මගහම සේකරගේ කවීත්වයේ අග්‍රඵලය ‘ප්‍රබුද්ධ’ කාව්‍යය ද ?

Share post:

ගෙවීගිය විසිවැනි සියවසේ මෙරට දිවිගෙවන ලද අද්විතීය කලාකරුවකු වූ මහගම සේකර විසින් රචිත “ප්‍රබුද්ධ” කාව්‍යය මෙරට නිසඳැස් කවිය ( Free Verse ) හා එහි ඉතිහාසය විමර්ශනය කර බලන කල්හි අපට හමුවන ඉතා විශිෂ්ට කාව්‍යය නිර්මාණයක් වන්නේ ය. ඒ පිළිබඳව කෙරෙන තූලනාත්මක විවරණයකි මේ …. !!

කවියාගේ වතගොත කෙබඳුද ?

1929 අප්‍රියෙල් මස 27 වැනි දින සියනෑ කෝරළයේ රදාවාන ග්‍රාමයේ දී මෙලොව එළිය ලැබ, කිරිඳිවැල රජයේ මිශ්‍ර පාඨමාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ මහගම සේකර තම උසස් අධ්‍යාපනය නිමා කරන ලද්දේ සිංහල ගුරුවරුන් සදහා වූ චිත්‍රකර්ම චිභාගයෙන් සමත් වීමෙනි.ඉක්බිතිව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබ, පුහුණු ගුරුවරයෙකු වශයෙන් තම වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු රජයේ භාෂාව දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු, ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයකු, රජයේ ලලිත කලා ආයතනයේ විද්‍යාලයේ විදුහල්පතිවරයකු හා අධ්‍යාපනය අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපනය අංගයේ අධ්‍යාපන නිලධාරියකු වශයෙන් ද සේවය කරන ලදි.

ඉතා දුර්ලභගණයේ ප්‍රතිභාවකින් හෙබි සේකර නවකතාවකරුවකු, කෙටිකතාවකරුවකු, කවියකු, ගේයපද රචකයකු, ළමා කතාරචකයකු , නාට්‍ය රචකයකු, පරිවර්තකයකු, ශාස්ත්‍රීය පර්යේෂකයකු , චිත්‍රශිල්පියකු, කංචුක නිර්මාණශිල්පියකු හා සිනමාකරුවකු ද වූයේය.

අද්විතීය නිර්මාණශීලී ලේඛකයකු වශයෙන් සේකරගේ අභිෂ්ට කලා පරිචිත බවට පත්වූයේ කවිය හා ගීතය බව පෙනේ. මෙම උභය කෂේත්‍ර යුගල අරබයා ඔහු විසින් දක්වන ලද අපූර්ව ප්‍රතිභාව, අප්‍රමේය කවීත්වය හා රචනා චාතුර්යය තත් ක්ෂේත්‍රයන්හි චිරස්ථිතිය උදෙසා මහා ප්‍රදර්ශනාගාරයක් වූ බව අවිවාදිතය.

මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත්වූ සේකරගේ කෘතීන් පිළිවෙලින් මෙසේ ය.

