුවට ගැනිණි. ඒ, 2021 මැයි 16දා සිලාවතුරේ පිහිටි ඔහුගේ නිවසේදී ය. ඉන්පසු 2022 මැයි 12දා දක්වා ඔහු රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනිණි.

පාසල් කාලයේ සිට ම කවි සහ කෙටිකතා රචකයෙකු වූ අහ්නාෆ් ජාසිම්,තාම කවි තරගවලට ඉදිරිපත් කර සම්මාන පවා ලබා ඇති බව ඔහුට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් ය. ඔහු සීය කලාත්මක කෘති මගින් ප්‍රචණ්ඩත්වයට සහයෝගය දැක්වීම හෝ උසිගැන්වීම හෝ මුස්ලිම් ප්‍රජාවේ කොටස් තුළ අන්තවාදය, වර්ගවාදය ප්‍රවර්ධනය කර නැති බවත්, ඔහු රචනා කර ඇත්තේ ඊට එරෙහිව බවත් එම පෙත්සමේ වැඩිදුරටත් ඇතුළත් වේ.

සේව් ද පර්ල් නම් ආයතනයට අයත් බව කියන පුත්තලමේ ස්ථානයක තිබී ‘නවරසම්’ නම් කවි පොතේ පිටපත් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබුණු අතර, එම කවි පොතේ රචකයා වූයේ අහ්නාෆ් ජාසිම් ය. එය අන්තවාදය පතුරුවන පොතක් බව කියමින් ඔහු අත්අඩංගුවට ගැනිණි.

එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් විසින් කරුණු සහිතව අවධාරණය කර තිබිණි. පසුව නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි ලබාදෙන ලෙස ඔහුට පොලිසිය පාර්ශ්වයෙන් බලපෑම් කළ බව පැවසිණි. ඔහු රඳවාගෙන සිටියදී මීයෙකු සපාකෑම නිසා ප්‍රතිකාර ගැනීමට සිදු වූ බව ඔහුගේ ඥාතීන් මාධ්‍යයට පවසා තිබිණි. අහ්නාෆ් ජාසිම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද විමර්ශනයක් සිදු කෙරිණි.

මගහම සේකරගේ කවීත්වයේ අග්‍රඵලය ‘ප්‍රබුද්ධ’ කාව්‍යය ද ?

0

ගෙවීගිය විසිවැනි සියවසේ මෙරට දිවිගෙවන ලද අද්විතීය කලාකරුවකු වූ මහගම සේකර විසින් රචිත “ප්‍රබුද්ධ” කාව්‍යය මෙරට නිසඳැස් කවිය ( Free Verse ) හා එහි ඉතිහාසය විමර්ශනය කර බලන කල්හි අපට හමුවන ඉතා විශිෂ්ට කාව්‍යය නිර්මාණයක් වන්නේ ය. ඒ පිළිබඳව කෙරෙන තූලනාත්මක විවරණයකි මේ …. !!

කවියාගේ වතගොත කෙබඳුද ?

1929 අප්‍රියෙල් මස 27 වැනි දින සියනෑ කෝරළයේ රදාවාන ග්‍රාමයේ දී මෙලොව එළිය ලැබ, කිරිඳිවැල රජයේ මිශ්‍ර පාඨමාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ මහගම සේකර තම උසස් අධ්‍යාපනය නිමා කරන ලද්දේ සිංහල ගුරුවරුන් සදහා වූ චිත්‍රකර්ම චිභාගයෙන් සමත් වීමෙනි.ඉක්බිතිව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබ, පුහුණු ගුරුවරයෙකු වශයෙන් තම වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු රජයේ භාෂාව දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු, ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයකු, රජයේ ලලිත කලා ආයතනයේ විද්‍යාලයේ විදුහල්පතිවරයකු හා අධ්‍යාපනය අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපනය අංගයේ අධ්‍යාපන නිලධාරියකු වශයෙන් ද සේවය කරන ලදි.

ඉතා දුර්ලභගණයේ ප්‍රතිභාවකින් හෙබි සේකර නවකතාවකරුවකු, කෙටිකතාවකරුවකු, කවියකු, ගේයපද රචකයකු, ළමා කතාරචකයකු , නාට්‍ය රචකයකු, පරිවර්තකයකු, ශාස්ත්‍රීය පර්යේෂකයකු , චිත්‍රශිල්පියකු, කංචුක නිර්මාණශිල්පියකු හා සිනමාකරුවකු ද වූයේය.

