අන්තවාදී ව්‍යාපෘතියක ගොදුරක් වූ අහ්නාෆ්ට එරෙහිව සාක්ෂි සකස් කළ බව අධිකරණයේදී හෙළි වෙයි !  

Share post:

සාහිත්‍ය කෘති මගින් මුස්ලිම් අන්තවාදයට අහාර සහ අනුබල දුන් බවටත්, ගුරුවරයෙකු ලෙස සිසුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමටත් කටයුතු කළ බවට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් අහ්නාෆ් ජාසිම් කවියා, එවැනි කිසිදු ඉගැන්වීමක් නොකළ බව නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂිකරුවෙකු විවෘත අධිකරණයේදී සඳහන් කර තිබේ.

පසුගිය 17දා මෙම නඩුව පුත්තලම මහාධිකරණයේදී කැඳවිණි. එහිදී රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් වූයේ පුත්තලම අන්තර්ජාතික පාසලක අහ්නාෆ් ජාසිම්ගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකු සහ එහි විදුහල්පතිවරයා ය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කරන ලද තමන්ගේ කටඋත්තර අසත්‍ය බව ද මෙම ශිෂ්‍යයා එහිදී සඳහන් කර තිබේ.

අහ්නාෆ් ජාසිම් අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කිරීමක් නොකළ බව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ සාක්ෂිකරු මෙහිදී පවසා ඇත. එසේ ම විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ කටඋත්තරය නැවත කියවා පැහැදිලි නොකළ බවයි.

2019 වසරේදී මෙම ප්‍රකාශ ලබාගන්නා විට ඔහු පාසල් ශිෂ්‍යයෙකු වූ අතර, මේ වන විට ඔහු වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වැඩිහිටියෙකි.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් මෙහිදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර පෙනී සිට ඇති අතර, විත්තිකරුගේ පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රුෂ්ඩි හබීබ් පෙනීසිටින ලදි. මාර්තු 23දා යළිත් මෙම නඩුව කැඳවීමට නියමිත ය.

සාහිත්‍ය කෘති මගින් මුස්ලිම් අන්තවාදයට ආධාර සහ අනුබල දුන් බවටත්, ළමුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවටත් චෝදනා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අහ්නාෆ් ජාසිම් අත්අඩංගුවට ගැනිණි. ඒ, 2021 මැයි 16දා සිලාවතුරේ පිහිටි ඔහුගේ නිවසේදී ය. ඉන්පසු 2022 මැයි 12දා දක්වා ඔහු රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනිණි.

පාසල් කාලයේ සිට ම කවි සහ කෙටිකතා රචකයෙකු වූ අහ්නාෆ් ජාසිම්,තාම කවි තරගවලට ඉදිරිපත් කර සම්මාන පවා ලබා ඇති බව ඔහුට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් ය. ඔහු සීය කලාත්මක කෘති මගින් ප්‍රචණ්ඩත්වයට සහයෝගය දැක්වීම හෝ උසිගැන්වීම හෝ මුස්ලිම් ප්‍රජාවේ කොටස් තුළ අන්තවාදය, වර්ගවාදය ප්‍රවර්ධනය කර නැති බවත්, ඔහු රචනා කර ඇත්තේ ඊට එරෙහිව බවත් එම පෙත්සමේ වැඩිදුරටත් ඇතුළත් වේ.

සේව් ද පර්ල් නම් ආයතනයට අයත් බව කියන පුත්තලමේ ස්ථානයක තිබී ‘නවරසම්’ නම් කවි පොතේ පිටපත් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබුණු අතර, එම කවි පොතේ රචකයා වූයේ අහ්නාෆ් ජාසිම් ය. එය අන්තවාදය පතුරුවන පොතක් බව කියමින් ඔහු අත්අඩංගුවට ගැනිණි.

එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් විසින් කරුණු සහිතව අවධාරණය කර තිබිණි. පසුව නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සාක්ෂි ලබාදෙන ලෙස ඔහුට පොලිසිය පාර්ශ්වයෙන් බලපෑම් කළ බව පැවසිණි. ඔහු රඳවාගෙන සිටියදී මීයෙකු සපාකෑම නිසා ප්‍රතිකාර ගැනීමට සිදු වූ බව ඔහුගේ ඥාතීන් මාධ්‍යයට පවසා තිබිණි. අහ්නාෆ් ජාසිම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද විමර්ශනයක් සිදු කෙරිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...