ධවල සේනාංකයක -1956.යන පරිවර්තනය කෘතිය ද ,පුංචි අපට කයිකතන්දර -1958, සරු පොළොවක් අපට ඇතේ – 1973, කොටි වලිගය-1990 යන ළමා කෘතීන් ද ව්‍යංගා ( කේ. ජයතිලක මහතා සමග ) – 1960, සක්වාලිහිණි – 1962, හෙට ඉරක් පායයි-1963, මක්නිසාදයත්- 1964, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත-1967, බෝඩිම -1970, නොමියෙමි -1973 , ප්‍රබුද්ධ – 1977 යන කාව්‍යය සංග්‍රහයන් ද සත්දන්ත සහ තවත් නාටක -1961, මුහුදු පුත්තු ( ගුණසේන ගලප්පත්ති මහතා සමග ) – 1964, හංස ගීතය සහ වෙනත් නිර්මාණය -1985 යන නාට්‍ය කෘතීන් ද තුංමංහංදිය -1967, මනෝමන්දිර -1971 යන නවකතා ද මහගම සේකරගේ ගීත -1972, මහගම සේකරගේ නොපළ ගීත -1984 යන ගීත සංග්‍රහයන් ද මහගම සේකරගේ කෙටිකතාව හා චිත්‍ර -1981, පීතර සහ තවත් කෙටිකතාව – 2007 යන කෙටිකතාව සංග්‍රහයන් ද තුංමංහංදිය තිර රචනය -1997 යන සිනමා තිර රචනය ද .සිංහල ගද්‍ය පදය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ-2001 යන තම ආචාර්ය උපාධිය නිබන්ධනය ද වේ.
වෙසෙසින්ම සිංහල සාහිත්‍යයේ නව මංපෙත් සොයා අතිදුෂ්කර ව්‍යායාමයක යෙදුණු සේකර බෞද්ධ දර්ශනයේ කියැවෙන මරණීය ධර්මතාවය ලොවට පසක් කර දෙමින් 1976 ජනවාරි 14 වැනි දින හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් සදහටම තම දෙනෙත් පියා ගත්තේ.ය.

සැබවින්ම ප්‍රබුද්ධ කාව්‍යය කියවීමකට ලක් කළ කාව්‍යයක් ද ?

සේකරගේ කාව්‍යය අඛයාන අතර විශිෂ්ටතම කෘතිය වශයෙන් එදා මෙදාතුර පාඨක – විචාරක යන මේ දෙපාර්ශවයේම මහත් වූ සම්භාවනාවට පාත්‍ර වන්නේ … “ප්‍රබුද්ධ” ය. ඔහුගේ පරිපාකයට පත් වූ චින්තනය මැනවින් පිලිබිඹු වන මෙමගින් ජීවිතය පිළිබඳ ගැඹුරු විවරණයක් හා බෞද්ධ දර්ශනයෙන් පෝෂිත සමාජ, ආර්ථික,දේශපාලන දෘෂ්ටියක් ද මැනවින් උද්දීපනය කරයි. මෙයට කදිම උදාහරණයකි …

නාවර පෙරෙන හොටු
ඇඳ නෙක වැරහැලි. කිලුටු
කැහැටු දරුවෝ සිටිත්
මුඩුක්කු දොරකඩට විත්
පයිප්පයෙන් උනන මලකඩ වතුර
ගලා යයි තෙමා ගෙන මහ පාර
ටිං කබල්- හෙළු ළමයි – රානි සබන් කැට
නාන – ඇග හෝදන
තරබාරු ඇඟපත උලන
ගෑණුන්ගේ පිරිමින්ගේ රළු කැහි
ඉලිප්පී යයි සුදට
ඝනකමට දියපාර මතුපිටින්,
පාරට විසි කළ
කෙසෙල් ලෙලි හා මාළු කොරපොතු
ඉඳුල් බත් උළු කැලි කසල
තෙමී පෙගී දියෙන්
නගයි අප්පිරියාවක් …

( ප්‍රබුද්ධ – 37වැනි පිටුව )

දේශපාලනයෙන් ඔද්දල් වී ගිය සමාජයක රජයන සමාජය අසාධාරණය දැඩි ලෙස විවේචනය කරන සේකර භෞතික වශයෙන් මිනිසා ලබන විමුක්තිය ද සැබෑ විමුක්තියක් ලෙස නොසලකයි.
බතික් වතක් ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
සංසාරේ නිරන්තරව තැවරී ඇති
දුක එතැනින් නිමා වේද ?

( ප්‍රබුද්ධ – 88 වැනි පිටුව )

භෞතික වශයෙන් සමෘද්ධිමත් වුවද මේ ජීවන ගමන් මගෙහි මිනිසා පසුපස හඹා එන අපමණ දුක්බදෝමනස්සයන් ද එතුළින් ඇතිවෙන්නා වූ අසහනය කවියා දකින්නේ මෙපරිද්දෙනි. බෞද්ධ දර්ශනය ට අනුව තම ජීවිතාවබෝධය මුවහත් කර ගන්නා කවියා එය ගෙන හැර දක්වන්නේ පොදු දහමක් ලෙසිනි.