අද්විතීය නිර්මාණශීලී ලේඛකයකු වශයෙන් සේකරගේ අභිෂ්ට කලා පරිචිත බවට පත්වූයේ කවිය හා ගීතය බව පෙනේ. මෙම උභය කෂේත්‍ර යුගල අරබයා ඔහු විසින් දක්වන ලද අපූර්ව ප්‍රතිභාව, අප්‍රමේය කවීත්වය හා රචනා චාතුර්යය තත් ක්ෂේත්‍රයන්හි චිරස්ථිතිය උදෙසා මහා ප්‍රදර්ශනාගාරයක් වූ බව අවිවාදිතය.

මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත්වූ සේකරගේ කෘතීන් පිළිවෙලින් මෙසේ ය.

ධවල සේනාංකයක -1956.යන පරිවර්තනය කෘතිය ද ,පුංචි අපට කයිකතන්දර -1958, සරු පොළොවක් අපට ඇතේ – 1973, කොටි වලිගය-1990 යන ළමා කෘතීන් ද ව්‍යංගා ( කේ. ජයතිලක මහතා සමග ) – 1960, සක්වාලිහිණි – 1962, හෙට ඉරක් පායයි-1963, මක්නිසාදයත්- 1964, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත-1967, බෝඩිම -1970, නොමියෙමි -1973 , ප්‍රබුද්ධ – 1977 යන කාව්‍යය සංග්‍රහයන් ද සත්දන්ත සහ තවත් නාටක -1961, මුහුදු පුත්තු ( ගුණසේන ගලප්පත්ති මහතා සමග ) – 1964, හංස ගීතය සහ වෙනත් නිර්මාණය -1985 යන නාට්‍ය කෘතීන් ද තුංමංහංදිය -1967, මනෝමන්දිර -1971 යන නවකතා ද මහගම සේකරගේ ගීත -1972, මහගම සේකරගේ නොපළ ගීත -1984 යන ගීත සංග්‍රහයන් ද මහගම සේකරගේ කෙටිකතාව හා චිත්‍ර -1981, පීතර සහ තවත් කෙටිකතාව – 2007 යන කෙටිකතාව සංග්‍රහයන් ද තුංමංහංදිය තිර රචනය -1997 යන සිනමා තිර රචනය ද .සිංහල ගද්‍ය පදය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ-2001 යන තම ආචාර්ය උපාධිය නිබන්ධනය ද වේ.
වෙසෙසින්ම සිංහල සාහිත්‍යයේ නව මංපෙත් සොයා අතිදුෂ්කර ව්‍යායාමයක යෙදුණු සේකර බෞද්ධ දර්ශනයේ කියැවෙන මරණීය ධර්මතාවය ලොවට පසක් කර දෙමින් 1976 ජනවාරි 14 වැනි දින හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් සදහටම තම දෙනෙත් පියා ගත්තේ.ය.

සැබවින්ම ප්‍රබුද්ධ කාව්‍යය කියවීමකට ලක් කළ කාව්‍යයක් ද ?

සේකරගේ කාව්‍යය අඛයාන අතර විශිෂ්ටතම කෘතිය වශයෙන් එදා මෙදාතුර පාඨක – විචාරක යන මේ දෙපාර්ශවයේම මහත් වූ සම්භාවනාවට පාත්‍ර වන්නේ … “ප්‍රබුද්ධ” ය. ඔහුගේ පරිපාකයට පත් වූ චින්තනය මැනවින් පිලිබිඹු වන මෙමගින් ජීවිතය පිළිබඳ ගැඹුරු විවරණයක් හා බෞද්ධ දර්ශනයෙන් පෝෂිත සමාජ, ආර්ථික,දේශපාලන දෘෂ්ටියක් ද මැනවින් උද්දීපනය කරයි. මෙයට කදිම උදාහරණයකි …

නාවර පෙරෙන හොටු
ඇඳ නෙක වැරහැලි. කිලුටු
කැහැටු දරුවෝ සිටිත්
මුඩුක්කු දොරකඩට විත්
පයිප්පයෙන් උනන මලකඩ වතුර
ගලා යයි තෙමා ගෙන මහ පාර
ටිං කබල්- හෙළු ළමයි – රානි සබන් කැට
නාන – ඇග හෝදන
තරබාරු ඇඟපත උලන
ගෑණුන්ගේ පිරිමින්ගේ රළු කැහි
ඉලිප්පී යයි සුදට
ඝනකමට දියපාර මතුපිටින්,
පාරට විසි කළ
කෙසෙල් ලෙලි හා මාළු කොරපොතු
ඉඳුල් බත් උළු කැලි කසල
තෙමී පෙගී දියෙන්
නගයි අප්පිරියාවක් …

( ප්‍රබුද්ධ – 37වැනි පිටුව )

දේශපාලනයෙන් ඔද්දල් වී ගිය සමාජයක රජයන සමාජය අසාධාරණය දැඩි ලෙස විවේචනය කරන සේකර භෞතික වශයෙන් මිනිසා ලබන විමුක්තිය ද සැබෑ විමුක්තියක් ලෙස නොසලකයි.
බතික් වතක් ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
සංසාරේ නිරන්තරව තැවරී ඇති
දුක එතැනින් නිමා වේද ?

