සරමාගෝ සහ ඥානවන්තම මිනිසා

Share post:

“මගේ මුළු ජීවිත කාලයේදීම මා දැනසිටි ඥානවන්තම මිනිසා කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත. හිමිදිරි පාන්දර හතරට පමණ, ප්‍රංශ භූමියට ඉහළින් නව දවසක උදාව එකෙල මෙකෙල වෙමින් තිබෙන මොහොතේ, ඔහු වැතිර සිටි පිදුරු මෙට්ටයෙන් ඈත් වී, දුසිම් භාගයක් වූ ඌරු රංචුව ඔහු තණ පිට්ටනියට රැගෙන යයි. තම බිරිඳ සමඟ ඔහු බඩ වියත රැක ගන්නේ ඒ ඌරු රැළ විසින් උපද්දන පැටවුන් මඟිනි.“

ජොසේ සරමාගෝගේ නොබෙල් දේශනයෙන් – (පරිවර්තනය සුභාෂිණි චතුරිකා)

1998 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකරගනිමින් ජොසේ සරමාගේ තම නොබෙල් දේශනය අරඹන්නේ එලෙසින්. සරමාගෝගේ ආරම්භක වැකිය, “මගේ මුළු ජීවිත කාලයේදීම මා දැනසිටි ඥානවන්තම මිනිසා කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත,“ යන්න බුද්ධිමත්භාවය පිළිබඳ එක්තරා සංකේතයකි. සැබෑව නම් අප දැනුම ලෙස අද හඳුනාගන්නා බහුතරය මේ ලෝකයේ අපට ජීවත් වීමට අවශ්‍ය දේවල් නොවේ. ඒවා අපිට අවශ්‍ය වන්නේ රැකියාවක් කරමින් මේ පද්ධතියේ සේවකයෙකු වීමට මිස මේ ලෝකය තේරුම් ගන්නට හෝ අපේ ජීවිතය වටහා ගන්නට නොවේ. සරමාගෝ පවසන මේ වැකියෙහි එන ඔහු, සරමාගෝ සීයාය. ඌරු කොටුවක් බලාගනිමින් ජීවත් වන වයසක මිනිසෙකු සරමාගෝ තම ජීවිත කාලයෙහිම දැන සිටි ඥානවන්තම මිනිසා වන්නේ කෙසේද?

නොබෙල් දේශනයේ එක් තැනක ඔහු මෙසේ දක්වයි.

“සමහර ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම් රාත්‍රීන්වල කෑම ගැනීමෙන් පසු මගේ සීයා මට මෙසේ කියයි.

ජොසේ අද අපි දෙන්නා නිදා ගන්න යන්නේ අත්තික්කා ගහ යට.“

රාත්‍රී කාලයේ සාමකාමී බව අතරේ, ගසේ උසැති අතු අතරින් තරුවක් මා ඉදිරියේ දිස් වී, අනතුරුව මා වෙනතක දෑස් යොමන අතර වාරේ, හිස් අහස් ගැඹරේ නිහඬව ගලා යන ගංගාවක් ලෙස මා දෑස් මානයේ මතුවන්නේ සුදීප්තිමත් ක්ෂීරපථයේ දසුනයි. ගම්මානයේ අපි දැනුදු එය හඳුන්වන්නේ සන්තියාගෝවලට යන පාර යනුවෙනි.“

සරමාගෝගේ මේ වචන තුළ ලේඛකයෙකු ගොඩනැගීම සහ ඔහුගේ පරිකල්පනය තීව්‍ර වීම අපූරුවට දකින්නට ලැබෙනවා.
“ගම්මානයේ අපි දැනුදු එය හඳුන්වන්නේ සන්තියාගෝවලට යන පාර යනුවෙනි.“

ක්ෂීර පථය මෙලෙස නම්කිරීමම මායාමය ලක්ෂණයකි. සරමාගෝ එතැන් සිට සිය දේශනය පුරාම පවසන්නේ අර අත්තික්කා ගහ යට සිට කියූ කතන්දරය. පුරාවෘත, මැරයන්, මළවුන්, ආදී දේවල් හරහා ඔහුගේ ලේඛනය නිර්මාණය වූ හැටියි. මේ සියල්ල හරහාම අපට පෙනෙන්නේ ඥානවන්තව වීම සහ දැනුම අතර පවතින වෙනසයි. එමෙන්ම කතන්දර තුළින් ඥානවන්ත භාවය වර්ධනය වෙන ආකාරයයි. ඔබ මේ දේශනය සම්පූර්ණයෙන්ම කියවන්නේ නම් ඔබට මේ කාරණය ඉතාම මැනවින් අවබෝධ වනු ඇත. ඔබේ දරුවා ඥානවන්තයෙකු කිරීමට නම් හැකි තරම් සුරංගනා කතන්දර කියාදෙන්න කියලා අයින්ස්ටයින් කළ ප්‍රකාශය ද නැවත සරමාගෝගේ නොබෙල් දේශනය හරහා කියවන්නට පුළුවන.

සරමාගෝගේ වැකි කිහිපයකින් මේ සටහන නිමා කරන්නම්. ඒ ගැන ඔබ නිවී සැනසිල්ලේ සිතා බලන්න.

“ඇය නිවෙසක දොර අසල වඩාගෙන සිටියේ මේ මුළු ලෝකයේම මට පරිකල්පනය කළ හැකි කිසිවෙකු ලෙස නොවෙයි, මන්දයත් ඒ නිවෙස තුළ ජීවත් වූයේ, තම දරුවන් මෙන් ඌරු පැටවුන්ව තම ඇඳේ තබාගෙන නිදා ගත හැකි වූ මානවයන් ය, ඔවුහු මේ ලෝකය සුන්දර නිසා ජීවිතයෙන් සමුගෙන යෑම පිළිබඳ දුකින් තැවෙති. එසේම මේ ජෙරනිමෝ, මගේ සීයා, ඌරන් බලාගන්නා සහ කතා කියන්නා, තමන් මරණය අසලට පැමිණ ඇති බව දැන, ගෙවත්තේ ඇති ගස් එකිනෙක වෙත ගොස් ඒවා වැළඳ ගනිමින්ද, හඬමින් ද සමුදුන්නේ ඔහු ඒවා නැවත නොදකින බව තේරුම් ගෙන තිබූ නිසා ය.“

උපුටා ගැනීම් – සුභාෂිණී චතුරිකා පරිවර්තනය කළ සරමාගෝ ගේ පියැසි කවුළුව පොතෙහි එන සරමාගෝගේ නොබෙල් දේශනයෙන්.

රශ්මික මණ්ඩාවල

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...