මා ගිය හොත්
අඹු දරුවන් කුලී ගෙයක අනාථ වෙති.
දරැවෝ දණ ගානා නො දරැවෝය.
උන්ට බොන්නට ටින් කිරි පිටි සොයා දෙන්ඩ
ලෙඩට දුකට වඩාන දොස්තර ගෙදරට යන්ඩ
මා නැති නම් කෙනෙක් නැතිය.
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහා මබලා හිඳිති උන් හැම දෙන…

( ප්‍රබුද්ධ – 34 වැනි පිටුව )

සමකාලීන සමාජ සංසිද්ධීන් ඉතා සංවේදීව සංජානනය කරන කවියා ලෞකික මනුෂ්‍ය ජීවිතයේ යථාස්වභාවය මැනවින් ගවේෂනය.කර දක්වන්නේ මෙලෙසිනි.

නො කා නො බී වෙහෙස ව දන එක් රැස් කර
මන්දිර ගොඩ නගනා දහසක් දන
ඉන් පසු පෙනුණේ ය ඔහුට.
නො කා නො බී වෙහෙස ව දන එක් රැස් කර
මන්දිර තුළ ගොඩ ගසනා දහසක් දෙන
ඉන් පසු පෙනුණේ ය ඔහුට.
ලබනුව තව තව බලතල නිල තනතුරු,
තරගයකට පොර බදිනා දහසක් දෙන
ඉන් පසු පෙනුණේ ය ඔහුට.
මෙතෙක් තමා අවට ම සිටි ඒ හැම දෙන මේ දැන් පෙනුණේ ය ඔහුට.

( ප්‍රබුද්ධ – 8 වැනි පිටුව )

සේකර ප්‍රබුද්ධ කාව්‍ය තුළින් “විෂම ලෝකය” වශයෙන් අදහස් කරන්නේ සමාජයේ ඇති නැති පරතරය නොඑසේනම් පන්ති පරතරය හෝ ආර්ථික විෂමතාවය හෝ නොවේ.ඉන් ඔබ්බට ගියා වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයෙන් ( A Great Buddhist Philosophy ) නිරූපිත ආධ්‍යාත්මික විෂමතාවයකි.එබැවින් ඔහුගේ ජීවන දෘෂ්ටිය ලෞකික සීමා මායිම් වලින් ඔබ්බට ගියා වූ උත්තරීතර මානවීය එකකැයි අපට හැගේ.ලෞකික සැප සම්පත් පරිභෝජනයෙන් සන්තෘප්ත නොවන මිනිසා නිරතුරුව මහත් වූ මානසික අසහනයෙන් හා අසන්තුෂ්ටියෙන් කල් ගෙවයි. සේකර එය ගෙන හැර දක්වන්නේ මෙලෙසිනි.

ගැලී මහා මෝහයෙනි
සංසාරයේ ඇවිදිනා මම
හටගත් වෛරෝචනයන් විසින්
ධම්මධාතු ප්‍රඥවේ
ප්‍රභාමත් ආලෝකය පථය වෙත
යොමු කරනු ලබම්වා
භයංකර ගන්ධබ්බ අවධියෙන් මම
නිරුපද්‍රිතව එතෙර කරනු ලබම්වා
සර්වතෝභද්‍ර වූ බුද්ධ භාවයෙහි මම
පිහිටවනු ලබම්වා .!

( ප්‍රබුද්ධ 23 වැනි පිටුව )

සැබැවින්ම කවියා පතන්නේ උත්තරීතර ආධ්‍යාත්මික තත්වයකි. එම උත්තරීතර ආධ්‍යාත්මික තත්වයට ළගා වනු පිණිස ලෞකික ජීවිතය හා බැදී පවතින සියලුම බැදීම් හා භෞතික සැපසම්පත්තියෙන් මිදිය යුතුය.
ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයට අනුව ලොව ඉහළම දියුණුව වනුයේ ආධ්‍යාත්මික දියුණුවයි.එසේම ලෞකික දියුණුවේ ඉහළම අගය වනුයේ ආධ්‍යාත්මික දියුණුවේ අන්ත පිරිහීමයි. මිනිසා තාවකාලිකව ලෞකික සැප සම්පත් වලින් තෘප්තිමත් වුවද එය ගලා හැලෙන දිය ඇල්ලකින් මතු වන පෙන පිඩුවක් සේ ඉතා තාවකාලික තෘප්තියක් බව කවියා කල්පනා කරයි.