( ප්‍රබුද්ධ – 88 වැනි පිටුව )

භෞතික වශයෙන් සමෘද්ධිමත් වුවද මේ ජීවන ගමන් මගෙහි මිනිසා පසුපස හඹා එන අපමණ දුක්බදෝමනස්සයන් ද එතුළින් ඇතිවෙන්නා වූ අසහනය කවියා දකින්නේ මෙපරිද්දෙනි. බෞද්ධ දර්ශනය ට අනුව තම ජීවිතාවබෝධය මුවහත් කර ගන්නා කවියා එය ගෙන හැර දක්වන්නේ පොදු දහමක් ලෙසිනි.

මා ගිය හොත්
අඹු දරුවන් කුලී ගෙයක අනාථ වෙති.
දරැවෝ දණ ගානා නො දරැවෝය.
උන්ට බොන්නට ටින් කිරි පිටි සොයා දෙන්ඩ
ලෙඩට දුකට වඩාන දොස්තර ගෙදරට යන්ඩ
මා නැති නම් කෙනෙක් නැතිය.
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහා මබලා හිඳිති උන් හැම දෙන…

( ප්‍රබුද්ධ – 34 වැනි පිටුව )

සමකාලීන සමාජ සංසිද්ධීන් ඉතා සංවේදීව සංජානනය කරන කවියා ලෞකික මනුෂ්‍ය ජීවිතයේ යථාස්වභාවය මැනවින් ගවේෂනය.කර දක්වන්නේ මෙලෙසිනි.

නො කා නො බී වෙහෙස ව දන එක් රැස් කර
මන්දිර ගොඩ නගනා දහසක් දන
ඉන් පසු පෙනුණේ ය ඔහුට.
නො කා නො බී වෙහෙස ව දන එක් රැස් කර
මන්දිර තුළ ගොඩ ගසනා දහසක් දෙන
ඉන් පසු පෙනුණේ ය ඔහුට.
ලබනුව තව තව බලතල නිල තනතුරු,
තරගයකට පොර බදිනා දහසක් දෙන
ඉන් පසු පෙනුණේ ය ඔහුට.
මෙතෙක් තමා අවට ම සිටි ඒ හැම දෙන මේ දැන් පෙනුණේ ය ඔහුට.

( ප්‍රබුද්ධ – 8 වැනි පිටුව )

සේකර ප්‍රබුද්ධ කාව්‍ය තුළින් “විෂම ලෝකය” වශයෙන් අදහස් කරන්නේ සමාජයේ ඇති නැති පරතරය නොඑසේනම් පන්ති පරතරය හෝ ආර්ථික විෂමතාවය හෝ නොවේ.ඉන් ඔබ්බට ගියා වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයෙන් ( A Great Buddhist Philosophy ) නිරූපිත ආධ්‍යාත්මික විෂමතාවයකි.එබැවින් ඔහුගේ ජීවන දෘෂ්ටිය ලෞකික සීමා මායිම් වලින් ඔබ්බට ගියා වූ උත්තරීතර මානවීය එකකැයි අපට හැගේ.ලෞකික සැප සම්පත් පරිභෝජනයෙන් සන්තෘප්ත නොවන මිනිසා නිරතුරුව මහත් වූ මානසික අසහනයෙන් හා අසන්තුෂ්ටියෙන් කල් ගෙවයි. සේකර එය ගෙන හැර දක්වන්නේ මෙලෙසිනි.

ගැලී මහා මෝහයෙනි
සංසාරයේ ඇවිදිනා මම
හටගත් වෛරෝචනයන් විසින්
ධම්මධාතු ප්‍රඥවේ
ප්‍රභාමත් ආලෝකය පථය වෙත
යොමු කරනු ලබම්වා
භයංකර ගන්ධබ්බ අවධියෙන් මම
නිරුපද්‍රිතව එතෙර කරනු ලබම්වා
සර්වතෝභද්‍ර වූ බුද්ධ භාවයෙහි මම
පිහිටවනු ලබම්වා .!

( ප්‍රබුද්ධ 23 වැනි පිටුව )

සැබැවින්ම කවියා පතන්නේ උත්තරීතර ආධ්‍යාත්මික තත්වයකි. එම උත්තරීතර ආධ්‍යාත්මික තත්වයට ළගා වනු පිණිස ලෞකික ජීවිතය හා බැදී පවතින සියලුම බැදීම් හා භෞතික සැපසම්පත්තියෙන් මිදිය යුතුය.
ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයට අනුව ලොව ඉහළම දියුණුව වනුයේ ආධ්‍යාත්මික දියුණුවයි.එසේම ලෞකික දියුණුවේ ඉහළම අගය වනුයේ ආධ්‍යාත්මික දියුණුවේ අන්ත පිරිහීමයි. මිනිසා තාවකාලිකව ලෞකික සැප සම්පත් වලින් තෘප්තිමත් වුවද එය ගලා හැලෙන දිය ඇල්ලකින් මතු වන පෙන පිඩුවක් සේ ඉතා තාවකාලික තෘප්තියක් බව කවියා කල්පනා කරයි.

නො දත්තෙමි මම එකල
අම්මේ, ඔබ වත කැඩපතක් බව
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නොදුටුවෙමි කිසි විටෙක සතුටක්
නොදුටුවෙමි කිසි විටෙක දුකකුත්
ඉවසා තම සිතින් සැම සැප දුක්
ලැබුවාද ඔබ සිතෙහි සාමයක්
ඉපයූවෙමි මම මුදල්
ඉපයූවෙමි කිතු යසස්
විය මන්දිරය යාන වාහන
එහෙත් ඒ කිසිවකිනුත්
නොලදිමි සිත් සැනසුමක්
වටහා ගෙන සිටියා ද ඔබ ඒ සත්‍යය
නොලබාම ඔබ ඒ කිසිවක් ?

( ප්‍රබුද්ධ – 28 වැනි පිටුව )

ඉහත සඳහන් කාරණාව ශ්‍රී සිද්ධාර්ථ චරිතය උදාහරණය කොට ගනිමින් තවදුරටත් මෙසේ විග්‍රහ කරන කවියා …

එක් කලෙක මට තිබුණා සැප සම්පත්
මටත් වඩා ඔබට …
ලැබුණා ද ඔබට ඉන් සැනසීමක් ?
ඒ නිසා ම නේද
යසෝ දා !
ඔබ අද මේ සත්‍ය සොයා යන්නේ ?
කෑමෙන් බීමෙන්
ඇදුමෙන්
ගෙයින් දොරින්
යස ඉසුරෙන්
තෘප්තිමත් වූ පසුව පමණයි පසක් වනුයේ
සෑබෑ තෘප්තිය එය නො වන බව,
එයින් දුක කෙළවර නො වන බව,
සැබෑ තෘප්තිය සොයා යාමේ
පරම සත්‍යය සොයා යාමේ
පළමු පියවර එය ය;
ඔබ තැබුවේ ඒ පියවර;
මා තැබුවේ ඒ පියවර;
සිද්ධාර්ථ තැබුවෙත් ඒ පියවර ම ය.

( ප්‍රබුද්ධ – 98/99 වැනි පිටු )

කවියා ඉහළ පැලැන්තියේ කාමභෝගී ජීවිතය දුරාචාරයක් ලෙස දුටුවේ මෙලෙසිනි.

රත් දෙතොල් අතරෙහි
පිරී තිබුනේ අමන රාගය,
අදුන් ගෑ නෙත් කොන්වල
රැදී තිබුනේ ඊර්ෂ්‍යාවය..
සතුටු සාමිච් පිළිසදර තුළ
කැපී පෙනුණේ වෛරයක් ම ය.
ප්‍රබුද්ධ !
හිස් ය මේ ජීවිතය
බොල් ය මේ ජීවිතය
බලව !
රන් දුහුල් යට
සුවඳ විලවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම.

( ප්‍රබුද්ධ – 15 වැනි පිටුව )

මෙපරිදි මුලුමහත් සමාජ ක්‍රමයම කවියා දැඩි ලෙස විවේචනය කර ඇත. කවියා සුන්දර යැයි කියන හැම දෙයක ම ඇති අසුන්දරත්වය ( අසම්පූර්ණත්වය ) දැඩි ලෙස අවධානය කරන ඔහු ප්‍රකෘතිය දැකීමත් එය නිසි පරිදි අවබෝධ කර ගැනීමත් සත්‍ය ගවේෂණයක් වශයෙන් සලකයි.

තවත් ආකාරයකින් ප්‍රබුද්ධ සමකාලීන සමාජයේ ආධ්‍යාත්මික පීඩනය වස්තු විෂය කොටගෙන රචනා වූවක් බව පෙනේ. එහි ප්‍රධාන චරිතය ප්‍රබුද්ධය .