නො දත්තෙමි මම එකල
අම්මේ, ඔබ වත කැඩපතක් බව
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නොදුටුවෙමි කිසි විටෙක සතුටක්
නොදුටුවෙමි කිසි විටෙක දුකකුත්
ඉවසා තම සිතින් සැම සැප දුක්
ලැබුවාද ඔබ සිතෙහි සාමයක්
ඉපයූවෙමි මම මුදල්
ඉපයූවෙමි කිතු යසස්
විය මන්දිරය යාන වාහන
එහෙත් ඒ කිසිවකිනුත්
නොලදිමි සිත් සැනසුමක්
වටහා ගෙන සිටියා ද ඔබ ඒ සත්‍යය
නොලබාම ඔබ ඒ කිසිවක් ?

( ප්‍රබුද්ධ – 28 වැනි පිටුව )

ඉහත සඳහන් කාරණාව ශ්‍රී සිද්ධාර්ථ චරිතය උදාහරණය කොට ගනිමින් තවදුරටත් මෙසේ විග්‍රහ කරන කවියා …

එක් කලෙක මට තිබුණා සැප සම්පත්
මටත් වඩා ඔබට …
ලැබුණා ද ඔබට ඉන් සැනසීමක් ?
ඒ නිසා ම නේද
යසෝ දා !
ඔබ අද මේ සත්‍ය සොයා යන්නේ ?
කෑමෙන් බීමෙන්
ඇදුමෙන්
ගෙයින් දොරින්
යස ඉසුරෙන්
තෘප්තිමත් වූ පසුව පමණයි පසක් වනුයේ
සෑබෑ තෘප්තිය එය නො වන බව,
එයින් දුක කෙළවර නො වන බව,
සැබෑ තෘප්තිය සොයා යාමේ
පරම සත්‍යය සොයා යාමේ
පළමු පියවර එය ය;
ඔබ තැබුවේ ඒ පියවර;
මා තැබුවේ ඒ පියවර;
සිද්ධාර්ථ තැබුවෙත් ඒ පියවර ම ය.

( ප්‍රබුද්ධ – 98/99 වැනි පිටු )

කවියා ඉහළ පැලැන්තියේ කාමභෝගී ජීවිතය දුරාචාරයක් ලෙස දුටුවේ මෙලෙසිනි.

රත් දෙතොල් අතරෙහි
පිරී තිබුනේ අමන රාගය,
අදුන් ගෑ නෙත් කොන්වල
රැදී තිබුනේ ඊර්ෂ්‍යාවය..
සතුටු සාමිච් පිළිසදර තුළ
කැපී පෙනුණේ වෛරයක් ම ය.
ප්‍රබුද්ධ !
හිස් ය මේ ජීවිතය
බොල් ය මේ ජීවිතය
බලව !
රන් දුහුල් යට
සුවඳ විලවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම.

( ප්‍රබුද්ධ – 15 වැනි පිටුව )

මෙපරිදි මුලුමහත් සමාජ ක්‍රමයම කවියා දැඩි ලෙස විවේචනය කර ඇත. කවියා සුන්දර යැයි කියන හැම දෙයක ම ඇති අසුන්දරත්වය ( අසම්පූර්ණත්වය ) දැඩි ලෙස අවධානය කරන ඔහු ප්‍රකෘතිය දැකීමත් එය නිසි පරිදි අවබෝධ කර ගැනීමත් සත්‍ය ගවේෂණයක් වශයෙන් සලකයි.