මෙමගින් කවියා පුද්ගය යථාර්තය හා බද්ධ කොට ගනිමින් සමාජ යථාර්තය විචිත්‍රණය කිරීමේ කාර්යයක නිරත වන බව පෙනේ. ධනේශ්වර සමාජ ක්‍රමය තුළින් නිර්මිත සමාජ බලවේග හමුවේ මනුෂ්‍යත්වයට අයත්වන කටුක ඉරණම හා පවත්නා සමාජයට එරෙහිව සිදුවන නැඟිටීම ද ඒ ඇසුරෙන් මතුයම් දිනෙක බිහිවෙතැයි ප්‍රාර්ථිත නව සමාජය පිළිබඳ අපේක්ෂාවන් දැල්වුණු මනුෂ්‍ය ජීවිතය පිළිබඳව පූර්ණ විචිත්‍රණයක් වශයෙන් ද ප්‍රබුද්ධ කාව්‍යය හැදින්වීම යුක්ති යුක්ත වන්නේ ය.

ප්‍රබුද්ධ කාව්‍යය පුරාම පැතිරගත් ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයේ පසුතලය හා විචාර චින්තාවලිය ද අපගේ විශේෂ අවධානයට ලක්විය යුත්තේ ය. තවත් ආකාරයකින් දක්වන්නේ නම් ප්‍රබුද්ධ කාව්‍යය වූ කලී බෞද්ධ දර්ශනයේ ප්‍රතිකථනයක් නොව එහි සාරාර්ථය ප්‍රත්‍යක්ෂ කොට ගනිමින් නිර්මිත විශිෂ්ට පරිකල්පනයකින් ද රමණීයත්වයකින් ද සමන්විත උපලක්ෂිත අර්ථ විභාවනයක් වන්නේ ය.

චිරන්තන කවිය,ජනකවිය හා බටහිර කවියෙනුත් ආලෝකය ලැබ නිසදැස් ආකෘතිය ඔස්සේ ගිය සේකරගේ ගවේෂනකාමි විමංසනාක්ෂිය ප්‍රබුද්ධ කාව්‍යය අඛයානය තුළින් මැනවින් පිළිඹිබු වේ.එපමණක්ද නොව, බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික දියුණුවෙන් ලද ඥානයෙන් හා පරිණත කවීත්වයෙන් පරිපුන් ඔහුගේ අග්‍රගන්‍ය කාව්‍යය අඛයානය වනුයේ ප්‍රබුද්ධ ය.

ඔවුහු මෙසේ කියති —

“ප්‍රබුද්ධ කාව්‍යය සේවනය” යන නමින් මාහැගි කෘතිය රචනා කරන ලද ඉතිහාසය විෂයය පිළිබදව හිටපු මහාචාර්යවරයකු වූ මැන්දිස් රෝහණධීර මහතා මෙසේ කියයි.

“මහගම සේකරගේ කවීත්වය ප්‍රකාශයට පත් වන්නේ එහෙන් මෙහෙන් හමන සුළං නිසා නොසැලෙන සුලු ජීවන දර්ශනයක් හෙළි කරමින් බව ඔහුගේ අවසාන කෘතිය වන ප්‍රබුද්ධ කියවන විට දැනී යයි. රචනයට ප්‍රබුද්ධ යන නම යෙදීමෙන්ම එය පැහැදිලි වෙයි. මෙම කෘතියෙහි ඔහු බැස ගන්නා ඇතැම් නිගමනයන්ට හා ඉදිරිපත් කරන ඇතැම් නිර්දය විවේචනයන්ට අවශ්‍ය පදනම ඔහුලබා ගෙන ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ලත් තම ජීවන දර්ශනයේ පරිපාකයෙනැයි කියන්නට පුළුවන. “

( 22 වැනි පිටුව )

…. මහගමගේ ප්‍රබුද්ධ කියූ මට ප්‍රමුඛව ප්‍රබලව සිතට නැගුනේ බෞද්ධ අදහස් නිවැරදිව වටහාගෙන බෞද්ධ ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීමෙන් ලොවට ලබා දිය හැකි සෙත් ශාන්තිය පිළිබඳ කිසිදු සැකයක් සිතෙහි නොමැතිව කවියා තම අදහස් මාලාව ගොතන බවයි ………

( 23 වැනි පිටුව )

ප්‍රබුද්ධ කාව්‍යය වෙනුවෙන් මාහැගි පෙරවදනක් සපයන බෞද්ධ දර්ශනය පිළිබඳව හිටපු මාහාචාර්යවරයකු වූ ජෝතිය වීරසේකර මහතා මෙසේ සදහන් කරයි.

“මහගම සේකර මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කතාව අනාවරණය කරන අතර තමා අගය කොට සලකන පුරුෂාර්ථද එය තුළින් උද්දීපනය කරයි. ඒවා පෞද්ගලික අනුභූතියක ප්‍රතිථලයක් නොවේ නම් ස්ථිර අවබෝධයකින් යුක්තව ඒවායේ සාරවත්කම ගැන හෝ සාධාරණකම ගැන හෝ තම සිත තුළ කිසිදු සැකයක් නැතිව කරන ප්‍රකාශනයෝය.එහෙයින් කාලය ගෙවී යාම නිසා හෝ බාහිර බලපෑම්වල රළු පරුෂකම නිසා හෝ ලෙහෙසියෙන් නොමැකෙනු ඇත. ඔහුගේ පණිවිඩය අකුටිලව අප වෙත ගලා එන්නකි …… “

(පෙරවදන – ප්‍රබුද්ධ )

ප්‍රබුද්ධ කාව්‍යය වෙනුවෙන් පසු වදනක් සපයන සිංහල විෂයය හා සංනිවේදනය විෂයය පිළිබඳව මහාචාර්යවරයකු වන විමල් දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“මහගම සේකරගේ පරිනත කවීත්වයෙහි අග්‍රඵලය ප්‍රබුද්ධ කාව්‍යයයි. පර්යේෂණකාමී නිර්මාණාත්මක බුද්ධියේත් සියුම් වින්දන ශක්තියත් සහජයෙන් ලද භාෂාධිපත්‍යයේත් සුසංයෝගය මෙම කෘතියෙන් පිළිඹිබු වේ. ගත්වහර, පුරවහර,ගැමිවහර එකවී සකස්වුණු සුන්දර භාෂා ප්‍රවාහයක් මතුයෙහි විචිත්‍ර වින්දන පථයක් ඔස්සේ අප කවියා කැදවාගෙන යන්නේ අපට හොරා අපගේ නැණස පාදාලමිනි. කවියන්ගේ පිය පහස අනවරතයෙන් ලද යුතු සත්මාර්ගය ද මෙයම නොවන්නේද ? “

(ප්‍රබුද්ධ – පසුවදන )

මෙරට විසූ කෘතහස්ත සම්මානනීය සාහිත්‍යයකරුවකු වූ කේ. ජයතිලක මහතා මෙසේ සදහන් කරයි.
“ප්‍රබුද්ධ කාව්‍යය මහගම සේකරගේ නිර්මාණ ශක්තියේ පමණක් නොව නූතන කාව්‍ය ක්ෂේත්‍රයේ ද අග්‍රඵලය යැයි කිවහොත් එත යථාතත්වයෙන් ඒ තරම් දුරස්ථ කියමනක් යැයි නොසිතේ. මෙසේ කීමට හේතුව කාව්‍ය කෘතිය, වචන භාවිතය උපමාරූපක අලංකාරාදි සම්ප්‍රදායික කාව්‍ය විචාර විධීන් අනුව එය කිරා මැන බැලීමෙන් පමණක් නොවේ.ඒ සියල්ල විනිවිද ඇතුළට කිදා බට කල්හි දක්නට ලැබෙන කිසියම් ගුණයක් ද හේතුකොට ගෙනය.එය නූතන ලාංකිය ජන වංශයෙහි සාරය හැටියට හදුන්වාලීමේ වරදක් ඇතැයි මම නොසිතමි. “

( සිළුමිණ – 1988 – 01 – 01වැනි දින )

මහගම සේකර හතලිස්හත්වසක තම කෙටි ජීවිත කාලවකවානුව තුළ මෙරට සාහිත්‍යය වෙනුවෙන් කරන ලද ප්‍රබුද්ධ මෙහෙවර මහුගේ අවසාන කාව්‍යය සංග්‍රහය වූ “ප්‍රබුද්ධ” තුළින් මැනවින් හෙළිවේ.එය වඩාත් හොදින් ප්‍රත්‍යක්ෂ වනුයේ පුළුල් පසුතලයක හිද විමර්ශනය කරන කල්හි දීය.

ප්‍රබුද්ධ කාව්‍ය සිනමාවට නැගීමට ගත් වෙහෙස කෙබඳුද ?