තවත් ආකාරයකින් ප්‍රබුද්ධ සමකාලීන සමාජයේ ආධ්‍යාත්මික පීඩනය වස්තු විෂය කොටගෙන රචනා වූවක් බව පෙනේ. එහි ප්‍රධාන චරිතය ප්‍රබුද්ධය .

මෙමගින් කවියා පුද්ගය යථාර්තය හා බද්ධ කොට ගනිමින් සමාජ යථාර්තය විචිත්‍රණය කිරීමේ කාර්යයක නිරත වන බව පෙනේ. ධනේශ්වර සමාජ ක්‍රමය තුළින් නිර්මිත සමාජ බලවේග හමුවේ මනුෂ්‍යත්වයට අයත්වන කටුක ඉරණම හා පවත්නා සමාජයට එරෙහිව සිදුවන නැඟිටීම ද ඒ ඇසුරෙන් මතුයම් දිනෙක බිහිවෙතැයි ප්‍රාර්ථිත නව සමාජය පිළිබඳ අපේක්ෂාවන් දැල්වුණු මනුෂ්‍ය ජීවිතය පිළිබඳව පූර්ණ විචිත්‍රණයක් වශයෙන් ද ප්‍රබුද්ධ කාව්‍යය හැදින්වීම යුක්ති යුක්ත වන්නේ ය.

ප්‍රබුද්ධ කාව්‍යය පුරාම පැතිරගත් ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයේ පසුතලය හා විචාර චින්තාවලිය ද අපගේ විශේෂ අවධානයට ලක්විය යුත්තේ ය. තවත් ආකාරයකින් දක්වන්නේ නම් ප්‍රබුද්ධ කාව්‍යය වූ කලී බෞද්ධ දර්ශනයේ ප්‍රතිකථනයක් නොව එහි සාරාර්ථය ප්‍රත්‍යක්ෂ කොට ගනිමින් නිර්මිත විශිෂ්ට පරිකල්පනයකින් ද රමණීයත්වයකින් ද සමන්විත උපලක්ෂිත අර්ථ විභාවනයක් වන්නේ ය.

චිරන්තන කවිය,ජනකවිය හා බටහිර කවියෙනුත් ආලෝකය ලැබ නිසදැස් ආකෘතිය ඔස්සේ ගිය සේකරගේ ගවේෂනකාමි විමංසනාක්ෂිය ප්‍රබුද්ධ කාව්‍යය අඛයානය තුළින් මැනවින් පිළිඹිබු වේ.එපමණක්ද නොව, බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික දියුණුවෙන් ලද ඥානයෙන් හා පරිණත කවීත්වයෙන් පරිපුන් ඔහුගේ අග්‍රගන්‍ය කාව්‍යය අඛයානය වනුයේ ප්‍රබුද්ධ ය.

ඔවුහු මෙසේ කියති —

“ප්‍රබුද්ධ කාව්‍යය සේවනය” යන නමින් මාහැගි කෘතිය රචනා කරන ලද ඉතිහාසය විෂයය පිළිබදව හිටපු මහාචාර්යවරයකු වූ මැන්දිස් රෝහණධීර මහතා මෙසේ කියයි.

“මහගම සේකරගේ කවීත්වය ප්‍රකාශයට පත් වන්නේ එහෙන් මෙහෙන් හමන සුළං නිසා නොසැලෙන සුලු ජීවන දර්ශනයක් හෙළි කරමින් බව ඔහුගේ අවසාන කෘතිය වන ප්‍රබුද්ධ කියවන විට දැනී යයි. රචනයට ප්‍රබුද්ධ යන නම යෙදීමෙන්ම එය පැහැදිලි වෙයි. මෙම කෘතියෙහි ඔහු බැස ගන්නා ඇතැම් නිගමනයන්ට හා ඉදිරිපත් කරන ඇතැම් නිර්දය විවේචනයන්ට අවශ්‍ය පදනම ඔහුලබා ගෙන ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ලත් තම ජීවන දර්ශනයේ පරිපාකයෙනැයි කියන්නට පුළුවන. “

( 22 වැනි පිටුව )

…. මහගමගේ ප්‍රබුද්ධ කියූ මට ප්‍රමුඛව ප්‍රබලව සිතට නැගුනේ බෞද්ධ අදහස් නිවැරදිව වටහාගෙන බෞද්ධ ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීමෙන් ලොවට ලබා දිය හැකි සෙත් ශාන්තිය පිළිබඳ කිසිදු සැකයක් සිතෙහි නොමැතිව කවියා තම අදහස් මාලාව ගොතන බවයි ………

( 23 වැනි පිටුව )

ප්‍රබුද්ධ කාව්‍යය වෙනුවෙන් මාහැගි පෙරවදනක් සපයන බෞද්ධ දර්ශනය පිළිබඳව හිටපු මාහාචාර්යවරයකු වූ ජෝතිය වීරසේකර මහතා මෙසේ සදහන් කරයි.

“මහගම සේකර මෙම කෘතියෙන් එක් අතකින් තමාගේ පුද්ගලික ජීවිත කතාව අනාවරණය කරන අතර තමා අගය කොට සලකන පුරුෂාර්ථද එය තුළින් උද්දීපනය කරයි. ඒවා පෞද්ගලික අනුභූතියක ප්‍රතිථලයක් නොවේ නම් ස්ථිර අවබෝධයකින් යුක්තව ඒවායේ සාරවත්කම ගැන හෝ සාධාරණකම ගැන හෝ තම සිත තුළ කිසිදු සැකයක් නැතිව කරන ප්‍රකාශනයෝය.එහෙයින් කාලය ගෙවී යාම නිසා හෝ බාහිර බලපෑම්වල රළු පරුෂකම නිසා හෝ ලෙහෙසියෙන් නොමැකෙනු ඇත. ඔහුගේ පණිවිඩය අකුටිලව අප වෙත ගලා එන්නකි …… “

(පෙරවදන – ප්‍රබුද්ධ )

ප්‍රබුද්ධ කාව්‍යය වෙනුවෙන් පසු වදනක් සපයන සිංහල විෂයය හා සංනිවේදනය විෂයය පිළිබඳව මහාචාර්යවරයකු වන විමල් දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“මහගම සේකරගේ පරිනත කවීත්වයෙහි අග්‍රඵලය ප්‍රබුද්ධ කාව්‍යයයි. පර්යේෂණකාමී නිර්මාණාත්මක බුද්ධියේත් සියුම් වින්දන ශක්තියත් සහජයෙන් ලද භාෂාධිපත්‍යයේත් සුසංයෝගය මෙම කෘතියෙන් පිළිඹිබු වේ. ගත්වහර, පුරවහර,ගැමිවහර එකවී සකස්වුණු සුන්දර භාෂා ප්‍රවාහයක් මතුයෙහි විචිත්‍ර වින්දන පථයක් ඔස්සේ අප කවියා කැදවාගෙන යන්නේ අපට හොරා අපගේ නැණස පාදාලමිනි. කවියන්ගේ පිය පහස අනවරතයෙන් ලද යුතු සත්මාර්ගය ද මෙයම නොවන්නේද ? “

(ප්‍රබුද්ධ – පසුවදන )

මෙරට විසූ කෘතහස්ත සම්මානනීය සාහිත්‍යයකරුවකු වූ කේ. ජයතිලක මහතා මෙසේ සදහන් කරයි.
“ප්‍රබුද්ධ කාව්‍යය මහගම සේකරගේ නිර්මාණ ශක්තියේ පමණක් නොව නූතන කාව්‍ය ක්ෂේත්‍රයේ ද අග්‍රඵලය යැයි කිවහොත් එත යථාතත්වයෙන් ඒ තරම් දුරස්ථ කියමනක් යැයි නොසිතේ. මෙසේ කීමට හේතුව කාව්‍ය කෘතිය, වචන භාවිතය උපමාරූපක අලංකාරාදි සම්ප්‍රදායික කාව්‍ය විචාර විධීන් අනුව එය කිරා මැන බැලීමෙන් පමණක් නොවේ.ඒ සියල්ල විනිවිද ඇතුළට කිදා බට කල්හි දක්නට ලැබෙන කිසියම් ගුණයක් ද හේතුකොට ගෙනය.එය නූතන ලාංකිය ජන වංශයෙහි සාරය හැටියට හදුන්වාලීමේ වරදක් ඇතැයි මම නොසිතමි. “