මහගම සේකර ප්‍රබුද්ධ කාව්‍ය සිනමාවට නැගීමට චිත්‍රපට නිෂ්පාදක චිත්‍රා බාලසූරිය මහතා සමගින් සූදානම්ව සිටි බව කියැවේ. එනමුත් ඔහුගේ අකල් මරණය ඊට ඉඩ නොතබන ලදි. එසේ වී නම්, ඔහුගේ දෙවැනි චිත්‍රපටිය ප්‍රබුද්ධ වන අතර තමාගේම කාව්‍යය සංග්‍රහයකින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද ලොව පළමු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සේකර වීමට බොහෝ ඉඩ තිබුණි.
කවිය වූ කලී කවියාගේ ආධ්‍යාත්මය මිස අනිකක් නොවේ . කවියා දේශීය වන තරමටම කවියද දේශීය ගුණයෙන් යුක්ත වෙයි. කවියා සංයමයෙන් යුත්ත වන තරමට කවියෙහි සංයමය ඇති වෙයි. “

— මහගම සේකර

නොලියාම බැරි මගේ සටහන —

සැබවින්ම ප්‍රබුද්ධ කාව්‍ය තුළින් සුගන්ධවත් වන ප්‍රකාශන රීතිය හා කාව්‍යමය වාග් ව්‍යවහාරය සම්බන්ධයෙන් මෙන්ම සමාජ සංවේදිතාව සම්බන්ධයෙන් ද මෙරට කවියන් ,පාඨක හා විචාරකයන් විසින් ඉතා සියුම්ව අවධානය යොමුකළ යුත්තේ නූතන කවියේ භාෂාව හා හැඩතලය පිළිබඳව කල්පනා කර බලන කල්හිදී බව පෙනේ. ඒ අනුව සමාජ විපරිණාමය යථාර්ථවාදී දෘෂ්ටියකින් අවලෝකනය කරමින් එහි යථාස්වභාවය විචිත්‍රණය කිරීමේදී උපයුක්ත ආකෘතික හා භාෂා විශේෂතා ප්‍රකට කරන මහගම සේකරගේ කවීත්වයේ අග්‍රථලය වූ ප්‍රබුද්ධ කාව්‍යයට හිමිවනුයේ අද්විතීය ස්ථානයක් බව විශේෂයෙන් සදහන් කළ යුතුය .

ආශ්‍රිත පොතපත —-

1.ප්‍රබුද්ධ – මහගම සේකර-1977 .
2.ප්‍රබුද්ධ – මහගම සේකර – ( නවතම මුද්‍රණය ) – 2017.
3.මහගම සේකර සහ කලා නිර්මාණ – සංස් / එච්.එම්. මොරටුවගම – 1978.
4.මහගම සේකර සහ සමාජය යථාර්තය- මහාචාර්ය සුචරිත ගම්ලත් හා රත්න ශ්‍රී විජේසිංහ-1994.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

රනිල්ගේ ඉල්ලීමට පවත්වන ජනරජ පෙරහැර අද : සෘජු වියදම කෝටි 10 පනී : thetime.lk කර්තෘ මණ්ඩල මතය කුමක්ද ?

0

රුපියල් කෝටි 10කට අධික සෘජු වියදමක් දරමින් පවත්වන විශේෂ ජනරජ පෙරහැර අද (19) පස්වරු 6.30 සිට මහනුවරදී වීදි සංචාරය කිරීමට නියමිත ය. මෙම වියදමට අමතරව රජයේ නිල වාහන ඇතුළු වෙනත් වියදම් සඳහා ද විශාල මුදලක් වැය කෙරේ.

දළදා මාලිගාවේ සිට මෙම පෙරහැර වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර, එය දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කෙරේ. මෙම පෙරහැර පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් විකරමසිංහගේ විශේෂ ඉල්ලීමක් මත ය.

දළදා මාලිගාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම පෙරහැර සඳහා අලි – ඇතුන් 45ත් – 50ත් අතර සංඛ්‍යාවක් සහභාගි වනු ඇති බවයි. වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර ආකාරයට ම මෙම පෙරහැර විචිත්‍රවත් ව වීදි සංචාරය කරන බව ද අදාළ ප්‍රකාශකයා පැවසීය.

මේ සඳහා ඇමතිවරුන්, තානාපතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය. මහනුවර අවට සංචාරක හෝටල් රැසක මෙම පිරිස ඊයේ (18) සිට නවාතැන් ගෙන සිටී.

thetime.lk කර්තෘ මණ්ඩල මතය :

රට තුළ ඇති වී තිබෙන බරපතළ මූල්‍ය අර්බුදය හේතුවෙන් මේ වන විට රෝහල්වල ඖෂධ නොමැති වීම ඇතුළු ගැටළු රැසකට ජනතාව මුහුණ දෙමින් සිටී. එවැනි අවස්ථාවක මෙවැනි වියදමක් දරමින් විශේෂ පෙරහරක් පැවැත්වීම ගැටළු සහගත ය.

උසස් පෙළ සිසුන්ට විදුලිය ලබාදීම දුෂ්කර බව පවසමින් අඛණ්ඩව විදුලිය ලබානොදුන් වර්තමාන ආණ්ඩුව, විදුලි බිල වැඩි කිරීමෙන් පසු අඛණ්ඩව විදුලිය සපයමින් සිටී. ඒ අතර මෙම පෙරහැර විචිත්‍රවත් කිරීම සඳහා දැවැන්ත විදුලි ධාරිතාවක් වැය කිරීමට අපේක්ෂිත ය.

පෙරහැර සංස්කෘතික අංගය මෙරට ඇති විචිත්‍රවත් අංගයකි. එහෙත් ජනතාව මහත් දුෂ්කරතා හමුවේ, ජීවත් වීම සඳහා බරපතළ අරගලයක යෙදී සිටින තත්ත්වයක, එවැනි විචිත්‍රවත් සංස්කෘතිකාංගයක් විඳගැනීමට ජනතාවට හැකි ද යන්න බරපතළ ගැටළුවකි.

එසේ ම වියදම් කළ යුතු මූලිකත්වය අනුව ගත් විට, මෙවැනි වියදමක් මේ මොහොතේ අනවශ්‍ය වියදමක් බව පැහැදිලි ව අවධාරණය කළ යුතුය.

මත්තල ම ප්‍රශ්නයක් : ආදායමට වඩා 21 ගුණයකින් වියදම වැඩියි – ජාතික විගණන කාර්යාලය : ලෝකයේ අසාර්ථක ගුවන් තොටුපොළ අතර ඉදිරියට ම !

0

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩි බව  ජාතික විගණන කාර්යාලය අවධාරණය කරයි.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ 2021 වාර්ෂික වාර්තාවේ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් එම කාර්යාලය මේ බව පෙන්වා දී ඇත. අදාළ වාර්තාවට අනුව 2017 වසරේ සිට 2021 වසර දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59කි.

මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයකි. එහෙත් පසුගිය වසර 5ක කාලය තුළ එහි පැමිණ ඇත්තේ ගුවන් මගීන් 91,747ක් පමණක් බව ද එම වාර්තාවේ සඳහන් ය. මෙම හේතු මත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා භාවිත කළ මුදල ඵලදායී ලෙස භාවිත කර නැතැයි තහවුරු වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කර සිටී.

ලෝකයේ අසාර්ථක ගුවන් තොටුපොළ – බ්‍රිතාන්‍යය

අති විශාල මුදලක් වැය කොට ඉදිකළද, බලාපොරොත්තු වූ ආර්ථික ප්‍රතිලාභ නොලද අසාර්ථක ගුවන් තොටුපොළ ව්‍යාපෘති පිළිබඳ ලෝකයේ ඇතැම් රටවලින් වාර්තා වේ.

බ්‍රිතාන්‍යය යටතේ පවතින සෙන්ට් හෙලේනා දූපතේ ඉදිකරන ලද ගුවන් තොටුපොළ බ්‍රිතාන්‍යය මාධ්‍ය මගින් හඳුන්වනු ලැබුවේ ‘ලොව ප්‍රයෝජනයක් නොමැති ම ගුවන් තොටුපොළ’ ලෙස ය.

ඇමරිකානු ඩොලර් මිලියන 380ක වියදමින් ඉදිකරන ලද මෙම ගුවන් තොටුපොළ සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් රාජධානියේ විදේශ සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනි.

ස්පාඤ්ඤය

මේ අතර බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ ගුවන් තොටුපොළක් පිළිබඳ 2015 වසරේදී ස්පාඤ්ඤයෙන් වාර්තා විය. මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි එම ගුවන් තොටුපොළ සඳහා ලැබී තිබුණු වැඩිම ලංසුව යුරෝ 10,000කි.

එය, ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව

චීන ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ඉදි කළ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඉතාමත් අඩු වශයෙන් වන අතර මෙරට විගණන වාර්තා මගින් ද අවස්ථා ගණනාවකදී තහවුරු කර ඇත්තේ එය විශාල ලෙස පාඩු ලබන බවයි.

2013 වසරේ විවෘත කරන ලද මෙම ගුවන් තොටුපොළ සඳහා වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 240කි.

2016 වසරේදී වී ගබඩා කිරීම සඳහා ද මත්තල ගුවන් තොටුපොළට අයත් ගොඩනැගිලි යොදාගැනිණි. එසේ ම මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.