( සිළුමිණ – 1988 – 01 – 01වැනි දින )

මහගම සේකර හතලිස්හත්වසක තම කෙටි ජීවිත කාලවකවානුව තුළ මෙරට සාහිත්‍යය වෙනුවෙන් කරන ලද ප්‍රබුද්ධ මෙහෙවර මහුගේ අවසාන කාව්‍යය සංග්‍රහය වූ “ප්‍රබුද්ධ” තුළින් මැනවින් හෙළිවේ.එය වඩාත් හොදින් ප්‍රත්‍යක්ෂ වනුයේ පුළුල් පසුතලයක හිද විමර්ශනය කරන කල්හි දීය.

ප්‍රබුද්ධ කාව්‍ය සිනමාවට නැගීමට ගත් වෙහෙස කෙබඳුද ?

මහගම සේකර ප්‍රබුද්ධ කාව්‍ය සිනමාවට නැගීමට චිත්‍රපට නිෂ්පාදක චිත්‍රා බාලසූරිය මහතා සමගින් සූදානම්ව සිටි බව කියැවේ. එනමුත් ඔහුගේ අකල් මරණය ඊට ඉඩ නොතබන ලදි. එසේ වී නම්, ඔහුගේ දෙවැනි චිත්‍රපටිය ප්‍රබුද්ධ වන අතර තමාගේම කාව්‍යය සංග්‍රහයකින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද ලොව පළමු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සේකර වීමට බොහෝ ඉඩ තිබුණි.
කවිය වූ කලී කවියාගේ ආධ්‍යාත්මය මිස අනිකක් නොවේ . කවියා දේශීය වන තරමටම කවියද දේශීය ගුණයෙන් යුක්ත වෙයි. කවියා සංයමයෙන් යුත්ත වන තරමට කවියෙහි සංයමය ඇති වෙයි. “

— මහගම සේකර

නොලියාම බැරි මගේ සටහන —

සැබවින්ම ප්‍රබුද්ධ කාව්‍ය තුළින් සුගන්ධවත් වන ප්‍රකාශන රීතිය හා කාව්‍යමය වාග් ව්‍යවහාරය සම්බන්ධයෙන් මෙන්ම සමාජ සංවේදිතාව සම්බන්ධයෙන් ද මෙරට කවියන් ,පාඨක හා විචාරකයන් විසින් ඉතා සියුම්ව අවධානය යොමුකළ යුත්තේ නූතන කවියේ භාෂාව හා හැඩතලය පිළිබඳව කල්පනා කර බලන කල්හිදී බව පෙනේ. ඒ අනුව සමාජ විපරිණාමය යථාර්ථවාදී දෘෂ්ටියකින් අවලෝකනය කරමින් එහි යථාස්වභාවය විචිත්‍රණය කිරීමේදී උපයුක්ත ආකෘතික හා භාෂා විශේෂතා ප්‍රකට කරන මහගම සේකරගේ කවීත්වයේ අග්‍රථලය වූ ප්‍රබුද්ධ කාව්‍යයට හිමිවනුයේ අද්විතීය ස්ථානයක් බව විශේෂයෙන් සදහන් කළ යුතුය .

ආශ්‍රිත පොතපත —-

1.ප්‍රබුද්ධ – මහගම සේකර-1977 .
2.ප්‍රබුද්ධ – මහගම සේකර – ( නවතම මුද්‍රණය ) – 2017.
3.මහගම සේකර සහ කලා නිර්මාණ – සංස් / එච්.එම්. මොරටුවගම – 1978.
4.මහගම සේකර සහ සමාජය යථාර්තය- මහාචාර්ය සුචරිත ගම්ලත් හා රත්න ශ්‍රී විජේසිංහ-1994.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...